හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මාරාන්තික රෝගී තත්ත්වයක සිටියද ඇප ලබා දීමෙන් පසු හෝ ඊට පෙර අදාළ රෝගී තත්ත්වයන්ට නේවාසික ප‍්‍රතිකාර ලබාගත් බවට කරුණු අනාවරණය වීමක් වන්නේ නැති බව කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර (18) දින ප්‍රකාශ කළේය.
ඇප ලබා ගැනීමට විශේෂඥ වෛද්‍ය මණ්ඩලයකගේ අනුමැතියකින් යුත් වෛද්‍ය වාර්තා අධිකරණයට ඉදිරිපත් කර තිබෙන බවත් ඉදිරිපත් කර තිබෙන එම වෛද්‍ය වාර්තා රජයේ වෛද්‍ය නිලධාරියෙක් මාර්ගයෙන් කැඳ වූ වෛද්‍ය වාර්තා නොවන බවද මහෙස්ත්‍රාත්වරයා සඳහන් කරයි.
ඇප නියෝගය ප්‍රකාශයට පත් කළ මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ, දෙවැනි සැකකරු සාපරාධී චේතනාවෙන් ක්‍රියාකර ඇති බව අධිකරණයේ නිරීක්ෂණයට ලක්ව ඇති බවයි.
එහිදී පිටු 07කින් සමන්විත ඇප නියෝගය ප්‍රකාශයට පත් කරමින් කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර සඳහන් කළේ,
“පිටු 7කින් යුත් නියෝගයේ කොටසක් කියවා සිටිනවා. පොදු දේපල පනත යටතේ සැකකරුවකුට එරෙහිව චෝදනා ගොනු වී ඇති විට ඇප ලබා ගැනීමට අසාමාන්‍ය කරුණු ඉදිරිපත් කළ යුතුයි.
මේ ජනරජයේ ඉහළම රාජ්‍ය නිලධාරියා විසින් සිදු කළ බවට සැකකරන මිලියන 16කට අධික මුල්‍ය වංචාවක් සම්බන්ධ නඩුවක්. දෙවන සැකකරු හට ඇත්තේ මේ මූල්‍ය අපරාධයට අධාර අනුබල දීමේ චෝදනාවයි.
රාජ්‍ය නායකගේ විදේශ සංචාරය පුද්ගලික ද නිල ද සොයා බැලීමකින් තොරව දෙවන සැකකරු විසින් රාජ්‍ය මුදල් අනුමත කර තිබෙනවා. කවුරුන් හෝ නිලධාරියෙක් එවන ලද මූල්‍ය විස්තරයක් අනුව මුදල් අනුමත කළ බව පවසා දෙවන සැකකරු හට ඔහුගේ වගකීමෙන් බැහැර විය නොහැකියි.
මුදල් දුලබව තිබූ කාලවකවානුවක අදාළ මුදල් අනුමත කිරීමේදී ඒ පිළිබඳ සොයා බැලීම දෙවන සැකකරුගේ වගකීම. රාජ්‍යයේ ඉහළම නිලධාරියෙක් එසේ කටයුතු කරනවා නම් ඉන් පහළට සියලු රාජ්‍ය මූල්‍ය කළමනාකරණයන් පාලනයෙන් තොර වෙනවා.
ඒ අනුව දෙවන සැකකරු හට රාජ්‍යයේ නායකයාගේ සංචාරයන් ප්‍රශ්න කළ නොහැකියි කියන පදනමේ සිට රාජ්‍ය මුල්‍ය අනුමත කිරීම සිදුකළ නොහැකියි. දෙවන සැකකරු සාපරාධී චේතනාවෙන් ක්‍රියා කර ඇති බව පේනවා.”
“සමස්ත නඩුවේ චෝදනාවන් අනුව දෙවන සැකකරුට වඩා පළමු සැකකරුට ඇති චෝදනා ප්‍රබලයි. කෙසේ වෙතත් පූර්වගාමී මහේස්ත්‍රාත්වරිය පළමු සැකකරු ඇප මත මුදා හැර තිබෙනවා. ඔහුට ඇප ලබාදී තිබෙන්නේ වෛද්‍ය කරුණු මත.
එහිදී පළමු සැකකරුගේ රෝගී තත්ත්වය විශේෂ තත්තවයක් ලෙස සලකා තිබෙනවා. පළමු සැකකරුගේ රෝගී තත්ත්වය මාරාන්තික තත්ත්වයක් බවට කරුණු ඉදිරිපත් කර තිබෙනවා.
පළමු සැකකරු බන්ධනාගාර ගත කළ පසු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කිරීම පිළිබඳව හෝ සැකකරුගේ රෝගී තත්ත්වය පිළිබඳ බන්ධනාගාර නිළධාරීන් අධිකරණයට දැනුම් දීමක් කර නෑ.
පළමු සැකකරුගේ රෝගී තත්ත්වය සම්බන්ධව අධිකරණයෙන් වාර්තාවක් කැඳවා තිබී නෑ. නමුත් ඇප ලබා ගැනීමට විශේෂඥ වෛද්‍ය මණ්ඩලයකගේ අනුමැතියකින් යුත් වෛද්‍ය වාර්තා අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. ඉදිරිපත් කර තිබෙන එම වෛද්‍ය වාර්තා රජයේ වෛද්‍ය නිලධාරියෙක් මාර්ගයෙන් කැඳ වූ වෛද්‍ය වාර්තා ද නොවේ.
පළමු සැකකරු මාරාන්තික රෝගී තත්ත්වයක සිටියද ඇප ලබා දීමෙන් පසු හෝ ඊට පෙර අදාළ රෝගී තත්ත්වයන්ට නේවාසික ප‍්‍රතිකාර ලබා ගත් බවට කරුණු අනාවරණය වීමක් වන්නේ නෑ. දින 21ක් මේ වනවිට දෙවන සැකකරු රක්ෂිත බන්ධනාගාරගතව සිටිනවා.
නීතිය ඉදිරියේ සියල්ලන්ම සමාන විය යුතුයි. ඒක ජනාධිපතිට, ලේකම්ට කියලා වෙනස් වන්නේ නෑ. එය නිල හෝ නොනිල බලයක් ඇති පුරවැසියාටද ඇප ලබා නොදීමට තත්ත්වයක් නොවේ. තවදුරටත් සිදු කරන විමර්ශන දෙවන සැකකරුට පමණක් අදාළ ඒවා නොවේ.
ඒවා පළමු සැකකරුටද එක ලෙස බලපාන විමර්ශන. ඒ අනුව දෙවන සැකකරු මිලියන 20ක ශරීර ඇප දෙකක් මුදා හරිනවා. පළමු සැකකරු හටද ඇප ලබා දෙමින් විදේශ ගමන් තහනමත් පනවා නෑ.
එම නිසා ඊට වඩා අඩු අපරාධ වගකීමක් ඇති දෙවන සැකකරු හටද විදේශ ගමන් තහනමක් පනවන්නේ නෑ. දෙවන සැකකරුට මීට පෙර අධිකරණයෙන් පනවා තිබූ විදේශ ගමන් තහනමද ඉවත් කරනවා.”
ඉන් අනතුරුව මෙම නඩුකරය යළි අප්‍රේල් මස (29) වනදා කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා එදින මෙම කටයුතුවල ප්‍රගතිය දැනුම් දෙන ලෙසද නියම කළේය.

