රජය විසින් ක්‍රියාත්මක කර ඇති “මාර්ග ආරක්ෂණ ජාතික වැඩසටහන” යතාර්ථයක් බවට පත්කිරීම සඳහා මේ වනවිට නෛතික සහ ප්‍රායෝගික පියවරයන් රැසක් ක්‍රියාත්මක කරමින් පවතී.
ඒ මගින් ප්‍රවාහනයේ ආරක්ෂාව ඉහළ ප්‍රතිශතයකින් තහවුරු කිරීමට අපේක්ෂා කෙරෙන අතර උපාය මාර්ගික තිරසර වැඩපිළිවෙලක් යටතේ ජීවිත හා දේපළ ආරක්ෂා කිරීම මෙහි අරමුණයි.
මෙම වැඩපිළිවෙල කෙටි, මධ්‍ය හා දිගුකාලීන ජාතික වැඩසටහනක් ලෙස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක කෙරේ.
ප්‍රවාහනයේ ආරක්ෂාව තහවුරු කිරීමේ ජාතික වැඩපිළිවෙල සඳහා මෙරට රක්ෂණ සමාගම්වල දායකත්වය ලබාගැනීමේ විශේෂ සාකච්ඡාවක් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
ප්‍රවාහනයේ ආරක්ෂාව සඳහා මෙරට පිළිගත් රක්ෂණ සමාගම්හි දායකත්වය ලබාදිය හැකි ආකාරය පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.
ප්‍රමිතිගත, ආරක්ෂිත රථවාහන භාවිතයත්, සුරක්ෂිත රිය ධාවනයත් ඇතුළු ප්‍රවාහනයේ ආරක්ෂාව තහවුරු කරමින් කටයුතු කරන රියදුරන්ට දිරි ගැන්වීම් ක්‍රමයක් රක්ෂණ සමාගම් මගින් ක්‍රියාත්මක කිරීමටත්, වාහනවල ධාවනයට සුදුසු තත්ත්වය මත පදනම්ව නව රක්ෂණාවරණ ක්‍රම හඳුන්වාදීමටත්, අධිවේගී මාර්ග සඳහා විශේෂ රක්ෂණ ක්‍රමවේදයක් ඇතිකිරීම පිළිබදවත්, පාපැදිකරුවන්, පදිකයින් සදහා විකල්ප වන්දි යෝජනා ක්‍රම හදුන්වාදීම පිළිබදවත් මෙහිදී සාකච්ඡාවට බදුන් විය.
එමෙන්ම ඩිජිටල් රක්ෂණ කාඩ්පත ප්‍රවර්ධනයත් දැනට කිසිදු රක්ෂණාවරණයකට ලක්නොවන දුම්රිය මගීන් හා භාණ්ඩ ප්‍රවාහනය සඳහා නිශ්චිත රක්ෂණ ක්‍රමවේදයක් ඇතිකිරීමේ හැකියාව පිළිබඳ අධ්‍යයනය කිරීමත් ඇතුළුව සියලු අංශවල ප්‍රවාහන ක්ෂේත්‍රයන් සඳහා රක්ෂණ සමාගම්වල දායකත්වය ලබාගැනීම පිළිබඳවත් සාකච්ඡා කෙරිණ.
රථවාහන අනතුරු මගින් වසරකට සිදුවන 2,750කට අධික ජීවිත හානි අවම කරගැනීම සඳහා ක්‍රියාත්මක කර ඇති ප්‍රවාහනයේ ආරක්ෂිත ප්‍රතිසංස්කරණ සඳහා මගීන් සහ රියදුරන් වඩාත් සමීපව දායක කරගැනීමට රක්ෂණ සමාගම්වල නව යෝජනා ඉදිරියේදී ලබාගැනීමට නියමිතය.
