මෙරට නාවික ඉතිහාසයේ ඓතිහාසික සන්ධිස්ථානයක්.!

ශ්‍රී ලංකා නාවික හමුදාව අද (09) දින මෙරට නාවික ඉතිහාසයේ ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් සහ නාවික හමුදාවේ 75 වන සංවත්සරය සමරමින්, අකුරේගොඩ පිහිටි ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේ අභිනව නාවික හමුදා මූලස්ථානය නිල වශයෙන් ස්ථාපනය කරනු ලැබීය.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් විචිත්‍රවත් උත්සවයක් පවත්වන ලද අතර, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූයේය.

එහිදී නාවික හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව, නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ විසින් නියෝජ්‍ය අමාත්‍යවරයා පිළිගත් අතර ඔහු වෙත හමුදා උත්තමාචාරයද පිරිනමන ලදි.

එහිදී අදහස් දැක් වූ නියෝජ්‍ය අමාත්‍යවරයා, මෙම අභිනව නාවික හමුදා මූලස්ථානය ආරක්ෂක නවීකරණයේ ප්‍රධාන පියවරක් වශයෙන් ඇගයීමට ලක් කළ අතර, ‘දිට්වා ‘ සුළි කුණාටුව හේතුවෙන් මෙරටට බලපෑ ආපදා තත්ත්වය තුළ සහ විශේෂයෙන්ම කලාඔය ප්‍රදේශයේ සිදුකල මුදා ගැනීමේ මෙහෙයුම්වල දී නාවික හමුදාවේ අප්‍රතිහත ධෛර්යය සහ වෘත්තීය නිපුණත්වය ප්‍රශංසාවට ලක් කළේය.

එසේම, මේ දක්වා නාවික හමුදාව විසින් සිදුකල මෙහෙයුම් වලදී සිය ජිවිත පරිත්‍යාගයෙන් ක්‍රියා කළ සහ තවමත් අතුරුදහන්ව සිටින සියලු නාවික හමුදා සාමාජිකයන් වෙත ඔහු සිය උපහාර පුද කලේය.

ආරක්ෂක මුලස්ථාන සංකීර්ණයේ පිහිටි මෙම නවීනතම මූලස්ථාන පරිශ්‍රය ඔස්සේ, වසර 75ක් පුරාවට ශ්‍රී ලංකා නාවික හමුදාවේ සිදු වූ අඛණ්ඩ පරිණාමය පිළිබිඹු කරමින් සම්බන්ධීකරණය ශක්තිමත් කරන අතරතුර එහි මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නංවනු ඇත.

0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments