Local news

මුදල් අමාත්‍යාංශය විසින් හඳුනාගත් ආයතන 33ක් වසා දැමීමට තීරණය කරා

මුදල් අමාත්‍යාංශය විසින් හඳුනාගත් ආයතන 33ක් වසා දැමීමට තීරණය කරා

වත්මන් රජයේ ආර්ථික සහ සමාජයීය ගමන්මඟ වන්නේ ග්‍රාමීය ජනතාව නගරවලට කැඳවීම නොව, ගම තුළ ආර්ථික අවස්ථා නිර්මාණය කිරීම සහ පහසුකම් ලබා දීම බවත්, එහිදී ගම සහ නගරය අතර ඉතා දියුණු මාර්ග පද්ධතියක්, හොඳ සන්නිවේදන පද්ධතියක්, කාර්යක්ෂම සහ ශක්තිමත් රාජ්‍ය සේවාවක් ස්ථාපිත කිරීම අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, ග්‍රාම නිලධාරී සේවයේ III වන ශ්‍රේණිය සඳහා සුදුසුකම් ලැබූ නිලධාරීන් 1,540 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට (08) අරලියගහ මන්දිරයේදී එක් වෙමිනි.

වත්මන් ආණ්ඩුව රාජ්‍ය සේවයට ඉතා ගෞරව කරන ආණ්ඩුවක් මෙන්ම රාජ්‍ය සේවය යහපත් වැටුප් තලයක පිහිටුවිය යුතු බව අපේක්ෂා කරන ආණ්ඩුවක් බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා ඉතා අසීරුතම තත්ත්වයක් හමුවේ වුවද මූලික වැටුප් වැඩි කිරීමට සහ දීමනා වැඩිකිරීමට කටයුතු කළේ එබැවින් බවද පැවසීය.

නව ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව, ප්‍රථම වතාවට ග්‍රාම නිලධාරී සේවයේ III වන ශ්‍රේණිය සඳහා තේරී පත් වූ නිලධාරීන් 1,540 දෙනෙකු සඳහා මෙලෙස පත්වීම් ප්‍රදානය කෙරුණු අතර, විභාග ප්‍රතිඵල සහ සම්මුඛ පරීක්ෂණවල කුසලතාවයන් පමණක් සැලකිල්ලට ගනිමින් සුදුස්සන් රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ ප්‍රතිපත්තියට අනුව මෙම බඳවා ගැනීම් සිදු කර තිබීම විශේෂත්වයකි.

දිස්ත්‍රික් මට්ටමින් ප්‍රථම ස්ථානය දිනාගත් 28දෙනා සඳහා සංකේතාත්මකව පත්විම් ලිපි ප්‍රදානය කිරීම මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ,

“අද ඔබ ප්‍රවිෂ්ට වන්නේ ලංකාවේ ඉතාමත් වැදගත් වෘත්තියකටයි. අපේ රටේ ජනතාවගේ දෛනික ජීවිතයත් සමඟ ඉතාමත් සමීපව වැඩ කරන රාජ්‍ය නිලධාරියා කවුද කියලා ඇහුවොත්, ඒ අපේ ග්‍රාම නිලධාරී මහත්මයා හෝ මහත්මියයි. ගමක සාමාන්‍ය ජනතාවගේ ජීවිතයත්, රාජ්‍යයත් අතර තිබෙන සබඳතාවය සහ රජය විසින් ලබා දෙන සේවාවන් සියල්ල කේන්ද්‍රගත වන්නේ ග්‍රාම නිලධාරීන් මගිනුයි.

ඔබ අපිට වැදගත් වන්නේ, හුදු ගම භාරව වැඩ කරන නිලධාරියා ලෙස පමණක් නොවෙයි. ඔබ අපට වැදගත් වන්නේ අපි සකස් කර තිබෙන ආර්ථික සහ සමාජයීය දැක්ම නිසයි. ලෝකයේ සෑම රටක්ම නගර කේන්ද්‍ර කරගත් අධික ජනගහනය නිසා ඇතිවන අර්බුදයට අද මුහුණ දී තිබෙනවා. එය අද ලෝකයේ දියුණුයැයි සම්මත රටවල් මෙන්ම නොදියුණු රටවල්ද මුහුණ දී තිබෙන ගැටලුවක්.

ග්‍රාමීය මට්ටමින් ආර්ථික අවස්ථා සහ සේවාවන් ඉටු කිරීමට අසමත් වූ විට ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ගම් අතහැර නගරවලට කේන්ද්‍රගත වුණා. “වෛරයේ මිදි ඵල” පරිවර්තනයේ ඉතා හොඳින් පැහැදිලි කරනවා ඈත පළාත්වල ජීවත් වන ජනතාව තමන්ගේ ආර්ථික අවස්ථා අහිමි වන විට මග දිග මිය යමින් විශාල දුෂ්කරතාවලට මුහුණදෙමින් නගරවලට කේන්ද්‍රගත වූ අන්දම. එය අද ලෝකයේ බොහෝ රාජ්‍යයන් මුහුණ දී තිබෙන ගැටලුවක්.

හැබැයි එම ගැටලුවේදී අපි වාසනාවන්ත වී තිබෙනවා. අපේ රටේ තාමත් බහුතරයක් ජනතාව ජීවත් වන්නේ ග්‍රාමීය ප්‍රදේශවලයි. එසේනම් අපේ ආර්ථික සහ සමාජ ගමන්මඟ වන්නේ කුමක්ද, අපේ ගමන්මඟ කිසිසේත්ම ග්‍රාමීයව ජිවත්වන ජනතාව නගරවලට කැඳවීම නොවෙයි. එම උපායමාර්ගය අසාර්ථක වී ඇති බව දැන් පෙන්නුම් කෙරෙනවා. එසේනම් අපේ සංවර්ධන මාවත වන්නේ ගමේ ජනතාව නගරයට කැඳවීම නොව, ගමේ සිටින ජනතාවට ගම තුළදීම ආර්ථික අවස්ථා නිර්මාණය කිරීම සහ පහසුකම් ලබා දීමයි.

එහිදී ගම සහ නගරය අතර ඉතාමත් දියුණු මාර්ග පද්ධතියක් අවශ්‍යයි. ඒ වගේම ගම සහ නගරය අතර හොඳ සන්නිවේදන පද්ධතියක් අවශ්‍යයි. ඒ වෙනුවෙන් ඉදිරි අවුරුදු තුන ඇතුළත මුළු රටම ආවරණය වන පරිදි සන්නිවේදන පද්ධතිය ස්ථාපිත කිරීමට, අපි ඩිජිටල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර, තීරණය කර තිබෙනවා. ඒ වගේම ග්‍රාමීය ජනතාවට ලබා දෙන සේවාවන් ඉතා වේගවත්ව සහ පහසුකම් සහිතව ඉටුවිය යුතුයි. ඒ නිසා අපේ අපේක්ෂාව ගමේ ජනතාව ගම තුළ තබා ගනිමින් ඔවුන්ගේ ආර්ථික සහ සමාජයීය අවශ්‍යතා සම්පූර්ණ කිරීමයි.

එහිදි ග්‍රාම නිලධාරී මහත්වරුන්ට විශාල වැඩකොටසක් පැවරෙනවා. එම සේවාවන් සැපයීමේදී ගෙයින් ගෙට යාම, වගේම පුරවැසියන් පැමිණ ග්‍රාම නිලධාරී කාර්යාලයේ රස්තියාදුවීම සීමා විය යුතුයි. හැබැයි මෙම ඩිජිටල්කරණය ක්‍රියාවලියේදී කිසිසේත්ම මිනිසුන් අතර තිබෙන මානුෂීය සබඳතා සහ හැඟීම් දැනීම් බිඳ නොවැටෙන පරිදි තුලනයක් පවත්වා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා.

ඒ වගේම රාජ්‍ය සේවයේ කාර්යයන් ආකාර තුනකට බෙදා වෙන් කර ඩිජිටල් පද්ධතියට ඇතුළත් කිරීමට සැලසුම් කර තිබෙනවා. ග්‍රාම නිලධාරී මට්ටමින්ම අවසන් වන කාර්යයන්, ග්‍රාම නිලධාරී ලබා දෙන සහතිකය මත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අවසන් වන කාර්යයන්, ග්‍රාම නිලධාරී සහ ප්‍රාදේශීය ලේකම්ගේ සහතිකය මත වෙනත් රාජ්‍ය ආයතනයකින් ඉටුකෙරෙන කාර්යයන් ලෙස, මේ සඳහා අවශ්‍ය ඩිජිටල් පද්ධතිය ගොඩනැගීමට ඩිජිටල් අමාත්‍යාංශය සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සාකච්ඡා කර තිබෙනවා.

ලබන වසරේදී දිස්ත්‍රික්ක දෙකක් තෝරාගෙන නියමු ව්‍යාපෘතියක් ලෙස මෙය ආරම්භ කිරීමට අවශ්‍ය මුදල් ඉදිරි අයවැයෙන් වෙන් කිරීමට බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම අපිට ශක්තිමත් රාජ්‍ය සේවාවක් අවශ්‍යයි. ලෝකයේ සෑම දියුණු රටක්ම ඉදිරියට ගියේ ශක්තිමත් රාජ්‍ය සේවයක් මගින්. හැබැයි අද අපේ රාජ්‍ය සේවයේ යෙදෙන නිලධාරීන් මෙන්ම සේවාවන් ලබාගන්නා පුරවැසියන්ද පසුවන්නේ යම් තෘප්තිමත් භාවයක නොවෙයි. රාජ්‍ය සේවය තුළ තනතුරු සහ පුටු පිළිබඳ තරගයක් ඇතිවී තිබෙනවා. එමෙන්ම පැරණි පරිගණක, පැරණි වාහන සහ අබලන් වූ ගොඩනැගිලි නිසා රාජ්‍ය සේවය යම් බිඳවැටීමකට ලක්ව තිබෙනවා. මෙම තත්ත්වය වෙනස් කිරීම සඳහා රජයක් ලෙස අපි පියවර ගනිමින් සිටිනවා.

රාජ්‍ය සේවයට අවශ්‍ය කැබ් රථ 1,750ක් හඳුනාගෙන ඇති අතර, ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු නිලධාරීන්ට අවශ්‍ය වාහන ඉක්මනින් ලබා දීමට කටයුතු කරනවා. ඩිජිටල්කරණයට අවශ්‍ය පරිගණක සහ අංගඋපාංග ප්‍රමාණය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මගින් ලබා දීමට කටයුතු කරනවා. රාජ්‍ය ආයතන ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කළ යුතුයි. ඒ වගේම අලුතින් ගොඩනැගිලි ලබා දිය යුතුයි.

ඒ අනුව සෙත්සිරිපාය 3 වෙනි අදියර අවසන් කිරීමට සහ 4 වෙනි අදියර ආරම්භ කිරීමට අයවැයෙන් මුදල් වෙන් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි භූමිය කළමනාකරණය කර ගත යුතුයි. එහිදි ලොකු ගොඩනැඟිලිවලට අප තුළ තිබෙන කැමැත්ත වෙනස්කර ගත යුතුයි කියා මම විශ්වාස කරනවා. එබැවින් කාර්යාල සඳහා කොපමණ ඉඩ පහසුකම් අවශ්‍යද, එම නියමිත භූමි ප්‍රමාණයන් පිළිබඳ විධිමත් සංගණනයක් සිදු කර, කාර්යාල පහසුකම් සැකසීමේ වගකීම ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී වෙත පවරා තිබෙනවා.

අපේ රාජ්‍ය සේවයේ දැනට පවතින වැටුප් තල ප්‍රමාණවත් නැති බව මම පිළිගන්නවා. ඒ නිසා ඉංජිනේරුවන්, තොරතුරු තාක්ෂණ විශේෂඥයන්, නීති නිලධාරීන් වැනි දක්ෂ වෘත්තිකයන් රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ දුෂ්කරතාවයක් පවතිනවා. හැබැයි රාජ්‍ය සේවකයින්ගේ වැටුප් රුපියල් 10කින් වැඩි කළහොත් මාසයකට රුපියල් මිලියන 13ක අමතර වැයබරක්ද, රුපියල් 100කින් වැඩි කළහොත් බිලියන 1.3ක වැයබරක්ද ඇති වෙනවා. එම නිසා රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය වැඩි කරමින් එහි ප්‍රමාණය කුඩා කළ යුතුයි කියා අපි හඳුනාගෙන තිබෙනවා.

එහිදී කිසිසේත් අපි රාජ්‍ය සේවය අත්හරින්නේ නැහැ. රාජ්‍ය සේවය අත්‍යාවශ්‍ය වන අතර, එය දියුණු කළ යුතුයි යන්න අපේ ප්‍රතිපත්තියයි. හැබැයි මේ සේවය ලබා දීමට සිටින යාන්ත්‍රණය තව කුඩා විය යුතු බව අපි විශ්වාස කරනවා.

ඒ අනුව අගමැතිතුමියගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් මගින් රාජ්‍ය ආයතන ඒකාබද්ධ කිරීමට සැලසුම් කර තිබෙනවා. මුදල් අමාත්‍යාංශය විසින් හඳුනාගත් ආයතන 33ක් වසා දැමීමට තීරණය කර තිබෙනවා. ඒ සඳහා වන්දි දීමනාවක් ලබාදීමට අපි තීරණය කර තිබෙනවා. ඒ වගේම ඒකාබද්ධ කළ යුතු ආයතන රැසක් හඳුනාගෙන තිබෙනවා. ජනතාවට රාජ්‍ය සේවය බරක් නොවිය යුතුයි. හැබැයි අපි ජනතාවට කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ලබාදිය යුතු බව පිළිගත් ආණ්ඩුවක්.

ඒ නිසා රාජ්‍ය සේවය ඉතා හොඳින් කළමනාකරණය කිරීමට නම් මෙය තවත් කුඩා විය යුතුයි. හොඳ දක්ෂතා සහිත කණ්ඩායම් ගෙන ඒමට නම් යහපත් වැටුප් තලයක පිහිටුවිය යුතුයි.

අපි පළමු අයවැය ලේඛනයෙන්ම අදියර තුනකින් රාජ්‍ය සේවකයන්ගේ මුලික වැටුප වැඩි කිරීමට තීරණය කළා. ඒ අනුව 2027 වන විට වැටුප් වැඩි කිරීමට පමණක් රුපියල් බිලියන 330ක වැය බරක් දරනවා. අපි අනෙක් දීමනා පිළිබඳ අවධානය යොමු කළ යුත්තේ ඉන් පසුවයි. මම හිතන්නේ මෙහිදී සියලු දෙනා සාධාරණ විය යුතුයි.

අපි හොඳ මූලික වැටුප් වැඩිවීමක් ලබා දී තිබෙනවා. ඒ වගේම ග්‍රාම නිලධාරී දීමනා ඉහළ නංවා තිබෙනවා. කාර්යාල දීමනාව රුපියල් 1,000 සිට රුපියල් 2,000 දක්වා වැඩි කර තිබෙනවා.නිල ඇඳුම් දීමනාව රුපියල් 5,000 සිට රුපියල් 15,000 දක්වා වැඩි කර තිබෙනවා. ලිපිද්‍රව්‍ය මිලදී ගැනීමේ දීමනාව රුපියල් 1,500 සිට රුපියල් 3,000 දක්වා වැඩි කර තිබෙනවා.

මෙම නොවැම්බර් (12) වෙනිදා අපි ඊළග අයවැය ලේඛනය ඉදිරිපත් කරනවා. එම අයවැය ලේඛනයේදී අපි සලකා බලන්නේ 2027 වසරේ මූලික වැටුප් වැඩිකිරීම සඳහා අවශ්‍ය රුපියල් බිලියන 330 තුලනය කර ගන්නේ කොහොමද කියලයි. ඉන්පසුව තමයි දීමනා සඳහා කොපමණ වැය බරක් දැරිය හැකිද කියා අවධානය යොමු කරන්නේ.

රාජ්‍ය සේවයට සාධාරණ වැටුපක් ලැබිය යුතු බව මම පිළිගන්නවා. හැබැයි මේ වැටුප් ලබා දෙන්නේ ජනතාවගේ බදු මුදල්වලින්. මේ බදු ප්‍රතිශත අඩු කිරීමේ ඉලක්කයක් ඇතිවයි අපි වැඩ කරන්නේ. ඉදිරි වසර දෙක තුන ඇතුළත වැට් බදු (VAT) බදු ප්‍රතිශතයන් අඩු කරමින් ජනතාවට සහන සැලසීම අපගේ ඉලක්කයයි. ළමයෙක් පොතක් අරගෙන කියවන විට බද්දක් ගෙවිය යුතුද, අපි එය ඉවත් කළ යුතුයි.

එම ඉලක්කයන් සමග තමයි වියදම් කළමනාකරණය කරගත යුතු වන්නේ. අපි ඉතා හොඳ මූලික වැටුප් වැඩිවීමක් සිදු කර තිබෙනවා. ඇහුම්කන් දෙමින් දීමනා වැඩි කර තිබෙනවා. ඒ නිසා මේ පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරමු. අපි කිසිසේත් රාජ්‍ය සේවය දේශපාලනීකරණය කිරීමට බලාපොරොත්තු වන්නේ නැහැ. අපිට මේ රට පිළිබඳ සුබදායී බලාපොරොත්තුවක් තිබෙනවා. එහිදී අපේ රාජ්‍ය සේවයට විශාල වගකීමක් තිබෙනවා.

රජයක් ලෙස අපිට ප්‍රතිපත්ති සම්පාදනය කළ හැකි අතර පාර්ලිමේන්තුවෙන් අයවැය සම්මත කළ හැකියි. හැබැයි ආණ්ඩුවේ ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගම දක්වාම ක්‍රියාත්මක කිරීමේ වගකීම තිබෙන්නේ රාජ්‍ය යාන්ත්‍රණයටයි. එහිදී ශක්තිමත් රාජ්‍ය සේවයක් අවශ්‍යයි.

අද පත්වීම් ලබන ඔබ ජනතාවගේ සමීපතම රාජ්‍ය නිලධාරියායි. අසරණකමකදී, ව්‍යසනයකදී, දරුවෙකුගේ උපතේදී මෙන්ම මරණයකදීත් මහජනයා පළමුවෙන්ම සොයා යන්නේ ග්‍රාම නිලධාරී මහත්මයා හෝ මහත්මියයි. ඒ නිසා රාජ්‍යයේ විශාල වැඩකොටස ජනතාව සමග සහ සම්බන්ධය හදා ගන්නේ ග්‍රාම නිලධාරී මහත්වරුන්. ඒ නිසා ඔබ එක් වන්නේ විශාල ගෞරවයක් සහිත මහජනතාවගේ බර කරට ගත් වෘත්තියකටයි. ඒ නිසා ගමේ ජනතාව සහ ග්‍රාම නිලධාරීවරයා අතර පැවති සාම්ප්‍රදායික, ආදරණීය සහ ගෞරවනීය සබඳතාවය නැවත අලුතින් ගොඩනැගීමට ඔබට හැකියාව ලැබෙනු ඇතැයි විශ්වාස කරමින් ඔබගේ නව වෘත්තීය ජීවිතයට සුබ පතනවා.”

ශිරන්තිගේ මුලික වෛද්‍ය පරීක්ෂණ.. හැඬු කඳුලින් ආ මහින්ද

ශිරන්තිගේ මුලික වෛද්‍ය පරීක්ෂණ.. හැඬු කඳුලින් ආ මහින්ද

බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ බන්ධනාගාර වෛද්‍යවරයාට ඉදිරිපත් කර ඇත.

ඒ අනුව ශිරන්ති රාජපක්ෂගෙන් මුලික වෛද්‍ය පරීක්ෂණ සඳහා අවශ්‍ය සාම්පල ලබාගත් බව වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ප්‍රසාද් හේමන්ත සඳහන් කරයි.

මේ වනවිට ශිරන්ති රාජපක්ෂ කාන්තා රැඳවුම් අංශයේ රෝගීන් රඳවන ස්ථානයේ රඳවා ඇති බවද වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි.

මේ අතර ශිරන්ති රාජපක්ෂගේ සුවදුක් විමසීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඊයේ (08) දින වැලිකඩ බන්ධනාගාරයට පැමිණි අතර අනතුරුව ඉතා දුක්බර මුහුණින් පිටව ගියේය.

බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරුන් වෙත ඇයව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ඉදිරි දිනයකදී ජාතික අක්ෂි රෝහල වෙත ඇයව යොමු කරන ලෙසට නිර්දේශ ලැබී ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලෙතැන්න සඳහන් කරයි.

රුපියල් මිලියන 10ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාවට අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ශිරන්ති රාජපක්ෂ ලබන (13) වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළේය.

ජනපති අනුරගේ උපදෙස් පරිදි විශේෂ කමිටුවක්

ජනපති අනුරගේ උපදෙස් පරිදි විශේෂ කමිටුවක්

බන්ධනාගාර ආඥා පනත යටතේ සාදන ලද නීති රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලීන කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උපදෙස් පරිදි විශේෂ කමිටුවක් අද (08) දින පත් කෙරිණි.

ත්‍රෛනිකායික මහා සංඝරත්නය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර අද (08) දහවල් පැවති විශේෂ සාකච්ඡාවේදී එළැඹි තීරණයට අනුව මෙම කමිටුව පත් කරනු ලැබ ඇත.

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප්‍රීන්ස් සේනාධීර, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පියුමන්ති පිරීස්, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වසන්ත ආරියරත්න, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම්.ජී. සේනාරත්න සහ බන්ධනාගාර දොපාර්තමේන්තුවේ කොමසාරිස්වරයෙකු වන ඒ.සී. ගජනායක මෙම කමිටුවේ සාමාජිකයින් වේ.

බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සහ ආඥා පනත මගින් පනවන ලද නිත්‍ය නියෝග කාලානුරූපීව සමාලෝචනය කිරීම සහ වර්තමාන ආගමික, සංස්කෘතික, නීතිමය, පරිපාලනමය සහ ප්‍රායෝගික අවශ්‍යතාවන්ට අනුකූල වන පරිදි යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින් මෙම කමිටුව පත් කරනු ලැබ තිබේ.

බන්ධනාගාර පද්ධතියේ කාර්යක්ෂමතාව, යහපාලනය, ආරක්ෂාව, සංස්කෘතික වටිනාකම් සහ නීතියේ ආධිපත්‍යය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය සංශෝධන හඳුනාගෙන නිර්දේශ ඉදිරිපත් කිරීම මෙම කමිටුව වෙත පැවරේ.

දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව සම්මතයි

දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව සම්මතයි

දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පත අද (08) පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.

ඒ අනුව, 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත ක්‍රියාත්මක කිරීමේදී හඳුනාගෙන ඇති නීතිමය, අර්ථ නිරූපණය සම්බන්ධ, පරිපාලනමය සහ තාක්ෂණික ගැටලු, සිංහල සහ ඉංග්‍රීසි පනත් පාඨ අතර පවතින නොගැළපීම්, දූෂණ වැරදි සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීමේ සහ නඩු පැවරීමේ ගැටලු, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාවේ පරිපාලන කටයුතු මෙන්ම මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතියක් ඔස්සේ වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය වඩාත් විධිමත් කිරීම මෙම සංශෝධනයෙන් අරමුණු කෙරේ.

මෙම සංශෝධන මඟින් දූෂණයට එරෙහිව කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ පවතින නීතිමය හා ආයතනික රාමුව තවදුරටත් ශක්තිමත් කිරීමටත්, දූෂණ විරෝධී පනත ඵලදායීව, විනිවිදභාවයෙන් සහ වගකීමෙන් යුතුව ක්‍රියාත්මක කිරීම සහතික කිරීමටත් අපේක්ෂිතය.

සිවුර ගැලවීමේ ප්‍රශ්නය අවසන්.. ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

සිවුර ගැලවීමේ ප්‍රශ්නය අවසන්.. ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

නීතිපති, අධිකරණ අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, බෞද්ධ කටයුතු අමාත්‍යාංශය, බන්ධනාගාර නිලධාරීන් සහ බන්ධනාගාර කොමසාරිස්වරයා ඇතුළත් වන අන්දමින් එම කමිටුව පත් කරන බවත්, සති දෙකක් ඇතුළත මේ පිළිබඳ අධ්‍යයනය කර සංශෝධන ඉදිරිපත් කිරීමට එම කමිටුවට පවරන බවත්, එහි භික්ෂූන් වහන්සේලාට බලපාන කොටස් මහා සංඝරත්නය සමග සාකච්ඡා කර අනුරූප ලෙස වෙනස් කිරීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා පැවසීය.

එසේ නොමැතිව නීති තිබියදී, තනි තනි පුද්ගලයන් වෙනුවෙන් නියෝග ලබා දීමට තමන් සූදානම් නොමැති බවත්, නීතිය වර්තමානයට උචිත නොවේනම් කළ යුත්තේ නිසි පරිදි නීතිය සම්පාදනය කරගැනීම බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහා කළේ අද (08) ජනාධිපති කාර්යාලයේදී මහා සංඝරත්නය සමග විශේෂ සාකච්ඡාවකට එක් වෙමිනි.

ගලගොඩඅත්තේ ඤානසාර හිමියන්ගේ චීවරය ඉවත් කර ගිහි වස්ත්‍ර සහිතව අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කිරීම සම්බන්ධයෙන් මහානායක හිමිවරු බන්ධනාගාර කොමසාරිස්වරයා වෙත යොමු කර ඇති ලිපිය සහ මෙම සිදුවීම පාදක කරගනිමින් සමාජයේ ඇතිවී තිබෙන තත්ත්වයත්, මෙවැනි තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා ඉදිරියේදී ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමේ අරමුණින් මෙම සාකච්ඡාව පැවැත්විණි.

සිය ආරාධනය අනුව මෙම සාකච්ඡාවට එක්වීම පිළිබඳ ජනාධිපතිවරයා මෙහිදී මහා සංඝරත්නය වෙත සිය ගෞරවය පුද කළේය.

මෙහිදී වර්තමාන බන්ධනාගාර නීති පද්ධතිය පිළිබඳ වැඩිදුරටත් පැහැදිළි කළ ජනාධිපති අනුර කුමාර දිසානායක,

“ වර්තමානයේ අපේ බන්ධනාගාර පාලනය වන්නේ 1877 දී සම්මත කරන ලද බන්ධනාගාර ආඥා පනත මගිනුයි. එම පනත විටින් විට සංශෝධනය වී තිබෙනවා. එම පනතේ 94වන වගන්තියෙන් අමාත්‍යවරයාට විටින් විට රෙගුලාසි පැනවීමට බලය ලබා දී තිබෙන අතර, 2022 වසරේදීම එම රෙගුලාසි සංශෝධනය කර තිබෙනවා.එමෙන්ම, බන්ධනාගාර පවත්වාගෙන යාම සඳහා අමාත්‍යතුමාගේ අනුමැතියට යටත්ව නිත්‍ය නියෝග පැනවීමට බන්ධනාගාර කොමසාරිස්තුමාට බලය තිබෙනවා. ඒ අනුව බන්ධනාගාර පද්ධතිය පාලනය වන්නේ පනතකින්, ඇමතිවරයා පණවන රෙගුලාසිවලින් සහ ඇමතිවරයාගේ අනුමැතියට යටත්ව කොමසාරිස්තුමා පණවන නිත්‍ය නියෝග මගිනුයි

මෙහිදී අවස්ථා එකක් දෙකක් හැරෙන්නට, අවධානය යොමු කර තිබෙන්නේ පොදු සිරකරුවන් පිළිබඳවයි. 216වන රෙගුලාසි වගන්තියේ පමණයි විශේෂයෙන් අපේ හාමුදුරුවන් වහන්සේලා ගැන සඳහන් වන්නේ.එම නිසා මේ නීති සකස් කිරීමේදී භික්ෂූන් වහන්සේලා හෝ අනිත් ආගමික උතුමන්ලා කේන්ද්‍ර කරගෙන විශේෂ රෙගුලාසි සකස් වී නැහැ. පොදු සිරකරුවන් පිළිබඳ තමයි සෑම විටම අවධානය යොමු කර තිබෙන්නේ.

බන්ධනාගාරයට එන පිරිස් ආකාර දෙකකට ඉන්නවා. එකක් තමයි රිමාන්ඩ් බන්ධනාගාර ගත වූ අය; එනම් අධිකරණයකින් වැරදිකරු වී දඬුවම් නොලැබූ අයයි. රිමාන්ඩ් භාරයේ සිටින භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් මෙවැනි ප්‍රශ්නයක් පැන නගින්නේ නැහැ. හැබැයි අධිකරණයෙන් වරදකරු වී සිරකරුවන් බවට පත් වූ විට තත්ත්වය වෙනස් වෙනවා. එහිදී බරපතල වැඩ සහිත සිරදඬුවම් සහ ලිහිල් වැඩ සහිත සිරදඬුවම් ලෙස ආකාර දෙකක් තිබෙනවා. ලිහිල් වැඩ සහිත සිරදඬුවමකදී බන්ධනාගාර පාලකතුමාගේ එකඟතාව මත ඇඳුමක් තෝරාගැනීමට පුළුවන් වුවත්, බරපතල වැඩ සහිත සිරදඬුවමකදී බන්ධනාගාරයෙන් ලබා දෙන නියමිත ඇඳුම භාවිතා කළ යුතුයි.මෙතෙක් කල් කටයුතු කර ඇත්තේ එම නීතියට අනුවයි.

ඒ අනුව මහානායක හාමුදුරුවන් වහන්සේලා යොමු කළ ලිපිය අනුව ප්‍රශ්නය පැන නගින්නේ සිරගතව සිටින ආකාරයට වඩා, උන්වහන්සේලා බන්ධනාගාරයෙන් බැහැරට රැගෙන එන අවස්ථාවලදීයි. අධිකරණ කටයුතු සඳහා පමණක් නොව බන්ධනාගාරයෙන් බැහැර වන සෑම අවස්ථාවකදීම අපි එය සැලකිල්ලට භාජනය කළ යුතුයි. මොකද බන්ධනාගාරය ඇතුළත විවෘත නැති ස්ථානයක් වුවත්, බැහැරට රැගෙන එන විට මාධ්‍යයට සහ පොදු ජනතාවට නිරාවරණය වීමට පටන් ගන්නවා.

මේ අයව බැහැරට රැගෙන ඒමේදී පැවති ක්‍රියාපටිපාටිය තමයි අනුගමනය කර තිබෙන්නේ. මීට පෙරත්, දැනට සිටින 63 නම පිළිබඳ මම විමසා බැලුවා ඇතැම් භික්ෂුන්වහන්සේලා එක් වරදකට සිරදඬුවම් ලබන අතරතුර වෙනත් නඩුවලට සම්බන්ධ නම් අධිකරණයට කැඳවීමට සිදු වෙනවා.දැනට සිරගතව සිටින ඇතැම් හිමිවරුන් වෙනත් නඩුවලට අධිකරණයට පමුණුවා ඇත්තේද සිවුර දරාගෙන නොවෙයි.
බන්ධනාගාර නිලධාරීන් ක්‍රියා කර ඇත්තේ දැනට පවතින නීති සහ රීති පද්ධතියට අනුව බැවින් ඔවුන්ට දෝෂාරෝපණය කර වැඩක් නැහැ.

ඊයේ දිනයේ වැඳ නමස්කාර කළ හාමුදුරුවන් වහන්සේ නමක් අද වෙනස් ආකාරයකින් දැකීමට සිදුවීම බෞද්ධ ජනතාවට සහ මහා සංඝරත්නයට දැඩි කම්පනයක් සහ විමතියක් ඇති කරවන බව මම පිළිගන්නවා. හැබැයි සිදු වු ක්‍රියාදාමය මෙයයි.

නීති යනු සදාකාලික එකම තැන පවතින උත්තර් ඓතිහාසික දේවල් නෙවෙයි; නීති නිතරම සංශෝධනය වෙනවා. එසේ නොමැතිව අපේ හාමුදුරුවනේ, මම කැමති නැහැ නීති එසේ තිබියදී, මෙහෙම කරන්න කියලා නියෝගයක් දෙන්න. එතකොට නීතිය පැත්තක, ඒක මගේ නීතිය වෙනවා. මගේ කැමැත්ත නීතිය බවට පත් නොවිය යුතුයි. සාමාන්‍ය දේශපාලනයේදී “නීතිය යනු පාලකයාගේ කැමැත්තය” කීවත්, මාගේ කැමැත්ත නීතිය බවට පත් කරගැනීමට මම කිසිසේත්ම කැමති නැහැ.

නීතිය වර්තමානයට උචිත නැත්නම් කළ යුත්තේ නිසි පරිදි නීතිය සම්පාදනය කරගැනීම මිස, අපේ කැමැත්ත මත නීතිය ක්‍රියාත්මක කිරීම නෙවෙයි. ඒ නිසා මේ තිබෙන රෙගුලාසි සහ බන්ධනාගාර නිත්‍ය නියෝග වර්තමාන තත්ත්වයට අනුරූප වන පරිදි වෙනස් විය යුතුයි. මෙවැනි සංවාදයකදී තමයි මෙවැනි කරුණු මතු වන්නේ. හැම විටම මේ නීති සකස් කර තිබෙන්නේ පොදු තත්ත්වයකදී මිස භික්ෂුන් වහන්සේ උදෙසා විශේෂ රෙගුලාසි අඩුයි.

භික්ෂුන් වහන්සේ සිරගතවනු ඇති බව අපේක්ෂා නොකළ නිසා එවැනි රොගුලාසි ඇතුළත් කරන්න නැතිව ඇති. හැබැයි දැන් සමාජයේ ඇති වී තිබෙන බිඳවැටීමට යම් ප්‍රමාණයකට භික්ෂූන් වහන්සේලාද ගොදුරු වී සිටින බව පෙනෙන්නට තිබෙනවා.එම නිසා, බන්ධනාගාර ගත වූ විට රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ නව රීති සම්පාදනය කරගත යුතුයි.එය එක් හිමිනමක් ඉලක්ක කරගෙන නොව පොදුවේ පද්ධතියටම අදාළ විය යුතුයැයි” ජනාධිපතිවරයා පැවසීය.

මෙවැනි සංවේදී කරුණු පිළිබඳ අවධානය යොමු කරමින් කඩිනම් විසඳුම් ලබා දීමට අවශ්‍ය පියවර ගැනීම පිළිබඳ මහා නායක හිමිවරුන් වෙනුවෙන් මෙහි වැඩම කර සිටී මහා සංඝරත්නය ජනාධිපතිවරයා වෙත කෘතඥතා පූර්වක ආශිර්වාදය පළ කළහ.

ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමිපාණන් වහන්සේ, ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී අතිපූජ්‍ය පහමුණේ ශ්‍රී සුමංගල හිමිපාණන් වහන්සේ, නියෝජ්‍ය ලේඛකාධිකාරී අතිපූජ්‍ය මහවෙල ශ්‍රී රතනපාල හිමිපාණන් වහන්සේ, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහා ලේඛකාධිකාරී රාජකීය පණ්ඩිත දර්ශනපති අතිපූජ්‍ය බලපිටියේ සිරිසීවලී හිමිපාණන් වහන්සේ, නියෝජ්‍ය ලේඛකාධිකාරී ශාස්ත්‍රපති අතිපූජ්‍ය අහංගම මෛත්‍රීමූර්ති හිමිපාණන් වහන්සේ, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා ලේඛකාධිකාරී පූජ්‍ය අත්තංගනේ සාසනරතන හිමිපාණන් වහන්සේ, අතිපූජ්‍ය කොන්ගස්තැන්නේ ආනන්ද හිමිපාණන් වහන්සේ යන ත්‍රයි නිකායික මහා සංඝරත්න මෙම අවස්ථාවට වැඩම කර සිටියහ.

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ශිරන්තිට නවලෝක නෑ.. බන්ධනාගාර රෝහලට

ශිරන්තිට නවලෝක නෑ.. බන්ධනාගාර රෝහලට

මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ බන්ධනාගාර වෛද්‍යවරයා හමුවට ඉදිරිපත් කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව බන්ධනාගාර වෛද්‍යවරයාගේ උපදෙස් මත ඉදිරි කටයුතු සිදුකරන බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ අතර වෛද්‍ය ප්‍රතිකාර සඳහා කොළඹ නවලෝක රෝහලට ඇතුළත් කරන ලෙසට අධිකරණයෙන් මෙතෙක් කිසිදු නියෝගයක් ලැබී නොමැති බව බන්ධනාගාර නිලධාරීන් සඳහන් කරයි.

බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරුන් වෙත ඇයව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ඉදිරි දිනයකදී ජාතික අක්ෂි රෝහල වෙත ඇයව යොමු කරන ලෙසට පමණක් මේ වනවිට නිර්දේශ ලැබී ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලෙතැන්න සඳහන් කරයි.

රුපියල් මිලියන 10ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාවට අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ශිරන්ති රාජපක්ෂ ලබන (13) වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළේය.

රථවාහන අලෙවි කිරීමෙන් වළකින්න.. විශේෂ දැනුම්දීමක්

රථවාහන අලෙවි කිරීමෙන් වළකින්න.. විශේෂ දැනුම්දීමක්

ඉදිරියේදී විවෘත පත්‍රිකා යටතේ රථවාහන අලෙවි කිරීමෙන් වළකින්නැයි, මෝටර් රථවාහන දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දීමක් කරයි.

පැවරුම්කරු හා පැවරුම්ලාභියා විසින් MTA 6 නැමැති ලේඛනය අත්සන් කර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට අදාළ පිටපත යොමු කරන ලෙස එහි කොමසාරිස් ජනරාල් විශ්‍රාමික එයාර් වයිස් මාෂල් තුෂාර ඉඳුනිල් ප්‍රනාන්දු සඳහන් කරයි.

රථ වාහන යොදා ගනිමින් රට තුළ සිදුවන විවිධ නීති විරෝධී කටයුතු පාලනය කිරීම සහ එවැනි වංචනිකයින්ගෙන් සාමාන්‍ය ජනතාව ආරක්ෂා කිරිම මෙහි අරමුණ වේ.

ඥනසාර හිමිගේ සිවුර ගැලවීමට එරෙහිව රනිල් පෙරට එයි

ඥනසාර හිමිගේ සිවුර ගැලවීමට එරෙහිව රනිල් පෙරට එයි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කර සිරකරු ඇඳුම ඇන්දවීම ගැන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිංගප්පූරුවේ සිට පණිවිඩයක් එවා ඇති බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ දිවයිනට පැමිණි පසු නීතිමය පසුබිමද ඇතුළත්ව සවිස්තර ප්‍රකාශයක් කිරීමට බලාපොරොත්තු වෙන බවද සභාපති වජිර අබේවර්ධන සඳහන් කරයි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පණිවිඩය පහතින්..

ශෂින්ද්‍රගේ ඉල්ලීම ප්‍රතික්ෂේපයි.. නඩුව ඉදිරියට

ශෂින්ද්‍රගේ ඉල්ලීම ප්‍රතික්ෂේපයි.. නඩුව ඉදිරියට

හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබූ නඩුවක් ප්‍රතික්ෂේප කරන ලෙස විත්තිකරුවන් විසින් මතු කළ මූලික විරෝධතා කොළඹ මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇත.

ඒ අනුව දැනට පවතින අධිචෝදනා යටතේ අදාළ නඩුව ඉදිරියට පවත්වාගෙන යන බව කොළඹ මහාධිකරණ විනිසුරු රවින්ද්‍ර ප්‍රේමරත්න නියෝග කළේය.

කථානායකට එරෙහි විශ්වාසභංගයට සජිත් අත්සන් කරයි

කථානායකට එරෙහි විශ්වාසභංගයට සජිත් අත්සන් කරයි

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට එරෙහි විශ්වාසභංග යෝජනාවට අත්සන් කිරීම අද (08) දින පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී සිදුකර ඇත.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් මෙම විශ්වාසභංග යෝජනාව අත්සන් කිරීම ආරම්භ කළේය.

මෙම විශ්වාසභංග යෝජනාව අත්සන් කිරීම සඳහා විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් එක්ව සිටියේය.

✕
⌃ News
📰 Free News Subscription?