සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ගණේමුල්ලේ සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ ප්‍රධාන සැකකාරියක ලෙස නම් කර සිටින ඉෂාරා සෙව්වන්දිගේ නමින් ඇති තවත් බැංකු ගිණුම් කිහිපයක් අනාවරණය කරගෙන ඇති බව කොළඹ අපරාධ කොට්ඨාසය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම හමුවේ සඳහන් කරයි.
ගණේමුල්ලේ සංජීව කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණ විත්ති කූඩුවේදී වෙඩි තබා ඝාතනය කිරීමට අදාළ පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී වැඩිදුර විමර්ශන වාර්තාවක් ඉදිරිපත් කරමින් කොළඹ අපරාධ කොට්ඨාසය මෙම කරුණු ඉදිරිපත් කළේය.
අනාවරණය කරගත් නව බැංකු ගිණුම් සම්බන්ධයෙන් අදාල බැංකු මගින් වාර්තා කැඳවා විමර්ශනය කිරීමට අවසර ලබාදෙන ලෙසද කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
මෙම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී බන්ධනාගාරගත සැකකරුවන් පස් දෙනෙකු සූම් තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කළේය.

