පාතාල කල්ලි නායක ගනේමුල්ල සංජීව ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී කොළඹ අපරාධ කොට්ඨාශයේ රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින ඉෂාරා සෙව්වන්දි වෙනුවෙන් උපන්දින සාදයක් පැවැත්වීමට සූදානම් කිරීමේ පුවතක් වාර්තා වේ.
පසුගිය (29) වැනිදාට උපන්දිනය යෙදී තිබී ඇති අතර ඒ වෙනුවෙන් කොළඹ දිසා අපරාධ කොට්ඨාසය තුළ කේක් කපා සැමරුමක් සූදානම් කර ඇති බවට කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසාට පෞද්ගලික ඔත්තුකරුවකුගෙන් තොරතුරක් ලැබී ඇත.
අනතුරුව එම කොට්ඨාසයේ බුද්ධි අංශ නිලධාරියෙකුගෙන් තහවුරු කරගැනීමෙන් පසුව එහි ස්ථානාධිපතිවරයාට දුරකථන ඇමතුමක් ගෙන එම ක්‍රියාව වහාම නවත්වන්නැයි නියෝජ්‍ය පොලිස්පතිවරයා දැඩිව පවසා ඇත.
පසුව කොළඹ මධ්‍යම කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහේෂ් කුමාරසිංහ කොළඹ දිසා අපරාධ කොට්ඨාසයට යවා ඒ පිළිබඳ සොයාබලන ලෙස උපදෙස් ලබාදී ක්ෂණිකව නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසාද එම ස්ථානයට ගොස් ඇත.
එහිදී සිදුකළ සොයා බැලීමේදී ඉෂාරා සෙව්වන්දිගේ සොහොයුරා කේක් ගෙඩියක් ගෙනැවිත් ඇති අතර උපන්දින සැමරුමට සෙව්වන්දිගේ ලොකු අම්මා හා ඇයගේ පුත්‍රයාද කොළඹ දිසා අපරාධ කොට්ඨාසයට පැමිණ ඇති බව අනාවරණය වී ඇත.
අනතුරුව ඉෂාරා සෙව්වන්දි, ඇය රඳවා සිටින සිර කුටියෙන් පිටතට ගෙන ඒ අසල වූ ස්ථානයක කේක් ගෙඩිය කැපීමට සියල්ල සූදානම් කර තිබී ඇති බවත් ඒ සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා අවසර ලබාදී ඇති බවද මෙතෙක් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.
කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා, “කේක් එක කපලා ෆොටෝ ගන්න එපා. පස්සේ ඔවා ඉන්ටර්නේට් එකේ යයි” යනුවෙන් පවසා ඇති බවද සඳහන් වේ.
කේක් ගෙඩිය රැගෙන ඒම සම්බන්ධයෙන් ඉෂාරා සෙව්වන්දිගේ සහෝදරයා සමග අදාළ ස්ථානාධිපතිවරයා දුරකථනය ඔස්සේ කතාබහ කර ඇති බවත් කලක සිට ඔවුන් දෙදෙනා දුරකථනය ඔස්සේ කතාබහ කර ඇති බවද විමර්ශනවලදී අනාවරණ වී ඇත.
ඉෂාරා සෙව්වන්දිගේ සොහොයුරා, ඇයගේ ලොකු අම්මා හා ඇයගේ පුත්‍රයාගෙන් මෙන්ම අදාළ සිදුවීම සිදුවන අවස්ථාවේ රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන්ගෙන් ඇතුළුව 15 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ ලබාගෙන ඇති බව වාර්තා වේ.
මේ අතර කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් සිදුකරන ලෙස පොලිස් විශේෂ විමර්ශන ඒකකයට කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් ලිඛිතව දැනුම්දී ඇත.

