Local news

“මගේ මස් කන්න.. ලේ බොන්න.. මට මානසික අවුලක් තියෙනවා” ඥනසාර හිමි හඬාවැටෙයි

“මගේ මස් කන්න.. ලේ බොන්න.. මට මානසික අවුලක් තියෙනවා” ඥනසාර හිමි හඬාවැටෙයි

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා වලට වැරදිකරු වු ගලගොඩඅත්තේ ඥානසාර හිමිට පනවා තිබෙන සිරදඬුවමේ ඉතිරි කාල සීමාව ක්‍රියාත්මක කිරීම සඳහා පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය අද (05) බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා වෙත නියම කළේය.

අනතුරුව ගලගොඩඅත්තේ ඥානසාර හිමි බන්ධනාගාර බසයට රැගෙන යන අවස්තාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ,

“මොනවත් කියන්න ඕන නෑ නේ. හැබැයි ඉතිං රට වෙනුවෙන් වැඩ කරපුවාම මේක හොද පාඩමක් කරගන්න හාමුදුරුවරු රටේ. හැමෝම රස්සාව කරනවා. මම මේ වැඩ කළේ රට වෙනුවෙන්.

පොඩ්ඩක් ඉන්න මහත්තයෝ. පොඩ්ඩක් ඉන්න. මම යන්නේ හිරේට. මම මේ අධිකරණයට කිසි ප්‍රශ්නයක් නෑ. හැබැයි මේ රටේ මිනිස්සුගේ අභය වෙනුවෙන්, මිනිස්සූ මරණෙන් ගලවා ගන්නයි මම වැඩ කරේ.

අවුරුදු 25ක්, පොඩ්ඩක් ඉන්න. පොඩ්ඩක් ඉන්න මහත්තයෝ. ඕන්නම් මාව මගේ මස් කන්න. අර ජේසු වහන්සේ කීවේ. ඕන්නම් මගේ ලේ බොන්න. එක්කෝ මගේ මස් කන්න.

මොකද අවුරුදු 25ක් මේ රට වෙනුවෙන් මම දිය වුණේ. කිසි කෙනෙක් නොදන්න විෂයක්. අර මහාධිකරණය දීපු තීන්දුවෙන් අහන්න. ස්ථාන 100කට ගහන්න ⁣මුස්ලිම් අන්තවාදීන් සැලසුම් කරලා තිබුණේ. ⁣

මම 2014 ඉදලා මේ අපරාධ ගැන කියන්නේ. මේ මිනිස්සුන්ට මානුෂිකත්වයක් නැද්ද. මම හිරේ දැම්මා කියලා මේ ප්‍රශ්නය විසදෙනවා ද, බයවෙන්න ඕනද මේක කතා කරන්න. මට මානසික ටෙන්ෂන් එකක් තියෙන හින්දා තමයි මම ආරණ්‍යයට ගිහිල්ලා භාවනා කරේ.

නායක හාමුදුරුවන්ගේ උපදෙස් පරිදි. නැතුව උසාවිය මගහරින්න නෙමෙයි. වේදනාවක් තියෙනවා. මමත් මනුස්සයෙක්. නමුත් ඇත්ත කිව යුතුයි. කියන්න තැනක් නෑ. කවදාවත් හදවතේ කැකෑරෙන ඇත්ත කියන්න ඉඩක් ලැබුණේ නෑ.

ඒකට බය වෙන්නෙත් නෑ. කම්පනයකුත් නෑ. මේ තියෙන්නේ දකුණේ ලේ. බයත් නෑ. එක පාරයි මැරෙන්නේ. හැබැයි සත්‍ය වෙනුවෙන්. අපි වැඩ කරන්න ඕන. අපි අනුන්ගෙන් බත් කාලා රට වෙනුවෙන් මේ කැපකිරීම කළේ.”

අමෙරිකාවට යුද්ධය අවසන් කරන්න බෑ.. ඉරානය අනතුරු අඟවයි

අමෙරිකාවට යුද්ධය අවසන් කරන්න බෑ.. ඉරානය අනතුරු අඟවයි

කිසිදු හමුදාමය මෙහෙයුමක් හරහා අමෙරිකාවට මැදපෙරදිග යුද්ධය අවසන් කළ නොහැකි බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි සඳහන් කරයි.

ඉරානයේ සතුරන් නැවත වරක් යුදමය මාවතක් තෝරා ගන්නේ නම් ඉරානයේ ප්‍රතිචාරය පෙරට වඩා ප්‍රබල වන බව අමාත්‍ය අබ්බාස් අරග්චි සඳහන් කරයි.

නව සම්බාධක පැනවීමෙන් ද යුද්ධය අවසන් කළ නොහැකි බවත් සාධාරණත්වය සහ යුක්තිය මත පදනම් වු සාකච්ඡා හරහා පමණක් මෙම ගැටුම අවසන් කළ හැකි බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

ඥානසාර හිමිගේ සෙල්ලම අවසන්.. ජම්පරය අන්දයි

ඥානසාර හිමිගේ සෙල්ලම අවසන්.. ජම්පරය අන්දයි

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා වලට වැරදිකරු වු ගලගොඩඅත්තේ ඥානසාර හිමිට පනවා තිබෙන සිරදඬුවමේ ඉතිරි කාල සීමාව ක්‍රියාත්මක කිරීම සඳහා පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය අද (05) නියම කළේය.

අත්අඩංගුවට ගත් ඥානසාර හිමි බන්ධනාගාර නිලධාරීන් විසින් අද (05) අභියාචනාධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණි.

එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල ඥානසාර හිමිට පණවනු දඬුවමේ ඉතිරි කාලය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා වෙත නියම කළේය. 

වරෙන්තු නිකුත් කර තිබියදී අධිකරණය මගහරිමින් සිටි ගලගොඩඅත්තේ ඥානසාර හිමි කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් පසුගිය (03) රාත්‍රියේ තීනියාවල ආරණ්‍ය සේනාසනයක සැගවී සිටියදී අත්අඩංගුවට ගත්තේය.

අත්අඩංගුවට ගත් ගලගොඩඅත්තේ ඥානසාර හිමි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ (04) දින ඉදිරිපත් කළේය.

අධිකරණයට ඉදිරිපත් කළ ගලගොඩඅත්තේ ඥානසාර හිමි අද (05) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (04) නියම කළේය.

අපේක්ෂා රෝහලෙන් නිවේදනයක්

අපේක්ෂා රෝහලෙන් නිවේදනයක්

ඖෂධ හෝ වෙනත් ද්‍රව්‍ය පරිත්‍යාග කරන ලෙසට මහරගම අපේක්ෂා රෝහලෙන් කිසිදු මහජන ආයාචනයක්, දැන්වීමක්, නිවේදනයක් හෝ ඉල්ලීමක් සිදුකර නොමැති බව එම රෝහල සඳහන් කරයි.

NCISL ආයතනය විසින් සිය නිල වෙබ් අඩවිය, සමාජ මාධ්‍ය, මුද්‍රිත හෝ විද්‍යුත් මාධ්‍ය මෙන්ම වෙනත් කිසිදු පොදු වේදිකාවක් හරහා එවැනි දැන්වීමක් පළ කර නොමැති බවද එම රෝහල නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

කෙසේ වෙතත්, රෝගී සත්කාර සඳහා අවශ්‍ය ඖෂධ, උපකරණ, පරිභෝජන ද්‍රව්‍ය හෝ වෙනත් ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමට කැමැත්තක් දක්වන පුද්ගලයන්ට සහ සංවිධාන වලට එවැනි පරිත්‍යාග සිදුකිරීමේ හැකියාව පවතින බවද එම රෝහල සඳහන් කරයි.

එවැනි පරිත්‍යාගයක් සිදුකිරීමට පුද්ගලයෙකු හෝ සංවිධානයක් විමසීමක් කළහොත්, එම ඉල්ලීමේ ස්වභාවය අනුව පරිත්‍යාගය භාරගැනීමට අදාළ අවශ්‍යතා, පිරිවිතර, නියාමන අවශ්‍යතා සහ ක්‍රියා පටිපාටි පිළිබඳව රෝහල විසින් අදාළ පරිත්‍යාගශීලියාට අවශ්‍ය මගපෙන්වීම ලබාදෙන බව සඳහන් කරයි.

උඩරට දුම්රිය ධාවනයට බාධා.. තාවකාලිකව නවතී

උඩරට දුම්රිය ධාවනයට බාධා.. තාවකාලිකව නවතී

පේරාදෙණිය සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියක් ඉහළ කෝට්ටේ හා කඩිගමුව අතරදී පීලිපැනීමකට ලක්ව ඇත.

ඒ හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය තාවකාලිකව නවතා ඇති බව දුම්රිය මාධ්‍ය ප්‍රකාශක අසංක සමරසිංහ සඳහන් කරයි.

දුම්රිය මාර්ගයට ගල් පෙරළී තිබීම හේතුවෙන් දුම්රිය පීලිපැනීමට ලක්ව ඇති බවද දුම්රිය මාධ්‍ය ප්‍රකාශක අසංක සමරසිංහ සඳහන් කරයි.

මුහුදු සීමාව ආසන්නයේ නෞකා 47ක්.. ඉරාන නෞකා ගැන ඇමතිගෙන් ප්‍රකාශයක්

මුහුදු සීමාව ආසන්නයේ නෞකා 47ක්.. ඉරාන නෞකා ගැන ඇමතිගෙන් ප්‍රකාශයක්

මෙරට මුහුදු සීමාව ආසන්නයේ නවතා ඇති ඉරාන නෞකා සම්බන්ධයෙන් පළවන වාර්තා පිළිබඳව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පැහැදිලි කිරීමක් සිදු කරයි.

ශ්‍රී ලංකාව ආසන්න ජාත්‍යන්තර මුහුදේ නෞකා 47ක් පමණ නවතා ඇති බවත් ඒවා මෑතකදී පැමිණි නෞකා නොවන බවත් දීර්ඝ කාලයක සිට අදාළ ජාත්‍යන්තර මුහුදු සීමාවේ පවතින නෞකා බව අමාත්‍යවරයා සඳහන් කරයි.

එම නෞකා අතුරින් 19ක් ඉරාන නෞකා වන නමුත්, ඒවා නවතා ඇත්තේ ශ්‍රී ලංකාවේ මුහුදු සීමාව තුළ නොවන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

එම නෞකා වලට ආහාර හෝ ජලය සැපයීම වළක්වන ලෙස අමෙරිකාව ශ්‍රී ලංකාවට දැනුම් දී ඇති බවට පැතිර යන වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බවත් ශ්‍රී ලංකා රජයට එවැනි කිසිදු බලපෑමක්, මැදිහත්වීමක් හෝ දැනුම්දීමක් සිදුකර නොමැති බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

අමෙරිකාව විසින් සම්බාධක පනවා ඇති නෞකා වලට භාණ්ඩ ප්‍රවාහනය කිරීම හෝ සැපයුම් ලබාදීම ශ්‍රී ලංකා රජය විසින් සිදුකර නොමැති බවත් ශ්‍රී ලංකාව සෑම විටම කටයුතු කරන්නේ ජාත්‍යන්තර සාගර නීතියට අනුකූලව බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

හෝමූස් සමුද්‍ර සන්ධියේ පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් නාවික ගමනාගමනය සංකීර්ණ වී ඇති බවත් ශ්‍රී ලංකාවට අමතරව මැලේසියාව සහ ඉන්දුනීසියාව වැනි රටවල් ආසන්නයේ ඇති ජාත්‍යන්තර මුහුදු සීමාවන්හිද මෙලෙස නෞකා නවතා තිබෙන බව අමාත්‍යවරයා සඳහන් කරයි.

ශ්‍රී ලංකාව පිහිටා ඇති භූ දේශපාලනික වැදගත්කම හේතුවෙන් ලෝකයේ විවිධ රට වලට අයත් නෞකා විශාල සංඛ්‍යාවක් දිනපතා දිවයින ආසන්නයෙන් ගමන් කරන බැවින්, ශ්‍රී ලංකාව අවශ්‍ය ඕනෑම අවස්ථාවක එම නෞකා වලට සහයෝගය සහ මගපෙන්වීම ලබාදීමට බැඳී සිටින බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

ශ්‍රී ලංකා රජය තීන්දු තීරණ ගනු ලබන්නේ රටේ ස්වෛරීභාවය සහ අනන්‍යතාව සුරකිමින් බවත් ඕනෑම මානුෂීය අවශ්‍යතාවකදී සුදුසු පරිදි මැදිහත්වීමට රජය සූදානම් බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

අමාත්‍ය විජිත හේරත් තවදුරටත් සඳහන් කළේ,

“කිසිදු ආකාරයකින් අමෙරිකාව ශ්‍රී ලංකා අපේ ආණ්ඩුවට එහෙම දැනුම්දීමක්, මැදිගත්වීමක් හෝ බලෑමක් කරලා නෑ. ඒ නිසා එහෙම එකක් නෑ. එලෙස තියෙනවා නම් සම්පූර්ණයෙන් වැරදි අදහසක්. එහෙම කිසිඳු බලපෑමක් ඇතිවෙලාත් නෑ. කිසිඳු බලපෑමකට ලංකාව යටවෙන්නෙත් නෑ. අපේ ස්වෛරීත්වය, අනන්‍යතාව ආරක්ෂා කරගනිමින් තමයි අපි සියලුම තීන්දු තීරණ ගන්නේ. කෙසේ නමුත් මානුෂීය හේතූන් මත අපේ අවශ්‍යතාවක් ඇති වුණොත් ඒ අවශ්‍ය කරන මැදිහත් වීම අපි කරනවා.”

වැඩිහිටියන් වෙනුවෙන් විශේෂ පොලිස් ඒකකයක්

වැඩිහිටියන් වෙනුවෙන් විශේෂ පොලිස් ඒකකයක්

රටේ වැඩිහිටියන් වෙනුවෙන් විශේෂ පොලිස් ඒකකයක් පිහිටුවන්නැයි මානව හිමිකම් කොමිසම පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් සිදු කර ඇත.

වැඩිහිටියන්ට මුහුණ දීමට සිදුවන ගැටලු සහ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් වැඩිහිටියන් වෙනුවෙන් විශේෂ පොලිස් ඒකකයක් නිර්මාණය කරන ලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එල්.ටී.බී. දෙහිදෙණියගේ අත්සනින් යුතු නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.

සමාජ, ආර්ථික කරුණු සහ ආයතනවල බාහිර සංක්‍රමණ හේතුවෙන් මෙරට බොහෝ වැඩිහිටියන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වීමේ ප්‍රවණතාවයක් නිරීක්ෂණය වී ඇති බවද මානව හිමිකම් කොමිෂන් සභාව සඳහන් කරයි.

එහිදී ගෘහස්ථව සිටින වැඩිහිටියන් මෙන්ම ආයතන වල සේවය කරන වැඩිහිටියන්ද එම ගැටළු වලට මුහුණ දෙමින් සිටින බවද මානව හිමිකම් කොමිෂන් සභාව සඳහන් කරයි.

ඒ අනුව පොලිස් දෙපාර්තමේන්තුව තුළ වැඩිහිටියන් වෙනුවෙන් වෙන් වූ ඒකකයක් ස්ථාපිත කරන්නේ නම් එම ගැටලු විසදා ගත හැකි බවද මානව හිමිකම් කොමිෂන් සභාව සඳහන් කරයි.

නියමිත නැති පාන් දුන්නොත් නඩු

නියමිත නැති පාන් දුන්නොත් නඩු

පාන්වල බර හා මිල නිසියාකාරව ප්‍රදර්ශනය නොකිරීම සහ නියමිත බර නැති පාන් අලෙවි කිරීම සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් දිවයින පුරා විශේෂ වැටලීම් සහ විමර්ශන වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇත.

පසුගිය (29) වන දින ක්‍රියාත්මක කළ මෙම විශේෂ මෙහෙයුමේදී වෙළෙඳසැල් සහ බේකරි 107ක් පරීක්ෂාවට ලක්කර ඇති අතර එහිදී බර අඩු පාන් අලෙවිය සම්බන්ධයෙන් සිද්ධි 35ක්, පාන්වල බර ප්‍රදර්ශනය නොකිරීම සම්බන්ධව ස්ථාන 85ක්, පාන්වල මිල ප්‍රදර්ශනය නොකෙරූ ස්ථාන 55ක් හඳුනාගෙන ඇත.

බර අඩු පාන් හමු වූ අවස්ථාවලදී සිල්ලර වෙළෙඳුන්ට පමණක් නොව, එම පාන් නිෂ්පාදනය කළ බේකරිය දක්වාම විමර්ශන දීර්ඝ කිරීමට නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කරයි.

එහිදී බේකරියේ පාන්වල බර ද පරීක්ෂා කර, වරද තහවුරු වන්නේ නම් නිෂ්පාදන ක්‍රියාවලිය වහා නිවැරදි කිරීමට උපදෙස් ලබාදී ඇති අතර ප්‍රමාණවත් සාක්ෂි ඇති විට මහෙස්ත්‍රාත් අධිකරණ හමුවේ නඩු පැවරීමට කටයුතු කරන බවද සඳහන් කරයි.

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්

ඔක්තෝබර් මාසයට අදාළව ගෑස් මිල ගැන ලිට්‍රෝ ගෑස් සමාගම දැනුම්දීමක් කරයි.

ඒ අනුව මෙම මාසයේ ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය නොකිරීමට තීරණය කර ඇති බව ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම අද (04) නිවේදනය කරයි.

කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4,365කි.

කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,750කි.

කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 815කි.

ඥනසාර හිමි බන්ධනාගාරයට

ඥනසාර හිමි බන්ධනාගාරයට

අත්අඩංගුවට ගත් බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළේය.

අධිකරණයට ඉදිරිපත් කළ ගලගොඩඅත්තේ ඥානසාර හිමි හෙට (05) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

ඒ අනුව ගලගොඩඅත්තේ ඥනසාර හිමි හෙට දින අභියාචනාදිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසත් අධිකරණය කළ එම නියෝගයේ සඳහන් වේ.

වරෙන්තුව ප්‍රකාරව අධිකරණය මගහරිමින් සිටි ගලගොඩඅත්තේ ඥානසාර හිමි කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් (03) රාත්‍රියේ තීනියාවල ආරණ්‍ය සේනාසනයක සැගවී සිටියදී අත්අඩංගුවට ගත්තේය.

✕
⌃ News
📰 Free News Subscription?