Local news

පොලිස් සිර මැදිරියේදී මියගිය තරුණයාගේ මරණය ගැන විවෘත තීන්දුවක්

පොලිස් සිර මැදිරියේදී මියගිය තරුණයාගේ මරණය ගැන විවෘත තීන්දුවක්

හෝමාගම පොලිස් අත්අඩංගුවේ සිටියදී මියගිය සැකකරුගේ පශ්චාත් මරණ පරීක්ෂණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබාදී ඇත.

අදාළ මරණ පරීක්ෂණය කළුබෝවිල ශික්ෂණ රෝහලේදී අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් සිදු කිරීමෙන් අනතුරුව එම විවෘත තීන්දුව ලබාදී ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ කිරිවත්තුඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි 29 හැවිරිදි දෙදරු පියෙක් වන අතර පශ්චාත් මරණ පරික්ෂණයෙන් අනතුරුව දේහය ඥාතීන් වෙත භාරදී ඇත.

හෝමාගම පොලීසිය විසින් අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන සිරමැදිරියේ රඳවා සිටියදී හදිසියේ අසනීප වී රෝහල්ගත කිරීමෙන් පසුව මියගොස් ඇත.

එම තරුණයාට වධසිංහා කළ බවට තොරතුරු ලැබෙන අතර තට්ටංවල, පිටේ සහ හිස ඇතුළු ස්ථාන ගණනාවක තැලුම් ලකුණු ඇති අතර මරණ පරීක්ෂණයේ තීරණය අනුව වැඩිදුර විමර්ශන පොලිස්පති නියමයෙන් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයට බාරදෙයි.

ධීවර කර්මාන්තයට නව වෙනසක්.. මත්ස්‍ය නිෂ්පාදන අඩු මිලට

ධීවර කර්මාන්තයට නව වෙනසක්.. මත්ස්‍ය නිෂ්පාදන අඩු මිලට

ධීවර කර්මාන්තය යැපුම් ආර්ථිකයෙන් ඔබ්බට ගෙන ගොස් වාණිජ කර්මාන්තයක් බවට පත් කිරීම රජයේ අපේක්ෂාව බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

ඒ සඳහා අවශ්‍ය නව ආයෝජන සිදු කිරීමට සියලු පහසුකම් සැපයීමට රජය සූදානම් බවත් ධීවර කර්මාන්තයේ දියුණුව උදෙසා ක්‍රියාත්මක කළ යුතු නව වැඩසටහන් පිළිබඳ විධිමත් සැලසුම් සකස් කර ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

මත්ස්‍ය නිෂ්පාදනය ඉහළ නැංවීම මෙන්ම, ධීවර ප්‍රජාවගේ ආදායම් තත්ත්වය වැඩිදියුණු කිරීම අරමුණු කරගනිමින් මෙම සැලසුම් සකස් කිරීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කළේ ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයට අදාළ 2027 අයවැය යෝජනා පිළිබඳව අද (27) දින ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවට එක්වෙමිනි.

ජනතාවගේ ජීවන වියදම අවම කිරීමේ අරමුණින් මත්ස්‍ය නිෂ්පාදන සාධාරණ සහ අඩු මිල ගණන් යටතේ පාරිභෝගික ජනතාව වෙත ලබාදීමට අවශ්‍ය ක්‍රියාමාර්ග කෙරෙහි රජයේ අවධානය යොමුව තිබෙන අතර, ඊට අදාළව ධීවර අමාත්‍යාංශය ඉදිරිපත් කළ යෝජනා පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.

ධීවර කර්මාන්තයේ වර්තමාන තත්ත්වය, ලංකා ධීවර සංස්ථාවේ කටයුතු, පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ ක්‍රියාකාරිත්වය, එහිදී මතුව ඇති ගැටලු සහ අවශ්‍ය යටිතල පහසුකම් පිළිබඳවද සාකච්ඡා විය.

විශේෂයෙන් ගැඹුරු මුහුදේ ධීවර කර්මාන්තය ප්‍රවර්ධනයට නවීන තාක්ෂණයෙන් සමන්විත යාත්‍රා හඳුන්වාදීමේ අවශ්‍යතාව මෙම සාකච්ඡාවේදී අවධාරණය කෙරුණු අතර, ඒ සඳහා පෞද්ගලික අංශය සම්බන්ධ කර ගැනීමේ වැඩසටහනක් සැලසුම් කර ක්‍රියාත්මක කිරීම පිළිබඳවද සාකච්ඡා විය.

තිරසර වෙරළබඩ යටිතල පහසුකම් සංවර්ධනය සහ හරිත වරාය සංවර්ධන ව්‍යාපෘති පිළිබඳවද ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය යොමු කෙරිණි.

ශ්‍රී ලංකාවේ වාර්ෂික මත්ස්‍ය නිෂ්පාදනය මෙට්‍රික් ටොන් ලක්ෂ 4කට ආසන්න මට්ටමක පවතින බවත්, ඉන් සියයට 40ක පමණ ප්‍රමාණයක පසු අස්වනු නාස්තියක් සිදුවන බවත් මෙහිදී අනාවරණය විය. එම නාස්තිය අවම කරගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවද සාකච්ඡා විය.

ධීවර කර්මාන්තයේ උන්නතිය සහ ප්‍රවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක මූල්‍ය සහායක වැඩසටහන් පිළිබඳවද ජනාධිපතිවරයා විමසා බැලූ අතර, ධීවර ණය යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීමේදී මතුව ඇති ගැටලු සම්බන්ධයෙන්ද අවධානය යොමු විය.

ධීවර කර්මාන්තය, සෙසු කර්මාන්තවලින් වෙනස් බැවින්, ණය යෝජනා ක්‍රම සකස් කිරීමේදී එම ක්ෂේත්‍රය වෙනුවෙන්ම නිර්ණායක සකස් කළ යුතු බවට ජනාධිපතිවරයා විසින් මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ට මෙහිදී උපදෙස් ලබා දෙන ලදී.

ජලජීවී වගාව ප්‍රවර්ධනය කිරීම, ඒ සඳහා නව මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම සහ එම ක්ෂේත්‍රයේ වර්තමාන තත්ත්වය පිළිබඳවද සාකච්ඡා කෙරිණි. මිරිදිය ධීවර කර්මාන්තයට අදාළව ඉඩම් සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු මහවැලි අධිකාරිය සමග සාකච්ඡා කර විසඳා ගන්නා ලෙසද ජනාධිපතිවරයා විසින් උපදෙස් දෙන ලදී.

ඉන්ධන මිල ඉහළ දැමීම ගැන ඇමතිගෙන් ප්‍රකාශයක්

ඉන්ධන මිල ඉහළ දැමීම ගැන ඇමතිගෙන් ප්‍රකාශයක්

මේ වනවිට රජය මගින් තෙල් මිලක් ඉදිරිපත් කළහොත් වැඩිවන මිල රජයට දරාගැනීමට සිදුවනු ඇති බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

මැදපෙරදිග ඉන්ධන මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින අවස්ථාවක ලංකා IOC සමාගම සහ සයිනොපැක් සමාගම ඉන්ධන මිල ඉහළ දැමීමට පියවර ගෙන ඇති බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

මේ වනවිට එම සමාගම් ඉන්ධන බෙදා හැරීම සීමා කර ඇති නමුත් ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවතින තත්ත්වය හමුවේ හැකි උපරිම ආකාරයෙන් ඉන්ධන බෙදා හැරීම් සිදුකරගෙන යන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ,

“ඒක තමයි අපේ තෙල් වෙළෙඳපොළ බෙදිලා තියෙන ආකාරය. ඒක අවුරුද්දකින් දෙකකින් වුණ දෙයක් නෙමෙයි. අවුරුදු 20කට වැඩි කාලයක් තිස්සේ තෙල් වෙළෙඳපොළ මේ විදිහට තමයි බෙදිලා තිබුණේ.

පහුගිය රජයන්වල ලොකු කතා කියලා ඩොලර් ආරක්ෂා කරගන්න කියලා තෙල් වෙළෙඳපොළේ තවත් කොටස් ලබා දුන්නා සමාගම්වලට. එතකොට දැන් රජය මගින් තෙල් මිලක් ඉදිරිපත් කළොත් ඒ වැඩිවෙන මිල රජය මගින් දරාගන්න සිද්ධ වෙනවා.

අපේ භාණ්ඩාගාරයෙන් තවත් කොටසක් දෙන්න සිද්ධ වෙනවා අපි විසින් මිල නියම කළොත්. ඒ නිසා මේ වෙළෙඳපොළේ පවතින තත්ත්වයක් තියෙනවා ඒකට තමයි දැන් අපි කටයුතු කරගෙන යන්නේ තෙල් සංස්ථාවේ වැඩිපුර පිරවුම්හල් ප්‍රමාණයක් ඇති කරන්නට.

තෙල් සංස්ථාව හරහා යම් සහනයක් ලබා දීලා අපිට ජනතාවට තෙල් සැපයීමේ හැකියාව තිබෙනවා ඒක තමයි දැන් අපි කරමින් යන්නේ වෙළෙඳපොළ කඩාවැටෙන්න නොදී. නමුත් තෙල් සමාගම්වලට මේ වෙළෙඳපොළ බෙදිලා තියෙන ආකාරය අනුව තමයි මේ තත්ත්වයට මුහුණ දෙන්න සිදුවෙලා තිබෙන්නේ.

අපි සමහර තැන් ප්‍රමාණයක් හඳුනගෙන තිබෙනවා තෙල් සංස්ථාවට පිරවුම්හල් නැති ඒ තැන්වලට ශෙඩ් දාන එක තමයි දැන් අපේ ඉලක්කය වෙලා තියෙන්නේ. තෙල් සංස්ථාව තෙල් බෙදීම පුළුවන් උපරිම ආකාරයෙන් කරනවා මේ තියෙන සහනාධාරයත් සහිතව. ඒක තමයි දැන් අපිට කරන්න පුළුවන් තත්ත්වය.”

අද (27) දින පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කරයි.

බැසිල් දුටු තැන අත්අඩංගුවට ගන්න නියෝග

බැසිල් දුටු තැන අත්අඩංගුවට ගන්න නියෝග

මේ වනවිට අධිකරණය මඟහරිමින් සිටින හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම සඳහා මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් විවෘත වරෙන්තුවක් නිකුත් කර ඇත.

බ්‍රවුන්ස් හිල් (Brown’s Hill) ඉඩම් නඩුව සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) විසින් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇත.

නාමල්ට අධිකරණයෙන් දුන් නියෝගය

නාමල්ට අධිකරණයෙන් දුන් නියෝගය

එයාර් බස් ගනුදෙනුව සම්බන්ධව අධිචෝදනා ගොනු කළ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් හෙට (28) දින කරුණු දක්වන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට නියෝග කර ඇත.

ඒ අනුව අධිචෝදනා ගොනුකර ඇති ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණයට හෙට (28) දින නාමල් රාජපක්ෂ ඉදිරිපත් කිරීමට ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළ අතර ඇප ප්‍රත්ක්ෂේප කරමින් එතෙක් ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

නාමල් රාජපක්ෂට ඇප නියම කිරීමට තමන්ට නොහැකි බවත්, තමන්ට කළ හැකි දෙය වන්නේ සැකකරු අධිචෝදනා ගොනුකර ඇති මහාධිකරණයට හැකි ඉක්මණින් ඉදිරිපත් කිරීම බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම සඳහන් කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වෙනුවෙන් අද (27) ඉදිරිපත් කර තිබූ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් සිය ස්ථාවරය දැනුම් දෙමින් මහේස්ත්‍රාත්වරයා මේ බව සඳහන් කරයි.

පාසල් වලට නිවාඩු ලබාදීම ගැන තීරණයක්

පාසල් වලට නිවාඩු ලබාදීම ගැන තීරණයක්

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අද (27) දින දිවයිනේ සියලුම පාසල් වසා තැබීමට තීරණය කළේය.

කෙසේ වෙතත්, පවතින අයහපත් කාලගුණයත් සමග අවශ්‍යතාව පරිදි පාසල් වලට නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් තීරණය කිරීමේ බලය විදුහල්පතිවරුන්ට පවරා ඇත.

කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ගේ අනුමැතියට යටත්ව විදුහල්පතිවරුන්ට ඒ පිළිබඳව තීරණය කළ හැකි බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනවිරත්න සඳහන් කරයි.

නාමල්ට එරෙහි නඩුවේ සාක්ෂිකරුවෝ 59ක්.. විභාගයට ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක්

නාමල්ට එරෙහි නඩුවේ සාක්ෂිකරුවෝ 59ක්.. විභාගයට ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක්

එයාර්බස් ගනුදෙනුවේදී රුපියල් කෝටි දහයක අල්ලසක් ලබාගත් බවට චෝදනා ලැබ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව අධිචෝදනා 24ක් යටතේ කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩු පවරා ඇති බව අද (27) දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

එම අධිචෝදනා 24ක් විභාග කිරීම සඳහා අගවිනිසුරුවරයා විසින් විශේෂ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් පත්කර ඇති බවත් අදාළ අධිචෝදනා පත්‍රය මඟින් සාක්ෂිකරුවන් 59 දෙනෙකු නම් කර ඇති බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර අධිකරණයට දැනුම් දුන්නේය.

නාමල් රාජපක්ෂ ඇතුළු සැකකරුවන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනුකර පවත්වාගෙන යනු ලබන මෙම නඩුව අද (27) දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම හමුවේ කැඳවූ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මේ බව දැනුම් දුන්නේය.

බරපතළ මූල්‍ය හා ආර්ථික අපරාධ විභාග කිරීම පිණිස සම්මත කර ඇති අධිකරණ සංවිධාන පනත යටතේ නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන්ට එරෙහි අධිචෝදනා පත්‍රය කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ගොනුකර ඇති අතර නඩුව විභාග කිරීමට අගවිනිසුරුවරයා විසින් විනිසුරුවරුන් තිදෙනෙකුගෙන් යුත් මඬුල්ලක් පත්කර ඇත.

නාමල්ට එරෙහිව චෝදනා 24ක්.. අධිචෝදනා ගොනු කරයි

නාමල්ට එරෙහිව චෝදනා 24ක්.. අධිචෝදනා ගොනු කරයි

එයාර් බස් ගනුදෙනුව සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අධිචෝදනා ගොනු කර ඇතැයි අල්ලස් කොමිසම අද (27) දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව චෝදනා 24ක් ඇතුළත් වන බව අල්ලස් කොමිසම සඳහන් කරයි.

කජ්ජා ඝාතනයේ ප්‍රධාන සැකකාරිය කුදලාගෙන එයි

කජ්ජා ඝාතනයේ ප්‍රධාන සැකකාරිය කුදලාගෙන එයි

හුංගමදී “කජ්ජා” නමැත්තා සහ ඔහුගේ දරු දෙදෙනා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සඳහා අත්‍යවශ්‍යව සිටි ප්‍රධාන පෙළේ සැකකාරියක් වන “අචිනි” නොහොත් අනෝෂා ලක්මාලි නැමැති කාන්තාව ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගෙන අද (27) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙනවිත් ඇත.

මිද්දෙණිය, කටුවන ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි වියේ පසුවන මෙම කාන්තාව ඝාතනයට ලක් වූ “කජ්ජා” නැමැත්තා සමඟ සමීප සබඳතා පවත්වා ඇති බව පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇති අතර ඇය එම ඝාතනයට ලක්වන අවස්ථාව වන විට “කජ්ජා” වෙත අවසාන දුරකථන ඇමතුම සහ කෙටි පණිවිඩය ලබාදී ඇත.

“බැකෝ සමන්” නැමැත්තාගේ උපදෙස් මත, ආහාර ගැනීම සඳහා “කජ්ජා” සහ දරු දෙදෙනා අදාළ අවන්හල වෙත උපායශීලීව කැඳවාගෙන යාම සිදු කර ඇත්තේ ද ඇය විසින් බවට අනාවරණය වී ඇත.

ඩුබායි රාජ්‍යයේ සැඟව සිටියදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර සිටි මෙම සැකකාරිය මෙරටට රැගෙන ඒම සඳහා විශේෂ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එරට වෙත ගොස් ඇත.

අනතුරුව අද (27) දින අලුයම 05.20ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL-226 දරන ගුවන් යානයෙන් ඇය කටුනායක ගුවන් තොටුපොළ වෙත ළඟා විය.

එහිදී ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඇයගෙන් මූලික ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව, දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානය වෙත රැගෙන ගොස් ඇත.

ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වැනි සංවත්සර උළෙලට ශ්‍රී ලංකාව සූදානම්

ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වැනි සංවත්සර උළෙලට ශ්‍රී ලංකාව සූදානම්

ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වැනි සංවත්සර සමරු උළෙලේ සංවිධාන කටයුතුවල ප්‍රගතිය සොයා බැලීමේ සාකච්ඡාවක්, ලෝක බෞද්ධ සංඝ සභාවේ සංවිධායක කමිටුවේ සභාපති පූජ්‍ය ආචාර්ය බෝදාගම චන්දිම නාහිමි, ලෝක බෞද්ධ සංඝ සභාවේ මහලේකම් පූජ්‍ය ආචාර්ය මාඉටිපේ විමලසාර මහා නාහිමි සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී (26) දින පැවැත්විණි.

මෙම සමුළුව නොවැම්බර් මස (28) වැනිදා කැලණිය නාගානන්ද බෞද්ධ විශ්වවිද්‍යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වන අතර, එය දෙසැම්බර් (02) වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය. මෙම වැඩසටහනේ අංග කිහිපයක් අනුරාධපුරයේදී මෙන්ම මහනුවරදී ද පැවැත්වීමට සංවිධානය කර ඇති බව මෙහිදී සඳහන් විය.

ලොව පුරා බෞද්ධ රටවල් නියෝජනය කරමින් භික්ෂූන් වහන්සේලා ප්‍රමුඛ දූත කණ්ඩායම් 600කට අධික සංඛ්‍යාවක්, විදේශ රටවල පදිංචි ශ්‍රී ලාංකිකයන් 250ක පමණ පිරිසක් සහ දේශීය භික්ෂූන් වහන්සේලා 250ක පමණ පිරිසක් මෙම සමරු උළෙලට සහභාගී වීමට නියමිත බව මෙහිදී සාකච්ඡා විය.

විදේශීය භික්ෂූන් වහන්සේලා ඇතුළු මෙම සමුළුවට සහභාගි වන සියලුම භික්ෂූන් වහන්සේලාගේ සහ දූත කණ්ඩායම්වල ආරක්ෂාව තහවුරු කිරීම පිළිබඳව ද, වෛද්‍ය පහසුකම්, ප්‍රථමාධාර සහ අනෙකුත් යටිතල පහසුකම් සැපයීම පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානයක් යොමු විය.

මෙම සමුළුවට සහභාගී වීම සඳහා විශාල විදේශීය පිරිසක් මෙරටට පැමිණීමෙන් විදේශ විනිමය ඉපැයීම් ඉහළ නැංවීමටත්, සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමටත් හැකි වනු ඇති බව ද මෙහිදී අවධාරණය කෙරිණි.

එසේම, මෙම සමුළුවේදී ‘දිට්වා’ සුළි කුණාටුවෙන් විනාශයට පත් මෙරට වෙහෙර විහාරස්ථාන 15ක් අලුත්වැඩියා කිරීම සඳහා එක් විහාරස්ථානයකට රුපියල් ලක්ෂ පහ බැගින් පරිත්‍යාග කිරීමට ලෝක බෞද්ධ සංඝ සභාව සැලසුම් කර ඇති බව ද මෙහිදී දැනුම් දෙනු ලැබිණි.

සමුළුව පැවැත්වෙන ස්ථාන සහ ඒ ආශ්‍රිත නගරවලට අවශ්‍ය යටිතල පහසුකම් සැපයීම හා සැරසිලි කටයුතු සිදු කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

මෙම සාකච්ඡාවට ලෝක බෞද්ධ සංඝ සභාවේ සහකාර ලේකම් ආචාර්ය රඹුකේවෙල ඤාණසීහ හිමි ඇතුළු භික්ෂූන් වහන්සේ පිරිසක් ද සහභාගී වූහ.

Follow WhatsApp Channel