Local news

“බඩේ කෑලි ටික එළියේ” දරුවෙකුට මරු කැඳවු අමානුෂික ඝාතනය

“බඩේ කෑලි ටික එළියේ” දරුවෙකුට මරු කැඳවු අමානුෂික ඝාතනය

ඇහැලියගොඩ, ඇරපොල ප්‍රදේශයේදී ඊයේ (29) රාත්‍රියේ තියුණු ආයුධයකින් පහර දී 17 හැවිරිදි දරුවෙක් ඝාතනය කර ඇති බව පොලීසිය සඳහන් කරයි.

42 හැවිරිදි පුද්ගලයෙක් විසින් තියුණු ආයුධයක් භාවිතා කරමින් එම 17 හැවිරිදි දරුවා ඝාතනය කර ඇති බවද පොලීසිය සඳහන් කරයි.

ඇහැලියගොඩ ප්‍රදේශයේම පදිංචි අදාළ දරුවාගේ පවුල සහ එම සැකකරුගේ පවුල අතර යම් කාලයක පටන් ආරවුලක් පැවත ඇතැයි පොලීසිය සඳහන් කරයි.

ඊයේ (29) දින දහවල් ද ඔවුන් දෙපාර්ශවය අතර යම් ගැටුමක් ඇතිව තිබෙන අතර එම ඝාතනයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගත් බවද පොලීසිය සඳහන් කරයි.

ඝාතනයට ලක්වු දරුවාගේ ⁣සහෝදරිය සඳහන් කළේ,

“රෑ 10.00ට වගේ එහා ගෙදරට ඇවිල්ලා හොදටම කෑ ගැහුවා මරණවා කියලා. ඊට පස්සේ වහලෙට ගල් ගහලා, පොලු ගහලා මල්ලිට අඩගහලා කතා කරා. ඊට පස්සේ අපිත් බැන්නා. ඊට පස්සේ ගේ ඉස්සරහටම ආව. ඇවිල්ලා කෑ ගැහුවා. අපිත් එළියට ගියා ඊට පස්සේ. අපිට බනිනකොට මල්ලිත් ගියා. ඊට පස්සේ අරහෙට ඇදගෙන ගියා. ඒ පිටිපස්සේම මාත් දිවුවා. ඒත් මොනවත් කරගන්න බැරිවුණා. අරූ පිහියෙන් ඇනලා දිවුවා. මම අල්ලනකොටත් එතනම බිමට වැටුණා. මම අල්ලලා බලද්දි බඩේ කෑලි ටික එළියේ තිබුණේ.”

ජනතාවට පහසුකම් රැසක් සමගින් පූජා නගරය පරිසර සංවේදී කලාපයක් කරයි

ජනතාවට පහසුකම් රැසක් සමගින් පූජා නගරය පරිසර සංවේදී කලාපයක් කරයි

අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම පිළිබඳ නැවත සමාලෝචනයක් සිදු කර, නව යෝජනාද ඇතුළත් කර ගනිමින් ව්‍යාපෘතියේ කටයුතු මේ වසර තුළදීම ආරම්භ කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක උපදෙස් දුන්නේය.

ඒ අනුව, ව්‍යාපෘතිය අනවශ්‍ය ලෙස ඇදී යාමට ඉඩ නොදී අදාළ සැලැස්ම ලබන මස (08) වනදා අනුරාධපුර පූජා භූමි සංවර්ධන කමිටුවට ඉදිරිපත් කර (15) වනදා වන විට ව්‍යාපෘතියේ සම්පූර්ණ සවිස්තරාත්මක සැලැස්ම සකස් කර අවසන් කරන ලෙස ජනාධිපතිවරයා විසින් ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත වැඩිදුරටත් උපදෙස් දෙනු ලැබීය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම උපදෙස් ලබා දුන්නේ අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම පිළිබඳ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී (29) පස්වරුවේ පැවති සාකච්ඡාවට එක් වෙමිනි.

බැතිමතුන්ගේ පහසුකම් වැඩිදියුණු කිරීම මෙන්ම පූජා නගරය තුළ හරිත ප්‍රවාහන පහසුකම් වැඩිදියුණු කිරීම පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු කෙරුණු අතර, පූජා නගරය තුළ වාහන තදබදය අවම කරමින් පරිසර සංවේදී කලාපයක් ලෙස සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ඒ අනුව, පූජා නගරය තුළ පරිසරයට හානි වන දුම් පිටවන ඩීසල් වාහන සීමා කර, ඒ වෙනුවට විද්‍යුත් බස් රථ යොදා ගනිමින් ක්‍රමවත් වටරවුම් ප්‍රවාහන සේවාවක් ක්‍රියාත්මක කිරීමටත්, නගර සභාව යටතට බස් රථ ලබා ගෙන ක්‍රමානුකූල දෛනික සේවාවක් ලෙස පවත්වාගෙන යාමටත් උපදෙස් දුන් ජනාධිපතිවරයා අටමස්ථානය වැඳපුදා ගැනීමට පැමිණෙන වන්දනාකරුවන්ට පහසු, විධිමත් ප්‍රවාහන පහසුකම් පද්ධතියක් පූජා නගරය තුළ ස්ථාපිත කිරීමේ වැදගත්කමද අවධාරණය කළේය.

පාගමනින් ගමන් කිරීම සඳහා බැතිමතුන් දිරිගැන්වීම මෙන්ම ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැලසීම පිළිබඳවද සාකච්ඡා කෙරුණු අතර, පදිකයින්ට මෙන්ම පාපැදි භාවිතය වෙනුවෙන් වෙනම මංතීරු සකස් කිරීමත්, දුම්රියෙන් සහ බස් රථවලින් පැමිණෙන බැතිමතුන් සඳහා සිසිල් පරිසරයක් සහිත විවේක ස්ථාන ඉදිකිරීම පිළිබඳවත් සාකච්ඡා විය.

අනුරාධපුර පූජා භූමියේ ඇති පුරාවිද්‍යාත්මක ස්ථාන හුදෙක් මිනිසුන් අත්හැර ගිය “නටබුන්” ලෙස පමණක් නොසලකා, ඒවා අදටත් ජනතාව වන්දනාමාන කරන “සජීවී ඓතිහාසික ස්ථාන” ලෙස සලකා බැතිමතුන් සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමේ වැදගත්කම ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතිය ඉන්දීය රජයේ දායකත්වය යටතේ, ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි රුපියල් බිලියන 6.5ක් දක්වා වැඩිදියුණු කිරීමට කටයුතු කර තිබෙන අතර ඊට අදාළ සැලසුම් සහ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.

සමස්ත ව්‍යාපෘතිය සැලසුම් කිරීමේදී යුනෙස්කෝ සංවිධානය මඟින් සිදු කෙරෙන කොටස සහ ඉන්දීය රජයේ සහාය ඇතිව සිදු කෙරෙන කොටස පැහැදිලිව වෙන් කර පෙන්වීමේ වැදගත්කම මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා එමඟින් මහා සංඝරත්නය ඇතුළු සැමට සමස්ත ව්‍යාපෘතිය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබාගත හැකි බවද සඳහන් කළේය.

පූජා භූමියේ දැනට පවතින වර්ග කිලෝමීටර 28ක පූජා භූමි සීමාව, වර්ග කිලෝමීටර 38ක් දක්වා පුළුල් කර සංවර්ධනය කිරීම මෙම ව්‍යාපෘතිය යටතේ සිදු කෙරෙන අතර පුරාවිද්‍යාත්මක කැණීම් කටයුතු නිසා සංවර්ධන කටයුතු ප්‍රමාද වීම වැළැක්වීම සඳහා කාර්යයන් ප්‍රමුඛතාගත කර ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

එමෙන්ම, ව්‍යාපෘති සැලසුම් ක්‍රියාත්මක කිරීමේදී අදාළ ආයතන සමග සාකච්ඡා කර, ව්‍යාපෘති සඳහා එකින් එක මූලික එකඟතාවයන් ලබාගෙන කටයුතු ආරම්භ කිරීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ඇතුල් නුවර පදිංචි පවුල් 331ක් ලෝලුගස්වැව ප්‍රදේශයේ නැවත පදිංචි කිරීම සහ සාධාරණ වන්දි ක්‍රමවේදයක් පිළිබඳවද පුළුල් ලෙස සාකච්ඡා කෙරුණු අතර පදිංචිකරුවන් සඳහා ඉඩම් ලබාදීම නිවාස හෝ වන්දි මුදල් ලබාදීම වැනි විකල්ප ක්‍රමවේදයන් පිළිබඳ ඔවුන් සමඟ සාකච්ඡා කර තීරණය කරන ලෙසත්, ඒ සඳහා සෘජුව මැදිහත්වන ලෙසත් ජනාධිපතිවරයා මෙහිදී ප්‍රාදේශීය ලේකම්වරයාට සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති වෙත උපදෙස් දුන්නේය.

භයානක මත්පෙති ට්‍රම්ප්ගේ මුහුණෙන්

භයානක මත්පෙති ට්‍රම්ප්ගේ මුහුණෙන්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මුහුණේ හැඩයට සමාන වන මාරාන්තික එක්ස්ටසි මත්පෙති විශේෂයක් සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

මෙම මත්පෙති වල එක් පසෙක ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මුහුණේ රූපයක්ද, අනෙක් පස Trump සහ NL ලෙස සටහන් කර ඇත.

එම මත්පෙති පරීක්ෂණ මධ්‍යස්ථාන වලට භාර දී ඇති අතර එහිදී එම පෙතිවල ඉතා ඉහළ මට්ටමකින් PMMA නමැති හානිකර රසායනික ද්‍රව්‍ය අඩංගු බව පරීක්ෂණ වලදී අනාවරණය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම මත්පෙති පෙති භාවිතයෙන් ශරීර උෂ්ණත්වය අධික ලෙස ඉහළ යා හැකි අතර බරපතළ සෞඛ්‍ය ගැටලු සහ මරණය පවා සිදුවිය හැකි බවට අනතුරු අඟවා ඇත.

මේ දක්වා මෙම පෙති භාවිතය හේතුවෙන් මරණයක් හෝ බරපතළ රෝගී තත්ත්වයක් වාර්තා වී නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බිරිඳගේ හිසට පොරවෙන් පහරදුන් සැමියා

බිරිඳගේ හිසට පොරවෙන් පහරදුන් සැමියා

සැමියා විසින් බිරිඳගේ හිසට පොරවෙන් පහරදී ඝාතනය කළ පුවතක් නුවරඑළිය ප්‍රදේශයෙන් වාර්තා වේ.

පවුල් ආරවුලක් හේතුවෙන් බිරිදගේ හිසට පොරවෙන් පහරදී තුවාල සිදුකර සැමියා පොලීසිය වෙත භාරවී සියල්ල පාපොච්චාරණය කර ඇත.

තුවාල ලබා සිටි එම කාන්තාව ප්‍රදේශවාසීන් විසින් නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කර ඇති අතර එහිදී ඇය මියගොස් සිට ඇත.

නුවරඑළිය පොලිස් වසමට අයත් බොරලන්ද විනයාගපුරම් ප්‍රදේශයේ පදිංචි චිත්‍රා දේවි නම් 43 හැවිරිදි කාන්තාවක් මෙලෙස මියගොස් ඇත.

මියගිය කාන්තාවගේ සිරුර පෂ්චාත් මරණ පරික්ෂණය සදහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ තැන්පත් කර ඇත.

අත්අඩංගුවට ගත් 32 හැවිරිදි සැකකරු නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

නේපාලය වෙනුවෙන් ලංකාවේ ත්‍රිවිධ හමුදාව සීරුවෙන්

නේපාලය වෙනුවෙන් ලංකාවේ ත්‍රිවිධ හමුදාව සීරුවෙන්

නේපාලයේ ගංවතුරින් විපතට පත් ප්‍රදේශවල සහන සේවා කටයුතු සදහා මෙරට ආරක්ෂක අංශ සාමාජිකයින්ගෙන් සමන්විත සහන කණ්ඩායම් යොමු කිරීමට තීරණය කර ඇති බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර සඳහන් කරයි.

අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර සඳහන් කළේ,

“නේපාලයේ වෙච්ච සිද්ධිය අවාසනාවන්ත සිද්ධියක්. ගරු ජනාධිපතිතුමා ශෝකයත් පළ කළා. ඒ වගේම රජයක් හැටියට මූල්‍යමය වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියනයක සහනාධාර ලබාදීම සඳහා මූලික කටයුතු සිදු කරගෙන යනු ලබනවා.

ඒ වගේම ආරක්ෂක අමාත්‍යාංශය සහන කණ්ඩායම් ජාතික ආපදා කළමනාකරණ සහන මධ්‍යස්ථානය තියෙනවා, ඒකෙන් සැලැසුම් කරගෙන යනවා එහෙ අවශ්‍යතාවයන්ට ලබාදීම සඳහා සහන කණ්ඩායම් මොන විදිහට ද යවන්නේ කියලා.

තාමත් සැලැසුම් කරගෙන යන්නේ, යවන භට පිරිස් ප්‍රමාණය නැත්නම් මොන විදිහේ සහන කණ්ඩායම් ද කියලා නැහැ. හෙට අනිද්දා දිහාවට ඒ කටයුතු සලස්වන්න තමයි අපි රජයක් හැටියට ආණ්ඩුවක් හැටියට කටයුතු සම්පාදනය කරන්නේ, ඒ නිසා ළගම තියෙන, දකුණු ආසියානු රටක් හැටියට වශයෙන් අපි ඒ වගේම සංවේදීව කටයුතු කරනවා.

යවන භටපිරිස් ප්‍රමාණය සහ මොන විදියේ සහන කණ්ඩායම්ද කියලා නෑ. අර මුදල් ප්‍රමාණය අනුව ඒ සම්බන්ධව දෙන සහනාධාර තමයි ලබාදීමට කටයුතු කරන්නේ.”

මොකක්ද මේ වැඩි කළ කිරිපිටි සහ යෝගට් මිල හුටපටේ

මොකක්ද මේ වැඩි කළ කිරිපිටි සහ යෝගට් මිල හුටපටේ

කිරිපිටි, කල්කිරි, යෝගට් ඇතුළු භාණ්ඩ කිහිපයක මිල ගණන් ඉහළ දැමීම සම්බන්ධව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියෙන් දැනුම්දීමක්.

කිරිපිටි, කල්කිරි, යෝගට් ඇතුළු භාණ්ඩ කිහිපයක මිල ඉහළ දමා ඇති බවට සදහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතින පුවත් අසත්‍ය බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සඳහන් කරයි.

එම පුවතේ සදහන් මිල ඉහළ දැමීම සම්බන්ධ තොරතුරු අසත්‍ය බවත් එවැනි පුවත් තහවුරු කර ගැනීමකින් තොරව හුවමාරු කිරීමෙන් වළකින ලෙසත් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

එලෙස ව්‍යාජ හෝ තහවුරු නොකළ තොරතුරු හුවමාරු කිරීමෙන් පාරිභෝගිකයින් අතර අනවශ්‍ය කලබලයක් ඇති වීමටත් වෙළදපොළ තුළ වැරදි අවබෝධයක් ඇතිවීමටත් ඉඩ පවතින බවද එම අධිකාරිය සඳහන් කරයි.

එනිසා මිල වෙනස්වීම් හෝ වෙළදපළ අක්‍රමිකතා පිළිබද තොරතුරු ඇත්නම් 1977 පාරිභෝගික කෙටි ඇමතුම් අංකය ඔස්සේ පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය වෙත දැනුම් දෙන ලෙසද එම අධිකාරිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

හවුල පොඩ්ඩක් අවුල්.. සජබ අඩියක් පස්සට ගනී

හවුල පොඩ්ඩක් අවුල්.. සජබ අඩියක් පස්සට ගනී

සමගි ජන බලවේගය විසින් ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ වැඩකටයුතු වලට සහභාගි නොවීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය අද දිනයේ ගාල්ලේ පැවැත්වීමට නියමිත සම්මන්ත්‍රණයට සමගි ජන බලවේගය සහභාගී නොවීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

“සත්‍ය දිනවමු. හොරුත් බොරු පරදවමු” යන තේමාව යටතේ ගාල්ල නගර ශාලාවේදී අද පැවැත්වීමට නියමිත සම්මන්ත්‍රණයට විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී එල් පීරිස් ඇතුළු පිරිසක් සහභාගී වීමට නියමිතය.

මාලිමා ආණ්ඩුව තහනම් කළ අපරාධකරුවන්ගේ රුපියල් මිලියන 6000ක දේපල මෙන්න

මාලිමා ආණ්ඩුව තහනම් කළ අපරාධකරුවන්ගේ රුපියල් මිලියන 6000ක දේපල මෙන්න

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව සංවිධානාත්මක අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සතු රුපියල් මිලියන 6000ක දේපල තහනම් කර ඇතැයි පොලීසිය සඳහන් කරයි. 

සිදුකරන ලද විමර්ශන 113කට අදාළව අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සතු රුපියල් මිලියන 6000ක දේපල තහනම් කළ බව පොලීසිය සඳහන් කරයි. 

ඉන්, රුපියල් මිලියන 5423ක දේපල, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ සංවිධානාත්මක අපරාධකරුවන් 102 දෙනෙකුට අයත් ඒවා බවද පොලීසිය සඳහන් කරයි. 

තවද, තහනම් කර ඇති සංවිධානාත්මක අපරාධකරුවන් තුන්දෙනෙකුට පමණක් අයත් දේපලවල වටිනාකම, රුපියල් මිලියන 209ක් වන බවද පොලීසිය සඳහන් කරයි. 

පීරමීඩ වංචා, ළමා අපයෝජන, පුපුරණ ද්‍රව්‍ය සහ විවිධ වංචාවලට සම්බන්ධ සැකකරුවන් 8 දෙනෙකුට අයත් රුපියල් මිලියන 367ක දේපල තහනම් කර ඇති බවද පොලීසිය සදහන් කරයි.

අපරාධකරුවන්ගේ තහනම් කළ දේපළ පහතින්..

*රුපියල් මිලියන 1437ක් වටිනා නිවාස 55ක්

*රුපියල් මිලියන 1322ක් වටිනා ඉඩම් අක්කර 138ක්

*රුපියල් මිලියන 1171ක් වටිනා වාහන 142ක්

*රුපියල් මිලියන 428ක් වටිනා බැංකු ගිණුම් 27ක්

*රුපියල් මිලියන 305ක බහුදින ධීවර යාත්‍රා 12ක්

*රුපියල් මිලියන 250ක ගොඩනැගිලි 8ක්

*රුපියල් මිලියන 214ක කඩ කාමර 21ක්

*රුපියල් මිලියන 239ක විවිධ වර්ගයේ දේපල

*රුපියල් මිලියන 168ක රත්‍තරං

*රුපියල් මිලියන 461ක මුදල්

මේ අතර පසුගිය 2024 වසරේ වත්මන් ආණ්ඩුව බලයට පත්වූ දා සිට මේ දක්වා විදෙස්ගතව සැඟව සිටි සැකකරුවන් 66 දෙනෙකු දිවයිනට රැගෛනවිත් ඇතැයි පොලීසිය සදහන් කරයි.

ආසියාව හොල්ලන්න හදන ලංකාවේ ගෑස් සහ තෙල්.. අලුත්ම අනාවරණයක්

ආසියාව හොල්ලන්න හදන ලංකාවේ ගෑස් සහ තෙල්.. අලුත්ම අනාවරණයක්

තෙල් සහ ගෑස් නිධි මන්නාරම් ද්‍රෝණියේ සිට පානදුර දක්වා වූ මුහුදු තීරයේ පවතින බවත් ඉන් ඉතා උසස් තත්ත්වයේ ගෑස් නිධි දෙකක් දැනටමත් හඳුනාගෙන ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගර්භ හා භූ විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න සඳහන් කරයි.

මන්නාරම් ද්‍රෝණියේ කැණීම් කරන ලද ගවේෂණ ළිං හතරෙන් දෙකකම සාර්ථක ලෙස ගෑස් නිධි හමුවී ඇති බවත් ලෝක මට්ටමින් ගවේෂණ ළිං 20-25ක් කැණීමේදී ළිං 2ක් හෝ 3ක් පමණක් සාර්ථක වුවද, ශ්‍රී ලංකාවේ මෙම සාර්ථකත්වය 50%ක ඉහළ මට්ටමක පවතින බවද මහාචාර්ය අතුල සේනාරත්න සඳහන් කරයි.

මෙම ගෑස් නිධි මුහුදු පතුලේ සිට මීටර් 3000ක් පමණ ගැඹුරින් පිහිටා ඇති බවත් ඒවා වසර මිලියන ගණනක් පැරණි ලාවා තට්ටුවලට යටවී ආරක්ෂිතව පවතින බවද මහාචාර්ය අතුල සේනාරත්න සඳහන් කරයි.

මන්නාරමේ සිට දකුණු දෙසට පානදුර දක්වා වූ ගැඹුරු මුහුදේ පෙට්‍රොලියම් නිධි පවතින බවට දත්ත මගින් තහවුරු වී ඇති බැවින්, ඉදිරියේදී එම ප්‍රදේශ වලද ගවේෂණ කටයුතු සිදු කිරීමේ වැදගත් බවද මහාචාර්ය අතුල සේනාරත්න සඳහන් කරයි.

මෙම ස්වභාවික සම්පත් නිසි ප්‍රයෝජනයට ගැනීම හරහා මෙරට බලශක්ති අර්බුදයට ස්ථිර විසඳුමක් ලබාගත හැකි බවත් පිටරටින් ගෑස් ගෙන්වීම වෙනුවට දේශීය සම්පත් භාවිතයෙන් රටේ ආර්ථිකය ශක්තිමත් කළ හැකි බවද මහාචාර්ය අතුල සේනාරත්න සඳහන් කරයි.

ලංකාවේ අපට ගෑස් සහ තෙල් සම්බන්ධයෙන් බලාපොරොත්තු තබාගත හැකි බවත් එය ලංකාවේ ආර්ථිකයට හොද පිම්මක් පැනීමට හොදම අවස්තාවක් බවද මහාචාර්ය අතුල සේනාරත්න සඳහන් කරයි.

මහාචාර්ය අතුල සේනාරත්න සඳහන් කළේ,

“නෝපෙක් ආයතනයෙන් ගත්ත භූවිද්‍යා දත්ත විශ්ලේෂණය කරලා එහි වාර්තාව භාර දෙන්න ආව මයිකල් කැට්ස් කියන ඔස්ට්‍රේලියානු මහාචාර්යවරයා මට කිව්වා අපේ ලංකාවට විශාල තෙල් නිධි තියෙන බව දැන් වාර්තා වෙනවා කියලා. ඒවගේම විශ්ලේෂනයෙන් දැනගත්තා ලංකාවට ගෑස් සහ තෙල් නිධි තියෙනවා කියලා. ඒ නිසා විශ්වවිද්‍යාලයේ පෙට්‍රෝලියම් ජියොලොජි ගැන අලුත් කෝස් යුනිට් එකක් පටන් ගන්න කියලා මගෙන් ඉල්ලා සිටියා.”

“අද වෙනකොට අපි අවුරුදු විසි හයක් තිස්සේ මේ විෂයෙන් අපේ ශිෂ්‍යයින් සන්නද්ධ කරලා තියෙනවා. ඒ නිසා ලංකාවේ අවශ්‍ය භූ විද්‍යාඥයින් දැනට ඉන්නවා පෙට්‍රෝලියම් තාක්ෂණය සඳහා. ඒ වාර්තා වලින් පෙන්නුම් කළේ ලංකාවේ ගෑස් සහ පෙට්‍රෝලියම් මුලාශ්‍ර තියෙනවා කියලා. ඒවා පදනම් ගරගෙන එවකට රජයන් කොටස් කිහිපයක් බෙදා දුන්නට පස්සේ ඒවා ගවේෂණ ලිං හෑරුවා.”

“ගවේෂණ ලිං හතරක් හාරලා ඒ හතරෙන් දෙකකම ඉතා හොඳ ගෑස් නිධි දෙකක් වාර්තා වුණා. ඒකෙන් පෙන්නුම් කරන්නේ සාමාන්‍යයෙන් ලෝකයේ පෙට්‍රෝලියම් ගවේෂණ ලිං විස්සක් විසිපහක් හෑරුවාම දෙක තුනකින් තමයි වාර්තා වෙන්නේ සාර්ථකයි කියලා. නමුත් මෙතැනදී සියයට 50ක ඉතා හොඳ වාර්තාවක් අපිට ලැබුණා. ගෑස් නිධි තියෙන බවට.”

වැල්ලේ සාරංග ඩුබායිහිදී අත්අඩංගුවට

වැල්ලේ සාරංග ඩුබායිහිදී අත්අඩංගුවට

සාරංග ප්‍රදීප් හෙවත් වැල්ලේ සාරංග ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

මෙම සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී කොකේන් සහ අයිස් මත්ද්‍රව්‍ය ද තිබී හමුව ඇති බවද වාර්තා වේ.

ලලිත් කන්නංගර හෙවත් බස් ලලිත් නැමැත්තා අත්අඩංගුවට ගැනීමට ගිය මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂවරයා සහ බුද්ධි සේවයේ නිලධාරීන් ලබා දුන් තොරතුරු අනුව ඩුබායි පොලීසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

කෙසේ වෙතත් සැකකරු අත්අඩංගුවට ගැනීම සම්බන්ධව මේ වන තෙක් මෙරටට දැනුම්දී නොමැති බව සඳහන් වේ.

✕
⌃ News
📰 Free News Subscription?