Sports news (Sinhala)

මගේ ජීවිතේ වටිනාම තරගය අද.. මම චැලේන්ජ් එක බාරගන්නවා.!

මගේ ජීවිතේ වටිනාම තරගය අද.. මම චැලේන්ජ් එක බාරගන්නවා.!

ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වෙන තරගය තම ජීවිතයේ වටිනාම තරගයක් බවත් තමාට දැඩි පීඩනයක් එල්ල වී ඇති බවත් එම පීඩනය තම රට වෙනුවෙන් බාරගන්නා බවද ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරී අතපත්තු සදහන් කළාය.

නායිකා චමරී අතපත්තු තවදුරටත් සදහන් කළේ,

“දැන් ප්‍රෙෂර් එකක් ඇවිත් තියනවා. මම ආසයි ඒ ප්‍රෙෂර් එකට. චැලේන්ඩ් එකට. හෙට ලොකු දෙක් කරලා දෙන්න පුලවන් කියලා මම හිතනවා. අනෙක් කණ්ඩායමටත් ප්‍රෙෂර් එකක් තියනවා. ඒ ප්‍රෙෂර් එක හොදටම හැන්ඩ්ස් කරන ටිම් එක මැච් එක දිනයි.

මේ කන්ඩිෂන් එක ගැන කාටවත් බ්ලේම් කරන්න බෑ. අනික් අයත් සෙල්ලම් කරන්නේ මේ කන්ඩිෂන් වල. ඒ අයට පුලුවන් නම් අපට බැරි වෙන්න බෑ. හෙට එන්න. ඔබ මානසිකව සතුටින් ඉන්නවා කියන්න බෑ. ඔබ ගොඩක් දේවල් බලන් ඉන්නවා කියලා දන්නවා. අපට සෙමි ෆයිනල් ගහන අවස්ථාව නැතිවෙලාම නෑ.

දැන් ඉදිරි තරග දිනන්න අවශ්‍යයි. හෙට තියන තරගය මුලින්ම දිනන්න අවශ්‍යයි. හෙට තරගය හොඳින් ක්‍රිඩා කරන්න බලාපොරොත්තු වෙනවා. මම හිතන්නේ හෙට ගහන්නේ මගෙ ජීවිතයේ වටිනාම තරගයක්. මම මට චැලේන්ජ් කරනවා කොහොම ද හෙට ඒ ප්‍රෙෂ්ප එක හැන්ඩ්ස් කරන්නේ කියලා. ඒක මම ගන්නවා.”

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරී අතපත්තු මේ බව සදහන් කළාය.

ලෝක කුසලාන තරගාවලිය ඇරඹෙයි.. සිංහ දියණියෝ අද සටනට.!

ලෝක කුසලාන තරගාවලිය ඇරඹෙයි.. සිංහ දියණියෝ අද සටනට.!

අද (03) දින 2024 කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඩුබායි දේශය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ වේ

කාන්තා කණ්ඩායම් 10ක් මෙම තරගාවලිය සඳහා එක්වී ඇති අතර තරගාවලිය කාණ්ඩ දෙකක් යටතේ ක්‍රියාත්මක වන අතර ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම A කාණ්ඩයෙන් තරග බිමට පිවිසෙයි.

තරගාවලිය ආරම්භ කරමින් ස්කොට්ලන්තය සහ බංග්ලාදේශය තරග බිමට පිවිසීමට නියමිත අතර ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගීවන පළමු තරගය අද රාත්‍රී 7.30ට පාකිස්තානය සමගින් පැවැත්වීමට නියමිතය.

2024 කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය පළමුව බංග්ලාදේශයට හිමිවුවත් පසුව එහි පවතින දේශපාලන අර්බුදය හේතුවෙන් එක්සත් ආරාබි එමිර් රාජ්‍යය වෙත ගෙන යාමට ICCය පියවර ගත්තේය.

සුපිරි ක්‍රීඩකයාට ක්‍රිකට් තහනම් කරයි.!

සුපිරි ක්‍රීඩකයාට ක්‍රිකට් තහනම් කරයි.!

දූෂණ විරෝධී සංග්‍රහය උල්ලංඝණය කළ බවට පිළිගැනීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රමට වසරක ක්‍රිකට් තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇත.

ප්‍රවීන් ජයවික්‍රම ICC දූෂණ විරෝධී සංග‍්‍රහයේ කඩ කර ඇති විධාන අතරට 2.4.7 වගන්තිය ඇතුලත් අතර එම වගන්තිය ප්‍රකාරව විමර්ශනයන්ට අදාළ විය හැකි සහ/හෝ සාක්ෂි විය හැකි හෝ හේතු විය හැකි ලේඛන හෝ වෙනත් තොරතුරු වසන් කිරීම, විකෘති කිරීම හෝ විනාශ කිරීම ඇතුළුව ACU මගින් සිදු කළ හැකි ඕනෑම පරීක්ෂණයකට බාධා කිරීම හෝ ප්‍රමාද කිරීම යන චෝදනාවන්ට ලක්ව ඇත.

ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ගෞතම් ගාම්භීර්.!

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ රාහුල් ඩ්‍රාවිඩ් එම ධුරයෙන් ඉවත් කර ඇත.

ඒ අනුව හිටපු ක්‍රිකට් ක්‍රීඩක ගෞතම් ගාම්භීර් වසර තුන හමාරක කාලයක් සදහා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කර ඇත.

ප්‍රධාන පුහුණුකරු ලෙස ගෞතම් ගාම්භීර් මෙම මස අගදී ඉන්දීය කණ්ඩායම සමග ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත.

ලෝක ශූර ඉන්දියාව සිම්බාබ්වේට පරදී.!

ඉන්දීය කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැති විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් තරගය ලකුණු 13කින් ජයග්‍රහණය කිරීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් විය.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්වාර 20 අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 115ක් රැස්කරගැනීමට සමත් විය.

අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 19යි පන්දු 05ක් අවසානයේ සියලුම දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 102ක් පමණි.

ඒ අනුව ලකුණු 13ක තියුණු ජයක් වාර්තා කිරීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් විය.

මුළු මහත් ලෝකයේම ජනාදරයට පත් විසේකාරයා.. ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පිටියෙන් සමුගනී.!

ශ්‍රී ලංකා වේලාවෙන් අද (06) අළුයම අවසන් වූ යුරෝපා කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ දෙවැනි තරගයෙන් පෘතුගාලය පරදා තියුණු ජයක් ලැබීමට ප්‍රංශය සමත් විය. 

නියමිත කාලය තුළදී කණ්ඩායම් දෙකටම ගෝල වාර්තා කිරීමට නොහැකි වීම සහ ලබාදුන් අතිරේක කාල අවස්ථා දෙකේදීද කණ්ඩායම් දෙකටම ගෝල වාර්තා කිරීමට නොහැකි වීම හේතුවෙන් ජයග්‍රාහකයා තීරණය කෙරුණේ දඬුවම් පහර අවස්ථාවෙනි.

එහිදී පෘතුගාලය අවස්ථා 05න් අවස්ථා 03ක් පමණක් සාර්ථක කරගනිද්දී, ප්‍රංශ කණ්ඩායම පහර අවස්ථා 05ම සාර්ථක කරගත්හ.

කෙසේවෙතත් යුරෝපා කුසලාන ඉතිහාසයේ පෘතුගාලය පසුහිය 2016 වසරේ ශූරතාව දිනාගත් අතර, 2004 වසරේදී අනුශූරයන් වූහ.

තරඟාවලියේ අවසන් පූර්ව වටයේදී ප්‍රංශය හා ස්පාඤ්ඤය ගැටීමට නියමිතව ඇති අතර, එම තරගය මේ මස 09වැනිදා පැවැත්වේ.

පෘතුගාලය තරගාවලියෙන් ඉවත්වීමට වඩා ප්‍රේක්ෂකයින් සහ පාපන්දු ලෝලීන් සංවේදී කළ කරුණ වන්නේ, පුරා වසර 21ක් පෘතුගාලය නියෝජනය කරමින් දස්කම් පෑ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ජාත්‍යන්තර ක්‍රීඩා පිටියට සමුදීමයි.

මෙවර යුරෝපා කුසලාන පාපන්දු තරගාවලියෙන් පසු තමා ජාත්‍යන්තර ක්‍රීඩා දිවියෙන් සමුගන්නා බව රොනාල්ඩෝ මින් පෙර නිල වශයෙන් ප්‍රකාශ කර තිබුනි.

39වියේ පසුවන රොනාල්ඩෝ මේ දක්වා යුරෝපා කුසලන 06කට ක්‍රීඩාකර ඇති අතර ඔහු ජාත්‍යන්තර පාපන්දු පිටියට අවතීරණ වූයේ 2003 වසරේදී කසකස්තානයට එරෙහිවයි.

එවකට වයස 18ක් වූ ඔහු, මේ දක්වා ජාත්‍යන්තර තරග 212කදී පෘතුගාලය වෙනුවෙන් ගෝල 130ක් වාර්තා කර ඇත.

කෙසේ නමුත් රොනාල්ඩෝ තවදුරටත් සෞදි අරාබියේ Al Nassr ක්‍රීඩා සමාජය වෙනුවෙන් සිය වෘත්තීය ක්‍රීඩාව පවත්වාගෙන යනු ඇති බව වාර්තා වේ.

ඇෆ්ගන් ක්‍රිකට් නාමය සරණාගත ක්‍රිකට් ලෙස වෙනස් කර දෙන්නැයි කණ්ඩායමෙන් ඉල්ලීමක්.!

දැඩි කාන්තා විරෝධී ඇෆ්ගනිස්තානයේ බලය පතුරවාගෙන සිටිනා තලේබාන් සංවිධානයේ තර්ජනයන් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ, එංගලන්තයේ සහ කැනඩාවේ ජීවත්වෙමින් ඇග්ගන් ධජය යටතේ ක්‍රීඩා කරනා කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ සරණාගත කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් පිහිටුවන ලෙස ICCය වෙත ලිඛිත ඉල්ලීමක් කර ඇත.

එසේ පිහිටුවාගන්නා සරණාගත කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඔස්ට්‍රේලියාව පදනම් කරගත් නැඟෙනහිර ආසියානු ක්‍රිකට් කාර්යාලය හරහා පාලනය විය හැකි බවත්, ඇෆ්ගනිස්තාන ධජය ඉවත්කර සරණාගත කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලෙස පිළිගන්නා ලෙසත් එම ලිපිය මඟින් ඉල්ලා ඇත.

ඇෆ්ගනිස්තානයේ බලය හොබවනා තලේබාන් සංවිධානය එරට කාන්තා ක්‍රිකට් තහනම පනවා වසර තුනක් ගතවී ඇති අතර, ඇෆ්ගනිස්තානයේ හිටපු ජාතික ක්‍රිකට් ක්‍රීඩිකාවන් බොහෝ දෙනෙක් ජීවිත ආරක්ෂාව උදෙසා රටින් පලා ගියහ.

නමුත් එම ක්‍රීඩිකාවන් මේ වනවිට ඔස්ට්‍රේලියාව ඇතුළු විවිධ රටවල පුහුණුවීම් සිදුකරමින් සිටින හෙයින් ඇෆ්ගනිස්තාන කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන් ඔස්ට්‍රේලියාවේ සරණාගත කණ්ඩායමක් පිහිටුවීමට උපකාර කරනා ලෙස එම ලිපියෙන් ඉල්ලා ඇත.

තලේබාන් රජය පිහිටුවා මාස 9කට පසු ඇෆ්ගනිස්තානයේ කාන්තා ක්‍රීඩා තහනම් කරන ලද අතර මේ හේතුවෙන් ජාත්‍යන්තර තලයේ ක්‍රීඩිකාවන් බොහෝ පිරිසක් විදේශගත විය, ඇෆ්ගනිස්තාන කාන්තා පාපන්දු ක්‍රීඩිකාවන් සහ ක්‍රිකට් ක්‍රීඩිකාවන් සැලකිය යුතු පිරිසක් දැන් ඔස්ට්‍රේලියාවේ ජීවත්වන බව පැවසේ.

විස්සයි විස්ස ලෝක ශූරයන් ඉන්දියාව.!

2024 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ලකුණු 07කින් ජයග්‍රහණය කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

අවසන් මහා තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 176ක් රැස්කරගැනීමට සමත් විය.

අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි දකුණු අප්‍රිකාව කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රැස්කරගැනීමට හැකි වුයේ ලකුණු 169ක් පමණි.

ඒ අනුව ⁣2024 විස්සයි විස්ස ලෝක කුසලානය හිමිකරගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

ලෝක කුසලානයේ අවසන් මහා සටන අදයි.!

2024 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (29) බාබඩෝස් හි කෙන්සිංටන් ඕවල් ක්‍රීඩාපිටියේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

ඒ අනුව විස්සයි විස්ස ලෝක කුසලානයේ අවසන් මහා තරගය ඉන්දීය කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම සමග පැවැත්වෙන අතර එය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 8.00ට ආරම්භ කිරීමට නියමිතය.

ප්‍රබල ඉන්දියාව අවසන් සටනට එක්වෙයි.!

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පුර්ව වටයේ ඉන්දීය කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවති තරගය ලකුණු 68කින් ජයග්‍රහණය කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 171ක් රැස්කරගැනීමට සමත් විය.

අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායම පන්දුවාර 16යි පන්දු 4ක් අවසානයේ සියලුම දෙනා දැවී රැස්කරගැනීමට හැකි වුයේ ලකුණු 103ක් පමණි.

ඒ අනුව 2024 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඉන්දීය කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව කණ්ඩායම සමග (29) වැනිදා ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රි 8.00ට පැවැත්වීමට නියමිතව ඇත.