Local news

නැවතත් කාලගුණය කැළඹෙයි.. ප්‍රබල සුළි කුණාටුවක්

නැවතත් කාලගුණය කැළඹෙයි.. ප්‍රබල සුළි කුණාටුවක්

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය, මේ වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අද (25) දින බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොනදිග ප්‍රදේශය හරහා මෙම පද්ධතිය ගමන් කරමින්, ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමට ඉතා ඉහළ සම්භාවිතාවක් පවතින බවද සඳහන් කරයි.

මෙම පද්ධතිය තවදුරටත් බටහිර-වයඹ දෙසට ගමන් කරමින්, හෙට (26) දින උදෑසන වන විට සුළි කුණාටුවක් බවටත්, ඔක්තෝබර් මස (27) වන උදෑසන වන විට බෙංගාල බොක්ක බටහිර-මධ්‍යම මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ප්‍රබල සුළි කුණාටුවක් බවට තවදුරටත් තීව්‍ර වීමට ඉහළ සම්භාවිතාවක් පවතින බවද සඳහන් කරයි.

මෙම පද්ධතියේ සෘජු බලපෑමක් ශ්‍රී ලංකාවට නොමැති වුවද එම පද්ධතිය වෙත ඇදීයන සුළං ප්‍රවාහය දිවයින හරහා පවතින බැවින් දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක් ඉදිරිදින කිහිපයේදී අපේක්ෂා කරන බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, දකුණු, වයඹ සහ උතුරු පළාත්වලත් මහනුවර, නුවරඑළිය සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලට මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඇතුන් වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව.. ආරක්ෂාව හිමිවන ඇතුන් 13 දෙනා මෙන්න

ඇතුන් වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව.. ආරක්ෂාව හිමිවන ඇතුන් 13 දෙනා මෙන්න

ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයිය කොන්තා (විශ්‍රාමික) ගේ සංකල්පයකට අනුව ශ්‍රී ලංකාවේ වන අලි – ඇතුන්ගේ ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් කිරීම සහ අලි – මිනිස් ගැටුම් අවම කිරීමේ අරමුණින් ත්‍රිවිධ හමුදාවේ දායකත්වය සහිත ඒකාබද්ධ ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත.

පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳිගේ ප්‍රධානත්වයෙන් (23) වන දින පරිසර අමාත්‍යාංශයේදී පැවැති සාකච්ඡාවේදී මෙම තීරණය ගෙන ඇත.

මෙම සාකච්ඡාව සඳහා පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි, යුද හමුදාපතිවරයා, ආරක්ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන් සහ අනෙකුත් අදාළ පාර්ශ්වකරුවන් ද සහභාගී වූහ.

ඒ අනුව ගම්මාන ආශ්‍රීතව වෙසෙන ඇතුන් 13 දෙනෙකුගේ ආරක්ෂාව සඳහා හමුදා අනුඛණ්ඩ යෙදවීමට පියවර ගෙන ඇති බවත් මෙම නව වැඩපිළිවෙළ ඉදිරියේදී තවත් පුළුල් කිරීමට කටයුතු කරන බව පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳී සඳහන් කරයි.

ආරක්ෂක අංශ සතු මෙහෙයුම් හැකියාවන් සහ සම්පත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ කාර්ය භාරය සමඟ ඒකාබද්ධ කරමින්, වන අලි ආරක්ෂාව සහ අලි – මිනිස් ගැටුම් අවම කිරීම සඳහා පවතින වැඩපිළිවෙළ වඩාත් කාර්යක්ෂම කිරීම මෙහි ප්‍රධාන අරමුණ වේ.

ත්‍රිවිධ හමුදාව, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, පශු වෛද්‍ය විශේෂඥයන් සහ අනෙකුත් අදාළ ආයතන අතර මෙහෙයුම් සම්බන්ධීකරණය සහ තොරතුරු හුවමාරුව විධිමත් කිරීම සඳහා යුද හමුදා මූලස්ථානයේ විශේෂ මෙහෙයුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට ද යෝජනා කර ඇත.

වන අලි ඝාතන සහ අනෙකුත් වනජීවී අපරාධ වැළැක්වීම, නිරීක්ෂණ කටයුතු සහ තොරතුරු හුවමාරුව ශක්තිමත් කිරීම මෙන්ම අලි – මිනිස් ගැටුම් බහුල ප්‍රදේශ වල ඒකාබද්ධ මෙහෙයුම් සඳහා සහාය ලබාදීම ද මෙම වැඩපිළිවෙළේ ප්‍රමුඛ අරමුණු අතර වේ.

වන අලි ආරක්ෂාව සම්බන්ධයෙන් හමුදා සාමාජිකයන් සඳහා විශේෂ පුහුණුවක් ලබාදීම සහ වනජීවී නිලධාරීන් සමඟ සමීප සහයෝගීතාවක් වර්ධනය කිරීම සඳහා ද යෝජිත වැඩපිළිවෙළ යටතේ අවධානය යොමු කෙරිණ.

මෑතකදී තිරප්පනේ කැලෑ ප්‍රදේශයේදී ‘ අග්බෝ’ ඇතා සාර්ථකව සොයා ගැනීම, ත්‍රිවිධ හමුදාව සහ වනජීවී බලධාරීන් අතර පැවති ඵලදායී සහයෝගීතාවයේ කැපී පෙනෙන නිදසුනක් ලෙස සැලකිය හැකිය.

මේ ඇතුන් 13 දෙනා මෙන්න..

1.කුමන, ආරුගම්බේ ප්‍රදේශයේ සැරිසරන මහානාම

2.බූන්දල, වීරවිල සැරිසරන කාශ්‍යප

3.දිගම්පත හා මින්නේරියේ වෙසෙන විජයබා

4.කලාවැව ප්‍රදේශයේ වෙසෙන සුරනිමල

5.මහකනදරාවේ අග්බෝ

6.උඩවලවේ සුමේධ

7.මැදවච්චිය, හලාවත ප්‍රදේශයේ සැරිසරන සූර්යයා

8.ලුණුගම්වෙහෙර සැරිසරන මහාසේන

9.මහවිලච්චියේ සැරිසරන දීඝාභය

10.යාන්ඔය, වාහල්කඩ, පදවිය යන පෙදෙස්වල සැරිසරන ගජබාහු

11.මුලතිව්හි වෙසෙන වන්නියා

12.මාදුරු ඔය ප්‍රදේශයේ සැරිසරන ඇතෙක්

මේ අතර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි සඳහන් කළේ,

“ඒ හඳුනාගත් ප්‍රදේශ 13හි හමුදා අනුඛණ්ඩ යොදා ගනිමින් ඒ වගේම ඒ ප්‍රදේශ 13හි වනජීවී නිලධාරීන්, වනජීවි කාර්යාල සම්බන්ධීකරණය කරමින් විශේෂ ඒකකයක් පිහිටුවන්න මෙන්න මේ ඒකකය මගින් ඇතුන් සම්බන්ධයෙන් නිරන්තර විමසිල්ලෙන් පසුවෙමින්, තොරතුරු හුවමාරු කර ගනිමින් කිසියම් අනතුරක් හෝ කිසියම් මැදිහත්වීමක් අවශ්‍ය මොහොතකදී වහාම මැදිහත්වීම සඳහා අවශ්‍ය කරන යාන්ත්‍රණයක් අපි සකස් කළා. මේ යාන්ත්‍රණය අද දිනයේ සිට ක්‍රියාත්මක වෙනවා. මේ කෙටි කාලීන් වැඩපිළිවෙළ දිගු කාලීන වැඩපිළිවෙළක් බවට පත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා දෙවෙනි අදියර හැටියට.”

නව මාණ්ඩලික ප්‍රධානී පත් කරයි

නව මාණ්ඩලික ප්‍රධානී පත් කරයි

ශ්‍රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරල් සම්පත් ප්‍රනාන්දු පත්කර ඇත.

යුද හමුදා කාලතුවක්කු හමුදාවට අයත් මේජර් ජෙනරල් සම්පත් ප්‍රනාන්දු මහතා මෙරට 71 වන යුද හමුදා මාණ්ඩලික ප්‍රධානීය.

ඔහු මෙම මස (27) වැනිදා සිට සිය ධුරයේ වගකීම් භාරගැනීමට නියමිතය.

මීගමුව බන්ධනාගාර ගැටුම පිටුපස අපරාධයක්.. අධිකරණයෙන් නියෝග

මීගමුව බන්ධනාගාර ගැටුම පිටුපස අපරාධයක්.. අධිකරණයෙන් නියෝග

මීගමුව බන්ධනාගාරය තුළදී නිලධාරීන් සහ රැඳවියන් පිරිසක් ඝාතනය වීමේ සිදුවීම සම්බන්ධයෙන් අපරාධයක් සිදුව ඇති බව තම අධිකරණය නිරීක්ෂණය කර ඇති බැවින් ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මීගමුව මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.

එම බන්ධනාගාර සිද්ධියට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා සහ සාක්ෂි විභාගය අවසන් කිරීමෙන් අනතුරුව මරණ පරීක්ෂණ නියෝගය ප්‍රකාශයට පත් කරමින් මහේස්ත්‍රාත්වරිය (23) දින මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේය.

එම මරණ ගිනි අවි, රයිෆල් වර්ගයේ ගිනිඅවි සහ මොට ආයුධ වලින් එල්ල කරන ලද පහරදීම් හේතුවෙන් සිදුව ඇති බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරිය, හිසට සහ පපුවට එල්ල වූ වෙඩි ප්‍රහාර මෙන්ම උදරය සහ උකුල් ප්‍රදේශ වලට එල්ල කළ පහරදීම් නිසා අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ට රුධිරය වහනය වීම මරණ වලට ප්‍රධාන හේතුව ලෙස අධිකරණය හමුවේ තහවුරු වී ඇති බව සඳහන් කළාය.

අනතුරුව එම සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් පවත්වා ඔක්තෝබර් (29) වැනිදා අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළාය.

එහිදී එම සිදුවීමට අදාළව පිරිමි පුද්ගලයන් 81 දෙනෙකු සහ කාන්තාවන් 25 දෙනෙකු වශයෙන් සැකකරුවන් 106 දෙනෙකු මේ වනවිට නම් කර හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා ඉදිරිපත් කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් සඳහන් කරයි.

එම සිද්ධියට අදාළ ගිනි අවි, රුධිර සාම්පල මෙන්ම ඩී.එන්.ඒ. පරීක්ෂණ පිළිබඳ කිසිදු රස පරීක්ෂක වාර්තාවක් මෙතෙක් විමර්ශන අංශ වෙත ලැබී නොමැති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

අනතුරුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය, නම් කර ඇති සැකකරුවන් 106 දෙනාම එළඹෙන ඔක්තෝබර් (29) වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

මාතරදී අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 475ක් සොයාගනී

මාතරදී අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 475ක් සොයාගනී

අද (24) දින මාතර, තලල්ල, නාඔටුන්න මුහුද සහ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 475කට අධික තොගයක් සොයාගත් බව නාවික හමුදාව සඳහන් කරයි.

මෙම විශේෂ ඒකාබද්ධ මෙහෙයුමේදී, නාඔටුන්න වෙරළතීරයේ තිබූ මත්ද්‍රව්‍ය අඩංගු බවට සැකකෙරෙන උර 10ක් සහ ගමන් මලු 11ක් සමඟ ඩිංගි යාත්‍රාවක් අත්අඩංගුවට ගත්තේය.

එම මත්ද්‍රව්‍ය තොගයෙහි අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200කට අධික තොගයක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 275කට අධික තොගයක් ඇති බව මෙම මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර පරීක්‍ෂාවේදී අනාවරණය වී ඇත.

එම මත්ද්‍රව්‍ය තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට කටයුතු කර ඇත.

භික්ෂුවකගේ සිවුර ඉවත් කිරීමේ ක්‍රියාපටිපාටිය.. නව ගැසට් නිවේදනයක්

භික්ෂුවකගේ සිවුර ඉවත් කිරීමේ ක්‍රියාපටිපාටිය.. නව ගැසට් නිවේදනයක්

අධිකරණ අමාත්‍යවරයාගේ අනුමැතියට යටත්ව වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් ප්‍රසාද් හේමන්ත කුමාර විසින් භික්ෂූන් වහන්සේ නමක බන්ධනාගාරගත කිරීමේදී චීවරය ඉවත් කිරීම සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය දැනුවත් කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර ඇත.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිත්‍ය නියෝග කිහිපයක් සංශෝධනය කර ඇති අතර යම් භික්ෂූන් වහන්සේ නමක් සිරකරුවකු ලෙස බන්ධනාගාරගත කිරීමේදී, උන්වහන්සේ ඇඳ සිටි සිවුරු ඉවත් කිරීම සම්බන්ධයෙන් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව හරහා අදාළ නිකාය හෝ පාර්ශ්වය දැනුවත් කළ යුතුයි.

අදාළ නිකාය හෝ පාර්ශ්වය විසින් සිවුරු ඉවත් කිරීම පිළිබඳව ගන්නා ක්‍රියාමාර්ග දින දහයක් ඇතුළත බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව හරහා බන්ධනාගාර කොමසාරිස්වරයා වෙත දැනුම් දිය යුතු අතර එම කාලසීමාව තුළ ප්‍රතිචාරයක් නොලැබුණහොත් බන්ධනාගාර කොමසාරිස්වරයාට අදාළ විධිවිධාන අනුව කටයුතු කළ හැකි බව එම ගැසට් නිවේදනයේ සඳහන් වේ.

සිරගත කෙරුණු භික්ෂූන් වහන්සේ නමක් බන්ධනාගාරයෙන් මුදාහැරෙන අවස්ථාවක, බන්ධනාගාරගත කළ අවස්ථාවේ ඇඳ සිටි සිවුරු එලෙසින්ම ඇඳ සිටීමට අවසර ලබාදිය යුතු අතර අදාළ නිකායෙන් හෝ පාර්ශ්වයෙන් එලෙස සිවුරු ඇඳ සිටීමට අනුමැතිය ලබාදී නොමැති නම්, බන්ධනාගාර කොමසාරිස්වරයා විසින් අදාළ නියෝග අනුව කටයුතු කළ යුතු බවද එම නිවේදනයේ සඳහන් වේ.

නිකායෙන් හෝ පාර්ශ්වයෙන් ලබාගත යුතු අනුමැතිය සඳහා, බන්ධනාගාර කොමසාරිස්වරයා විසින් සිරගත කළ දිනයේ සිට වැඩ කරන දින හතක් (07) ඇතුළත බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට ඒ බව දැන්විය යුතුයි.

මට දින 500ක් වුණත් හිරේ ඉන්න පුළුවන්.. මම මහින්දගේ ලොකු පුතා

මට දින 500ක් වුණත් හිරේ ඉන්න පුළුවන්.. මම මහින්දගේ ලොකු පුතා

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් සිරගත වී දින 50ක් ගතවීම සම්බන්ධයෙන් ලිපියක් නිකුත් කර ඇත.

සිර ගෙදර බිත්ති තමන් වටා ඇතත්, එම බිත්ති වලට මෙපිටින් ජනතා පවුරක් ඇති බව තමන් දන්නා බව මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කරයි.

එම ලිපිය පහතින්..

ගිනිඅවි සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

ගිනිඅවි සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

කෑගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය විසින් පිස්තෝල බවට සැක කල හැකි ගිනිඅවි 2ක් හා බෝර 12 වර්ගයේ උණ්ඩ ඇතුළු ආයුධ කිහිපයක් සමග පුද්ගලයෙකු (23) දින මාවනැල්ලේදී අත්අඩංගුවට ගෙන ඇත.

මොහොම්මදු තව්ෆික් මොහොමඩ් අස්කි නමැත්තෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු කිරිගල හන්දිය, මුරුතවෙල, මාවනැල්ල ප්‍රදේශයේ නිවසක සිටියදී ආයුධ සමග අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු සන්තකයේ තිබී හදුනානොගත් පිස්තෝල අවි 2ක්, මැගසින් 5ක්, ඊයම් බෝල 156ක්, බෝර 12 ගිනිඅවි සඳහා භාවිතා කරනු ලබන උණ්ඩ 20ක්, ඊයම් කැබලි ලෙස ඇති ඊයම් ග්‍රෑම් 47යි මිලග්‍රෑම් 360ක් සොයාගෙන ඇත.

තවද බෝර 12 ගිනි අවි සඳහා භාවිතා කරන ලී බට් (1), තලය අඟල් 5ක් පමණ දිගින් යුත් තියුණු උලක් සහිත පිහියක්, I Phone- 13 වර්ගයේ ජංගම දුරකථනයක් මෙහිදී පොලිසිය සිය භාරයට ගෙන ඇත.

අශ්චර්යා නම් කරමින් නාමල්ගේ අත්අකුරු ගලපයි

අශ්චර්යා නම් කරමින් නාමල්ගේ අත්අකුරු ගලපයි

රුපියල් මිලියන 70ක අල්ලස් මුදලක් ලබාගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්‍යක්ෂවරියක වන ජානකී සිරිවර්ධන එළඹෙන නොවැම්බර් (06) වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කළේය.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.බෝදරගම හමුවේ මෙම නඩුව කැඳවු අතර එහිදී මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ ජානකී සිරිවර්ධන බන්ධනාගාර නිලධාරින් විසින් අධිකරණයට ඉදිරිපත් කළේය.

සැකකාර නාමල් රාජපක්ෂ වෙනුවෙන් නීතිඥ මණ්ඩලය ඉදිරිපත් කර තිබූ ඇප අයැදුම ප්‍රතික්ෂේප කරමින් මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ,

“සැකකරු සම්බන්ධයෙන් ඉදිරිපත්කර තිබූ ඇප අයැදුමේ ඔහු වෙනුවෙන් ගෙන තිබූ ප්‍රධාන ස්ථාවරය තමයි ඔහු සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ගොනුකර තිබූ දූෂණ විරෝධි පනතේ 149 වගන්තිය ප්‍රකාර සහතිකය වලංගු නැහැ කියන කාරණය.

නමුත් අධිකරණය එය ප්‍රතික්ෂේප කරනවා. ඒ අනුව අධිකරණය එම සහතිකය පිළිගන්නා තත්ත්වයක සැකකරු සම්බන්ධයෙන් ඇප සලකා බැලීමටනම් සුවිශේෂි කරුණු ඉදිරිපත් වී තිබිය යුතුයි.

නමුත් සැකකරු සම්බන්ධයෙන් ඉදිරිපත් වී තිබූ බොහෝ කරුණු නෛතික ස්ථාවරයන් මිස ඇප ලබාදීමට සුවිශේෂි කරුණු නොවේ. එබැවින් සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරනවා.”

මෙම නඩුවේ පස්වන සැකකාරිය ලෙස ප්‍රශ්නගත ගනුදෙනුව වන අවස්ථාවේ ක්‍රිෂ් සමාගමේ අධ්‍යක්ෂවරියක ලෙස කටයුතු කළ අශ්චර්යා සෝනි යන අයව නම් කරන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ විමර්ශන නිලධාරින් අධිකරණයට දැනුම් දුන්නේය.

තවද නාමල් රාජපක්ෂ ප්‍රශ්නගත ගනුදෙනුව සිදුකළ සමයේ නිකුත් කළ බව කියන ලිපියක අත්අකුරු, මෑතකාලීනව පාර්ලිමේන්තුවට ලබාදී ඇති ලේඛනවල අත්අකුරු සමඟ සංසන්දනය කිරීමට බලාපොරොත්තු වෙන බවද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ විමර්ශන නිලධාරින් සඳහන් කරයි.

අනතුරුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ විමර්ශන නිලධාරින් සඳහන් කළේ,

“ස්වාමිනි, ප්‍රශ්නගත රුපියල් මිලියන 70ක අල්ලස් ලබාදීම සිදුව ඇත්තේ අවස්ථා 03කදී. එම අවස්ථාවන්හීදි මෙම සැකකාරියත් ක්‍රිෂ් සමාගමේ අධ්‍යක්ෂවරියක්ව සිට තිබෙනවා. වැඩිදුර විමර්ශනයේදී බැංකු වාර්තා කිහිපයක් ඔස්සේ ඒ පිළිබඳ අනාවරණය වුණා.

මීට අමරතව ක්‍රිෂ් සමාගමේ එවකට සේවකයින් කිහිපදෙනෙකුගෙන්ද අප ප්‍රකාශ සටහන්කර ගත්තා. මීට පෙර ඉතා බියකින් කරුණු ඉදිරිපත් කිරීමට සහ ප්‍රකාශ ලබාදීමට මැලිවූ සාක්ෂිකරුවන් දැන් මේ සිදුවීමේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාරගතව සිටීම නිසා බියකින් තොරව දීර්ඝ වශයෙන් ප්‍රකාශ ලබාදී තිබෙනවා.

ඒ වගේම ලේඛන කිහිපයක්ද විමර්ශන නිලධාරීන්ට ලබාදී තිබෙනවා. මේ වෙද්දි ප්‍රශ්නගත ක්‍රිෂ් සමාගම ඈවර කරලා තිබෙන්නේ. මේ අල්ලස් මුදල ලබාගත් බව කියන සිව්වන සැකකාර නාමල් රාජපක්ෂ ප්‍රශ්නගත ගනුදෙනුව සමයේ නිකුත් කළ බව කියන ලිපියක අත්අකුරු මොහු මෑතකාලීනව පාර්ලිමේන්තුවට ලබාදී ඇති ලේඛනවල අත්අකුරු සමඟ සංසන්දනය කිරීමටද අපි බලාපොරොත්තු වෙනවා.”

ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනෙක් කුවේට්හිදී අබිරහස් ලෙස මරුට

ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනෙක් කුවේට්හිදී අබිරහස් ලෙස මරුට

ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනෙකු කුවේට් රාජ්‍යයේදී සැකකටයුතු ලෙස මියගොස් ඇති බවත් එම සිදුවීම් සම්බන්ධව එරට බලධාරීන් පරීක්ෂණ ආරම්භ කර ඇති බව, එරට ‘අරාබි ටයිම්ස්’ පුවත්පත වාර්තා කරයි.

එක් කාන්තාවකගේ සිරුර අලි සබා අල්-සලීම් ප්‍රදේශයේ පිහිටි නිවසක උඩු මහලේ ගබඩා කාමරයක තිබී හමුවී ඇති අතර එලෙස මියගොස් ඇත්තේ 1988 වසරේ උපත ලැබූ කාන්තාවක් බව සඳහන් වේ.

මෙම සිදුවීම සැකකටයුතු මරණයක් ලෙස තහවුරු කර ඇති අතර සිරුර වැඩිදුර පරීක්ෂණ සඳහා වෛද්‍ය පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති බව සඳහන් කරයි.

අනෙක් කාන්තාවගේ මරණය අල්-නහ්දා ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර එලෙස මියගොස් ඇත්තේ 1999 වසරේ උපත ලැබූ කාන්තාවක් බව සඳහන් වේ.

ජහ්රා මහජන පැමිණිලි මෙහෙයුම් කාර්යාංශයේ උපදෙස් මත ඇගේ මළසිරුර වෛද්‍ය පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමට කටයුතු කර ඇති බව සඳහන් කරයි.

Follow WhatsApp Channel