අගමැති හරිනිගෙන් දරුවන්ට පණිවුඩයක්.!

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය යටතේ පළමු වසරට ඇතුළත්වන සියළු දරුවන්ට, අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කර ඇත.

කිසිදු දරුවකුගේ අධ්‍යාපනය තම දෙමාපියන්ගේ ආර්ථිකය මත තීරණය නොවිය යුතු බවත් කිසිඳු දරුවෙකු අධ්‍යාපනයෙන් පිටමං නොවිය යුතු බවත් රජයේ විශ්වාසය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළාය.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සුබ පැතුම් පණිවුඩය පහතින්..

“පාසල් යන මුල්ම දවස ආදරණීය දූ දරුවන්ගේ ජීවිතයේ සුන්දර සිහිවටනයක් ලෙසින් සනිටුහන් වනු දැකීම අප පැතුමයි. ඒ අරමුණ මල්ඵල ගන්වනු වස් සතුටින්, විනෝදයෙන් හා අර්ථවත් ව පාසල් සමය නිදහසේ ගත කිරීමට හැකි වන පරිදි පාසල් පරිශ්‍රය හා ඉගෙනුම් – ඉගැන්වීම් ක්‍රියාවලිය වඩාත් ඵලදායි කිරීමට අපි මහත් පරිශ්‍රමයක් දරන්නෙමු.

ඔබ ඔසවාගෙන ආ යුතු පොත් බෑගයේ බර අඩු කරන්නට අප උත්සුක වන්නේ, ඔබට ලබා ගැනීමට සලස් වන දැනුමේ හා ආකල්පවල මෙන් ම කුසලතාවන්ගේ කිසිදු අඩුවකින් තොර ව ඉතා පරිපූර්ණ ව හා ඉදිරි වැඩ ලෝකයට ගැළපෙන අයුරිනි.

දයාබර දෙමාපියනි, ඔබේ දරුවාට පොහොසත් රටක් තුළ පොහොසත් අධ්‍යාපනයක් ළඟා කර දීම අපේ අරමුණයි. කිසිදු දරුවකුගේ අධ්‍යාපනය තම දෙමාපියන්ගේ ආර්ථිකය මත තීරණය නොවිය යුතු බවත්, කිසිඳු දරුවෙකු අධ්‍යාපනයෙන් පිටමං නොවිය යුතු බවත් අපගේ විශ්වාසයයි.

ඒ අනුව සෑම දරුවෙකුට ම සම අධ්‍යාපන අයිතිය තහවුරු කිරීමට අවශ්‍ය සියලු කටයුතු රජයක් වශයෙන් ස්ථාපිත කිරීමේ වගකීම අප භාරගෙන තිබේ. අපගේ ඒ අවංක උත්සාහය මුදුන් පමුණුවා ගැනීමට සියලු දෙනාගේ ඵලදායි අදහස් – උදහස් ඉතා වැදගත් කොට සලකමු.

නම්‍යශීලි සුහද පිළිවෙතකින් එම සාධනීය මඟ පෙන්වීම හා අදහස භාරගෙන දුවන – පනින හැදෙන – වැඩෙන ඔබේ දු දරුවන්ගේ අත්දැකීම් වඩාත් ප්‍රායෝගික හා අරුත්බර කර ගනිමින් පන්ති කාමරයේ සතුටින් රඳවා ගැනීමේ වගකීම අප භාරගෙන තිබේ.

ආදරණීය දුවේ පුතේ, මව් ඇකයෙන් මිදී ගුරු දෙමාපියන් වෙත පා තබන ඔබගේ ඉදිරි අනාගතය සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා’ යි මම ප්‍රාර්ථනා කරමි.”

2 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments