Local news

ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රකාශය ඉදිරිපත් කිරීමට ඇමති විජිත අමෙරිකාවට

ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රකාශය ඉදිරිපත් කිරීමට ඇමති විජිත අමෙරිකාවට

විදේශ අමාත්‍ය විජිත හේරත් අද (26) එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සහභාගිවීම සඳහා අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර බලා පිටත්ව යාමට නියමිතය.

සඳුදා පැවැත්වෙන මහා මණ්ඩල විවාදයේදී විදේශ අමාත්‍ය විජිත හේරත් ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතය.

එහිදී ශ්‍රී ලංකාවේ වර්තමාන විදේශ ප්‍රතිපත්ති ප්‍රමුඛතා සහ ගෝලීය ගැටලු සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ ඉදිරිපත් කරනු ඇත.

පසුගිය (22) වැනිදා ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ 81 වැනි මහා මණ්ඩල සැසිය, ලබන (28) වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

සහයෝගීතාවය වර්ධනය කර ගැනීම සඳහා රටවල් කිහිපයක විදේශ අමාත්‍යවරුන් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉහළ නිලධාරීන් කිහිපදෙනෙකු සමඟ එහිදී අමාත්‍යවරයා සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත.

පොළොන්නරුව වකුගඩු රෝහලේ විශාල පිපිරීමක්

පොළොන්නරුව වකුගඩු රෝහලේ විශාල පිපිරීමක්

අද (26) දින පොළොන්නරුව වකුගඩු රෝහලේ සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 7 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වේ.

රෝහලේ මුළුතැන්ගෙය තුළ ගෑස් සිලින්ඩරයක් පුපුරායාමෙන් මෙම අනතුර සිදුවී ඇති බව පොලීසිය සඳහන් කරන අතර පිපිරීමෙන් රෝහල් ගොඩනැගිල්ලට දැඩි අලාභහානි සිදුවී ඇත.

මෙම පිපිරීමෙන් තුවාල ලබා ඇත්තේ මුළුතැන්ගෙයි සේවයේ නියුතුව සිටි පිරිසක් වන අතර තුවාල ලබු සේවකයින් ප්‍රතිකාර සඳහා පොළොන්නරුව රෝහලට ඇතුළත් කර ඇත.

පිපිරීමෙන් වකුගඩු රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ට හා එහි සේවයේ නියුතු සෞඛ්‍ය කාර්යමණ්ඩලයට අනතුරක් සිදුවී නොමැත.

ගුවන් යානයක් කඩාවැටී ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් ඇතුළු 14ක් මරුට

ගුවන් යානයක් කඩාවැටී ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් ඇතුළු 14ක් මරුට

කොංගෝ රාජ්‍යයේ නිරිතදිග කික්විට් නගරයේ සිට අගනුවර වන කින්ෂාසා දක්වා පියාසර කරමින් තිබූ ගුවන් යානයක් හදිසි කාර්මික දෝෂයකට ලක්ව කෙන්ගෙ ප්‍රදේශයට කඩා වැටී ඇත.

සිදුවූ මෙම ගුවන් අනතුරෙන් ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් දෙදෙනෙකු ඇතුළුව පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට හමුදාව සඳහන් කරයි.

කොංගෝ හමුදා අධිකරණ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් මුටොම්බෝ කටාලයි ටියෙන්ඩේ සහ සන්නද්ධ හමුදා විගණන ප්‍රධානී ජෙනරාල් ලුතිනන් ජෙනරාල් බකුමි ලිකුලියා යන ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් දෙදෙනා මියගිය පිරිස අතර සිටී.

අනතුරට හේතුව එරට සිවිල් ගුවන් සේවා අධිකාරිය මෙතෙක් ප්‍රකාශ කර නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

22 විරුද්ධව විපක්ෂය සමග එකතු නොවු විපක්ෂයේ ප්‍රබලයින් තිදෙනා

22 විරුද්ධව විපක්ෂය සමග එකතු නොවු විපක්ෂයේ ප්‍රබලයින් තිදෙනා

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට දෙවන වර කියවීම සම්මත කිරීමට ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන් ඒකමතිකව ඡන්දය ප්‍රකාශ කළ අතර එහිදී පක්ෂව ඡන්ද 158ක් හිමිවිය.

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමට විරුද්ධව විපක්ෂ මන්ත්‍රීවරු 63ක් ඡන්දය ප්‍රකාශ කර ඇති අතර ඡන්දය දීමෙන් වැලකී සිටි කිසිවෙක් නොමැත.

විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 66 දෙනා අතුරින් මන්ත්‍රීවරු 63 දෙනෙක් ඡන්දය ප්‍රකාශ කළද, අනෙක් මන්ත්‍රීවරුන් 3 දෙනා ඡන්දය ප්‍රකාශ කිරීමට පාර්ලිමේන්තුවට පැමිණියේ නැත.

ඒ අනුව 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා විපක්ෂය සමග එක් නොවු මන්ත්‍රීවරුන් 3 දෙනා වන්නේ,

1, රනිල් වික්‍රමසිංහ නායකත්වය ලබාදෙන නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක,

2. රනිල් වික්‍රමසිංහ නායකත්වය ලබාදෙන නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාපා,

3. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නායකත්වය ලබාදෙන සමගි ජන බලවේග පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රී නයන වාසලතිලක,

කෙසේ වෙතත්, 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීම පාර්ලිමේන්තුවේ විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත විය.

ලසන්තගේ ඝාතනයට හේතුව සොයාගනී.. ඝාතනය කළ පුද්ගලයින් දන්න අය දන්නවා

ලසන්තගේ ඝාතනයට හේතුව සොයාගනී.. ඝාතනය කළ පුද්ගලයින් දන්න අය දන්නවා

සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීමට හේතුව හරියටම, නිශ්චිතවම හොයාගෙන තියෙන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක සඳහන් කරයි.

ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීමට හේතුව, ශ්‍රී ලංකාවේ දූෂණයට එරෙහිව තමන්ගේ පෑන මෙහෙයවීම බවත් ඔහු පාලකයින් විසින් කරනු ලැබු දූෂණයන්ට එරෙහි වු නිසා ජීවිතය අහිමි වු බවද අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක සඳහන් කරයි.

අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක සඳහන් කළේ,

“ලසන්ත වික්‍රමතුංග මරා දැමීමට හේතුව, ඔහු ශ්‍රී ලංකාවේ දූෂණයට එරෙහිව තමන්ගේ පෑන මෙහෙයවීම. අපි ලසන්තගේ ඝාතකයෝ හරියට හොයාගෙන නෑ. අනුමැතීන් අපිට තියෙනවා. හැබැයි හරියට හොයාගෙන නෑ.

ඒ වුණාට, ලසන්තගේ ඝාතනයට හේතුව හරියට හොයාගෙන තියෙනවා. ඒක හරියටම නිශ්චිතවම හොයාගෙන තියෙනවා. ඒ තමයි ඔහු මේ රටේ සිදුවෙච්ච දුෂණයන්ට, වංචාවන්ට එරෙහි වීම.

විශේෂයෙන්ම පාලකයින් විසින් කරනු ලබන දූෂණයන්ට එරෙහි වීම. ලසන්ත එදා එරෙහි වුයේ දූෂණය අපේ රටට මොනවාද කලේ කියන එක අද අපි සියලු දෙනාටම ඔප්පු වී අවසන්.”

“මේ දූෂණයන්ට, වංචාවන්ට එරෙහිව ලසන්ත වගේ මිනිස්සූ කීපදෙනෙක් හඬ නගද්දී නිශ්ශබ්දව සිටි දස දහසක් මිනිස්සු ඊට වසර ගාණකට පස්සේ පෝලිම්වල මැරිලා වැටුණා.

එදා දූෂණයට, වංචාවට එරෙහි වෙලා නැතුව ඇහැ කණ පියන් හිටපු මිනිස්සූන්ට ගෑස් ටික, තෙල් ටික ගන්න පෝලිම් වල ඉන්න වුණේ ඒ දූෂණය හින්දා තමයි රට මේ තත්ත්වයට පත් වුණේ. මේ ආර්ථිකමය ප්‍රපාතයට සම්පුර්ණ හේතුව ඒක.

ඒක මට අද ඉතා පැහැදිලිව පේනවා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ තියෙන ෆයිල් වලින්. සමහර ෆයිල් නෑ. හැබැයි තියෙන ඒවගෙන්. ඒ විතරක් නෙමෙයි ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණ⁣ය නඩු තීන්දුවකින් තීරණය කරලා තිබෙනවා නම් එක්ක වගඋත්තරකරුවන්ගේ.

ලංකාවේ ආර්ථික බිදවැටීමට හේතුව මොකක්ද කියලා. අනිවාර්යයෙන්ම එය වංචාව සහ දූෂණය. එය බලය ඇති තැනැත්තන් විසින් කරනු ලැබූ දූෂණය. එනිසා ලසන්තගේ මරණයට හේතුව නිශ්චිතයි.

කවදා හරි දවසක අද වගේ ලසන්ත ගැන මිනිස්සූ කතා කරන කොට ඔහු වෙනස්ව හිතපු එක, ඔහු දූෂණයට, වංචාවට විරුද්ධව කටයුතු කරපු එක සම්බන්ධයෙන් අද ඔහුව අගයනවා නම්, මම හිතන්නේ ඔහුගේ ජීවිතය සාර්ථක වෙලා තියෙනවා.”

“එවැනි මිනිසුන් මරා දැමීම සහ ඒ මරා දමපු මිනිසුන් සම්බන්ධයෙන් යුක්තිය ඉෂ්ට නොවීම සම්බන්ධයෙන් විශාල ගැටලුවක් තිබෙනවා. ඒකට හේතුවත්, ඒ යුක්තිය ඉෂ්ට කරන්න සැබෑ වුවමනාවක් තිබුණාද.? නැද්ද.? කියන එකයි.

විනිශ්චයකාරවරයෙක් විදිහට මම දන්නවා, අපේ නීති ක්‍රමය ඇතුලේ හොයන්නේ පුද්ගලයෙක් ඒ දේ කරාද, නැද්ද කියලා නෙමෙයි. අපේ නීති ක්‍රමය ඇතුලේ හොයන්නේ පුද්ගලයෙක් යම් විත්තිකාරයෙක්ට විරුද්ධව නඩුව ඔප්පු කරාද, නැද්ද කියලා.

ඒ පැමිණිල්ල නඩුව ඔප්පු කරන්න සාක්ෂි ඕනි. ඒ සාක්ෂි නැතුව අධිකරණයක් ඉදිරියේ යුක්තිය ඉෂ්ට කරන්න බෑ. හැබැයි යුක්තිය ඉෂ්ට කරන්න පුළුවන් අධිකරණය ඉදිරියේ විතරක් නෙමෙයි. අධිකරණය ඉදිරියේ ලසන්තට යුක්තිය ඉෂ්ට වෙලා නෑ. හේතුව සාක්ෂි හොයාගන්න බැරි නිසා.

හැබැයි ලසන්ත මැරුවේ කවුද කියලා දන්න මිනිස්සූ දන්නවා. ඒ මිනිස්සූත් දන්නවා, ඒක කරපු අයත් දන්නවා, ඒවා දන්න අයත් ඉන්නවා. ඒගොල්ලෝ බොහෝ දෙනා කට හෙල්ලුවේ නෑ. හැබැයි කවදා හරි දවසක ඒගොල්ලෝ මැරෙන වෙලාවට හරි දන්නවා, මම ලසන්ත වෙනුවෙන් යුක්තිය ඉෂ්ට කරේ නෑ කියලා. මම කියන්නේ මරපු මිනිස්සූ නෙමෙයි, ඒ මරණය ගැන දන්න මිනිස්සූ.”

FCID එන්න බෑ අසාධ්‍යයි කියපු ශිරන්ති මුණ වසාගෙන සාප්පු සවාරි

FCID එන්න බෑ අසාධ්‍යයි කියපු ශිරන්ති මුණ වසාගෙන සාප්පු සවාරි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) හමුවේ (24) වන දින පෙනී සිටින ලෙස දැනුම් දුන්නද, ඇය පෙනී සිටියේ නැත.

පෙනී නොසිටීමට හේතු දක්වමින් ශිරන්ති රාජපක්ෂ වෙනුවෙන් නීතීඥවරයෙක් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත ලිපියක් යොමු කළේය.

එම ලිපියෙන් දැනුම් දී ඇත්තේ, (24) දින පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවට පැමිණෙන ලෙසට කර ඇති දැනුම්දීමට අනුව ශිරන්ති රාජපක්ෂට පැමිණීමට නොහැකි බවයි.

ශිරන්ති රාජපක්ෂ අක්ෂි ශල්‍යකර්මයක් සඳහා සිංගප්පූරුවට ගොස් ඇති බැවින් ඇය නැවතත් මෙරටට පැමිණි පසුව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින බව නීතීඥවරයා දැනුම් දී ඇත.

කෙසේ වෙතත් අක්ෂි ශල්‍යකර්මයක් සඳහා සිංගප්පූරුවට ගොස් සිටින ශිරන්ති රාජපක්ෂ මුණ වසාගෙන සාප්පු සංකීර්ණයක ගමන් කරන ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.

ශිරන්ති රාජපක්ෂගේ මුලිකත්වයෙන් පවත්වාගෙන ගිය “සිරිලිය සවිය” සංවිධානයේ ගණුදෙනු වලට අදාළව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විමර්ශනය සිදු කරයි.

සලේ වෙනුවෙන් ආ නිලධාරියා ආපසු හැරී අධිකරණයෙන් අවසර ඉල්ලයි

සලේ වෙනුවෙන් ආ නිලධාරියා ආපසු හැරී අධිකරණයෙන් අවසර ඉල්ලයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ්⁣ සලේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා තබාගැනීම අභියෝගයට ලක් කරමින් විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරී ශාන්ත ජයතිලක ඉදිරිපත් කළ මුලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණ⁣ය විසින් ප්‍රතික්ෂේප කර ඇත.

පෙත්සම්කරු එම පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අධිකරණයෙන් අවසර ඉල්ලා සිටීම හේතුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණ⁣ය මෙම නියෝගය නිකුත් කළේය.

පෙත්සම කැඳවු අවස්තාවේදි නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුදර්ශි ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ, පෙත්සම සම්බන්ධ මුලික විරෝධතා ගොනු කරන බවයි.

තවද පෙත්සම ඉදිරිපත් කිරීමට පෙත්සම්කරුට කිසිදු නීත්‍යානුකූල බලයක් නොමැති බවද අතිරේක සොලිසිටර් ජනරාල් සුදර්ශි ද සිල්වා අධිකරණය හමුවේ සඳහන් කළේය.

අනතුරුව කරුණු සලකා බැලු විනිසුරු මඩුල්ල පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට පෙත්සම්කරුට අවසර ලබාදෙමින් පෙත්සම ගාස්තු රහිතව නිශ්ප්‍රභ කිරීමට නියෝග කළේය.

ඡන්ද විමසීම පැරදී නිල්පාට බසයෙන් වැලිකඩ යන ගමන් නාමල්ගෙන් ප්‍රකාශයක්

ඡන්ද විමසීම පැරදී නිල්පාට බසයෙන් වැලිකඩ යන ගමන් නාමල්ගෙන් ප්‍රකාශයක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධ පාර්ලිමේන්තු ඡන්ද විමසීමෙන් අනතුරුව සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබා ඇත.

එම සටහන පහතින්..

“22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව පාර්ලිමේන්තුව තුළින් අද තීරණයක් ලැබී ඇත.

ජනමත විචාරණයක් ව්‍යවස්ථානුකූලව අවශ්‍ය නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවට මම ගරු කරමි.

නමුත් තවමත් මතු කළ යුතු ප්‍රශ්න කිහිපයක් ඇත. එනම් මෙම ව්‍යවස්ථා සංශෝධන සිදු කිරීමට මේ මොහොතම තෝරා ගන්නේ ඇයි?. එහි ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට ඇති ආරක්ෂණ මොනවාද? යන ගැටළු මතු විය යුතු බව විශ්වාස කරමි.

මෙලෙස සිදු කෙරෙන සංශෝධන සහ විධිවිධාන කිසිදු පුද්ගලයෙක් මූලික කරගෙන හෝ පුද්ගල අවශ්‍යතා මත පදනම්ව හෝ වත්මන් අවශ්‍යතාවයන් මත හෝ සිදු වන්නක් නොව, අදාළ ආයතන වල යහපත සහ ස්වාධීනත්වය සුරැකීම සඳහා යොදා ගත යුතු බැවින් ඉතා ප්‍රවේශමෙන් සලකා බැලිය යුතු බව අවධාරණය කරමි.

සෑම පුරවැසියෙකුගේම අපේක්ෂාවන් වන ස්වාධීන අධිකරණයක්, ක්‍රියා පටිපාටියකට අනුකූල වූ නීතිමය රාමුවක් සහ දේශපාලන බලපෑම්වලින් තොර යුක්තියක් යන සාධක කිහිපය ඉල්ලා සිටිමි.

ආණ්ඩුව, දේශපාලනඥයන් ගතිකත්වයෙන් යුතුව වෙනස් වන සුළු බැවින් ද, බලයද අතින් අත මාරු වන්නේය. එහෙත් අද බලය දරන පුද්ගලයාගෙන් හෝ අනාගතයේ බලය දරන ඕනෑම අයෙකුගෙන් අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා විය යුතු බව විශ්වාස කරමි. ඒ, අධිකරණයේ ස්වාධීනත්වය අන් කවරෙකුටත් වඩා විශාල මූලධර්මයක් වන බැවිනි.”

22 වන පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය

22 වන පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය

විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න අද (25) දින සිය සහතිකය සටහන් කළේය.

විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය ඊයේ (24) සහ අද පැවැත්වුණු අතර, එහිදී පාර්ලිමේන්තුවේ විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත විය.

පනත් කෙටුම්පත මඟින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස අවුරුදු 65 සිට 67 දක්වාත්, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස අවුරුදු 63 සිට 65 දක්වාත් සංශෝධනය කර ඇත.

එමෙන්ම අභියාචනාධිකරණයේ විනිසුරුවරුන් සංඛ්‍යාව 19 සිට 24 දක්වා ඉහළ නැංවීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 137 වන වගන්තිය සංශෝධනය කිරීමට යෝජනා කර ඇත.

ඒ අනුව ප්‍රාදේශීය අභියාචනාධිකරණ පිහිටුවා ක්‍රියාත්මක කිරීම මඟින් විභාග කිරීමට පවතින නඩු කඩිනමින් අවසන් කිරීමටත්, නඩුවල පාර්ශවකරුවන්ට කොළඹට පැමිණීමට ඇති අවශ්‍යතාව අඩු කිරීමටත් මෙමගින් අපේක්ෂා කෙරේ.

ඒ අනුව මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත, විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලෙස බලාත්මක වේ.

මේ අතර අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න අද සිය සහතිකය සටහන් කළේය.

පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය ඊයේ (24) දින සහ අද පැවැත්වුණු අතර, එහිදී පාර්ලිමේන්තුවේ වැඩි ජන්දයෙන් පනත් කෙටුම්පත අද සම්මත කෙරිණි.

මෙම පනත සංශෝධනය මගින් මහාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 සිට 63 දක්වාත්, දිසා විනිසුරුවරුන්ගේ සහ මහේස්ත්‍රාත්වරුන්ගේ විශ්‍රාම යා‍මේ වයස අවුරුදු 60 සිට 62 දක්වාත් ඉහළ නැංවීමට සංශෝධනය කර ඇත.

අධිකරණ සංවිධාන පනතේ 4 වන වගන්තිය සංශෝධනය කරමින් අතිරේක පළාත්බද මහාධිකරණ සහ පළාත්බද සිවිල් අභියාචනා මහාධිකරණ පිහිටුවීමට හැකි වන පරිදි උපරිම මහාධිකරණ විනිසුරුවරුන් සංඛ්‍යාව 110 සිට 120 දක්වා වැඩි කිරීමට අපේක්ෂා කෙරේ.

ඒ අනුව අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත 2026 අංක 23 දරන අධිකරණ සංවිධාන (සංශෝධන) පනත ලෙස බලාත්මක වේ.

22 වන සංශෝධනය විශේෂ බහුතර ඡන්දයෙන් සම්මතයි

22 වන සංශෝධනය විශේෂ බහුතර ඡන්දයෙන් සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට දෙවන වර කියවීම සම්මත කිරීමට පක්ෂව ඡන්ද 158ක් ලැබී ඇත.

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට විරුද්ධව ඡන්ද 63ක් ලැබී අති අතර ඡන්දය දීමෙන් වැලකී සිටි කිසිවෙක් නොමැත.

ඒ අනුව 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීම පාර්ලිමේන්තුවේ විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත විය.

අනතුරුව 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ තෙවනවර කියවීම සංශෝධන සහිතව විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත කරගන්නා ලදී.

✕
⌃ News
📰 Free News Subscription?