සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාරට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාව ලබන සතියේදී කථානායකවරයා වෙත භාරදීමට පියවර ගන්නා බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත්. පී. පෙරේරා සඳහන් කරයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් අමාත්‍ය හර්ෂණ නානායක්කාරට එරෙහිව විශ්වාසභංග යෝජනාවට පසුගිය (10) වනදා පාර්ලිමේන්තුවේදී අත්සන් කරනු ලැබීය.
මීගමුව බන්ධනාගාරයේ නොසන්සුන්තාවය නිසා ඝාතනය වූ බන්ධනාගාර නිලධාරීන්ගේ මෙන්ම රැඳවියන්ගේ ආරක්ෂාව පිළිබඳව සිය වගකීම සහ වගවීම ඉටු කිරීමට අපොහොසත් වීම හේතුවෙන් ඇමතිවරයාට එරෙහිව මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීමට විපක්ෂය තීරණය කර ඇත.
මේ අතර බාල ගල්අඟුරු සිද්ධියට අදාළව හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව විශ්වාසභංගය යෝජනාවක් ගෙනඒමට විපක්ෂය පසුගියදා පියවර ගත්තේය.
ඒ අනුව පසුගිය අප්‍රේල් (10) වනදා පාර්ලිමේන්තුවේ පැවති විවාදයෙන් අනතුරුව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 104කින් පරාජයට පත්විය.

