Local news

කොලොන්නාව ඇතුළු ප්‍රදේශවල ගංවතුර පාලනයට විශේෂ ව්‍යාපෘතිය අරඹයි

කොලොන්නාව ඇතුළු ප්‍රදේශවල ගංවතුර පාලනයට විශේෂ ව්‍යාපෘතිය අරඹයි

කොලොන්නාව ඇතුළු තදාසාන්න ප්‍රදේශ වලට නිරන්තරයෙන් ඇතිවන ගංවතුර පාලනය වෙනුවෙන් කොලොන්නාව වැසි ජල අපවහන හා පරිසරය වැඩි දියුණු කිරීමේ විශේෂ ව්‍යාපෘතිය ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇත.

කොලොන්නාවට බලපාන ගංවතුර පාලනයට, ප්‍රධාන ඇල මාර්ග 04ක් පුළුල් කර වැඩි ජල ධාරිතාවක් දැරිය හැකි පරිදි වැඩි දියුණු කෙරෙන අතර ජල රඳවන තටාක 07ක් නිර්මානය කරන අතර සැලසුම් ගත ව්‍යාපෘතිය යටතේ සැළලිහිනි මාවත ඇල, දහම්වෙල ඇල, පස්සැන්න ඇල, දඬුතොට ඇල පුළුල් කර සංවර්ධනය කරයි.

ව්‍යාපෘතිය යටතේ ජල තටාක 07ක් ඉදිකෙරෙන අතර විවේකාරාම, තුප්පාවෙල, ගොඩැල්ල, සිරිපැරකුම් මාවත, බැලගම, දඬුතොට, කොටිකාවත්ත ප්‍රදේශයන් හි මෙම ජල තටාක ඉදිවේ.

මෙම ව්‍යාපෘතිය පිරිවැය රුපියල් මිලියන 15,000ක් වන අතර ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ මෙහෙය වීමෙන්, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව මඟින් සැලසුම් කර ව්‍යාපෘතිය සේවා ක්‍රියාත්මක කෙරෙයි.

ගංවතුර පාලන ව්‍යාපෘතිය සමඟාමීව ප්‍රධාන හා ග්‍රාමීය මාර්ග පද්ධතිය, කුඩා පාලම්, බෝක්කු, ජල බස්නා කාණු පද්ධති නවීකරණය කරන අතර ඇවිදින මංතීරු,ප්‍රවේශ මාර්ග, රුක් රෝපන ව්‍යාපෘතිය ද ක්‍රියාත්මක වේ.

ලංගම සහ පෞද්ගලික බස් දෙකක් එකට ගැටෙයි.. බිහිසුණු අනතුරක්

ලංගම සහ පෞද්ගලික බස් දෙකක් එකට ගැටෙයි.. බිහිසුණු අනතුරක්

අද (24) දින බුත්තල – මොනරාගල ප්‍රධාන මාර්ගයේ මහගොඩයාය ප්‍රදේශයේදී ලංගම බස් රථයක් සහ පෞද්ගලික බස් රථයක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක් සිදුව ඇත.

වැල්ලවාය සිට මොනරාගල දක්වා ධාවනය වූ ලංගම බස් රථය මඟීන් බැස්වීම සඳහා මහගොඩයාය ප්‍රදේශයේ නතර කිරීමේදී පසුපසින් පැමිණි මාතර සිට අම්පාර දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථය ලංගම බස් රථයේ පසුපස ගැටී අනතුර සිදුව ඇත.

මෙම අනතුරින් මේ වනවිට පුද්ගලයන් හය දෙනෙකු තුවාල ලබා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇති අතර අනතුර සම්බන්ධයෙන් බුත්තල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇත.

රිය ධාවනය ප්‍රවේශමෙන්.. ජනතාවට විශේෂ දැනුම්දීමක්

රිය ධාවනය ප්‍රවේශමෙන්.. ජනතාවට විශේෂ දැනුම්දීමක්

මේ වනවිට කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශ වලට තද වැසි ඇතිවෙමින් පවතින බැවින් වර්ෂා සහිත කාලගුණයත් සමග රිය ධාවනයේදී සැළකිලිමත් වන ලෙස පොලීසිය සඳහන් කරයි.

දිවයිනේ දිස්ත්‍රික්ක රැසකට තද වැසි පවතින බැවින් එම ප්‍රදේශවල මාර්ගයේ ගමන් කරනා සියලුම රථවාහන රියදුරන් අධික වේගයෙන් ගමන් නොකරන ලෙසද දැනුම් දෙයි.

වර්ෂාව පවතින අවස්ථාවේදී, රථවාහනවල ඉදිරිපස අලෝක සංඥා දල්වා ගමන් කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්. යූ. වුට්ලර් සඳහන් කරයි.

පවතින වර්ෂාධික කාලගුණය හමුවේ අධිවේගී මාර්ගවල රිය ධාවනයේදී මීටර් 50ක පරතරයක් තබාගෙන ගමන් කරන්නැයි අධිවේගී මාර්ග මෙහෙයුම් හා නඩත්තු අංශය දැනුම් දෙයි.

තවද අධිවේගී මාර්ගවල රිය ධාවනයේදී රථයේ විදුලි ලාම්පු දල්වමින් හා වේගය සීමා කරමින් ධාවනය කරන ලෙසද අධිවේගී මාර්ග මෙහෙයුම් හා නඩත්තු අංශය දැනුම් දෙයි.

පාර්ලිමේන්තුවට ආ නවක මන්ත්‍රී

පාර්ලිමේන්තුවට ආ නවක මන්ත්‍රී

අද (24) උදෑසන පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව කථානායකවරයා ඉදිරියේ හපිපු ලෙබ්බේ මහමුදු රිපාඩ් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දුන්නේය.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ එම්.එස්. අබ්දුල් වාහිද් පසුගියදා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා මහමුදු රිපාඩ් නව මන්ත්‍රී ධුරයට පත්වුණි.

ඩිජිටල් වන අධිකරණ නඩු

ඩිජිටල් වන අධිකරණ නඩු

සියලු දිසා අධිකරණවල විභාගවන නඩු සඳහා ගැලපෙන පරිදි විද්‍යුත් ගොනු කිරීමේ ඩිජිටල් පද්ධති හදුන්වාදීමට පියවර ගෙන ඇත.

එහි පළමු පියවර ලෙස කොළඹ සුළු හිම්කම් අධිකරණයේ විද්‍යුත් නඩු ගොනු කිරීමේ ඩිජිටල් පද්ධතිය අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේනගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) දින ආරම්භ කළ බව අධිකරණ සේවා කොමිෂන් සභාව සඳහන් කරයි.

ඒ අනුව ඉදිරි සති දෙක තුළ දිසා අධිකරණ, මහේස්ත්‍රාත් අධිකරණ සහ මහාධිකරණ සඳහාද එම ඩිජිටල්කරණය ආරම්භ කරන බව අධිකරණ සේවා කොමිෂන් සභාව සඳහන් කරයි.

පොලීසියෙන් ජනතාවට දැනුම්දීමක්

පොලීසියෙන් ජනතාවට දැනුම්දීමක්

පොලිස් නිෂ්කාශන අදුම්පත් සම්බන්ධයෙන් මහජනතාවට වඩාත් කාර්යක්ෂමව තොරතුරු ලබාදීම සහ විමසීම් කටයුතු පහසු කිරීම වෙනුවෙන් පොලිස් මූලස්ථානය විසින් නව පියවරක් ගෙන ඇත.

2026 සැප්තැම්බර් මස (23) දින සිට ක්‍රියාත්මක වන පරිදි පොලිස් නිෂ්කාශන අංශය වෙත වට්ස්ඇප් (WhatsApp) මාර්ගයෙන් පණිවිඩ යොමු කිරීම සඳහා විශේෂ නව දුරකථන අංකයක් හඳුන්වා දී ඇත.

අයදුම්කරුවන්ට අවශ්‍ය තොරතුරු වට්ස්ඇප් පණිවිඩ මඟින් යොමු කිරීමට සහ පොලිස් නිෂ්කාශන අංශය සමඟ පණිවිඩ හුවමාරු කර ගනිමින් විමසීම් සිදුකිරීමට මේ හරහා පහසුකම් සලසා ඇත.

විශේෂ නව දුරකථන අංකය – 071-8595950 (මෙම අංකය වට්ස්ඇප් පණිවිඩ සඳහා පමණක් සීමා වේ)

තෙල් මිලේ වෙනසක්

තෙල් මිලේ වෙනසක්

අද (24) ලෝක වෙළෙදපොළේ බොරතෙල් මිල ගණන් නැවතත් ඉහළ ගොස් ඇත.

ඒ අනුව WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 92.81ක් ලෙස ඉහළ ගොස් ඇත.

BRENT බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 103.07ක් ලෙස ඉහළ ගොස් ඇත.

MURBAN බොරතෙල් බැරලයක මිල ඩොලර් 113.06ක් ලෙස ඉහළ ගොස් ඇත.

සලේගේ වංගු ගැහිල්ල අවසන්.. වෙනත් ක්‍රමයකින් තොරතුරු එළිය⁣ට

සලේගේ වංගු ගැහිල්ල අවසන්.. වෙනත් ක්‍රමයකින් තොරතුරු එළිය⁣ට

සුරේෂ්⁣ සලේ තවදුරටත් දුරකථනයේ සහ ලැප්ටොප් පරිගණකයේ මුරපද ලබා දෙන්නේ නැතිනම් එය කර ගැනීමට වෙනත් අවස්ථා තිබෙන බව අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සඳහන් කරයි.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළව අධාර අනුබල හා කුමන්ත්‍රණය ඇතුළු චෝදනා මත රැඳවුම් නියෝග ලැබ ජාතික රෝහලේ රඳවා සිටින හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානි සුරේෂ්⁣ සලේ සම්බන්ධ නඩුව (22) දින කැඳවු අවස්තාවේදී අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මේ බව සඳහන් කරයි.

අධිකරණයේදි සුරේෂ්⁣ සලේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ශවින්ද්‍ර ප්‍රනාන්දු සඳහන් කළේ,

“සුරේෂ් සලේ බුද්ධි නිලධාරියෙකු බැවින් ඔහු දින දෙකෙන් දෙකට මුරපද මාරු කරනවා. එම නිසා සතියකට පෙර මුරපද මතකයේ නොරැදෙන බවත් ඔහු කීවා. එමෙන්ම මාස ගාණනාවකට පෙර තිබූ මුර පද කෙසේවත් මතක නැති බවත් සඳහන් කළා. මේ වෙද්දී මුරපද මතකයේ රැදී නොතිබීම අසාමාන්‍ය තත්ත්වයක් නොවේ.”

අනතුරුව අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සඳහන් කළේ,

“අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සලේ අත්අඩංගුවට ගත් මොහොතේ සිටම මුරපද ගැන විමසුවා. මුලින් ඔහු ලැප්ටොප් පරිගණකය දියණියගේ බව පවසා, පසුව මුරපද ලබා නොදී මගහැරීම දිගින් දිගටම කරගෙන ගියා ස්වාමීනි.

ස්වාමීනි., ඒ අවස්ථාවේදී හිටපු නිලධාරියාගේ ස්ථානෝචිත ප්‍රඥාව නිසා ඒ ලැප්ටොප් එක අපි ඒ අවස්ථාවේදී අපේ භාරයට ගත්තා. නැත්නම් ඔහු හැදුවේ එතනත් වංගුවක් ගහලා මාරු වෙන්න. ඔහු මුර පදය දෙන්නේ නැතිනම් ඒක කර ගැනීමට අපිට අවස්ථා තියෙනවා.”

අනතුරුව ඒ සම්බන්ධයෙන් වෙනත් ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළ අතර සිද්ධියට අදාළ විමර්ශන වල ප්‍රගතිය අධිකරණයට ඉදිරිපත් කිරීමට ද නියෝග කළේය.

නාමල්ට වෙච්ච දෙයක්.. මහේස්ත්‍රාත්ගෙන් නියෝග තුනක්

නාමල්ට වෙච්ච දෙයක්.. මහේස්ත්‍රාත්ගෙන් නියෝග තුනක්

ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ, පවරා ඇති නඩුවට අදාළව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ලබන (30) වනදා දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාරගත කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ (23) දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කළේය.

නියෝගය ප්‍රකාශයට පත් කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අධිකරණයට දැනුම් දුන්නේ, නඩුකරයට අදාළව තම අධිකරණයට ඇප ලබාදීමේ බලයක් තිබුණද, සැකකරුට තම අධිකරණයේ හමුවේ පවතින නඩුව සහ සමාන නඩුවක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේද විභාග වන බවයි.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන සඳහන් කළේ,

“මෙම මහේස්ත්‍රාත් අධිකරණ දෙකෙහිම සිදුවන විමර්ශන ඒකාබද්ධ කර එක් නඩුකරයක් ලෙස පවත්වාගෙන යා හැකි බව පැහැදිලි වෙනවා. කෙසේ වෙතත් නීතිපතිවරයා විසින් මේ සම්බන්ධව අධිචෝදනා ගොනු කරන්නේ ද නැද්ද යන වග තවමත් දන්වා නොමැති නිසා ඇප ලබාදීම ගැන සලකා බැලිය නොහැකියි.

නමුත් අවශ්‍ය නම් මෙම නඩුකරයද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට යොමු කළ හැකියි. මෙම අධිකරණය මගින් ඇප ලබාදීමට බලය තිබුණද සැකකරු මෙම සිද්ධිය හා සම්බන්ධව විභාග වන කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩුවට රක්ෂිත බන්ධනාගාරගතව සිටිනවා.

එවන් පසුබිමක මෙම නඩුවට සැකකරුට ඇප ලබා දීමෙන් ගැටලුකාරී තත්ත්වයක් ඇති වනවා. එම නිසා ඉදිරි දින කරුණු පිලිබඳව ලිඛිතව අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස පැමිණිලි පාර්ශ්වයට නියෝග කරනවා.”

කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන තවදුරටත් සඳහන් කළේ,

“මා පැමිණිල්ලෙන් පැහැදිලි කිරීම් තුනක් ඉල්ලා සිටිනවා. මෙම සිද්ධියට සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය සහ අල්ලස් පනත යටතේ සිදු කරන විමර්ශන ඒකාබද්ධව සිදු කරන්නේ ද.? යන කාරණය පිළිබඳව දැනුම් දෙන ලෙසත්, මෙම අධිකරණයේ පවතින නඩුකරය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත යොමු කළ යුතු ද.? යන කරුණ පිළිබඳව දැනුම් දෙන ලෙසත්,

සැකකාර නාමල් රාජපක්ෂට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කර තිබෙන නඩුකරයේ දූෂණ විරෝධී පනතේ 149 වන වගන්තිය යටතේ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සහතිකයක් ඉදිරිපත් කර තිබේ ද.? යන කාරණා සම්බන්ධයෙන් ලබන (30) වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙසත් මා පැමිණිල්ලට නියම කරනවා.”

එම කරුණු ඉදිරිපත් වීමෙන් පසුව මෙම ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය තමන් ප්‍රකාශයට පත්කරන බව මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේය.

පළාත් 8ක වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි

පළාත් 8ක වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි

2026 සැප්තැම්බර් (25) වන සිකුරාදා දින සිට 2026 සැප්තැම්බර් (28) වන සඳුදා දින දක්වා කාලය තුළ පහත සඳහන් පළාත් 8 හි ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ සේවාවන් තාවකාලිකව අත්හිටුවන බව දැනුම් දෙයි.

මධ්‍යම පළාත/ උතුරු මැද පළාත/ වයඹ පළාත/ දකුණු පළාත/ නැගෙනහිර පළාත/ උතුරු පළාත/ සබරගමුව පළාත/ ඌව පළාත

පරිශීලකයින් වෙත වඩාත් කාර්යක්ෂම සහ උසස් සේවාවක් ලබාදීමේ අරමුණින්, ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර (eRL 2.0) පද්ධතිය යාවත්කාලීන කිරීමට කටයුතු යොදා ඇත.

අදාළ පද්ධති යාවත්කාලීන කිරීම්වලින් අනතුරුව, 2026 සැප්තැම්බර් (29) වන අඟහරුවාදා දින සිට නැවත සාමාන්‍ය පරිදි සේවාවන් ලබාදීමට පද්ධතිය සක්‍රීය කරනු ලැබේ.

✕
⌃ News
📰 Free News Subscription?