Local news

පියුමි හංසමාලි අත්අඩංගුවට අරන් නෑ.. පෙත්සම ඉල්ලා අස්කර ගනී

පියුමි හංසමාලි අත්අඩංගුවට අරන් නෑ.. පෙත්සම ඉල්ලා අස්කර ගනී

සැකකටයුතු ලෙස වත්කම් උපයාගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන අංශය සිදුකරන විමර්ශනයකට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි විසින් ඉදිරිපත් කර තිබූ රිට් පෙත්සම අභියාචනාධිකරණය හමුවේ (24) ඉල්ලා අස්කරගෙන ඇත.

මෙම පෙත්සම මායාදුන්නේ කොරයා සහ ලක්මාලී කරුණානායක යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවේය.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ශනිල් කුලරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, ඇයගේ වත්කම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශනයක් සිදු කරමින් සිටින බවත්, එම පරීක්ෂණ කටයුතු අවසන් කිරීම සඳහා නිශ්චිත කාලසීමාවක් ප්‍රකාශ කළ නොහැකි බවයි.

එම විමර්ශන සම්පූර්ණ කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තවදුරටත් ප්‍රමාණවත් කාලයක් අවශ්‍ය වන බවද නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ශනිල් කුලරත්න සඳහන් කළේය.

එහිදී, පියුමි හංසමාලි වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කළේ, සිය සේවාදායිකාව මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බැවින් මෙම පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.

අනතුරුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ රිට් පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට පෙත්සම්කාර පාර්ශ්වයට අවසර දුන්නේය.

පාසල් රැසක් වසා දමයි

පාසල් රැසක් වසා දමයි

මේ දිනවල පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් හෙට (25) දින නුවරඑළිය සහ හැටන් අධ්‍යාපන කලාපවල සියලු පාසල් වසා තැබීමට තීරණය කර ඇත.

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නුවරඑළිය කලාපයේ සියලුම පාසල් සඳහා හෙට දිනයේ මෙලෙස නිවාඩු ලබාදීමට පියවර ගත් බව නුවරඑළිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඩී.එම්.එස්.ඩී. දිසානායක සඳහන් කරයි.

මධ්‍යම පළාතේ අනෙකුත් අධ්‍යාපන කලාපවල පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් එම ප්‍රදේශවල තත්ත්වය අනුව තීරණ ගැනීමේ හැකියාව පවතින බව මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම්වරයා සඳහන් කරයි.

සිංගප්පූරු ගිය ශිරන්ති මිසිං

සිංගප්පූරු ගිය ශිරන්ති මිසිං

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ අද (24) දින පෙනී සිටින ලෙසට පසුගියදා දැනුම් දුන්නේය.

එහෙත් අද (24) දිනයේ ශිරන්ති රාජපක්ෂ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටියේ නැත.

රෝගී තත්ත්වයට වැඩිදුර ප්‍රථිකාර කිරීමට සහ විශේෂ පරීක්ෂණ කිහිපයක් සිදු කිරීම සඳහා ශිරන්ති රාජපක්ෂ පසුගිය (16) වනදා අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගියේය.

සිංගප්පූරුව බලා පිටත්ව ගිය ශිරන්ති රාජපක්ෂ අද (24) පස්වරුව වන විටත් මෙරට පැමිණියේ නැතැයි ගුවන් තොටුපොල ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකා රේගුව කප් ගහයි

ශ්‍රී ලංකා රේගුව කප් ගහයි

ශ්‍රී ලංකා රේගුව සැප්තැම්බර් මාසයට අදාළ ආදායම් ඉලක්කය මාසය අවසන් වීමටත් පෙර ඉලක්කය අභිබවා ආදායම් රැස් කිරීමට සමත්ව ඇත.

ඒ අනුව සැප්තැම්බර් මාසය සඳහා රේගුවට ලබාදී තිබූ රුපියල් මිලියන 195,596ක ආදායම් ඉලක්කය  පසුගිය (22) වනදා වනවිට සපුරා ගනිමින් රුපියල් මිලියන 199,348ක ආදායමක් රැස්කරගෙන ඇත.

2026 වසර සඳහා ශ්‍රී ලංකා රේගුවට නියම කර ඇති සමස්ත ආදායම් ඉලක්කය රුපියල් බිලියන 2,206.995ක් වන අතර පසුගිය (22) වනදා වනවිට රේගුව විසින් රුපියල් බිලියන 2,058.033ක සමස්ත ආදායමක් වාර්තා කිරීමට සමත්ව ඇත.

ළමයින් වෙනුවෙන් ගත් තීරණය.. ජාතික මාධ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහයක්

ළමයින් වෙනුවෙන් ගත් තීරණය.. ජාතික මාධ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහයක්

ළමයින් සම්බන්ධ පුවත් වාර්තා කිරීමේදී ඔවුන්ගේ ගෞරවය, පෞද්ගලිකත්වය සහ රහස්‍යභාවය ආරක්ෂා කිරීම සඳහා ජාතික මාධ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහයක් සකස් කර ඇති බව කාන්තා සහ ළමා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අවධාරණය කෙරිණි.

කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ්ගේ සභාපතිත්වයෙන් (22) දින පාර්ලිමේන්තුවේදී රැස් වූ කාරක සභාවේදී මේ පිළිබඳව සාකච්ඡා විය.

මුද්‍රිත, විද්‍යුත් සහ සමාජ මාධ්‍ය ඔස්සේ ළමයින් සම්බන්ධ පුවත් වාර්තා කිරීමේදී ඔවුන්ගේ උපරිම යහපත සැලසීම, සත්‍යතාව සහ සාධාරණත්වය ආරක්ෂා කිරීම මෙන්ම ළමයින් හා ඔවුන්ගේ පවුල් අනවශ්‍ය ලෙස නිරාවරණය වීම වැළැක්වීම මෙම මාර්ගෝපදේශ සංග්‍රහයේ ප්‍රධාන අරමුණු ලෙස හඳුනාගෙන තිබේ.

එමෙන්ම, ආබාධිත දරුවන් සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තාකරණයේදී ඔවුන්ගේ ගෞරවය සහ අයිතිවාසිකම් ආරක්ෂා වන පරිදි කටයුතු කිරීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය විය.

මේ අතර, දෙමළ භාෂාව කතා කරන ප්‍රදේශවල කාන්තා සහ ළමා ඒකක ශක්තිමත් කිරීම සඳහා දෙමළ භාෂාව හැසිරවිය හැකි කාන්තා පොලිස් නිලධාරිනියන් බඳවා ගැනීම සහ පුහුණු කිරීම පිළිබඳව සාකච්ඡා කෙරිණි.

යාපනය ඇතුළු ප්‍රදේශවල කාන්තාවන්ට සහ ළමයින්ට තම පැමිණිලි ඉදිරිපත් කිරීමේදී පවතින භාෂාමය අපහසුතා මගහරවා ගැනීම මෙහි අරමුණ විය.

දිවයින පුරා පවතින ළමා නිවාස පාලනය සහ අධීක්ෂණය විධිමත් කිරීම සඳහා මධ්‍යගත තොරතුරු පද්ධතියක් හඳුන්වා දීමේ අවශ්‍යතාව ද කාරක සභාවේදී අවධානයට ලක් විය.

දරුවන්ට සිදු වන හිංසන වැළැක්වීම සඳහා එම ආයතනවල කළමනාකාරීත්වයේ වගකීම තහවුරු කිරීමේ අවශ්‍යතාවද මෙහිදී කාරක සභාව විසින් පෙන්වා දෙන ලදී.

තවද, වයස අවුරුදු පහට අඩු දරුවන් සිටින මව්වරුන් විදේශ රැකියා සඳහා පිටත් වීම සම්බන්ධයෙන් පවතින කරුණු පිළිබඳව ද සාකච්ඡා වූ අතර ඒ සම්බන්ධයෙන් තාක්ෂණික කමිටුවක් මගින් අවසන් තීරණයක් ගැනීමට නියමිත බව සඳහන් විය.

විදේශ රැකියාවල නිරත කාන්තාවන්ගේ දරුවන් සඳහා අධ්‍යාපනික වියදම් ප්‍රතිපූරණය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව අවධානය යොමු විය.

එමෙන්ම, 2027 වසර වනවිට සියලු පෙර පාසල් සඳහා පොදු ප්‍රමිතීන් හඳුන්වාදීම, පෙර පාසල් ගුරුවරුන් සඳහා පොදු පුහුණු හා සහතික ක්‍රමවේදයක් ඇති කිරීම සහ පෙර පාසල්වල පවතින යටිතල පහසුකම්වල ගැටලු විසඳීම පිළිබඳව සාකච්ඡා කෙරිණි.

ළමා අපයෝජන නඩු විභාග කිරීමේදී පවතින ප්‍රමාදයන් අවම කිරීම සඳහා අධිකරණ වෛද්‍ය වාර්තා සහ රජයේ රස පරීක්ෂක වාර්තා ලබා දීම කඩිනම් කිරීම, නීතිපති දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩල හිඟයට විසඳුම් ලබාදීම සහ ළමා අපයෝජන නඩු කඩිනමින් විභාග කිරීම සඳහා විශේෂ ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබඳවද කාරක සභාවේ අවධානය යොමු විය.

ළමයින්ට සිදු කරන ශාරීරික දණ්ඩනය නීතියෙන් තහනම් කිරීම සඳහා අවශ්‍ය නීතිමය සංශෝධන පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.

මිලියන 70ක් අල්ලස් ගත් නාමල්ට වමාරන්න වෙයි.. ජානකීට දුන් නියෝගය

මිලියන 70ක් අල්ලස් ගත් නාමල්ට වමාරන්න වෙයි.. ජානකීට දුන් නියෝගය

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට රුපියල් මිලියන 70ක මුදලක් අල්ලස් ලෙස ලබාදුන් බවට වූ චෝදනාවට අදාළව ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්‍යක්ෂිකා ජානකී සිරිවර්ධන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගත්තේය.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගත් ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්‍යක්ෂිකා ජානකී සිරිවර්ධන කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔක්තෝබර් මස (06) වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියම කළේය.

තවද, මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගෙන් මෙම විමර්ශනයට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අල්ලස් කොමිසමට අවසර දෙන ලෙසත්, මෙහිදී මහෙස්ත්‍රාත්වරයා විසින් බන්ධනාගාර අධිකාරිවරයාට නියම කරනු ලැබීය.

අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකාරියගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම විසින් මෙම නියෝගය නිකුත් කළේය.

නාගරික සංවර්ධන අධිකාරියට අයත් කොළඹ කොටුව ට්‍රාන්ස්වර්ක් චතුරස්‍රය නැමැති භූමිය කඩිනමින් ලබාගැනීම සඳහා සහාය දීම වෙනුවෙන්, නාමල් රාජපක්ෂ වෙත රුපියල් මිලියන 70ක මුදලක් අල්ලස් ලෙස ලබාදුන් බවට වන චෝදනාව යටතේ ජානකී සිරිවර්ධන අත්අඩංගුවට ගත්තේය.

තියෙන ප්‍රශ්න වලින් බේරෙන්න සජිත් ආණ්ඩුවේ අවශ්‍යතාව ඉටු කරනවා.. අපිට සැකයි

තියෙන ප්‍රශ්න වලින් බේරෙන්න සජිත් ආණ්ඩුවේ අවශ්‍යතාව ඉටු කරනවා.. අපිට සැකයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට තියෙන ප්‍රශ්න වලින් බේරෙන්න ආණ්ඩුවේ අවශ්‍යතාවයක් ඉටු කරනවාද යන්න සැකයක් පවතින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහලේකම්, නීතීඥ සාගර කාරියවසම් සඳහන් කරයි.

මහලේකම්, නීතීඥ සාගර කාරියවසම් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ,

“අපි ලෑස්ති වෙලා හිටියේ විරෝධතාවයට සම්බන්ධ වෙන්න. නමුන් අවාසනාවන්ත ආකාරයට සමගි ජන බලවේගය ප්‍රසිද්ධියේ ප්‍රකාශ නිකුත් කරා විපක්ෂයේ අනෙකුත් පක්ෂ සම්බන්ධ විය යුතු නෑ කියන කාරණය.

ඉතිං එහෙම තත්ත්වයක් යටතේ අපිට ආත්ම ගරුත්වයක් තියාගෙන එතනට යන්න බෑ. නමුත් අපි හිතනවා මේක, විපක්ෂයේ නෙමෙයි සමස්ත රටේ විරෝධතාවයක් විය යුතුයි. ඒක සමගි ජන බලවේගයේ විරෝධතාවයක් විය යුතු නෑ. කෙසේ වුවත් අපි ප්‍රර්ථනා කරනවා විරෝධතාවය සාර්ථක වේවා කියලා.”

“සමගි ජන බලවේගයේ සාකච්ඡාව අවසන් වෙලා එක් මන්ත්‍රීවරයෙක් එළියට ඇවිත් ප්‍රකාශයක් කරා. ඒ ප්‍රකාශයට විරුද්ධව අද වෙනකල් විපක්ෂ නායකවරයා හෝ වෙනත් කිසිම පක්ෂයේ මන්ත්‍රීවරයෙක් එම ප්‍රකාශය හෙලා දැකලා හෝ ප්‍රකාශය වැරදි කියලා ප්‍රකාශ කරලා නැ.

එතකොට මේකෙන් අපිට පෙනී යන්නේ මෙය සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ අවශ්‍යතාවය මත කරන ප්‍රකාශයක්. ඉතිං විපක්ෂයේ අපිට පොඩි සැකයක් තියෙනවා, සජිත් ප්‍රේමදාස මහත්තයා ඉටු කරන්නේ ආණ්ඩුවේ අවශ්‍යතාවයක් ද කියන කාරණය සම්බන්ධයෙන්. මොකද එතුමාට තියෙන ප්‍රශ්න වලින් බේරෙන්න එතුමා මෙහෙම දෙයක් කරනවාද දන්නේ නෑ.“

නාමල්ට මිලියන 70ක් අල්ලස් දුන් ක්‍රිෂ් සමාගමේ අධ්‍යක්ෂිකා අත්අඩංගුවට

නාමල්ට මිලියන 70ක් අල්ලස් දුන් ක්‍රිෂ් සමාගමේ අධ්‍යක්ෂිකා අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට රුපියල් මිලියන 70ක අල්ලස් මුදලක් ලබාදීම සම්බන්ධයෙන් ක්‍රිෂ් සමාගමේ අධ්‍යක්ෂිකාව අත්අඩංගුවට ගෙන ඇත.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් ක්‍රිෂ් සමාගමේ අධ්‍යක්ෂ ජානකී සිරිවර්ධන එලෙස අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ සමාගම සඳහා නාගරික සංවර්ධන අධිකාරියට අයත් කොළඹ කොටුව ට්‍රාන්ස්වර්ක් චතුරස්‍රය නැමැති භූමිය කඩිනමින් ලබාගැනීම සඳහා සහාය දීම වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වෙත රුපියල් මිලියන 70ක මුදලක් අල්ලස් ලෙස ලබාදුන් බවට වන චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන ඇත.

සුගීෂ්වරට ගෙවපු මුදල් ගෝඨාගේ ඥාති පුතෙකුගේ ගිණුමකට 

සුගීෂ්වරට ගෙවපු මුදල් ගෝඨාගේ ඥාති පුතෙකුගේ ගිණුමකට 

මේ වනවිට බන්ධනාගාරගත කර සිටින සුගීෂ්වර බණ්ඩාරට ජනාධිපති කාර්යාලයෙන් ගෙවූ බව කියන වැටුප් මුදල් බැර වී ඇත්තේ ගෝඨාභය රාජපක්ෂගේ සොහොයුරියකගේ පුතෙකුගේ ගිණුමකට බව මධ්‍යම විමර්ශන කාර්යාංශය කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අනාවරණය කර ඇත.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පාලන සමයේ විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කරමින් රුපියල් කෝටි 22කට අධික මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය සහ විශ්වාසය කඩ කිරීමේ චෝදනා මත සුගීෂ්වර බණ්ඩාර (23) දින අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මේ බව අනාවරණය විය.

මෙම සැකකරුගේ ගිණුමට අවස්ථා 4කදී රුපියල් ලක්ෂ 50ක මුදලක් සහ අවස්ථා 79කදී රුපියල් එක්කෝටි දහහතර ලක්ෂයකට අධික මුදලක් බැරවී ඇති බව විමර්ශන ප්‍රගතිය අධිකරණයට ඉදිරිපත් කරමින් එම නිලධාරීන් සඳහන් කරයි.

ගෝඨාභය රාජපක්ෂගෙන් ලබාගත් ප්‍රකාශ වලින්ද අදාළ වැටුප් මුදල් බැරවී ඇත්තේ ඔහුගේ සොහොයුරියගේ පුතාගේ ගිණුමට බව තහවුරු වී ඇති අතර එම ගිණුම් හිමිකරුගෙන්ද ප්‍රකාශ ලබාගෙන තිබෙන බව සඳහන් කරයි.

එහිදී එක් ප්‍රකාශයකින් මුදලින් අඩක් ලැබුණු බවත්, අනෙක් ප්‍රකාශයෙන් කිසිදු මුදලක් නොලැබුණු බවත් ඔහු පවසා ඇති බැවින් ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවද එම නිලධාරීන් සඳහන් කරයි.

එම විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන අවස්තාවේදි ඔහු යටතේ අධ්‍යක්ෂවරුන් 22ක් ඇතුළු 135 දෙනෙකු පමණ සේවය කර ඇති බවත් එම ව්‍යාපෘතිය හරහා සිදුව ඇත්තේ දේශපාලනය ප්‍රවර්ධනය කිරීම පමණක් බවත් විමර්ශනවලදී අනාවරණය වූ බව එම නිලධාරීන් සඳහන් කරයි.

කොලොන්නාව ඇතුළු ප්‍රදේශවල ගංවතුර පාලනයට විශේෂ ව්‍යාපෘතිය අරඹයි

කොලොන්නාව ඇතුළු ප්‍රදේශවල ගංවතුර පාලනයට විශේෂ ව්‍යාපෘතිය අරඹයි

කොලොන්නාව ඇතුළු තදාසාන්න ප්‍රදේශ වලට නිරන්තරයෙන් ඇතිවන ගංවතුර පාලනය වෙනුවෙන් කොලොන්නාව වැසි ජල අපවහන හා පරිසරය වැඩි දියුණු කිරීමේ විශේෂ ව්‍යාපෘතිය ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇත.

කොලොන්නාවට බලපාන ගංවතුර පාලනයට, ප්‍රධාන ඇල මාර්ග 04ක් පුළුල් කර වැඩි ජල ධාරිතාවක් දැරිය හැකි පරිදි වැඩි දියුණු කෙරෙන අතර ජල රඳවන තටාක 07ක් නිර්මානය කරන අතර සැලසුම් ගත ව්‍යාපෘතිය යටතේ සැළලිහිනි මාවත ඇල, දහම්වෙල ඇල, පස්සැන්න ඇල, දඬුතොට ඇල පුළුල් කර සංවර්ධනය කරයි.

ව්‍යාපෘතිය යටතේ ජල තටාක 07ක් ඉදිකෙරෙන අතර විවේකාරාම, තුප්පාවෙල, ගොඩැල්ල, සිරිපැරකුම් මාවත, බැලගම, දඬුතොට, කොටිකාවත්ත ප්‍රදේශයන් හි මෙම ජල තටාක ඉදිවේ.

මෙම ව්‍යාපෘතිය පිරිවැය රුපියල් මිලියන 15,000ක් වන අතර ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ මෙහෙය වීමෙන්, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව මඟින් සැලසුම් කර ව්‍යාපෘතිය සේවා ක්‍රියාත්මක කෙරෙයි.

ගංවතුර පාලන ව්‍යාපෘතිය සමඟාමීව ප්‍රධාන හා ග්‍රාමීය මාර්ග පද්ධතිය, කුඩා පාලම්, බෝක්කු, ජල බස්නා කාණු පද්ධති නවීකරණය කරන අතර ඇවිදින මංතීරු,ප්‍රවේශ මාර්ග, රුක් රෝපන ව්‍යාපෘතිය ද ක්‍රියාත්මක වේ.

✕
⌃ News
📰 Free News Subscription?