By unusuma.lk on
(LK time)රට තුළ මතුපිටට නොපෙනෙන කළු පද්ධතියක් ක්‍රියාත්මක වන බවත් එම කළු පද්ධතියේ ජාවාරම්කාර ව්‍යාපාර කණ්ඩායමක් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.
අප ඉදිරිපිට ඉතා සංවිධානාත්මක ලෙස කළු යාන්ත්‍රණයක් තිබෙන බවත් මෙම කළු යාන්ත්‍රණය තුළ රාජ්‍ය නිලධාරින් මෙන්ම නීති විරෝධි සන්නද්ධ අවි ගත් අය සහ මාධ්‍ය සිටින බවද ජනාධිපතිවරයා සඳහන් කරයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ,
“අපේ රට තුළ මතුපිටට පෙනෙන සාමකාමී තත්ත්වයක් තිබෙනවා වගේම යටින් කළු පද්ධතියක් ක්‍රියාත්මක වෙනවා. මේ කළු පද්ධතියේ ජාවාරම්කාර ව්‍යාපාර කණ්ඩායමක් සිටිනවා. මෑතකදී රේගුවේ බහාලුම් පද්ධතියක් විවෘත කිරීමේදී ඉතා ප්‍රසිද්ධ සන්නාම සහිත සමාගම් විසින් නීතිවිරෝධි ලෙස ආනයනය කළ භාණ්ඩ හමු වෙනවා.
එම නිසා මෙම කළු යාන්ත්‍රණයේ ජාවාරම්කාර අතළොස්සක් සිටිනවා. මේ කළු යාන්ත්‍රණයේ දේශපාලන අධිකාරිය තිබුණා. මේ කළු යාන්ත්‍රණය තුළ රාජ්‍ය නිලධාරින් මෙන්ම නීති විරෝධි සන්නද්ධ අවි ගත් අය වගේම මාධ්‍යද සිටිනවා. අපි ඉදිරිපිට ඉතා සංවිධානාත්මක ලෙස කළු යාන්ත්‍රණයක් තිබෙනවා.
මෙම කළු යාන්ත්‍රණය බිඳින බවට මම මේ රටේ ජනතාවට සහතික වෙනවා. හැම කෙනාම නීතියට යටත් වන පරිසරයක් නිර්මාණය කරනවා. ධනය කෙතරම් රැස් කර ගත්තත් වැඩක් තිබෙනවාද අවුරුදු 61දී අවුරුදු 20ක් සිරගත වීමට සිදු වෙනවා නම්.? මහජනතාවගේ බදු මුදලින් ඉගෙන ගෙන මහජනතාවගේ මුදලින් වැටුප් ලබා ගනිමින් මහජනතාවගේ සල්ලි හොරකම් කරන්න පුළුවන්ද.?
ඒ හැම දේටම දඩුවම් ලබා දෙනවා. ඒ නිසා බදු මුදල් පිළිබද ප්‍රශ්නය හුදු බදු ගෙවීම සහ බදු මුදල් එකතු කිරීම අතර තිබෙන ප්‍රශ්නයක් නොවෙයි. එතැනින් එහා ගිය ජාලගත ප්‍රශ්නයක්. විවිධ ආයතනවලට චෝදනා කිරීමෙන් ඵලක් නැහැ. මෙය එකිනෙකට සම්බන්ධ වූ ජාලයක්.
ඒ නිසි අපි රාජ්‍ය යාන්ත්‍රණයක් ලෙස මීට සූදානම් විය යුතුයි. ඊට සූදානම් නැති ඕනෑම අයෙකුට ඉවත්ව යා හැකියි. මෙම යාන්ත්‍රණය බිඳ දැමූවේ නැත්නම් මේ රට මෙතැනින් අගලක්වත් ඉදිරියට ගෙන යාමට හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ කළු යාන්ත්‍රණය බිඳිනවා.”