විදේශ සේවා කාර්යාංශය මිලියන 2ක් වෙනුවට බිලියනයක් වියදම් කරලා.!

2024 දී වාර්ෂික ක්‍රියාකාරී සැලැස්මේ නොමැති වැඩසටහන් දෙකක් කිසිදු සැලසුමකින් තොරව ක්‍රියාත්මක කිරීමට රුපියල් බිලියනයකට වඩා වැඩි මුදලක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් වියදම් කර ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ දී අනාවරණය විය.

එමෙන්ම මෙවැනි වැඩසටහන් පැවැත්වීම සඳහා වාර්ෂිකව අයවැයෙන් රුපියල් මිලියන 02ක් පමණක් වෙන් කර ඇති නමුත්, රුපියල් මිලියන 1,259ක මුදලක් තරම් විශාල මුදලක් ඒ සඳහා වැයකර ඇති බවත්, එවැනි මුදලක් වැයකිරීමේ අරමුණු ඉටුකර ගත හැකිවුයේ ද යන්න පිළිබඳවත් කාරක සභා සභාපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර සිටියේය.

කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශය විසින් 2024 වසරේ දී විගමනික සංගම් සාමාජිකයින් 5,000 කගේ සහභාගිත්වයෙන් පළාත් මට්ටමේ රැස්වීම 03ක් පැවැත්වීම සඳහා වූ විගමනික හරසර වැඩසටහන සඳහා රුපියල් මිලියන 63 කට අධික මුදලක් හා විදේශ රැකියා අමාත්‍යාංශයට අනුබද්ධිත සියලුම ආයතන විසින් සපයනු ලබන සේවාවන්, සේවා ලාභීන් පදිංචි ස්ථානවලදීම ලබාගත හැකිවන පරිදි දිවයින පුරා පැවැත් වූ Glocal Fair වැඩසටහන සඳහා රුපියල් මිලියන 1,259 කට අධික මුදලක් ද වැය වූ බව කෝප් කමිටුවේ දී අනාවරණය විය.

මේ පිළිබඳ කරුණු අනාවරණය වූයේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ 2022, 2023 මූල්‍ය වර්ෂවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පරීක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත සමරවීරගේ සභාපතිත්වයෙන් පසුගිය 23 වනිදා පාර්ලිමේන්තුවේ දී රැස්වූ අවස්ථාවේදීය.

මෙහිදී කරුණු දක්වමින් කාරක සභා සභාපතිවරයා Global Fair වැඩසටහන කැබිනට් අනුමැතිය ලැබීමට පෙර ආරම්භ කර ඇති බවත්, අදාළ කැබිනට් පත්‍රිකාව එම වැඩසටහන ක්‍රියාත්මක වන අතරතුරු අමාත්‍ය මණ්ඩල අනුමැතියට ඉදිරිපත් කර ඇති බවත් පෙන්වා දුන්නේය.

තවද මෙම Glocal Fair වැඩසටහන් මාලාව ආරම්භක අවස්ථාවේදී වෙළඳ කුටියක් රුපියල් එක්ලක්ෂ හැත්තෑ දහසක මුදලකට මිලදී ගත්ත ද පසුව වෙළඳ කුටියක් ලක්ෂ 05ක මුදලකට ලබාගැනීම සම්බන්ධයෙන් ද කාරක සභාව විමසා සිටියේය.

කෙසේ වෙතත් ඵලදායී වැඩසටහන්වලට යෙදවීමට තිබූ මුදල් අරමුණකින් තොරව නිසි ලෙස සැලසුම් නොකළ වැඩසටහන්වලට යෙදවීම තුළින් විශාල මුදල් ප්‍රමාණයක් නාස්ති වී ගොස් ඇති බව කාරක සභා සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

එමෙන්ම 2013 වසරේ දී ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරිය සමඟ ඒකාබද්ධව ක්‍රියාත්මක කළ “රටවිරුවෝ” නිවාස ණය වැඩසටහන, වසර 05කට අත්සන් කළ අවබෝධතා ගිවිසුම අනුව සිදුකර නොමැති බවත්, ඒ හේතුවෙන් ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ලැබිය යුතු රුපියල් මිලියන 100ක මුදල තවම ලැබී නොමැති බවත්, කාරක සභාවේදී අනාවරණය වුණා.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments