Local news

කාවන්තිස්ස ඇතාගේ මරණය.. විශේෂඥ කමිටුව පළමු වරට රැස්වෙයි

කාවන්තිස්ස ඇතාගේ මරණය.. විශේෂඥ කමිටුව පළමු වරට රැස්වෙයි

‘කාවන්තිස්ස’ ඇතාගේ මරණය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට සහ ඇතුන් සුරැකීමේ ජාතික වැඩසටහන සඳහා පත් කළ විශේෂඥ කමිටුව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්තිගේ ප්‍රධානත්වයෙන් පළමු වරට ජනාධිපති කාර්යාලයේදී අද (21) පෙරවරුවේ රැස්විය.

2026 ඔක්තෝබර් මස (16) වැනි දින හෝ ඊට ආසන්න දිනකදී ගල්ගමුව, සියඹලන්ගමුව ප්‍රදේශයේදී මියගිය ‘කාවන්තිස්ස’ ඇතාගේ මරණය සම්බන්ධයෙන් සියලු කරුණු විමර්ශනය කිරීම, වන අලි සුබසාධනය සඳහා සම්මත මෙහෙයුම් පටිපාටියක් සකස් කිරීම සහ ඇතුන් සුරැකීමේ ජාතික වැඩසටහනකට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මෙම විශේෂඥ කමිටුව පත් කරනු ලැබීය.

මෙහිදී ඇතාගේ මරණයට හේතුව සහ ඇතාට සිදුවූ හානියේ ස්වභාවය මෙන්ම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මැදිහත්වීම සම්බන්ධයෙන් ද දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

අනාගතයේදී මෙවැනි තත්ත්වයන් හමුවේ කඩිනමින් ගත යුතු ක්‍රියාමාර්ග නිශ්චය කිරීම සඳහා විද්‍යාත්මක පදනමක් මත සම්මත මෙහෙයුම් පටිපාටියක් සකස් කිරීම සහ ක්ෂේත්‍රයේදීම කඩිනම් ප්‍රතිචාර දැක්වීම සඳහා පශු වෛද්‍ය ඒකකයක් (Rapid Response Veterinary Unit) ස්ථාපිත කිරීම පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.

මීට අමතරව, මේ සඳහා දේශීය සහ විදේශීය විශේෂඥයන්ගේ සහාය ලබා ගැනීමට ද මෙහිදී තීරණය විය.

විශේෂඥ කමිටුවේ සම්බන්ධීකාරක, ජනාධිපති අතිරේක ලේකම් ඩබ්ලිව්. ඩබ්ලිව්. හැරිසන්, විශේෂඥ කමිටුවේ සභාපති, හිටපු අමාත්‍යාංශ ලේකම් ඒ. එච්. සරත් විජේසිංහ, කමිටුවේ සෙසු සාමාජිකයන් වන මහාචාර්ය ටී. සමින්ද ප්‍රනාන්දු, මහාචාර්ය පී. ජී. අනිල් පුෂ්පකුමාර, මහාචාර්ය යූ. කේ. කාලිංග පද්මලාල්, ආචාර්ය ජගත් ගුණවර්ධන සහ නීතිඥ චරක ජයරත්න මෙම අවස්ථාවට එක්ව සිටියහ.

චොකා මල්ලි වහාම අත්අඩංගුවට ගන්න.. අධිකරණයෙන් නියෝග

චොකා මල්ලි වහාම අත්අඩංගුවට ගන්න.. අධිකරණයෙන් නියෝග

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (21) විවෘත වරෙන්තුවක් නිකුත් කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා මාර්ගයෙන් අදාළ වරෙන්තුව නිකුත් කිරීමට නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය, එය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයාට නියෝග කළේය.

ඒ අනුව අධිකරණය හමුවේ පෙනී නොසිටි ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළ අතර අධිකරණය හමුවේ පෙනී සිටි සෙසු විත්තිකරුවන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරගත කළේය.

නඩුව කැඳවූ අවස්ථාවේදී ප්‍රේමලාල් ජයසේකර අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ඔහු විදේශගතව සිටින බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර අධිකරණයට දැනුම් දුන්නේය.

අනතුරුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ ගිහාන් කුලතුංග යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම වරෙන්තුව නිකුත් කිරීමට නියෝග කළේය.

2015 වසරේ පැවැති ජනාධිපතිවරණ සමයේ එවක ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනගේ කහවත්ත ප්‍රදේශයේ පැවැති ප්‍රචාරක රැළියකට වෙඩි ප්‍රහාරයක් එල්ල කර පුද්ගලයෙකු ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරුවන් වූ ප්‍රේමලාල් ජයසේකර ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට රත්නපුර මහාධිකරණය මරණීය දණ්ඩනය නියම කර තිබුණේය.

එම තීන්දුවට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනා විභාග කළ අභියාචනාධිකරණය පසුව ඔවුන් තිදෙනා නිදොස් කොට නිදහස් කළ අතර එම තීන්දුවට එරෙහිව අගතියට පත් පාර්ශ්වය ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක විභාගය පසුගිය සැප්තැම්බර් (04) වැනිදා අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය, විත්තිකරුවන් තිදෙනාට අද දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කර තිබුණේය.

පරාටා ඇතුළු කෙටි ආහාර මිල ඉහළ⁣ට

පරාටා ඇතුළු කෙටි ආහාර මිල ඉහළ⁣ට

පරාටා සහ කෙටි ආහාර මිල ඉහළ දමා ඇති බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

ආනයනික තිරිඟු පිටි මිල රුපියල් 13කින් ඉහළ දැමීමත් සමඟ මෙම තීරණය ගත් බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

ඒ අනුවඑම ආහාරවල මිල සුළු වශයෙන් ඉහළ දැමීමට තීරණය කළ බව එම සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් සඳහන් කරයි.

අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමෙන් අනතුරුව ඉහළ දමන මිල ප්‍රකාශයට පත්කරන බවද සභාපති හර්ෂණ රුක්ෂාන් සඳහන් කරයි.

කාවන්තිස්ස ඇතාට ප්‍රතිකාර කිරීමේදී මොකද වුණේ.? ත්‍රිපුද්ගල කමිටුවක්

කාවන්තිස්ස ඇතාට ප්‍රතිකාර කිරීමේදී මොකද වුණේ.? ත්‍රිපුද්ගල කමිටුවක්

කාවන්තිස්ස ඇතාට ප්‍රතිකාර කිරීම ඇතුළු සමස්ත ක්‍රියාවලිය පිළිබඳ විමර්ශනයට වනජීවි අධ්‍යක්ෂ ජනාරාල්වරයා විසින් පුද්ගලයින් තුන් දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කර ඇත.

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් අධ්‍යක්ෂ අනෝමා පියදර්ශනී එහි සභාපතිත්වය දරන අතර පරිසර අමාත්‍යංශයේ විමර්ශන අධ්‍යක්ෂ ඒ.එල් බස්නායක, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය එච්.ඊ.එල්. ද සේරම් සෙසු සාමාජිකයින් වේ.

කාවන්තිස්ස ඇතාගේ මරණය සම්බන්ධයෙන් මේ වනවිට ජනාධිපතිවරයාගේ උපදෙස් මත තවත් විමර්ශන කමිටුවක් විමර්ශන ආරම්භ කර ඇති අතර එම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද විමර්ශනයක් ආරම්භ කර ඇත.

ගෝඨාගේ ලේකම් සුගීෂ්වරට දුන් නියෝගය

ගෝඨාගේ ලේකම් සුගීෂ්වරට දුන් නියෝගය

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ හිටපු පෞද්ගලික ලේකම්, සුගීෂ්වර බණ්ඩාරට එරෙහි නඩුව අද (21) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ කැඳවයි.

ඒ අනුව ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර ඔක්තෝබර් මස (28) වැනිදා දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

සුගීෂ්වර බණ්ඩාරගේ නඩුව වෙනත් අධිකරණයට මාරුකර යැවීමේ අවශ්‍යතාවයක් නොමැති බව අධිකරණ සේවා කොමිෂන් සභාව දන්වා ඇති බව අද (21) දින කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන අදාළ නියෝගය කියවා දෙමින් දන්වා සිටියේය.

බිරිඳගේ ගිණුම සහ තවත් ගිණුම් සම්බන්ධව වාර්තා ලබාදෙන ලෙසට අදාළ බැංකු ප්‍රධානීන්ට නියෝග කර ඊට අදාළ විමර්ශන කර අධිකරණයට වාර්තා කැඳවන ලෙසත් මහෙස්ත්‍රාත්වරයා එහිදි නියෝග කර ඇත.

විදුලි කප්පාදුව.. ලක්විජය වැඩ අරඹයි

විදුලි කප්පාදුව.. ලක්විජය වැඩ අරඹයි

අද (21) දින දිවයිනේ කලාප 4ක් සඳහා විදුලිය කප්පාදුව සිදුකරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කරයි.

ඒ අනුව සවස 4.30ත් රාත්‍රී 8.30ත් අතර කාලයේ එම කලාපවල විදුලි සැපයුම අත්හිටුවනු ඇති බවද මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කරයි.

මේ අතර නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් අද (21) දිනයේ ජාතික පද්ධතියට එක් කර ගැනීමට සැලසුම් කර ඇති බව ජාතික පද්ධති ක්‍රියාකරු සමාගම සඳහන් කරයි.

එමගින් ජාතික පද්ධතියට එක් කෙරෙන විදුලි ධාරිතාව මෙගාවෝට් 300කි.

හෝමූස් විවෘත කරන්නේ නෑ.. ඉරානයෙන් කොන්දේසි

හෝමූස් විවෘත කරන්නේ නෑ.. ඉරානයෙන් කොන්දේසි

ඉරානය විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම සඳහා ඉදිරිපත් කර ඇති කොන්දේසි අමෙරිකාව පිළිගන්නා තෙක් එය විවෘත නොකරන බව ඉරානය අවධාරණය කර ඇත.

ඒ අනුව අමෙරිකාව එම කොන්දේසි පිළිගන්නා තෙක් හෝමූස් විවෘත නොකරන බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි සඳහන් කරයි.

හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම සම්බන්ධයෙන් ඉරානය සහ අමෙරිකාව අතර සාකච්ඡා පාකිස්තානය සහ කටාර් රාජ්‍යයන් හරහා පැවැත්වෙමින් ඇත.

තිරිඟු පිටි මිල ඉහළ⁣ට

තිරිඟු පිටි මිල ඉහළ⁣ට

නැවත වතාවක් තිරිඟු පිටි මිල ගණන් ඉහළ දැමීමට අදාළ සමාගම් පියවර ගෙන ඇත.

ඒ අනුව තිරිඟු පිටි කිලෝග්‍රෑමයක් රුපියල් 13කින් ඉහළ දමා ඇති බව වාර්තා වේ.

මෝටර් රථ සහ ත්‍රිරෝද රථ ටයර් ගැන අලුත් තීරණයක්

මෝටර් රථ සහ ත්‍රිරෝද රථ ටයර් ගැන අලුත් තීරණයක්

දේශීය නිෂ්පාදකයින්ට සාධාරණ තරගකාරී පසුබිමක් සහතික කිරීම සහ පාරිභෝගික ආරක්ෂාව හා සුරක්ෂිතතාව තහවුරු කිරීමේ අරමුණින්, මගී මෝටර් රථ සඳහා භාවිත කරනු ලබන ටයර් සහ ත්‍රිරෝද මෝටර් රථ සඳහා වන වායු පිරවූ ටයර් යන ආනයනික ටයර් වර්ග සඳහා ආනයන පරීක්ෂණ ක්‍රමවේදය එනම්, ශ්‍රී ලංකා ප්‍රමිති නියම කිරීමට කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය විසින් නිර්දේශ කරනු ලැබ ඇත.

එම නිර්දේශය සැලකිල්ලට ගෙන, මගී මෝටර් රථ ටයර් (HS කේතය 4011.10.90) ආනයන සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති 1212 සහ ත්‍රිරෝද මෝටර් රථ සඳහා වන වායු පිරවූ ටයර් (HS කේතය 4011.90.10) ආනයනය සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති 1347 නියම කරමින්, අංක 2508/27 දරන 2026-10-01 දිනැති අති විශෙෂ ගැසට් නිවේදනය මඟින් දැනට බලාත්මක රෙගුලාසි සංශෝධනය කිරීම පිණිස ‘2026 අංක 08 දරන ආනයන හා අපනයන (පාලන) රෙගුලාසි’ පනවනු ලැබ තිබේ.

ඒ අනුව, එකී රෙගුලාසි අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ හෝටල් හිමිකරු මරුට

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ හෝටල් හිමිකරු මරුට

මොරටුව සොයිසාපුර ප්‍රදේශයේදී වෙඩි වැදීමෙන් තුවාල ලැබූ හෝටල් හිමිකරු ජීවිතක්ෂයට පත්ව ඇත.

ඊයේ (20) රාත්‍රී 8.20ට පමණ මෝටර් රථයකින් පැමිණි දෙදෙනෙකු විසින් හෝටල් හිමිකරු ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලීසිය සඳහන් කරයි.

Follow WhatsApp Channel