පසුගියදා ශ්‍රී ලංකාවට දකුණින් වූ ගැඹුරු මුහුදේදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගනු ලැබූ රුපියල් කෝටි 450 ක් පමණ වටිනා හෙරොයින් කිලෝ 185 කට අධික ප්‍රමාණයත්, අයිස් කිලෝ 112 කට වැඩි ප්‍රමාණයත් දෙහිබාලේ නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට අයත් බව විමර්ශනවලින් හෙළිවී ඇත.
එහිදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ ධීවරයන් 11 දෙනක් සමග සන්නිවේදන උපකරණ වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත භාරදී ඇත.
නාවික හමුදා දිගුදුර මෙහෙයුම් බළ ඇණියට අයත් නෞකා සහ වෙරළ ආරක්ෂක බළකායේ නිලධාරීන් විසින් දින ගණනාවක් මුහුදේ ගතකර මෙම ට්‍රෝලර් යාත්‍රා දෙකෙන් එකක් මුලින් අත්අඩංගුවට ගෙන තිබුණේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය විසින් ලබාදුන් තොරතුරකට අනුවයි.
එහිදී උර 10 ක අසුරා හෙරොයින් කිලෝග්‍රෑම් 109 කට වැඩි ප්‍රමාණයක් සහ අයිස් කිලෝග්‍රෑම් 112 කට වැඩි ප්‍රමාණයක් තිබී ඇත.
පළමු යාත්‍රාව අත්අඩංගුවට ගැනීමෙන් පසු තවත් යාත්‍රාවක් පිළිබඳව නාවික හමුදාවට තොරතුරු ලැබී තිබූ අතර එම නිලධාරීන් ඒ යාත්‍රාව ද ලුහුබැඳ ගොස් අත්අඩංගුවට ගෙන තිබිණි.
එහි උර 4 ක තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 75 කට වැඩි ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගන්නා ලදී. මත්ද්‍රව්‍ය තොගය ශ්‍රී ලංකාවට රැගෙන එමින් සිටි සැකකරුවන් හය දෙනකු ද එහිදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන තිබිණි.
මෙම යාත්‍රා දෙක සහ මත්ද්‍රව්‍ය තොගය සමග සැකකරුවන් 11 දෙනා ඊයේ (25දා) උදෑසන දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන ඒමට නාවික හමුදාව කටයුතු කළේය. මෙම මත්ද්‍රව්‍ය තොගය දෙහි බාලේට අයත් බවට විමර්ශන අනුව හෙළිවී ඇති අතර මීට පෙරද ඔහු විසින් ගෙන්වන ලද බවට අනාවරණය වූ මත්ද්‍රව්‍ය අඩංගු බෝට්ටු කිහිපයක් ද පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය ලබාදුන් තොරතුරු අනුව නාවික හමුදාවේ මැදිහත්වීමෙන් අත්අඩංගුවට ගෙන තිබිණි. වෙනත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් රැගෙන එන මත්ද්‍රව්‍ය මුහුදේදී විවිධ කල්ලි යොදවා පැහැර ගන්නා බවද දෙහිබාලේ නමැත්තාට චෝදනා එල්ල වී ඇත.
දික්ඕවිට වරායට රැගෙන ආ මත්ද්‍රව්‍ය තොගය පරීක්ෂාව සඳහා ආරක්ෂක නියෝජ්‍ය ඇමැති විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ, මත්ද්‍රව්‍ය නාශක අංශයේ නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන යන මහත්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් දික්ඕවිට වරාය වෙත ඊයේ (25දා) උදෑසන පැමිණ සිටියහ.
දික්ඕවිට වරායට රැගෙන පැමිණි එක් බෝට්ටුවක් පසුගිය 12 වැනිදා කුඩාවැල්ල ප්‍රදේශයෙන් මුහුදුගොස් ඇති බවත් එම යාත්‍රාව තංගල්ල ප්‍රදේශයේ කාන්තාවකට අයත් බවත් අනාවරණය වී ඇත. එම යාත්‍රාව අම්බලන්ගොඩ සහ තංගල්ල, නාකුළුගමුව ප්‍රදේශවල පදිංචි අවුරුදු 20ත් 40ත් අතර වයසේ සැකකරුවන් බවද හෙළිවී ඇත.
අනෙක් ධීවර යාත්‍රාව මිරිස්ස ධීවර වරායෙන් පිටත්ව ගොස් ඇති බවත් එහි බේරුවල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 30ත් 50ත් අතර සැකකරුවන් සිටින බවත් හෙළි කරගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් ඊයේ කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ගැනීමට නියමිතව තිබුණි.
මෙම අවස්ථාවට සහභාගි වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්. යූ. වුට්ලර් මහාතා පැවැසුවේ, මෙම මහා පරිමාණ මත්ද්‍රව්‍ය වැටලීම මේ වසරේ සිදු කළ මුල්ම විශාල වැටලීම බවයි. මෙය ප්රවේශයකට ගෙන ඉදිරියේදී දැවැන්ත වැටලීම් රැසක් සිදු කිරීමට කටයුතු කරමින් සිටින බවද ඒ මහතා කියා සිටියේය.

