Local news

ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපති අත්අඩංගුවට

ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපති අත්අඩංගුවට

අල්ලස් කොමිසම විසින් ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපති, අධ්‍යක්ෂ ජනරාල් ලලිත් පියුම් පෙරේරා අද (28) දින අත්අඩංගුවට ගෙන ඇත.

අම්පාර, සාමපුර ප්‍රදේශයේ පිහිටි ඉඩමක් හා එහි පිහිටි ගොඩනැගිලි රජයේ ඉඩමක් බවට අඟවා අතුරු බදු ගිවිසුම් සකස් කරමින්, එය ජාතික තරුණ සේවා සභාව වෙත බදු පදනමින් ලබාගෙන ඇති බවට චෝදනා එල්ල වී ඇත.

ඒ සඳහා තුන්වන පාර්ශවයක් වෙත අයුතු සහගත හා නීති විරෝධි ලෙස තරුණ සේවා සභාවේ මුදලින් රුපියල් ලක්ෂ 38ක් ගෙවා ඇති බවත් අධ්‍යක්ෂ මණ්ඩලයේ විධිමත් අනුමැතියකින් තොරව එකී ගොඩනැගිල්ල අලුත්වැඩියාව සඳහා තරුණ සේවා සභාවේ මුදලින් රුපියල් ලක්ෂ 13ක මුදලක් ගෙවා ඇති බවද සඳහන් වේ.

ඒ අනුව අයුතු සහගත ලෙස ගෙවීමට සැලැස්වීම මගින් රජයට රුපියල් ලක්ෂ 51ක් පාඩුකිරීම යන චෝදනාවන්ට එරෙහිව ලලිත් පියුම් පෙරේරා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

ලිට්‍රෝ ගෑස් සැපයුමට මොකද වෙන්නේ.?

ලිට්‍රෝ ගෑස් සැපයුමට මොකද වෙන්නේ.?

ගෑස් සැපයුම කඩිනමින් යථා තත්ත්වයට පත් කරමින් දිවයින පුරා අඛණ්ඩව ගෑස් බෙදා හැරීම සහතික කිරීමට අවශ්‍ය සියලුම පියවර ගෙන ඇති බව ලිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කරයි.

LP ගෑස් මෙට්‍රික් ටොන් 3,000ක පමණ තොගයක් රැගත් ‘FRANCOIS’ නෞකාව ඊයේ (27) ශ්‍රී ලංකාවට ළඟා වී ඇති අතර එහි ගෑස් ගොඩබෑමේ කටයුතු ද එදිනම ආරම්භ කළ බව එම සමාගම සඳහන් කරයි.

පසුගිය (23) වනදා සිට ඊයේ (27) දිනය දක්වා දිනකට කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩර 90,000ත් 100,000ත් අතර ප්‍රමාණයක් වෙළෙඳපොළට නිකුත් කිරීමට පියවර ගෙන ඇති බවද එම සමාගම සඳහන් කරයි.

තවද, LP ගෑස් මෙට්‍රික් ටොන් 3,900ක පමණ තොගයක් රැගත් තවත් නෞකාවක් ලබන (31) වනදා මෙරටට ළඟා වීමට නියමිත බවද එම සමාගම සඳහන් කරයි.

එබැවින් ඉදිරි දින කිහිපය තුළ පාරිභෝගිකයින් හට ගෘහස්ත ගෑස් කිසිදු හිඟයකින් තොරව වෙළෙඳපොළෙන් ලබාගත හැකි බවද එම සමාගම සඳහන් කරයි.

යෝෂිත සහ කරන්නාගොඩට එරෙහි නඩුව.. දින නියම කරයි

යෝෂිත සහ කරන්නාගොඩට එරෙහි නඩුව.. දින නියම කරයි

දූෂණ චෝදනාවක් සම්බන්ධව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව, විභාගය සඳහා දින නියම කර ඇත.

ඒ අනුව යෝෂිත රාජපක්ෂ සහ වසන්ත කරන්නාගොඩට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව, විභාගය සඳහා ලබන නොවැම්බර් මස (23) වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (28) දින නියෝග කළේය.

මෙම නඩුකරයට අදාළ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය අවසන් කිරීමෙන් පසු කොළඹ මහාධිකරණ විනිසුරු රවින්ද්‍ර ප්‍රේමරත්න විසින් මෙම නියෝගය නිකුත් කළේය.

නිසි සුදුසුකම් සපුරා නොතිබියදී යෝෂිත රාජපක්ෂව බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදා පුහුණු විද්‍යාලයේ පුහුණුවකට යැවීම තුළින් ‘දූෂණය’  නමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කර ඇත.

ගෝඨාගේ ලේකම් සුගීෂ්වරට තව දාහතරක්

ගෝඨාගේ ලේකම් සුගීෂ්වරට තව දාහතරක්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ හිටපු පෞද්ගලික ලේකම්, සුගීෂ්වර බණ්ඩාරට එරෙහි නඩුව අද (28) දින කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවයි.

අනතුරුව ගෝඨාභය රාජපක්ෂගේ හිටපු පෞද්ගලික ලේකම්, සුගීෂ්වර බණ්ඩාර ලබන නොවැම්බර් මස (11) වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගැනීම සම්බන්ධයෙන් සුගීෂ්වර බණ්ඩාර මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර සිටියි.

කාවන්තිස්ස ඇතාට වෙඩි තැබීම.. සැකකරුවන්ට දුන් නියෝගය

කාවන්තිස්ස ඇතාට වෙඩි තැබීම.. සැකකරුවන්ට දුන් නියෝගය

කාවන්තිස්ස ඇතාට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරුවන් දෙදෙනා අද (28) මහව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත.

අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන නොවැම්බර් මස (11) වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

සියලු චෝදනා වලට ජොන්ස්ටන් වරද පිළිගනී

සියලු චෝදනා වලට ජොන්ස්ටන් වරද පිළිගනී

නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් සන්තකයේ තබාගැනීම සහ බදු වංචා කිරීම සම්බන්ධව චෝදනා වලට වරද පිළිගන්නා බව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අධිකරණයට දැනුම් දී ඇත.

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සිය නීතීඥවරුන් මාර්ගයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට මේ බව දැනුම් දී ඇත.

ඒ සම්බන්ධයෙන් අධිකරණය සිය තීරණය නොවැම්බර් මස (11) වන දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

කොළඹ පෞද්ගලික හෝටලයක් තුළ අතහැර දමා තිබියදී එම මෝටර් රථය සොයාගත් අතර රථවාහන පනත, මෝටර් රථ ලියාපදිංචි නොකිරීම, ව්‍යාජ ලියාපදිංචි අංක තහඩු භාවිතය සහ බදු පැහැර හරිමින් නීතිවිරෝධී ලෙස වාහන ගෙන්වීම යනාදී චෝදනා මොහුට එල්ල වී ඇත.

පුපුරණ ද්‍රව්‍ය සිද්ධිය – ගෆූර් මාමාට වසර 12ක බරපතළ වැඩ සහිත සිරදඬුවම්

පුපුරණ ද්‍රව්‍ය සිද්ධිය – ගෆූර් මාමාට වසර 12ක බරපතළ වැඩ සහිත සිරදඬුවම්

ලැක්ටෝවත්ත ප්‍රදේශයේ ඉඩමක පුපුරණ ද්‍රව්‍ය ඇතුළු තහනම් ද්‍රව්‍ය රැස් කිරීම සම්බන්ධව ගොනුකර තිබූ නඩුවේ තුන්වන විත්තිකරු වන මොහොමඩ් ෂරීෆ් ආදම් ලෙබ්බේ හෙවත් “ගෆූර් මාමා” නමැත්තාට වසර 12ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් අද (28) දින නියම කර ඇත.

කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අදාළ විත්තිකරු තමන්ට එරෙහිව ගොනුකර තිබූ අධිචෝදනා පහකට වරද පිළිගැනීමෙන් අනතුරුව වසර 12ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කර ඇත.

ලාල් රණසිංහ බණ්ඩාර, රශ්මි සිංගප්පුලි සහ නයෝමි වික්‍රමසිංහ යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් එක් එක් චෝදනාවට වසර 12 බැගින් සිරදඬුවම් නියම කර තිබේ.

ඒ අනුව එම දඬුවම් එකවර ගෙවී යන ලෙස ක්‍රියාත්මක කිරීමට නියෝග කිරීම හේතුවෙන් ඔහුට ගෙවීමට සිදුවන සමස්ත සිරදඬුවම් කාලය වසර 12කි.

මේ වනවිට විත්තිකරු රක්ෂිත බන්ධනාගාරයේ සහ රැඳවුම් නියෝග යටතේ ගත කර ඇති වසර හතහමාරක කාලය එම සිරදඬුවම් කාලයෙන් අඩු කිරීමට ද විනිසුරු මඩුල්ල නියෝග කර ඇත.

ඒ අනුව, තවත් වසර හතරහමාරක පමණ කාලයක් සිරදඬුවම් විඳීමට සිදුවනු ඇතැයි අධිකරණයේදී සඳහන් විය.

මෙම විත්තිකරු වරද පිළිගෙන නඩු විභාගය තවදුරටත් දීර්ඝ නොකිරීම, ඔහු 63 හැවිරිදි වියේ පසුවීම සහ අනෙකුත් සුවිශේෂී කරුණු සැලකිල්ලට ගනිමින් මෙම දඬුවම නියම කළ බව විනිසුරු මඩුල්ල සඳහන් කරයි.

මේ අතර මෙම නඩුවේ හයවන විත්තිකරු වන මොහොමඩ් රමීස් මොහොමඩ් සාජිත් හෙවත් ‘සාජිත් මවුලවී’ නමැත්තා ද තමන්ට එරෙහි චෝදනා වලට වරද පිළිගැනීම සම්බන්ධයෙන් සිය ස්ථාවරය දැනුම් දීමට කාලය ඉල්ලා ඇත.

ඒ අනුව ඔහුගේ ස්ථාවරය දැනගැනීම සඳහා නඩුව හෙට (29) පෙරවරු 8.00ට යළි කැඳවීමට නියම කළ විනිසුරු මඩුල්ල, එදින පෙරවරු 7.45 වනවිට ඔහු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේය.

පළමු සතියට අදාළ කටයුතු තීරණය කෙරේ

පළමු සතියට අදාළ කටයුතු තීරණය කෙරේ

පාර්ලිමේන්තුව නොවැම්බර් (03) සිට (06) දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර පැවසුවාය.

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (23) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී එම සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය වී තිබේ.

පාර්ලිමේන්තුව රැස්වන මෙම සෑම දිනකම පෙ.ව 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන් කර ඇත. පෙ.ව 10.00 සිට 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 සිට 11.30 දක්වා කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ වන ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ.

නොවැම්බර් (03) අගහරුවාදා, විපක්ෂය විසින් භාර දීමට නියමිත ප්‍රතිශෝධිත විශ්වාසභංග යෝජනාව, විවාදය සඳහා නියම කරන ලදී.

නොවැම්බර් (04) බදාදා පෙ.ව 11.30 සිට ප.ව 5.00 දක්වා ආනයන හා අපනයන පාලන පනත යටතේ අංක 2508/27 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති රෙගුලාසි සහ පරිපූරක ඇස්තමේන්තුවක් අනුමතිය සඳහා විවාදයට ගැනීමට නියමිතව තිබේ.

ඉන්පසු ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතය.

නොවැම්බර් (05) බ්‍රහස්පතින්දා පෙ.ව 11.30 සිට ප.ව 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල් තැබීමේ යෝජනාවට අනුව විවාදයක් පැවැත්වීමට ද මෙහිදී තීරණය වී තිබේ.

නොවැම්බර් (06) සිකුරාදා පෙ.ව 11.30 සිට ප.ව 5.00 දක්වා පහත සඳහන් පෞද්ගලික මන්ත්‍රී යෝජනා විවාදයට ගැනීමට සඳහා කාලය වෙන් කර ඇත.

නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු – පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ඉහළ නැංවීම සඳහා වැඩසටහනක් සකස් කිරීම

ලසිත් භාෂණ ගමගේ – මාර්ග රක්ෂිතයන්හි ගස් සිටුවීම, විද්‍යාත්මකව කළමනාකරණය කිරීම සහ නඩත්තු කිරීම සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීම

නීතිඥ හේෂා විතානගේ අංකුඹුර ආරච්චි – ලංකාවේ සියලුම අධ්‍යාපන විද්‍යා පීඨ විශ්වවිද්‍යාල පීඨ බවට පත් කිරීම

රවීන්ද්‍ර බණ්ඩාර – සුහුරු විදුලිබල පද්ධතියක් සහ සුහුරු මීටර් හඳුන්වා දීම

රෝහණ බණ්ඩාර – පිහිනුම් කුසලතාවය ඉහළ දැමීමේ වැඩසටහනක් සකස් කිරීම

උපුල් කිත්සිරි – උඩවලව ප්‍රදේශය සංචාරක කලාපයක් ලෙස නම් කිරීම.

නීතිඥ හිරුණි විජේසිංහ – ජපන් ජබර ශාකයේ ව්‍යාප්තිය හිතකර ලෙස පාලනය හා මර්දනය කිරීම

අනතුරුව ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා විපක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතය.

නාමල්ට දින නියම කරයි.. අධිකරණයෙන් නියෝග

නාමල්ට දින නියම කරයි.. අධිකරණයෙන් නියෝග

එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද (28) දින කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවට ඉදිරිපත් කළේය.

අනතුරුව අදාළ නඩුකරය නොවැම්බර් මස (19) වැනිදා කැඳවීමට නියම කළ විනිසුරු මඬුල්ල එදින නාමල් රාජපක්ෂව ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස නියෝග කළේය.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ නොවැම්බර් මස (19) වැනිදා බන්ධනාගාරය මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (28) දින නියම කළේය.

අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන මෙම නඩුකරය අද ප්‍රියන්ත ලියනගේ ප්‍රමුඛ කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

මෙහිදී දැනුම්දීමක් නොතිබීම හේතුවෙන් පැමිණිල්ල මෙහෙයවන අල්ලස් කොමිසම වෙනුවෙන් එහි නීතිඥවරු අධිකරණයේ පෙනී සිටියේ නැත.

සැකකාර නාමල් රාජපක්ෂ වෙනුවෙන් නීතිඥ සනත් විජේවර්ධනගේ උපදෙස් මත ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි ප්‍රමුඛ නීතිඥ මණ්ඩලයක් පෙනී සිටියේය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී අල්ලස් ලබා ගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, ශමින්ද්‍ර රාජපක්ෂ, බිස් සොලියුෂන් සමාගම සහ ප්‍රියංකා නියෝමාලි විජේනායක යන අය මෙහි විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනුකර ඇත.

ධීවරයින් සමග යාත්‍රාවක් අතුරුදන්.. ගුවන් සහ නාවික මෙහෙයුම් අරඹයි

ධීවරයින් සමග යාත්‍රාවක් අතුරුදන්.. ගුවන් සහ නාවික මෙහෙයුම් අරඹයි

මාතර, කුඩාවැල්ල ප්‍රදේශයෙන් ධීවරයින් සිව්දෙනෙකු සමග පිටත්ව ගිය යාත්‍රාවක් අතුරුදන්ව ඇති බව නාවික හමුදාව සඳහන් කරයි.

ධීවර යාත්‍රාවක් අතුරුදන්ව ඇති බවට ලද තොරතුරු මත එම යාත්‍රාව සොයා ගුවන් හමුදාව සහ නාවික හමුදාව මෙහෙයුම් අරම්භ කර ඇත.

අදාළ ධීවර යාත්‍රාව පසුගිය (21) වනදා ධීවර කටයුතු සදහා පිටත්ව ගොස් ඇති අතර එහි සිටි ධීවරයින් අවසන් වරට පසුගිය (23) වනදා යාත්‍රාවේ හිමිකරු සමග සන්නිවේදනය සිදුකර ඇත.

ඉන් අනතුරුව අදාළ ධීවර යාත්‍රාව සමග තිබූ සබදතා බිදවැටී ඇති බවට යාත්‍රා හිමිකරු විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව නාවික හමුදාව සඳහන් කරයි.

Follow WhatsApp Channel