වහාම පාර්ලිමේන්තුව කැඳවන්න අගමැතිනියට නාමල්ගෙන් ලිපියක්.!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් ආපදාවන්ට ලක් වූ ජනතාවට සහන සැලසීමේ අරමුණින් හා අවශ්‍ය සුදුසු ක්‍රියාමාර්ග ගැනීමේ අරමුණින් මහජන නියෝජිතයාගේ වගකීම ඉටුකිරීමට, පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අංක 16 යටතේ පාර්ලිමේන්තුව කැඳවන මෙන් අග්‍රාමාත්‍ය ආචාර්‍ය හරිනි අමරසූරිය මැතිනිය වෙත ලිපියක් ඉදිරිපත් කරමින් ඉල්ලීමක් කර ඇත.

නාමල් රාජපක්ෂ මහතා එම ලිපිය මගින් වැඩිදුරටත් දක්වා ඇත්තේ පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණික තත්ත්වයෙන් රටේ දිස්ත්‍රික්ක ගණනාවක විශාල පිරිසකගේ ජීවිත මෙන්ම දේපල හානි ද සිදු වූ බවයි.

මෙයින් ජන ජීවිතවලට මෙන්ම රටේ ආර්ථිකයට ද බරපතළ හානි සිදු වූ අතර එය අදටත් නිශ්චිතව ගණනය කළ නොහැකි බවද අදාළ ලිපියේ දැක් වේ.

එමෙන්ම මෙවැනි ව්‍යසනකාරී අවස්ථාවක මහජන නියෝජිතයින් වශයෙන් ඉතා ඉක්මනින් වගකීම් සහගතව මැදිහත් විය යුතු බවද ඔහු වැඩිදුරටත් එහි සඳහන් කර ඇත.

ජන ජීවිතය සෑම අංශයකින්ම යථා තත්ත්වයට පත්කිරීම සඳහා ආණ්ඩුව මීට වඩා විධිමත්ව මැදිහත් විය යුතු බව ද එහි සඳහන් වේ.

10 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments