Local news

නව ගිවිසුමක්.. නීතිය ක්‍රියාත්මක කිරීම තවදුරටත් ශක්තිමත් කරයි

නව ගිවිසුමක්.. නීතිය ක්‍රියාත්මක කිරීම තවදුරටත් ශක්තිමත් කරයි

බදු පැහැර හැරීම් සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සඳහා දේශීය ආදායම් හා සුරාබදු දෙපාර්තමේන්තු අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඇත.

ඒ අනුව ඒකාබද්ධ යාන්ත්‍රණයක් ඔස්සේ බුද්ධිමය තොරතුරු හුවමාරු කර ගැනීමටත්, ඒ මත පදනම්ව සමාන්තර විමර්ශන සිදුකිරීමටත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු කරනු ඇත.

නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් ඒ. එන්. හපුගලගේ ප්‍රධානත්වයෙන් (21) දින මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේදී එම ගිවිසුම අත්සන් කර ඇත.

එම පියවර මගින් රජයේ බදු ආදායම සුරක්ෂිත කරමින් මූල්‍ය විනය සහ නීතිය ක්‍රියාත්මක කිරීම තවදුරටත් ශක්තිමත් කිරීමට අපේක්ෂා කරන බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි.

විදුලි කප්පාදුව ගැන තීරණයක්

විදුලි කප්පාදුව ගැන තීරණයක්

විදුලි කප්පාදුව සම්බන්ධව ජාතික පද්ධති ක්‍රියාකරු (පෞද්ගලික) සමාගම දැනුම්දීමක් කර ඇත.

ඒ අනුව නොරොච්චෝලේ ලක්විජය විදුලි බලාගාරයේ අංක 02 ජනන යන්ත්‍රය අද පස්වරු 1.31 සිට මෙගාවොට් 270ක පූර්ණ ධාරිතාවයෙන් ක්‍රියාත්මක වීමත් සමඟ විදුලි සැපයුම සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට හැකියාව ලැබෙන බව සඳහන් කරයි.

ලක්විජය බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය පූර්ණ ධාරිතාවයෙන් යළි ක්‍රියාත්මක කිරීමත් සමඟ අද සිට එම විදුලි ඉල්ලුම කළමනාකරණ ක්‍රියාමාර්ග තවදුරටත් අවශ්‍ය නොවන බවද එම සමාගම සඳහන් කරයි.

විදුලි සම්ප්‍රේෂණ පද්ධතියේ ඇති වූ අසමතුලිතතාවක් හේතුවෙන් පසුගිය (17) වැනි සෙනසුරාදා පෙරවරු 11.43ට දිවයින පුරා හදිසි විදුලි බිඳවැටීමක් සිදුවිය.

ඒ හේතුවෙන් ලක්විජය ගල්අඟුරු බලාගාරයේ ජනන යන්ත්‍ර තුනම අක්‍රිය වූ අතර විදුලි සැපයුම කළමනාකරණය කිරීම සඳහා දිවයින පුරා දිනකට පැයක විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට ජාතික පද්ධති ක්‍රියාකරු සමාගම පියවර ගත්තේය.

පරණ සෙල්ලම අවසන්.. 48cc යතුරුපැදි වලට නීතිය ක්‍රියාත්මක කරයි

පරණ සෙල්ලම අවසන්.. 48cc යතුරුපැදි වලට නීතිය ක්‍රියාත්මක කරයි

අඩු එන්ජින් ධාරිතාවෙන් යුත් 48cc හෝ 50cc යතුරුපැදි සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණයක් ගෙන ඇත.

ඒ අනුව 48cc හෝ 50ccට අඩු එන්ජින් ධාරිතාවෙන් යුත් යතුරුපැදි ලියාපදිංචි කිරීම අනිවාර්ය බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්, විශ්‍රාමික එයාර් මාෂල් තුෂාර ප්‍රනාන්දු සඳහන් කරයි.

මෙම කාණ්ඩයට අයත් යතුරුපැදි ලියාපදිංචි කිරීම අවශ්‍ය නොවන බවට ඇතැම් යතුරුපැදි අලෙවිකරුවන් විසින් ප්‍රකාශ සිදුකරන බවට නිරීක්ෂණය වී ඇති බවද මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි.

එනිසා පාරිභෝගිකයින් මෙවැනි යතුරුපැදි මිලදී ගැනීමේදී නිසි රේගු ලියකියවිලි සහිතව පමණක් මිලදී ගැනීමට වගබලා ගත යුතු බවද මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි.

ලියාපදිංචි නොකළ මෙවැනි යතුරුපැදි පොදු මාර්ගවල ධාවනය කරමින් සිටියදී හසු වුවහොත්, ඒ සඳහා පොලිසිය විසින් නීතිමය පියවර ගනිමින් දඩ නියම කිරීමට ඉඩ ඇති බවද මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි.

ඥනසාර හිමිගේ සිවුර ඉවත් කිරීමට එරෙහි පෙත්සමට නියෝගයක්

ඥනසාර හිමිගේ සිවුර ඉවත් කිරීමට එරෙහි පෙත්සමට නියෝගයක්

සිරදඬුවම් නියම වු ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම් අද (22) දින කැඳවනු ලැබුවේය.

අදාළ පෙත්සම් අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන අමල් රණරාජා, මහේන් ගොපල්ලව සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවේය.

අනතුරුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් පසුව මෙම නඩුකරය යළි නොවැම්බර් (18) වැනිදා කැඳවීමට අභියාචනාධිකරණය නියෝග කළේය.

ගංවතුර තත්ත්වයක් ගැන අනතුරු ඇඟවීමක්

ගංවතුර තත්ත්වයක් ගැන අනතුරු ඇඟවීමක්

දැදුරු ඔය ද්‍රෝණියේ ඉහළ හා මධ්‍ය ප්‍රදේශ වලට ඇදහැලුණු සැලකිය යුතු වර්ෂා තත්ත්වය හේතුවෙන් දැදුරු ඔයෙහි ජල මට්ටම ගංවතුර මට්ටමට ආසන්නව පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව දැදුරු ඔය ජලාශයේ පිටවාන් දොරටු විවෘත කර මේ වනවිට තත්පරයට ඝන අඩි 16,500ක් තරම් සීඝ්‍රතාවයකින් දැදුරු ඔයට ජලය මුදාහරිමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම තත්ත්වය මත දැදුරු ඔය ද්‍රෝණියේ පිහිටි වාරියපොළ, නිකවැරටිය, මහව, කොබෙයිගනේ, බිංගිරිය, පල්ලම, හලාවත, ආරච්චිකට්ටුව සහ රස්නායකපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට අයත් ගංගා නිම්නයේ පහළ ප්‍රදේශ වලට හා ඒ ආශ්‍රිත පහත්බිම් වලට ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් ඇති බවට අනතුරු අඟවයි.

මේ අතර කලා ඔය ද්‍රෝණියේ ඉහළ හා මධ්‍ය ප්‍රදේශ වලට ඇදහැලුණු සැලකිය යුතු වර්ෂාපතනය හේතුවෙන් කලා ඔයෙහි ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එනිසා රාජාංගනය, නොච්චියාගම, වනාතවිල්ලුව සහ කරුවලගස්වැව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාවල අයට ගංගා නිම්නයේ පහළ ප්‍රදේශවලට හා ඒ ආශ්‍රිත පහත්බිම් වලට ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බවද සඳහන් කරයි.

මේ අතර අධික වර්ෂාව හේතුවෙන් රාජාංගනය ජලාශයේ පිටවාන් දොරටු විවෘත කර මේ වනවිට තත්ත්පරයට ඝන අඩි 13,200කට අධික සීඝ්‍රතාවයකින් කලාඔයට ජලය මුදාහරිමින් පවතින බවද සඳහන් කරයි.

සලේගේ අභියෝග පෙත්සමේ අතරමැදි පෙත්සම් ඉවතට

සලේගේ අභියෝග පෙත්සමේ අතරමැදි පෙත්සම් ඉවතට

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානි සුරේෂ් සලේ විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමට මැදිහත් වී කරුණු දැක්වීමට අවසර දෙන ලෙස ඉල්ලා ගොනු කෙරුණු අතරමැදි පෙත්සම් ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද (22) නියෝග කර ඇත.

බෙන්ගමුවේ නාලක හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලා කිහිප නමක්, අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ ස්වේච්ඡා සංවිධාන විසින් මෙම අතරමැදි පෙත්සම් ඉදිරිපත් කළේය.

කාලගුණය කැළඹෙයි.. දිස්ත්‍රික්ක රැසකට තද වැසි

කාලගුණය කැළඹෙයි.. දිස්ත්‍රික්ක රැසකට තද වැසි

පහළ වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන්, දිවයිනේ වැසි තත්ත්වයේ වැඩි වීමක් අද (22) දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තුවන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු සහ දකුණු පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකි බවද සඳහන් කරයි.

අධික වැසි සමග ඇති විය හැකි හදිසි ගංවතුර තත්ත්වයන්, පස් කඩා වැටීම් සහ ප්‍රදේශයේ ගමනාගමන බාධා පිළිබඳව අවධානයෙන් සිටින ලෙස ජනතාවට දැනුම්දීමක් කරයි.

Meta සමාගමට වැඩ වරදී.. අධිකරණයෙන් නියෝග

Meta සමාගමට වැඩ වරදී.. අධිකරණයෙන් නියෝග

Facebook සහ Instagram ඇතුළු ලොව ජනප්‍රියම සමාජ මාධ්‍ය ජාලාවල මව් සමාගම වන “Meta” සමාගමට ඇමරිකානු නිව් මෙක්සිකෝ දිස්ත්‍රික් අධිකරණය විසින් (21) දින ඩොලර් බිලියන 25ක දැවැන්ත දඩයක් නියම කර ඇත.

Meta සමාගම Facebook පරිශීලකයින් නොමග යවමින් ඔවුන්ගේ දත්ත අනවසරයෙන් බෙදා හැර ඇති බවට වූ නඩුවක තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ඩොලර් බිලියන 25ක දඩයක් නියම කර ඇත.

Meta සමාගම ගෙවන දඩ මුදල ප්‍රාන්තයේ දරුවන්ගේ අධ්‍යාපනය සඳහා යෙදවීමටද අධිකරණය නියෝග කර ඇත.

පරිශීලක දත්ත කිසිඳු විටෙක පරිශීලකයින්ගේ අවසරයකින් තොරව තෙවන පාර්ශවයන් සමග බෙදා නොගන්නා බවට වසර ගණනාවක සිට Meta සමාගමේ නිලධාරීන් විසින් කරන ලද ප්‍රකාශ උපුටා දක්වමින්, නිව් මෙක්සිකෝ ප්‍රාන්තයේ නීතිපති Meta සමාගමට එරෙහිව අදාළ නඩුව පවරා තිබිණි.

පරිශීලක දත්ත පාලනය කළ ආකාරය සම්බන්ධයෙන් Meta සමාගමේ වංකභාවය හේතුවෙන් නිව් මෙක්සිකෝ ප්‍රාන්තයේ මිලියන දෙකක් පමණ වූ සමස්ත ජනගහනය බලපෑමට ලක් වූ බව, නීතිඥයින් අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

මාර්ක් සකර්බර්ග්ගේ Meta සමාගමට මෙතෙක් අධිකරණයකින් පනවා ඇති ඉහළම දඩ මුදල මෙය බව ව්දෙස් මාධ්‍ය වාර්තා කරයි.

ආරක්ෂක අංශ පරිහරණය කළ මුලතිව් ඉඩම් ජනතාවට

ආරක්ෂක අංශ පරිහරණය කළ මුලතිව් ඉඩම් ජනතාවට

මුලතිව් දිස්ත්‍රික්කයේ කෙප්පාපිලව් ප්‍රදේශයේ ආරක්ෂක අංශ විසින් පරිහරණය කළ අක්කර 6.97ක පමණ ඉඩම් ප්‍රමාණයක් (21) දින නිල වශයෙන් මහජනතාවගේ පරිහරණය සඳහා නිදහස් කෙරිණි.

ඒ අනුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 59 වන සේනාංකයේ නිලධාරීන් විසින් අදාළ ඉඩම් මුලතිව් දිස්ත්‍රික් ලේකම් ඒ. උමා මහේෂ්වරන් ඉදිරිපිට මුහුදුබඩපත්තු ප්‍රාදේශීය ලේකම්වරිය වෙත නිල වශයෙන් භාරදීම සිදු කෙරිණි.

ජාතික ආරක්ෂාව සඳහා අත්‍යවශ්‍ය වන ඉඩම් හැර, උතුරු අර්ධද්වීපයේ මීට පෙර ආරක්‍ෂක අංශ සතුව පැවති රජයේ ඉඩම් මහජනතාවගේ ඵලදායී භාවිතය සඳහා යොමු කිරීමට ආරක්‍ෂක අංශ අඛණ්ඩව දරන උත්සාහයේ තවත් එක පියවරක් ලෙස මෙම ඉඩම් මුදා හැරීම හැඳින්විය හැකිය.

මුලතිව් දිස්ත්‍රික් ලේකම්වරයා විසින් මෙම කටයුතු සාර්ථක කර ගැනීම සඳහා සහයෝගය ලබාදුන් ආරක්ෂක අමාත්‍යාංශය, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, 59 වන සේනාංකයේ සේනාංකාධිපතිවරයා, අනෙකුත් ආරක්‍ෂක අංශ සහ අදාළ රාජ්‍ය නිලධාරීන් වෙත සිය කෘතඥතාව පළ කළේය.

ඉරානයෙන් බරපතල අනතුරු ඇඟවීමක්

ඉරානයෙන් බරපතල අනතුරු ඇඟවීමක්

ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) විසින් රටවල් කිහිපයකට අනතුරු ඇඟවීමක් කර ඇත.

ඒ අනුව ඉරානයට ප්‍රහාර එල්ල කරන ඕනෑම රටක් ආක්‍රමණය කරන බවට ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) අනතුරු අඟවා ඇත.

ඊශ්‍රායලය විසින් තම හමුදා ශක්තිය ප්‍රදර්ශනය කිරීම සඳහා ඉරානයේ බටහිර දේශසීමා ආසන්නයේ ප්‍රහාරක යානා අභ්‍යාස පවත්වා ඇති බව වාර්තා වන පසුබිමක මෙම තර්ජනය කර ඇත.

Follow WhatsApp Channel