දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධියට අදාළව, අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් සහ අදාළ දැරියගේ මව සැකකරුවන් ලෙස නම් කර වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය අද (08) නියෝග කර ඇත.
අද ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් අධිකරණය හමුවේ සිදුකළ කරුණු දැක්වීම් සහ ඉදිරිපත් කළ සාක්ෂි සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.
තවද විදෙස් ගමන් තහනමක් පැනවීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
පසුගිය අප්‍රේල් (27) වනදා නිට්ටඹුව පොලිස් බල ප්‍රදේශයේ ලැගුම්හලක සිය පෙම්වතා සමඟ රැඳී සිටියදී පොලිස් භාරයට ගත් මෙම දැරිය, ගම්පහ මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී ඇය අවස්ථා ගණනාවකදී දූෂණයට ලක්ව ඇති බව තහවුරු විය.
අනතුරුව දැරිය හෙළි කර ඇත්තේ, තමන්ව මුලින්ම දූෂණය කළේ අනුරාධපුර විහාරස්ථානයක විහාරාධිපති හිමිනමක බවත් අනතුරුව සිය පෙම්වතා සහ ඥාති මස්සිනා අතින් දූෂණයට ලක්වූ බවයි.
සිදුකළ විමර්ශන වලදී විහාරාධිපති හිමියන් තමන්ව මුලින්ම දූෂණය කළ අවස්ථාවේ රුධිරය තැවරුණු ඇඳුම් දැරියගේ නිවස ආසන්නයේ වළ දමා තිබියදී පොලිසිය විසින් සොයාගෙන ඇති අතර ඇඳුම් සහ අනෙකුත් නඩු භාණ්ඩ රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා වාර්තාවක් කැඳවන ලෙස අධිකරණය මීට පෙර නියෝග කළේය.
මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, එම දැරියගේ පියා සහ මව අදාළ විහාරාධිපති හිමියන්ගෙන් වරින් වර විශාල මුදලක් ලබාගෙන තම 15 හැවිරිදි දියණිය එම හිමියන් වෙත ලබාදී ඇති බවයි.
