ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය දියත් කිරීමෙන් අනතුරුව, ජනාධිපති අනුර කුමාර දිසානායක සහ බැංකු සහ මූල්‍ය ආයතන ප්‍රධානීන් අතර හමුවක්ද අද (06) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
මෙරට ඩිජිටල්කරණයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් අද ආරම්භ කෙරුණු ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට බැංකු සහ මූල්‍ය ආයතන වෙත පැවරී ඇති වගකීම මෙහිදී පැහැදිලි කළ ජනාධිපතිවරයා, එම ක්‍රමවේදය ජනතාවට වඩා පහසු සහ ආකර්ෂණීය ක්‍රමවේදයක් බවට පත් කර ගැනීමට මෙරට බැංකු පද්ධතියෙන් ලබා ගත හැකි සහාය පිළිබඳවද සාකච්ඡා කළේය.
වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී මතු වන බාධා ඉවත් කර ගනිමින් සමාජය තුළ එය වේගයෙන් ප්‍රචලිත කිරීමට ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.
මෙහිදී අදහස් දැක් වූ මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පෙන්වා දුන්නේ, ATM යන්ත්‍ර මගින් මුදල් ගනුදෙනු කිරීමේ සේවාව ලබා දීමේදී බැංකු පද්ධතියට විශාල පිරිවැයක් දැරීමට සිදු වන බවත්, නව ක්‍රමවේදය මගින් ගනුදෙනු කිරීමේදී ඇති වන පරිවර්තනයත් සමග එම පිරිවැය අවම කර ගැනීමට හැකියාව ලැබෙන බවත්ය.
එමෙන්ම, නව ක්‍රමවේදය මහජනතාවට වඩාත් කාර්යක්ෂම, විශ්වාසනීය සහ ආරක්ෂිත ක්‍රමවේදයක් වනු ඇති බවද මහබැංකු අධිපතිවරයා පෙන්වා දුන්නේය.
බැංකු ක්ෂේත්‍රය නියෝජනය කරමින්, ලංකා බැංකුවේ වැඩබලන ප්‍රධාන කළමනාකරු, ප්‍රධාන විධායක නිලධාරී වයි.ඒ. ජයතිලක අදහස් දක්වමින් සඳහන් කළේ ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ ගනුදෙනු කිරීමට ජනතාව දිරි ගැන්වීමේ වැඩසටහන් මේ වන විට ක්‍රියාවට නංවා තිබෙන බවයි.
රජය ආරම්භ කළ මෙම නව වැඩපිළිවෙළට බැංකු පද්ධතියේ උපරිම සහාය ලබා දෙමින් රට ඩිජිටල් ආර්ථිකයක් කරා ගෙන යන ගමනට සිය දායකත්වය ලබා දෙන බවද ඔහු සඳහන් කළේය.

