සිරගතව සිටින හිමිනමක් වෙනුවෙන් විහාර මහාදේවී උද්යාන පරිශ්රයේ සත්යග්රහයක යෙදී සිටි බලංගොඩ කස්සප හිමි හට පොලිස් නිලධාරින් විසින් පහරදුන් බවට “ පිරිත් දේශනා මැද පොලිසියේ නිර්ලැජ්ජිත පහර දීම ” ලෙස සදහන් කරමින් වීඩියෝ පටයක් සමාජ මාධ්ය ඔස්සේ සංසරණය වෙමින් පවතී.
2026.10.17 වන දින කුරුදුවත්ත පොලිස් වසමේ විහාර මහාදේවී උද්යාන පරිශ්රයේ පිහිටි බුදු පිළිමය ඉදිරිපිටදී, බලංගොඩ කස්සප හිමිගේ ප්රධානත්වයෙන් දැනට බන්ධනාගාර ගතකර සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් හට නිසි ක්රමවේදය යටතේ නිදහස් කරන ලෙසට ඉල්ලා ආරම්භ කරන ලද විරෝධතා සත්යග්රහයේදී ශබ්ද විකාශන යන්ත්රයක් භාවිතා කරමින් පැමිණ සිටින පිරිස ආමන්ත්රණය කිරිමට හා ටෙන්ට් රෙද්දක් භාවිතා කර තාවකාලික අට්ටාලයක් ඉදි කිරීමට යාමේදී පොලිස් නිළධාරීන් විසින් එය නීත්යානූකූල නොවන බව පැහැදිලි කිරීමක් සිදුකර ඇත.
එහිදි බලංගොඩ කස්සප හිමි ඇතුළු ස්වාමින්වහන්සේලා හා එහි සිටි පිරිස විසින් දැඩි තෙරපුමක් සමග ඉදිරියට පැමිණ ඇත. එම අවස්ථාවේ බලංගොඩ කස්සප හිමි රාජකාරි නිලධාරින් තල්ලු කරමින් ඉදිරියට යාමට උත්සහා කිරිමේදි එම ස්ථානයේ ඇති කොන්ක්රීට් පඩියෙන් ලිස්සා වැටි ඇත. එම හේතුවෙන් ප්රතිකාර ලබා ගැනිම සදහා කොළඹ ජාතික රෝහල වෙත පිටත්කර යවා ඇත.
විඩියෝවේ සදහන් ආකාරයට පොලිස් නිලධාරින් විසින් මෙහිදි පහර දීමක් සිදුකර නොමැති බවත්, එම අවස්ථාවේ සිදුවු හදිසි අනතුර හේතුවෙන් රෝහලට පිටත් කර යවා ඇති බවටත් කුරුදුවත්ත පොලිසිය මගින් එවන ලද වාර්ථාවේ සදහන් කර ඇත.
මෙවැනි අසත්ය, තහවුරු නොකළ, මහජන නොසන්සුන්තාවයන් හා කැළඹීම් ඇති වන පරිදි ප්රචාරණයන් පල කිරීම් සම්බන්ධයෙන් ශ්රී ලංකා පොලිසිය දැඩි අවධානය යොමු කර නෛතික ක්රියාමාර්ග ගැනීම සඳහා ක්රියාත්මක වන බවත් දැනුම් දෙනු ලැබේ.
අසත්ය තොරතුරු පල කරනු ලබන වීඩියෝ සම්බන්ධයෙන් අවබෝධයෙන් කටයුතු කරන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින අතර කුරුදුවත්ත පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.
