මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ සමයේ ‘සිරිලිය සවිය’ නමින් පවත්වාගෙන ගිය ගිණුමේ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ශිරන්ති රාජපක්ෂ ඊයේ (27) දින පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙසට දැනුම් දී තිබුණේය.
එහෙත් පෞද්ගලික හේතූන් මත තමාට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටීමට නොහැකි බව ශිරන්ති රාජපක්ෂ නීතීඥයෙකු මාර්ගයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත ලිඛිතව දැනුම්දී ඇත.
තම පෞද්ගලික හේතුවක් මත පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත පැමිණීමට නොහැකි බවත් ඒ සඳහා සති දෙකකින් පසු දිනයක් ලබාදෙන ලෙසද ශිරන්ති රාජපක්ෂ ඉල්ලීමක් සිදුකර ඇත.
ශිරන්ති රාජපක්ෂ ඇතුළු තිදෙනෙකුගේ බද්ධ ගිණුමක් ලෙස රාජ්‍ය බැංකුවක සුදුවැල්ල ශාඛාවේ ‘සිරිලිය සවිය’ ගිණුම ආරම්භ කර ඇති අතර එම ගිණුම ආරම්භ කිරීමට ලිපිනය ලෙස ලබාදී ඇත්තේ “කාල්ටන් තංගල්ල” ලෙසයි.
මේ අතර රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයේ විමර්ශනයට අදාළවත් ‘සිරිලිය සවිය’ සඳහා බරපතළ චෝදනාවක් එල්ල විය.
වසීම් තාජුඩීන් ඝාතනයට අදාළව 2018 වසරේ සැප්තැම්බර් (20) වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තා කළේ, ‘සිරිලිය සවිය’ පදනමේ WP KA 0642 දරන ඩිෆෙන්ඩර් රථයක් තජූඩීන් පැහැරගෙන යාමට භාවිත කර ඇති බවයි.
කෙසේ වෙතත් 2019 වසරේ ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වීමෙන් පසුව එම විමර්ශන සිදුකළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර ඇතුළු සියලුම නිලධාරීන් මාරු කිරීමට කටයුතු කළේය.
අනතුරුව 2019.08.18 දින රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධ සියලුම පරීක්ෂණ නතර කරන ලෙසට නීතිපති දෙපාර්තමේන්තුව එවක සිටි වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දී තිබුණේය.
කෙසේ වෙතත් රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යළිත් පරීක්ෂණ ආරම්භ කර ඇත.

