Local news

අහුවෙන්න එපා.. ජනතාවට අනතුරු ඇඟවීමක්

අහුවෙන්න එපා.. ජනතාවට අනතුරු ඇඟවීමක්

අන්තර්ජාලය ඔස්සේ පුද්ගල සබඳතා (DATING APP) හරහා මිතුරන් හඳුනා ගැනීමේදී සැලකිලිමත්ව කටයුතු කරන ලෙස පොලීසිය විසින් ජනතාවට දැනුම්දීමක් කරයි.

අන්තර්ජාලය හරහා මිතුරු ඇසුරකට, ප්‍රේම සබඳතාවයකට හෝ විවාහයට ඇරයුම් කිරීම (DATING APP) හරහා සම්බන්ධ වීමෙන් මුදල් වංචා කිරීමේ සිදුවීම් රැසක් මෑත කාලය තුල වාර්තා වී ඇති අතර මෙම වංචනික ක්‍රියාදාමයේ නිරතවන්නන් විසින් කෙටි කාලයක් තුල හෝ දීර්ඝ කාලීනව ආකර්ෂණීය අයුරින් පණිවුඩ යොමු කරමින් පුද්ගලයන් රැවටීමට ලක්කර ඇත.

අන්තර්ජාලය හරහා ලිංගික සේවා සැපයන බවට සහ මිතුරු ඇසුරු පවත්වාගෙන යා හැකි බව දන්වමින් සමාජ මාධ්‍ය ජාලා (Facebook, WhatsApp, Telegram) ඔස්සේ සම්බන්ධ වෙමින් විශේෂ ජංගම දුරකථන යෙදවුමක් (App) භාගත කර ගැනීමට පෙළඹවීම සිදු කරයි.

මෙලෙස ස්ථාපනය කරන දුරකථන යෙදවුම වින්දිත පුද්ගලයාගේ දුරකථනයේ පවතින තුරු වින්දිත පුද්ගලයා විසින් සිදු කරන මාර්ගගත ගෙවීම් වලට අදාල ගිණුම් විස්තර මෙම වංචාකරුවන් විසින් ලබා ගැනීම සිදු කරන අතර එමගින් ඉහත ගිණුම් තුල පවතින මුදල් වංචනික ලෙස ලබා ගැනීම සිදු කරයි.

උදාහරණ – DATING APP නමින් වූ මෙම යෙදවුම වංචාකරුවන් විසින් හඳුන්වා දෙන අතර එය වින්දිත පාර්ශවය විසින් ඔවුන්ගේ ජංගම දුරකථනයේ INSTALL කර ගැනීම සඳහා පෙළබවීම සිදු කරයි.

මේ හරහා වින්දිත පාර්ශවය විසින් මාර්ගගත ක්‍රමය ඔස්සේ ඕනෑම අවස්ථාවක මුදල් හුවමාරු වූ විට මෙම වංචාකාරි පුද්ගලයින් විසින් USER NAME/PASSWORD ඔවුන් විසින් නතු කර ගනී.

වර්තමානයේ සමාජ ජාලා සහ පණිවිඩ හුවමාරු වේදිකා (Social Media and Chat Platforms) හරහා මුදල් වංචා කිරීමේ ක්‍රම වේගයෙන් වෙනස් වෙමින් පවතී.

විශේෂයෙන් ආදරය, හමුවීම් පොරොන්දු වෙමින්, බාහිරෙන් ඩේටින් ඇප් එකක් (Dating App) ලෙස පෙනී යන නමුත් ඔබගේ දුරකථනය පාලනය කර බැංකු ගිණුම් හිස් කරන මෘදුකාංග (APK Apps) ජාවාරමක් මේ වන විට ක්‍රියාත්මක වන බවට තොරතුරු අනාවරණය වේ.

ඒ අනුව කිසිදු අවස්ථාවකදී නාඳුනන යෙදවුමක් සඳහා යොමු නොවිය යුතු අතර ආගන්තුක අය වෙත බැංකු තොරතුරු, OTP හෝ මුරපද ඇතුළු පුද්ගලික තොරතුරු මෙන්ම කිසිදු ඡායාරූපයක් වීඩියෝ දර්ශනයක් ලබා නොදිය යුතු බව අවධාරණය කරනු ලබයි.

සබඳතාවයන් පිළිබඳව ගන්නා නිවැරදි තීරණ මත පුද්ගලයෙකුගේ ආරක්ෂාව සහ මූල්‍ය සුරක්ෂිතතාවය රඳා පවතින බැවින් නූතන තාක්ෂණික ලෝකය තුළ සමාජ ඇසුර සම්බන්ධව වඩාත් සැලකිලිමත්ව කටයුතු කිරීම වඩාත් සුදුසු වේ.

පෙට්‍රල් මිල වැඩි කරයි

පෙට්‍රල් මිල වැඩි කරයි

ලංකා අයි.ඕ.සී (IOC) සමාගම විසින් 95 පෙට්‍රල් වර්ගයේ ඉන්ධන ලීටරයක මිල ඉහළ දැමීමට තීරණය කර ඇත.

අද (25) දින මධ්‍යම රාත්‍රී 12.00 සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ දැමීමට තීරණය කර ඇත

ඒ අනුව රුපියල් 475ක්ව පැවති පෙට්‍රල් 95 ලීටරයක නව මිල රුපියල් 495කි.

කෙසේ වෙතත් සෙසු ඉන්ධන වර්ගවල මිල සංශෝධනයක් සිදුකර නොමැත.



සත්‍යග්‍රහය අකුලාගෙන යන්න වුණු විශේෂ ලිපිය

සත්‍යග්‍රහය අකුලාගෙන යන්න වුණු විශේෂ ලිපිය

ගලගොඩඅත්තේ ඥනසාර හිමි වෙත ජනාධිපති සමාව ප්‍රදානය කරන ලෙස ඉල්ලා සිටිමින් විරෝධතාවල නිරත මහා සංඝ රත්නය වෙත ශාසනාලයෙන් සිදුකළ කාරුණික දැනුම්දීම.

“ශ්‍රී ලංකාවේ ඓතිහාසික, ආගමික හා සමාජයීය සන්දර්භය තුළ භික්ෂූන් වහන්සේ යනු ජනතාවගේ පරම ගෞරවාදරයට හා පුජෝපහාරයට පාත්‍ර වන ආධ්‍යාත්මික මාර්ගෝපදේශකයාණන් වහන්සේය. එම අද්විතීය ගෞරවය හා පිළිගැනීම සුරැකී පවතින්නේ භික්ෂුත්වයට ආවේණික වූ සංවරශීලී පැවිදි ප්‍රතිපදාව සහ සම්බුද්ධ විනය ආරක්ෂා වන තාක් කල් පමණි.

එබැවින්, වර්තමානයේ උද්ගතව ඇති සංවේදී වාතාවරණය හමුවේ ගලගොඩඅත්තේ ඤාණසාර ස්ථවිර සම්බන්ධ උක්ත ගැටලුව නීත්‍යනුකූල හා සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ලෙස අපි රජය වෙත අවශ්‍ය මැදිහත් වීම සිදු කර ඇත්තෙමු.

දැනට මෙම සිදුවීම සමන්ධයෙන් සිදු කරන ඇතැම් විරෝධතා දැක්වීම් පාදක කරගනිමින් ශ්‍රී ලාංකේය සමාජය තුළත්, ජාත්‍යන්තරය හමුවේත් භික්ෂූන් වහන්සේ කෙරෙහි පවතින උත්තරීතර ගෞරවය හා කීර්ති නාමය පළුදු කිරීමට ඇතැම් පිරිස් කටයුතු කරන අතර ඒ සඳහා ඉඩ නොතැබීමට සමස්ත භික්ෂූන් වහන්සේලා කටයුතු කළ යුතුය.

තවද, කිනම් අර්බුදයක් හමුවේ වුවද ශාසනික විනය හා සංඝ සාමග්‍රිය ආරක්ෂා කරමින්, එකී අර්බුද ධර්මානුකූලව හා විනයානුකූලව නිරාකරණය කර ගැනීමට කටයුතු කිරීම මහා සංඝ රත්නය ලෙස අපගේ පරම වගකීම විය යුතු බව දන්වා සිටිනු කැමැත්තෙමු.

එහෙයින් ශාසන බ්‍රහ්ම චර්යාවේ උදාර අරමුණත් ඓතිහාසික භික්ෂු භුමිකාවේ සාමාජීය කාර්යභාරයත් නිරන්තරයෙන් මෙනෙහි කරමින් “අප්පසන්නානං වා පසාදාය පසන්නානං වා භිය්‍යොභාවය” යන සම්බුද්ධෝපදේශය මත පිහිටා මහජන ප්‍රසාදය වඩා වර්ධනය වන ආකාරයෙන් කටයුතු කරන මෙන් සියලු නිකාය පාර්ශ්වයන්හි සමස්ත මහා සංඝ රත්නයට මෙයින් සිහිපත් කර සිටිම්හ.”

Screenshot
විහාර මහාදේවී උද්‍යානයේ සත්‍යග්‍රහය අවසන්

විහාර මහාදේවී උද්‍යානයේ සත්‍යග්‍රහය අවසන්

සිරදඬුවම් නියම වු ඥානසාර හිමියන් නිදහස් කරන ලෙසට බල කරමින් භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිසක් විහාර මහාදේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහය අත්හිටුවීමට තීරණය කර ඇත.

විහාර මහාදේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහය තාවකාලිකව අත්හිටුවන බව උලපනේ සුමංගල හිමි පවසයි.

සත්‍යග්‍රහයේ නිරත භික්ෂුන් වහන්සේ සමඟ අද (25) පස්වරුවේ මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකරමින් උන්වහන්සේ මේ බව පවසයි.

බස් රථයක් දුම්රියේ ගැටෙයි.. බිහිසුණු අනතුරක්

බස් රථයක් දුම්රියේ ගැටෙයි.. බිහිසුණු අනතුරක්

අද (25) දින හබරාදුව, කොක්ගල ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී බස් රථයක් දුම්රියක ගැටී බිහිසුණු අනතුරක් සිදුව ඇත.

මෙම අනතුරෙන් ළමුන් 10 දෙනෙකු තුවාල ලබා කරාපිටිය හා උණවටුන රෝහල්වලට ඇතුළත් කර ඇති බව පොලිසිය සඳහන් කරයි.

බෙලිඅත්තේ සිට මරදාන බලා ධාවනය වු දුම්රියක මෙම බස් රථය ගැටී ඇති බව පොලීසිය සඳහන් කරයි.

උපකාරක පන්ති ගුරුවරුන් හා දෙමාපියන් සමග මෙම ළමුන් කොට්ටාව ප්‍රදේශයේ සිට කොක්ගල පිහිටි මාටින් වික්‍රමසිංහ අනුස්මරණ කෞතුකාගාරය නැරඹීමට ගොස් නැවත පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත.

අනතුර සිදුවන අවස්ථාවේදී උපකාරක පන්ති ගුරුවරුන් 14 දෙනෙකු, දෙමාපියන් 06 දෙනෙකු හා ළමුන් 41 දෙනෙකු බස් රථයේ සිට ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.

තලල්ලේදී සොයාගත් කෝටි ගණනක මත්ද්‍රව්‍ය.. සැකකරුවෙක් අත්අඩංගුවට

තලල්ලේදී සොයාගත් කෝටි ගණනක මත්ද්‍රව්‍ය.. සැකකරුවෙක් අත්අඩංගුවට

මාතර, තලල්ල, මුහුදු තීරයෙන් සොයා ගත් රුපියල් බිලියන 11.8කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් සැකකරුවෙකු ගන්දර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

එලෙස අත්අඩංගුවට ගත් සැකකරු ගන්දර ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙක් බව පොලීසිය සඳහන් කරයි.

මාතර, තලල්ල, නාඔටුන්න මුහුදු තීරයේ තිබී ඊයේ (24) දින අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 561 ග්‍රෑම් 705ක පමණ තොගයක් සොයා ගැණුනි.

නාවික හමුදාව සහ වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව එක්ව, සිදුකළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී එම මත්ද්‍රව්‍ය තොගය සොයා ගැණුනි.

සියලු රාජ්‍ය ආයතන වෙත චක්‍රලේඛයක්

සියලු රාජ්‍ය ආයතන වෙත චක්‍රලේඛයක්

සියලු රාජ්‍ය ආයතන වෙත චක්‍රලේඛයක් නිකුත් කර ඇත.

PHP පරිඝණක භාෂාව භාවිතයෙන් සංවර්ධනය කරන ලද වෙබ් අඩවි සහ වෙබ් යෙදුම්වල පවතින ආරක්ෂක දුර්වලතා නිරාකරණය කිරීම සම්බන්ධයෙන් සියලු රාජ්‍ය ආයතන වෙත, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය විසින් එම චක්‍රලේඛය නිකුත් කර ඇත.

සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, සියලුම පළාත් සභා ප්‍රධාන ලේකම්වරුන්, කොමිෂන් සභා ලේකම්වරුන්, සියලුම දෙපාර්තමේන්තු ප්‍රධානීන්, සියලුම සංස්ථා, ව්‍යාවස්ථාපිත ආයතන සහ රජය සතු සමාගම්වල ප්‍රධානීන් වෙත මෙම චක්‍රලේකය නිකුත් කර ඇත.

මෙරට 70% කට වැඩි රාජ්‍ය ආයතන වෙබ් අඩවි හා වෙබ් යෙදුම් සංවර්ධනය කිරීමට මෙම PHP පරිඝනක භාෂාව යොදාගෙන ඇති අතර වෙබ් අඩවි සහ වෙබ් යෙදුම් සංවර්ධනය කිරීම සඳහා බහුලව භාවිත වන PHP පරිඝනක භාෂාවට අදාළව හඳුනාගෙන ඇති ආරක්ෂක දුර්වලතා කෙරෙහි වහාම අවධානය යොමු කරන ලෙස ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සියලුම රජයේ ආයතන වෙත දැනුම් දී ඇත.

මෙම ආරක්ෂක දුර්වලතා හේතුවෙන්, අනවසරයෙන් පද්ධති වෙත ප්‍රවේශ වීමේ, දත්ත සොරකම් කිරීමේ සහ ක්‍රියාකාරීත්වයට බාධා ඇති වීමේ දැඩි අවදානමක් පවතින බවත් අදාළ චක්‍රලේඛයේ සඳහන් වේ.

ලිට්‍රෝ ගෑස් සමාගමෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්

ලිට්‍රෝ ගෑස් සමාගමෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්

දිවයින පුරා ගෑස් බෙදා හැරීම් තවදුරටත් ශක්තිමත් කරමින් එළැඹෙන (27) වැනි දින වන විට ගෑස් සිලින්ඩර ලක්ෂ 7ක් දිවයින පුරා බෙදා හැරීමට සැලසුම් කර ඇති බව ලිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කරයි.

වෙළෙඳපොළ තුළ පවතින ඉහළ ඉල්ලුම සහ පාරිභෝගික අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින් පසුගිය (22) වැනි දින ළඟා වූ නෞකාවට අමතරව ඊයේ (24) දින GOODWILL නෞකාව මගින් ගෑස් මෙට්‍රික් ටොන් 3,900ක් දිවයිනට රැගෙන ආ බව එම සමාගම සඳහන් කරයි.

තවද, හෙට (26) දිනයේ ගෑස් නෞකාවක් දිවයිනට පැමිණීමට නියමිතව ඇති බවත් ඒ අනුව ගෑස් සිලින්ඩර ලක්ෂ 7ක් වෙළෙඳපොළට බෙදා හරිනු ඇති බවද එම සමාගම සඳහන් කරයි.

පසුගිය (22) වැනි දින මෙරටට ළඟා වූ මෙට්‍රික් ටොන් 3,900ක ගෑස් තොගය රැගත් නෞකාවෙන් ගෑස් සිලින්ඩර 350,000ක් පසුගිය (23), (24), සහ අද (25) දිනයේද අඛණ්ඩව බෙදා හරින බවද එම සමාගම සඳහන් කරයි.

එබැවින් ඉදිරි දින කිහිපය තුළ පාරිභෝගිකයින් හට ගෘහස්ත ගෑස් කිසිදු හිඟයකින් තොරව වෙළෙඳපොළෙන් ලබාගත හැකි බවද එම සමාගම සඳහන් කරයි.

සෞදි ගුවන්තොටුපළ තහනම් කරමින් හූති කැරලිකරුවන් අනතුරු අඟවයි

සෞදි ගුවන්තොටුපළ තහනම් කරමින් හූති කැරලිකරුවන් අනතුරු අඟවයි

හූති කැරලිකරුවන් නැවතත් සෞදි අරාබියේ රියාද් නුවර පිහිටි කිං ඛාලිඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපළ භාවිත කිරීමෙන් වළකින ලෙස අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

ගුවන්තොටුපළේ මෙහෙයුම් කටයුතු සඳහා අද (25) සිට ගුවන් ගමන් සඳහා පර්යන්ත දෙකක් වෙන් කරන බව එම ගුවන්තොටුපළ බලධාරීන් නිවේදනය කර පැය කිහිපයකට පසුව මෙම අනතුරු ඇඟවීම නිකුත් කර ඇත.

කිං ඛාලිඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපළ තවදුරටත් “හමුදා ඉලක්කයක්” ලෙස සලකන බවත් ගුවන්තොටුපළ ඉලක්ක කර ගනිමින් සිදුකරන මෙහෙයුම් අඛණ්ඩව පවත්වාගෙන යන බව හූති හමුදා ප්‍රකාශකවරයා සඳහන් කර ඇත.

එනිසා ගුවන්තොටුපළ භාවිත කිරීමෙන් වළකින ලෙස සියලුම ගුවන් සමාගම්, ගුවන්තොටුපළ සේවකයන් සහ ගුවන් මගීන් වෙත හූති හමුදා ප්‍රකාශකවරයා අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

නැවතත් කාලගුණය කැළඹෙයි.. ප්‍රබල සුළි කුණාටුවක්

නැවතත් කාලගුණය කැළඹෙයි.. ප්‍රබල සුළි කුණාටුවක්

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය, මේ වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අද (25) දින බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොනදිග ප්‍රදේශය හරහා මෙම පද්ධතිය ගමන් කරමින්, ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමට ඉතා ඉහළ සම්භාවිතාවක් පවතින බවද සඳහන් කරයි.

මෙම පද්ධතිය තවදුරටත් බටහිර-වයඹ දෙසට ගමන් කරමින්, හෙට (26) දින උදෑසන වන විට සුළි කුණාටුවක් බවටත්, ඔක්තෝබර් මස (27) වන උදෑසන වන විට බෙංගාල බොක්ක බටහිර-මධ්‍යම මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ප්‍රබල සුළි කුණාටුවක් බවට තවදුරටත් තීව්‍ර වීමට ඉහළ සම්භාවිතාවක් පවතින බවද සඳහන් කරයි.

මෙම පද්ධතියේ සෘජු බලපෑමක් ශ්‍රී ලංකාවට නොමැති වුවද එම පද්ධතිය වෙත ඇදීයන සුළං ප්‍රවාහය දිවයින හරහා පවතින බැවින් දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක් ඉදිරිදින කිහිපයේදී අපේක්ෂා කරන බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, දකුණු, වයඹ සහ උතුරු පළාත්වලත් මහනුවර, නුවරඑළිය සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලට මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Follow WhatsApp Channel