පවනින අර්බුදකාරී තත්ත්වය තුළ ඉන්ධන සංචිත පිරිමසා ගැනීම වෙනුවෙන් රජයේ කාර්යාල පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇත.
අමාත්‍යාංශ ලේකම්වරු, පළාත් ප්‍රධාන ලේකම්වරු, දෙපාර්තමේන්තු ප්‍රධානීන් හා රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් වෙත මෙම චක්‍රලේඛය යොමු කර ඇති අතර රාජ්‍ය සේවකයින්ට සෑම සතියකම බදාදා දිනයේදී ලබාදුන් නිවාඩුව හේතුවෙන් එම රාජකාරී කටයුතු සතියේ අඟහරුවාදා දිනට යොදාගත යුතුයි.
යම් නිලධාරියෙකු බදාදා දින සේවයේ යෙදවිය යුතු යැයි ආයතන ප්‍රධානියා විසින් තීරණය කරනු ලබන්නේ නම්, අදාළ නිලධරයන් සේවයට කැඳවීමට බාධාවක් නොවිය යුතු බවත් ඒ සඳහා නිවාඩු දින වැටුප්, අතිකාල හෝ හිලව් නිවාඩු ලබානොදිය යුතු බවට අවධාරණය කර ඇත.
බදාදා දින වසා තබන කාර්යාලවල නිලධරයන් එම සතියේ සෙනසුරාදා, ඉරිදා හෝ රජයේ නිවාඩු දිනයකදී අතිකාල ගෙවීමේ පදනමින්, නිවාඩු දින වැටුප් ගෙවීමේ පදනමින් හෝ හිලව් නිවාඩු ලබාදීමේ පදනමින් හෝ සේවයේ නොයෙදවිය යුතුයි.
සේවයේ හදිසි අවශ්‍යතාවය මත සෙනසුරාදා, ඉරිදා හෝ රජයේ නිවාඩු දිනයක දී හෝ ස්වකීය ආයතනයේ නිලධරයන් සේවයට කැඳවීමේ අවශ්‍යතාවයක් ඇති වුවහොත් අදළා අමාත්‍යාංශ ලේකම්/ පළාත් ප්‍රධාන ලේකම්/ දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ හෝ රාජ්‍ය සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන්ගේ අනුමැතිය ඇතිව අදාළ ආයතන ප්‍රධානියා එම නිලධරයන් සේවයට කැඳවීමට බාධාවක් නොමැති බවද අදාළ චක්‍රලේඛයේ සඳහන් වේ.
එසේ සේවයට කැඳවනු ලබන නිලධරයන් සඳහා අතිකාල දීමනා, නිවාඩු දින වැටුප් හෝ හිලව් නිවාඩු ලබාදීමට බාධාවක් නොමැති බවද අදාළ චක්‍රලේඛයේ සඳහන් වේ.
රජයේ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යෑමට මෙයින් බාධාවක් නොවිය යුතු අතර එම අත්‍යවශ්‍ය සේවා සපයන ආයතන සඳහා මෙන්ම අමාත්‍යාංශ ලේකම්වරුයෙකු/ පළාත් ප්‍රධාන ලේකම්වරයෙකු/ රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානියෙකු විසින් බදාදා දිනයේදී විවෘතව තැබිය යුතු බවට තීරණය කරනු ලබන ආයතන සඳහා මෙම චක්‍රලේඛ විධිවිධාන අදාළ කර නොගත යුතුයි.
එම ආයතන මෙම දිනය සාමාන්‍ය රාජකාරී දිනයක් සේ සලකා කටයුතු කළ යුතුය. එමෙන්ම මේ වනවිට සේවා මුර ක්‍රමය යටතේ නිලධරයන් සේවයේ යොදවන ලැබූ රාජ්‍ය ආයතන සඳහා මෙම චක්‍රලේඛ විධි විධාන අදාළ කර නොගත යුතු බවද රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලෙකම්, ආලෝක බණ්ඩාර විසින් නිකුත් කළ චක්‍රලේඛයේ දැක්වේ.
