Local news

අවිවාහක ගුරුවරියන් දෙදෙනෙකුගේ මළ සිරුරු නිවසක් පිටුපසින් හමුවෙයි

අවිවාහක ගුරුවරියන් දෙදෙනෙකුගේ මළ සිරුරු නිවසක් පිටුපසින් හමුවෙයි

නිවසක පිටුපස මිදුලේ තිබී විශ්‍රාමික ගුරුවරියන් දෙදෙනෙකුගේ මළ සිරුරු හමුවී ඇති බව පොලීසිය සඳහන් කරයි.

හබරාදූව, ගිනිගල ප්‍රදේශයේ නිවසකින් මෙම මළ සිරුරු හමුවී ඇති අතර අවුරුදු 82ක් සහ 87ක් වයසක් වූ අවිවාහක කාන්තාවන් දෙදෙනෙක් එලෙස ඝාතනය කර ඇත.

ගලකින් පහරදී එකම පවුලේ සහෝදරියන් දෙදෙනා ඝාතනය කර ඇති බවට සැක කරන බව පොලීසිය සඳහන් කරයි.

එම කාන්තාවන් දෙදෙනාගේ ඝාතනය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ කර ඇත.

CCIBය ගැන ජනපතිගෙන් ගැසට් පත්‍රයක්

CCIBය ගැන ජනපතිගෙන් ගැසට් පත්‍රයක්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය (CCIB) රඳවා තබා ගැනීමේ ස්ථානයක් ලෙස ප්‍රකාශයට පත් කරමින් ගැසට් පත්‍රයක් නිකුත් කර ඇත.

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මෙම ගැසට් පත්‍රය නිකුත් කර ඇත.

මේ වනවිට කොළඹ 05 ස්ථානයේ පිහිටි කම්කරු මහ ලේකම් කාර්යාල ගොඩනැගිල්ලේ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය ස්ථාපිත කර ඇත.

කාන්තා වාට්ටුවේ ජම්පරය නෑ.. ශිරන්ති ගැන තීරණයක්

කාන්තා වාට්ටුවේ ජම්පරය නෑ.. ශිරන්ති ගැන තීරණයක්

රුපියල් මිලියන 10 ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මේ වනවිට වැලිකඩ, මැගසින් බන්ධනාගාරයේ රඳවා ඇත.

ඒ අනුව ශිරන්ති රාජපක්ෂව වැලිකඩ, මැගසින් බන්ධනාගාරයේ කාන්තා අංශයේ ආරක්ෂිත ස්ථානයක, විශේෂ ආරක්ෂාවක් යටතේ රඳවා තබා ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් සේනක පල්ලෙතැන්න සඳහන් කරයි.

අධිකරණයෙන් වරදකරුවන් නොවී සැකකරුවන් ලෙස රක්ෂිත බන්ධනාගාරගත කරන රැදවියන්ට සිය නිවසෙන් රැගෙන ආ ඇදුම් ඇද සිටීමට හැකි අතර ඒ අනුව ශිරන්ති රාජපක්ෂ සිය සාමාන්‍ය ඇදුම් වලින් සැරසී සිටියි.

ඥනසාර හිමිගේ සිවුර ගැලවීම ගැන ජනපතිට කියයි

ඥනසාර හිමිගේ සිවුර ගැලවීම ගැන ජනපතිට කියයි

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලා නියෝජනය කරන මහා සංඝරත්නය අතර සාකච්ඡාවක් අද (08) දිනයේ පැවැත්වීමට නියමිතය.

ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලා විසින් අධිකරණ තීන්දුවක් ප්‍රකාරව බන්ධනාගාර ගත කෙරුණු ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ ගිහි වස්ත්‍ර සහිතව අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සම්බන්ධව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් යොමු කිරීමට අදාළව මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතය.

ඒ අනුව අදාළ සාකච්ඡාව අද දින පස්වරු 1.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිත බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ගලගොඩඅත්තේ ඥානසාර හිමිට ගිහි වස්ත්‍ර අන්ඳවා අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ඊයේ (07) දින ලිඛිත දැනුම්දීමක් සිදුකරනු ලැබීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි අත්අඩංගුවට

ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි අතුරුගිරිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ (07) දින රාත්‍රියේ පනාගොඩ ප්‍රදේශයේදී සිදුවු රිය අනතුරක් සම්බන්ධව මන්ත්‍රීවරයාව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

ශිරන්ති නවලෝක රෝහලට

ශිරන්ති නවලෝක රෝහලට

රුපියල් මිලියන 10ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාවට අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ ලබන (13) වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය (07) නියම කළේය.

ඒ අනුව රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු ශිරන්ති රාජපක්ෂ අක්ෂි ප්‍රතිකාර ලබාගැනීම සඳහා අද (08) දින නවලෝක රෝහලේ මීට පෙර ප්‍රතිකාර ලබාගත් වෛද්‍යවරයා හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස අධිකරණය විසින් බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කර ඇත.

ඒ අනුව බන්ධනාගාර ආරක්ෂාව යටතේ අද දහවල් ශිරන්ති රාජපක්ෂ නවලෝක රෝහල වෙත රැගෙන යාමට නියමිතය.

ශ්‍රී ලංකා මුහුදට යන්න එපා.. ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

ශ්‍රී ලංකා මුහුදට යන්න එපා.. ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

ඉන්දීය ධීවරයින් ශ්‍රී ලංකාවේ මුහුදු සීමා උල්ලංඝණය කිරීම් නැවැත්වීමට එම ධීවරයන්ට අවශ්‍ය දැනුවත් කිරීම් සිදු කරන ලෙස ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ඉන්දීය මධ්‍යම රජයට හා තමිල්නාඩු රජයට නියෝග කර ඇත.

කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට ලබාදීම ඉන්දීය ව්‍යවස්ථාවට පටහැනි බවට නිගමනය කරන ලෙස ඉල්ලා ධීවරයින් ඇතුළු පිරිසක් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනුකර ඇත.

මෙම පෙත්සම සංජේ කුමාර් සහ සංජීව් සච්දේව් යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලුණි.

ශ්‍රී ලංකාව සිය වෙරළ කලාප සහ මත්ස්‍ය සම්පත් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් වඩාත් වගකීම් සහගත ප්‍රවේශයක් අනුගමනය කර ඇතැයි පෙනී යන බව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අවධාරණය කර ඇත.

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වීමේ අවදානම පිළිබඳව ධීවරයින් දැනුවත් කිරීම සඳහා ඉන්දීය මධ්‍යම රජය සහ තමිල්නාඩු ප්‍රාන්ත රජය වැඩි අවධානයක් යොමු කළ යුතු බවද ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අවධාරණය කර ඇත.

ධීවරයින්ට ජාත්‍යන්තර මුහුදු සීමාවේ පිහිටීම පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබාදීම සහ එය ඉක්මවා නොයන ලෙස කටයුතු කිරීම, ගැටලුවට ප්‍රායෝගික විසඳුමක් විය හැකි බවද ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ අවස්ථාවක් සිහිපත් කළ විනිසුරුවරයා, ශ්‍රී ලාංකික ජනතාව පෙන්නුම් කරන වගකීම් සහගත හැසිරීම පිළිබඳව සිය අවධානය යොමු වූ බව සඳහන් කළ අතර එවැනි පරිසර හිතකාමී ප්‍රවේශයන් ශ්‍රී ලංකා මුහුදු කලාපයේ මත්ස්‍ය සම්පත් සංරක්ෂණයට ද යම් දායකත්වයක් ලබාදී තිබිය හැකි බව සඳහන් කළේය.

ඩොලර් මිලියන ගණනක් රටින් පැන්නූ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

ඩොලර් මිලියන ගණනක් රටින් පැන්නූ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

ව්‍යාජ ආයතන හරහා භාණ්ඩ ආනයනය කිරීමකින් තොරව අමෙරිකානු ඩො.මි. 25ක් (රුපියල් බි.7.5) විදේශ ගිණුම් වෙත බැර කළ තවත් 25 හැවිරිදි සැකකරුවෙකු මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) මගින් අත්අඩංගුවට ගෙන ඇත.

වැල්ලම්පිටියේදී පදිංචිකරුවෙකු වන සැකකරු වාණිජ බැංකු හරහා ‘TT’ (Telegraphic Transfers) ක්‍රමවේදය ඔස්සේ මෙම මුදල් රටින් බැහැරකර ඇති බවට චෝදනා එල්ල වී ඇත.

පසුගිය 2024 ජනවාරි මාසයේ සිට 2025 ජූලි මාසය දක්වා වූ කාලය තුළ මෙම මුදල් විදේශගත කර ඇති අතර එම ගනුදෙනු වලට අදාළව කිසිදු භාණ්ඩයක් ආනයනය කර නොමැති බව සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් මෙම සැකකරු මෙරට තුළ සමාගම් 6ක් නමින් විදේශීය සමාගම් වෙතින් භාණ්ඩ ඇණවුම් කරන බව පෙන්වමින් මෙම මූල්‍ය වංචාව සිදුකර ඇත.

ශිරන්තිට අසාධ්‍යයි.. ජීවිතය අනතුරේ

ශිරන්තිට අසාධ්‍යයි.. ජීවිතය අනතුරේ

අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ ඔක්තෝබර් (13) වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය (07) නියෝග කළේය.

ශිරන්ති රාජපක්ෂට රෝගී තත්ත්වයක් පවතින බවත් හිටපු ගමන් කරකැවිල්ල ඇතිවී ක්ලාන්ත වී වැටෙන බැවින් ඇය රක්ෂිත බන්ධනාගාරගත කිරීම තුළ බරපතළ ජීවිත අවදානමක් ඇතිවෙන්න පුලුවන් බව, ඇය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥවරයා සඳහන් කළේය.

අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරියා අධිකරණය හමුවේ සඳහන් කළේ,

“ස්වාමීනි., 2011 වසරේ මැයි (09) වැනිදා අදාළ මුදල් බැංකු ගිණුමට බැර කරලා තියෙනවා. දෙවන සැකකාරිය විසින් පළමු සැකකරුව මේ වරද සිදු කිරීමට පොළඹවා තිබෙන බව අනාවරණය වෙනවා. මේ සැකකාරිය මුදල් ඉල්ලා සිටින්නේ රීස්වේ ආර්යා ළමා රෝහලෙන් CT ස්කෑන් යන්ත්‍රයක් අවශ්‍ය බව කළ ඉල්ලීමකට අනුව බව ලිපියේ සඳහන් කර තිබෙනවා.

නමුත් එවැනි ඉල්ලීමක් රෝහලෙන් සිදුකර නැහැ. ඒ අවස්ථාව වනවිටත් රීජ්ගේ ආර්යා ළමා රෝහලේ CT ස්කෑන් යන්ත්‍රයක් තිබිලා. ඒ අනුව දෙවන සැකකාරිය පළමු සැකකරුට මෙම වරද සිදු කිරීමට ආධාර අනුබල දෙමින් අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේ වරදක් හා 1982 අංක 12 දරන පොදු දේපළ පනතේ 8 වන වගන්තිය යටතේ ගැනෙන වැරදි සිදු කර තිබෙනවා.

ඒ අනුව සැකකාරිය දූෂණ විරෝධි පනතේ 139 / ආ වගන්තිය යටතේ සහකාර පොලිස් අධිකාරීවරයාගේ සහතිකය ද ඉදිරිපත් කරමින් අධිකරණයට ඉදිරිපත් කරනවා. ඉදිරි විමර්ශන තවමත් සිදුවන බැවින් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඉල්ලා සිටිනවා ස්වාමීනි.”

පළමු සැකකාර ප්‍රදීප් කාරියවසම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ නලින්ද ඉන්දතිස්ස සඳහන් කළේ,

“ස්වාමීනී., මගේ සේවාදායකයා ස්ලීප් ඇප්නියා රෝගයෙන් පීඩා විදිනවා. ඔහුට නින්දෙදී පැය දෙකකට හමාරක කාලයක් අතරතුරදී 17ක් වරක් හුස්ම හිර වෙනවා. ඒ නිසා ඔහු අවදි වෙනවා. ඔහුට හුස්ම හිර වෙන නිසා හුස්ම ගන්න තමා ඔහුව නින්දෙන් ඇහැරවන්නේ. ඇහැරුන් නැත්නම් ඔහු මැරෙනවා.

මරණය නතර කරන්න තමයි එලෙස ඇහැරෙන්නේ. ඒ නිසා ඔහුට නිසි නින්දක් ලබා ගන්නේ මැෂින් එකක් ආධාරයෙන්. තවද ඔහුගේ හිසේ පිටුපස ගෙඩි දෙකක් තිබෙනවා. ඒ නිසා ඔහුගේ ස්නායු ද දුර්වල වෙලා තිබෙන්නේ. ඔහුට ඒ නිසාම ජීවිත අවධානමකුත් තිබෙනවා.

ඒ වගේම පරණ අල්ලස් පනතෙන් තමා මගේ සේවාදායකයාව අධිකරණයට ඉදිරිපත් කර තිබෙන්නේ. අල්ලස් පනත ඔස්සේ මගේ සේවාදායකයාව ඇප පනතේ 14 වගන්ති ප්‍රකාරව මේ අධිකරණයට ඇප ලබාදීමට හැකියාවක් තිබෙනවා.”

අනතුරුව දෙවන සැකකාර ශිරන්ති රාජපක්ෂ වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනිල් සිල්වා අධිකරණය හමුවේ සඳහන් කළේ,

“ස්වාමීනී., මගේ සේවාදායිකාවට වයස අවුරුදු 73යි. ඇය රෝගී තත්ත්වයන් කිහිපයකින් පෙලෙනවා. ඇය 2019 සිට හෘද රෝගී තත්ත්වයන්ට ප‍්‍රතිකාර ලබන තැනැත්තියක්. මෙවන් ආකාරයට හෘද රෝගී තත්ත්වයෙන් පසුවන තැනැත්තියක් බන්ධනාගාර ගත කළහොත් ආතතියෙන් මිය යන්න පුළුවන්.

මොකද ස්වාමීනී., ඇයට හාට් ඇටෑක් ඒමේ අවදානමක් තිබෙනවා. මොකද ඇයගේ හෘදයේ ධමනි කිහිපයක්ම කොලෙස්ටරෝල් වලින් අවහිර වෙලා තියෙන්නේ. ඒ වගේම 2021 මොලේ ස්කෑන් එකක් කර තිබෙනවා. ඇයට රෝගී තත්ත්වයක් තිබෙනවා. හිටපු ගමන් කරකැවිල්ල ඇතිවී ක්ලාන්ත වි වැටෙනවා. එය සිදුවන වේලාවක් කියන්න බැහැ.

ඇයගේ පිටකොන්දේ කොදුඇට පෙළෙහිද ආබාධ තත්ත්වයක් තියෙනවා. ඇයට වෙරිකෝස් තත්ත්වයක්ද තියෙනවා. ඒ නිසා ඇයට ඇයගේ දේවල් තනියෙන් කරන්න බැහැ. මේ තත්ත්වය තුළ ඇයව රක්ෂිත බන්ධනාගාරගත කිරීම තුළ බරපතළ ජීවිත අවදානමක් ඇතිවෙන්න පුලුවන්.

ඒ වගේම විමර්ශන නිලධාරීන් කියන මුදල් ඔය කියන සුදුවැල්ල ශාඛාවේ ගිණුමේ තියෙනවා. මොකද අපිට CT ස්කෑන් යන්ත්‍රය මිලදී ගැනීමට රුපියල් මිලියන 160ක මුදලක් අවශ්‍ය වුණාට 2014 වෙද්දිත් අපිට එකතු වෙලා තිබුණේ මිලියන 42යි. 2014 දී ආණ්ඩු පෙරලුනා විතරයි ඔය කියන පැමිණිල්ල ලැබුණාම අපේ ගිණුම තහනම් වුණා. ඒ නිසයි ස්කෑන් යන්ත්‍රය රෝහලට ලබා දීමට නොහැකි වෙන්නේ.

මුදල් ගිණුමේ තියෙනවා නම් මගේ සේවාදායිකාව වරදක් කලා කියන්නේ කොහොමද. මෙතන වරදක් වෙලා නෑ. ගිණුමේ තහනම ඉවත් වුණා නම් අදටත් ජාතික ඉතිරි කිරීමේ බැංකුවට ඕනේ නම් ඔය මුදල ගන්න පුළුවන්. අවාසනාවකට රාජපක්ෂ කෙනෙක් නිසා මේ තත්ත්වය උදාවෙලා. මගේ සේවාදායකයා අදත් මේ අධිකරණයට ඇවිල්ලා ඉන්නේ අක්ෂි ශල්‍යකර්මයකට භාජනය වෙලා.

එහෙම කෙනෙක්ව බන්ධනාගාරයේ නවත්වන්න පුළුවන්ද. එහෙම වුණොත් මගේ සේවාදායකයා සදාකාලිකව අන්ධ වෙනවා. ඇයට අවුරුදු 73ක්. 2019 සිට මැය හෘද රෝගී තැනැත්තියක්. 2021 වසරේ ඇයගේ මොළයේ කරපු පරීක්ෂණයකින් අනාවරණය වුණා.

මෙම තත්ත්වයන් සුවිශේෂි තත්ත්වයක් ලෙස සලකා මගේ සේවාදායිකාවට ඇප ලබා දෙන ලෙස මම ඉල්ලා සිටිනවා ස්වාමීනී.”

මේ දිනවල වෛරස ව්‍යාප්තියක්.. සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

මේ දිනවල වෛරස ව්‍යාප්තියක්.. සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

ඉන්ෆ්ලුවෙන්සා වෛරසය මේ දිනවල මෙරට ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

පසුගිය සතියේ සිට එම තත්ත්වය වාර්තා වන බව වසංගත රෝග ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාප්‍රේම සඳහන් කළේය.

මෙම රෝගයේ රෝග ලක්ෂණ ලෙස, උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, වමනය, ඇගපත රිදීම යන රෝග ලක්ෂණ තිබෙන බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කරයි.

මෙම රෝගය ඉතා ඉක්මනින් පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙක්ට බෝ වන බවත් මෙය වෛරස් රෝගයක් බවද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කරයි.

මෙම රෝගය සමහර වෙලාවට අවුරුදු 2කට අඩු දරුවන්ට, ගර්භණී මාතාවන්ට, අවුරුදු 65ට වැඩි වැඩිහිටි පුද්ගලයින්ට භයානක වීමට ඉඩ තිබෙන බවද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කරයි

එම රෝග ලක්ෂණ තිබෙන පුද්ගලයෙක් මුඛ ආවරණයක් පැළදිය යුතු බවත් එවිට රෝගය පැතිරීම අවම කර ගැනීමට හැකි බවද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කරයි.

තවද එම රෝග ලක්ෂණ තිබෙන දරුවන් නිවෙස් තුළ තබාගැනීමටත්, පැරසිටමෝල් මාත්‍රව අනුව ලබාදීමටත්, දියර ආහාර ලබාදීමටත්, විවේකය ලබාදීමටද දෙමාපියන් කටයුතු කළ යුතු බවද වෛද්‍යවරයා සඳහන් කරයි.

✕
⌃ News
📰 Free News Subscription?