Local news

ඉදිරි පැය 12 ගැන රතු නිවේදනයක්

ඉදිරි පැය 12 ගැන රතු නිවේදනයක්

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය සහ දිවයින වටා වන ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශය සඳහා තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව ඉදිරි පැය 12 දක්වා වලංගු වන පරිදි අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත.

බටහිර – මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති ‘ඔර්නබ්’ ප්‍රබල සුළි කුණාටුව තවදුරටත් වර්ධනය වී ඉතා ප්‍රබල සුළි කුණාටුවක්’ බවට පත්වී අද අලුයම 02.30 වන විට උතුරු අක්ෂාංශ 15.9 සහ නැගෙනහිර දේශාංශ 85.4 ආසන්නයේ, එනම් කන්කසන්තුරේ සිට කිලෝමීටර් 890ක් පමණ ඊසාන දෙසින් කේන්ද්‍ර ගතව පැවතුණි.

මෙය අද ප.ව. 05.30 දක්වා බටහිර බරව වයඹ දෙසට ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති අතර, ඉන් අනතුරුව වයඹ දෙසට ගමන් කරමින්, හෙට වන දින පෙරවරු 11.30 වන විට ආන්ද්‍ර ප්‍රදේශ් වෙරළ තීරය හරහා ඉන්දීය ගොඩබිමට ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇත.

අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 12ක ජනතාවට පීඩා

අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 12ක ජනතාවට පීඩා

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 10,000කට අධික පිරිසක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

දිස්ත්‍රික්ක 12ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 57ක පවුල් 2,736කට අයත් පුද්ගලයින් 10,545 දෙනෙකු මෙලෙස පීඩාවට පත්ව ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළේ,

“දිස්ත්‍රික්ක වශයෙන් ගත්තහම අම්පාර, කොළඹ, ගම්පහ, යාපනය, කළුතර, මහනුවර, කුරුණෑගල, මාතර, පුත්තලම, රත්නපුර, මන්නාරම, ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල මේ මස (23) වැනිදා පටන් ඇති වූ වැසි සහිත තත්ත්වය සමඟ පුද්ගලයින් 10,545 දෙනෙකු පීඩාවට පත්වීම වාර්තා වුණා.

කොළඹ දිස්ත්‍රික්කයේ ආරක්ෂිත ස්ථානයක් පවතිනවා. එහි පුද්ගලයින් 27 දෙනෙකු රඳවා සිටිනවා. රත්නපුර දිස්ත්‍රික්කයේ ආරක්ෂිත ස්ථාන දෙකක පුද්ගලයින් 33 දෙනෙකු රඳවා ඇති අතර, මන්නාරම් දිස්ත්‍රික්කයේ ආරක්ෂක ස්ථානයක පුද්ගලයින් 122කු ඇතුළු පුද්ගලයින් 182ක් තාවක්කාලිකව එම ස්ථානවල රඳවා සිටිනවා.

නිවාස අර්ධ හානි 215ක් වාර්තා වී ඇති අතර, පුත්තලම ප්‍රදේශයෙන් දියේ ගිලී මියයෑමක් වාර්තා වුණා අවුරුදු 56ක අයෙක්. ගතවු පැය 24 තුළ කිලිනොච්චිය, මන්නාරම, යාපනය, මුලතිව් සහ කළුතර දිස්ත්‍රික්කවල මි.මී 100ක් වැසි වාර්තා වුණා”

ඥනසාර හිමි මානසික පීඩනයකින්.. සියදිවි නසාගන්නා බව කියලා

ඥනසාර හිමි මානසික පීඩනයකින්.. සියදිවි නසාගන්නා බව කියලා

සිරදඬුවම් නියම වු ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් දඬුවම් නියම වීමට පෙර පසුවූයේ දැඩි මානසික අවපීඩනයකින් බවත් උන්වහන්සේ තමන් මුහුණදී සිටින අර්බුදය හමුවේ ජීවිතය පවා හානිකර ගැනීමේ අදහසක් සම්බන්ධයෙන් අමාත්‍යවරයෙකු වෙත දන්වා තිබූ බවද තිත්තගල්ලේ ආනන්දසිරි හිමි පවසයි.

ඥානසාර හිමියන් අත්අඩංගුවට පත්වීමට සති දෙකකට පමණ ඉහතදී ‘නමයයි පහ’ නමැති කෘතිය එළිදැක්වූ අවස්ථාව සිහිපත් කළ ආනන්දසිරි හිමි, සිය මෑණියන් දැඩි ලෙස රෝගාතුරව සිටින පසුබිමක තමන් වෙනුවෙන් මැදිහත් වන ලෙස උන්වහන්සේ ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් ඉතා බැගෑපත්ව ඉල්ලා සිටි බවද පවසයි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් තමන්ට ලබාදුන් ජනාධිපති සමාවේ පැවති ක්‍රියාපටිපාටිය දෝෂ හේතුවෙන් තමන්ට මෙවැනි ඉරණමකට මුහුණ දීමට සිදුවූ බව පවසමින් උන්වහන්සේ දැඩි කම්පනයකින් හා මානසික පීඩනයකින් පසුවූ බවද පවසයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් උන්වහන්සේ මේ බව පවසයි.

කස්සප හිමිට වැඩ වරදී.. අධිකරණයෙන් නියෝග

කස්සප හිමිට වැඩ වරදී.. අධිකරණයෙන් නියෝග

කොළඹ විහාර මහාදේවී උද්‍යානයේ පැවති සත්‍යග්‍රහය අතරතුර බලංගොඩ කස්සප හිමි සිදුකළ ජනතාව කුපිත කරවන නොමග යවන ප්‍රකාශ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇත.

ඒ අනුව බලංගොඩ කස්සප හිමිගේ ප්‍රකාශ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව කුරුඳුවත්ත පොලීසිය විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇත.

ජාතික ජන බලවේගය පක්ෂ මුලස්ථානයෙන් ලැබුණු පැමිණිල්ලක් මත මෙම විමර්ශනය ආරම්භ කර ඇති බව පොලීසිය සඳහන් කරයි.

විහාර මහාදේවී උද්‍යානයට පිහි දෙකක් රැගෙන පැමිණි පුද්ගලයින් දෙදෙනා සම්බන්ධයෙන් බලංගොඩ කස්සප හිමි පසුගිය (22) වැනිදා මාධ්‍යට කර ඇති ප්‍රකාශය සම්පුර්ණයෙන්ම අසත්‍ය සහ ජනතාව නොමග යවන සුළු වැරදි ප්‍රකාශයක් බව පොලීසිය අධිකරණයට කරුණු දක්වා ඇත.

අසත්‍ය ප්‍රකාශ ජනගත කිරීම පොලිස් ආඥා පනතේ 98 වන වගන්තිය උල්ලංඝණය කිරීමක් වන බැවින් ප්‍රකාශ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බවත් ඊට අදාළ සංස්කරණය නොකළ දර්ශන පොලීසිය වෙත ලබාදෙන ලෙසට මාධ්‍ය ආයතනවලට නියෝග කරන ලෙසද පොලීසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

අනතුරුව කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරයා අදාළ ප්‍රකාශය සම්බන්ධව සංස්කරණය නොකළ දර්ශන පොලීසිය වෙත ලබාදෙන ලෙසට මාධ්‍ය ආයතනවලට නියෝග කළ අතර එම විමර්ශන වල ප්‍රගතිය කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට පොලීසියට නියෝග කළේය.

ලංකාවට වටිනා ඇත්තු 17 දෙනා රකින මෙහෙයුම සිදු කරන්නේ මෙහෙමයි

ලංකාවට වටිනා ඇත්තු 17 දෙනා රකින මෙහෙයුම සිදු කරන්නේ මෙහෙමයි

ශ්‍රී ලංකාවේ වන අලි – ඇතුන්ගේ ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් කිරීම සහ අලි – මිනිස් ගැටුම් අවම කිරීමේ අරමුණින් ත්‍රිවිධ හමුදාවේ දායකත්වය සහිත ඒකාබද්ධ ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත.

ඒ අනුව ගම්මාන ආශ්‍රීතව වෙසෙන ඇතුන් 13 දෙනෙකුගේ ආරක්ෂාව සඳහා හමුදා අනුඛණ්ඩ යෙදවීමට පියවර ගෙන ඇත.

අවදානම් මට්ටමේ සිටින දළ ඇතුන් සහ අනෙකුත් අවශ්‍ය දත්ත WILD TUSKERS ශ්‍රී ලංකා කණ්ඩායම අදාළ අංශ වෙත ලබාදීමට කටයුතු කර ඇත.

එම දළ ඇතුන් 13 දෙනා තෝරාගෙන තිබෙන්නේ ප්‍රධාන කරුණු 5ක් පදනම් කරගත් අවදානම් තත්ත්වය පිළිබඳව ලකුණු ලබාදීමේ ක්‍රමවේදයක් ඔස්සේය.

1.ඇතාගේ හැසිරීම

2.ඇතාගේ සංචරණ කලාපය

3.කොතරම් දුරට ජනාවාස හා ගොඩබිම සමග සමපාත වීම

4.එම කලාපයේ අලි මිනිස් ගැටුමේ ස්වභාවය

5.ඇතා දර්ශනය වීමේ පහසු බව සහ ඇතාගේ ජීවදත්ත වටිනාකම හා දුර්ලභතාව

ඒ අනුව අවදානම් දර්ශකයේ 96.7%ක් හිමි අග්බෝ හස්තියා පළමු ස්ථානයේ සිටින අතර අවදානම් දර්ශකයේ 95%ක දෙවන මට්ටමේ සිටින්නේ වාසල හස්තියා වේ.

ඇතුන් 12 දෙනා මෙන්න..

1.කුමන, ආරුගම්බේ ප්‍රදේශයේ සැරිසරන මහානාම

2.බූන්දල, වීරවිල සැරිසරන කාශ්‍යප

3.දිගම්පත හා මින්නේරියේ වෙසෙන විජයබා

4.කලාවැව ප්‍රදේශයේ වෙසෙන සුරනිමල

5.මහකනදරාවේ අග්බෝ

6.උඩවලවේ සුමේධ

7.මැදවච්චිය, හලාවත ප්‍රදේශයේ සැරිසරන සූර්යයා

8.ලුණුගම්වෙහෙර සැරිසරන මහාසේන

9.මහවිලච්චියේ සැරිසරන දීඝාභය

10.යාන්ඔය, වාහල්කඩ, පදවිය යන පෙදෙස්වල සැරිසරන ගජබාහු

11.මුලතිව්හි වෙසෙන වන්නියා

12.මාදුරු ඔය ප්‍රදේශයේ සැරිසරන ඇතෙක්

එලෙස හදුනාගත් ඇතුන් 13 දෙනාට අමතරව මෙම වාර්තාවට තවත් ඇතුන් සිව්දෙනකු එක් කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව එම ඇතුන් 17 දෙනා මගින් ශ්‍රී ලංකාව තුළ අලි මිනිස් ගැටුම උග්‍ර ප්‍රදේශ දළ වශයෙන් 80%ක් පමණ ආවරණය වීම විශේෂත්වයකි.

එමගින් එම දළ ඇතුන් 17 දෙනා පමණක් නොව එම ප්‍රදේශ ආශ්‍රිතව සිටින අනෙක් අලි අතුන්ට ආරක්ෂාව සැලසීමට නියමිතය.

යුද හමුදා කණ්ඩායම් අඛණ්ඩව අවදානම් සහගත ඇතුන් 17 දෙනා නිරීක්ෂණය කරන අතර එය සිදු කරන්නේ ඇතා සංචරණය කරන ප්‍රදේශයේ ආසන්නතම හමුදා අනුඛණ්ඩය මගීන්ය.

යම් හෙයකින් ඇතා වෙනත් හමුදා අනුඛණ්ඩයක් ආසන්නයට වෙත ලගා වුවහොත් එතැන් සිට ඇතා නිරීක්ෂණය කිරීමේ වගකීම ඔවුන්ට පැවරෙන අතර ඇතා හැසිරෙන ස්ථාන, සෞඛ්‍ය තත්ත්වය, අවට සැරිසරන අනෙකුත් අලි ඇතුන් පිළිබඳව දත්ත මෙහිදී ලබාගැනිමට නියමිතය.

තවද ඇතා ඒ අවට සිදුකරන වගා හානි සහ ජීවිත හානි පිළිබඳව තොරතුරු එම දත්ත පද්ධතියට එක් කිරීමට නියමිත අතර අනතුරුව එම සියලු තොරතුරු යුද හමුදාව සතු ජාතික දත්ත පද්ධතියට එක් කිරීමට නියමිත අතර ඇතා ආරක්ෂා කිරීමට අවශ්‍ය පරිදි ක්‍රියාමාර්ග එහිදී ක්‍රියාත්මක කිරීමට නියමිතය.

පළමු මාස නවයේ අපනයන ආදායම වාර්තා අතරට

පළමු මාස නවයේ අපනයන ආදායම වාර්තා අතරට

2026 පළමු මාස 09කදී ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම ඩොලර් බිලියන 13.6 ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සඳහන් කරයි.

ජනවාරි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 13,612ක සීමාවකට මුල් වතාවට ලගාවී තිබෙන බව එහි සභාපති මංගල විජේසිංහ සඳහන් කරයි.

එහිදී වෙළද භාණ්ඩ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 10,761ක ප්‍රමාණයක් සහ සේවා අංශයේ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 2,750ක් වාර්තා වී තිබෙන බවද සභාපති මංගල විජේසිංහ සඳහන් කරයි.

මුල් මාස 09ට ශ්‍රී ලංකාවේ පොල් ආශ්‍රිත නිෂ්පාදන, රබර් ආශ්‍රිත නිෂ්පාදන කැපී පෙනෙන වර්ධනයක් ⁣පෙන්නුම් කරන බවද සභාපති මංගල විජේසිංහ සඳහන් කරයි.

බිරිඳට සහ දරුවන්ට නඩත්තු මුදල් නොගෙවීම.. රනිල් මුලික අයිතිවාසිකම් කඩලා

බිරිඳට සහ දරුවන්ට නඩත්තු මුදල් නොගෙවීම.. රනිල් මුලික අයිතිවාසිකම් කඩලා

බිරිඳට සහ දරුවන්ට නඩත්තු මුදල් නොගෙවීම හේතුවෙන් සිරගත කර සිටි පුද්ගලයකුට අත්තනෝමතික ලෙස ජනාධිපති පොදු සමාව ලබාදීම මඟින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සහ අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත.

ජනාධිපති සමාව යටතේ නිදහස් කළ රැඳවියාට ලබාදුන් දඬුවම් ලිහිල් කිරීම හෙවත් පොදු සමාව නීතිය හමුවේ ශුන්‍ය හා බලරහිත බවට ප්‍රකාශ කළ අධිකරණය, ඔහු මේ වනවිට නීතියෙන් පළායන්නකු බවට පත්ව ඇති බැවින් වහාම නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ට බාර විය යුතු බවද අවධාරණය කර ඇත.

එලෙස නිදහස් කෙරුණු පුද්ගලයාගේ බිරිඳ වන අහමඩ් ජලීල් ෆාමිලා බේගම් විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමෙන් අනතුරුව, ආචාර්ය සෝභිත රාජකරුණා, සම්පත් විජේරත්න යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා විසින් මෙම තීන්දුව ලබාදී ඇත.

පෙත්සම්කාරිය සහ වගඋත්තරකරු වන මොහොමඩ් අමීන් මොහොමඩ් නසීම් සමග 2005 වසරේදී විවාහ වී ඇති අතර ඔවුන්ට දරුවන් තිදෙනකු සිටින අතර පසුව ඔවුන් දික්කසාද වී ඇත.

එම විවාහය අවසන් කිරීමෙන් පසුව නැගෙනහිර කොළඹ කාති අධිකරණයෙන් 2022 වසරේ ජූනි (11) වනදා රුපියල් 60,000ක මුදලක් නඩත්තු වශයෙන් ගෙවන ලෙස වගඋත්තරකරුට නියෝග කර ඇත.

එහෙත් දිගින් දිගටම වගඋත්තරකරු විසින් එම නඩත්තු මුදල් ගෙවීම පැහැර හැරීම හේතුවෙන් මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් 1,740,000ක (මිලියන 1.7) හිඟ නඩත්තු ගෙවන ලෙස නියෝගයක් නිකුත් කර ඇත.

අනතුරුව එම නඩත්තු ගෙවීම් දිගින් දිගටම පැහැර හැරීමේ චෝදනාවට වරදකරු කෙරුණු වගඋත්තරකරුට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් මාස 29ක සිර දඬුවමක් නියම කරමින් 2024 ජූලි (19) වැනි දින බන්ධනාගාරගත කළේය.

කෙසේ වෙතත් 2024 වසරේ සැප්තැම්බර් මස (12) වැනිදා යෙදුණු සිරකරුවන්ගේ දිනය නිමිත්තෙන් එවක ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන ව්‍යවස්ථාව ප්‍රකාරව පොදු සමාව යටතේ වගඋත්තරකරු 2024 වසරේ සැප්තැම්බර් මස (12) වැනිදා නිදහස් කළේය.

නිදහස් කරන අවස්ථාව වන වගඋත්තරකරු තමන්ට නියම වූ මාස 29ක සිරදඬුවමින් මාස 2ක් පමණක් ගෙවා තිබූ බවත් තීන්දුවේ සඳහන් කර ඇත.

අනතුරුව නඩත්තු නොගෙවූ දික්කසාද සැමියා ජනාධිපති පොදු සමාව යට‌තේ නිදහස් කර ඇතැයි දැනගත් පෙත්සම්කාරිය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.

නිදහස ලැබූ වගඋත්තරකරු අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබුණේ, තමන්ට ලබාදී තිබෙන පොදුසමාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34(1) අ ව්‍යවස්ථාව යටතේ ලබා දුන් සමාවක් නොව 34(1) ඈ ව්‍යවස්ථාව යටතේ සිදුකළ දඬුවම් ලිහිල් කිරීමක් බවයි.

එහෙත් මෙලෙසම නඩත්තු නොගෙවීම මත සිරගත වී සිටි තවත් සිරකරුවකු වන මොහොමඩ් ෆයිසාල් මොහොමඩ් නව්ෂාඩ් නමැත්තා නිදහස් කිරීමක් සිදුවී නොමැති අතර ඔහුගේ සිර දඬුවම් කාලය සතියකින් පමණ අඩු කිරීම පමණක් අඩුකර ඇති ආකාරය පෙනී යන බව තීන්දුවේ සඳහන් වේ.

නඩුවේදී කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දුන්නේ මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සහ නඩත්තු පනත යටතේ නඩත්තු මුදල් අයකර ගැනීමේ ක්‍රමවේදය ලෙස ‘දඩයක් අයකර ගන්නා ආකාරයට’ ක්‍රියා කරනවා මිස, එය සැබෑ දඩ මුදලක් නොවන බවයි.

දෙදෙනාම එකම වරදකට සහ එකම නීතිමය ක්‍රියාවලියක් හරහා සිරගතව සිටි පුද්ගලයන් වන බැවින්, මහේස්ත්‍රාත්වරයා සිරගත කිරීමේ වරෙන්තුවේ යෙදූ වචනවල වෙනස මත පදනම්ව එකම තත්ත්වයේ සිටි දෙදෙනකුට අසමාන ලෙස සැලකීම කිසිදු තාර්කික පදනමක් නැති අත්තනෝමතික ක්‍රියාවක් බව විනිසුරු මඩුල්ල තීන්දු කළේය.

ඒ අනුව, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති සමානාත්මතාවයේ සහ නීතියේ සමාන ආරක්ෂාව ලැබීමේ මූලික අයිතිය උල්ලංඝනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

ඒ අනුව වගඋත්තරකරු වන සමාව ලැබූ පුද්ගලයාට ලබාදුන් දඬුවම් ලිහිල් කිරීම ශුන්‍ය හා බලරහිත වන බවත්, ඔහුගේ මුල් සිරදඬුවම එලෙසින්ම වලංගුව පවතින බැවින් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ මුල් වරෙන්තුව යටතේ ඔහුව නැවත අත්අඩංගුවට ගෙන සිරදඬුවම ක්‍රියාත්මක කිරීමට බන්ධනාගාර අධිකාරිවරයාට නීතිමය බලය පවතින බවත් ශ්‍රේෂ්ඨාධිකරණය අවධාරණය කළේය.

සුළි කුණාටුව චන්ඩ වෙයි.. ලංකාවට රතු නිවේදනයක්

සුළි කුණාටුව චන්ඩ වෙයි.. ලංකාවට රතු නිවේදනයක්

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින “ඔර්නබ්” නමැති සුළි කුණාටුව අද (27) දිනයේ චන්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වන බව ජාත්‍යන්තර කාලගුණ දත්ත පෙන්වා දෙයි.

ඒ හේතුවෙන් දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සහ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් රතු නිවේදනයක් නිකුත් කර ඇත.

එම චණ්ඩ සුළි කුණාටුව අද (27) දින ඉතාම චණ්ඩ සුළි කුණාටුවක් බවට පත්වී, හෙට (28) දිනයේ පෙ.ව. 11.30 පමණ වනවිට අන්ද්‍රා ප්‍රදේශය හරහා ඉන්දියානු වෙරළ තීරයට ඇතුල් වනු ඇතැයි අපේක්ෂා කරයි.

මෙම සුළි කුණාටුවේ සෘජු බලපෑමක් ශ්‍රී ලංකාවට නොමැති වුවද එහි වක්‍ර බලපෑමෙන් දිවයිනේ නිරිති දිග කොටසට තද වැසි සහ තද සුළං අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජයමාන්න සඳහන් කරයි.

ඒ අනුව උතුරු, බස්නාහිර, සබරගමුව, දකුණු, වයඹ, මධ්‍යම සහ උතුරුමැද පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බවද අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජයමාන්න සඳහන් කරයි.

ඉදිරි පැය 24 ගැන අනතුරු අඟවයි.. ගංවතුර තත්ත්වයක්

ඉදිරි පැය 24 ගැන අනතුරු අඟවයි.. ගංවතුර තත්ත්වයක්

මේ වනවිට කැලණි ගඟ ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශ වලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇත.

ඒ අනුව වාරිමාර්ග දෙපාර්තමේන්තු ජල මාපක දත්ත විශ්ලේෂණය මත ඉදිරි පැය 24 තුළ කැලණි ගංඟා නිම්නයේ පහත්බිම් ප්‍රදේශ කිහිපයකට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බවට අනතුරු අඟවා ඇත.

රුවන්වැල්ල, සීතාවක, දොම්පෙ, දෙහිඕවිට, ඇහැළියගොඩ, යටියන්තොට සහ බුලත්කොහුපිටිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලට අයත් පහත්බිම්වල වෙසෙන ජනතාව සහ එම ප්‍රදේශ හරහා ගමන් ගන්නා රියදුරන් මේ සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලකින් පසුවන ලෙස දැනුම් දෙයි.

මේ අතර අත්තනගලු ඔය ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍ය ප්‍රදේශ වලට ලැබී ඇති අධික වර්ෂාපතනයත් සමඟ, බස්නාගොඩ ජලාශයේ වාන් දොරටු විවෘත කර ජලය මුදාහැරීම හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම ඉහළ යමින් පවතී.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් පවත්වාගෙන යනු ලබන ගංඟා ජල මාපකවල දත්ත විශ්ලේෂණයට අනුව, ඉදිරි පැය කිහිපය තුළ අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්නවල පහත්බිම් ප්‍රදේශ වලට ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ දැඩි අවදානමක් පවතියි.

ඒ අනුව දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජා-ඇල, කටාන, වත්තල යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාශ සඳහා අවදානමක් පවතියි.

මෙම තත්ත්වය හමුවේ අදාළ ප්‍රදේශවල පදිංචි ජනතාව දැඩි විමසිල්ලෙන් හා අවධානයෙන් යුතුව කටයුතු කරන ලෙසත් එම ප්‍රදේශ හරහා ගමන් ගන්නා රියැදුරන් ප්‍රවේශම් වන ලෙසද ඉල්ලා සිටියි.

හෝමාගම පොලීසියේ ලොක්කා ඇතුළු තිදෙනෙකුගේ සේවය අත්හිටුවයි

හෝමාගම පොලීසියේ ලොක්කා ඇතුළු තිදෙනෙකුගේ සේවය අත්හිටුවයි

හෝමාගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන සිරමැදිරියේ රඳවා සිටි සැකකරුවකු රෝහල්ගත කිරීමේදී මියයාමේ සිදුවීමේ සිද්ධියට එම පොලිස් ස්ථානයේ තිදෙනෙකුගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇත.

ඒ අනුව හෝමාගම පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපති, උප පොලිස් පරීක්ෂකවරයෙකු හා පොලිස් සැරයන්වරයෙකුගේ සේවය එලෙස අත්හිටුවා ඇත.

එම මරණය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකිරීම සඳහා බස්නාහිර දකුණු අපරාධ කොට්ඨාසයට භාරදී ඇති අතර මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය හෙට (27) සිදුකිරීමට නියමිතය.

මෙලෙස මියගොස් ඇත්තේ කිරිවත්තුඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි ඉෂාර හර්ෂ කුමාර නැමැති 29 හැවිරිදි දෙදරු පියෙකි.

Follow WhatsApp Channel