තරග පවාදීමේ චෝදනා මත, වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගත් ජැග්නා කින්ග් කණ්ඩායමේ සම හිමිකරු වන ඉන්දීය ජාතික මජෝත් කද්රා ඇතුළු සැකකරුවන් ලබන (31) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
සැකකරුවන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම විසින් මෙම නියෝගය නිකුත් කළේය.
එහිදී වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය නිලධාරීහු අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ,
“ස්වාමීනි.. LPL ක්‍රිකට් තරගාවලිය සඳහා තරග වදින ක්‍රීඩකයන්ට තරග පාවාදීම සඳහා බලපෑම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව භානුක රාජපක්ෂ, දුනිත් වෙල්ලාලගේ, අවිශ්ක ප්‍රනාන්දු ඇතුළු ක්‍රීඩකයන් කීපදෙනෙකුට මෙම සැකකරු තරග පාවාදීම සඳහා යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. පසුව අවන්හලකදී ක්‍රීඩකයන් හමුවී තරග හතරක් පාවාදීම සඳහා අමෙරිකානු ඩොලර් ලක්ෂ තුනක මුදලක් ලබාදෙන බව සැකකරු විසින් යෝජනා කර තිබෙනවා.
මේ පිළිබඳව අදාළ ක්‍රීඩකයන් ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ විමර්ශන අංශයට දැනුම් දීමක් සිදුකළා. ඒ අනුව විමර්ශන නිලධාරීන් ලබාදුන් උපදෙසකට අනුව මෙම ක්‍රීඩකයන් එක් තරගයක් සඳහා අමෙරිකානු ඩොලර් 50,000ක මුදලක් ඉල්ලා තිබෙනවා.
මෙම සිද්ධියට සම්බන්ධ සියලු දුරකතන සංවාද පටිගත කර තිබෙනවා. වීඩියෝ දර්ශනත් තිබෙනවා. ඒවා අපි අද මුද්‍රා තබා අධිකරණයට ඉදිරිපත් කරනවා. රුපියල් ලක්ෂ 120ක ගනුදෙනුවක් පසුව රුපියල් ලක්ෂ 80ට අඩු කරලා ඉන් අනතුරුව රුපියල් ලක්ෂ 115කට එකඟ වෙලා තිබෙනවා.
ඒ අනුව රුපියල් ලක්ෂ 95ක මුදලක් දෙවන සැකකරු විසින් 16 දින කොළඹ ලංකා බැංකු මූලස්ථානය ඉදිරිපිට ලබාදීම සඳහා පැමිණි අවස්ථාවේදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සිදු කළා. කළු පැහැති බෑග් එකක තමයි එම මුදල් රැගෙන ආවේ. එම බෑගයත් අධිකරණයට ඉදිරිපත් කරනවා.”

