Local news

බිත්තර සහ කුකුළු මස් මිලට මොකද වෙන්නේ.? මිලදී ගැනීම පහළට

බිත්තර සහ කුකුළු මස් මිලට මොකද වෙන්නේ.? මිලදී ගැනීම පහළට

උත්සව සමයේදී වෙළෙඳපොළට අවශ්‍ය බිත්තර සහ කුකුළු මස් කිසිදු හිඟයකින් තොරව අඛණ්ඩව සැපයීමට කටයුතු කරන බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර සඳහන් කරයි.

බිත්තරයක නිෂ්පාදන වියදම රුපියල් 30ත් 32ත් අතර පැවතියද, වර්තමානයේ ගොවිපොළ වලින් බිත්තර නිකුත් කරනු ලබන්නේද එම මිල ගණන් යටතේම බව සභාපති අජිත් ගුණසේකර සඳහන් කරයි.

කෙසේ වෙතත් බිත්තර සහ කුකුළු මස් මිලදී ගැනීම සියයට 20කින් පමණ පහළ ගොස් ඇති බවද සභාපති අජිත් ගුණසේකර සඳහන් කරයි.

සභාපති අජිත් ගුණසේකර සඳහන් කළේ,

“අද වන විට පාරිභෝගිකයන්ගේ මිලදී ගැනීමේ ශක්තිය අඩු වෙලා තියෙනවා. අපි වෙළෙඳපොළේ සමීක්ෂණයක් කරන විට බිත්තර සහ කුකුළු මස් මිලදී ගැනීම අඩු වී ඇති බව පෙනී යනවා.

වෙළෙඳපොළේ පරිභෝජනය සියයට 20කින් පමණ අඩු වී ඇති බව අපට පෙනෙනවා. බිත්තරයක නිෂ්පාදන වියදම සාමාන්‍යයෙන් රුපියල් 30ත් 32ත් අතර වෙනවා. නමුත් අද ගොවිපොළවලින් බිත්තර නිකුත් කරන්නේත් රුපියල් 30ත් 32ත් අතර මිලකටයි.

ඒ නිසා නිෂ්පාදකයන්ට ලාභදායී තත්ත්වයක් නැහැ. ඒ වගේම කුකුළු මස් මිලත් අඩු වෙලා තියෙනවා. පවතින ආර්ථික තත්ත්වයත් එක්ක කුකුළු මස් පරිභෝජනය අඩු වී ඇති බවයි අපට පෙනෙන්නේ. නමුත් නිෂ්පාදනය අඛණ්ඩව පවත්වාගෙන යනවා.“

නොරොච්චෝලේ කොටසක් නවතී

නොරොච්චෝලේ කොටසක් නවතී

නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් අක්‍රිය කර ඇත.

දෙවන ජනන යන්ත්‍රය අක්‍රිය කිරීම සම්බන්ධව ජාතික පද්ධති මෙහෙයුම් සමාගම (NSO)) වෙත දැනුම් දී ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත්, මේ හේතුවෙන් විදුලි සැපයුමට කිසිදු බාධාවක් නොමැති බව ජාතික පද්ධති මෙහෙයුම් සමාගම සඳහන් කරයි.

එළවළු මිල ඉහළ⁣ට

එළවළු මිල ඉහළ⁣ට

මේ දිනවල පවතින වර්ෂාපතනයත් සමඟ උඩරට සහ පහතරට එළවළු වර්ග කිහිපයක මිල ගණන් ඉහළ ගොස් ඇත.

ඒ අනුව, පසුගිය සතියේ රුපියල් 350ත් 400ත් අතර මිලක පැවති තක්කාලි කිලෝවක තොග මිල රුපියල් 600ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

රුපියල් 250ක මිලකට පැවති මාළු මිරිස් කිලෝවක මිල රුපියල් 400ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

රුපියල් 150ක්ව පැවති ගෝවා කිලෝවක තොග මිල රුපියල් 350ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

බෝංචි කිලෝවක් රුපියල් 400ත් 500ත් අතර මිලක පවතින බව වාර්තා වේ.

කැරට් කිලෝවක් රුපියල් 200ත් 250ත් අතර මිලක පවතින බව වාර්තා වේ.

ලීක්ස් කිලෝවක් රුපියල් 200ක් සහ අමුමිරිස් කිලෝවක් රුපියල් 350ත් 400ත් අතර මිලක පවතින බව වාර්තා වේ.

වැටකොළු කිලෝවක් රුපියල් 200ත් 250ත් අතර මිලක පවතින බව වාර්තා වේ.

වට්ටක්කා කිලෝවක් රුපියල් 200ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

සිනොපෙක් පෙට්‍රල් මිල ඉහළ⁣ට

සිනොපෙක් පෙට්‍රල් මිල ඉහළ⁣ට

සිනොපෙක් සමාගම විසින් පෙට්‍රල් ලීටරයක මිල ඉහළ දමා ඇත.

ඒ අනුව ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ දමා ඇත.

ලංකා IOC සමාගම ඊයේ (25) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ දමා ඇත.

ඒ අනුව, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 495කි.

අද තෙල් මිල ඉහළ⁣ට

අද තෙල් මිල ඉහළ⁣ට

අද (26) දින ලෝක වෙළෙදපොළේ බොරතෙල් මිල තවදුරටත් ඉහළ ගොස් ඇත.

WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 103.03 ලෙස ඉහළ ගොස් ඇත.

BRENT බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 116.07 ලෙස ඉහළ ගොස් ඇත.

MURBAN බොරතෙල් බැරලයක මිල ඩොලර් 118.00 ලෙස ඉහළ ගොස් ඇත.

වෙලාවක් කියන්නේ නෑ.. ඉරානයට දැවැන්ත ප්‍රහාරයක්.?

වෙලාවක් කියන්නේ නෑ.. ඉරානයට දැවැන්ත ප්‍රහාරයක්.?

ඉරානයට එරෙහිව තවත් ප්‍රහාරයක් සිදු කිරීමට තමාට හැකි බව අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

එම ප්‍රහාරය හෙට දිනයේ වුවද එල්ල කිරීමට තමාට හැකි බවත් එල්ල විය හැකි කිසිදු මිලිටරි මෙහෙයුමක නිශ්චිත වෙලාවක් තමන් හෙළි නොකරන බවද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

කෙසේ වෙතත් ඉරානය සමග ප්‍රධාන ගිවිසුමකට එළඹීමට ඉඩ පවතින බවත් ඉරානය එකගතාවකට පැමිණේද.? නැද්ද.? යන්න පිළිබඳව තමාට නිශ්චිත විශ්වාසයක් නොමැති බවද ජනාධිපතිවරයා සඳහන් කරයි.

ඉරානය එකගතාවකට පැමිණියත්, නැතත් ජයග්‍රහණය කරන්නේ අමෙරිකාව බවද ජනාධිපතිවරයා තවදුරටත් සඳහන් කරයි.

කොළඹ සුපිරි හෝටලයට ගියේ බෙහෙත් ගන්න

කොළඹ සුපිරි හෝටලයට ගියේ බෙහෙත් ගන්න

කොළඹ විහාර මහාදේවි උද්‍යානයේ අඛණ්ඩ සත්‍යග්‍රහය අතරතුර තමන් වහන්සේ තරු පන්තියේ හෝටල් වෙත වැඩම කරනු ලැබුවේ හටගත් හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් බව බලන්ගොඩ කස්සප හිමි පවසයි.

එම තරු පන්තියේ හෝටල් වෙත වැඩම කිරීමෙන් අනතුරුව වෛද්‍ය කණ්ඩායමක් පැමිණ එම රෝගී තත්ත්වයන්ට ප්‍රතිකාර සිදුකළ බවද බලන්ගොඩ කස්සප හිමි පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් බලන්ගොඩ කස්සප හිමි සඳහන් කළේ,

“සත්පුරුෂ දායකයෝ අපි අසනීපෙන් ඉන්න කොට, මට පෙරේදා වගේ වෙද්දි එකසිය දෙකට විතර උණ තිබුණා. ඉතිං ඒ උණ නිසා මිනිස්සූ අපිට මගදිගට විවේක ගන්න ස්ථාන සැලසුම් කරලා තිබුණා. නමුත් අපි බොහෝ ඒවට වැඩම කලේ නෑ.

මොකද අපි මෙතනම රැදී ඉන්න ඕන නිසා. නමුත් වෙවුලලා බොහොම අමාරුවෙන් ඉන්න නිසා, අපිට ආරාධනාවන් මත අපි ඒ ස්ථාන වෙත වැඩම කරා. වැඩම කරාට පස්සේ වෙනම වෛද්‍ය කණ්ඩායම් ඇවිල්ලා අපිට ප්‍රතිකාර කරා. ඒක ජනතාවගේ කැමැත්ත.”

හූති සටන්කාමීන් සෞදි අරාබියට බැලැස්ටික් මිසයිල 10ක් එල්ල කරයි

හූති සටන්කාමීන් සෞදි අරාබියට බැලැස්ටික් මිසයිල 10ක් එල්ල කරයි

හූති සටන්කාමීන් විසින් සෞදි අරාබියේ දකුණු ප්‍රදේශය ඉලක්ක කරමින් එල්ල කරන ලද බැලස්ටික් මිසයිල 10ක් උඩුගුවනේදී විනාශ කිරීමට සමත් වූ බව සෞදි අරාබිය සඳහන් කරයි.

හූති සන්නද්ධ කණ්ඩායම විසින් දකුණු කලාපය දෙසට එල්ල කරන ලද මිසයිල 10ක් හඳුනාගෙන විනාශ කළ බව සෞදි අරාබිය ප්‍රමුඛ සන්ධානයේ ප්‍රකාශක මේජර් ජෙනරාල් තුර්කි අල්-මාල්කි සඳහන් කරයි.

මේ අතර රතු මුහුදට පිවිසෙන ප්‍රධාන මුහුදු මාර්ගයක් වන බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය ආසන්නයේ හූතිවරුන්ගේ පාලනය යටතේ පවතින වෙරළබඩ ප්‍රදේශ යළි අත්පත් කර ගැනීම සඳහා යේමන රජයේ හමුදා ප්‍රතිප්‍රහාර දියත් කර ඇත.

හෝමාගම පොලිස් භාරයේ සිටි සැකකරුවෙක් හදිසියේම මරුට

හෝමාගම පොලිස් භාරයේ සිටි සැකකරුවෙක් හදිසියේම මරුට

හෝමාගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන සිරමැදිරියෙහි රඳවා සිටි සැකකරුවකු රෝහල්ගත කිරීමේදී මියයාමේ සිදුවීමක් වාර්තා වෙයි.

කිරිවත්තුඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි ඉෂාර හර්ෂ කුමාර නැමැති 29 හැවිරිදි දෙදරු පියෙක් එලෙස මියගොස් ඇති අතර ඔහුගේ ඥාතීන් චෝදනා කරන්නේ පොලීසියේ දැඩි පහරදීම් හේතුවෙන් මියගොස් ඇති බවයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, වැටලීමක් අතරතුර හෝමාගම පොලීසියට රැගෙන ආ සැකකරුව හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කිරීමෙන් පසුව මෙලෙස මියගොස් ඇති බවයි.

කාලගුණයෙන් රතු නිවේදන.. ප්‍රබල සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

කාලගුණයෙන් රතු නිවේදන.. ප්‍රබල සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොනදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී බටහිර දෙසට ගමන් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම පද්ධතිය ඉදිරි දිනවලදී තවදුරටත් වර්ධනය වී සුළි කුණාටුවක් සහ ප්‍රබල සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමට ඉහළ ඉඩකඩක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එනිසා බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර හා නාවික ප්‍රජාව වෙනුවෙන් තද සුළං සහ මුහුද රළු වීම පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කර ඇත.

Follow WhatsApp Channel