Local news

රට තුළ පවතින සම්පත් නිසි ලෙස තක්සේරු කිරීම රජය සතු වගකීමයි

රට තුළ පවතින සම්පත් නිසි ලෙස තක්සේරු කිරීම රජය සතු වගකීමයි

මෙරට ඛනිජ කර්මාන්තය සඳහා ශක්තිමත් ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීමට අදාළ සැලසුම් සකස් කිරීම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී (28) දින පැවැත්විණි.

මෙහිදී ඛනිජ කර්මාන්තයට අදාළ ඉඩම් හඳුනා ගැනීම සහ ඛනිජ සංචිත හඳුනා ගැනීමේ ප්‍රගතිය සමාලෝචනය කෙරුණු අතර රට තුළ පවතින ඛනිජ සම්පත්වල විභවතාව කඩිනමින් හඳුනා ගත යුතු බවත් ඒ සඳහා ශක්තිමත් ආයෝජකයින් කැඳවා ගැනීමට කටයුතු කළ යුතු බවත් ජනාධිපතිවරයා විසින් මෙහිදී අවධාරණය කරනු ලැබීය.

කහටගහ සහ එප්පාවල යන ප්‍රදේශවල ගවේෂණ කටයුතුවල ප්‍රගතිය සහ ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීම පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.

භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මඟින් ඛනිජ සංචිත සහ ගවේෂණ පිළිබඳව නිකුත් කරනු ලබන වාර්තා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සකස් කර, ජාත්‍යන්තර වශයෙන් පිළිගත් වාර්තා බවට පත් කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

එමෙන්ම, ඉදිරියේදී ඛනිජ සංචිත පිළිබඳ ගවේෂණ කටයුතු බාහිර විශේෂඥ පාර්ශ්ව වෙත පැවරීම පිළිබඳව ද විශේෂ අවධානය යොමු විය.

තවද, මැණික් කර්මාන්තය ආශ්‍රිත කැණීම් කටයුතු නිත්‍යනුකූලව සහ විධිමත්ව සිදු කිරීම සඳහා ශක්තිමත් ප්‍රතිපත්ති මාලාවක් සකස් කරමින් පවතින බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් මෙහිදී දැනුම් දෙනු ලැබීය.

මැණික් අපනයනයේදී සිදුවන වංචා අවම කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ගවල ප්‍රගතිය ද මෙහිදී විමසා බැලිණි.

එමෙන්ම, දේශීය මැණික් කර්මාන්තය නඟා සිටුවීම සහ විදේශීය ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීමේ අරමුණින් ඉදිකෙරෙන මැණික් හා ස්වර්ණාභරණ මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතුවල ප්‍රගතිය ද සාකච්ඡාවට ලක් විය.

සාක්ෂිකරුවන් බය කරලා.. වැදගත් සාක්ෂි එළියට.. නාමල්ට මොකද වෙන්නේ.?

සාක්ෂිකරුවන් බය කරලා.. වැදගත් සාක්ෂි එළියට.. නාමල්ට මොකද වෙන්නේ.?

රුපියල් මිලියන 70ක් අල්ලස් ලබාගත් බවට චෝදනා නැගෙන ක්‍රිෂ් ගනුදෙනුවට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කළ ඇප ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම හමුවේ (28) දින නැවත සලකා බැලුවේය.

එහිදී සැකකරුට ඇප ලබාදීමෙන් විමර්ශන ක්‍රියාවලියට බාධාවක් විය හැකි බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙනුවෙන් පෙනීසිටි සහකාර නීති අධ්‍යක්ෂ තනුජා බණ්ඩාර සඳහන් කළාය.

සහකාර නීති අධ්‍යක්ෂ තනුජා බණ්ඩාර සඳහන් කළේ,

“ඊයේ දේශන වලදී උගත් ජනාධිපති නීතිඥතුමා පැවසුවා, අද පීඩකයින් වශයෙන් ක‍්‍රියා කරන පුද්ගලයින් හෙට පීඩිතයින් බවට පත්විය හැකියි කියලා. ස්වාමීනි., මේ කවුරුන් ගැනද සඳහන් කරන්නේ.? අල්ලස් කොමිසම ගැනද.? එහි විමර්ශන නිලධාරීන් ගැනද.? එසේත් නැත්නම් සාක්ෂිකරුවන් ගැනද.? යන ප්‍රශ්නය මතු වෙනවා.

මොකද ස්වාමීනි., මේ විමර්ශනයට අදාලව ප්‍රකාශ ලබාදීමට අකමැත්තෙන් සිටි සාක්ෂිකරුවන් දෙදෙනෙකු ප්‍රකාශ ලබාදීලා තිබෙනවා. ඔවුන් කියා සිටිනවා මීට පෙර අවස්ථා දෙකකදී ප්‍රකාශ ලබාදී තිබුණත් එහිදී සත්‍ය කරුණු ප්‍රකාශ නොකළ බව.

මොකද ඔවුන්ටත් ඔවුන්ගේ පවුලේ අයගේ ජීවිත වලට තර්ජනයක් සිදු වේ යැයි බියකින් ඔවුන් සත්‍යය පැවසීමට බිය වී තිබෙනවා. නමුත් මේ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කළාට පස්සේ ඔවුන් නැවත ප්‍රකාශය ලබා දෙමින් මෙතෙක් නොකියූ සත්‍ය කරුණු පවසා තිබෙනවා.

ඔවුන් කියන්නේ මේ සැකකාර නාමල් රාජපක්ෂ සහ ජානකී සිරිවර්ධන රක්ෂිත භාරයට පත්කර සිටීම නිසා තමන් නොබියව ප්‍රකාශ ලබා දෙනවා කියලා. එම ප්‍රකාශ අන්තර්ගත ලේඛනයක් මා ඔබතුමාගේ පරිශීලනය සඳහා පමණක් අධිකරණයටත් ඉදිරිපත් කරනවා.

ස්වාමීනි., බියෙන් තැති ගැන්මෙන් සිටි සාක්ෂිකරුවන් නොබියව සාක්ෂි ලබාදීම සඳහා අධිකරණයට ඉදිරීපත් වී තිබෙන්නේ මේ සැකකරුවන් රක්ෂිතබන්ධනාගාර ගත කර සිටින නිසා. අනාගතයේදී පීඩිතයින් බවට පත්වන්නේ මේ සාක්ෂිකරුවන් ද කියන ප්‍රශ්නයත් දැන් මතු වෙනවා.”

අනතුරුව නාමල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අලි සබ්රි සඳහන් කළේ,

“ස්වාමීනි., මා ඊයේ දින කිව්වේ, අද පීඩකයින් වශයෙන් කටයුතු කරන පුද්ගලයින් හෙට පීඩිතයින් බවට පත්විය හැකි බව. එය අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂවරිය වැරදි ලෙස වටහාගෙන. ජනාධිපතිවරයා රට වටේ ගිහින් නඩු තීන්දුවල දින ප්‍රකාශයට පත් කරනවා.

පනස් දෙනෙකුගේ ලැයිස්තුවක් තිබෙන බව කියනවා. මෙදාට නියෝගය දෙනවා, රතිඤ්ඤා පත්තු කරන්න, අත්පොඩි ගහන්න කියනවා. ඒ නිසා, ඔබ තොප්පිය හරි නම් දාගන්න. අල්ලස් කොමිසම සහ අධිකරණය කියන්නේ ස්වාධීන ආයතන.”

අනතුරුව සහකාර නීති අධ්‍යක්ෂ තනුජා බණ්ඩාර සඳහන් කළේ,

“සැකකරු ඇප ඉල්ලීම, ඉල්ලා සිටිමින් ඉදිරිපත් කළ කරුණු කිසිසේත්ම සුවිශේෂී කරුණු ලෙස සලකන්න බැහැ. යම් කිසි පුද්ගලයකුගේ දෙමව්පියන්ට පවතින අසනීප ඇප ලබා ගැනීමට සුවිශේෂී කරුණු හැටියට ඉහළ අධිකරණ තුළින්වත් ලබාදුන් තීන්දු තුළින් පිළිගෙන නෑ.

මෙම සැකකරුගේ දෙමව්පියන්ට අසනීප තත්ත්වයක් පවතී නම් ඔවුන්ව රැක බලාගන්න විශාල පිරිසක් සිටින බව කවුරුත් දන්නා කරුණක්. සැකකරුට අසනීප තත්ත්වයක් නෑ මෙතන. ඔහුගේ රෝගයකට ප්‍රතිකාර ලබාගත නොහැකි තත්ත්වයක් මතුව නෑ.

එම නිසා ඇප ඉල්ලා සිටිමින් සැකකරු ඉදිරිපත් කරන කරුණු සුවිශේෂී කරුණු වශයෙන් සැලකිය නොහැකියි. එම නිසා ඇප ඉල්ලීමට විරුද්ධ වනවා ස්වාමිනී.”

අනතුරුව නාමල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අලි සබ්රි සඳහන් කළේ,

“අපි හැමෝම දූෂණයට විරුද්ධයි. එනිසා තමයි වරින් වර අල්ලස් පනත විවිධකාර වෙනස් කිරීමට ලක් කරමින් අවසානයේදී කොමිසමක් දක්වා එය වර්ධනය වුණේ. අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13(5) ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා යම් අධිකරණයකින් පුද්ගලයෙකු වරදකරු කරන තුරු ඔහු නිර්දෝෂී පුද්ගලයෙකු වශයෙන් සැලකිය යුතු බවට.

ඒ නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය මේ සැකකරුටත් හිමි විය යුතුයි. චෝදනාවක් එල්ල වූ පමණින් මේ සැකකරුට එය අහෝසි වන්නේ නෑ. ඒ වගේම ඔහුට වෙනසක් විශේෂයක් සිදු නොකළ යුතුයි. දේශපාලන මතයක් නිසා ඔහුට විශේෂත්වයක් හිමි නොවිය යුතුයි. මේ රටේ කිසිවෙක් නීතියට උඩිනුත් නැහැ යටිනුත් නැහැ. නීතිය ඉදිරියේ සැවොම සමානයි. විධායකයට අවශ්‍ය පරිදි අධිකරණය හසුරුවන්න බැහැ.

අධිකරණ බලය යටත් කරන්න දෙන්න එපා. දැන් මේ සැකකරු දවස් 50ක් පමණ රක්ෂිත බන්ධනාගාර ගතව සිටිනවා. මත්ද්‍රව්‍ය ජාවාරම් නඩු වලට මරණ දඬුවම දුන්නත්, නඩු විභාගය සිදුවන කාලය තුළ ඔවුන්ට ඇප ලබා දෙනවා. මේ අල්ලස් නඩුවක්. උපරිම දඬුවම අවුරුදු 10යි. එතකොට ඇයි මේ නඩුවට ඇප ලබා දෙන්න බැරී.

මෙම සැකකරුගේ මව සහ පියා දැඩි ලෙස රෝගාතුරව සිටින අතර ඔහුගේ මව ඊයේ දින හදවත් ශල්‍යකර්මයකට භාජනය වී තිබෙනවා. පියා ඉතාම අසාධ්‍ය තත්ත්වයක පසුවෙනවා. මේ වගේ තත්ත්වයකදී ඔවුන්ට අවශ්‍ය කටයුතු කරදීම දරුවෙකුගේ වගකීමක්. මං දන්නේ නැහැ ඇයි ඒක සුවිශේෂී තත්ත්වයක් නොවන්නේ ඇයි කියලා. මේ කරුණු සුවිශේෂී කරුණු සේ සලකා, සැකකරුට ඇප නියම කරන ලෙස ඉල්ලා සිටිනවා.”

අනතුරුව කරුණු සලකා බැලු ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඇප ඉල්ලීම පිළිබඳව නියෝගය නොවැම්බර් මස (03) වනදා ප්‍රකාශ කිරීමට දින නියම කළේය.

පොලිස් අත්අඩංගුවේ සිටි තවත් සැකකරුවෙක් මරුට

පොලිස් අත්අඩංගුවේ සිටි තවත් සැකකරුවෙක් මරුට

කොබෙයිගනේ පොලිස් භාරයේ සිටි සැකකරුවෙක් රෝහල් ගතකිරීමෙන් පසුව මියගොස් ඇත.

කොබෙයිගනේ, බැද්දේගම ප්‍රදේශයේදී සොරකම් කිහිපයකට සම්බන්ධ බව කියන පුද්ගලයෙකු ගම්වාසීන් විසින් අල්ලා කොබෙයිගනේ පොලිසියට භාරදී ඇත.

පසුගිය (25) වනදා දහවල් මෙම සැකකරු කොබෙයිගනේ පොලිසියට භාරදී ඇති අතර අනතුරුව දින දෙකක් පුරා එම සැකකරු පොලිස් අත්අඩංගුවේ සිට ඇත.

අනතුරුව ඇතිවු අසනීප තත්ත්වයක් හේතුවෙන් (27) රාත්‍රියේදී එම සැකකරු නිකවැරටිය රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු මියගොස් ඇති බව වාර්තා වේ.

එම සැකකරුගේ මරණයෙන් පසුව ඔහුව අල්ලා පොලිසියට භාරදුන් ප්‍රදේශවාසීන් පස් දෙනෙකු කොබෙයිගනේ පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

කෙසේ වෙතත් අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගේ ඥාතීන් චෝදනා කරන්නේ, එම සැකකරු අල්ලාගෙන ගසක බැඳ පැයක් ගතවීමටත් මත්තෙන් පොලිසිය දැනුවත් කර නිරපද්‍රිතව පොලිසියට භාර දුන් බවයි.

රජයෙන් ලබාදිය යුතු සියලු අනුග්‍රහයන් විදෙස්ගත ශ්‍රමිකයන්ට

රජයෙන් ලබාදිය යුතු සියලු අනුග්‍රහයන් විදෙස්ගත ශ්‍රමිකයන්ට

රටට අවශ්‍ය විදේශ විනිමය උපයා දෙමින් මෙරට ආර්ථිකයට සුවිශේෂ දායකත්වයක් ලබාදෙන විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් රජයෙන් ලබාදිය යුතු සියලු අනුග්‍රහයන් කිසිදු පැකිළීමකින් තොරව සැපයීමට කටයුතු කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් සමග ජනාධිපති කාර්යාලයේදි (28) දින පස්වරුවේ පැවති සාකච්ඡාවට එක් වෙමිනි.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් විදෙස්ගත ශ්‍රමිකයින් වෙනුවෙන් මේ වන විට ක්‍රියාත්මක කර ඇති සුබසාධන වැඩසටහන්වල ක්‍රියාකාරීත්වය සහ ප්‍රගතිය පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.

එම ශ්‍රමිකයන් වෙනුවෙන් ක්‍රියාත්මක නිවාස යෝජනා ක්‍රමය ඇතුළු ණය පහසුකම් ලබාදීමේදී මතුව ඇති ගැටලු මෙන්ම තීරුබදු රහිත (Duty Free) පහසුකම් සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු විය.

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් පිළිබඳ නිවැරදි සහ යාවත්කාලීන දත්ත පද්ධතියක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා, එමඟින් ඔවුන් වෙනුවෙන් ක්‍රියාත්මක සුබසාධන වැඩසටහන් වඩාත් විධිමත්ව සහ කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීමට හැකි වන බවද පෙන්වා දුන්නේය.

අහුවෙන්න එපා.. මහ බැංකුවෙන් නිවේදනයක්

අහුවෙන්න එපා.. මහ බැංකුවෙන් නිවේදනයක්

තහනම් පිරමීඩ ආයතන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව Max App Media Ltd සහ ඊට අනුබද්ධිත Max LK Pvt Ltd හා Max Media Lanka Pvt Ltd නැමති ආයතන විසින් පිරමීඩ ආකාරයේ තහනම් යෝජනා ක්‍රමයක නියැලීම, පවත්වා ගෙන යෑම සහ ප්‍රවර්ධනය කිරීම සිදු කර ඇති බවට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් හඳුනාගෙන නිර්ණය කර ඇත

බැංකු පනත ප්‍රකාරව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විමර්ශනයක් පැවැත්වීමෙන් පසු එම ආයතනය හා අනුබද්ධිත ආයතන සම්බන්ධයෙන් එසේ නිර්ණය කර ඇත.

මෙම නව ආයතනයත් සමඟ මේ වනවිට තහනම් පීරමීඩ ක්‍රමයක නියැලීම, පවත්වා ගැනීම හා ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් නිර්ණය කර ඇති ආයතන සංඛ්‍යාව 27ක් වේ.

තහනම් පිරමීඩ යෝජනා ක්‍රම පවත්වාගෙන යන බවට හඳුනාගත් සමාගම්, වෙබ් අඩවි සහ යෙදවුම්වල සම්පූර්ණ ලැයිස්තුවක් ශ්‍රී ලංකා මහ බැංකුවේ ආයතනික වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකිය.

ඍජුවම හෝ වක්‍ර ආකාරයෙන් පිරමීඩ ආකාරයේ තහනම් යෝජනා ක්‍රම ආරම්භ කරන, ප්‍රදානය කරන, ප්‍රවර්ධනය කරන, ප්‍රචාරය කරන, පවත්වාගෙන යන, මුදල් සපයන, කළමනා කරණය කරන හෝ මෙහෙයවන ඕනෑම පුද්ගලයකු 1988 අංක 30 දරන (සංශෝධිත) බැංකු පනතේ 83 (ඇ) වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදකට වරදකරුවකු වේ.

තරුණයාගේ හදිසි මරණය.. ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට

තරුණයාගේ හදිසි මරණය.. ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට

හෝමාගම පොලිසිය භාරයේ සිටියදී තරුණයෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට වැඩතහනමට ලක්ව සිටින හෝමාගම පොලිසියේ අපරාධ අංශ ස්ථානාධිපතිවරයා බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මගින් අද (28) අත්අඩංගුවට ගෙන ඇත.

මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම තරුණයා හෝමාගම පොලිස් ස්ථානයේ සිරමැදිරියක රඳවා සිටියදී මියයෑමේ සිද්ධියට අදාළව අපරාධ අංශ ස්ථානාධිපතිවරයා වැඩතහනමට ලක්ව සිටියේය.

අදාළ සිද්ධියට අපරාධ අංශ ස්ථානාධිපතිවරයා සහ එම පොලිස් ස්ථානයේ උපපොලිස් පරීක්ෂකවරයෙකු හා පොලිස් සැරයන්වරයෙකුගේ සේවයද මේ වනවිට අත්හිටුවා ඇත.

කජ්ජාගේ ඝාතනය.. අචිනි දින හතකට ඇතුළට

කජ්ජාගේ ඝාතනය.. අචිනි දින හතකට ඇතුළට

පසුගිය වසරේදී අරුණ විදානගමගේ නොහොත් “කජ්ජා” සහ ඔහුගේ දරු දෙදෙනා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අනූෂා ලක්මාලි නොහොත් “අචිනි” නම් කාන්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත්තේය.

ඒ, ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුව මෙරටට පැමිණි අනූෂා ලක්මාලි නොහොත් “අචිනි” කටුනායක ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත්තේය.

ඒ අනුව “කජ්ජා” සහ ඔහුගේ දරු දෙදෙනා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් අනූෂා ලක්මාලි නොහොත් “අචිනි” නම් කාන්තාව එළැඹෙන නොවැම්බර් (04) වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජාත්‍යන්තර පොලිසිය හරහා අදාළ කාන්තාවට රතු වරෙන්තුවක් නිකුත් කරනු ලැබු අතර එහි ප්‍රතිඵලයක් ලෙස අදාළ කාන්තාව ඉකුත් අගෝස්තු (30) වැනිදා ඩුබායි හී සාජා නුවර සිට මෙරටට පැමිණීමට යෑමේදී එරට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මහා පරිමාණ රත්‍රන් ජාවාරමක් හෙළිවෙයි

මහා පරිමාණ රත්‍රන් ජාවාරමක් හෙළිවෙයි

මහා පරිමාණයෙන් ඩොලර් පිටරට යැවූ බවට චෝදනා එල්ල වූ ජෙෆ්රි මොහොමඩ් නැමැත්තාගේ මුදල් යොදවා මෙරටට නීති විරෝධී ලෙස රත්‍රන් ආනයනය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් රේගුව පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.

පිටකොටුවේ රන් භාණ්ඩ වෙළෙඳසැල් හිමිකරුවෙකු සම්බන්ධයෙන් එම විමර්ශනය ක්‍රියාත්මක අතර ඔහු විසින් රත්‍රන් 80Kg කට අධික ප්‍රමාණයක් මෙරටට රැගෙන විත් ඇති බව මූළික විමර්ශනයේදී හෙළිව ඇත.

මේ වනවිට එම රත්‍රන් සොයා කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලීසිය සඳහන් කරයි.

භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පිටරට පටවන ව්‍යාජ සමාගම් 36ක් පිහිටවූ මහා පරිමාණ ජාවාරම්කරුවෙකු යැයි කියන ජෙෆ්රි මොහොමඩ් නැමැත්තා මේ වනවිට රක්ෂිත බන්ධනාගාරයේ සිටියි.

සංචාරක ක්ෂේත්‍රයේ නව පිම්මක්.. අලුත් වෙන ශ්‍රී ලංකාව

සංචාරක ක්ෂේත්‍රයේ නව පිම්මක්.. අලුත් වෙන ශ්‍රී ලංකාව

වසර 2030 වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 10ක සංචාරක ආදායමක් උපයා ගැනීම සහ සංචාරකයන් මිලියන 05ක් මෙරටට ආකර්ෂණය කර ගැනීමේ ඉලක්ක සපුරා ගැනීම පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක සහ සංචාරක කර්මාන්තය ආශ්‍රිත සංගම්වල නියෝජිතයන් අතර සාකච්ඡාවක් අද (28) දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

මෙහිදී සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

ප්‍රධාන වශයෙන් ත්‍රිකුණාමලය, මඩකලපුව, සීගිරිය සහ යාපනය යන ප්‍රදේශ ආශ්‍රිතව අභ්‍යන්තර ගුවන් ගමන් පහසුකම් වැඩිදියුණු කිරීම පිළිබඳව මෙහිදී අවධානය යොමු විය.

එමෙන්ම, නව ජාත්‍යන්තර ගුවන් සේවා සමාගම් 10ක් මේ වසරේදී ශ්‍රී ලංකාව සමඟ ගුවන් ගමන් ආරම්භ කර ඇති බව මෙහිදී සඳහන් කෙරුණු අතර, එම සංඛ්‍යාව 50 දක්වා වර්ධනය කර ගැනීම සඳහා ගත යුතු පියවර පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.

සංචාරක ආකාර්ෂණය දිනා ගත් වන උද්‍යාන සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා යොදා ගැනීම මෙන්ම වන සම්පත් ආරක්ෂා කිරීමට අදාළ නීති හා රෙගුලාසි පැනවීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.

සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා මේ වනවිට ක්‍රියාත්මක කර ඇති ගෝලීය ප්‍රවර්ධන වැඩසටහන්වල ප්‍රගතිය ද මෙහිදී විමසා බැලිණි.

මෙරට සංචාරක කර්මාන්තය විධිමත් කිරීමේ අරමුණින් සියලුම සංචාරක හෝටල් සහ නවාතැන් පහසුකම් සපයන ස්ථාන සංචාරක මණ්ඩලයේ ලියාපදිංචි කරමින් අදාළ නීති පද්ධතියට අනුගත කිරීම පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.

එමෙන්ම, නියමිත නිත්‍යානුකූල ක්‍රියාපටිපාටියට පටහැනිව විදේශිකයන් විසින් ශ්‍රී ලංකාව තුළ පවත්වාගෙන යනු ලබන ව්‍යාපාර නියාමනය කිරීම සඳහා අවශ්‍ය නීති හා රෙගුලාසි පැනවීම පිළිබඳව ද විශේෂ අවධානය යොමු විය.

රටින් පිටවෙන්න උත්සාහ කරන ගෝඨාභයට වෙච්ච දේ

රටින් පිටවෙන්න උත්සාහ කරන ගෝඨාභයට වෙච්ච දේ

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඉදිරිපත් කර තිබූ මෝසම අද (28) දින කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවයි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කරන ලද මෝසමක් සලකා බැලීම තවදුරටත් කල්ගොස් ඇත.

ඒ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින පොලීසිය හා නීතිපතිවරයා නියෝජනය කරමින් කිසිවකු අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙනි.

ඒ අනුව එම මෝසම කැඳවීම නොවැම්බර් මස (04) දින දක්වා කල්ගොස් ඇති අතර එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොතීසි නිකුත් කර ඇත.

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන විමර්ශනයට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට විදෙස් ගමන් තහනමක් පනවා ඇත.

Follow WhatsApp Channel