Local news

බැංකු ගිණුම, වාහන බලපත්‍ර ඇතුළු පහත කාර්යයන් සඳහා TIN සහතිකය අනිවාර්ය කරයි

බැංකු ගිණුම, වාහන බලපත්‍ර ඇතුළු පහත කාර්යයන් සඳහා TIN සහතිකය අනිවාර්ය කරයි

2026 නොවැම්බර් (01) සිට ක්‍රියාත්මක වන පරිදි පහත කාර්යයන් සඳහා TIN සහතිකය අනිවාර්ය කර ඇත.

1.යම් බැංකුවක හෝ මූල්‍ය ආයතනයක යම් ගිණුමක් විවෘත කිරීම.

2.ගොඩනැගිලි සැලැස්මක් සඳහා අනුමැතිය ලබා ගැනීම.

3.මෝටර් වාහනයක් ලියාපදිංචි කිරීම.

4.මෝටර් වාහන බලපත්‍ර අලුත් කිරීම.

5.ඉඩමක් හෝ ඉඩමක හිමිකම ලියාපදිංචි කිරීම.

6.ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම.

7.ශ්‍රී ලංකාවේ සංස්ථාපිත සමාගමක කොටස් පැවරීම, පැවරුම්ලාභියකු සහ පැවරුම්කරුවකු විසින් සිදු කරන විට,

8.ණය කාඩ්පතක් ලබා ගැනීම.

පොත් මත පනවා ඇති වැට් බද්දට සහනයක්

පොත් මත පනවා ඇති වැට් බද්දට සහනයක්

පොත් සඳහා දැනට පනවා ඇති වැට් බද්ද එළඹෙන අයවැය තුළින් යම් වෙනසක් කිරීමට උපරිම උත්සාහ ගන්නා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළාය.

එනිසා එළඹෙන අයවැය පිළිබඳ සුබවාදී බලාපොරොත්තුවක් තබාගත හැකි බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළාය.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළේ,

“ජනාධිපතිතුමා කතාකරලා කිව්වා උපරිම උත්සාහ ගන්නවා සහ හැකිවෙයි කියලා එළඹෙන අයවැය තුළින් පොත් වෙනුවෙන් දැනට පනවා තිබෙන වැට් බද්දට වෙනසක් කරන්න. ඒ බලාපොරොත්තුව දෙන්න කියලා කියන්න කිව්වා.”

27 වැනි වරටත් සංවිධානය කරන ලද කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව සඳහන් කළාය.

ස්ථීර එකඟතා නෑ.. වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

ස්ථීර එකඟතා නෑ.. වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ රාජ්‍ය සමුළුව (24) දින වොෂින්ටන් හි ධවල මන්දිරයේදී පැවැත්විණි.

මෙම සමුළුවේ ආසන්නතම ආර්ථික ප්‍රතිඵලය වූයේ අමෙරිකාව – චීනය වෙළඳ අර්බුදයට තාවකාලික සහනයක් හිමිවීමයි.

එහිදී අමෙරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික විරාමය 2027 ජනවාරි (10) වැනිදා දක්වා දීර්ඝ කිරීමට දෙරට එකඟ විය.

ලබන නොවැම්බර් මාසයෙන් අවසන් වීමට නියමිතව තිබූ තීරුබදු තාවකාලිකව අත්හිටුවීමේ ගිවිසුම 2027 ජනවාරි (10) වැනිදා දක්වා තවත් මාස දෙකකින් දීර්ඝ කිරීමට දෙරට එකඟ වූ බව අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් (Scott Bessent) තහවුරු කරයි.

මෙමගින් මූලික ආර්ථික ගැටලුවලට ස්ථිර විසඳුමක් ලැබී නොමැති අතර අමෙරිකානු සෝයා බෝංචි මිලදී ගැනීමේ ඉලක්ක චීනය සපුරාලමින් සිටියද, අනෙකුත් කෘෂිකාර්මික නිෂ්පාදන සහ දුර්ලභ ඛනිජ ද්‍රව්‍ය (rare-earth minerals) අපනයනය සම්බන්ධයෙන් වූ පොරොන්දු ඉටුකිරීමේදී චීනය පසුපසින් සිටින බව අමෙරිකානු බලධාරීන් සඳහන් කරයි.

ලොව විශාලතම ආර්ථිකයන් හිමිකරුවන් වන දෙරට අතර පවතින සබඳතා සහ ස්ථාවරත්වය පවත්වා ගැනීම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් අවධානය යොමුවිය.

එහෙත්, වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇත.

මැදපෙරදිග යුද්ධය ඉන්දියානු සාගර දක්වා.. ඉරානයෙන් බරපතල අනතුරු ඇගවීම්

මැදපෙරදිග යුද්ධය ඉන්දියානු සාගර දක්වා.. ඉරානයෙන් බරපතල අනතුරු ඇගවීම්

අමෙරිකාව සහ ඊශ්‍රායලය ඒකාබද්ධව යළිත් ප්‍රහාර එල්ල කළහොත් ඉරානය විසින් මැදපෙරදිග යුද්ධය ඉන්දියානු සාගරය දක්වා ඉන් ඔබ්බට ව්‍යාප්ත කරන බවට ඉරානය අනතුරු අගවා ඇත.

ඉරානයේ උත්තරීතර නායකයාගේ උපදේශකයෙකු උපුටා දක්වමින් ෆාර්ස් පුවත් සේවය මේ බව සඳහන් කරයි.

හෝමූස් සමුද්‍ර සන්ධිය යළි කිසිම දිනක පෙර පැවති තත්ත්වයට පත් නොවනු ඇති බවත් ඉරානය විසින් හෝර්මුස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන්ම පාලනය කරනු ඇති බව මේජර් ජෙනරාල් යහ්‍යා රහීම් සෆාවි සඳහන් කරයි.

ඉරානයට බලපෑ හැකි ඕනෑම දරුණු තත්ත්වයකට මුහුණ දීම සඳහා සිය හමුදාව සූදානම් බවද මේජර් ජෙනරාල් යහ්‍යා රහීම් සෆාවි සඳහන් කරයි.

අද හවස 7ට ආණ්ඩුවේ බලය පෙන්වනවා

අද හවස 7ට ආණ්ඩුවේ බලය පෙන්වනවා

විවිධ පාර්ශව සහ පුද්ගලයින් කුමන කතා පැතිරවුවද, ආණ්ඩු පක්ෂයේ 158 දෙනාගේ සාමූහික ශක්තිය සහ එකමුතුකම ඡන්ද විමසීමේදී පැහැදිලිව දැකගත හැකි බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළාය.

පස්වරු 7.00 පමණ වනවිට රටේ පරිවර්තනය කිරීම සඳහා වූ ආණ්ඩුවේ සාමූහික ශක්තිය සහ ස්ථාවරත්වය පාර්ලිමේන්තුව හමුවේ යළිත් වරක් ප්‍රදර්ශනය කරන බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළාය.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ,

“හවස 7.00 වෙනකොට අපිට බලන්න පුළුවන් මේ පාර්ලිමේන්තුවේ තත්ත්වය මොකක්ද කියලා. මේ 158 දෙනාගේ සාමුහිකත්වය බලන්න පුළුවන්. විවිධ කතා යනවනේ. හැබැයි අපිට මෙතන තියෙන්නේ 158 දෙනෙක්ගේ සාමුහික අරමුණක්.

ඒ සාමුහික අරමුණ අබමල් රේනුවකින් හෙලවිලා නෑ. ඒ සාමුහිකත්වය අබමල් රේනුවකින් හෙලවිලා නෑ. එනිසා හවස 7.00ට අපිට බලාගන්න පුළුවන් නැවත වතාවක් මේ රටේ, පරිවර්තනය කිරීම සඳහා ඒ සාමුහිකත්වය මැදිහත්වෙන විදිහ බලාගන්න පුළුවන්.”

ක්‍රිෂ් නඩුව උඩු යටිකුරු වෙයි.. අවස්ථා තුනයි.. නාමල්ට ඉදිරිය සුබයි

ක්‍රිෂ් නඩුව උඩු යටිකුරු වෙයි.. අවස්ථා තුනයි.. නාමල්ට ඉදිරිය සුබයි

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට රුපියල් මිලියන 70ක අල්ලසක් ලබාදීමේ චෝදනාව සම්බන්ධයෙන් අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්‍යක්ෂ ජානකී සිරිවර්ධන ඔක්තෝබර් (06) වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළේය.

නාගරික සංවර්ධන අධිකාරියට අයත් කොළඹ කොටුව ට්‍රාන්ස්වර්ක් චතුරශ්‍රය නැමැති භූමිය Krrish Transworks Colombo (pvt) Ltd සමාගමට කඩිනමින් ලබාගැනීමට නාමල් රාජපක්ෂට රුපියල් මිලියන 70ක් අල්ලස් ලෙස ලබාදීම සම්බන්ධව සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ජානකී ද සොයිසා සිරිවර්ධන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගත්තේය.

අත්අඩංගුවට ගත් ජානකී සිරිවර්ධන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම හමුවට ඉදිරිපත් කළේය.

එහිදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සහකාර නීති අධ්‍යක්ෂ නීතිඥ අමා විජේසිංහ සඳහන් කළේ,

“ස්වාමිනි., කොළඹ කොටුව ට්‍රාන්ස්වර්ක් භූමියේ මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් කඩිනමි කිරීමට අවශ්‍ය කටයුතු කිරීම සඳහා Krrish Transworks Colombo (pvt) ltd සමාගම නිමල් පෙරේරා නැමැත්තා හරහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට මිලියන 70ක අල්ලසක් අවස්ථා 03කදී තුටු පඬුරු ලෙස ලබාදී තිබෙනවා.

අදාළ Krrish සමාගම එළඹ සිටී ගිවිසුම් සහ එහි ගනුදෙනු පිළිබඳ හොඳ අවබෝධක් තිබූ තැනැත්තියක් ලෙසයි අද මෙම සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කරන්නේ. අදාළ අල්ලස් ලබාදීමේ ක්‍රියාවලියේදී මැය ඒ පිළිබඳ දැනුවත්භාවයකින් සිට ඇති අතර නිර්දෝෂී මනසකින් කටයුතුකර නැහැ.

මේ සම්බන්ධයෙන් ප්‍රධාන සාක්ෂිකාර නිමල් පෙරේරා ඔහුට සිදුව ඇතැයි කියන මරණ තර්ජන හේතුවෙන් ඕස්ට්‍රේලියාවට ගොස් සිටින්නේ.‍ මේ ගනුදෙනුවට අදාළව Krrish සමාගමේ තවත් ලේඛන සොයාගතයුතුව පවතිනවා. එමෙන්ම මෙම සැකකාරිය විමර්ශන වලට සහය ලබාදීත් නැහැ. මේක ස්වාමිනි සංකීර්ණ විමර්ශනයක්.

මේ ප්‍රශ්නගත ක්‍රිෂ් ගනුදෙනුවට අදාළව අල්ලස් අයදීම, පිරිනැමීම සහ ලබාගැනීම යන කොටස් තුනටම අදාළව අපි අධිචෝදනා ගොනු කිරීමට බලාපොරොත්තු වෙනවා. අදාළ ක්‍රිෂ් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් වූ ඉන්දීය ජාතික අමිත් කට්ටියාර් සහ රාජේන්ද්‍ර ප්‍රසාද් ගුප්තා නැමැත්තන්ට පැමිණ ප්‍රකාශ ලබාදෙන ලෙස Email පණිවිඩ යොමුකර තිබුණත් ඔවුන් තවමත් ඊට ප්‍රතිචාර දක්වා නැහැ.

එබැවින් මෙම සැකකාරියගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේපකර රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මා අධිකරණයෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ අල්ලස් මුදල ලබාගත් බවට සැකකරුවෙකු ලෙස හඳුනාගෙන සිටින දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින නාමල් රාජපක්ෂගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට අවසර ලබාදෙමින් බන්ධනාගාර අධිකාරිවරයාට දැනුම්දීමක් කරන ලෙස අපි අධිකරණයෙන් ඉල්ලා සිටිනවා.”

අනතුරුව සැකකාර ජානකී සිරිවර්ධන වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අමිල දිසානායක සඳහන් කළේ,

“ස්වාමිනි., මේ කියන මිලියන 70ට අදාළව මුලින්ම පැමිණිල්ලක් ඇවිල්ලා තියෙන්නේ 2015 වර්ෂයේ. 2025 වසරේ ජනවාරි මාසයේ සාපරාධි විශ්වාසය කඩකිරීමට අදාළව නාමල් රාජපක්ෂට එරෙහිව නීතිපතිවරයා මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකිරීමකුත් සිදුකර තිබෙනවා.

රගර් ක්‍රීඩාව ප්‍රවර්ධන කිරීමට ලබාදුන් මුදලක් වංක ලෙස පාවිච්චි කරමින් සාපරාධි විශ්වාසය කඩකළා කියලයි ඒ නඩුව තියෙන්නේ. ඒ නඩුවේ සාක්ෂිකරුවෙක් තමයි මගේ මේ සේවාදායකයා. එහෙම තියෙද්දි දැන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඒ මිලියන 70ටම අදාළව අල්ලස් චෝදනාවක් ගෙනල්ලා මගේ සේවාදායිකාව සැකකාරියක් කරමින් චෝදනා ඉදිරිපත්කර තිබෙනවා.

දැන් අපිටත් ප්‍රශ්නයක් මේ මිලියන 70 සාපරාධි විශ්වාසය කඩකිරීමක්ද නැත්නම් අල්ලස් ලබාදීමක්ද කියලා. එබැවින් ස්වාමිනි මේ කරුණු සුවිශේෂි කරුණු ලෙස සලකා මගේ සේවාදායිකාවට ඇප ලබාදෙන ලෙස මා ඉල්ලා සිටිනවා.”

අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම සඳහන් කළේ,

“මහාධිකරණයේ පවතින නඩුවකට අදාළව මෙම තැනැත්තිය තවමත් සාක්ෂි දී නොමැති පසුබිමක යළි සැකකරුවෙක් ලෙස අත්අඩංගුවට ගැනීම අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම සලකා බැලියයුතු කරුණක්. ඉන් වෙනත් නඩුවකට බලපෑමක් වෙනවාද නැද්ද යන්න සලකා බැලිය යුත්තේ මම නොවෙයි, ඔවුන්. එබැවින් විත්තිය පවසන ආකාරයට එය ඇප ලබාදීමට සුවිශේෂි කරුණක් ලෙස සලකන්න බැහැ.“

අනතුරුව ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්‍යක්ෂ ජානකී සිරිවර්ධන ඔක්තෝබර් මස (06) වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.

ශිරන්තිට අලුත් අසනීපයක්.. FCID එන්න බෑ කියයි

ශිරන්තිට අලුත් අසනීපයක්.. FCID එන්න බෑ කියයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ (24) දින පෙනී සිටින ලෙසට පසුගියදා දැනුම් දුන්නේය.

එහෙත් ඊයේ (24) දිනයේ ශිරන්ති රාජපක්ෂ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටියේ නැත.

කෙසේ වෙතත් ශිරන්ති රාජපක්ෂ වෙනුවෙන් නීතීඥවරයෙක් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත ලිපියක් යොමුකර ඇත.

එම ලිපියෙන් දැනුම් දී ඇත්තේ, (24) දින පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවට පැමිණෙන ලෙසට කර ඇති දැනුම්දීමට අනුව ශිරන්ති රාජපක්ෂට පැමිණීමට නොහැකි බවයි.

ශිරන්ති රාජපක්ෂ අක්ෂි ශල්‍යකර්මයක් සඳහා සිංගප්පූරුවට ගොස් ඇති බැවින් ඇය නැවතත් මෙරටට පැමිණි පසුව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින බව නීතීඥවරයා දැනුම් දී ඇත.

ශිරන්ති රාජපක්ෂගේ මුලිකත්වයෙන් පවත්වාගෙන ගිය “සිරිලිය සවිය” සංවිධානයේ ගණුදෙනු වලට අදාළව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මෙම විමර්ශනය සිදු කරයි.

කෙසේ වෙතත් රෝගී තත්ත්වයට ප්‍රථිකාර කිරීමට සහ විශේෂ පරීක්ෂණ කිහිපයක් සිදු කිරීම සඳහා ශිරන්ති රාජපක්ෂ පසුගිය (16) වනදා සිංගප්පූරුව බලා පිටත්ව ගිය බව දැනුම් දුන්නේය.

අපරාධකරුවන් ගල්කිස්ස අධිකරණයේ ගුටිබැට හුවමාරුවක

අපරාධකරුවන් ගල්කිස්ස අධිකරණයේ ගුටිබැට හුවමාරුවක

“කොස්මල්ලි” සහ “බඩෝවිට අසංක” සංවිධානාත්මක අපරාධ කල්ලි දෙක නියෝජනය කරන ප්‍රබල සැකකරුවන් දෙදෙනෙකු අතර ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණ ශාලාව තුළදී (24) පස්වරුවේ ගුටි බැට හුවමාරුවක් සිදුව ඇත.

“කොස්මල්ලි” පාර්ශවයේ සැකකරුවෙකු වන මධුෂ්ක රේණුක ප්‍රනාන්දු සහ “බඩෝවිට” අසංක පාර්ශවයේ සැකකරුවකු වන කරුණාලුගේ ශ්‍රීනාත් ප්‍රියශාන්ත ප්‍රනාන්දු අතර ගුටි බැට හුවමාරුව සිදුව ඇත.

කොස් මල්ලි පාර්ශවයේ අයෙකු වන මදුෂ්ක, පසුගියදා දෙහිවල සිරිසගබෝ පාර ප්‍රදේශයේ පිහිටි නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කර මනුෂය ඝාතන දෙකක් සිදු කිරීමේ චෝදනාව එල්ල වූ තැනැත්තාය.

බඩෝවිට අසංක පාර්ශවයේ අයෙකු වන ශ්‍රීනාත්, 2025 වසරේ නොවැම්බර් මාසයේදී ගල්කිස්ස සිරිපාල පාරේදී පුද්ගලයකුට වෙඩිතබා ඝාතනය කිරීමේ සිදුවීමේ සැකකරුවන් පැමිණි යතුරුපැදියේ පැදිකරු වශයෙන් කටයුතු කර ඇත.

අධිකරණ කටයුතු සඳහා ඔවුන් දෙදෙනා ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙන විත් සිටි අවස්ථාවේදී ශ්‍රීනාත් විත්තිකූඩුවේ රඳවා සිට ඇති අතර මධුෂ්ක ඊළඟ නඩුව සඳහා විත්තිකූඩුව ආසන්නයේ තිබූ රැඳවියන්ගේ බංකුවේ වාඩි කරවා ඇත.

එම අවස්ථාවේදී විත්තිකූඩුවේ සිටි ශ්‍රීනාත් එකවරම විත්ති කූඩුවෙන් බිමට පැන බංකුවේ සිටි මධුෂ්කට දිගින් දිගටම ප්‍රහාර එල්ල කර ඇති අතර අනතුරුව බන්ධනාගාර නිලධාරීන් හා පොලිස් නිලධාරින් එක්ව ගැටුම සමතයකට පත් කර ඇත.

පවතින අනාරක්ෂිත තත්ත්වය සැලකිල්ලට ගනිමින් අදාළ සැකකරුවන් දෙදෙනා බන්ධනාගාරය තුළ වෙන් වෙන්ව රඳවා තැබීමට පියවර ගන්නා ලෙස ගල්කිස්ස අතිරේක මහෙස්ත්‍රාත් හේමාලි හාල්පන්දෙනිය බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළා.

එම ගැටුමේදී කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති අතර මේ සම්බන්ධයෙන් ගල්කිස්ස පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇත.

වාහන මිල ගණන් දැනෙන්න පහළට

වාහන මිල ගණන් දැනෙන්න පහළට

මේ වනවිට වෙළෙඳපොළේ වාහන මිල ගණන් සැලකිය යුතු මට්ටමකින් පහත වැටී ඇතැයි වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ සඳහන් කරයි.

පනවා තිබූ සීමා ලිහිල් කිරීමත් සමඟ මෙරට අවශ්‍යතාව ඉක්මවා වාහන ආනයනය කිරීම හේතුවෙන් වෙළෙඳපොළේ වාහන මිල ගණන් සැලකිය යුතු මට්ටමකින් පහත වැටී ඇති බව සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ සඳහන් කරයි.

සීමා ඉවත් කිරීමෙන් පසු මෙරට අවශ්‍යතාව වූයේ ඉතා සුළු වාහන ප්‍රමාණයක් වුවද, සීමාව ඉක්මවා විශාල වශයෙන් වාහන ආනයනය කිරීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ අතිරික්තයක් නිර්මාණය වී ඇත.

වෙළෙඳපොළේ පවතින මෙම ප්‍රවණතාව හමුවේ ගැනුම්කරුවන්ට අඩු මිලකට වාහන මිලදී ගැනීමට ඉතා වාසිදායක පසුබිමක් නිර්මාණය වී ඇති බවද සභාපතිවරයා සඳහන් කරයි.

දේශීය වෙළෙඳපොළේ ජනප්‍රිය වාහන මාදිලි වන යාරිස් (Yaris), වෙසල් (Vezel), රේස් (Raize), වැගන් ආර් (Wagon R), ඩයිහට්සු මීරා (Daihatsu Mira) සහ සුසුකි (Suzuki) වැනි සෑම වාහනයකම පාහේ මිල රුපියල් ලක්ෂ තුනත් හතරත් අතර මුදලකින් පහත වැටී ඇත.

ඇතැම් වාහනවල මිල රුපියල් ලක්ෂ 10කින් පමණ අඩු වී ඇති අතර ඉදිරි කාලසීමාවේදී මෙම මිල ගණන් තවදුරටත් පහළ බසිනු ඇතැයි අපේක්ෂා කරන බවද සභාපතිවරයා සඳහන් කරයි.

පියුමි හංසමාලි අත්අඩංගුවට අරන් නෑ.. පෙත්සම ඉල්ලා අස්කර ගනී

පියුමි හංසමාලි අත්අඩංගුවට අරන් නෑ.. පෙත්සම ඉල්ලා අස්කර ගනී

සැකකටයුතු ලෙස වත්කම් උපයාගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන අංශය සිදුකරන විමර්ශනයකට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි විසින් ඉදිරිපත් කර තිබූ රිට් පෙත්සම අභියාචනාධිකරණය හමුවේ (24) ඉල්ලා අස්කරගෙන ඇත.

මෙම පෙත්සම මායාදුන්නේ කොරයා සහ ලක්මාලී කරුණානායක යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවේය.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ශනිල් කුලරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, ඇයගේ වත්කම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශනයක් සිදු කරමින් සිටින බවත්, එම පරීක්ෂණ කටයුතු අවසන් කිරීම සඳහා නිශ්චිත කාලසීමාවක් ප්‍රකාශ කළ නොහැකි බවයි.

එම විමර්ශන සම්පූර්ණ කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තවදුරටත් ප්‍රමාණවත් කාලයක් අවශ්‍ය වන බවද නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ශනිල් කුලරත්න සඳහන් කළේය.

එහිදී, පියුමි හංසමාලි වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කළේ, සිය සේවාදායිකාව මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බැවින් මෙම පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.

අනතුරුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ රිට් පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට පෙත්සම්කාර පාර්ශ්වයට අවසර දුන්නේය.

✕
⌃ News
📰 Free News Subscription?