Local news

පොලිස්පතිට නඩු පැවරීම.. ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් තීරණයක්

පොලිස්පතිට නඩු පැවරීම.. ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් තීරණයක්

රටේ පුරවැසියන්ට පදනම් විරහිතව නඩු පැවරීම් නොකරන ලෙසට සමස්ත පොලිස් නිලධාරීන් දැනුවත් කරමින් චක්‍රලේඛයක් නිකුත් කිරීම සඳහා පොලිස්පතිවරයා වෙත යළි නියෝගයක් නිකුත් කරන ලෙස පොලිස් නීති කොට්ඨාසය කළ ඉල්ලීම ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න (22) දින ප්‍රතික්ෂේප කර ඇත.

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකර අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට එරෙහිව නඩු පවරන ලෙස නියම කිරීමට අදාළ නඩු ගොනුවේ සම්පුර්ණ පිටපතක් පොලිස් නීතී කොට්ඨාසයට නිකුත් කිරීමට මහේස්ත්‍රාත්වරයා අධිකරණ රෙජිස්ට්‍රාර්වරියට නියම කළේය.

විනිශ්චයකාරවරයෙකු විසින් එක්වරක් ප්‍රකාශයට පත් කළ නියෝගයක් නැවත වෙනස් කිරීමට එම විනිශ්චයකාරවරයාටම කිසිදු නීතිමය හැකියාවක් නොමැති බව අවධාරණය කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා මෙම තීරණය ගෙන ඇත.

පොලිස් නීති කොට්ඨාසය විසින් අධිකරණය හමුවේ කරුණු දැක්වීම සඳහා ඉදිරිපත් කරන ලද මෝසමකට අනුව මෙම නඩුව (22) දින කැඳවනු ලැබුවේය.

පොලිස් දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි පොලිස් නීති කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී නිලුපුල් සෝමසිංහ, ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රණීත ජයවර්ධන සහ පොලිස් පරීක්ෂක කෞෂික පෙරේරා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් අධිකරණය හමුවේ පෙනී සිටියේය.

තෙල් මිල දැනෙන්න ඉහළ⁣ට

තෙල් මිල දැනෙන්න ඉහළ⁣ට

අද (23) දින ලෝක වෙළෙදපොළේ බොරතෙල් මිල තවදුරටත් ඉහළ ගොස් ඇත.

ඒ අනුව බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 100 ඉක්මවා ඇත.

WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 100.00 ලෙස ඉහළ ගොස් ඇත.

BRENT බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 113.04 ලෙස ඉහළ ගොස් ඇත.

MURBAN බොරතෙල් බැරලයක මිල ඩොලර් 110.02 ලෙස ඉහළ ගොස් ඇත.

තරුණියකට ලිංගික හිරිහැර.. මාලිමා මන්ත්‍රී බන්ධනාගාරයට

තරුණියකට ලිංගික හිරිහැර.. මාලිමා මන්ත්‍රී බන්ධනාගාරයට

තරුණියකට ලිංගික හිරිහැර කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොල්ගහවෙල ප්‍රාදේශීය සභා මන්ත්‍රී දිනේෂ් සමන්ත කුමාර නොවැම්බර් (05) වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණය (22) දින නියෝග කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලූ පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

මන්ත්‍රීවරයාට අයත් බිස්කට් නිෂ්පාදනාගාරයක සේවය කරන 20 හැවිරිදි තරුණියකට ලිංගික හිරිහැර සිදුකළ බවට ලද පැමිණිල්ලකට අනුව පොතුහැර පොලීසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

රටම කැළඹු වස් කවිය.. පොලීසියෙන් දැනුම්දීමක්

රටම කැළඹු වස් කවිය.. පොලීසියෙන් දැනුම්දීමක්

මේ දිනවල වස් කවිය සම්බන්ධයෙන් තරුණයෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනිම පිලිබදව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පුවත සම්බන්ධව පොලීසියෙන් දැනුම්දීමක්.

2026.10.22 වන දින හෝ ඊට ආසන්න දිනක වස් කවියක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් සටහන් කර විමර්ශනය කර පුද්ගලයෙකුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වන වීඩියෝ පටයක් සම්බන්ධව දෙමටගොඩ පොලිස් ස්ථානය මගින් වාර්තාවක් කැඳවන ලදී.

එමගින් වාර්තා කර සිටිනුයේ වස් කවියක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් පොලිස් ස්ථානයට වාර්තා වී නොමැති බව හා ඒ සම්බන්ධයෙන් කිසිඳු පුද්ගලයෙකුගේ ප්‍රකාශ සටහන් කර ගැනීමක් සිදුකර නොමැති බවයි.

නීතිඥ සුදත් වික්‍රමරත්න විසින් දෙමටගොඩ පොලිස් ස්ථානය මගින් වස් කවියක් සම්බන්ධයෙන් පුද්ගලයෙකුගෙන් ප්‍රකාශ සටහන් කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කරනු ලබන ප්‍රකාශය සත්‍යයෙන් තොර අසත්‍ය ප්‍රකාශයකි.

පොලිස්පතිතුමාගේ නියමයෙන් මෙම අසත්‍ය ප්‍රකාශය සම්බන්ධව මධ්‍යම අපරාධ විමර්ශණය කාර්යංශය මගින් විමර්ශණයක් ආරම්භ කර ඇත.

ඉතිහාසය අලුත් කරමින් ශ්‍රී ලංකාවට සුපිරි ජයක්

ඉතිහාසය අලුත් කරමින් ශ්‍රී ලංකාවට සුපිරි ජයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම අතර පැවති එක්දින තරගය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 429ක් රැස්කරගැනීමට සමත් විය.

අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 5ක් අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 430ක් රැස්කරගනිමින් තරගය ජයග්‍රහණය කළේය.

ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ කණ්ඩායමක් හඹාගොස් ජයග්‍රහණය ලැබූ දෙවන හොඳම ජයග්‍රහණය ලෙස වාර්තා අතරට එක්විය.

සුනඛයින් සම්බන්ධයෙන් ගත් තීරණය

සුනඛයින් සම්බන්ධයෙන් ගත් තීරණය

ජලභීතිකා රෝගය තුරන් කිරීමේ සහ සුනඛයන් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති සංශෝධනයට යටත්ව, රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය හිමි විය.

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දිකගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස්වූ කාරක සභාවේදී මෙම පනත් කෙටුම්පතේ විධිවිධාන සහ යෝජිත සංශෝධන පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

සුනඛයන්ට ජලභීතිකා එන්නත් ලබාදීම, සුනඛ ගහනය පාලනය කිරීම සහ වාණිජ අරමුණු සඳහා සුනඛයන් අභිජනනය කිරීම නියාමනය කිරීම තුළින් ශ්‍රී ලංකාව තුළ ජලභීතිකා රෝගය තුරන් කිරීම මෙම පනත් කෙටුම්පතේ මූලික අරමුණ වේ.

එමෙන්ම, සුනඛයන් ලියාපදිංචි කිරීම විධිමත් කිරීම, ජලභීතිකා රෝගය තුරන් කිරීම සඳහා ජාතික හා ප්‍රාදේශීය උපදේශක කමිටු පිහිටුවීම සහ දැනට ක්‍රියාත්මක වන (476 වන අධිකාරය වූ) ජලභීතිකා රෝගය පිළිබඳ ආඥාපනත සහ (477 වන අධිකාරය වූ) සුනඛයන් ලියාපදිංචි කිරීමේ ආඥාපනත ඉවත් කර නව නීතිමය රාමුවක් හඳුන්වාදීම ද මෙම පනත් කෙටුම්පතේ ප්‍රධාන අරමුණු වේ.

පනත් කෙටුම්පත පිළිබඳ සාකච්ඡාවේදී සුනඛයන්ට ජලභීතිකා එන්නත ලබාදීමේ වයස් සීමාව සම්බන්ධයෙන් පවතින පරස්පරතා ඉවත් කිරීමේ අවශ්‍යතාව පිළිබඳව අවධානය යොමු විය. එහිදී සුනඛයන්ට පළමු ජලභීතිකා එන්නත ලබා දිය යුතු වයස සම්බන්ධ විධිවිධාන පැහැදිලිව දැක්වීමේ වැදගත්කම සාකච්ඡා කෙරිණි.

වීදි සුනඛයන්ට ස්වේච්ඡාවෙන් ආහාර ලබාදෙන, රැකවරණය සලසන හෝ ප්‍රතිකාර සඳහා උපකාර කරන පුද්ගලයන්ගේ නීතිමය තත්ත්වය සම්බන්ධයෙන් ද අවධානය යොමු විය.

එවැනි පුද්ගලයන් ස්වේච්ඡාවෙන් සුනඛයන්ට උපකාර කිරීම පමණක් හේතුවෙන් ඔවුන්ගේ නීත්‍යනුකූල හිමිකරුවන් ලෙස සැලකීම හෝ සුනඛ හිමිකරුවන්ට අදාළ සියලු වගකීම් ඔවුන් මත පැවරීම වැළැක්වීම සඳහා විධිවිධාන පැහැදිලි කිරීමේ අවශ්‍යතාව සාකච්ඡා කෙරිණි.

සුනඛ වන්ධ්‍යාකරණය සම්බන්ධයෙන් ද සාකච්ඡා වූ අතර, එය පශු වෛද්‍ය අධීක්ෂණය යටතේ ශල්‍යකර්ම මඟින් සිදු කිරීමේ වැදගත්කම අවධාරණය කෙරිණි.

හෝමෝන එන්නත් භාවිතය ඇතුළු විකල්ප ක්‍රම සම්බන්ධයෙන් පවතින ගැටලු සැලකිල්ලට ගනිමින්, සත්ව සුභසාධනය තහවුරු වන පරිදි අදාළ විධිවිධාන සකස් කිරීම පිළිබඳව ද අවධානය යොමු විය.

සුනඛයන් ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය විධිමත් කිරීම සහ එම වගකීම් පැහැර හැරීම සම්බන්ධයෙන් පනවා ඇති දඩ මුදල් සංශෝධනය කිරීමේ යෝජනා ද සාකච්ඡා කෙරිණි.

වාණිජ අරමුණු සඳහා සුනඛයන් අභිජනනය කරන මධ්‍යස්ථාන නියාමනය ශක්තිමත් කිරීම, එම මධ්‍යස්ථානවල වගකීම් පැහැදිලි කිරීම සහ සත්ව හිංසනය වැළැක්වීම සඳහා අදාළ දඩ මුදල් හා දඬුවම් සංශෝධනය කිරීම පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු විය.

ජලභීතිකා රෝගය වැළඳී ඇතැයි සැක කරන සුනඛයන් නිරීක්ෂණය කිරීමේදී විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කිරීම සහ පශු වෛද්‍ය පරීක්ෂණ මත පදනම්ව තීරණ ගැනීමේ වැදගත්කම ද කාරක සභාවේදී සාකච්ඡා කෙරිණි.

ජලභීතිකා රෝගය තුරන් කිරීමේ ජාතික හා ප්‍රාදේශීය උපදේශක කමිටු පිහිටුවීමේදී ඒවායේ සංයුතිය, වගකීම් සහ අදාළ ආයතන අතර සම්බන්ධීකරණය පිළිබඳව ද සාකච්ඡා කෙරිණි. නීතිමය කටයුතු සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජනය සහ අදාළ විශේෂඥ ආයතනවල දායකත්වය ලබාගැනීමේ වැදගත්කම ද අවධානයට යොමු විය.

ඥානසාර හිමි අධිකරණයට ඉදිරිපත් නොකිරීමට තීරණයක්

ඥානසාර හිමි අධිකරණයට ඉදිරිපත් නොකිරීමට තීරණයක්

ගලගොඩඅත්තේ ඥානසාර හිමි හෙට (23) දින අධිකරණයට ඉදිරිපත් කිරීමක් සිදුනොවන බව බුද්ධ ශාසන අමාත්‍යාංශය මගින් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවට දැනුම්දී ඇත.

ඥානසාර හිමියන් හෙට අධිකරණයට ඉදිරිපත් නොකරන බව බුද්ධ ශාසන අමාත්‍යාංශය එම සංඝ සභාවේ මහනායක අතිපූජ්‍ය ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහනාහිමියන්ට දැනුම් දී ඇත.

ඥානසාර හිමියන් හෙට අධිකරණයට ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවන බවට අධිකරණය දැනුම්දී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් මහ නාහිමියන් දැනුවත් කිරීමට පියවර ගත් බව බුද්ධ ශාසන නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක සඳහන් කර ඇත.

නව ගිවිසුමක්.. නීතිය ක්‍රියාත්මක කිරීම තවදුරටත් ශක්තිමත් කරයි

නව ගිවිසුමක්.. නීතිය ක්‍රියාත්මක කිරීම තවදුරටත් ශක්තිමත් කරයි

බදු පැහැර හැරීම් සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සඳහා දේශීය ආදායම් හා සුරාබදු දෙපාර්තමේන්තු අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඇත.

ඒ අනුව ඒකාබද්ධ යාන්ත්‍රණයක් ඔස්සේ බුද්ධිමය තොරතුරු හුවමාරු කර ගැනීමටත්, ඒ මත පදනම්ව සමාන්තර විමර්ශන සිදුකිරීමටත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු කරනු ඇත.

නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් ඒ. එන්. හපුගලගේ ප්‍රධානත්වයෙන් (21) දින මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේදී එම ගිවිසුම අත්සන් කර ඇත.

එම පියවර මගින් රජයේ බදු ආදායම සුරක්ෂිත කරමින් මූල්‍ය විනය සහ නීතිය ක්‍රියාත්මක කිරීම තවදුරටත් ශක්තිමත් කිරීමට අපේක්ෂා කරන බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි.

විදුලි කප්පාදුව ගැන තීරණයක්

විදුලි කප්පාදුව ගැන තීරණයක්

විදුලි කප්පාදුව සම්බන්ධව ජාතික පද්ධති ක්‍රියාකරු (පෞද්ගලික) සමාගම දැනුම්දීමක් කර ඇත.

ඒ අනුව නොරොච්චෝලේ ලක්විජය විදුලි බලාගාරයේ අංක 02 ජනන යන්ත්‍රය අද පස්වරු 1.31 සිට මෙගාවොට් 270ක පූර්ණ ධාරිතාවයෙන් ක්‍රියාත්මක වීමත් සමඟ විදුලි සැපයුම සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට හැකියාව ලැබෙන බව සඳහන් කරයි.

ලක්විජය බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය පූර්ණ ධාරිතාවයෙන් යළි ක්‍රියාත්මක කිරීමත් සමඟ අද සිට එම විදුලි ඉල්ලුම කළමනාකරණ ක්‍රියාමාර්ග තවදුරටත් අවශ්‍ය නොවන බවද එම සමාගම සඳහන් කරයි.

විදුලි සම්ප්‍රේෂණ පද්ධතියේ ඇති වූ අසමතුලිතතාවක් හේතුවෙන් පසුගිය (17) වැනි සෙනසුරාදා පෙරවරු 11.43ට දිවයින පුරා හදිසි විදුලි බිඳවැටීමක් සිදුවිය.

ඒ හේතුවෙන් ලක්විජය ගල්අඟුරු බලාගාරයේ ජනන යන්ත්‍ර තුනම අක්‍රිය වූ අතර විදුලි සැපයුම කළමනාකරණය කිරීම සඳහා දිවයින පුරා දිනකට පැයක විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට ජාතික පද්ධති ක්‍රියාකරු සමාගම පියවර ගත්තේය.

පරණ සෙල්ලම අවසන්.. 48cc යතුරුපැදි වලට නීතිය ක්‍රියාත්මක කරයි

පරණ සෙල්ලම අවසන්.. 48cc යතුරුපැදි වලට නීතිය ක්‍රියාත්මක කරයි

අඩු එන්ජින් ධාරිතාවෙන් යුත් 48cc හෝ 50cc යතුරුපැදි සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණයක් ගෙන ඇත.

ඒ අනුව 48cc හෝ 50ccට අඩු එන්ජින් ධාරිතාවෙන් යුත් යතුරුපැදි ලියාපදිංචි කිරීම අනිවාර්ය බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්, විශ්‍රාමික එයාර් මාෂල් තුෂාර ප්‍රනාන්දු සඳහන් කරයි.

මෙම කාණ්ඩයට අයත් යතුරුපැදි ලියාපදිංචි කිරීම අවශ්‍ය නොවන බවට ඇතැම් යතුරුපැදි අලෙවිකරුවන් විසින් ප්‍රකාශ සිදුකරන බවට නිරීක්ෂණය වී ඇති බවද මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි.

එනිසා පාරිභෝගිකයින් මෙවැනි යතුරුපැදි මිලදී ගැනීමේදී නිසි රේගු ලියකියවිලි සහිතව පමණක් මිලදී ගැනීමට වගබලා ගත යුතු බවද මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි.

ලියාපදිංචි නොකළ මෙවැනි යතුරුපැදි පොදු මාර්ගවල ධාවනය කරමින් සිටියදී හසු වුවහොත්, ඒ සඳහා පොලිසිය විසින් නීතිමය පියවර ගනිමින් දඩ නියම කිරීමට ඉඩ ඇති බවද මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි.

Follow WhatsApp Channel