Local news

සබරගමුව විශ්වවිද්‍යාලයේ නව කුලපති පත් කෙරේ

සබරගමුව විශ්වවිද්‍යාලයේ නව කුලපති පත් කෙරේ

සබරගමුව විශ්වවිද්‍යාලයේ නව කුලපති ලෙස මොලගොඩ, කොටමුදුන්ගල රජමහා විහාරාධිපති, අග්ගමහා පණ්ඩිත ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගල්ලෑල්ලේ සුමනසිරි හිමි පත් කරනු ලැබ ඇත.

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් උන්වහන්සේගේ මෙම පත්වීම සිදු කරනු ලැබ තිබේ.

ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් පූජ්‍ය ගල්ලෑල්ලේ සුමනසිරි හිමි වෙත ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (23) දින පිළිගන්වන ලදී.

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගල්ලෑල්ලේ සුමනසිරි හිමි මීට ප්‍රථම ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ සහ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ උපකුලපති ධුරයේ කටයුතු කර ඇත.

උන්වහන්සේ සිය ප්‍රථම උපාධිය ලෙස කැලණිය විශ්වවිද්‍යාලයේ බෞද්ධ දර්ශනය පිළිබඳ විශේෂවේදී උපාධිය හදාරා ඇති අතර, අනතුරුව, කැලණිය විශ්වවිද්‍යාලයෙන් දර්ශනපති උපාධියද, ඉන්දියාවේ දිල්ලි විශ්වවිද්‍යාලයෙන් දර්ශනපති උපාධිය සහ දර්ශනසූරී ආචාර්ය උපාධියද ලබා ඇත. මීට අමතරව උන්වහස්සේ බීජිං විශ්වවිද්‍යාලයෙන් චීන භාෂාව පිළිබද උසස් ඩිප්ලෝමාවද හදාරා ඇත.

චාමරට තවත් නඩු හතරක්.. අධිකරණයෙන් දුන් නියෝගය

චාමරට තවත් නඩු හතරක්.. අධිකරණයෙන් දුන් නියෝගය

අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ පැමිණිලි 04කට අදාළව මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක සහ ඔහුගේ ලේකම්වරයා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (23) දින නියම කර ඇත.

ඒ අනුව සෑම නඩුවක් සඳහා එක් එක් සැකකරු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා එම සැකකරුවන්ගේ විදේශ ගමන් තහනම් කරන බවට නියෝග කළේය.

අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුවන්ගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම විසින් මෙම නියෝගය නිකුත් කළේය.

අනතුරුව මෙම නඩු ජනවාරි මස (26) වනදා කැඳවන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

කෙසේ වෙතත් රුපියල් ලක්ෂ 81ක් අල්ලස් ලබාගැනීම සහ ඊට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් මන්ත්‍රී චාමර සම්පත් දසනායක සහ ඔහුගේ ලේකම්වරයා නොවැම්බර් මස (06) වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

රාජ්‍ය ආයතන 34ක් වසා දැමීමට තීරණයක්

රාජ්‍ය ආයතන 34ක් වසා දැමීමට තීරණයක්

රාජ්‍ය ආයතන 34ක් වසා දැමීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇති බවත් ඒ සඳහා කමිටුවක් පත්කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

රට තුළ ඇති වන ආර්ථික කම්පනයට මුහුණදීම සඳහා ප්‍රමාණවත් තරම් රුපියල් පවතින බවත් බාහිර කම්පනයකට මුහුණදීමට ආර්ථික ශක්තිමත් නොමැති බවද ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

මෙරට රාජ්‍ය සේවය ආකර්ෂණය නොවන බැවින් බොහෝ පිරිස් එය අතහැර යන බවත් වෘත්තීයවේදී රඳවාගැනීමට සමත් රාජ්‍ය සේවයක් රට තුළ ඇතිව නොමැති බවද ජනාධිපතිවරයා සඳහන් කරයි.

එවන් අසීරු පසුබිමක මූලික වැටුප ඉහළ නැංවීමට තීරණය කළ අතර 2027 වසරේදී වැටුප් වැඩි කිරීමට රුපියල් බිලියන 110ක් අවශ්‍යව ඇති බැවින් මෙම අයවැය ලේඛනයේදී දීමනා සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන බවද ජනාධිපතිවරයා සඳහන් කරයි.

කෙසේ වෙතත් වෘත්තීමය රාජ්‍ය සේවයේ පුරප්පාඩු රැසක් මතුව තිබෙන බවත් දේශපාලන පත්වීම් හේතුවෙන් එම සේවය පහළ මට්ටම් පිරී ඇති බවද ජනාධිපතිවරයා සඳහන් කරයි.

බත්තරමුල්ලේ පැවති රජයේ මිනින්දෝරු දෙපාර්තමේන්තු සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීමට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කරයි.

රෝහලේ සිටින මහින්ද හැඬු කඳුලින් නාමල්ට ලිපියක් යවයි

රෝහලේ සිටින මහින්ද හැඬු කඳුලින් නාමල්ට ලිපියක් යවයි

මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට ඔහුගේ පියා වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ලිපියක් යොමු කර ඇත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ලේකම්වරයා විසින් අදාළ ලිපිය පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක වෙත ලබාදී අනතුරුව ඔහු මාර්ගයෙන් නාමල් රාජපක්ෂ වෙත භාරදී ඇති බව වාර්තා වේ.

එම ලිපිය පහතින්..

“ආදරණීය නාමල්,

ඔබ දේශපාලනයට පිවිසීම අදහස් කළ වර්ෂ 2010 දී ඊට මගෙන් අවසර පැතුවා මතක ඇති. ඒ අවස්ථාවේ මම ඔබට දුන් අවවාදය ද මතක ඇතැයි සිතමි. කැමති නම් දේශපාලනයට එන්න. හැබැයි හිරේ යන්න වගේම දුක් විඳින්න බලාගෙන එන්න. ඒකට මට කමක් නෑ.

මම එලෙස කීවේ මා දේශපාලනයට පිවිසි ටික කලකින් එදා පැවති ආණ්ඩුව විසින් පදනම් විරහිත චෝදනාවක් දමා මා බන්ධනාගාරගත කළ නිසාය. ඒ වන විට ඔබ ඉපදී නැත. එදා මගේ එකම විශ්වාසය තිබුණේ අධිකරණය ගැන පමණයි. කවුරුන් කුමක් කිව්වද ඔබත් අධිකරණය ගැන පමණක් විශ්වාසය තබන්න.

දෛවෝපගත ලෙස අම්මාත් මමත් මේ දිනවල ඔබ ද උපන් නවලෝක රෝහලේ රෝහල්ගත වී සිටිමු. ඔබේ සහෝදරයන් වන යෝෂිත සහ රෝහිත අපේ සුවදුක් විමසා බලයි. යෝෂිතට එක් නඩුවක් වැටී ඇත්තේ ඔවුන් නාවික හමුදාවේ රැකියාවට යෑම නිසාය.

එකල අපි රැකියා ලබා දුන් දහස් ගණන් තරුණයන් අතර මේ ආණ්ඩුවේ උදවියගේ තරුණ දරුවන්ද සිටි වග ඔබට ද මතක ඇතැයි සිතමි. එහෙත් ඔබලාට බලය ඇති කිසිම අවස්ථාවක ඒ අය පසුපස යන්න එපා.

මාගේ මතය දෙමව්පියන් කරන දේට දරුවන් පලි නැති බවයි. පලි නොගැනීම රාජපක්ෂවරුන්ගේ ක්‍රමයයි. සම්ප්‍රදායයි.

මේ රටේ දුක් විඳින ලක්ෂ සංඛ්‍යාත ජනතාවට රට නිදහස් කර දීමේ වරදට රාජපක්ෂවරුන් මේ සමාජය වැරදිකරුවන් කරන්නේ නැත. අප ඡන්දයෙන් පරාජය කරන ලද නමුත් රටේ ජනතාව කළගුණ සලකන සමාජයක් බව සිතා කටයුතු කරන්න.“

විහාර මහාදේවි උද්‍යානයේ පවත්වන විරෝධතාවට ආඥාවක් නිකුත් කරයි

විහාර මහාදේවි උද්‍යානයේ පවත්වන විරෝධතාවට ආඥාවක් නිකුත් කරයි

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමිට නිදහස ලබා දෙන ලෙස ඉල්ලා ස්වාමින්වහන්සේලා හා විවිධ දේශපාලන පක්ෂ නියෝජනය කරන නියෝජිතයින් සහ සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් විසින් කුරුඳුවත්ත පොලිස් වසමේ පිහිටි විහාර මහාදේවි උද්‍යානය තුල රැඳී සිටිමින් පවත්වනු ලබන විරෝධතාවය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිස් ස්ථානාධිපති විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කල කරුණු සලකා බැලීමෙන් පසුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදෙන ලද නියෝගයේ සඳහන් හේතු අනුව පහත අයවළුන්ට අපරාධ නඩු විධාන සංග්‍රහයේ 106 (1) ප්‍රතිපාදන ප්‍රකාරව ආඥාවක් නිකුත් කර ඇත.

අඛණ්ඩව විරෝධතාකරුවන් සමඟ රැඳී සිටින හික්ෂූන් වහන්සේලා,

  1. පූජ්‍ය උලපනේ සුමංගල හිමි
  2. පූජ්‍ය බලංගොඩ කාශ්‍යප හිමි ඇතුලු විහාරස්ථානයන්හි විහාරධිපති හා අනෙකුත් ස්වාමින් වහන්සේලා
  3. සිවිල් ක්‍රියාකාරීන් හා විවිධ දේෂපාලන පක්ෂ නියෝජිත සාමාජිකයින්

ඉහත අයවලුන් හා ඔවුන්ගේ සාමාජිකයින් හා සහාභාගි වන වෙනත් තැනැත්තන් වෙත,

කුරුඳුවත්ත පොලිස් වසමේ විහාර මහාදේවි උද්‍යානය ඉදිරිපිට ඇති බුදු පිළිමය අසල පරිශ්‍රය, ඇවිදින මංතීරු, එෆ්.ආර්.සේනානයක මාවත, ලිප්ටන් වට රවුම, සොයිසා වට රවුම, ධර්මපාල මාවත, කන්නන්ගර මාවත, ග්‍රීන්පාත් පාර, මල්පාර, යන මාර්ග අවහිර නොකරන ලෙසත්, මල්පාර අගමැති කාර්යාලය ඉදිරිපිට හා විහාර මහාදේවි උද්‍යානය බුදු පිළිමය පරිශ්‍රයේ අඛණ්ඩව රැඳී සිටීමෙන් වලකින ලෙසත් පොදු හා පුද්ගලික දේපළ වලට හානි නොකරන ලෙසත් 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන ප්‍රකාරව මෙම ආඥාව නිකුත් කර ඇත.

තවද, අපරාධ නඩු විධාන සංග්‍රහයේ 106 (3) වගන්තිය ප්‍රකාරව අදාල නියෝග සම්බන්ධයෙන් ක්‍රියාකිරීමේ හැකියාව පොලිසියට ඇති අතර මෙම ආඥාව කඩ කිරීම එකී පරිච්ඡේදයේ සඳහන් පරිදි ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 185 වන වගන්තිය ප්‍රකාරව දඩුවම් ලැබිය හැකි වරදකි.

චාමර හිටපු තැනටම.. අධිකරණයෙන් නියෝග

චාමර හිටපු තැනටම.. අධිකරණයෙන් නියෝග

අල්ලස් ලබාගැනීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක ඇතුළු සැකකරුවන් දෙදෙනා අද (23) දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.

අනතුරුව මන්ත්‍රී චාමර සම්පත් සහ ඔහුගේ පුද්ගලික ලේකම් එක් නඩුවකට අදාළව ඉදිරිපත් කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් නොවැම්බර් මස (06) වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ එම සැකකරුවන්ගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම විසින් මෙම නියෝගය නිකුත් කළේය. 

හිනාවෙවී අධිකරණයට ආ නාමල්ට දුන් නියෝගය

හිනාවෙවී අධිකරණයට ආ නාමල්ට දුන් නියෝගය

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්‍යක්ෂවරියක වන ජානකී සිරිවර්ධන අද (23) දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.

අනතුරුව මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්‍යක්ෂවරියක වන ජානකී සිරිවර්ධන නොවැම්බර් (06) වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තැබීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

මේ අතර මීට පෙර සාක්ෂි ලබාදීමට බියක් දැක්වු ක්‍රිෂ් සමාගමේ සේවකයන් දෙදෙනෙක් මන්ත්‍රී නාමල් රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාරගත කළ පසුව නොබියව ඉදිරිපත් වී සාක්ෂි ලබාදී ඇත.

නොරොච්චෝලේ 03 වන ජනන යන්ත්‍රය ජාතික පද්ධතියට

නොරොච්චෝලේ 03 වන ජනන යන්ත්‍රය ජාතික පද්ධතියට

අද (23) දින නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ 03 වැනි ජනන යන්ත්‍රය ජාතික පද්ධතියට සම්බන්ධ කළ බව, ජාතික පද්ධති ක්‍රියාකරු පුද්ගලික සමාගම සඳහන් කරයි.

අද (03) දින පස්වරුව වනවිට 01 වන ජනන යන්ත්‍රය ද ජාතික පද්ධතියට එක් කිරිමට සැලසුම් කර ඇති බවද ජාතික පද්ධති ක්‍රියාකරු පුද්ගලික සමාගම සඳහන් කරයි.

එම සියලු ජනන යන්ත්‍රවලින් ජාතික පද්ධතියට එක්කෙරෙන විදුලි ධාරිතාවය මෙගාවොට් 810කි.

මේ අතර දෛනික විදුලිය කලමනාකරණය කිරීමේ අවශ්‍යතාවක් මතු නොවන බව ජාතික පද්ධති ක්‍රියාකරු සමාගම ඊයේ (22) දින ප්‍රකාශ කළේය.

ලිට්‍රෝ ගෑස් සමාගමෙන් ජනතාවට දැනුම්දීමක්

ලිට්‍රෝ ගෑස් සමාගමෙන් ජනතාවට දැනුම්දීමක්

මෙට්‍රික් ටොන් 3,900ක ගෑස් තොගයක් රැගත් CORINTHIAN නෞකාව ඊයේ (22) දින මෙරටට ළඟා වූ බැවින් ඉදිරි දින තුන ඇතුළත ලිට්‍රෝ ගෑස් 350,000ක් වෙළෙඳපොළට බෙදා හැරීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කරයි.

එම නෞකාවේ ගෑස් ගොඩබෑමේ කටයුතු ඊයේ පස්වරුවේ සිටම ආරම්භ කර ඇති බැවින් ගෑස් සිලින්ඩර 350,000ක ප්‍රමාණය වෙළඳපොළට නිකුත් කිරීමට හැකියාව ඇති බවද ලිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කරයි.

මෙම ගෑස් තොගය ලැබීමත් සමග දිවයින පුරා ගෑස් බෙදාහැරීම අඛණ්ඩව සිදුකරන බැවින් සුපුරුදු පරිදි ගෑස් සිලින්ඩර ලබා ගැනීමේ පහසුකම පාරිභෝගිකයින්ට පවතින බවද ලිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කරයි.

එනිසා අනවශ්‍ය ලෙස ගෑස් තොග රැස්කර ගැනීමෙන් වළකින ලෙසද ලිට්‍රෝ ගෑස් සමාගම පාරිභෝගිකයින්ගෙන් ඉල්ලීමක් කරයි.

මත්ද්‍රව්‍ය සහ අපරාධ වලින් අත්පත් කරගත් දේපල ඔවුන්ට භුක්ති විදින්න දෙන්නේ නෑ

මත්ද්‍රව්‍ය සහ අපරාධ වලින් අත්පත් කරගත් දේපල ඔවුන්ට භුක්ති විදින්න දෙන්නේ නෑ

මත්ද්‍රව්‍ය ජාවාරම් හරහා හෝ සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් හරහා මොනතරම් දේපල අත්පත් කරගත්තත් ඔවුන්ට ඒවා භුක්ති විදින්න හැකියාව ලැබෙන්නේ නැති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කරයි.

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කළේ,

“අද කුඩු ජාවාරම්කාරයන්ගේ මුදල් වලින් යැපෙන බොහෝ පිරිස් දැන් කලබලයට පත්වෙලා තියෙනවා. මේ සමහර අනපනත් ඉදිරියේ මොවුන් ව්‍යාජ ප්‍රකාශ, සාහසික ප්‍රකාශයන් නිකුත් කරනවා.

අපිට අවශ්‍යයි සත්භාවයෙන් මේවා ගෙනල්ලා රටේ අනාගත පරපුර වෙනුවෙන් මේ සමාජය මේ අපරාධකාරීන්ගෙන් මුදවාගන්න. එනිසා කිසිවෙකුටත් මත්ද්‍රව්‍ය ජාවාරම් හරහා හෝ වෙනත් සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් හරහා මොනතරම් දේපල අත්පත් කරගත්තත් ඔවුන්ට ඒවා භුක්ති විදින්න හැකියාව, ඉඩකඩ ලැබෙන්නේ නෑ.

ඒ පණිවිඩය මේ සමාජයට දෙන්න අවශ්‍යයි. වර්තමාන රජය යටතේ නීතිරීති සම්පාදනය කරලා තියෙනවා. ඒවා රජය සතු කරගන්න අවශ්‍ය ඕනෑම අනීතික කටයුත්තකින් යම් දේපලක් අත්පත් කරගෙන තියෙනවා නම්, ඒ සියලු දේපල රජය සතු කරගැනීමේ වැඩපිළිවෙල ශක්තිමත්ව ක්‍රියාත්මක වෙලා තියෙනවා.”

Follow WhatsApp Channel