Local news

පාසල් දරුවන්ගේ ආරක්ෂාවට පළමු තැන

පාසල් දරුවන්ගේ ආරක්ෂාවට පළමු තැන

ඉදිකිරීම් ආරම්භ කර අතරමඟ අතහැර දමා තිබූ, රුපියල් මිලියන 62ක වටිනාකමකින් යුත් කටුගස්තොට භූගත පදික මාරුව (Underpass) අද (29) දින ජනතා භාවිතය සඳහා විවෘත කෙරිණි.

ශ්‍රී චන්දානන්ද බෞද්ධ විද්‍යාලයේ සහ සාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලබන පාසල් දරුවන් 5,000කට පමණ ආරක්ෂිතව මාර්ගය හරහා ගමන් කිරීමේ පහසුකම් සැලසේ.

එමෙන්ම ප්‍රදේශයේ ජනතාවට ද සිය දෛනික ගමනාගමන කටයුතු වඩාත් ආරක්ෂිතව සිදුකර ගැනීමට මෙමඟින් අවස්ථාව උදාවේ.

එමෙන්ම මෙම ස්ථානය ආශ්‍රිතව පාසල් ආරම්භ වන සහ අවසන් වන වේලාවන්හිදී ඇතිවන වාහන තදබදයට තරමක හෝ සහනයක් ලැබෙනු ඇත.

සංගක්කාරට පළමු වතාවට කරදරයක්.. මුළු පවුලටම තර්ජන

සංගක්කාරට පළමු වතාවට කරදරයක්.. මුළු පවුලටම තර්ජන

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාරට සහ ඔහුගේ පවුලේ අයට අයර්ලන්තයේ ඩබ්ලින් ගුවන්තොටුපොළේදී අමිහිරි අත්දැකීමකට මුහුණදීමට සිදුව ඇත.

එම ගුවන්තොටුපොළේදී Ryanair ගුවන් සේවයේ කාර්ය මණ්ඩලය තමන්ට සහ තම පවුලේ සාමාජිකයන්ට වෙනස්කම් කරමින්, තර්ජනාත්මක හා නොමනා අයුරින් සැලකූ බවට ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර චෝදනා කරයි.

මේ සම්බන්ධයෙන් සිය ‘X’ ගිණුම ඔස්සේ සටහනක් තබමින් කුමාර් සංගක්කාර මේ පිළිබඳව විවෘතව ප්‍රශ්න කර ඇති අතර තමන්ට සහ පවුලේ අයට මුහුණදීමට සිදුවූ මෙම අත්දැකීම කිසිසේත්ම පිළිගත නොහැකි බවත් එම සිදුවීම අතිශය කම්පන සහගත අත්දැකීමක් වූ බවද ඔහු ප්‍රකාශ කරයි.

“ඩබ්ලින්හිදී Ryanair ගුවන් සේවයේ ගේට්ටු කාර්ය මණ්ඩලයෙන් මෙවැනි වෙනස්කම්වලට ලක්වූ කිසිවෙකු හෝ සිටිනවාද.? මගේ පවුලේ සාමාජිකයන් සමඟ මට සුළු මොහොතකට පෙර එවැනි අත්දැකීමකට මුහුණ දීමට සිදු වූ අතර එය අතිශයින්ම කම්පන සහගතයි. ඔවුන් අප ඇමතූ ස්වරූපය, ගුවන් ගමන් ක්‍රියා පටිපාටිය හැසිරවූ අක්‍රමවත් ආකාරය සහ ඔවුන්ගේ තර්ජනාත්මක හැසිරීම කිසිදු ගුවන් මගියෙකුට පිළිගත නොහැකි මට්ටමේ එකක්. මෙය ඩබ්ලින් නුවරදී මා ලැබූ පළමු අයහපත් අත්දැකීමයි.”

ක්‍රිකට් පිටිය තුළ සහ බැහැරවද සංයමයෙන් හා විනයගරුක භාවයෙන් කටයුතු කරන ක්‍රීඩකයෙකු ලෙස ගෝලීය ගෞරවයට පාත්‍රව සිටින කුමාර් සංගක්කාර එල්ල කළ මෙම චෝදනාවත් සමඟ ජාත්‍යන්තර මාධ්‍ය හා සමාජ මාධ්‍ය ජාලා තුළ දැඩි කතාබහක් නිර්මාණය වී ඇත.

නාමල්ට එරෙහි මුදල් විශුද්ධිකරණ නඩුව.. යළි කැඳවයි

නාමල්ට එරෙහි මුදල් විශුද්ධිකරණ නඩුව.. යළි කැඳවයි

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු සැකකරුවන් හතර දෙනෙකුට එරෙහිව මූදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ පවරා ඇති නඩුව අද (29) දින කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම ඉදිරියේ කැඳවනු ලැබීය.

එම අවස්ථාවේදී මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ නැහැ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කරමින් අයථා ලෙස උපයා ගත් රුපියල් මිලියන 15ක මුදලක් පෞද්ගලික සමාගමක ආයෝජනය කිරීම තුළින් මූදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළ බවට මෙම නඩුව පවරා ඇත.

ඒ, නාමල් රාජපක්ෂ සහ එම සමාගමේ අධ්‍යක්ෂවරුන් වශයෙන් කටයුතු කළ සුජානි බෝගොල්ලාගම, නිත්‍ය සේනානි සමරනායක, සුදර්ශන ගනේගොඩ බණ්ඩාර යන සැකකරුවන්ට එරෙහිවයි.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය අධිකරණයට දැනුම් දුන්නේ මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් කර උදෘත නීතිපතිවරයා වෙත යොමු කර තිබෙන බවයි.

එහෙත්, නාමල් රාජපක්ෂ ඇතුළු ඇතුළු සැකකරුවන් පිරිසක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වලට අදාළව මෙතෙක් නීතිපතිවරයාගෙන් උපදෙස් ලැබී නොමැති බව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය අද (29) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ අනුව මෙම නඩුකරය පෙබරවාරි මස (11) වනදා යළි කැඳවන ලෙස නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා එදින නීතිපති උපදෙස් පිළිබඳ කටයුතු වල ප්‍රගතිය දැනුම් දෙන ලෙසත් නියම කළේය.

කථානායක නිල නිවසේ බඩු පොත අතුරුදන්

කථානායක නිල නිවසේ බඩු පොත අතුරුදන්

කථානායක නිල නිවසේ බඩු වට්ටෝරු පොත අතුරුදන් වී මාසයකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු හෝඩුවාවක් ලැබී නැති බව වාර්තා වේ.

පසුගිය සැප්තැම්බර් මාසයේදී බංගලා කළමනාකාරවරයා එම බඩු වට්ටෝරු පොත එහි කාර්ය මණ්ඩල සේවකයෙකු භාරයට පත් කර තිබියදී එය අතුරුදන්ව ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් එම සිද්ධිය සම්බන්ධයෙන් බංගලා කළමනාකාර පසන් අතුකෝරළ ඇතුළු එහි සේවකයන් හය දෙනෙකුගෙන් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ප්‍රශ්න කර ඇත.

අප්‍රිකානු සූකර උණ යළිත් ලංකාවේ.. සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

අප්‍රිකානු සූකර උණ යළිත් ලංකාවේ.. සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

දිවයිනේ ප්‍රදේශ කිහිපයක ගොවිපොළවලින් අප්‍රිකානු සූකර උණ රෝගය යළි වාර්තා වන බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන වසංගත රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් කුමාරවඩු සඳහන් කරයි.

ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, අනුරාධපුර, මහනුවර සහ පුත්තලම යන දිස්ත්‍රික්කවල ගොවිපොළ 48ක සිදුකළ පරීක්ෂාවකින් එම උණ වෛරසය වැළදුණු සූකරයින් වාර්තා වු බවද විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් කුමාරවඩු සඳහන් කරයි.

විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් කුමාරවඩු සඳහන් කළේ,

“ඇත්තටම අපි මේ රෝග තත්ත්වය පහුගිය අවුරුද්දේ සෑහෙන දුරට පාලනය කළා. නමුත් මේ අවුරුද්දේ සමහරක් ස්ථානවල මේ රෝගය නැවතත් වාර්තා වෙනවා කියලා අපිට වාර්තා ලැබිලා තියෙනවා. ඒ නිසා තමයි අපි මේස් පිළිබඳව මහජනතාව දැනුවත් කරන්නේ. අපි ගොවිපොළ 48ක් පරීක්ෂා කළා.

ඒ 48න් අපිජන්න සහ තර සතුන් නැති කරන ගොවිපොළ ගත්තොත් ඒ සියල්ලම අනිවාර්යයෙන්ම මේ රෝග තත්ත්වයන් තියෙනවා කියලා අපිට වාර්තා වුණා. එතකොට අපි මේ ගොවිපොළ 48න්ම අපි සතුන් 1200කට ආසන්න ප්‍රමාණයක් පරීක්ෂා කරලා බැලුවම ඒකෙන් බොහෝ සතුන් ප්‍රමාණයක් මේ රෝග කාරකය තියෙනවා කියලා තමයි තහවුරු කර ගත්තේ.

හැම ගොවිපොළේම සත්තු එකෙක් දෙන්නෙක් ඉන්නවා. දිස්ත්‍රික්ක ගත්තොත් එහෙම කොළඹ දිස්ත්‍රික්කය, ගම්පහ, කළුතර, අනුරාධපුරය, මහනුවර සහ පුත්තලම. ඒ කියන දිස්ත්‍රික්කවල තමයි මේ ගොවිපොළ පරීක්ෂා කළේ. එතකොට ඉතින් සතුන් 200කට ආසන්න ප්‍රමාණයක් ඒ සත්තු පොසිටිව් කියලා අපිට වාර්තා වෙලා තියෙනවා.

මයිනස් ඒ වැළඳුණොත් නැත්නම් මේක ඇඟේ තියෙනවා පෙන්නන්නයි. මෙය මනුෂ්‍ය පරිභෝජනයට සුදුසු සුදුසු නැද්ද.? සුදුසුයි. ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ මේක සූනෝටික් ඩිසීස් එකක් නෙමෙයි. මිනිසුන්ට බොවීම් නැහැ.”

ගම්මන්පිලට එරෙහිව CIDයට පැමිණිල්ලක්

ගම්මන්පිලට එරෙහිව CIDයට පැමිණිල්ලක්

අනුරාධපුර පූජා නගර සංවර්ධන සැලැස්ම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සිදුකළ ප්‍රකාශ මඟින් ආගමික නොසන්සුන්තාවක් ඇති කිරීමට උත්සාහ කර ඇති බවට චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

හිටපු ජාතික පාපැදි පුහුණුකරුවකු සහ විනිසුරුවකු වන, ජපුර හඬ සංවිධානයේ සාමාජිකයකු හා ජාතික විද්වත් සංවිධානයේ අනුරාධපුර දිස්ත්‍රික් ක්‍රියාකරුවකු වන උපාලි රත්නායක සහ රජරට විශ්වවිද්‍යාල හඬ සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයකු වන විශ්‍රාමික ගණකාධිකාරී දීපාල් තිලකරත්න විසින් මෙම පැමිණිල්ල ගොනුකර ඇත.

2026 ඔක්තෝබර් (26) වැනිදා පැවැත්වූ මාධ්‍ය හමුවකදී උදය ගම්මන්පිල අනුරාධපුර පූජාභූමි සංරක්ෂණ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අසත්‍ය හා පදනම් විරහිත ප්‍රකාශ සිදුකර ඇති බව එම පැමිණිලිකරුවන් පෙන්වා දෙයි.

භික්ෂූන් වහන්සේ නමකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවක් සම්බන්ධයෙන් මහජන විරෝධතා පවතින පසුබිමක, එවැනි ප්‍රකාශ මඟින් බෞද්ධ ජනතාව කුපිත කර සමාජය තුළ ආගමික නොසන්සුන්තාවක් සහ සාමය කඩවීමක් ඇති කිරීමට උත්සාහ කර ඇති බවට ඔවුහු චෝදනා කරයි.

එනිසා අදාළ ප්‍රකාශ සම්බන්ධයෙන් සාධාරණ හා අපක්ෂපාතී විමර්ශනයක් පවත්වා නීතිය ක්‍රියාත්මක කරන ලෙස පැමිණිලිකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇත.

හෝමාගම මූලස්ථාන පොලිස් පරීක්ෂකගේ වැඩ තහනම්

හෝමාගම මූලස්ථාන පොලිස් පරීක්ෂකගේ වැඩ තහනම්

හෝමාගම පොලිස් ස්ථානය අත්අඩංගුවට ගත් සැකකරුවෙක් හදිසියේම මියයාමේ සිද්ධිය සම්බන්ධව නිසි අධීක්ෂණයක් සිදු නොකිරීම සහ රාජකාරී පැහැර හැරීම මත, හෝමාගම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාව වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනමකට ලක් කර ඇති බව පොලිස්පතිවරයා නිවේදනය කරයි.

ඒ අනුව, මෙම වගකීම් විරහිත සහ දුර්වල අධීක්ෂණ ක්‍රියාකලාපය හේතුවෙන් හෝමාගම පොලිස් ස්ථානයේ මූලස්ථාන පොලිස් පරීක්ෂක එම්.ආර්.එස්. ප්‍රජාන් සේනානායකගේ රාජකාරී වැඩ තහනම ඊයේ (28) දින සිට ක්‍රියාත්මක වන පරිදි සිදු කිරීමට පියවර ගෙන ඇත.

සැකකරු සිරමැදිරියේ රඳවා තැබීමේදී ඔහු පිළිබඳව සොයා බලා විමර්ශන නිලධාරීන්ට ඉදිරි කටයුතු සඳහා නිසි උපදෙස් ලබාදී නොමැති වීම, සැකකරුගේ තත්ත්වය නිසි ලෙස පරීක්ෂා නොකිරීම සහ අත්අඩංගුවට ගැනීමට අදාළ සටහන් නිවැරදිව යොදා ඇද්දැයි අධ්‍යයනය කරමින් නිසි අධීක්ෂණයක් නොකිරීම යන චෝදනා මත මෙම පියවර ගෙන ඇත.

එම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන වලදී මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා අතින් බරපතළ රාජකාරී පැහැර හැරීම් සිදුව ඇති බව අනාවරණය වී ඇත.

පසුගිය (25) වැනිදා හෝමාගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 490ක් සන්තකයේ තබා ගැනීමේ චෝදනා මත පී.ඩී. ඉෂාර හර්ෂ කුමාර නමැති සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සිද්ධියට අදාළව පසුගිය (26) වනදා සිට ක්‍රියාත්මක වනපරිදි හෝමාගම පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින් තිදෙනෙකුගේ සේවය අත්හිටුවීමට පියවර ගත්තේය.

රුපියල් කෝටි 45කට අධික මත්ද්‍රව්‍ය තොගයක් කටුනායකින් මතුවෙයි

රුපියල් කෝටි 45කට අධික මත්ද්‍රව්‍ය තොගයක් කටුනායකින් මතුවෙයි

රුපියල් මිලියන 454ක ඇස්තමේන්තුගත වෙළෙඳපොළ වටිනාකමකින් යුත් කොකේන් සහ එක්ස්ටසි මත්ද්‍රව්‍ය තොගයක් සමග ඉන්දීය ජාතිකයෙකු රේගු භාරයට ගෙන ඇත.

46 හැවිරිදි මෙම ඉන්දීය ජාතිකයා වෘත්තියෙන් ඉංජිනේරුවෙකු වන අතර ඔහු පැරිස් සිට දෝහා හරහා මෙරටට පැමිණ ඇත.

ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශ නිලධාරීන් විසින් (28) දින කටුනායක ගුවන්තොටුපොළේ සිදුකළ පරීක්ෂාවකදී සැකකරු සමග මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත.

එම මත්ද්‍රව්‍ය තොගයට කොකේන් ග්‍රෑම් 5,121ක් ඇතුළත් අතර එහි ඇස්තමේන්තුගත වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 256කි.

ග්‍රෑම් 13,173ක බරින් යුත් එක්ස්ටසි මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන ඇති අතර එය පෙති 23,000කට ආසන්න බවත් එම තොගයේ ඇස්තමේන්තුගත වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 198කි.

අද තෙල් මිල ඉහළ⁣ට

අද තෙල් මිල ඉහළ⁣ට

අද (29) දින ලෝක වෙළෙදපොළේ බොරතෙල් මිල ගණන් නැවතත් ඉහළ ගොස් ඇත.

ඒ අනුව බො⁣රතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 100 ඉක්මවා ඇත.

WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 102.06 ලෙස සටහන්ව ඇත.

BRENT බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 115.01 ලෙස සටහන්ව ඇත.

MURBAN බොරතෙල් බැරලයක මිල ඩොලර් 115.02 ලෙස සටහන්ව ඇත.

මින් ඉදිරියට අස්වැසුම නෑ.. ලක්ෂ 14ක් ලැයිස්තුවෙන් කපයි

මින් ඉදිරියට අස්වැසුම නෑ.. ලක්ෂ 14ක් ලැයිස්තුවෙන් කපයි

“අස්වැසුම” ප්‍රතිලාභීන් තෝරාගැනීම වැඩසටහනේ නව ක්‍රමවේදය යටතේ ප්‍රතිලාභීන් 1,391,830 දෙනෙකු ඉවත් කිරීමට පියවර ගෙන ඇත.

2025.12.15 දිනැති අංක 2497/03 දරන රජයේ ගැසට් නිවේදනයට අනුව, අස්වැසුම ප්‍රතිලාභ යෝජනා ක්‍රමය යටතේ මින් ඉදිරියට මුදල් ගෙවීම් සිදු කරනු ලබන්නේ “අන්ත දිළිඳු” සහ “දිළිඳු” යන කාණ්ඩ දෙක සඳහා පමණි.

මාසිකව රුපියල් 17,500ක දීමනාව හිමිවන “අන්ත දිළිඳු” කාණ්ඩය සඳහා ප්‍රතිලාභීන් 363,142ක් සහ මාසිකව රුපියල් 10,000ක දීමනාව හිමිවන “දිළිඳු” කාණ්ඩය සඳහා ප්‍රතිලාභීන් 628,658ක් ලෙස පළමු ලේඛනය යටතේ සමස්තයක් වශයෙන් 991,800ක පිරිසක් සුදුසුකම් ලබා ඇත.

එළඹෙන දෙසැම්බර් මාසයේදී නිකුත් කිරීමට නියමිත දෙවන නාම ලේඛනය සඳහා පවුල් 740,127ක් පමණක් තෝරා ගැනීමට නියමිත බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කරයි.

Follow WhatsApp Channel