Local news

කථානායකවරයාට එරෙහිව විශ්වාසභංගයක්

කථානායකවරයාට එරෙහිව විශ්වාසභංගයක්

සමගි ජන බලවේගය විසින් කථානයක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට තීරණය කර ඇත.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ගත් තීරණයකට අනුව මෙම යෝජනාව ගෙන එන බව සමගි ජන බලවේග මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සඳහන් කරයි.

කථානායකවරයා සම්බන්ධයෙන් කරුණු 40කට අධික සංඛ්‍යාවක් මෙම විශ්වාසභංග යෝජනාවට ඇතුළත් කර ඇති බව මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සඳහන් කරයි.

ඒ අනුව අදාළ යෝජනාව නුදුරු දිනකදී කථානායකවරයා වෙත භාරදීමට නියමිත බවද මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ නිර්මාණය කළ TruePass ඩිජිටල් අනන්‍යතා වේදිකාව එළිදකී

ශ්‍රී ලංකාවේ නිර්මාණය කළ TruePass ඩිජිටල් අනන්‍යතා වේදිකාව එළිදකී

ශ්‍රී ලංකාවේ ඩිජිටල් ප්‍රකාශන ක්ෂේත්‍රය වෙනුවෙන් මෙරටදීම නිර්මාණය කළ TruePass ඩිජිටල් අනන්‍යතා සහ සත්‍යාපන (Digital Identity & Authentication) වේදිකාව පසුගිය (17) වැනිදා කොළඹදී නිල වශයෙන් එළිදක්වන ලදී.

ඩිජිටල් ප්‍රකාශකයන්ට තම පාඨකයන් සමඟ වඩාත් සෘජු, විශ්වාසනීය සහ දිගුකාලීන සබඳතාවක් ගොඩනගා ගැනීමට අවශ්‍ය තාක්ෂණික පදනමක් සැපයීම TruePass හි මූලික අරමුණයි.

මෙම එළි දැක්වීමේ සුවිශේෂී අවස්ථාවක් ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ඩිජිටල් මාධ්‍ය ආයතන රැසක් මෙම සන්ධානය සමඟ එක්විය.

මෙවැනි ප්‍රමුඛ ප්‍රකාශකයන් එකම දැක්මක් වටා එක්වීම, ශ්‍රී ලංකාවේ ඩිජිටල් ප්‍රකාශන ක්ෂේත්‍රයේ මෙතෙක් පැවති වැදගත් තාක්ෂණික හිඩැසක් පිළිබඳ කර්මාන්තයේ අවධානය පෙන්නුම් කරයි.

එනම්, හඳුනා නොගත් (anonymous) වෙබ් අඩවි ප්‍රේක්ෂකයන්ගෙන් ඔබ්බට ගොස්, තමන්ගේම First-Party Audience Relationships ගොඩනගා ගැනීමට ප්‍රකාශකයන්ට හැකිවන විශ්වාසනීය identity සහ authentication layer එකක අවශ්‍යතාවයයි.

TruePass Media Alliance මඟින් ප්‍රකාශකයා සහ පාඨකයා අතර සෘජු සබඳතාව ශක්තිමත් කිරීම, තමන්ගේම first-party audience data පිළිබඳ වැඩි පාලනයක් ලබා ගැනීම සහ ඩිජිටල් මාධ්‍ය සඳහා තිරසාර ආදායම් ආකෘති ගොඩනැගීම සඳහා ශක්තිමත් පදනමක් නිර්මාණය කිරීමේ පොදු දැක්මක් ඉදිරිපත් කරයි.

රුපියල් මිලියන 70ක් අල්ලස්.. නාමල්ගෙන් ප්‍රශ්න කරයි

රුපියල් මිලියන 70ක් අල්ලස්.. නාමල්ගෙන් ප්‍රශ්න කරයි

මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත.

ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්‍යක්ෂිකා ජානකී සිරිවර්ධන විසින් නාමල් රාජපක්ෂට රුපියල් මිලියන 70ක අල්ලසක් ලබා දුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් වන විමර්ශනයට අදාළව එම ප්‍රකාශය ලබාගත් බව අල්ලස් කොමිසම සඳහන් කරයි.

නාගරික සංවර්ධන අධිකාරියට අයත් කොළඹ කොටුව ප්‍රදේශයේ පිහිටි ඉඩමක් ක්‍රිෂ්  සමාගම වෙත ලබා ගැනීමට හා ඊට අදාළ අනුමැතිය කඩිනම් කර ගැනීමට සහය ලබාදීම වෙනුවෙන් අවස්ථා 3කදී නාමල් රාජපක්ෂ වෙත අදාළ අල්ලස් මුදල ලබාදී ඇත.

ඒ අනුව අල්ලස් කොමිසමේ නිලධාරීන් පිරිසක් අද (25) කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත ගොස් නාමල් රාජපක්ෂගෙන් ප්‍රකාශයක් සටහන් කර ගත් බව අල්ලස් කොමිසම සඳහන් කරයි.

පොළොන්නරුව රෝහලේ පිපිරීමෙන් සේවකයෙක් මරුට

පොළොන්නරුව රෝහලේ පිපිරීමෙන් සේවකයෙක් මරුට

පොළොන්නරුව ජාතික වකුගඩු රෝහලේ මුළුතැන්ගෙය පරිශ්‍රයේ සිදුවූ පිපිරීමෙන් බරපතළ තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි සෞඛ්‍ය කාර්ය සහයකයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ 36 හැවිරිදි ගල්ඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ අනෙක් දෙදෙනා තවදුරටත් එම ඒකකයේ ප්‍රතිකාර ලබයි.

රෝහලේ මුළුතැන්ගෙය පරිශ්‍රයේ අද (26) අලුයම 4.00ට පමණ සිදුවූ මෙම පිපිරීමෙන් පුද්ගලයින් 7 දෙනෙකු තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කරනු ලැබීය.

විදෙස් ගතවන ශ්‍රී ලාංකිකයින්ට විශේෂ නිවේදනයක්

විදෙස් ගතවන ශ්‍රී ලාංකිකයින්ට විශේෂ නිවේදනයක්

ජපාන සහ රුමේනියා රැකියා සඳහා ප්‍රථමවරට විදෙස් ගතවන ශ්‍රී ලාංකිකයින්ට කාර්යාංශයේ ලියාපදිංචිය අනිවාර්ය කර ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

ජපාන සහ රුමේනියා රැකියා සඳහා විදෙස්ගතවන ශ්‍රමිකයින් වෙනුවෙන් විගමණික පුහුණු පාඨමාලාවක් ආරම්භ කර ඇති බවද එම කාර්යාංශය සඳහන් කරයි.

එම පුහුණුව නොමැති ශ්‍රමිකයින්ට කාර්යාංශයේ ලියාපදංචිය ලබාදෙන්නේ නැති බවත් අදාළ පාඨමාලාව සම්පූර්ණ කිරීම ද අනිවාර්ය බවද එම කාර්යාංශය සඳහන් කරයි.

ජපානයේ රැකියා අපේක්ෂිත පුද්ගලයින්ට දින දෙකක පුහුණුවක් ලබාදෙන අතර රුමේනියාවේ රැකියා සදහා යන පුද්ගලයින්ට දින තුනක පුහුණුවක් ලබාදෙයි.

එම අනිවාර්ය පුහුණු පාඨමාලාව සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සියලු ශාඛා කාර්යාල වලින් ලියාපදිංචි විය හැකියි.

තවත් වනාන්තර 20ක් රක්ෂිත බවට පත් කරයි

තවත් වනාන්තර 20ක් රක්ෂිත බවට පත් කරයි

“වනස්පති” ජාතික වැඩසටහනට සමගාමීව අද (26) දින වනාන්තර 20ක්, රක්ෂිත ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත් කෙරේ.

ඒ අනූව නුවරඑළිය, කෑගල්ල, අම්පාර, බදුල්ල, වව්නියාව සහ අනුරාධපුර වල දිස්ත්‍රික්ක තුළ පිහිටි වනාන්තර 20ක් එලෙස රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කෙරේ.

පරිසර අමාත්‍යංශය, මේ වනවිට වනාන්තර 93ක් රක්ෂිත ලෙස ගැසට් කර ඇති අතර අද දින රක්ෂිත ලෙස ගැසට් කරන වනාන්තර 20 සමග මුළු භූමි ප්‍රමාණය හෙක්ටයාර 65,000කට ආසන්නයි.

ගල්අඟුරු වංචාව.. හිටපු ඇමති රංජිත්ගෙන් ප්‍රශ්න කරයි

ගල්අඟුරු වංචාව.. හිටපු ඇමති රංජිත්ගෙන් ප්‍රශ්න කරයි

හිටපු බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටියගෙන් පසුගියදා ගල්අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ජනාධිපති ‌කොමිෂන් සභාව ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත.

මේ සම්බන්ධයෙන් හිටපු බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටියගෙන් මෙම ජනාධිපති ‌කොමිෂන් සභාව ප්‍රකාශයක් සටහන් කර ගත් දෙවැනි අවස්ථාව මෙයයි.

පසුගිය 2009 වසරේ සිට මේ දක්වා සිදුවූ ගල් අඟුරු මිලදී ගැනීමේ ආක්‍රමිකතා විමර්ශන කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මෙම කොමිෂන් සභාව පත් කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංගගේ සභාපතිත්වයෙන් යුතු මෙම කොමිසමේ සෙසු සාමාජිකයන් ලෙස අභියාචනාධිකරණ විනිසුරු ආදිත්‍ය පට බැඳිගේ සහ මහාධිකරණ විනිසුරු සංජීව සෝමරත්න කටයුතු කරයි.

නාමල් බන්ධනාගාරයේ හිටියට වන්, ටූ, ත්‍රී, ෆෝ අපි යනවා ඉදිරියට

නාමල් බන්ධනාගාරයේ හිටියට වන්, ටූ, ත්‍රී, ෆෝ අපි යනවා ඉදිරියට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු නාමල් රාජපක්ෂට නොබෝ දිනකින් ඇප ලැබෙයි කියා විශ්වාසය කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර සඳහන් කරයි.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සිරගත වෙලා හිටියට ඔක්කොම එකතු වී වන්, ටූ, ත්‍රී, ෆෝ කියලා ඉදිරි වැඩකටයුතු එළියේ ඉදන් සිදුකරන බවද ප්‍රසන්න රණවීර සඳහන් කරයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රසන්න රණවීර සඳහන් කළේ,

“අපි විශ්වාස කරනවා අධිකරණය ස්වාධීනව කටයුතු කරයි කියලා විශ්වාසය අපි තුළ තියෙනවා. ඒ තුළ අපි විශ්වාස කරනවා නාමල් රාජපක්ෂ මැතිතුමාට නොබෝ දිනකින් ඇප ලැබෙයි කියන විශ්වාසය තියෙනවා.”

“එතුමා සිරගත වෙලා හිටියට අපි ඔක්කොම එකතු වෙලා අපේ ගේම් වන්, ටූ, ත්‍රී, ෆෝ කියලා අපි තියෙනවා. ඒ අනුව ඉදිරි වැඩකටයුතු කරන් යනවා. නායකයෙක් නෑ කියලා නෑ. එතුමා ඉන්නවා. එතුමාගේ උපදෙස් පරිදි ඉතිරි වැඩකටයුතු එළියේ ඉදන් කරන් යනවා.“

පේරාදෙණිය සරසවියට ලෝකයේ ඉහළ පිළිගැනිමක්

පේරාදෙණිය සරසවියට ලෝකයේ ඉහළ පිළිගැනිමක්

2026 UI GreenMetric ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම්හි ශ්‍රී ලංකාවේ අංක 1 ස්ථානය යළිත් වරක් තහවුරු කර ගැනීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලය සමත්ව ඇත.

2026 ශ්‍රේණිගත කිරීම් අනුව, රටවල් 110ක විශ්වවිද්‍යාල 2,016ක් අතරින් පේරාදෙණිය විශ්වවිද්‍යාලය ලකුණු 8,262.5ක් ලබාගෙන ලෝකයේ 200 වැනි ස්ථානය හිමිකරගෙන ඇත.

පරිසර හිතකාමී සහ තිරසර විශ්වවිද්‍යාල පරිසරයක් පවත්වාගෙන යාම, තිරසර සංවර්ධන ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම සහ පාරිසරික වගකීම් සහගත භාවිතයන් ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලය දක්වන අඛණ්ඩ ප්‍රගතිය මෙම ජයග්‍රහණය තුළින් පිළිබිඹු කරයි.

UI GreenMetric ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීමේදී, විශ්වවිද්‍යාලවල තිරසරභාවය පරිසර සැකසුම හා යටිතල පහසුකම්, බලශක්තිය හා දේශගුණික විපර්යාස, අපද්‍රව්‍ය කළමනාකරණය, ජල කළමනාකරණය, ප්‍රවාහනය, අධ්‍යාපනය, පාලනය සහ ඩිජිටල්කරණය ඇතුළු ප්‍රධාන දර්ශක කිහිපයක් ඔස්සේ ඇගයීමට ලක් කරනු ලබයි.

රටවල් 110ක විශ්වවිද්‍යාල 2,016ක් සහභාගී වූ 2026 UI GreenMetric ශ්‍රේණිගත කිරීම තුළින් ලෝකයේ විශ්වවිද්‍යාලවල තිරසර ක්‍රියාකාරීත්වය ඇගයීම සඳහා පවතින ප්‍රධාන ජාත්‍යන්තර වේදිකාවක් ලෙස එහි වැදගත්කම තවදුරටත් ඉහළ ගොස් ඇත.

ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රකාශය ඉදිරිපත් කිරීමට ඇමති විජිත අමෙරිකාවට

ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රකාශය ඉදිරිපත් කිරීමට ඇමති විජිත අමෙරිකාවට

විදේශ අමාත්‍ය විජිත හේරත් අද (26) එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සහභාගිවීම සඳහා අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර බලා පිටත්ව යාමට නියමිතය.

සඳුදා පැවැත්වෙන මහා මණ්ඩල විවාදයේදී විදේශ අමාත්‍ය විජිත හේරත් ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතය.

එහිදී ශ්‍රී ලංකාවේ වර්තමාන විදේශ ප්‍රතිපත්ති ප්‍රමුඛතා සහ ගෝලීය ගැටලු සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ ඉදිරිපත් කරනු ඇත.

පසුගිය (22) වැනිදා ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ 81 වැනි මහා මණ්ඩල සැසිය, ලබන (28) වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

සහයෝගීතාවය වර්ධනය කර ගැනීම සඳහා රටවල් කිහිපයක විදේශ අමාත්‍යවරුන් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉහළ නිලධාරීන් කිහිපදෙනෙකු සමඟ එහිදී අමාත්‍යවරයා සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත.

✕
⌃ News
📰 Free News Subscription?