Local news

2027 වර්ෂයේදී පාසල් දරුවන් වෙත නොමිලේ පොත් බෙදා හැරීම

2027 වර්ෂයේදී පාසල් දරුවන් වෙත නොමිලේ පොත් බෙදා හැරීම

2027 වර්ෂයේදී පාසල් දරුවන් වෙත නොමිලේ බෙදා හැරීමට අවශ්‍ය 1, 2 සහ 6 යන ශ්‍රේණිවල මොඩියුල ද ඇතුළත්ව පාසල් පෙළපොත්/මොඩියුල වර්ග 421ක් මුද්‍රණය කිරීම සඳහා මුද්‍රණායතන තෝරා ගැනීම පිණිස අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා ඇත.

ඒ සඳහා ලංසු 31ක් ඉදිරිපත් කරනු ලැබ තිබේ. එම ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ මත පදනම්ව, අදාළ පෙළපොත්/ මොඩියුල වර්ග 421ක් මුද්‍රණය කිරීමේ කොන්ත්‍රාත්තු, මුද්‍රණායතන 21ක් වෙත රුපියල් මිලියන 1,614.69ක මුදලකට (එකතු කළ අගය මත බදු රහිත) පිරිනැමීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

“චීවරය – සිර ඇඳුම” අධිකරණයට ඉදිරිපත් කිරීමේදී ඇඳුම.?

“චීවරය – සිර ඇඳුම” අධිකරණයට ඉදිරිපත් කිරීමේදී ඇඳුම.?

වසර තුනකට වැඩි සිරදඬුවම් නියම වූ ඕනෑම පුද්ගලයෙකු බන්ධනාගාර නීති රෙගුලාසි අනුව බන්ධනාගාරය මගින් නිකුත් කරන සිර ඇඳුමින් සැරසී අධිකරණයට ඉදිරිපත් කළ යුතු බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් සෙනක පල්ලෙතැන්න සඳහන් කරයි.

සමාජ මාධ්‍ය ඔස්සේ බන්ධනාගාරගත වන සිරකරුවන්ගේ සිර ඇඳුම් සම්බන්ධයෙන් පළවන විවිධ මත ගැන පැහැදිලි කිරීමක් සිදුකරමින් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කරයි.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ,

“මේ වනවිට විවිධ සමාජ මාධ්‍ය ඔස්සේ බන්ධනාගාරගත වන සිරකරුවන්ගේ සිර ඇඳුම් සම්බන්ධයෙන් විවිධ මත පළවන බව නිරීක්ෂණය වී තිබෙනවා.

බන්ධනාගාර නීති රෙගුලාසි අනුව, ගරු බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකට ගරු අධිකරණය මගින් සරල සිරදඬුවමක් නියම කර ඇත්නම්, අදාළ සිරදඬුවම් කාලය බන්ධනාගාරය තුළ ගෙවීමේදී තම චීවරයෙන් සිටිය හැක.

සිරදඬුවම බරපතළ වැඩ සහිත නම්, ඕනෑම පුද්ගලයෙකු සිර ඇඳුමෙන් සිටිය යුතුයි. බන්ධනාගාරය මගින් ගරු අධිකරණයට සිරදඬුවම් ලත් පුද්ගලයෙකු ඉදිරිපත් කිරීමේදී, ඔහුගේ සිරදඬුවම වසර තුනකට වඩා අඩු නම්, ගරු අධිකරණයට ඉදිරිපත් කිරීමේදී දඬුවමට පෙර ඔහු ඇඳ සිටි සිවිල් තත්ත්වයේ ඇඳුම ඇඳීම සඳහා බන්ධනාගාර අධිකාරීවරයාට අවසර දිය හැක.

එවැනි අවස්ථාවකදී ගරු භික්ෂූන් වහන්සේ නමකටද සිවුර ඇඳීමට අවසර ලබාදිය හැක. නමුත් වසර තුනකට වැඩි සිරදඬුවම් නියම කර ඇති ඕනෑම තත්ත්වයේ ලා සැලකෙන පුද්ගලයෙකු ගරු අධිකරණයට ඉදිරිපත් කිරීමේදී බන්ධනාගාරය මගින් නිකුත් කරන ලද ඇඳුමින් සැරසී ගරු අධිකරණයට ඉදිරිපත් කළ යුතුයි.

ඒ වගේම දිවයිනේ බන්ධනාගාරවල ආගමික උතුමන් 63 දෙනෙකුට වැඩි ප්‍රමාණයක් සිරදඬුවම් විඳිමින් ඇති අතර එබඳු ආගමික උතුමන් සිර ඇඳුමෙන් බන්ධනාගාරය තුළ සිටින බවද කාරුණිකව දන්වමි.”

සුරේෂ්⁣ සලේ CIDයට රැගෙන යයි

සුරේෂ්⁣ සලේ CIDයට රැගෙන යයි

කොළඹ ජාතික රෝහලේ දින 119ක පමණ කාලයක් රැඳී සිටි හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මීට ටික වේලාවකට පෙර රැගෙන ගියේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ ප්‍රතිකාර ලැබූ  සුරේෂ් සලේට ප්‍රතිකාර සිදුකරන වෛද්‍ය මණ්ඩලයේ වෛද්‍යවරු 10 දෙනෙකුට අද (06) අධිකරණයේ පෙනීසිටින ලෙසට කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා නොතීසි නිකුත් තිබුණේය.

ඒ අනුව සුරේෂ් සලේව කොළඹ ජාතික රෝහලෙන් මුදාහැරිය හැකි බව එම වෛද්‍ය මණ්ඩලය නිර්දේශ කර ඇති බව නීතිපතිවරයා අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇත.

අනතුරුව සුරේෂ් සලේ අද පස්වරුවේ නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගන්නා බව අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පිරීස් අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

ඉදිරි සති 03 කාලය තුළ පූර්ණ කැපවීමකින් කටයුතු කිරීම අවශ්‍යයි

ඉදිරි සති 03 කාලය තුළ පූර්ණ කැපවීමකින් කටයුතු කිරීම අවශ්‍යයි

මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම වැළැක්වීමේ ජාත්‍යන්තර අනුකූලතා පරීක්ෂා කිරීමට අදාළව ශ්‍රී ලංකාව මුහුණ දෙන තෙවන අන්‍යෝන්‍ය ඇගයීම සඳහා වූ පූර්ව සූදානම පිළිබඳව අද (06) සාකච්ඡාවක් පැවැත්විණි.

මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම වැළැක්වීමේ (AML/CFT) ජාත්‍යන්තර අනුකූලතා පරීක්ෂා කිරීමට අදාළව ශ්‍රී ලංකාව මුහුණ දෙන තෙවන අන්‍යෝන්‍ය ඇගයීම සඳහා වූ පූර්ව සූදානම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (06) දින ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

2026 ඔක්තෝබර් (26) වෙනි දින සිට නොවැම්බර් (06) දින දක්වා සිදු කෙරෙන මෙම තෙවන අන්‍යෝන්‍ය ඇගයීම සඳහා වූ පූර්ව සූදානම පිළිබඳව මෙහිදී පුළුල් ලෙස විමසා බැලුණු අතර මීට අදාළව ඉදිරිපත් කළ නිර්දේශ සහ ක්‍රියාකාරී සැලැස්ම අමාත්‍යාංශ සහ ආයතනික මට්ටමින් ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතියද සමාලෝචනය කෙරිණි.

අපේ රට මුහුණ දී සිටින අවදානම හඳුනාගනිමින්, අවදානම් අවම කර ගැනීම සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සහ ආයතනික ප්‍රතිසංස්කරණ සකස් කිරීමේ අවශ්‍යතාව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා මෙය වෙනත් පාර්ශ්වවල බලපෑම නිසා නොව, අපගේම ආයතන පද්ධතියට සහ රටට අවශ්‍ය නිසාම සිදු කළ යුතු කාර්යයක් ලෙස සැලකීමේ අවශ්‍යතාවද අවධාරණය කළේය.

මෙම ඇගයීම් ක්‍රියාවලියට අදාළ සම්බන්ධීකරණ කටයුතු ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්ථාපිත මූල්‍ය බුද්ධි ඒකකය විසින් සිදු කරනු ලබන අතර තාක්ෂණික අනුකූලතාව සම්බන්ධ නිර්දේශ සහ සඵලදායිතාව පිළිබඳව මෙහිදී නිලධාරීහු ජනාධිපතිවරයාව දැනුවත් කළහ.

අපරාධයකින් උපයාගත් දේ පිළිබඳ පනත ක්‍රියාකාරී මට්ටමට ගෙන ඒම, සමාගම් පනත සහ එහි ක්‍රියාකාරිත්වය, භාර ආඥා පනත සංශෝධනය කිරීම ආදී කටයුතු පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.

අදාළ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ යම් අඩුපාඩුවක් හෝ ප්‍රමාදයක් ඇත්නම් ඒවා නිවැරදි කර ගනිමින් රජයක් සහ ආයතන පද්ධතියක් ලෙස මෙම ක්‍රියාවලිය සඳහා ඉදිරි සති 03 කාලය තුළ පූර්ණ කැපවීමකින් කටයුතු කිරීමේ අවශ්‍යතාවද මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා, දැනට කර ඇති වැඩකටයුතු සහ ආයතනික වාර්තා මෙන්ම මතු වී ඇති ගැටලු පිළිබඳ අදාළ කණ්ඩායම් සමඟ නිරන්තරයෙන් සාකච්ඡා කරමින් පූර්ව සුදානමකින් කටයුතු කිරීමේ වැදගත්කමද පෙන්වා දුන්නේය.

ජාත්‍යන්තර මූල්‍ය පද්ධතිය තුළ ශ්‍රී ලංකාවේ විශ්වාසනීයභාවය තහවුරු කෙරෙන මෙම තෙවන ඇගයීම් ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම රටක් ලෙස අද දවසේ කළ යුතුම කාර්යයක් බව වැඩිදුරටත් පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් සියලුම රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ආයතනවල සක්‍රිය දායකත්වය අපේක්ෂා කරන බවද පැවසීය.

එමෙන්ම, මෙම කටයුතු වෙනුවෙන් පසුගිය සමයේ කැපවීමෙන් කටයුතු කළ ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු සියලු පාර්ශ්ව වෙත ජනාධිපතිවරයා මෙහිදී කෘතවේදීත්වය පළ කළේය.

බැසිල්ගේ බ්‍රවුන්ස් හිල් ඉඩම ක්‍රියා විරහිත කරයි

බැසිල්ගේ බ්‍රවුන්ස් හිල් ඉඩම ක්‍රියා විරහිත කරයි

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට අයත් බව කියන මාතර බ්‍රවුන්ස් හිල් ප්‍රදේශයේ ඉඩම ක්‍රියා විරහිත කරමින් මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර ඇත.

එම ඉඩම උපයාගත් ආකාරය හෙළි කිරීමට නොහැකි වීම හේතුවෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් මාතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත අද (06) කරුණු වාර්තා කළේය.

අනතුරුව දින 14ක කාලයක් සදහා අදාළ ඉඩම ක්‍රියාවිරහිත කර ඇති අතර ඒ පිළිබද හිමිකම් ඉදිරිපත් කිරීමට එම කාලය ලබාදී ඇත.

අනේ මාව බේරගන්න අයියෝ.. කහඳගමගෙන් රඳවාගෙන ප්‍රශ්න කරයි

අනේ මාව බේරගන්න අයියෝ.. කහඳගමගෙන් රඳවාගෙන ප්‍රශ්න කරයි

මත්ද්‍රව්‍ය සමග අද (06) අත්අඩංගුවට ගනු ලැබූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ මහනගර සභා හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගමගෙන් ලබන (12) වැනිදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබාදී ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් කරන බවට ලද තොරතුරකට අනුව සිදුකළ විමර්ශනයකදී ඔහුව අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන ඇත.

මහින්ද කහඳගම සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග ඉතා සමීපව කටයුතු කර ඇති බවත් ඔවුන්ගෙන් ලබගෙත් මත්ද්‍රව්‍ය බෙදාහැරීම සිදුකර ඇති බවට තොරතුරු රැසක් අනාවරණය වී ඇත.

ලොව විශිෂ්ටම මලල ක්‍රීඩකයා සම්මානය සඳහා රුමේෂ් නිර්දේශ වෙයි

ලොව විශිෂ්ටම මලල ක්‍රීඩකයා සම්මානය සඳහා රුමේෂ් නිර්දේශ වෙයි

ශ්‍රී ලංකා හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග 2026 වසරේ ලොව විශිෂ්ටම මලල ක්‍රීඩකයා (Men’s World Athlete of the Year) සම්මානය සඳහා නිර්දේශ වී ඇත.

මෙම සම්මානය සඳහා නිර්දේශ වූ ප්‍රථම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලෙස රුමේෂ් තරංග ඉතිහාසයට එක්වෙයි.

ලබන නොවැම්බර් (29) වනදා මොනාකෝ හිදී පැවැත්වීමට නියමිත ‘ලෝක මලල ක්‍රීඩා සම්මාන උළෙල’ වෙනුවෙන් ලෝක මලල ක්‍රීඩා සංගමය විසින් ප්‍රකාශයට පත් කරන ලද පිරිමි අංශයේ නාමයෝජනා 10 දෙනා අතරට රුමේෂ් තරංග ඇතුළත් කර ඇත.

මෙම නාමයෝජනා 10 දෙනා තේරී පත්ව ඇත්තේ ලෝක මලල ක්‍රීඩා සංගමයේ නියෝජිතයින් දෙදෙනෙකු සහ මහාද්වීපික කලාපීය සංගම් හයෙන් එක් අයෙකු බැගින් සමන්විත අටදෙනෙකුගෙන් යුත් කමිටුවක් මගිනි.

අවසාන ජයග්‍රාහකයා තේරීමට ක්‍රම හතරකින් සමන්විත ඡන්ද විමසීමේ ක්‍රියාවලියක් සිදුකරනු ලබන අතර ඉන් අවසාන වටයට තේරීපත්වන තරගකරුවන් 6 (පිරිමි හා කාන්තා අංශ වලින් තිදෙනා බැගින්) නොවැම්බර් (10) සහ (11) යන දිනයන්හිදී ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

එම අවසන් තරගකරුවන් මොනාකෝ හි පැවැත්වෙන සම්මාන උළෙල සඳහා කැඳවනු ලබන අතර එහිදී 2026 වසරේ ලොව විශිෂ්ටතම මලල ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව ප්‍රකාශයට පත්කෙරේ.

ඉන්ධන හිගය ගැන ඇමතිගෙන් ප්‍රකාශයක්

ඉන්ධන හිගය ගැන ඇමතිගෙන් ප්‍රකාශයක්

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාමත් සමග රජය විසින් සහනාධාරයක් ලබා දුන් නමුත් එම සහනාධාරය පෞද්ගලික ඉන්ධන සමාගම් වලට ප්‍රමාණවත් නොවන බැවින් එම සමාගම් ඉන්ධන සැපයීම සීමා කිරීමට පියවර ගෙන ඇත.

මේ වනවිට දිවයින පුරා රටේ ප්‍රධාන ස්ථාන 55ක තෙල් සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල් නොමැති බවත් ඒ අනුව අවට පිහිටි ඉන්ධන පිරවුම්හල් සඳහා මේ වනවිට ඉන්ධන වැඩි වශයෙන් නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

එනිසා අනෙකුත් ඉන්ධන සමාගම් පවතින තත්ත්වය හමුවේ ලාභය අරමුණු කිරීමකින් තොරව ඉන්ධන සැපයීමට පියවර ගන්නා ලෙස අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මෙහිදී ඉල්ලීමක් කළේය.

අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සඳහන් කළේ,

“කොටසක් රජය දරාගන්නවා. ඒ අනුව තමයි ගියවර බිලියන 57ක් දුන්නා. මෙවර බිලියන 41ක් දුන්නා රජය විසින් භාණ්ඩාගාරයෙන් දැම්මා තෙල් වලට සහනයක් ලබා දෙන්න. තෙල් සමාගම විසින් කොටසක් දරා ගන්නවා.

ගිය සැරෙත් මේ ප්‍රශ්නය පැන නැගුනා. සමහර සමාගම් කිව්වා ඒ මුදලත් ඔවුන්ට මදි කියලා. ඇත්තටම ඔවුන්ට ඒකෙන් වෙන්නේ ඔවුන්ගේ ලාභ පංගුව අඩුවෙන එක. එතකොට ඔවුන් වෙළෙඳපොලට නිකුත් කරන තෙල් ප්‍රමාණය අඩු කරනවා.  

දැනට ගත්තොත් ඔටෝ ඩීසල් 2025 ජනවාරි මාසේදි නිකුත් කරනේ 55%යි දැන් වෙනකොට මාර්කට් ශෙයාර් එක 76%ක තෙල් සංස්ථාවේ වැඩි වෙලා තියෙන්නේ. මීට සමගාමීව ඉන්දියන් ඔයිල් සමාගමේ 2025 ජනවාරිවල 21%ක් තිබුණු මාර්කට් ශෙයාර් එක මේ වෙනකොට 12% දක්වා අඩු වෙලා තියෙනවා. පෙට්‍රල් වලත් මේක තමයි තත්ත්වය.

තෙල් සංස්ථාව තෙල් සැපයීම අඛණ්ඩව කරගෙන යනවා හැබැයි රටේ ප්‍රධාන ස්ථාන 55ක් තියෙනවා. තෙල් සංස්ථාවේ පිරවුම්හල් නොමැති. අපි දැන් ඒ අවට තිබෙන පිරවුම්හල් වලට වැඩිපුර තෙල් ලබා දෙමින් ඉන්නවා.

අපි තෙල් සමාගම්වලටත් කියන්නේ ඔබ මේ වෙලාවේ ලාභය ගැන හිතන්නේ නැතිව ජනතාව වෙනුවෙන් තෙල් සපයන්න. ලෝකයේම පවතින ත්ත්වයකදි ඊට මුහුණ දෙන ආකාරයට අපි කටයුතු කරගෙන යනවා.“ 

ලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුවෙන් වාර්තාවක්

ලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුවෙන් වාර්තාවක්

ශ්‍රී ලංකාවේ ආර්ථිකය පසුගිය අර්බුදයට පෙර මට්ටමට ළඟාවුවද එය අසම්පූර්ණ මට්ටමක පවතින බව ලෝක බැංකුව සඳහන් කරයි.

සමස්ත ආර්ථිකය යථාවත්වීමේ වේගයට සාපේක්ෂව ගෘහ ආදායම් සහ ශ්‍රම වෙළෙඳපොළ තත්ත්වයන් තවමත් පසුගාමී මට්ටමක පවතින බවද ලෝක බැංකුව සඳහන් කරයි.

2026 වසරේදී දළ දේශීය නිෂ්පාදිතය (GDP) 4.4%කින් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරන අතර එය ලබන 2027 වසර වනවිට 4.2% දක්වා අඩුවනු ඇතැයි ලෝක බැංකුව පුරෝකථනය කරයි.

නව අභියාචනාධිකරණ විනිසුරුවරුන් පත් කෙරේ

නව අභියාචනාධිකරණ විනිසුරුවරුන් පත් කෙරේ

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් නව අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු පත් කර ඇත.

ඒ අනුව, මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ සහ මහාධිකරණ විනිසුරු එච්. එම්. ආර්. එම්. තිලකරත්න අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (06) දිවුරුම් දුන්හ.

දැනට පුරප්පාඩුව පවතින අභියාචනාධිකරණ විනිසුරු ධුර දෙකක් වෙනුවෙන් අදාළ පත්වීම් සිදු කර තිබේ.

✕
⌃ News
📰 Free News Subscription?