Local news

අඩු ජනන පිරිවැයකින් සාධාරණ මිලකට ජනතාවට විදුලිය

අඩු ජනන පිරිවැයකින් සාධාරණ මිලකට ජනතාවට විදුලිය

සුනිත්‍ය බලය උපයෝගී කරගනිමින් පවිත්‍ර විදුලි ජනනය සහ අඩු ජනන පිරිවැයකින් සාධාරණ මිලකට ජනතාවට විදුලිය ලබාදෙන බව වරාය හා සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක සඳහන් කරයි.

සාධාරණ මිලකට ජනතාවට විදුලිය ලබාදීම, කාර්යක්ෂම, විශ්වාසදායක සහ අඛණ්ඩ විදුලි සැපයුමක් සහතික කිරීමේ රජයේ සැලසුම බවද වරාය හා සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක සඳහන් කරයි.

අනුරාධපුරයේ ඉදිකරන ලද මෙගාවොට් 10/මෙගාවොට් පැය 40 බැටරි බලශක්ති ගබඩා පද්ධතිය ජාතික විදුලි බල පද්ධතියට එක් කෙරුණු අවස්ථාවට එක්වෙමින් අමාත්‍ය අනුර කරුණාතිලක මේ බව සඳහන් කරයි.

වරාය හා සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක සඳහන් කළේ,

“අපි දන්නවා ලෝකයේ බලශක්ති ක්ෂේත්‍රයේ විවිධ යුගවල, විවිධ අවස්ථාවන්වල හැරවුම් ලක්ෂ සමඟ ඉදිරියට ගමන් කර ඊළඟ අවධියට පැමිණ තිබෙනවා. ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රය, විශේෂයෙන් විදුලි බල ක්ෂේත්‍රය ගත්විට අද කිසියම් පරිවර්තනීය වෙනසක් සිදු වන අවස්ථාවක්. වත්මන් රජයට වසර දෙකක් සම්පූර්ණ වන මෙම අවස්ථාවේ මෙරට විදුලි බල ක්ෂේත්‍රයේ ඇති කරන මෙම පරිවර්තනීය වෙනස ඉතා වැදගත් කියා අපි විශ්වාස කරනවා.

අපි දන්නවා දැනටමත් මෙගාවොට් 3,000කට ආසන්න ප්‍රමාණයක් අපි දිවා කාලයේ සූර්ය බලයෙන් ජනනය කරනවා. දිවා කාලයේ සාමාන්‍යයෙන් මෙගාවොට් 2,800ක පමණ විදුලිබල අවශ්‍යතාවයක් තමයි තිබෙන්නේ. එහෙත් රාත්‍රී කාලයේදී අපිට මෙගාවොට් 3,100ක් වගේ ප්‍රමාණයක අවශ්‍යතාවයක් තිබෙනවා. එල්නිනෝ තත්ත්වයත් එක්ක සමහර විට ලබන පෙබරවාරි මාසය වන විට එම ඉල්ලුම වඩා වැඩි වෙයි කියා පුරෝකථනය කර තිබෙනවා.

අපිට තිබෙන ප්‍රශ්නය තමයි මේ දවල් කාලයේදී අතිරික්තව ජනනය කරන සූර්ය බලය ගබඩා කිරීමේ හැකියාවක් මේ දක්වා නොතිබීම. එම ගැටලුව මගහරවා ගැනීම වෙනුවෙන් අපි මේ වන විට මෙගාවොට් 160ක ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් තිබෙනවා. WINDFORCE ආයතනය එතනින් මෙගාවොට් 130ක් සම්බන්ධයෙන් වගකීම දරමින් කටයුතු කරනවා. අපි විශ්වාස කරනවා මේ වසර අවසන් වීමට පෙර මේ මෙගාවොට් 160ම ජාතික පද්ධතියට එකතු කරගන්න පුළුවන්කම ලැබෙයි කියලා.

ඒ වගේම තවත් මෙගාවොට් 400ක, 250ක් සහ 150ක් ආදී වශයෙන් මේ ආකාරයේම බැටරි ගබඩා කරන ලංසු කැඳවීම් කටයුතු අපි දැනටමත් ආරම්භ කර තිබෙනවා. සමහර ඒවා ඇගයීම් අවස්ථාවේ තිබෙන්නේ. අපි විශ්වාස කරනවා 2027 අවසන් වීමට පෙර, බොහෝ වෙලාවට පළවෙනි මාස 6 ඇතුළත එම ව්‍යාපෘති අපේ පද්ධතියට එකතු කරගන්න පුළුවන්කම ලැබෙයි කියලා.

මේ තුළින් එක් පැත්තකින් සුනිත්‍ය බලය වැඩි ප්‍රමාණයක් මගින් ජාතික පද්ධතියට එකතු කර ගැනීමේ හැකියාව, ඒ වගේම රාත්‍රී කාලයේදී විශාල වශයෙන් පොසිල ඉන්ධන මගින් විදුලියය ජනනය කිරීමේදී දැරීමට සිදුවන අධික පිරිවැය අඩු කරගැනීම අපිට හැකියාව ලැබෙනවා.

වැඩි වශයෙන් සුනිත්‍ය බලය උපයෝගී කරගනිමින් පවිත්‍ර විදුලි ජනනය සහ අඩු ජනන පිරිවැයකින් සාධාරණ මිලකට ජනතාවට විදුලිය ලබාදීම මෙන්ම කාර්යක්ෂම, විශ්වාසදායක සහ අඛණ්ඩ විදුලි සැපයුමක් සහතික කිරීමේ අප රජයේ සැලසුම් යථාවත් කර ගැනීමට මෙමගින් අවස්ථාව ලැබෙනවා.”

කට නිසා වැඩ වැරදුන විමල්.. පොලිස්පතිට නියෝග

කට නිසා වැඩ වැරදුන විමල්.. පොලිස්පතිට නියෝග

හිටපු අමාත්‍ය විමල් වීරවංශ විසින් සිදුකළ ප්‍රකාශයකින් අධිකරණයට අපහාස වී ඇත්ද යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් පොලිස්පතිවරයාට නියෝග කර ඇත.

අනුරාධපුරයේ පසුගිය (12) වනදා පැවති රැළියේදී විමල් වීරවංශ සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් අධිකරණයට අපහසයක් වී ඇතැයි සොයා බලන ලෙස අල්ලස් කොමිසම සිදුකළ ඉල්ලීමක් සැළකිල්ලට ගනිමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මෙම නියෝගය ලබාදී ඇත.

අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කර තිබු සංයුක්ත තැටියක් අධිකරණයට ඉදිරිපත් කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර විසින් එම ඉල්ලීම සිදුකර ඇත.

අනතුරුව එම ඉල්ලීම සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස පොලිස්පතිවරයාට නියෝග කළේය.

බලශක්ති පෙරළියේ පළමු ගබඩා පද්ධතිය විවෘත කරයි

බලශක්ති පෙරළියේ පළමු ගබඩා පද්ධතිය විවෘත කරයි

මෙරට පුනර්ජනනීය බලශක්ති ධාරිතාව ඉහළ නැංවීමේ අරමුණින්, මෙගාවොට් 10ක ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය අනුරාධපුරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (18) විවෘත කළේය.

මෙරට පුනර්ජනනීය බලශක්ති ධාරිතාව සහ විදුලි පද්ධතියේ ස්ථාවරත්වය ඉහළ නැංවීමේ අරමුණින් ස්ටෝර්එක්ස් පුද්ගලික සමාගමේ දායකත්වයෙන් මෙම බලශක්ති ගබඩා පද්ධතිය ස්ථාපනය කර ඇත.

බලශක්ති ගබඩා කිරීමේ බැටරි පද්ධති තාක්ෂණය වත්මන් බලශක්ති ක්ෂේත්‍රයේ ඇති සුවිශේෂම සහ වඩාත් කාර්යක්ෂම තාක්ෂණය වන අතර දිවා කාලයේ නිපදවන අතිරික්ත සූර්ය බලය ගබඩාකර රාත්‍රී කාලයේ විදුලි ඉල්ලුම වැඩි අවස්ථාවට ජාතික පද්ධතියට මුදා හැරීම මෙම තාක්ෂණයේ  විශේෂත්වය වේ.

ජාතික විදුලිබල ජාලයේ ස්ථායීතාවය වර්ධනය කරමින්, බලශක්ති ගබඩා කිරීමේ පද්ධති 13ක් මෙගාවොට් 130ක සහ මෙගාවොට් පැය 520ක ධාරිතාවකින් යුතුව ජාතික විදුලි බල පද්ධතියට එක් කිරීම ස්ටෝර්එක්ස් පුද්ගලික සමාගමේ සමස්ත ව්‍යාපෘතිය යටතේ සිදු කෙරේ.

ඉන් පළමු බලශක්ති ගබඩා පද්ධතිය මෙලෙස අනුරාධපුරයේදී ජාතික විදුලි බල පද්ධතියට එක් කළ අතර ඉතිරි ව්‍යාපෘතිද ඉදිරි මාස දෙක, තුන තුළ නිම කරමින් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට නියමිතය.

සමරු ඵලකය නිරාවරණය කර බලශක්ති ගබඩා පද්ධතිය ජාතික විදුලි බල පද්ධතියට සම්බන්ධ කිරීමේ අවස්ථාවට එක් වූ ජනාධිපතිවරයා බැටරි ගබඩා පද්ධතිය පිහිටි පරිශ්‍රය නිරීක්ෂණය කිරීමට එක් විය.

නාමල්ට අධිකරණයෙන් දුන් නියෝගය

නාමල්ට අධිකරණයෙන් දුන් නියෝගය

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී රුපියල් මිලියන 100ක අල්ලසක් ලබාගත් බවට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද (18) දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.

අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ලබන (29) වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර සහ සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම මෙම නියෝගය කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන (29) වනදා ප්‍රකාශයට පත් කරන බවට මහෙස්ත්‍රාත්වරයා නියම කළේය.

2026 පොදුරාජ්‍ය මණ්ඩලීය නවක පාර්ලිමේන්තු මන්ත්‍රී සම්මානය සුගත් වසන්ත ද සිල්වාට

2026 පොදුරාජ්‍ය මණ්ඩලීය නවක පාර්ලිමේන්තු මන්ත්‍රී සම්මානය සුගත් වසන්ත ද සිල්වාට

2026 පොදුරාජ්‍ය මණ්ඩලීය නවක පාර්ලිමේන්තු මන්ත්‍රී සම්මානය ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා හිමිකරගෙන ඇත.

පාර්ලිමේන්තු ක්‍රියාවලියට දක්වන ලද විශිෂ්ට කැපවීම, අභ්‍යන්තරික රාජ්‍ය පාලනය, මානව හිමිකම් සුරැකීම සහ ප්‍රජාතන්ත්‍රවාදී සහභාගීත්වය වෙනුවෙන් සිදුකළ අනුපමේය සේවය ඇගයීමට ලක් කරමින් මෙම සම්මානය හිමිකරගෙන ඇත.

2026 පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය මගින් සංවිධානය කරනු ලබන “වසරේ පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු මන්ත්‍රී” ඇගයීම් යටතේ මෙය පැවැත්වේ.

මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ දෘෂ්‍යාබාධිතභාවයක් සහිත පළමු මන්ත්‍රීවරයා වේ.

ඉන්ධන නෞකාවකට ඉරානයෙන් ප්‍රහාර

ඉන්ධන නෞකාවකට ඉරානයෙන් ප්‍රහාර

ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබු නෞකාවක් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා නීතිවිරෝධී ලෙස යාත්‍රා කළ බවට චෝදනා කරමින්, ඉරානය ප්‍රහාරයක් එල්ල කර ඇත.

ටෝගෝ රාජ්‍යයේ ධජය යටතේ යාත්‍රා කළ මෙම ඉන්ධන නෞකාවට එල්ල කළ ප්‍රහාරයේ වගකීම ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) විසින් භාරගෙන ඇති බව වාර්තා වේ.

එල්ල වූ ප්‍රහාරයත් සමඟ නෞකාවේ හදිසි ගිනිගැනීමක් හටගෙන ඇති අතර ඉන් පසුව එහි ගමන් මග සම්පූර්ණයෙන්ම ඇනහිට ඇති බව ඉරාන මාධ්‍ය වාර්තා කරයි.

රුමේෂ් තරංග ඇත්තටම ක්‍රීඩාවෙන් සමුගන්නවාද.?

රුමේෂ් තරංග ඇත්තටම ක්‍රීඩාවෙන් සමුගන්නවාද.?

ශ්‍රී ලංකාවට ඉහළම ගෞරවාදරයක් ලබාදුන් හෙල්ල විසිකිරීම ඉසව්වේ ලෝක ශූර රුමේෂ් තරංග සිය ක්‍රීඩා දිවියට සමුදීම සම්බන්ධයෙන් කළ ප්‍රකාශය මේ වනවිට දැඩි කතාබහට ලක්ව ඇත.

එළඹෙන 2028 සහ 2032 වසරේ ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා අනිවාර්යයෙන්ම තමන් සහභාගී වීමට බලාපොරොත්තු වන බව ලෝක ශූර රුමේෂ් තරංග සඳහන් කරයි.

අනතුරුව 2036 වසරේ ඉන්දියාවේ පැවැත්වීමට නියමිත ඔලිම්පික් උළෙලේදී සිය ක්‍රීඩා දිවියට සමුදීමට තමන් බලාපොරොත්තු වන බවද රුමේෂ් තරංග සඳහන් කරයි.

මේ අතර රුමේෂ් තරංග කිසිවෙකුගේ පෞද්ගලික අයිතියක් නොව ශ්‍රී ලංකාවට අයත් ජාතික සම්පතක් ලෙස සැලකිය යුතු බව අමාත්‍ය සුනිල් කුමාර ගමගේ එහිදී සඳහන් කරයි.

රුමේෂ් තරංග ශ්‍රී ලංකාවේ නාමය ලෝකය තුළ තවදුරටත් ඉදිරියට ගෙන යමින්, මෙරට ඉතිහාසයේ පළමු ඔලිම්පික් රන් පදක්කම දිනා දෙනු ඇතැයි බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

අසනීප සනීපයි.. ශිරන්ති සිංගප්පූරුවේ සාප්පු සවාරියේ

අසනීප සනීපයි.. ශිරන්ති සිංගප්පූරුවේ සාප්පු සවාරියේ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ පසුගිය (16) වනදා දින අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගියේය.

ශිරන්ති රාජපක්ෂ සමග රෝහිත රාජපක්ෂගේ නැන්දණිය වූ ඈන් ද ලිවේරාද කටුනායක ගුවන් තොටුපොළෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගියේය.

රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ ශිරන්ති රාජපක්ෂ දින කිහිපයකට පසුව, එනම් පසුගිය (16) වන දින එම පෞද්ගලික රෝහලේ සිට සෘජුවම ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

ඒ ශිරන්ති රාජපක්ෂගේ රෝගී තත්ත්වයට වැඩිදුර ප්‍රථිකාර කිරීමට සහ විශේෂ පරීක්ෂණ කිහිපයක් සිදු කිරීම සඳහා සිංගප්පූරුවේ පෞද්ගලික රෝහලක් වෙත පිටත්ව යෑමටයි.

අනතුරුව ශිරන්ති රාජපක්ෂ එම ප්‍රථිකාර සහ විශේෂ පරීක්ෂණ සඳහා සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහල වෙත ඇතුළත් කර විශේෂ වෛද්‍ය පරීක්ෂණ කිහිපයක් සිදුකර ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් මේ වනවිට සිංගප්පූරුවේ පෞද්ගලික රෝහලක් වෙත ගියපු ශිරන්ති රාජපක්ෂගේ ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයේ සංසරණය වෙමින් පවතියි.

ඒ සිංගප්පූරුවේදී ප්‍රසිද්ධ සාප්පු සංකිර්ණයක සංචාරයක යෙදෙමින් සිටින අවස්තාවක කිසියම් පුද්ගලයෙක් ගන්නා ලද ඡායාරූප කිහිපයකි.

මේ අතර පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ ලබන (24) වනදා පෙනී සිටින ලෙසට ශිරන්ති රාජපක්ෂට මේ වනවිට දැනුම් දී ඇත.

පළමු වරට විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් වෙනුවෙන් විශේෂ දිනයක්

පළමු වරට විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් වෙනුවෙන් විශේෂ දිනයක්

විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සහ මහජනතාව මුහුණපා සිටින ගැටලු හා ඔවුන්ගේ දුක් ගැනවිලි සෘජුවම ඉදිරිපත් කර ඒ සඳහා අවශ්‍ය මැදිහත් වීම් ලබා ගැනීමට අවස්ථාව සලසමින්, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ප්‍රධානත්වයෙන් විශේෂ මහජන දිනයක් සැප්තැම්බර් (16) දින කොළඹ පිහිටි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි.

ආරක්ෂක අමාත්‍යාංශය සහ අනෙකුත් අදාළ රාජ්‍ය ආයතනවල මැදිහත් වීම අවශ්‍ය වන කරුණු සඳහා කඩිනම් අවධානය යොමු කරමින්, ඒවාට විසඳුම් ලබාදීමේ අරමුණින් මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.

මෙහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා සහභාගි වූවන් විසින් ඉදිරිපත් කරන ලද ගැටලු හා දුක් ගැනවිලි පිළිබඳව අවධානය යොමු කළ අතර, ඒ සඳහා කඩිනම් විසඳුම් ලබාදීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අදාළ නිලධාරීන් වෙත උපදෙස් ලබා දුන්නේය.

මෙම අවස්ථාව සඳහා රණවිරු සේවා අධිකාරියේ සභාපති, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නියෝජිතයින්, ත්‍රිවිධ හමුදාවම නියෝජනය වන පරිදි වැටුප් හා ලේඛණ භාර නිලධාරීන්, යුද්ධ හමුදා රණවිරු සේවා හා පුනුරුත්ථාපන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නිලධාරීන් මෙන්ම ආරක්ෂක අමාත්‍යාංශයේ විෂය භාර නිලධාරීන් ද සහභාගි වූහ.

මෙහිදී සහභාගි වූවන් විසින් ඉදිරිපත් කළ කරුණු සඳහා අවශ්‍ය මැදිහත්වීම් හා විසඳුම් ලබාදීම සඳහා මෙම නිලධාරීහු සහාය වූහ. එමෙන්ම, මෙවන් ආකාරයේ නිසි විසදුම් එම ස්ථානයේදීම ලබාදෙන මෙවන් වැඩසටහනක් පැවැත්වුයේ ප්‍රථම වරටය.

දැන් ඉතිං පොලීසිය එක්ක සෙල්ලම් බෑ.. Krav Maga සටන් උගන්වයි

දැන් ඉතිං පොලීසිය එක්ක සෙල්ලම් බෑ.. Krav Maga සටන් උගන්වයි

ආත්මාරක්ෂාව පිණිස භාවිතා කිරීමට Krav Maga සටන් ශෛලීය පොලිස් විද්‍යාල මගින් පුහුණු කිරීම ආරම්භ කර ඇත.

ප්‍රසිද්ධ ස්ථානවල සාමය කඩවන අයුරින් හැසිරෙන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේදී මෙන්ම පොලිස් අත්අඩංගුවට ගැනීමේදී රාජකාරියට බාධාකරමින් ප්‍රචන්ඩ ලෙස විරෝධය දක්වන සැකකරුවන්ගෙන් ආරක්ෂාවීම සඳහා පොලිස් නිලධරයන් ආත්මාරක්ෂක සටන්කලාව ප්‍රගුණ කිරීම අතිශය වැදගත් වේ.

අත්අඩංගුවට ගන්නා තැනැත්තාගේ ශරීරයට කිසිදු හානියකින් තොරව නීත්‍යානුකූල ලෙස අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් නිලධාරීන් දැඩි ලෙස සැලකිලිමත් වන අතර, ඒ සඳහා සුදුසු මට්ටමේ පිළිගත් ආත්මආරක්ෂාව සටන් කළාවක් පොලිස් සේවයට ආධුනික කාලයේදී නිලධරයන් හට ලබාදීමට පොලිස් විද්‍යාල කටයුතු කරයි.

එම කාර්යභාරයේ තවත් එක් නවමු පියවරක් ලෙස වත්මන් පුහුණු උසස් පුහුණු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දරගේ සංකල්පයක් අනුව පළමුවරට Krav Maga ආත්මාරක්ෂක සටන් ශෛලීය පොලිස් විද්‍යාල කොට්ඨාසයේ පුහුණු උපදේශකවරුන් සඳහා හඳුන්වා දෙමින් සිව් දින පුහුණු වැඩසටහනක් 2026.09.10 වන දින කළුතර පොලිස් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්වුනි.

මෙම පුහුණුවේ ආරම්භය නියෝජ්‍ය පොලිස්පති බඳවාගැනීම් හා පුහුණු ජගත් සේරම්ගේ ප්‍රධානත්වයෙන්, මෙම සටන් කලාවේ ප්‍රවීන උපදේශක සතිස් තිරමුණිගේගේ මෙහෙය වීමෙන් සිදුකෙරුණු අතර සහය උපදේශකවරුන් ලෙස පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සහභාගී විය.

පෙර සඳහන් කළ පරිදි මෙවැනි ආත්මාරක්ෂක සටන් ශෛලීයක් ශ්‍රී ලංකා පොලිසිය වෙත හඳුන්වාදීමේ ප්‍රධාන අරමුණ ප්‍රචන්ඩව හැසිරෙන පුද්ගලයින්ව ශාරීරික හානියක් නොවන අයුරින් අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධරයන් පුහුණු කිරීමයි.

මෙම සටන් කලාවේ තවත් වටිනාකමක් වශයෙන් කිසිදු මෙවලමක් භාවිතා කිරීමෙන් තොරව දෑත් පමණක් භාවිත කරමින් ඕනෑම හදිසි අවස්ථාවකදී ක්‍රියාත්මක වීමට හැකි වීමයි.

මෙවැනි සටන් කලාවක් පොලිස් විද්‍යාලයේ පුහුණු උපදේශකවරුන් වෙත ලබාදීමෙන් පොලිස් විද්‍යාලයේ පුහුණු ලබන ආධුනික නිලධාරීන් සඳහා මෙන්ම විවිධ උසස් පුහුණු පාඨමාලා හදාරන නිලධාරීන් සඳහාද පුහුණුව ලබාදීමට හැකි වේ.

රාජකාරි දිවියේදී මෙන්ම නිලධාරීන්ගේ පුද්ගලික ජවිතය සඳහාද අවශ්‍ය කායික ශක්තිය මෙන්ම චිත්ත ධෛර්යද මෙමගින් වර්ධනය වනු ඇත.

එසේම පොලිස් නිලධාරීන්ගේ නීරෝගී භාවයටද මෙවැනි සටන් ශෛලීන් හැදැරීම විශාල පිටිවහලක් වනු ඇති බව සමාරම්භක උළෙල ආමන්ත්‍රණය කරමින් නියෝජ්‍ය පොලිස්පති බඳවා ගැනීම් හා පුහුණු දිසාව භාර ජගත් සේරම් ප්‍රකාශ කරන ලදී.

දින 04 ක් පුරා පැවති මෙම පාඨමාලාවේ සමාප්ති උළෙල නියෝජ්‍ය පොලිස්පති බඳ‍වාගැනීම් හා පුහුණු දිසාව භාර ජගත් සේරම් මහතාගේ ප්‍රධානත්වයෙන් 2026.09.15 දින සවස කළුතර පොලිස් විද්‍යාලයීය නව ශ්‍රවණාගාරයේදී පැවැත්වුණි.

මෙම පාඨමාලාව හැදෑරූ පුහුණු උපදේශකවරුන් 33 දෙනෙකු ඇතුළු නිලධාරීන් විසින් මෙම ශෛලීන් ඇතුලත් සංදර්ශනයක් අවසන් දිනයේදී ඉදිරිපත් කරන ලදී.

Follow WhatsApp Channel