Local news

ඔර්නබ් ඉන්දියාවට.. ගුවන් ගමන් අත්හිටුවයි.. ලංකාවට මොකද වෙන්නේ.?

ඔර්නබ් ඉන්දියාවට.. ගුවන් ගමන් අත්හිටුවයි.. ලංකාවට මොකද වෙන්නේ.?

බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති “ඔර්නබ්” නම් ප්‍රබල සුළි කුණාටුව මේ වනවිට ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශ් වෙරළ තීරය හරහා ගොඩබිමට ඇතුළු වෙමින් පවතියි.

බප්ටාලා සහ විසාකාපට්නම් පසුකරමින් සුළිකුණාටුව අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තය හරහා රට මධ්‍යයට ගමන් කරනු ඇති.

විපතට පත්වන ජනතාව වෙනුවෙන් සහන කඳවුරු 2,100කට වැඩි සංඛ්‍යාවක් ස්ථාපනය කොට ආරක්ෂක අංශ ඇතුළු සහන සේවකයින් 6,000ක් අනියුක්ත කර ඇති බව ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රධාන අමාත්‍ය චන්ද්‍රබාබු නායිදු සඳහන් කරයි.

එම ප්‍රාන්තයේ පුද්ගලයින් මිලියන 50කට වැඩි සංඛ්‍යාවක් ජීවත් වන අතර දැනට ප්‍රාන්තයේ ගුවන් තොටුපොළ තුනක සියලුම ගුවන් ගමන් අත්හිටුවා ඇත.

ප්‍රාන්තයේ පැයට කිලෝ මීටර 150ක පමණ ඉතා තද සුළං අපේක්ෂා කළ හැකි බවත් ඔඩීෂා ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක 16ක සියලුම පාසැල් වසා දමා ඇති බවද ඉන්දීය කාලගුණ අංශ සඳහන් කරයි.

ඔර්නබ් සුළිකුණාටුවත් සමග කාලගුණයේ සිදුවන වෙනස්කම් හේතුවෙන් හිමාලයා කඳු වැටියේ ඇතැම් ප්‍රදේශ තරණය කිරීමට බලපත්‍ර ලබාදීම අත්හිටුවීමට නේපාලය පියවර ගෙන ඇත.

මේ අතර ශ්‍රී ලංකාවේ කාලගුණ තත්ත්වය කෙරෙහි එම පද්ධතියෙන් ඇති වන බලපෑම ක්‍රමයෙන් අඩු වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

බස්නාහිර, සබරගමුව පළාත් සහ මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඌව පළාතෙත්, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තද සුළං ඇතිවිය හැකි බවද සඳහන් කරයි.

පළාත් සභා මැතිවරණයට මොකද වෙන්නේ.?

පළාත් සභා මැතිවරණයට මොකද වෙන්නේ.?

පළාත් සභා ඡන්ද විමසීම පැවැත්විය යුතු මැතිවරණ ක්‍රමය පිළිබඳව විවිධ දේශපාලන පක්ෂවල අදහස් හා යෝජනා ලබා ගැනීම පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා බලා වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් පත් කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් සිදු කරන ලදී.

එම විශේෂ කාරක සභාව එහි සභාපති අමාත්‍ය විජිත හේරත්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්විය.

මෙහිදී අකිල ඉලංගෙයි මහජන කොංග්‍රසය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී තාහිර් මරික්කාර්, නව නිදහස් පෙරමුණ නියෝජනය කරමින් නුවන් බෙල්ලන්තුඩාව, ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය නියෝජනය කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් ද සිය පක්ෂවල අදහස් හා යෝජනා ඉදිරිපත් කළහ.

පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීම සඳහා අනුගමනය කළ යුතු මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් එක් එක් දේශපාලන පක්ෂවල අදහස් ලබා ගැනීම මෙම සාකච්ඡාවේ අරමුණ විය.

කටුනායක ගුවන්තොටුපළ ගැන තීරණයක්

කටුනායක ගුවන්තොටුපළ ගැන තීරණයක්

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන් ක්‍රියාත්මක ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

කටුනායක ගුවන් තොටුපළ සංවර්ධනයට සමගාමීව දිවයිනේ සෙසු අභ්‍යන්තර ගුවන් තොටුපළද අනාගත අවශ්‍යතා වලට ගැළපෙන පරිදි සංවර්ධනය කළ යුතු බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කළේ, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට අදාළ 2027 අයවැය යෝජනා පිළිබඳව (27) දින ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවට එක්වෙමිනි.

කටුනායක ගුවන් තොටුපළ සංවර්ධනයට අදාළ ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය කිරීම සහ ඊට සමගාමීව මහාමාර්ග ඇතුළු යටිතල පහසුකම් තවදුරටත් පුළුල් කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.

එමෙන්ම, කටුනායක ගුවන් තොටුපළ ඇතුළු දිවයිනේ සෙසු ගුවන් තොටුපළවල මගී ධාරිතාව ඉහළ නැංවීම සඳහා ක්‍රියාත්මක ව්‍යාපෘතිවල වත්මන් ප්‍රගතිය මෙන්ම ගුවන් මගීන්ට වඩාත් පහසුකම් සැලසෙන අයුරින් ගුවන් තොටුපළ සංවර්ධනය කිරීම කෙරෙහිද මෙහිදී විශේෂ අවධානය යොමු විය.

තෙල් මිලේ වෙනසක්

තෙල් මිලේ වෙනසක්

අද (28) දින ලෝක වෙළෙදපොළේ බොරතෙල් මිලේ වෙනසක් සිදුව ඇත.

ඒ අනුව ඉහළ ගිය බො⁣රතෙල් මිල සුළු අගයකින් පහළ ගොස් ඇත.

WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 99.50 ලෙස සටහන්ව ඇත.

BRENT බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 113.06 ලෙස සටහන්ව ඇත.

MURBAN බොරතෙල් බැරලයක මිල ඩොලර් 117.06 ලෙස සටහන්ව ඇත.

විදේශ ගමන් බලපත්‍රය සඳහා නව පහසුකම්

විදේශ ගමන් බලපත්‍රය සඳහා නව පහසුකම්

විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා ප්‍රාදේශීය කාර්යාල වලින් මාර්ගගතව (Online) වේලාවන් වෙන්කර ගැනීමේ පහසුකම (29) වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

මෙම නව පහසුකම මහනුවර, යාපනය, කුරුණෑගල, වවුනියාව සහ මාතර යන ප්‍රාදේශීය කාර්යාල හරහා ලබාගත හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව, මහජනතාවට ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිස දිනයක් සහ වේලාවක් වෙන්කරවා ගැනීමට හැකියාව ඇත.

කජ්ජාට පෙම් කරමින් ඝාතනය කළ අචිනිගේ පැටිකිරිය

කජ්ජාට පෙම් කරමින් ඝාතනය කළ අචිනිගේ පැටිකිරිය

පසුගිය වසරේදී අරුණ විදානගමගේ නොහොත් “කජ්ජා” සහ ඔහුගේ දරු දෙදෙනා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අනූෂා ලක්මාලි නොහොත් “අචිනි” නම් කාන්තාව ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුව කටුනායක ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත්තේය.

එම ඝාතනයෙන් පසුව කජ්ජාගේ දුරකතන දත්ත වාර්තා කිරීමේදී, 34 හැවිරිදි අනූෂා ලක්මාලි නොහොත් “අචිනි” නම් කාන්තාවක් ඔහුට අවසන් වරට දුරකතන ඇමතුම් ලබාදී ඇති බව අනාවරණය වී ඇති අතර පසුව ඇය අත්අඩංගුවට ගැනීමට පොලිසිය විමර්ශන සිදුකළ අතර එහීදී ඇය විදේශගතවී ඇත.

අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජාත්‍යන්තර පොලිසිය හරහා අදාළ කාන්තාවට රතු වරෙන්තුවක් නිකුත් කරනු ලැබු අතර එහි ප්‍රතිඵලයක් ලෙස අදාළ කාන්තාව ඉකුත් අගෝස්තු (30) වැනිදා ඩුබායි හී සාජා නුවර සිට මෙරටට පැමිණීමට යෑමේදී එරට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

කජ්ජා ඝාතනය වූ දින උදෑසන තමන් ඔහුව හමුවූ බවත් ඔහු සමග සමීප සබඳතාවක් පැවැත්වූ බවත් ඔහු ඝාතනය කිරීම සඳහා බැකෝ සමන්ගේ උපදෙස් මත තමන් ඔහුව ප්‍රදේශයේ පිහිටි හෝටලයක් අසළට දුරකථන ඇමතුමක් ලබාදී කැඳවූ බවද ඇය විමර්ශන නිලධාරීන් හමුවේ හෙළිකර ඇත.

කජ්ජාගේ ඝාතනයෙන් පසුව තමන් පිළිබඳව හෙළිවීමත් සමග 2025 මාර්තු (02) වැනිදා තමන් ගුවන්ගමන් බලපත්‍රය සකසාගෙන මාර්තු (05) වැනිදා තායිලන්තයේ බැංකොක් නුවරට පලාගිය බවත් අනතුරුව මැලේසියාවට ගොස් ඩුබායි රාජ්‍යයට ගිය බවද ඇය හෙළිකර ඇත.

අත්අඩංගුවට ගත් ඇය වැඩිදුර විමර්ශන සඳහා කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූලස්ථානය වෙත රැගෙන එනු ලැබුවේය.

ශිරන්තිගේ ජීවිතය අවදානම්.. ජීවතුන් අතර සිටීද නැද්ද කියන්න බෑ

ශිරන්තිගේ ජීවිතය අවදානම්.. ජීවතුන් අතර සිටීද නැද්ද කියන්න බෑ

එයාර්බස් ගනුදෙනුවේදී රුපියල් මිලියන 100ක අල්ලසක් ලබාගැනීමට සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහි නඩුව විභාග කිරීම සඳහා අගවිනිසුරුවරයා විසින් විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයක් නම් කර ඇතැයි නීතිපතිවරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

එහිදී නාමල් රාජපක්ෂ වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතීඥ අලි සබ්රි සඳහන් කළේ,

“ව්‍යවස්ථාවේ සඳහන් වෙලා තියෙනවා වරද ඔප්පු කරන තෙක් ඕනෑම සැකකරුවෙකු නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනයේ සිටින බව. අපි අපිට පැමිණීමට පවසන ඕනෑම දවසක එන්නම් මහාධිකරණය හමුවට. එදිනට මහාධිකරණය ඇප ලබා දෙනවාද.? රක්ෂිත බන්ධනාගාරගත කරනවාද.? සලකා බලයි.

ඒක අද අදාළ වන්නේ නැහැ. අද මේ අධිකරණයට සැකකරුට ඇප ලබා දෙන්න පුළුවන්. එම නිසා ඕනෑම කොන්දේසියක් මත ඇප ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා.”

මහමහාධිකරණයේ අධිචෝදනා ගොනු කර ඇති බැවින් මහේස්ත්‍රාත් අධිකරණයට ඇප නියම කිරීමේ බලයක් නැතැයි එම අවස්තාවේදි පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර සඳහන් කළේ, මහාධිකරණයේ සිතාසි ලැබෙන තෙක් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.

අනතුරුව නාමල් රාජපක්ෂ වෙනුවෙන් ජනාධිපති නීතීඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු සඳහන් කළේ,

“ස්වාමීනි., මාගේ උගත් මිතුරා සමග මම එකඟ වෙනවා. දැන් මේ නඩුකරය සම්බන්ධව අධිකරණ බලය පවතින්නේ ත්‍රිපුද්ගල මහාධිකරණයට. මොකද දැනටමත් අධිචෝදනා පත්‍ර ගොනු කර තිබෙන නිසා.

අධිචෝදනා පත්‍ර ගොනු වීමත් සමග මෙම නඩුව සම්බන්ධයෙන් මේ අධිකරණයෙන් ලබා දී තිබෙව නියෝග ද අවසන් වෙනවා. සැකකරුට ඇප ලබා දෙනවාද.? නැද්ද.? කියන බලය තියෙන්නේ මහාධිකරණයට.

එම නිසා මෙම අධිකරණයේ මෙම නඩු කටයුත්ත අවසන් කර මීට බලපාන ඉදිරි නියෝගයක් නිකුත් නොකරන ලෙස මම ඉල්ලා සිටිනවා.”

අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම සඳහන් කළේ,

“ඇප ලබා දීමට මේ අවස්ථාවේ මේ අධිකරණයට හැකියාවක් නෑ. මට මේ අවස්ථාවේ කළ හැකි එකම නියෝගය අධිචෝදනා පත්‍ර ගොනු කර ඇති ත්‍රිපුද්ගල මහාධිකරණයට හැකි ඉක්මනින් සැකකරු ඉදිරිපත් කිරීමට නියෝග කිරීම පමණයි.

එම නිසා (28) වැනිදා සැකකරුව අධිචෝදනා ගොනුකර ඇති ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයට ඉදිරිපත් කරන්න. අනතුරුව එළැඹෙන (30) වැනිදා ඒ පිළිබඳව මට වාර්තා කරන්න.

ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණයට සැකකරු ඉදිරිපත් කරන තුරු බන්ධනාගාර භාරයේ එළැඹෙන (29) වැනිදා දක්වා සැකකරු රඳවා තබා ගන්නා ලෙස නියෝග කරනවා.”

මේ අතර රුපියල් මිලියන 70ක් අල්ලස් ගැනීම සම්බන්ධයෙන් චෝදනා නැගෙන ක්‍රිෂ් නඩුවට අදාළව සුවිශේෂි කරුණු මත ඇප ලබාදෙන ලෙස ඉල්ලා නාමල් රාජපක්ෂගේ නීතීඥ අලි සබ්රි ගොනුකළ මෝසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ සලකා බැලුණේය.

එහිදී ජනාධිපති අලි සබ්රි සඳහන් කළේ,

“මොහුගේ පියා මේ වනවිට විටින් විට ඇතිවන අධි රුධිර පීඩනයෙන් සහ විශාදය යන රෝගයන් අසාධ්‍ය වී රෝහල් ගතවී ප්‍රතිකාර ලබාගෙන නිවසට ගොස් තිබෙනවා.

නමුත් ඔහුව රැක බලා ගැනීමට අවශ්‍යයි. ඔහුව බලා ගැනීම මෙතෙක් කාලයක් ඉටු කළේ මෙම සැකකරුගේ මව වන ශිරන්ති රාජපක්ෂ. නමුත් ඇයත් මේ වනවිට හෘද රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගතව සිටිනවා.

ඇයගේ හෘදයට රුධිරය සපයන ප්‍රධාන නළය අවහිර වී තිබෙනවා. එම නිසා හෘදයට ඔක්සිජන් සපයන මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිරවීමට ඉඩ තිබෙන බවට වෛද්‍යවරුන් හඳුනාගෙන තිබෙනවා.

ඇයට එන්ජියෝ ග්‍රෑම් පරීක්ෂණයක් සහ තවත් ශල්‍ය කර්ම දෙකක් කිරීමට වෛද්‍යවරුන් නිර්දේශ කර තිබුණා. ඉන් එක් ශල්‍ය කර්මයක් මේ වනවිට සිදුකර ඇයව හෘද ස්පන්ධන යන්ත්‍රයක් ආධාරයෙන් දැන් රෝහලේ සිටිනවා.

වෛද්‍ය නිර්දේශ අනුව ඇයට දෙවන සැත්කම ලෙස විවෘත හදවත් සැත්කම අද පස්වරු හතරට සිදු කරනවා. එය ජීවිත අවදානමක් සහිත සැත්කමක්. අද පස්වරුවේ මේ සැත්කම සිදුකළ පසු මේ සැකකරුගේ මව ජීවතුන් අතර සිටීද නැද්ද කියාවත් ස්ථිරව කියන්න බෑ.

දැන් සැකකරුගේ පියා මහින්ද රාජපක්ෂව ඛලා ගැනීමට සැකකරුගේ මවට හැකියාවක් නෑ. මොකද සැකකරුගේ මවවත් දැන් රැක බලා ගැනීමට කෙනෙකු අවශ්‍ය තත්ත්වයක් උද්ගතව තිබෙනවා.

අද මේ සැකකරුට ඇප ලබා දුනහොත් ඔහු ගිහින් ඔහුගේ මව බලයි. මොහු මොහුගේ මව දකින අවසන් දවස අද වෙන්නත් පුළුවන් ස්වාමීනි. මොහු මහින්ද රාජපක්ෂගේ සහ ශිරන්ති රාජපක්ෂගේ වැඩිමහල් පුත්‍රයා.

මොවුන් එකම නිවසේ ජීවත් වුණේ. සැකකරුවකු රක්ෂිත බන්ධනාගාර ගතකිරීම දඬුවමක් හැටියට ක්‍රියාත්මක නොවිය යුතුයි.”

අනතුරුව සහකාර නීති අධ්‍යක්ෂිකා තනුජා බණ්ඩාර සඳහන් කළේ,

“මෙම සැකකරු වෙනුවෙන් අද දිනයේ ඉදිරිපත් කරපු කරුණු වලට ලිඛිතව දීර්ඝ කරුණු දැක්වීමක් සිදු කිරීමට පැමිණිල්ලට කාලය අවශ්‍යයි. සැකකරු දූෂණ විරෝධී පනත ප‍්‍රකාරව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉදිරීපත් කර ඇති සහතිකය අනුව විමර්ශන අවසන් වන තුරු රක්ෂිත බන්ධනාගාර ගත කළ යුතුයි.

සුවිශේෂී කරුණු නැති අවස්ථාවක සැකකරුට ඇප ලබාදීමට නොහැකිය. සැකකරුට එරෙහිව දූෂණ විරෝධී පනතේ 149 වගන්තිය යටතේ ප‍්‍රකාරව ඉදිරීපත් කර ඇති සහතිකය අභියෝගයට ලක් කළ නොහැකියි.”

අනතුරුව දෙපාර්ශවයේ කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරයා පැමිණිල්ල විසින් සැකකරුගේ ඇප ඉල්ලීම සම්බන්ධව දරන ස්ථාවරය (28) දින අධිකරණයට දැනුම් දෙන ලෙස නියෝග කළේය.

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මියගිය සහ තුවාල ලැබූ නිලධාරින්ට වන්දි

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මියගිය සහ තුවාල ලැබූ නිලධාරින්ට වන්දි

2026-07-05 සහ 06 දිනයන්හි මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම් හේතුවෙන් එහි රාජකාරියේ යෙදී සිටියදී ජීවිතක්ෂයට පත් වූ සහ තුවාල ලැබූ බන්ධනාගාර නිලධාරින් සඳහා වන්දි සහ සහන ලබාදීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස 2026.08.03 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම්ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට තීරණය කරනු ලැබ ඇත.

එකී නිලධාරි කමිටුව විසින් සිය නිර්දේශ සහිත වාර්තාව ඉදිරිපත් කරනු ලැබ තිබේ. ඒ අනුව, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා විසින් එම වාර්තාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලදුව, එකී වාර්තාවේ සඳහන් පහත නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිණිස අනුමැතිය ලබා දීමට තීරණය කරන ලදී:

(i) රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 22/93හි විධිවිධාන යටතේ ගෙවනු ලබන වන්දිවලට අමතරව, පහත සඳහන් පරිදි විශේෂ වන්දි මුදලක් ගෙවීම:

ජීවිතක්ෂයට පත් වූ සෑම නිලධරයෙකුටම රුපියල් මිලියන 5ක් බැගින් වූ වන්දි මුදලක් ගෙවීම.

පූර්ණ ආබාධිත තත්ත්වයට පත් නිලධරයෙකුට රුපියල් මිලියන 5ක් වූ වන්දි මුදලක් ගෙවීම.

අර්ධ-ආබාධිත උපරිම ඉපයීමේ ශක්තිය ක්ෂය වීමේ ප්‍රතිශතය 100%ක් වූ තත්ත්වයට පත් වූ නිලධරයෙකුට රුපියල් මිලියන 4ක් වූ වන්දි මුදලක් ගෙවීම.

තාවකාලික අර්ධ-ආබාධිත තත්ත්වයට පත් වූ නිලධරයෙකුට රුපියල් මිලියන 3ක් වූ වන්දි මුදලක් ගෙවීම.

(ii) බන්ධනාගාර උපක්‍රමික බලකායට නෛතික තත්ත්වය ලබා දීමට හැකි වන පරිදි යෝග්‍ය විධිවිධාන ඇතුළත් කරමින් බන්ධනාගාර ආඥාපනත සංශෝධනය කිරීම.

(iii) ප්‍රමාණවත් සහ සුදුසු නිලධාරින් සංඛ්‍යාවක් බන්ධනාගාර උපක්‍රමික බලකායට බඳවා ගැනීම තුළින් එය ශක්තිමත් කිරීම.

(iv) බන්ධනාගාර උපක්‍රමික බලකාය සඳහා අදාළ ක්ෂේත්‍රයන්හි විධිමත් පුහුණුවක් ලබා දීම සහ අවශ්‍ය නවීන උපකරණ එම බලකාය වෙත ලබා දීම.

(v) බන්ධනාගාර උපක්‍රමික බලකා මූලස්ථානයක් සුදුසු ස්ථානයක පිහිටුවීමට පියවර ගැනීම.

පොලිස් සිර මැදිරියේදී මියගිය තරුණයාගේ මරණය ගැන විවෘත තීන්දුවක්

පොලිස් සිර මැදිරියේදී මියගිය තරුණයාගේ මරණය ගැන විවෘත තීන්දුවක්

හෝමාගම පොලිස් අත්අඩංගුවේ සිටියදී මියගිය සැකකරුගේ පශ්චාත් මරණ පරීක්ෂණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබාදී ඇත.

අදාළ මරණ පරීක්ෂණය කළුබෝවිල ශික්ෂණ රෝහලේදී අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් සිදු කිරීමෙන් අනතුරුව එම විවෘත තීන්දුව ලබාදී ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ කිරිවත්තුඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි 29 හැවිරිදි දෙදරු පියෙක් වන අතර පශ්චාත් මරණ පරික්ෂණයෙන් අනතුරුව දේහය ඥාතීන් වෙත භාරදී ඇත.

හෝමාගම පොලීසිය විසින් අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන සිරමැදිරියේ රඳවා සිටියදී හදිසියේ අසනීප වී රෝහල්ගත කිරීමෙන් පසුව මියගොස් ඇත.

එම තරුණයාට වධසිංහා කළ බවට තොරතුරු ලැබෙන අතර තට්ටංවල, පිටේ සහ හිස ඇතුළු ස්ථාන ගණනාවක තැලුම් ලකුණු ඇති අතර මරණ පරීක්ෂණයේ තීරණය අනුව වැඩිදුර විමර්ශන පොලිස්පති නියමයෙන් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයට බාරදෙයි.

ධීවර කර්මාන්තයට නව වෙනසක්.. මත්ස්‍ය නිෂ්පාදන අඩු මිලට

ධීවර කර්මාන්තයට නව වෙනසක්.. මත්ස්‍ය නිෂ්පාදන අඩු මිලට

ධීවර කර්මාන්තය යැපුම් ආර්ථිකයෙන් ඔබ්බට ගෙන ගොස් වාණිජ කර්මාන්තයක් බවට පත් කිරීම රජයේ අපේක්ෂාව බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

ඒ සඳහා අවශ්‍ය නව ආයෝජන සිදු කිරීමට සියලු පහසුකම් සැපයීමට රජය සූදානම් බවත් ධීවර කර්මාන්තයේ දියුණුව උදෙසා ක්‍රියාත්මක කළ යුතු නව වැඩසටහන් පිළිබඳ විධිමත් සැලසුම් සකස් කර ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

මත්ස්‍ය නිෂ්පාදනය ඉහළ නැංවීම මෙන්ම, ධීවර ප්‍රජාවගේ ආදායම් තත්ත්වය වැඩිදියුණු කිරීම අරමුණු කරගනිමින් මෙම සැලසුම් සකස් කිරීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කළේ ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයට අදාළ 2027 අයවැය යෝජනා පිළිබඳව අද (27) දින ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවට එක්වෙමිනි.

ජනතාවගේ ජීවන වියදම අවම කිරීමේ අරමුණින් මත්ස්‍ය නිෂ්පාදන සාධාරණ සහ අඩු මිල ගණන් යටතේ පාරිභෝගික ජනතාව වෙත ලබාදීමට අවශ්‍ය ක්‍රියාමාර්ග කෙරෙහි රජයේ අවධානය යොමුව තිබෙන අතර, ඊට අදාළව ධීවර අමාත්‍යාංශය ඉදිරිපත් කළ යෝජනා පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.

ධීවර කර්මාන්තයේ වර්තමාන තත්ත්වය, ලංකා ධීවර සංස්ථාවේ කටයුතු, පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ ක්‍රියාකාරිත්වය, එහිදී මතුව ඇති ගැටලු සහ අවශ්‍ය යටිතල පහසුකම් පිළිබඳවද සාකච්ඡා විය.

විශේෂයෙන් ගැඹුරු මුහුදේ ධීවර කර්මාන්තය ප්‍රවර්ධනයට නවීන තාක්ෂණයෙන් සමන්විත යාත්‍රා හඳුන්වාදීමේ අවශ්‍යතාව මෙම සාකච්ඡාවේදී අවධාරණය කෙරුණු අතර, ඒ සඳහා පෞද්ගලික අංශය සම්බන්ධ කර ගැනීමේ වැඩසටහනක් සැලසුම් කර ක්‍රියාත්මක කිරීම පිළිබඳවද සාකච්ඡා විය.

තිරසර වෙරළබඩ යටිතල පහසුකම් සංවර්ධනය සහ හරිත වරාය සංවර්ධන ව්‍යාපෘති පිළිබඳවද ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය යොමු කෙරිණි.

ශ්‍රී ලංකාවේ වාර්ෂික මත්ස්‍ය නිෂ්පාදනය මෙට්‍රික් ටොන් ලක්ෂ 4කට ආසන්න මට්ටමක පවතින බවත්, ඉන් සියයට 40ක පමණ ප්‍රමාණයක පසු අස්වනු නාස්තියක් සිදුවන බවත් මෙහිදී අනාවරණය විය. එම නාස්තිය අවම කරගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවද සාකච්ඡා විය.

ධීවර කර්මාන්තයේ උන්නතිය සහ ප්‍රවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක මූල්‍ය සහායක වැඩසටහන් පිළිබඳවද ජනාධිපතිවරයා විමසා බැලූ අතර, ධීවර ණය යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීමේදී මතුව ඇති ගැටලු සම්බන්ධයෙන්ද අවධානය යොමු විය.

ධීවර කර්මාන්තය, සෙසු කර්මාන්තවලින් වෙනස් බැවින්, ණය යෝජනා ක්‍රම සකස් කිරීමේදී එම ක්ෂේත්‍රය වෙනුවෙන්ම නිර්ණායක සකස් කළ යුතු බවට ජනාධිපතිවරයා විසින් මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ට මෙහිදී උපදෙස් ලබා දෙන ලදී.

ජලජීවී වගාව ප්‍රවර්ධනය කිරීම, ඒ සඳහා නව මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම සහ එම ක්ෂේත්‍රයේ වර්තමාන තත්ත්වය පිළිබඳවද සාකච්ඡා කෙරිණි. මිරිදිය ධීවර කර්මාන්තයට අදාළව ඉඩම් සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු මහවැලි අධිකාරිය සමග සාකච්ඡා කර විසඳා ගන්නා ලෙසද ජනාධිපතිවරයා විසින් උපදෙස් දෙන ලදී.

Follow WhatsApp Channel