Sports news (Sinhala)

අමෙරිකාව දණ ගැස්සු ඉන්දියාව පළමු තැනට.!

2024 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දීය කණ්ඩායම සහ අමෙරිකානු කණ්ඩායම අතර පැවති තරගයෙන් කඩුලු 7ක ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් අමෙරිකානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 110ක් රැස්කරගැනීමට සමත් විය.

අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 2ක් අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 111ක් රැස්කරගනිමින් තරගය ජයග්‍රහණය කළේය.

එම ජයග්‍රහණයත් සමග ප්‍රබල ඉන්දීය කණ්ඩායම සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

ලෝකයම බලා සිටි තරගයේ ජය ඉන්දියාවට.!

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දීය කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවති තරගයෙන් ලකුණු 6ක ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 19ක් අවසානයේ සියලුම දෙනා දැවී ලකුණු 119ක් රැස්කරගැනීමට සමත් විය.

අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි පාකිස්තාන කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී රැස්කරගැනීමට හැකි වුයේ ලකුණු 113ක් පමණි.

ඒ අනුව ලකුණු 6ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් වු අතර මෙම තරගය අමෙරිකාවේ නිව් යෝර්ක් හීදී පැවැත්විණ.

ලෝකයම බලා සිටින තීරණාත්මක තරගය අදයි.!

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වැඩිම අවධානයක් දිනාගත් ඉන්දියාව සහ පාකිස්ථානය අතර තරගය අද (09) දින ඇමරිකාවේ නිව්යෝක්හි නසාව් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇත.

මෙම තරගය හේතුවෙන් එම ක්‍රීඩාංගණය අවට ප්‍රදේශයේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති අතර ප්‍රවේශපත්‍ර වාර්තාගත ලෙස අලෙවි වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

2024 ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය සජීවීව පුළුල් තිර ඔස්සේ නැරඹීම සඳහා ලොව බොහෝ රටවල් සූදානමින් සිටින බවද වාර්තා වේ.

තරගය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 8.00ට ආරම්භ වීමට නියමිතව ඇති අතර පාකිස්තාන කණ්ඩායමට මෙම තරගය තීරණාත්මක තරගයක් වේ.

ඇෆ්ගනුවෝ උගන්ඩාවෝ පොළොවේ ගසයි.!

ප්‍රොවිඩස් හිදී උගන්ඩා කන්ඩායම ලකුණු 125කින් පරාජය කළ ඇෆ්ගනිස්තාන කඩායම T20 ලෝක කුසලාන ඉතිහාසයේ සිව්වැනි විශාලතම ජයග්‍රහණය වාර්තා කළේය.

ඇෆ්ගනිස්තානයේ ආරම්භක පිතිකරුවන් වන ඊබ්‍රාහිම් සද්‍රාන් (පන්දු 46 කදී ලකුණු 70) සහ රහ්මානුල්ලා ගුර්බාස් (පන්දු 45 කදී ලකුණු 76) ලබාගනිමින් ලකුණු 154 ක සම්බන්ධතාවක් ගොඩනඟා ගත් අතර එය විස්සයි20 ලෝක කුසලාන ඉතිහාසයේ දෙවැනි විශාලතම ආරම්භක කඩුලු සබඳතාවයයි.

ඕවර 14ක් අවසානයේ ඇෆ්ගනිස්තානය ලකුණු 152/0ක් ලෙසින් විශාල ලකුණු සංඛ්‍යාවක් කරා ගමන් කරමින් සිටියේය. නමුත් සද්‍රාන් සහ ගුර්බාස් දැවී යාමත් සමඟ වේගය තරමක් මන්දගාමී කළ ඇෆ්ගන් කණ්ඩායම අවසන් ඕවර පහේදී රැස් කළේ ලකුණු 27ක් පමණක් වන අතර අවසන් ඕවර හයේ දී එකදු හතරේ පහරක් හෝ එල්ල නොකළහ.

සී කාණ්ඩයේ තරගයේදී ඇෆ්ගනිස්තානය ලබාගත් 183/5ට පිළිතුරු ලෙස T20 ලෝක කුසලානයේ මංගල ක්‍රීඩකයන් වන උගන්ඩාවට රැස් කරගත හැකිවූයේ ලකුණු 58ක් පමණි.

කැරිබියන් දූපත් හි ඊයේ දිනයේ පැවති තරඟයේදී, උගන්ඩාවේ පිතිකරුවන් දෙදෙනෙකු පමණක් ඉලක්කම් ද්විත්වයක ලකුණු ලබාගැනීමට සමත්විය. ඒ රොබින්සන් ඔබුයා (14) සහ රියාසාත් අලි ෂා (11).

විස්සයි 20 ලෝක කුසලාන ඉතිහාසයේ විශාලතම ජයග්‍රහණ 03 ලෙස ශ්‍රී ලංකාව ලකුණු 172කින් කෙන්යාව පරාජය කිරීම, දකුණු අප්‍රිකාව සහ ඇෆ්ගනිස්තානය ලකුණු 130කින් ස්කොට්ලන්තය පරාජය කිරීම සැළකේ.

ලෝක කිරුළ ජයග්‍රහණය කරන කණ්ඩායමට ඇදහිය නොහැකි මුදලක්.!

2024 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ජයග්‍රහණය කරන කණ්ඩායමට ලබාදෙන මුදල් ත්‍යාගය පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් (ICC) ප්‍රකාශයට පත්කර ඇත.

ඒ අනුව ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ජයග්‍රහණය කරන කණ්ඩායමට අමෙරිකානු ඩොලර් මිලියන 2.45ක මුදලක් ලබාදීමට තීරණය කර ඇති අතර අනුශූරයින් සඳහා ලබාදීමට අපේක්ෂිත මුදල අමෙරිකානු ඩොලර් මිලියන 1.28ක් වේ.

තරගාවලියේ අවසන් පූර්ව වටයේ පරාජිත කණ්ඩායම් සඳහා අමෙරිකානු ඩොලර් 787,500ක මුදලක් ලබාදීමට තීරණය කර ඇති අතර සමස්ත තරගාවලියේ කණ්ඩායම් සඳහා වෙන්කර ඇති ත්‍යාග මුදල අමෙරිකානු ඩොලර් මිලියන 11.25කි.

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියක් සඳහා මේ දක්වා වෙන්කර ඇති වැඩිම ත්‍යාග මුදල මෙය බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සදහන් කරයි.

දකුණු අප්‍රිකාව හමුවේ ශ්‍රී ලංකාවට අමිහිරි පරාජයක්.!

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර අද (3) පැවති තරඟයේදී කඩුලු 6ක පහසු ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය.

තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 1ක් අවසානයෙස් සියළුදෙනා දැවී ලකුණු 77ක් රැස් කරගැනීමට සමත්විය.

අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 16යි පන්දු 2ක් අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී කඩුලු 6ක පහසු ජයග්‍රහණයක් ලැබීය.

ස්වීඩනයේදී යුපුන් පළමු තැනට.!

ශ්‍රී ලංකා ක්‍රිඩක යුපුන් අබේකෝන් ස්වීඩනයේ Stockholm හි පැවැත්වුණු Diamond League තරගාවලියේදී මීටර් 100 ඉසව්වෙන් පළමු ස්ථානය ලබාගැනීමට සමත් විය.

මීටර් 100 ඉසව්ව තත්පර 10.22ක කාලයක් සමඟින් යුපුන් අබේකෝන් තරගය නිමාකළ අතර මෙම කාලය ඔහුගේ පෞද්ගලික හොඳම තරග නිමි කාලවලට වඩා තරමක් පහතින් සටහන් වේ.

IPL කිරුළ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට.!

අද (26) දින පැවති 2024 IPL තරගාවලියේ අවසන් මහා තරගය ජයග්‍රහණය කිරීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත් විය.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 3ක් අවසානයේ සියලුම දෙනා දැවී ලකුණු 113ක් රැස්කර ගැනීමට සමත් විය.

අනතුරුව ලකුණු 114ක ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පන්දුවාර 10යි පන්දු 3ක් අවසානයේ කඩුලු 8ක් අතැතිව ජයග්‍රහණය කිරීමට සමත් විය.

අවසන් මහා තරගය අදයි.!

2024 ඉන්දියන් ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (26) දින රාත්‍රී 7.30ට චෙන්නායි හිදී ආරම්භ වීමට නියමිතව ඇත.

අවසන් මහා තරගය කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව ඇත.

කොල්කටා කණ්ඩායම තරග 14කට මුහුණ දෙමින් ඉන් තරග 09ක් ජයගෙන ඇති අතර සන්රයිසස් කණ්ඩායම තරග 14කට මුහුණ දී තරග 08ක් ජයගෙන ඇත.

ඇමරිකානු කණ්ඩායම බංගලීන් ඇකයට ගනී.!

සංචාරක බංගලදේශ ක්‍රිකට් කණ්ඩායම හා ඇමෙරිකා එක්සත් ජනපද කණ්ඩායම අතර පැවති පළමු 20-20 තරඟයෙන් කඩුලු පහකින් ජයග්‍රහණය කිරීමට ඇමෙරිකා කණ්ඩායමට හැකි විය.

තරඟයේ මුලින් පන්දුවට පහර දුන් බංගලි කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු හයක් දැවී ලබාගත්තේ ලකුණු 153ක් පමණි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇමරිකා කණ්ඩායම කඩුළු පහක් පමණක් දැවී පන්දු තුනක් ඉතිරිව තිබියදී ඉලක්කගත ලකුණු ප්‍රමාණය සපුරා ගත්තේය.

මෙම සිදුවීම සුවිශේෂී වනුයේ, පළමු වතාවට 20-20 ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගි වන ඇමරිකානු කණ්ඩායම ටෙස්ට් ක්‍රීඩා කරන රටක් වන බංග්ලදේශය පරදා ජයග්‍රහණය කිරීමයි.!