ගෝඨාභයගේ ආන්දෝලනාත්මක හඬපටයක් එළියට

2011 වසරේදී යාපනයේදී සිදුවු ලලිත් කුමාර් වීරරාජ් සහ කුගන් මුර්ගානන්දන් යන මානව හිමිකම් ක්‍රියාකාරින් දෙදෙනා අතුරුදන්වීම සම්බන්ධයෙන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වන නඩුවට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ සිට සාක්ෂි ලබාදුන්නේය.

ඒ අනුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ සිට යාපනය මහේස්ත්‍රාත් අධිකරණය වෙත මාර්ගගත ක්‍රමය ඔස්සේ සාක්ෂි ලබාදුන්නේය.

සක්ෂි දීමට පැමිණි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සාක්ෂි විභාගයේදී නැගූ ප්‍රශ්න රැසකට මම දන්නේ නෑ, මට මතක නෑ, මට අවබෝධයක් නෑ, යනුවෙන් පිළිතුරු ලබාදුන්නේය.

එහිදී නීතීඥ නුවන් බෝපගේ ගෝඨාභය රාජපක්ෂගෙන් ප්‍රශ්න කළේ,

“සාක්ෂිකරු පසුගිය අවස්තාවේදි සාක්ෂි ලබා දීමේදී කීත් නොයා පැහැර ගැනීම ගැන මම ප්‍රශ්න කළා. හිටපු ආරක්ෂක ලේකම් ලෙස අතුරුදන් වීම, පැහැරගැනීම් සිද්ධීන් සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, පොලිසිය වැනි ආයතන ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා කියලා ඔබ දන්නවා නේද.?”

ගෝඨාභය රාජපක්ෂ සඳහන් කළේ,

“පරීක්ෂණ පවත්වනවා ස්වාමීනි. ආරක්ෂක ලේකම් හැටියට මගේ වගකීම එම සිද්ධීන් සම්බන්ධයෙන් සොයා බලා ජාතික ආරක්ෂාව සහ ඒ සම්බන්ධව ප්‍රතිපත්තිමය තිරණ ගැනීමයි. පැහැරගැනීම් සම්බන්ධයෙන් සොයා බැලීමේ වගකීම පොලිස් නිලධාරීන් සහ විමර්ශන නිලධාරීන්ගේ වගකීම මිස මගේ වගකීම නොවෙයි.”

නීතීඥ නුවන් බෝපගේ

“ඔබ මේ ආකරයට පොලීසියේ ඉහළ නිලධාරීන්ට දැනුම් දීමෙන් පසුව මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් දොම්පේ පිහිටි යම් රහසිගත නිවසක රදවා තබා පසු අවස්ථාවක නිදහස් කල බව දන්නවා නේද.?”

ගෝඨාභය රාජපක්ෂ

“නෑ මම දන්නේ නෑ ඒ ගැන.”

නීතීඥ නුවන් බෝපගේ ප්‍රශ්න කළේ,

“ඔබට මාධ්‍යවේදි පෝද්දල ජයන්ත මතකද.?“

ගෝඨාභය රාජපක්ෂ සඳහන් කළේ,

“මම දන්නේ නෑ. හුගක් කාලෙකට කලින් වූ දේවල් නිසා මට අවබෝධයක් නෑ.”

නීතීඥ නුවන් බෝපගේ ප්‍රශ්න කළේ,

“ඔබ බන්දුල පද්මකුමාර කියන මාධ්‍යවේදියා දන්නවාද.?”

ගෝඨාභය රාජපක්ෂ සඳහන් කළේ,

“ඔව් දන්නවා.”

නීතීඥ නුවන් බෝපගේ ප්‍රශ්න කළේ,

“බන්දුල පද්මකුමාර සහ පෝද්දල ජයන්ත යන මාධ්‍යවේදීන් 2009 යම්කිසි දිනයක ආරක්ෂක අමාත්‍යාංශයට ඇවිත් ඔබව හමුවුණා කියලා ඔබට මතකද.?”

ගෝඨාභය රාජපක්ෂ සඳහන් කළේ,

“මට එහෙම සිද්ධියක් මතක නැහැ. 2009 කියන්නේ හුඟක් කල්. ආරක්ෂක අමාත්‍යංශයට මාව හමුවෙන්න ගොඩක් අය එනවා. ඉතින් මේ දෙන්නා ආවද කියලා මට මතක නැහැ.”

නීතීඥ නුවන් බෝපගේ ප්‍රශ්න කළේ,

“2015 නොවැම්බර් (08) සත්හඩ පුවත්පතට ඔබ සම්මුඛ සාකච්ඡාවක් දුන්නා නේද.? එය ඔබගේ ඡායාරූපයක් සමග පළවෙලා තියෙනවා.”

ගෝඨාභය රාජපක්ෂ සඳහන් කළේ,

“ස්වාමීනි, පත්තරේ නම් ඒක තියෙනවා. මම ඒක පිළිගන් නෑ. ඒක ගොඩක් පරණ එකක්. ඒක කොළයක් විතරයි.”

නීතීඥ නුවන් බෝපගේ ප්‍රශ්න කළේ,

“ආදාල පුවත් පත් සම්මූඛ සාකච්ඡාවේ හඬ පටයක් මාධ්‍යයට නිකුත් කර තිබූ බවට ඔබට මතකද.?”

ගෝඨාභය රාජපක්ෂ සඳහන් කළේ,

“මට මතක නෑ.”

අනතුරුව අදාළ හඬපටය විවෘත අධිකරණය හමුවේ සාක්ෂිකාර ගෝඨාභය රාජපක්ෂට ඇසීමට සැලැස්විය.

නීතීඥ නුවන් බෝපගේ ප්‍රශ්න කළේ,

“මේ හඬපටය අදාළ සම්මුඛ සාකච්ඡාවේ හඬ පටයක් නේද.?”

ගෝඨාභය රාජපක්ෂ සඳහන් කළේ,

“ස්වාමීනි, ඒ හඬපටයේ කිසි දෙයක් පැහැදිලි නෑ. මට එහි මොකක්ද කියන්නේ කියලා කියන්න බෑ. මගේ එකක් ද කියලත් කියන්න බෑ.”

නීතීඥ නුවන් බෝපගේ ප්‍රශ්න කළේ,

“2012 වසරේ පැහැරගෙන ගොස් අතුරුදහන් වීමේ සිද්ධියකට මුහුණ දුන් කුමාර ගුණරත්නම් යන අය පිළිබඳව අදාළ සම්මුඛ සාකච්ඡාවේදී ඔබගෙන් ප්‍රශ්න කරනවා නේද.?”

ගෝඨාභය රාජපක්ෂ සඳහන් කළේ,

“කිවුව කිසිම දෙයක් මට පැහැදිළිව ඇහුනේ නෑ.”

නීතීඥ නුවන් බෝපගේ ප්‍රශ්න කළේ,

“නැවත වතාවක් හඬපටය අහන්න අවශ්‍යද.?”

ගෝඨාභය රාජපක්ෂ සඳහන් කළේ,

“අහන්න පුළුවන්”

අනතුරුව නැවත වතාවක් අදාළ හඬපටය විවෘත අධිකරණය හමුවේ සාක්ෂිකාර ගෝඨාභය රාජපක්ෂට ඇසීමට සැලැස්විය.

නීතීඥ නුවන් බෝපගේ ප්‍රශ්න කළේ,

“සම්මුඛ සාකච්ඡාවේ ඔබ කුමාර ගුණරත්නම් කියන අය අත්අඩංගුවට ගන්න ජනතා විමුක්ති පෙරමුණෙන් තොරතුරු ලැබුණා කියලා කියනවා නේද.?”

ගෝඨාභය රාජපක්ෂ සඳහන් කළේ,

“මට හරියටම කියන්න පුළුවන්කමක් නෑ. ඒ වෙලේ අහපු ප්‍රශ්නෙකට මම උත්තර දීලා ඇත්තේ. මට ඒ පිළිබඳව සවිස්තරව කියන්න බෑ.”

නීතීඥ නුවන් බෝපගේ ප්‍රශ්න කළේ,

“ඔබ අදාළ සම්මුඛ සාකච්ඡාවේ දැන් මටත් අනුර කුමාරත් කතා කරනවා. අන්න අරහේ ඉන්නවා. මෙහේ ඉන්නවා. පිංතුර එවනවා. ලොකු උත්සාහයක් ගත්තා අනුර කුමාරත් කියල කියනවා නේද.?

ඒ වගේම කුමාර ගුණරත්නම් පැහැරගෙන ගොස් අතුරුදන් කළ පසුව ඔස්ට්‍රේලියා තානාපති කාර්යාලය මැදිහත්වෙලා ඔහුව නිදහස් කරගත්තා කියලා ඔබ දන්නවා නේද.?“

ගෝඨාභය රාජපක්ෂ සඳහන් කළේ,

“ස්වාමීනි, එහෙම සිද්ධියක් මට මතක නැහැ. මේක මගෙම ප්‍රකාශයක්ද කියලත් කියන්න බෑ.”

අනතුරුව සාක්ෂි සටහන් කරගැනීම අවසන් කළ අතර වැඩිදුර සාක්ෂි විමසීම 2027 වසරේ පෙබරවාරි (12) වැනිදා යළිත් සිදු කිරීමට නියමිතය.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel