Local news

ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සංගමයේ ලියාපදිංචිය අත්හිටුවයි

ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සංගමයේ ලියාපදිංචිය අත්හිටුවයි

ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සංගමයේ ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවීමට තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ පියවර ගෙන ඇත.

තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ විසින් මේ සම්බන්ධයෙන් වන අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

මෙම අත්හිටුවීමත් සමග මෝටර් රථ ක්‍රීඩා සංගමයේ පවතින ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කිරීම සහ නව නිලධාරීන් පත්කර ගැනීම සඳහා වන නිලවරණ කටයුතු අධීක්ෂණය කිරීමේ වගකීම අමාත්‍යාංශ ලේකම් යටතට පැවරී ඇත. 

ඒ අනුව එම සංගමයේ ඉදිරි පරිපාලන කටයුතු ඇතුළු අවශේෂ කාර්යය ඉටු කිරීම සඳහා තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා ‘නිසි බලධාරියා’ ලෙස පත් කර ඇත.

තෙල් මිල තවත් ඉහළ⁣ට

තෙල් මිල තවත් ඉහළ⁣ට

අද (24) දින ලෝක වෙළෙදපොළේ බොරතෙල් මිල තවදුරටත් ඉහළ ගොස් ඇත.

WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 103.07 ලෙස ඉහළ ගොස් ඇත.

BRENT බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 117.02 ලෙස ඉහළ ගොස් ඇත.

MURBAN බොරතෙල් බැරලයක මිල ඩොලර් 118.00 ලෙස ඉහළ ගොස් ඇත.

“තාත්තාගේ වචන” බන්ධනාගාරයේ සිටින නාමල්ගෙන් ප්‍රකාශයක්

“තාත්තාගේ වචන” බන්ධනාගාරයේ සිටින නාමල්ගෙන් ප්‍රකාශයක්

ඕනෑම දුෂ්කර සමයකට ධෛර්යයෙන් මුහුණ දීමට තමා සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කරයි.

තම පියා වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එවූ ලිපියේ සඳහන් වචන වලට අද වනවිට වඩාත් ගැඹුරු අර්ථයක් එක්වී ඇති බවද මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කරයි.

සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කළේ,

“ඕනෑම දුෂ්කර සමයකට ධෛර්යයෙන් මුහුණ දීමටත්, සාධාරණත්වය කෙරෙහි නිරන්තරව හෘද සාක්ෂිය මූලික කොටගෙන විශ්වාසය තැබීමටත්, දුෂ්කර කාලසීමාවන්හිදී මා විසින් රැකි ප්‍රතිපත්ති සහ ධර්මතාවන් නොවෙනස්ව පවත්වා ගැනීමටත් මම උගත්‍තෙමි.

මගේ පියා විසින් ඔහුගේ ලිපියෙන් සිහිපත් කළ පරිදි, අද වන විට ඒ වචන වලට වඩාත් ගැඹුරු අර්ථයක් එක් කිරීමට සමත් වී ඇතැයි මම විශ්වාස කරමි. එබැවින් ශක්තිමත්ව, සත්‍යය කෙරෙහි විශ්වාසයෙන් ඉදිරියට යමි.”

දඩ මුදල් ගෙවා ගැනීමට නොහැකිව බන්ධනාගාරයේ සිටින සිරකරුවන් මෙන්න

දඩ මුදල් ගෙවා ගැනීමට නොහැකිව බන්ධනාගාරයේ සිටින සිරකරුවන් මෙන්න

සිරකරුවන් 10,611ක් සහ සැකකරුවන් 28,408ක් බන්ධනාගාරවල සිටින බවත්, සිරකරුවන්ගෙන් වැඩිම ප්‍රමාණය එනම් 3423ක් වයස් කාණ්ඩ 30ත් 40ත් අතරට වැටෙන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර සඳහන් කරයි.

සිරකරුවන් 2860ක් වයස් කාණ්ඩ 40ත් 50ත් අතරටත්, 2160ක් වයස් කාණ්ඩ 20ත් 30ත් අතරටත් සහ 1561ක් වයස් කාණ්ඩ 50ත් 60ත් අතරට අයත් බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

දඩ මුදල් ගෙවා ගැනීමට නොහැකිව බන්ධනාගාරගතව සිටින සිරකරුවන් පිළිබඳව අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ සංඛ්‍යා දත්තවලට අනුව, සිරකරුවන් 1,454ක් දඩ මුදල් ගෙවා ගැනීමට නොහැකිව බන්ධනාගාරගතව සිටින බව අනාවරණය වී තිබේ.

ඒ අනුව, රුපියල් 10,000ත් 15,000ත් අතර දඩ මුදලක් ගෙවීමට ඇති සිරකරුවන් 421 දෙනෙකුද, රුපියල් 15,000ත් 25,000ත් අතර දඩ මුදලක් ගෙවීමට ඇති සිරකරුවන් 220 දෙනෙකුද සිටින බව සඳහන් වෙයි.

එමෙන්ම, රුපියල් 25,000ත් 50,000ත් අතර දඩ මුදලක් ගෙවීමට ඇති සිරකරුවන් 361 දෙනෙකුද, රුපියල් 50,000ත් 100,000ත් අතර දඩ මුදලක් ගෙවීමට ඇති සිරකරුවන් 245 දෙනෙකුද බන්ධනාගාරගතව සිටින බව වාර්තා වෙයි. රුපියල් 100,000කට වැඩි දඩ මුදලක් ගෙවීමට ඇති සිරකරුවන් සංඛ්‍යාව 207කි.

2027 අයවැයෙන් දීමනා වැඩි කරයි.?

2027 අයවැයෙන් දීමනා වැඩි කරයි.?

සැලකිය යුතු ප්‍රමාණයකින් රාජ්‍ය ආදායම ඉතාමත් ශක්තිමත් තැනකට ගෙන ඒමට අපට හැකි වී තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

2025 අයවැයෙන් රාජ්‍ය සේවයේ මූලික වැටුප වැඩි කිරීමට තීරණය කළ අතර එය 2025, 2026 සහ 2027 යන වසරවල අදියර 3කින් ක්‍රියාත්මක වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

2028 අයවැයේදී අලුතෙන් මූලික වැටුප් වැඩිවීමක් සිදු නොවන බවත් මෙවර අයවැයෙන් අත්‍යවශ්‍ය දීමනා ලබාදීමට සැලකිලිමත් වී තිබෙන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ,

“අපේ ආර්ථිකය ඉතාමත් හොඳ ස්ථාවර තැනකට ගෙන ඒමටත්, ඒ ආර්ථිකයෙන් ලබාගන්නා ප්‍රතිලාභ ජනතාව වෙත ගලා යැවීමටත්, අපි විශාල වෙහෙසක් දරනවා. සැලකිය යුතු ප්‍රමාණයකින් රාජ්‍ය ආදායම ඉතාමත් ශක්තිමත් තැනකට ගෙන ඒමට අපට හැකි වී තිබෙනවා.

ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වතාවට 2025 වසරේදී අපේක්ෂිත ආදායම 110% දක්වා වර්ධනය වුණා. මීට පෙර කිසිදු අයවැයකින් අපේක්ෂිත ආදායම් ඉලක්ක සපුරාගැනීමට නොහැකි වූ අතර සැබවින්ම පැවැතියේ ඊට වඩා බෙහෙවින් අඩු මට්ටමකයි.

2026 වසරේද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව,රේගු දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව යන ප්‍රධාන ආදායම් ප්‍රභව වෙත ලබා දී ඇති ඉලක්ක සපුරාලමින් ඉතා යහපත් ආදායම් මට්ටමක් ලබා ගැනීමට සමත් වුණා.

එදා රජයට මුදල් නොමැති වූ බැවින් නිරන්තරයෙන් මුදල් මුද්‍රණය කිරීමට හෝ බැංකු පද්ධතියෙන් ණය ගැනීමට සිදු වුණා. 2022 වකවානුවේදී භාණ්ඩාගාර ගිණුම රුපියල් බිලියන 700ක පමණ ඍණ මට්ටමක පැවැති නමුත්, අද වන විට රුපියල් ට්‍රිලියනයකට ආසන්න ධන අතිරික්තයක් භාණ්ඩාගාර ගිණුමේ පවතිනවා. එමගින් පැවැති රුපියල් අර්බුදය සැලකිය යුතු ලෙස නිරාකරණය කරගෙන තිබෙනවා.

රටට අවශ්‍ය ඩොලර් උපයා ගැනීමට නොහැකි වීම ආර්ථික අර්බුදයට හේතු වුණා. 2025 වසරේදී ජංගම ගිණුමේ ශේෂය එනම් රට තුළට පැමිණි සහ පිටතට ගිය ඩොලර් ප්‍රමාණය අතර වෙනස ඉතා වැදගත් මට්ටමකට පැමිණියා. නිදහස් ශ්‍රී ලංකා ඉතිහාසයේ ජංගම ගිණුමේ අතිරික්තයක් පැවතියේ අවස්ථා තුනකදී පමණයි.

එම අවස්ථාවල පැවතුණේ ඩොලර් මිලියන 300ක පමණ වැඩිවීමක්. හැබැයි 2025 දී අපගේ ජංගම ගිණුමේ අතිරික්තය ඩොලර් මිලියන 1800ක් දක්වා ඉහළ ගියා.

එහෙත් මැදපෙරදිග කලාපයේ ඇති වූ යුදමය තත්ත්වය හමුවේ අපට අනපේක්ෂිත බලපෑමකට මුහුණ දීමට සිදු වුණා. පසුගිය වසරේ තෙල් ආනයනය සඳහා ඩොලර් බිලියන 4ක් වැය වූ අතර, මෙවර අගෝස්තු අවසන් වන විටත් ඩොලර් බිලියන 4ක් වැය වී තිබෙනවා.

වසරෙන් තුනෙන් දෙකකදී ඩොලර් බිලියන 4ක් වැය වූ බැවින් වසර අවසාන වන විට එය ඩොලර් බිලියන 6 ඉක්මවා යා හැකියි. එම නිසා ඩොලර් සඳහා ඇති වන තෙරපුම පාලනය කරගැනීම අප හමුවේ ඇති ප්‍රධාන අභියෝගයයි.

ඩොලර් වලින් ණය ගැනීමකින් තොරව දේශීය (භාණ්ඩාගාර) අරමුදල්වලින් පමණක් විශාල ව්‍යාපෘති ප්‍රමාණයක් ආරම්භ කර තිබෙනවා. කුරුණෑගල – ගලේවෙල අධිවේගී මාර්ගය, රඹුක්කන – ගලගෙදර අධිවේගී මාර්ගය, කහතුඩුව – ඉංගිරිය අධිවේගී මාර්ගය යන ව්‍යාපෘති මෙන්ම කැලණි වැලි දුම්රිය මාර්ගය විද්‍යුත්කරණය සඳහා රුපියල් බිලියන 600ක ඇස්තමේන්තුගත ව්‍යාපෘතිය ලබන වසරේදී භාණ්ඩාගාර අරමුදල්වලින් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

කෙසේ වෙතත්, රුපියල්වලින් වියදම් කළද අධිවේගී මාර්ග සඳහා අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර සහ යකඩ ආදිය ආනයනය කිරීමට සිදුවන බැවින් ඩොලර් වැයවීමක් සිදු වෙනවා. මෙවර ප්‍රාග්ධන වියදම රුපියල් බිලියන 1330ක සිට ලබන වසර සඳහා රුපියල් බිලියන 2000 (ට්‍රිලියන 2) දක්වා වැඩි කිරීමට සැලසුම් කර තිබෙනවා.

ප්‍රාග්ධන වියදම් වැඩි වන විට ඩොලර් සඳහා වන තෙරපුම වැඩි වන බැවින්, ඩොලර් උපයාගැනීම සහ ඩොලර් පිටතට ගැලීම අවම කරගැනීම අපගේ ප්‍රධාන ආර්ථික උපායමාර්ගය විය යුතුයි.

රට තුළ ඇති වන කම්පනයකට මුහුණ දීමට අවශ්‍ය රුපියල් පැවැතියද, ඩොලර් උපදවන මාර්ග බිඳ දමන හා ඩොලර් වැය කරවන බාහිර කම්පනයකට මුහුණ දීමට තරම් ආර්ථිකය තවමත් ශක්තිමත් නැහැ. බාහිර කම්පනවලට ඔරොත්තු දෙන ආර්ථිකයක් නිර්මාණය කිරීම අපගේ සැලසුමයි.

භාණ්ඩාගාරයට එකතු වන ධනය බිම් මට්ටමේ ජනතාව දක්වා ගෙන ගොස් ඔවුන්ගේ සේවා, ඉඩම් ගැටලු විසඳා, කෘෂිකාර්මික, අධ්‍යාපන සහ සෞඛ්‍ය පහසුකම් සැලසිය යුත්තේ දේශපාලන අධිකාරිය නොව ශක්තිමත් රාජ්‍ය යාන්ත්‍රණයයි. ශක්තිමත් රාජ්‍ය යාන්ත්‍රණයක් නොමැතිව ධනය පහළට ගෙන යා නොහැකියි.

අතීතයේදී රාජ්‍ය අංශයේ රැකියාවලට වැඩි කැමැත්තක් පැවැතුණද, වර්තමානයේ වෘත්තිකයන් රඳවා ගැනීමට නොහැකි වීම නිසා රාජ්‍ය සේවයේ ආකර්ෂණය ගිලිහී ගොස් තිබෙනවා. එම නිසා ඉංජිනේරුවන්, IT වෘත්තිකයන් සහ කළමනාකරුවන් බඳවා ගැනීමට දුෂ්කරතා පවතිනවා.

මේ සඳහා පියවර ගනිමින් 2025 අයවැයෙන් රාජ්‍ය සේවයේ මූලික වැටුප වැඩි කිරීමට තීරණය කළ අතර, එය 2025, 2026 සහ 2027 යන වසරවල අදියර 3කින් ක්‍රියාත්මක වෙනවා. එක් අදියරකට රුපියල් බිලියන 110 බැගින් වැය වන අතර, 2027 වන විට 2024 හා සංසන්දනය කිරීමේදී රුපියල් කෝටි 33,000ක (බිලියන 330ක) අමතර වැටුප් බරක් දැරීමට සිදු වෙනවා.

2028 අයවැයේදී අලුතෙන් මූලික වැටුප් වැඩිවීමක් සිදු නොවන බැවින්, එහිදී දීමනා පිළිබඳව කල්පනා කළ හැකියි. කෙසේ වෙතත් මෙවර අයවැයෙන්ද අත්‍යවශ්‍ය දීමනා ලබා දීමට සැලකිලිමත් වී තිබෙනවා.

අපිට නූතන තාක්ෂණයෙන් හෙබි මිනින්දෝරු සේවයක් අවශ්‍යයි. මිනින්දෝරු සේවයට අවශ්‍ය නූතන තාක්ෂණික උපකරණ සඳහා තක්සේරු අධ්‍යයනයක් ලබා දුනහොත් අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කිරීමට සූදානම්. ඒ වගේම මානව සම්පත සංවර්ධනය සහ දීමනා සම්බන්ධව මතුව ඇති ගැටලු නිරාකරණය කිරීමටද අවධානය යොමු කර තිබෙනවා.

වසර 20කට පෙර පැවැති තත්ත්වයට වඩා වර්තමානයේ අවශ්‍යතා වෙනස් වී ඇති බැවින්, යම් අධ්‍යයනයක් කර සේවා ව්‍යවස්ථාවේ අවශ්‍ය වෙනස්කම් සිදු කිරීමටද අවධානය යොමු කරනවා.

පසුගිය කාලයේ සිදු වූ දේශපාලන පත්වීම් නිසා රාජ්‍ය සේවයේ පහළ මට්ටම් පිරී පැවැතීමෙන් විශාල වැය බරක් පැමිණ තිබෙනවා. එම නිසා අත්‍යවශ්‍ය නොවන හෝ අකාර්යක්ෂම ආයතන 34ක් වසා දැමීමට හෝ ඒකාබද්ධ කිරීමට මුදල් අමාත්‍යාංශය කමිටුවක් පත්කර තිබෙනවා.හොඳ ශක්තිමත් වෘත්තිකයන්ගෙන් සමන්විත ආකර්ෂණීය රාජ්‍ය සේවයක් ගොඩනැගීම අපගේ අරමුණයි.”

බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී පැවති රජයේ මිනින්දෝරු සංගමයේ 100වෙනි වාර්ෂික සම්මේලනයට එක් වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කරයි.

කාලගුණය යළිත් කැළඹෙයි.. සුළි කුණාටුවක්

කාලගුණය යළිත් කැළඹෙයි.. සුළි කුණාටුවක්

නව අඩු පීඩන කලාපයක් උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක ප්‍රදේශයේ නිර්මාණය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එම පද්ධතිය අද (24) දින පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමට බොහෝ දුරට ඉඩ ඇති බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් තවදුරටත් වර්ධනය වී ලබන (25) වැනිදා වනවිට ගැඹුරු පීඩන අවපාතයක් බවටත්, ඔක්තෝබර් (26) වැනිදා උදෑසන වනවිට බෙංගාල බොක්කේ බටහිර මධ්‍යම ප්‍රදේශය ආශ්‍රිතව සුළි කුණාටුවක් බවටත් පත්වීමට ඉතා ඉහළ සම්භාවිතාවක් පවතින බවද සඳහන් කරයි.

මෙම පද්ධතියේ සෘජු බලපෑමක් ශ්‍රී ලංකාවට නොමැති වුවද එම පද්ධතිය වෙත ඇදීයන සුළං ප්‍රවාහය දිවයින හරහා පවතින බැවින් දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක් ඉදිරි දින කිහිපයේදී අපේක්ෂා කරන බවද සඳහන් කරයි.

ජනපති අනුර අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතු සොයා බලයි

ජනපති අනුර අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතු සොයා බලයි

අනුරාධපුර පූජා නගරයේ ඓතිහාසිකත්වය, පෞරාණික වටිනාකම් සහ ආගමික පසුබිම සුරක්ෂිත කරමින් ප්‍රවේශ මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම, බැතිමතුන්ට සහ දෙස් විදෙස් සංචාරකයින්ට අවශ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීම, කසළ කළමනාකරණය ඇතුළු සංවර්ධන කටයුතු රැසක් ක්‍රියාත්මක කිරීමට අදාළ අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතු සොයා බැලීමට ජනාධිපති අනුර කුමාර දිසානායක අද (23) දින එක් විය.

‍ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව විසින් ව්‍යුහාත්මක සැලැස්මක් සකස් කර අනුරාධපුර පූජාභූමි සැලසුම් යෝජනා ක්‍රමය ලෙස ගැසට් කර ඇත.

එය 2026-02-27 වන දින ගැසට් පත්‍රයක් මගින් නැවත “යාවත්කාලීන කරන ලද අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම සහ සංවර්ධනය කිරීමේදී අනුගමනය කළයුතු නිර්ණායක ප්‍රකාශයට පත් කර ඇත.

මෙම ව්‍යාපෘතිය සඳහා ඉන්දීය රජය විසින් ප්‍රතිපාදන ලබාදීමට එකඟතාව පළ කර තිබෙන අතර සමස්ත ඇස්තමේන්තුගත වියදම රුපියල් බිලියන 7.7කි.

අනුරාධපුර පූජා නගරය වෙත පැමිණි ජනාධිපතිවරයා පා ගමනින් ඇවිඳ යමින් සංවර්ධන කටයුතුවලට අදාළ භූමිය සහ සැලසුම් නිරීක්ෂණය කළ අතර, නිලධාරින් සමඟ සාකච්ඡා කරමින් එම කටයුතුවල ප්‍රගතියද විමසා බැලීය.

අනුරාධපුර පූජා නගරයේ ඓතිහාසික පොකුණු තුන ආශ්‍රිත ප්‍රදේශයේ මාර්ග සංවර්ධන කටයුතු සහ බටහිර ආරාම විහාර සංකීර්ණයේ පුරාවිද්‍යාත්මක කැණීම් කටයුතු මෙහිදී ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක් විය.

අනතුරුව, රුවන්වැලි සෑය ආසන්නයේ අක්කර අට ප්‍රදේශයේ රථගාල ඉදිකිරීමට යෝජිත භූමිය නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා, යෝජිත සංවර්ධන ව්‍යාපෘතිවලට අදාළ භූමි හා සැලසුම්ද නිරීක්ෂණය කළේය.

ඓතිහාසික අනුරාධපුර පූජා භූමියේ පෞරාණිකත්වය සහ ආගමික වටිනාකම සුරක්ෂිත වන අයුරින් සියලු සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

එමෙන්ම, ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී මතුවන ගැටලු අදාළ සියලු පාර්ශ්වයන් එක්ව සාකච්ඡා කර විසඳා ගනිමින් සංවර්ධන කටයුතු කඩිනම් කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

මේ අතර, ඓතිහාසික රුවන්වැලි චෛත්‍යරාජයාණන් වහන්සේ වැඳපුදාගෙන ආශිර්වාද ලබාගත් ජනාධිපති අනුර කුමාර දිසානායක එහි සිදු කෙරෙන සංවර්ධන කටයුතු පිළිබඳව ද විමසා බැලීය.

එහිදී වැඩබලන අටමස්ථානාධිපති සහ රුවන්වැලි චෛත්‍යාරාමාධිපති අතිපූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥානතිලක නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය පිරිත් සජ්ඣායනා කරමින් ජනාධිපතිවරයා ඇතුළු පිරිසට ආශීර්වාද කළහ.

අනුරාධපුර පුදබිම වෙත පැමිණ සිටි ජනතාව මෙහිදී ජනාධිපතිවරයාව ඉතා උණුසුම් ලෙස පිළිගත් අතර ජනාධිපතිවරයා ඔවුන්ගේද තොරතුරු විමසමින් සුහද කතා බහක නිරත විය.

අලි සංක්‍රමණික තීරු (අලිමංකඩ) සහ ඒ ආශ්‍රිත ප්‍රදේශ ආවරණයට විදුලි වැටක්

අලි සංක්‍රමණික තීරු (අලිමංකඩ) සහ ඒ ආශ්‍රිත ප්‍රදේශ ආවරණයට විදුලි වැටක්

ශ්‍රී ලංකාවේ වන අලි සංක්‍රමණික තීරු (අලිමංකඩ) සහ ඒ ආශ්‍රිත ප්‍රදේශ ආවරණය වන පරිදි මේ වන විට පවතින විදුලි වැටෙහි මුළු දිග කි.මී.5787.89 ක් බවත්, මෙලෙස විදුලි වැටවල් ඉදිකිරීම, අදාළ ප්‍රදේශයන්හි පවතින භෞතික තත්ත්වයන් අනුව රක්ෂිත මායිම ආශ්‍රිතව සිදු වෙන බවත් පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි සදහන් කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය එල්.එම්.අබේවික්‍රම වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කළ ප්‍රශ්නවලට අමාත්‍යවරයා විසින් ලබා දුන් පිළිතුර මගින් ඉහත කරුණු අනාවරණය විය.

සභාගත කළ එම පිළිතුරට අනුව, අලි- මිනිස් ගැටුමට සහ වන අලි තර්ජනයට විසඳුම් සෙවීම සඳහා 2026 වර්ෂය වෙනුවෙන් සැලසුම් සකස් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය සහිතව 27 දෙනෙකුගෙන් යුක්ත කමිටුවක් පත්කර ඇති අතර එම කමිටුව මගින් මේ වනවිට අදාළ සැකැස්ම සකස් කරමින් පවතී.

විදුලි වැටවල් ඉදිකිරීම සහ නඩත්තු කිරීම සඳහා 2025 වර්ෂය තුළ රුපියල් මිලියන 618.89 ක් වැය කොට තිබේ.

විදුලි වැට හා මුරකුටි ඉදිකිරීම, විදුලි වැට උපකරණ මිලදී ගැනීම, සිවිල් ආරක්ෂක භටයින්ගේ ආහාර දීමනා හා විදුලි වැට නඩත්තු ඉන්ධන, නඩත්තු උපකරණ ඇතුළු විදුලි වැට නඩත්තු කටයුතු සඳහා වියදම් කොට ඇත.

අධිකරණ නියෝගය ගැන එජාපයෙන් නිවේදනයක්

අධිකරණ නියෝගය ගැන එජාපයෙන් නිවේදනයක්

ගලගොඩඅත්තේ ඥානසාර හිමිට නිදහස පතා මහනුවර සිට පාගමනින් පැමිණ ජනාධිපති ලේකම් කාර්යාලය අසල රැඳී සිටි භික්ෂූන් වහන්සේලාට එරෙහිව ගත් අධිකරණ නියෝගයකට ඇතුළත් කර තිබූ හිමිවරුන්ගේ නම් පසුව ඉවත් කිරීමට ගෙන ඇති තීරණය මගින් බරපතල වරදක් කර ඇති බව එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එම නිවේදනය පහතින්..

නියෝගයේ වෙනසක් නෑ.. විරෝධතාව අවසන් කරන්න වෙයි

නියෝගයේ වෙනසක් නෑ.. විරෝධතාව අවසන් කරන්න වෙයි

ගලගොඩඅත්තේ ඥානසාර හිමිට සමාව ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විහාර මහාදේවී උද්‍යානයේ බුදු පිළිමය අසල අඛණ්ඩව රැඳීසිටීම වළක්වාලමින් ඊයේ (22) දින නිකුත් කළ නියෝගය වෙනස් නොකරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (23) දින ප්‍රකාශ කළේය.

භික්ෂූන් වහන්සේලා පිරිසක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න ඇතුළු නීතිඥවරු පිරිසක් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මෙම නියෝගය නිකුත් කළේය.

එම නියෝගය වෙනස් නොකළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙම අධිකරණ නියෝගය කඩ කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කරන ලෙසට පොලිසිය කළ ඉල්ලීමද ඉවත ඉවත දැමුවේය. 

එවැනි වරෙන්තුවක් නිකුත් කිරීමට තරම් කරුණු මේ අවස්ථාවේදී අනාවරණ නොවන බවත් පොලිසියට අවශ්‍ය නම් අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන ප්‍රකාරව කටයුතු කිරීමට හැකියාව තිබෙන බව මහේස්ත්‍රාත්වරයා සඳහන් කරයි.

Follow WhatsApp Channel