Out of the box (Sinhala)

බංකොලොත් රටක නිදහස් සැමරුමක අසිරිය.. පානීය ජලය සඳහා ලක්ෂ 86යි.!

බංකොලොත් රටක නිදහස් සැමරුමක අසිරිය.. පානීය ජලය සඳහා ලක්ෂ 86යි.!

අල්ලස, දූෂණයට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති කාමන්ත තුෂාර මහතා විසින් රනිල් වික්‍රමසිංහ පාලන සමයේ 75 සහ 76 වන නිදහස් දින සැමරුම් අතරතුර සිදුකර ඇති අති විශාල මහජන මුදල් නාස්තියක් මෙන්ම දූෂණයන් රැසක් සම්බන්ධයෙන් කරුණු අනාවරණය කරයි.

තොරතුරු දැනගැනීමේ පනත ප්‍රකාරව ලබාගත් වියදම් වාර්තා උපුටා දක්වමින් ඔහු අනාවරණය කළ තොරතුරු මෙසේය.

75 වන නිදහස් දින සැමරුම සඳහා සිංහ කොඩි මිලදී ගැනීමට රුපියල් ලක්ෂ දාහතරකට අධික මුදලක් වියදම් කර ඇති අතර වසරකට පසු නැවත 76 වන නිදහස් දින සැමරුමේදී සිංහ කොඩි මිලදී ගැනීම සඳහා ලක්ෂ විසි හතරකට අධික මුදලක් වියදම් කර ඇත.

75 වන නිදහස් උත්සවයේ සංග්‍රහ කටයුතු සඳහා ලක්ෂ විස්සකට වැඩි මුදලක් වියදම් කර ඇති අතර 76 වන නිදහස් උත්සවයේ සංග්‍රහ කටයුතු සඳහා ලක්ෂ හතලිහකට අධික මුදලක් යොදවා ඇත.

75 වන නිදහස් උත්සවයේ විදුලිය සඳහා ලක්ෂ දෙසීයකට අධික මුදලක්ද 76 වන නිදහස් උත්සවයේ ලක්ෂ හාරසියයකට අධික මුදලක් වියදම් කර ඇත.

75 වන නිදහස් උත්සවයේ නවාතැන් පහසුකම සඳහා ලක්ෂ දොලහකට අධික මුදලක්ද 76 වන නිදහස් උත්සවයේ ලක්ෂ විසිපහකට අධික මුදලක්ද යොදවා ඇත.

75 වන නිදහස් උත්සවයේ පානීය ජලය සඳහා ලක්ෂ හතලිස්තුනකට අධික මුදලක්ද 76 වන නිදහස් උත්සවයේ ලක්ෂ අසූහයකට අධික මුදලක්ද යොදවා ඇත.

75 වන නිදහස් උත්සවයේ අකුණු සන්නායක සඳහා ලක්ෂ තුනකට අධික මුදලක්ද 76 වන නිදහස් උත්සවයේ ලක්ෂ හයකට අධික මුදලක්ද යොදවා ඇත.

75 වන නිදහස් උත්සවයේ ඩී.එස් සේනානායක පිළිරුවේ මල් බඳුන සඳහා හතලිස් දහසක් අධික මුදලක්ද 76 වන නිදහස් උත්සවයේ සූදහසකට අධික මුදලක්ද යොදවා ඇත.

75 වන නිදහස් උත්සවයේ ජංගම වැසිකිලි සඳහා ලක්ෂ එක්සිය හතලිහකට අධික මුදලක්ද, සනීප ආරක්ෂක කටයුතු සඳහා ලක්ෂ හතකට අධික මුදලක්ද යොදවා ඇත.

ඒ අනුව 75 වන සහ 76වන නිදහස් උත්සව දෙකේ වැසිකිලි අවශ්‍යතාව වෙනුවෙන් ලක්ෂ තුන්සීයකට අධික මුදලක් වැය කර ඇති බව කාමන්ත තුෂාර මහතා වැඩිදුරටත් පැවසීය.

ආලෝකකරණය අහෝසියි අලංකරණය පමණයි.!

ආලෝකකරණය අහෝසියි අලංකරණය පමණයි.!

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් ඉකුත් ජනවාරි මස චක්‍රලේඛයක් මගින් දැනුම්දී තිබුණේ, නිදහස් උළෙල වෙනුවෙන් පෙබරවාරි මස 01 දින සිට පෙබරවාරි 07 වන දින දක්වා පුරා සතියක කාලසීමාවක් රජයේ ආයතන පවත්වාගෙන යන සියලුම ගොඩනැගිලිවල ජාතික කොඩිය ඔසවා තබන ලෙසයි.

එමෙන්ම පෙබරවාරි 03 සහ 04 දිනවලදී එම ගොඩනැගිලි විදුලි ආලෝකයෙන් අලංකරණය කරන ලෙසත් එම චක්‍රලේඛය මගින් උපදෙස් ලබා දී තිබුණි.

කෙසේවෙතත් එම නිකුත්කර තිබූ 01/2025 චක්‍රලේඛයේ ඇතැම් කරණු ක්‍රියාත්මක නොකර ලෙස නැවත නිවේදනයක් රාජ්‍ය ආයතන වෙත යොමුකර ඇත.

කෙසේ වෙතත් විදුලිය අරපිරිමැස්ම හා විදුලි අලංකරණය සඳහා වැයවන පිරිවැය සම්බන්ධයෙන් ඉදිරිපත් වූ අදහස්, යෝජනා සහ නියෝජනයන් සැලකිල්ලට ගෙන එම චක්‍රලේඛයේ ගොඩනැගිලි විදුලි ආලෝකයෙන් අලංකරණය යන කරුණ අවලංගු කිරීමට රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර ඇත.

පාස්කු ප්‍රහාරය ගැන සිකුරු අනාවැකියක් කාදිනල් හිමි ස්ථිර කරයි.!

පාස්කු ප්‍රහාරය ගැන සිකුරු අනාවැකියක් කාදිනල් හිමි ස්ථිර කරයි.!

මීගමුව කුරණ සාන්ත ආනා දේවස්ථානයේ නව දහම් පාසල් ගොඩනැඟිල්ල විවෘත කිරීම සඳහා පැවැති උත්සවයට සහභාගී වෙමින් කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමියන් පැවසූයේ පාස්කු ඉරුදින එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය සිදු කිරීම පිටුපස ක්‍රියාත්මක වූ යාන්ත්‍රණය සහ එහි සත්‍ය තොරතුරු සිකුරු ලෙසම තව ටික දිනකින් හෙළිදරව් වන බවයි.

උන්වහන්සේ පවසන්නේ තමන්ට බලය ලබා ගැනීම සහ එය පවත්වාගෙන යෑම සඳහා නායකයන් කොයිතරම් දූෂිත, අප්‍රසන්න හා විනාශකාරී දේවල් සිදු කළාද කියා දැන් හෙළිදරව් වෙමින් තිබෙන බවයි.

“ඒ ගොල්ලන් සත්‍යය කොතරම් සඟවන්නට යට ගහන්නට උත්සාහ කළත් පාස්කු ප්‍රහාරය පිටුපස ක්‍රියාත්මක වූ යාන්ත්‍රණය සහ එහි සත්‍යය තව ටික කලකින් හෙළිදරව් වෙනවා සිකුරුයි”

කෝපයන් විපක්ෂය හැලෙයි.. ආණ්ඩුව තනි තීරණයක.!

කෝපයන් විපක්ෂය හැලෙයි.. ආණ්ඩුව තනි තීරණයක.!

කෝප් කමිටුවේ සභාපති ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත සමරවීර මහතා පවසන්නේ අභිනවයෙන් පත් වූ පොදු ව්‍යාපාර කාරක සභාවට (කෝප්) පළමු වටයේදී රාජ්‍ය ආයතන තුනක ප්‍රධානීන් කැඳවීමට නියමිත බවයි.

ඒ අනුව ජාතික තරුණ සේවා සභාවේ, ඖෂධ නියාමන අධිකාරියේ හා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරීන් මෙම සතියේදී කැඳවීමට නියමිත බවත් මේ වනවිට එම රාජ්‍ය ආයතන තුනේ ක්‍රියාකාරිත්වය මෙන්ම ආසන්න ප්‍රගතිය ගැන නිරීක්ෂණය කරමින් සිටින බවත් මන්ත්‍රීවරයා පවසයි.

රාජ්‍ය සංස්ථාවල සහ යම් ලිඛිත නීතියක් යටතේ ආණ්ඩුවට පැවරී ඇති වෙනත් ව්‍යාපාරවල ගිණුම් සහ ඒ ගිණුම් පිළිබඳ විගණකාධිපතිවරයාගේ වාර්තා පරීක්ෂා කිරීම පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවෙන් සිදුවේ.

කෙසේවෙතත් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) සාධාරණ නියෝජනයක් ලබා දෙන තෙක් එහි නියෝජනය සඳහා විපක්ෂයෙන් මන්ත්‍රිවරුන්ගේ නම් ඉදිරිපත් නොකිරීමට තීරණයක් ගෙන ඇති බව සමගි ජනබලවේගය පසුගිය දා ප්‍රකාශ කළේය.

සාමාජිකයන් 31 දෙනෙකුගේ සංයුතියෙන් යුත් පොදු ව්‍යාපාර කාරක සභාවේ විපක්ෂයට සාමාජිකයන් 12 දෙනකුගේ නියෝජනයක් ඉල්ලා සිටියත් එය හත් දෙනෙකුට සීමා කිරීම නිසා නාම ලේඛනයක් නොයැවූ බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රි නලින් බණ්ඩාර පැවසීය.

විපක්ෂයට පොදු ව්‍යාපාර කාරක සභාවේ සාධාරණ නියෝජනයක්දී තිබියදීත් ඔවුන් ඊට සහභාගි නොවන්නේ නම් ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන්ගේ සහභාගීත්වයෙන් එම කටයුතු කරගෙන යෑමට සභාපතිවරයා හැටියට තමා සූදානම් බවද පාර්ලිමේන්තු මන්ත්‍රි නිශාන්ත සමරවීර මහතා පැවසීය.

බඹසර තපස් වැඩු ඩලස් අනුරගේ පතිවත විමසයි.!

බඹසර තපස් වැඩු ඩලස් අනුරගේ පතිවත විමසයි.!

හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් ප්‍රශ්න 6කින් යුතු ලිපියක් හරහා ආණ්ඩුවෙන් මිමසීමක් කර ඇත.

බහාලුම් 323 න් පලුදු වී ඇති ආණ්ඩුවේ පතිවත රැක ගැනීම.

නෛතිකව සහ නිවැරදිව නිෂ්කාශනය නොවූ බහාලුම්, (Containers) 323 ක් සඟවා ගත් වංචනික අරමුණකින් වරායෙන් පිටමං කොට ඇතැයි මහජන වේදිකාවේ මතුව ඇති චෝදනාවෙන් ආණ්ඩුවේ දේශපාලන සෞඛ්‍යය, බරපතළ ලෙස ඔත්පල කරවා තිබේ. එමනිසා, රේගු අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ මාධ්‍ය නිවේදනයකින් හෝ දේශපාලනඥයෙකුගේ voice cut පිළිතුරකින් එය සරලව නීරෝගී කළ නොහැකි බව ආණ්ඩුවේ පුරෝහිතයන් තේරුම් ගත යුතුව ඇත.

ඉතිහාසය පුරා, මෙය මේ ආකාරයෙන්ම කිහිප වතාවක් සිදුවූ බව පැවසීම ද වත්මන් “පුනරුද ආණ්ඩුවේ” පතිවත කෙළසා ගැනීමකි. ඉතිහාසේ පළමු වතාවට රේගු අධ්‍යක්ෂකවරයෙක් ජනාධිපති ලේකම්වරයා බවට පත් වී ඇති පසුබිමක, මෙහි දේශපාලන අවදානමට ලැබෙන්නේ ද “රතු අගයකි”. එමෙන්ම, අදූෂිත නිලධාරියෙක් ලෙස දෙපාර්තමේන්තු ඉතිහාසයක් ඇති ඔහුගේ හෘද සාක්ෂිය ද මේ සම්බන්ධයෙන් පරිලෝකනය විය යුතුය.

ඒ අනුව, එල්ල වී ඇති විෂමාචාරය හෝ අපයෝජනය පිළිබඳ බරපතළ චෝදනාවෙන් ළදරු ආණ්ඩුව බේරා ගැනීමට නම්, ආණ්ඩු ප්‍රධානීන් පහත ප්‍රශ්න හයට (06) වගකීම් සහගතව පිළිතුරු සපයනු ඇති බව අපගේ විශ්වාසයයි.

1, මෙම බහාලුම් 323 ආනයනය කරනු ලැබූ ආයතන හෝ පුද්ගලයන් කවුරුන් ද?

2, බහාලුම් හි අඩංගු ද්‍රව්‍ය පිළිබඳව ආනයනකරුවන් ඉදිරිපත් කළ ලේඛන (Cusdec Papers) සහ අනෙකුත් ලිය කියවිලි අනුව, ආනයනය කර ඇති භාණ්ඩ මොනවාද?

3, කුමන විදේශීය රටක සිට මෙම බහාලුම් ආනයනයකර ඇත්ද..සහ අදාල ඇනවුම් ලබා දී ඇති දින වකවානු කවරේද..?

4, අදාල ආනයනකරුවන් විසින් මෙම බහාලුම් නිෂ්කාශනය සඳහා නම් කර තිබූ වාප්පු ලිපිකරුවන් (Wharf Clerk) කවුරුන්ද..?

5, පරීක්ෂාවකින් තොරව මෙම බහාලුම් පිටමං කිරීම සඳහා ලිඛිතව අවසර දුන් රේගු නිලධාරීන් කවුද.? හෝ අධ්‍යක්ෂක ජනරාල්වරයා පවසන ආකාරයට මෙම බහාලුම් පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීම සඳහා අවසර දුන් පරීක්ෂක මණ්ඩලයක් , (Expert Panel) වේ නම් එය සමන්විත වූ නිලධාරීන් කවුද?

6, පැවසෙන පරිදි සියුම් තාක්ෂණික පරීක්ෂණයකින් (Scanning Process) අණතුරුව මේවා නිදහස් කළේ නම්, දෙපාර්තමේන්තුවේ ගෞරවය හා පාරදෘශ්‍ය භාවය වෙනුවෙන් එහි තාක්ෂණික පිටපත් ඉදිරිපත් නොකරන්නේ මන්ද?

විරුද්ධ පාර්ශවයන් විසින් මේ මත තබා ඇති වංචනික මුද්‍රාවෙන් ආණ්ඩුවේ දේශපාලනය CLEAN කරගත හැක්කේ බහාලුම් 323 සඳහා වෙන් වෙන්ව සහ වගකීම් සහගතව, ඉහත ප්‍රශ්න හයට පිළිතුරු සැපයීමෙන් විනා සුපුරුදු CID වන්දනාවෙන් හෝ නොමේරූ දේශපාලන ගෝරනාඩු වලින් නොවේ.

2019 වසරේදී මීට සමානව, පරීක්ෂාවකින් බැහැරවී රට තුළට පැමිණි බවට චූදිත බහාලුම් එකසිය දෙකක් (102) පිළිබඳව, වත්මන් ජනාධිපතිතුමන් එදා පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රීවරයකුු ලෙස මතුකළ ප්‍රශ්න (27/2) ද, අඳුරේදී කෙඳිරි ගාන ඇතැම් බලධාරීන්ට අත්වැලක් වේ යැයි විශ්වාසයෙන් මේ සමග උපුටා දක්වමි.

ඩලස් අලහප්පෙරුම

යෝෂිතගේ ආමරිය සීල්.!

යෝෂිතගේ ආමරිය සීල්.!

වත්මන් ආණ්ඩුව පත්වීමෙන් පසු ගත් තීරණයකට අනුව ජීවිත ආරක්ෂාව සඳහා බලපත්‍ර සහිතව විව්ධ පුද්ගලයන්ට ලබාදී ඇති ගිනිඅවි පිළිබඳ සමාලෝචනය කිරීමෙන් පසු නැවත ලබාදීම සලකා බැලීමට යටත්ව ගිනිඅවි භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යංශය පසුගියදා දැනුම් දුන්නේය.

එහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ සතුව තිබූ පිස්තෝල ගිනිඅවි 7ක් සම්බන්ධයෙන් අනාවරණය විය.

එම අවි 7න් 5ක් මුල් අවස්ථාවේදීම භාරදී තිබූ නමුත් 2ක් බාර්දීමට කටයුතු කර තිබුනේ නැත.

කෙසේවෙතත් මේ වනවිට ඔහු සතුව තිබූ ඉතිරි ගිනිඅවි 2ත් භාරදී ඇති බව වාර්තා වෙයි.

ඓතිහාසික තීන්දුවක්.. 11ක් පෝරකයට.!

ඓතිහාසික තීන්දුවක්.. 11ක් පෝරකයට.!

2004 මැයි 29 වන දින ගලහගමදී වාද්දුව ෆොන්සුගේ බන්දුල ජයවර්ධන තිසේරා නමැති එවකට 23 වියේ පසු වූ අවිවාහක තරුණයාගේ ඝාතනය සම්බන්ධයෙන් බදුල්ල මහාධිකරණයේ විභාග වූ නඩුවේ විත්තිකරුවන් 11 දෙනෙකුට මහාධිකරණ විනිසුරු ප්‍රසන්න අල්විස් මහතා විසින් මරණ දඩුවම නියම කළේය.

චෝදනා 11ක් යටතේ විත්තිකරුවන් 13ට විරුද්ධව මෙම නඩුව පවරා තිබූ අතර පළමුවැනි විත්තිකරු වූ සේනක රංජිත් ප්‍රේමරත්න නමැත්තා නිදොස් කොට නිදහස් කිරීමට ද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.

නඩුවේ 7 වැනි විත්තිකරු වූ ආර්.පී.කේ පතිරණ නමැත්තා නඩු විභාගය අතරතුර මිය ගොස් ඇති බවද 12 වැනි විත්තිකරු වූ රුක්මන් ඉන්දික නමැත්තා විදේශගත වී සිටින බව ද නඩු විභාගයේ දී අනාවරණය විය.

රෝහන ජගත්, ගයාන් චමින් ද, පී.ඒ. නන්ද කුමාර, අසංක සෙනෙවිරත්න, සුනෙත් සජීව රූපසිංහ, ඩබ්ලිව්. සමන්ත, ඩබ්ලිව්. ඒ.පී.බණ්ඩාර, පී.හේමන්ත කමලසිරි, දිනේෂ් මංජුල, රුක්මන් ඉන්දික (විදේශගතව,) මංජුල රත්නායක යන චූදිතයන් සඳහා මරණ දඩුවම හිමි වූහ.

මරණකරුගේ හිසට සිදු වූ බරපතල තුවාල හේතුවෙන් මරණය සිදුවී ඇති බව අධිකරණ විශේෂඥ වෛද්‍ය ප්‍රියලාල් විජේරත්න මහතා විසින් ඉදිරිපත් කළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවෙන් පෙන්වා දී තිබිණි.

වසර 20 කට අධික කාලයක් විභාග වූ මෙම නඩුවේ ගොනු පිටු 75කින් සමන්විත වූ අතර රජයේ අධිනීතිඥ චිරස්ති සෙනෙවිරත්න මෙනෙවිය පැමිණිල්ල මෙහෙයවිය.

උතුර මිතුරු කරන ඓතිහාසික තීන්දු වැලක්.!

උතුර මිතුරු කරන ඓතිහාසික තීන්දු වැලක්.!

යාපනය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගී වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසූවේ උතුරේ ඉඩම් ගැටලුව සමාලෝචනය කර ජනතාවට එම ඉඩම් නැවත ලබා දීමට පියවර ගන්නා බවයි.

සංවර්ධන හෝ ආරක්ෂක හේතූන් මත රටේ ඕනෑම භූමියක් රජයට පවරා ගත හැකි‍යාව පෙන්වා දෙමින් ජනාධිපතිවරයා පැවසූවේ එම ඉඩම් වෙනුවට ජනතාවට අනිවාර්යයෙන් වෙනත් ඉඩම් ලබා දිය යුතු බවයි.

ජනපතිවරයාට අයත් යාපනය ජනාධිපති මන්දිරය යාපනයේ ජනතාවට වඩා වැදගත් ව්‍යාපෘතියක් සඳහා සම්පූර්ණයෙන් නිදහස් කිරීමට එහිදී ජනපතිවරයා උපදෙස් ලබා දුන්නේය.

අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පත් කළ කමිටුව විසින් රාජ්‍ය ආයතන පවත්වා ගෙන යාම සඳහා 30,000ක පමණ පුරප්පාඩු පවතින බව හඳුනා ගෙන ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා බඳවා ගැනීමේ පටිපාටියට අනුව එම පුරප්පාඩු පිරවීමට කටයුතු කරන බවත් එහිදී උපාධිධාරීන්ට ද එම අවස්ථා හිමි වන බවත් සඳහන් කළේය. 

ඒ අතරින් පොලිස් දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු සඳහා දෙමළ භාෂාව කතා කරන තරුණ තරුණයන් සඳහා වැඩි අවස්ථාවක් ලබා දෙන බවත් ඊට ඉදිරිපත් වීමට ඔවුන් උනන්දු කරන ලෙසත් ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.   

උතුරු පළාතේ ප්‍රවාහන පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා ශක්තිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමටද වත්මන් රජය සැලසුම් කර ඇති බවත් ඒ අනුව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය හා පෞද්ගලික බස් ඒකාබද්ධ ධාවන ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැලසුම් කිරීමත්, උතුරු පළාතේ දුම්රිය සේවාව ද සංඛ්‍යාත්මකව වැඩි කිරීමටත් මෙහිදී අවධානය යොමුව තිබේ.

උතුරු පළාතේ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා පරන්තන්, මාන්කුලම් සහ කන්කසන්තුරේ ප්‍රදේශවල නව කර්මාන්ත කලාප තුනක් ඇති කිරීමට අවධානය යොමු වී තිබෙන බවද ඒ සඳහා ආයෝජනය කිරීමට යුද්ධය හේතුවෙන් මෙරටින් පිටව ගිය ශ්‍රී ලාංකිකයින්ට ආරාධනා කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

උතුරු පළාත විශේෂ කොට සලකමින් සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීමට රජය අවධානය යොමු කර තිබෙන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ලබන වසරේ ලක්ෂ 25ක පමණ සංචාරකයින් මෙරට සංචාරය කරනු ඇති බවට බලාපොරොත්තු වන බැවින් සංචාරකයින් ආකර්ෂණය කළ හැකි උතුරු පළාතේ නව සංචාරක ස්ථාන හඳුනා ගෙන ඒවා ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා අනාවරණය කළේය. 

උතුරු පළාතේ රාජ්‍ය සේවාවේ නව බඳවා ගැනීම් දේශපාලන අධිකාරියේ මැදිහත්වීමකින් තොරව පියවීමට කටයුතු කරන බවත්, රාජ්‍ය සේවාව උතුරේ තවදුරටත් ශක්තිමත් කිරීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා පැවසුවේය. 

එසේම ධීවර ගැටළුව නිරාකරණය කර ගැනීම සඳහා රාජතාන්ත්‍රික වශයෙන් උපරිමයෙන් මැදිහත්වන බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය. 

තවද මෙරට පානීය නළ ජලය අවම වශයෙන් භාවිතා කරන පළාත වශයෙන් උතුරු පළාත හඳුනා ගෙන ඇති බවත් මේ වන විට ආරම්භ කර ඇති ජල ව්‍යාපෘති කඩිනම් කිරීමට කටයුතු කරන බවත් සඳහන් කළ ජනාධිපතිවරයා නව ජල ව්‍යාපෘති සඳහා මෙවර අයවැයෙන් මුදල් වෙන කරන බවද පැවසීය. 

උතුරේ ජනතාවගේ විශාල ගැටලු ප්‍රමාණයක් ඇති බව පිළිගන්නා බව පැවසූ ජනාධිපතිවරයා උතුරේ අධ්‍යාපනය, සෞඛ්‍ය, ප්‍රවාහනය, කෘෂි කර්මාන්තය ඇතුළු සමස්ත රාජ්‍ය සේවාව තවදුරටත් ශක්තිමත් කිරීම කෙරෙහි විශේෂ අවධානය යොමු කරන බවද සඳහන් කළේය. 

එමෙන්ම ජනතාවගේ ජීවන තත්ත්වය නඟා සිටුවීමට දේශපාලන අධිකාරියත් රාජ්‍ය යාන්ත්‍රණයත් සහයෝගයෙන් කටයුතු කළ යුතු බව ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.  

යාපනය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක, ජාතික ජන බලවේගයේ  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඉලංකුමාරන් කරුණානන්දන්, ආචාර්ය සරවනබවානන්දන් ෂන්මුගනාදන්, රජිවන් ජෙයචන්ද්‍රමූර්ති, ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීධරන්, සමස්ත ලංකා ද්‍රවිඩ සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්, සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා යන මහත්වරුන් ද, උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායගම්, උතුරු පළාත් ප්‍රධාන ලේකම් එල්. ඉලංගෝවන්, යාපනය දිස්ත්‍රික් ලේකම් එම්. ප්‍රදීපන් යන මහත්වරු, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සහ  උතුරු ප්‍රදේශය භාර ත්‍රිවිධ හමුදා නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරිහු මෙම අවස්ථාවට එක්ව සිටියහ. 

මහින්දගේ සැලුන් දොර ලඟ දිගු පෝලිමක්.!

මහින්දගේ සැලුන් දොර ලඟ දිගු පෝලිමක්.!

පොහොට්ටුවෙන් ඉවත්ව ගිය තවත් කණ්ඩායමක් ප්‍රබල දේශපාලන තීන්දුවක් ගැනීමට ලබන සතියේ සඳුදා (පෙබ. 3) පොහොට්ටුවේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුවීමට නියමිත බව වාර්තා වේ.

දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ මෙම විශේෂ හමුවද හිටපු ජනාධිපතිවරයාගේ ආරාධනයෙන් ඒ මහතාගේ නිල නිවසේදී පැවැත්වෙනු ඇති බවයි.

පොහොට්ටුවෙන් ඉවත්ව ගොස් නොයෙකුත් දේශපාලන පක්ෂ සමඟ එක්ව කටයුතු කරමින් සිටිනා පිරිස් මෙලෙස කණ්ඩායම් වශයෙන් ගෙන්වා නැවත සවිධානයවීම සඳහා මෙම සාකච්ඡා පවත්වන බව වාර්තා වේ.

මෙහි ප්‍රථම වටයේ සාකච්ඡාව පසුගිය 27 වන දා ඉතා සාර්ථකව අවසන් වූ බවත් ඊට පොහොට්ටුවෙන් ඉවත්ව ගිය හිටපු මැති ඇමතිවරුන් 20කට අධික පිරිසක් සහභාගී වූ බවත් වාර්තා වේ.

දෙපාර්ශ්වයෙන් සිදුවූ අඩුපාඩු මඟහරවා ගනිමින් ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී එක කණ්ඩායමක් ලෙස තරග කිරීමේ අවශ්‍යතාව මෙම සුහද හමුවලදී සාකච්ඡා වේ.

රනිල් හිටපු කණ්ඩායමත් සමග අලුත් වැඩකට සැරසෙයි.!

රනිල් හිටපු කණ්ඩායමත් සමග අලුත් වැඩකට සැරසෙයි.!

කොළඹ පෞද්ගලික හෝටලයක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ඊයේ (30) දින පැවැති විශේෂ දේශපාලන සාකච්ඡාවේදී ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ පිළිබඳව වැඩි අවධානයක් යොමුකර ඇති බව වාර්තා වේ.

මෙම සාකච්ඡාවේදී එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේග පක්ෂය අතර පැවැත්වෙන සාකච්ඡා සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගෙන ඇති අතර වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කර ඇත.

තවද පාර්ලිමේන්තු කමිටු සදහා විපක්ෂයේ පිරිස් නම් නොකිරීම සම්බන්ධයෙන්ද එහිදි රැස්ව සිටි නියෝජිතයින් අදහස් දක්වා ඇති අතර සභාපති ධුර ඔවුන් භාරයේ තබා ගැනීම පිළිබඳවත් මෙහිදී දැඩි ලෙස සාකච්ජාවට ලක්ව ඇත.

මෙම සාකච්ඡාවට පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපතිවරයාට සහය පළ කළ දේශපාලන පක්ෂ නියෝජිතයින් මෙන්ම වෙනම තරග කළ පක්ෂවල නියෝජිතයින් ද මෙම සාකච්ඡාවට එක්වී ඇත.

සමගි ජන බලවේගය නියෝජනය කරන මනෝ ගනේෂන් සහ පී. දිගාම්බරම් යන මන්ත්‍රීවරුන් මෙම සාකච්ඡාවට සහභාගි වී ඇති අතර හිටපු කථානායක මහින්ද යාපා අබේවර්ධන, උදය ගම්මන්පිල, අනුර ප්‍රියදර්ශන යාපා, දුමින්ද දිසානායක, කංචන විජේසේකර, සාගල රත්නායක, වජිර අබේවර්ධන ද ඊට එක්වී ඇත.

We are happy to invite you.