Local news

සලේට දැන් සනීපයි.. නැවතත් CIDය භාරයට

සලේට දැන් සනීපයි.. නැවතත් CIDය භාරයට

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේට කොළඹ ජාතික රෝහලෙන් ප්‍රතිකාර අවසන් කර පිටව යා හැකි බව එම රෝහලේ වෛද්‍යවරුන් දසදෙනාගෙන් යුත් කමිටුව නිර්දේශ කර ඇත.

ඒ අනුව සුරේෂ් සලේව කොළඹ ජාතික රෝහලෙන් මුදාහැරිය හැකි බව එම වෛද්‍ය මණ්ඩලය නිර්දේශ කර ඇති බව නීතිපතිවරයා අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇත.

එම නඩුව අද (06) කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවේ කැඳවු අවස්තාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පිරීස් මේ බව සඳහන් කළේය.

සුරේෂ් සලේ අද පස්වරුවේ නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගන්නා බව අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පිරීස් අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග එකතු වී ‘අයිස්’ විකිණු කහඳගමගේ පැටිකිරිය

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග එකතු වී ‘අයිස්’ විකිණු කහඳගමගේ පැටිකිරිය

සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ ඉතා සමීපව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ මහනගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම කටයුතු කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.

මහින්ද කහඳගම ඩුබායි රාජ්‍යයට ගොස් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් සමඟ සාදයක් පවත්වන දර්ශන පෙළක් විමර්ශන නිලධාරීන්ට හමුවී ඇත.

එහිදී ‘මෝදර නිපුන’ නමැති අපරාධකරුගේ සහෝදරයා වන චතුර දිල්රුක්ෂාන් සහ ‘කෙසෙල්වත්තේ දිනූෂ’ නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ මහින්ද කහඳගම ඉතා සමීපව කටයුතු කරන ආකාරය එම වීඩියෝ වල දැක්වෙයි.

එහිදී ඔවුන් මහින්ද කහඳගමට ‘ඩැඩා’ යනුවෙන් ආමන්ත්‍රණය කරන අතර කහඳගම ‘ඉබ්බගේවත්තේ සුජී’ නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සමඟ සමීප සබඳතා පවත්වා ඇති අතර ඔවුන් අතර සිදු වූ දුරකථන සංවාදවල තොරතුරු විමර්ශන නිලධාරීන් මේ වනවිට සොයාගෙන ඇත.

මහින්ද කහඳගම ‘ඉබ්බගේවත්තේ සුජී’ නැමැත්තාගෙන් අයිස් මත්ද්‍රව්‍ය ලබාගෙන ඇති අතර අනතුරුව ලබාගත් අයිස් මත්ද්‍රව්‍ය සඳහා මුදල් ගෙවීම පැහැර හැරීම හේතුවෙන් මරණ තර්ජන පවා එල්ල වී තිබූ බව විමර්ශන වලදී අනාවරණය වී ඇත.

ඒ අනුව මහින්ද කහඳගම ඔහුගෙන් ලක්ෂ ගණනක අයිස් මත්ද්‍රව්‍ය ලබාගෙන හොර රහසේ එම අයිස් මත්ද්‍රව්‍ය විකුණා ඇත.

එම තොරතුරු වලට අනුව මහින්ද කහඳගම අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් කරන බවට වාර්තා වීමෙන් අනතුරුව සිදුකළ විමර්ශනයකදී, අද (06) පෙරවරුවේ ඔහුව අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත්තේය.

අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 1102ක් සමඟ නුගේගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් පුද්ගලයෙක් ලබාදුන් තොරතුරු අනුව සිදුකළ වැටලීමකදී මහින්ද කහඳගම අයිස් ග්‍රෑම් 30ක් සමග අත්අඩංගුවට ගෙන ඇත.

“කිසිම ආණ්ඩුවක් මගේ සිවුර ගැලෙව්වේ නෑ” සිවුර ගැලවීම උඩු දුවයි

“කිසිම ආණ්ඩුවක් මගේ සිවුර ගැලෙව්වේ නෑ” සිවුර ගැලවීම උඩු දුවයි

ගලගොඩඅත්තේ ඥානසාර හිමිට සිවුර දැරීමට ඇති අයිතිය සම්බන්ධයෙන් කෝට්ටේ සංඝ සභාව විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් සිදුකර ඇත.

ඥානසාර හිමි විනය පිටකයට අනුව පරාජික වී ඇති භික්ෂුවක් ලෙස හෝ සිවුර ගැලවීමට තරම් බරපතළ හේතුවක් සිය සංඝ සභාව වෙත වාර්තා නොමැති අතර ශාසනික ලෙස ඔහු සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පවත්වා සිවුර ගැලවීම හෝ සිවුර තබා ගැනීමට ඉඩ හැරීම සිය සංඝ සභාවට අයත් වගකීමක් බව එම ලිපියේ සඳහන් කර ඇත.

එනිසා උන්වහන්සේගේ සිවුර ඈත් නොකරන ලෙසත් සිවුර පිටින්ම පෙනී සිටීමට අවස්ථාව ලබාදෙන ලෙසත් කෝට්ටේ සංඝ සභාවේ, ප්‍රධාන ලේඛකාධිකාරී, පූජ්‍ය ආචාර්ය කොටපිටියේ රාහුල අනුනායක හිමියන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

මේ අතර අද (06) කොළඹ මහාධිකරණය වෙත පැමිණි ඥනසාර හිමි නැවතත් බන්ධනාගාරය වෙත රැගෙන යන අවස්තාවේදි මාධ්‍ය වෙත සඳහන් කළේ,

“නියෝග නේ. දැන් ඉතිං හතර පස් වතාවක් හිරේ ගිහිල්ලා තියෙනවා. කිසිම ආණ්ඩුවක් මගේ සිවුර ගැලෙව්වේ නෑනේ. මේ වතාවේදී සිවුර ගැලෙවුවා ඉතිං. ප්‍රශ්නයක් නෑනේ. සිවුර ගැලෙව්වත් ඥානසාර හාමුදුරුවෝ ඥනසාර හාමුදුරුවෝ තමයි.”

නිල් පාට බසයෙන් එනවා.. යනවා.. නාමල්ට නියෝගයක්

නිල් පාට බසයෙන් එනවා.. යනවා.. නාමල්ට නියෝගයක්

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධව රිමාන්ඩ් භාරයට පත් කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ එම සමාගමේ හිටපු අධ්‍යක්ෂවරියක වන ජානකී සිරිවර්ධන අද (06) දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළේය.

අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ එම සැකකරුවන්ගේ නීතිඥවරු කරුණු ඉදිරිපත් කළේය.

එම කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම විසින් නාමල් රාජපක්ෂ සහ ජානකී සිරිවර්ධන ලබන (16) වනදා දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝගය කළේය.

අනතුරුව එම සැකකරුවන්ගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන (16) වනදා ප්‍රකාශයට පත් කරන බවද නියෝග කළේය.

රනිල් හදිසියේම සිංගප්පූරු යයි

රනිල් හදිසියේම සිංගප්පූරු යයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (06) දින සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇත.

අද අලුයම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙලෙස සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇත.

ඥනසාර හිමිගේ නඩුවට දුන් නියෝගය

ඥනසාර හිමිගේ නඩුවට දුන් නියෝගය

ඉස්ලාම් දහමට අපහාස කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමිට අදාළ නඩුව අද (06) කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී. රාගල ඉදිරියේ කැඳවනු ලැබීය.

එම අවස්ථාවේදී බන්ධනාගාරගත කර සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමිව ගිහි ඇඳුමින් අධිකරණයට ඉදිරිපත් කළේය.

අනතුරුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා මෙම නඩුකරය යළි ලබන (23) වැනිදා කැඳවන ලෙස නියම කළේය.

පසුව බන්ධනාගාර නිලධාරීන් විසින් ඥනසාර හිමිව නැවතත් බන්ධනාගාරය වෙත රැගෙන ගියේය.

සරණගේ බිරිඳ අසරණ වෙයි.. අධිකරණයෙන් නියෝග

සරණගේ බිරිඳ අසරණ වෙයි.. අධිකරණයෙන් නියෝග

දූෂණ චෝදනා මත අත්අඩංගුවට ගෙන සිටින හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනගේ බිරිඳ ඇතුළු සැකකරුවන් තිදෙනා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.

අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සරණ ගුණවර්ධනගේ බිරිඳ, අධිකරණ සේවකයෙකු සහ රෙජිස්ට්‍රාර්වරයෙකු ලබන (20) වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර ඇත.

අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම විසින් මෙම නියෝගය නිකුත් කළේය.

සිරදඬුවම් නියම වී සිටින සරණ ගුණවර්ධනට අදාළව කොළඹ මහාධිකරණ අංක 11 ශාලාවේ පවතින තවත් අල්ලස් නඩුවකට අදාළව සහනදායී දඬුවමක් ලබාදීම සඳහා රුපියල් 50,000ක් අල්ලස් ලබාදීම සහ ලබා ගැනීම, ඊට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකපිට ඔවුන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත්තේය.

සිංගප්පූරුවේ ඉදන් ආව විතරයි.. ශිරන්තිට දින නියම කරයි

සිංගප්පූරුවේ ඉදන් ආව විතරයි.. ශිරන්තිට දින නියම කරයි

සිංගප්පූරුවේ රැදී සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ ඊයේ (05) දින රාත්‍රියේ මලයාසියාවේ ක්වාලාලාම්පූර් නුවර සිට මලයාසියානු ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් දිවයිනට පැමිණියේය.

කටුනායක ගුවන්තොටුපොළෙන් පිටවීම සඳහා විශේෂ අමුත්තන් සඳහා වූ ගෝල්ඩ් රූට් පහසුකම භාවිතා කරමින් ශිරන්ති රාජපක්ෂ පැමිණ ඇත.

කෙසේ වෙතත් මෙරටට පැමිණි ශිරන්ති රාජපක්ෂ ඔක්තෝබර් මස (13) වැනිදා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) හමුවේ පෙනී සිටින්නැයි පොලීසිය දැනුම්දී ඇත.

පසුගිය සැප්තැම්බර් මස (16) වැනි දින වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා ශිරන්ති රාජපක්ෂ සිංගප්පූරුව බලා පිටත්ව ගිය අතර පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදෙන ලෙස ඇයට දැනුම් දී තිබුණේය.

ඥනසාර හිමි සරම ඇදන් අධිකරණයට

ඥනසාර හිමි සරම ඇදන් අධිකරණයට

සිරදඬුවම් නියම වූ බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අද (06) දින කොළඹ මහාධිකරණයට රැගෙන විත් ඇත.

බන්ධනාගාරගත කළ ඥානසාර හිමියන් අද දින ගිහිඇඳුමින් (සුදු සරම) සැරසී අධිකරණයට පැමිණියේය.

කොළඹ මහාධිකරණය විසින් නිකුත් කර තිබෙන වරෙන්තුවකට අදාළව ඥානසාර හිමියන් මෙලෙස අධිකරණයට රැගෙනවිත් ඇත.

මාව අත්අඩංගුවට ගන්න එපා.. FCID ස්ථානාධිපතිට නොතීසි

මාව අත්අඩංගුවට ගන්න එපා.. FCID ස්ථානාධිපතිට නොතීසි

තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා, හිටපු ජනපති ආර්යා ශිරන්ති රාජපක්ෂ ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප අයදුම අද (06) දින මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබීය.

එහිදී මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ (FCID) ස්ථානාධිපතිවරයාට ඔක්තෝබර් මස (12) වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට මේ සම්බන්ධයෙන් කරුණු වාර්තා කරන ලෙසට නොතීසි නිකුත් කළේය. 

✕
⌃ News
📰 Free News Subscription?