Local news

පවුල් 315කට ඉඩමක්, විදුලිය, පානීය ජල සැපයුම් සහිත නිවසක් රජයෙන්

පවුල් 315කට ඉඩමක්, විදුලිය, පානීය ජල සැපයුම් සහිත නිවසක් රජයෙන්

රජරට මහා වාරි පද්ධතියට එකතු වීමට නියමිත තවත් සුවිශේෂී ජලාශ ව්‍යාපෘතියක් වන පහළ මල්වතුඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතු සොයා බැලීමට ජනාධිපති අනුර කුමාර දිසානායක අද (29) එහි නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

මීට වසර 10කට පෙර ආරම්භ කළ මෙම ව්‍යාපෘතියේ කටයුතු විවිධ හේතුන් මත අතරමග නැවතී තිබු අතර, වත්මන් රජය යටතේ ව්‍යාපෘතිය යළි ආරම්භ කරමින් 2026 වර්ෂය සඳහා රුපියල් මිලියන 5000ක ප්‍රතිපාදන වෙන් කෙරිණි.

මතුව ඇති ගැටලු නිරාකරණය කර ගනිමින් එහි ඉදිකිරීම් කඩිනම් කර තිබීම විශේෂත්වයක් වන අතර සම්පූර්ණයෙන් දේශීය අරමුදල් මත ක්‍රියාත්මක ව්‍යාපෘතිය 2029 වසරේ අගභාගයේදී අවසන් කිරීමට නියමිතය.

උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කය සහ උතුරු පළාතේ වවුනියාව දිස්ත්‍රික්කය යා කරමින් තන්තිරිමලේ බෝගොඩදී මල්වතුඔය හරස් කර, ඉදිකෙරෙන පහළ මල්වතුඔය ජලාශය අක්කර අඩි 169,400ක ජල ධාරිතාවකින් සමන්විත අතර මෙය ඉදිකිරීමෙන් පසු උතුරු මැද පළාතේ විශාලතම ජලාශය බවට පත් වේ.

අනුරාධපුර, වවුනියාව, මන්නාරම යන දිස්ත්‍රික්කවල ජනතාවගේ පානීය ජල ගැටලුවට ස්ථීර විසඳුමක් ලබා දීම, මල්වතුඔය පහළ නිම්නයේ ග්‍රාමීය සංවර්ධනය හා කෘෂිකර්මාන්තයට අවශ්‍ය ජලය සැපයීම, තන්තිරිමලේ ප්‍රදේශයේ නව සංවර්ධන ප්‍රදේශයක් බිහි කිරීම, ජල විදුලි උත්පාදනය, ගංවතුර පාලනය සහ සංචාරක කර්මාන්තයේ හා මිරිදිය මත්ස්‍ය කර්මාන්තයේ ප්‍රවර්ධනය මෙමගින් අපේක්ෂා කෙරේ.

එසේම, මන්නාරම දිස්ත්‍රික්කයේ යෝධ වැව සහ අකිතමුරුප්පු වැව යටතේ පවතින සහල් නැළිය ප්‍රදේශයේ මහ කන්නයේදී අක්කර 40,000ක් වගා කෙරුණද, යල කන්නයේදී ජල හිඟය නිසා ඉන් අක්කර 10,000ක් පමණක් වගා කෙරෙන අතර මෙම ජලාශය ඉදිවීමත් සමග යල මහ දෙකන්නයේම කුඹුරු අක්කර 40,000ම අස්වැද්දීමට හැකියාව ලැබේ.

මෙහිදී ව්‍යාපෘති නිලධාරීන් සමග සාකච්ඡාවක නිරතවූ ජනාධිපතිවරයා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී මතුව ඇති ගැටලු, අභියෝග සහ අවශ්‍යතා පිළිබඳ සොයා බැලූ අතර, අදාළ ඉදිකිරීම් කඩිනම් කර ජනතාවට ප්‍රතිලාභ සලසා දීමේ අවශ්‍යතාවද පෙන්වා දුන්නේය.

ව්‍යාපෘතිය හේතුවෙන් අවතැන් වන ජනතාවගේ ගැටලු පිළිබඳවද ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය යොමු කෙරුණු අතර එම පවුල් 315 සඳහා ඉඩමක් සහ විදුලිය, පානීය ජල සැපයුම් සහිත නිවසක් රජයෙන් ලබා දීමටත්, එම ඉඩම්වල සූර්‍ය විදුලි බලයෙන් ක්‍රියාත්මක උස්සාන වාරිමාර්ග මගින් සුහුරු කෘෂිකාර්මික වගාවන් සඳහා යොමු කිරීමටත් උපදෙස් දුන්නේය.

ව්‍යාපෘතියේ මෙතෙක් ප්‍රගතියද ජනාධිපතිවරයා මෙහිදී විමසා බැලූ අතර කිලෝමීටර් 3.4ක දිගින් යුත් ජලාශයේ ප්‍රධාන බැම්මේ ඉදිකිරීම් මේ වන විට 60%ක් පමණ අවසන් කර තිබෙන බවත්, දකුණු ඉවුරු සොරොව්වේ ව්‍යූහාත්මක කොටස් නිමකර ඇති බවත් සඳහන් කෙරිණි.

ව්‍යාපෘතිය යටතේ විදුලි බලාගාරයක් ද ඉදිකෙරෙන අතර ඒ සඳහා අත්තිවාරම කැපීම හා කළු ගල පිපිරවීම වැනි කාර්යයන් ආරම්භ කර තිබෙන බවද අනාවරණය විය. මිට අමතරව අලි වැට ඉදිකිරීම, කුඩා වැව් ප්‍රතිසංස්කරණය, පුරාවිද්‍යා කෞතුකාගාරයක් ඉදිකිරීම ආදී කටයුතුද සිදු කෙරේ.

ඓතිහාසික තන්තිරිමලය රාජමහා විහාරාධිපති, උතුරු නැගෙනහිර දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක පූජ්‍ය තන්තිරිමලේ චන්දරතන නාහිමිපාණන් වහන්සේද මෙම අවස්ථාවට වැඩම කර සිටියේය.

මෙතෙක් කිසිදු රාජ්‍ය නායකයෙක් මෙතරම් සමීපව මෙම ව්‍යාපෘතිය පිළිබඳ අවධානය යොමු නොකළ බවත්, වත්මන් ජනාධිපතිවරයා ආරම්භයේ සිටම එහි කටයුතු සොයා බලමින් සහ අවශ්‍ය මගපෙන්වීම සිදු කරමින් ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට ලබා දෙන දායකත්වය අගය කරන බවත් සඳහන් කළ උන්වහන්සේ, සියලු ඉදිරි කටයුතු වෙනුවෙන් සිය ආශිර්වාදය පළ කළහ.

අත්අඩංගුවට ගන්න ලොක්කෝ දාන්න වෙනම හිරගෙයක්

අත්අඩංගුවට ගන්න ලොක්කෝ දාන්න වෙනම හිරගෙයක්

මෙරට මත්ද්‍රව්‍ය ජාලය සහ පාතාල ක්‍රියාකාරකම් මුලිනුපුටා දැමීම සඳහා රජය දැඩි ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

නීතිය සැමට සමානව ක්‍රියාත්මක කරමින් කිසිදු දේශපාලන බලපෑමකින් තොරව අපරාධකරුවන්ට එරෙහිව කටයුතු කරන බවද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ පාතාල නායකයන් රඳවා තැබීම සඳහා වැලිසර විශේෂ බන්ධනාගාරයක් ස්ථාපිත කර ඇති බවද අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ,

“අපේ රට වෙලාගෙන තියෙන ලොකු ප්‍රශ්නයක් කුඩු සහ අයිස්. මේවට සම්බන්ධ ඉහළ මට්ටමේ පාතාල නායකයෝ, ජාවාරම්කාරයෝ එකිනෙකා අරගෙන එනවා රටට. ගෙනල්ලා විමර්ශන කරනකොට සම්බන්ධ ජාල හෙළිදරව් වෙනවා.

සමහර පොලීසියේ කට්ටියත් එක්ක, බන්ධනාගාර කට්ටියත් එක්ක, දේශපාලඥයින් එක්ක, ප්‍රසිද්ධ චරිතත් එක්ක තිබුණු සම්බන්ධකම් හෙළිදරව් වෙනවා. ඒවට අනුව පරීක්ෂණ සිදු වෙනවා. ඒ ගෙන එන ලොක්කෝ ටික දාන්න වෙනම වැලිසර විශේෂ බන්ධනාගාරයක් හදලා තියෙනවා.”

ජන හමුවක් අමතමින් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මේ බව සඳහන් කරයි.

26 හැවිරිදි තරුණියක් පැහැරගෙන යමින් තිබූ මෝටර් රථයකට පොලීසියෙන් වෙඩි

26 හැවිරිදි තරුණියක් පැහැරගෙන යමින් තිබූ මෝටර් රථයකට පොලීසියෙන් වෙඩි

26 හැවිරිදි වියේ පසුවන තරුණියක් පැහැරගෙන යමින් සිටි මෝටර් රථයකට පොලීසිය වෙඩි තැබීමක් සිදුකර ඇත.

පොලිස් හදීසි ඇමතුම් අංකයට ලද තොරතුරක් මත නාරාහේන්පිට පොලිස් ස්ථානයේ පොලිස් කණ්ඩායමක් විසින් අදාළ මාර්ග බාධකයේ සිට මෝටර් රථය නැවැත්වීමට අණ කර ඇත.

එහෙත් අදාළ මෝටර් රථය නොනවත්වා ධාවනය කිරීමත් සමග පොලිස් නිලධාරීන් විසින් වෙඩි තබා මෝටර් රථය නතර කිරීමට කටයුතු කර ඇත.

වෙඩි තැබීමෙන් අනතුරුව මෝටර් රථය පැදවූ පුද්ගලයා පැහැරගෙන යමින් සිටි එම තරුණිය සහ මෝටර් රථය එම ස්ථානයේ දමා පළාගොස් ඇත.

අදාළ තරුණිය බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව ආසන්නයේදී පැහැරගෙන ඇති බව පොලිසිය සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත.

කුරුඳුවත්ත පොලිසිය විසින් පළාගිය සැකකරු සොයා විමර්ශන ආරම්භ කර ඇත.

මරණ 600 පනී.. නේපාල රජය ගත් තීරණය වහාම වෙනස් කරයි

මරණ 600 පනී.. නේපාල රජය ගත් තීරණය වහාම වෙනස් කරයි

නේපාලයේ සිදුවූ අනපේක්ෂිත ජල ගැලීමෙන් මියගිය සංඛ්‍යාව මේ වනවිට 626ක් දක්වා ඉහළ ගොස් ඇති බව නේපාල පොලිසිය සඳහන් කරයි.

මෙම හදිසි ව්‍යසනයත් සමග අවම වශයෙන් පුද්ගලයින් 2,000ක පමණ පිරිසක් තවමත් අතුරුදහන් බව එරට ආපදා කළමනාකරණ අධිකාරිය සඳහන් කරයි.

මෙම තත්ත්වය හමුවේ විදේශීය ගලවා ගැනීමේ කණ්ඩායම් වල සහාය ලබා නොගැනීමට ගත් තීරණය වෙනස් කිරීමට නේපාල රජය තීරණය කර ඇත.

ගලවාගැනීමේ කටයුතු සඳහා විදේශීය ගලවා ගැනීමේ කණ්ඩායම් වල සහාය ලබාගැනීමේ අවශ්‍යතාවක් නොමැති බව නේපාල විදේශ කටයුතු අමාත්‍යාංශය පසුගියදා ප්‍රකාශ කළේය.

එහෙත් අතුරුදහන් වූ පිරිස අතර විදේශිකයන් සිටීම හේතුවෙන් අදාළ රටවලින් එල්ල වූ රාජ්‍යතාන්ත්‍රික බලපෑම් හමුවේ එම තීරණය වෙනස් කිරීමට නේපාල රජයට සිදුව ඇත.

රවී අල්ලස් කොමිසම මගහැර පැන යයි

රවී අල්ලස් කොමිසම මගහැර පැන යයි

අද (29) දින පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායකගේ නිවසට අල්ලස් කොමිසමේ නිලධාරීන් කණ්ඩායමක් ගොස් ඇත.

ජාතික ලොතරැයි මණ්ඩලයට නිලධාරීන් පස්දෙනකු බඳවාගෙන ඔවුන් පෞද්ගලික කටයුතු සඳහා යොදාගත් බවට එල්ල වී ඇති චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායකට එරෙහිව අල්ලස් කොමිසම මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර ඇත.

සිදුකරන එම විමර්ශනයට අදාළව රවී කරුණානායකගෙන් අල්ලස් කොමිසමට මෙලෙස ප්‍රකාශයක් ලබාගැනීමට අවශ්‍යව තිබූණේය.

ඒ අනුව අල්ලස් කොමිසම විසින් රවී කරුණානායකට ජූලි (16), ජූලි (30) සහ අගෝස්තු (28) යන දිනවල අවස්ථා තුනකදී අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණේය.

එලෙස රවී කරුණානායකට දැනුම් දී තිබුණද, ඔහු එම දැනුම්දීමට අනුව පැමිණ නොසිටීම හේතුවෙන් අල්ලස් කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් අද (29) දින ඔහුගේ නිවස වෙත ගොස් ඇත.

අද දිනයේ අල්ලස් කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් ඔහුගේ නිවසට ගියද ඔහු නිවසේ නොසිටීම හේතුවෙන් එම නිලධාරීන් පිටව ගියේය.

අද සිට රොටී, පරාටා ඇතුළු කෙටි ආහාර මිල වැඩි කරයි

අද සිට රොටී, පරාටා ඇතුළු කෙටි ආහාර මිල වැඩි කරයි

තිරිඟු පිටි මිල ගණන් ඉහළ දැමීම හේතුවෙන් රොටි, පරාටා සහ කෙටි ආහාර ඇතුළු පිටි ආශ්‍රිත ආහාර වර්ගවල මිල ගණන් ඉහළ දැමු බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

ඒ අනුව අද (29) සිට ක්‍රියාත්මක වන පරිදි පරාටා සහ කෙටි ආහාර ඇතුළු පිටි ආශ්‍රිත ආහාර වර්ගවල මිල ගණන් රුපියල් 5කින් ඉහළ දමා ඇත.

පරාටා සහ බිත්තර රොටියක මිල රුපියල් 5කින්, ඉඳිආප්පයක මිල රුපියලකින් සහ ආප්පයක මිල රුපියල් ⁣2කින් ඉහළ දැමු බව එම සංගමය සඳහන් කරයි.

ශ්‍රී ලංකාවට එන පළමු විදුලි දුම්රියට බිලියන 80ක්.?

ශ්‍රී ලංකාවට එන පළමු විදුලි දුම්රියට බිලියන 80ක්.?

ශ්‍රී ලංකාවේ පළමු විදුලි දුම්රිය හඳුන්වා දීමේ ව්‍යාපෘතිය සඳහා 2027 වසරට රුපියල් බිලියන 80ක් වෙන් කර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී රවීන්ද්‍ර පත්මප්‍රිය සඳහන් කරයි.

ඊට අදාළ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා සියලු සැලසුම් මේ වනවිට සකස් කර ඇති බවද දුම්රිය සාමාන්‍යාධිකාරී රවීන්ද්‍ර පත්මප්‍රිය සඳහන් කරයි.

මේ අතර නව විදුලි දුම්රිය ව්‍යාපෘතියේ කටයුතු ලබන වසරේදී සිට ආරම්භ කිරීමට නියමිත බව පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් සඳහන් කරයි.

කොළඹ නගරය සහ තදාසන්න ප්‍රදේශ ආවරණය වන පරිදි විදුලි දුම්රිය ව්‍යාපෘතියේ කටයුතු ආරම්භ කරන අතර ඒ සඳහා අවශ්‍ය මූලික සැලසුම් සකස් කර අවසන් බවද නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් සඳහන් කරයි

“අපි විදුලි දුම්රිය මාර්ග ආරම්භ කරනවා ලබන අවුරුද්දේ. මරදානෙන් පටන් අරන් නගරාසන්න විදුලි දුම්රිය මාර්ග. ඔබට පුළුවන් වෙනවා බෙලියත්තෙන් රුහුණු කුමාරි නැග්ගොත් පානදුරෙන් බැහැලා විදුලි දුම්රියෙන් යන්න.

අපි ඒ සැලැස්ම හදනවනේ. අපි ලබන අවුරුද්ද වෙනකොට පටන් ගන්නවා. ඇයි මිනිස්සුන්ට හොඳ ප්‍රවාහනයක් ඕනේ නැද්ද. ලෝකයේ තියෙන හොඳ දේවල් ගෙනත් දෙන්න ඕනේ නැද්ද. ගෙනත් දෙන්න ඕනේ. ඒගොල්ලෝ විතරද යන්න ඕනේ.”

පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල ඉහළ⁣ට.?

පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල ඉහළ⁣ට.?

අද (29) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි තිරිඟු පිටි මිල ඉහළ දැමීමට ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් පියවර ගෙන ඇත.

ඉහළ දැමූ තිරිඟු පිටි මිල සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව එළැඹෙන සඳුදා (31) දින රැස්වීමට තීරණය කර ඇත.

එළැඹෙන (31) වන දින රැස්ව පාන් ඇතුළු අනෙකුත් බේකරි නිෂ්පාදන වල මිල ගණන් ඉහළ දැමීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන සඳහන් කරයි.

අල්ලස් කොමිසම රවීගේ නිවසට පනී

අල්ලස් කොමිසම රවීගේ නිවසට පනී

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායකගේ නිවසට අද (29) අල්ලස් කොමිසමේ නිලධාරීන් කණ්ඩායමක් ගොස් ඇත.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස රවී කරුණානායකට දැනුම් දී තිබුණද, ඔහු පැමිණ නොසිටීම හේතුවෙන් එම කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් ඔහුගේ නිවස වෙත ගොස් ඇත.

ඉර හඳ පවතින තාක් කල් දළදා පෙරහැර පැවැත්විය යුතුයි

ඉර හඳ පවතින තාක් කල් දළදා පෙරහැර පැවැත්විය යුතුයි

පසුගිය සමයේ දේශපාලන වේදිකාවල දළදා පෙරහැර තහනමක් පිළිබඳ සාකච්ඡාවට ලක් වුණ බවත් එවැනි ප්‍රකාශ කිරීම මොනතරම් කුරිරු දේශපාලන ව්‍යාපාරයක්ද, බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

එනිසා නැවත කිසිම දිනක රටේ දේශපාලන වේදිකාවක පෙරහැර නතර කිරීම පිළිබඳ සාකච්ඡාවක් පැන නොනැඟිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

එනිසා රාජ නියෝගයක් මෙන්ම උත්තරීතර සම්මුතියක් ලෙස ඉර හද පවතින තාක් කල් දළදා වහන්සේට කරන පුද සත්කාර, පෙරහැර පැවැත්විය යුතු බවද ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ,

“කිත්සිරි මෙවන් රජතුමා එදවස තිබුණ සෙල්ලිපියක කියනවා, ⁣මම ඒ සෙල්ලිපියේ සිංහල අනුවර්තනය කියන්නම්. රජතුමා කියනවා එපමණක් නොව, තමන්ට පසුව රජ වන සියලුම රජවරුන් ශ්‍රී දළදා වහන්සේ වෙනුවෙන් වන සියලුම වත් පිළිවෙත් පුද පූජා, පෙරහැර ආදිය නොවඩුව පැවැත්විය යුතුයි.

එය ඉර හද පවත්නා තෙක්ම රාජ නියෝගයක් මෙන්ම උත්තරීතර සම්මුතියක් ලෙස ප්‍රකාශයට පත් කරනවා. කිත්සිරි මෙවන් රජතුමා විසින් මේක රාජ නියෝගයක් ලෙස ප්‍රකාශයට පත් කරනවා. මොකක්ද.? ඉර හද පවතින තාක් කල් දළදා වහන්සේට කරන පුද සත්කාර, පෙරහැර පැවැත්විය යුතුයි.”

“මෙම පෙරහර මංගල්‍ය අත්හැරීම යනු අපේ මුළු ජාතියේම හෘදසාක්ෂිය, අධ්‍යාත්මය සහ ජාතියේ ජීවය මරා දැමීමයි. පසුගිය සමයේ දේශපාලන වේදිකාවල පෙරහැර තහනමක් පිළිබඳ සාකච්ඡාවට ලක් වුණා. එවැනි ප්‍රකාශ කිරීම මොනතරම් කුරිරු දේශපාලන ව්‍යාපාරයක්ද. එවැනි ප්‍රකාශයක් කරන්න.

එයින් පෙනෙන්නේ අපේ ජාතියේම අධ්‍යාත්මය මරා දැමීමේ සහ සංස්කෘතියේ පාදම විනාශ කිරීමේ බලයක් හොබවනවා කියන එකයි. මෙම පෙරහර මංගල්‍ය තහනම් කිරීමේ උත්සාහයක් දරනවා කියන ප්‍රකාශයම මොනතරම් විනාශකාරීද. එය කිසිසේත්ම දේශපාලන වේදිකාවක සාකච්ඡාවකට හෝ තර්කයකට හෝ ගත යුතු කරුණක් නොවේ.

ඒ නිසා කිසිවෙකු තමන්ගේ දේශපාලන වේදිකාවක හෝ ආරෝවක් පිරිමසා ගැනීමට හෝ ගැටුම් විදාහ දැක්වීමට කිසිසේත්ම මෙම ඓතිහාසික උරුමය මතකටයුතු කිරීම සාධාරණ නැහැ. ඒ නිසා නැවත කිසි දිනකවත් අපේ රටේ දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම පිළිබඳ සාකච්ඡාවක් පැන නොනැඟිය යුතුයි. අපේ ජාතියේ අධ්‍යාත්මය මරා දමන බව, ඓතිහාසික සංස්කෘතික උරුමය, ප්‍රෞඪත්වය සහ ආත්මය විනාශ කරන බව ප්‍රකාශ කිරීම සිදු නොකළ යුතුයි.”

✕
⌃ News
📰 Free News Subscription?