ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකයේ සහ විදේශ විනිමය ගලා ඒමේ දැවැන්ත හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින්, ලොව ප්‍රමුඛතම මාර්ගගත ගෙවීම් පද්ධතියක් වන PayPal හරහා සෘජුවම ශ්‍රී ලංකාවට මුදල් ගෙන්වා ගැනීමේ පහසුකම ස්ථාපිත කිරීමට රජය තීරණය කර ඇත.
වසර ගණනාවක් පුරා මෙරට ව්‍යාපාරික ප්‍රජාව තොරතුරු තාක්ෂණ වෘත්තිකයින් සහ නිදහස් සේවකයින් විසින් සිදුකළ ඉල්ලීම් සහ ඔවුන්ගේ බලවත් අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් රජය මෙම සේවාව ආරම්භ කිරීමට කටයුතු කර ඇත.
ඒ අනුව එළඹෙන මැයි මස (15) වනදා සිට මෙම සේවාව ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇත.
PayPal හරහා මෙරටට මුදල් ගෙන්වා ගැනීමට පැවති නීතිමය සහ තාක්ෂණික බාධා ඉවත් කිරීම සඳහා ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුව සහ මෙරට පෞද්ගලික බැංකු පද්ධතිය එක්ව පසුගිය කාලය පුරා සිදුකළ සාකච්ඡා සාර්ථක වීමත් සමඟ මෙම අවස්ථාව උදා වී ඇත.
මින් ඉදිරියට විදේශීය සේවාදායකයින්ගෙන් ලැබිය යුතු ගෙවීම් ලබා ගැනීම සඳහා ව්‍යාජ විදේශීය ලිපින භාවිත කිරීමට හෝ අවධිමත් මුදල් හුවමාරු ක්‍රම මත යැපීමට මෙරට ව්‍යවසායකයින්ට අවශ්‍ය නොවන බව සඳහන් කරයි.
