Attention

ජනපති අනුරගේ රැස්වීම් වල කැපී පෙනුණු විශේෂ ප්‍රකාශ 13ක්

ජනපති අනුරගේ රැස්වීම් වල කැපී පෙනුණු විශේෂ ප්‍රකාශ 13ක්

වත්මන් ආණ්ඩුව බලයට පත්වී වසර දෙකක් සම්පූර්ණ වීමත් සමග ජනාධිපති අනුර කුමාර දිසානායක ජන රැළි කිහිපයක් පැවැත්වූ අතර එහිදී සිදුකළ ප්‍රකාශවල සඳහන් වූ විශේෂ කරුණු කිහිපයකි.

1.පාතලයට කිසිදු සමාවක් නෑ. පාතාලය සහ කුඩු ව්‍යාපාරය මුළුමනින්ම ඉවත් කරනවා.

2.මේ අවුරුදු දෙකේ වැඩි කාලයක් කරලා තියෙන්නේ පරීක්ෂණ. දැන් පරීක්ෂණ කරපු කාලය ඉවරයි. දැන් අල්ලන්න තියෙන්නේ.

3.පොහොර සහනාධාරය එළඹෙන 2027 අයවැයේදීත් ඊළග කන්න සහ දිගටම රුපියල් 30,000ක් දක්වා වැඩි කිරීම.

4.පරිවාස භාරයේ සිටින සෑම දරුවෙක්ට 2027 ජනවාරි මාසයේ ඉදන් සෑම මාසෙකට රුපියල් 5,000 ගානේ ස්ථාවර ගිණුමකට දානවා.

5.රටේ මහජනයාගේ ධනයෙන් සතයකට හරි අත තිබ්බොත් කවදාහරි දඩුවමක් ලැබෙන බව ඔප්පු කර පෙන්වනවා.

6.දූෂිතයින්ට දඬුවම් ලබාදීමේදී කවුරු ඇඬුවත් ඒක අපිට පේන්නේ නෑ. අපි ඇස් බැඳගෙන ඉන්නේ.

7.රාජ්‍ය සේවයට අලුතින් 121,000ක් බඳවා ගැනීමට අනුමැතිය ලබාදී තිබෙනවා.

8.දිවයින පුරා වැව් අමුණු, ඇල වේලි හදන්න රුපියල් මිලියන 35,000ක් වෙන් කරනවා.

9.දරුවන් ගණන 50ට වඩා අඩු පාසල් ලොකු පාසල් සමග බද්ධ කරනවා.

10.පාසල් පොත්වල වැට් බද්ද ඉවත් කරන්න කටයුතු කරනවා.

11.අපි මේ රැස්වීම් තියන්නේ ආණ්ඩුවට තර්ජනයක් ඇවිල්ලා නෙවෙයි. මේ ආණ්ඩුවට කිසිම තර්ජනයක් නෑ.

12.වසර කිහිපයක් ඇතුළත ආර්ථික වශයෙන් ස්වාධීනත්වය අත්පත් කර ගැනීමට අවශ්‍ය පිඹුරුපත් සකස් කර තිබෙනවා.

13.මැදපෙරදිග යුද්ධය නිසා, අපි පාවිච්චි කරන තාර වර්ගය මෙරටට ගෙන්වා ගැනීමේ ප්‍රශ්නයක්. එනිසා සැලසුම් කළ මාර්ග ඉදිකිරීමේ ප්‍රමාදයක්.

Turkish Airlines රුමේෂ්ගෙන් සමාව ඉල්ලයි.. සිදුවූ හානියට විශාල වන්දි මුදලක්

Turkish Airlines රුමේෂ්ගෙන් සමාව ඉල්ලයි.. සිදුවූ හානියට විශාල වන්දි මුදලක්

හෙල්ල විසි කිරීමේ ලෝක ශුරයා වන රුමේෂ් තරංගගේ හෙල්ල විසි කිරීමේ ක්‍රීඩා උපකරණ වලට සිදුවූ හානිය වෙනුවෙන් වන්දි මුදලක් ලබාදීමට “Turkish Airlines” ආයතනය එකඟතාව පළකර ඇති බව සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු සදහන් කරයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් Turkish Airlines නියෝජිතයින් සමඟ විශේෂ සාකච්ඡාවක් ඊයේ (15) දින සිවිල් ගුවන්සේවා අධිකාරී පරිශ්‍රයේදී පවත්වා තිබුණ අතර එහිදි මෙම වන්දි මුදල ලබාදීමට “Turkish Airlines” ආයතනය එකඟතාව පළකර ඇත.

වරාය හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිතරුවන් කොඩිතුවක්කුගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවට වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්. ඩබ්ලිව්.එස්. මංගල, සිවිල් ගුවන්සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කපිතාන් දමින්ද රඹුක්වැල්ල සහ සභාපති විශ්‍රාමික කර්නල් රංජිත් රාජසිංහ ඇතුළු නිලධාරීන් සහ Turkish Airlines ආයතනයේ නියෝජිතයින් එක්ව සිටියේය.

මෙම විශේෂ සාකච්ඡාවේදී රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ වලට සිදුවූ හානිය සම්බන්ධයෙන් “Turkish Airlines” නියෝජිතයින් සිය කනගාටුව පළකර ඇති අතර අනතුරුව අදාළ හානිය පිළිබඳ තක්සේරුවක් සිදුකර, ඒ වෙනුවෙන් රුමේෂ් තරංගට වන්දි මුදලක් ලබාදීමට අවශ්‍ය කටයුතු සිදුකිරීමට එකඟ වී ඇත.

රුමේෂ් තරංගගේ නම රන් අකුරින් ලියවෙයි

රුමේෂ් තරංගගේ නම රන් අකුරින් ලියවෙයි

ලෝක මලල ක්‍රීඩා අල්ටිමේට් ශූරතාවලියේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක රුමේෂ් තරංග සමත් විය.

ඒ අනුව රුමේෂ් තරංගගේ මෙම දක්ෂතාවය ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසයේ රන් අකුරින් ලියවෙයි.

ලොව විශිෂ්ටතම මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් හංගේරියාවේ බුඩාපෙස්ට් නුවර පැවැත්වෙන මෙම ශුරතාවලියේදී රුමේෂ් තරංග මීටර් 91.09ක දුරක් වාර්තා කළේය.

මෙම විශිෂ්ඨ ජයග්‍රහණයත් සමඟ රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩා පිටියේ තවත් සුවිශේෂී කඩයිමක් පසු කිරීමට සමත් විය.

රාජපක්ෂ පවුලේ ගුවන් යානා වංචාව.. බලය අතේ තියන් රඟපු හැටි

රාජපක්ෂ පවුලේ ගුවන් යානා වංචාව.. බලය අතේ තියන් රඟපු හැටි

2006 වසරේදී යුක්‍රේනයෙන් මිග් – 27 ප්‍රහාරක යානා මිලදී ගැනීම සහ අලුත්වැඩියා කිරීම සම්බන්ධයෙන් ගණුදෙනුවක් සිදුවු අතර එම ගණුදෙනුව යුක්‍රේන රජයට අයත් යුක්‍රේන මාෂ් ආයතනය සමග ආණ්ඩුවෙන් ආණ්ඩුවට කෙරුණු ගණුදෙනුවක් බව එවක බලධාරීන් සඳහන් කළේය.

පසුව අනාවරණය වු පරිදි ශ්‍රී ලංකා රජය මෙම ගණුදෙනුව සඳහා ගෙවන ලද මුදලින් ඩොලර් මිලියන ගණනක් බ්‍රිතාන්‍යයේ වර්ජින් දූපත්හි ලියාපදිංචි බෙලෙනිසා හෝල්ඩින්ස් නම් අතරමැදි ආයතනයක් හරහා වෙනත් රටවලට යොමුකර ඇත.

සමාගම් බදු සහන ලබාගැනීමට පැමිණීම නිසා සහ එහි ලියාපදිංචිව පවතින සමාගම් වල තොරතුරු පිළිබඳව රහස්‍යභාවය සුරැකීම නිසා බ්‍රිතාන්‍ය පාලනයට අයත් වර්ජින් දූපත් ලෝකයේ ප්‍රසිද්ධව පවතියි.

යුක්‍රේන රජයේ ආයතනය ලැබී ඇත්තේ නියමිත මුදලින් කොටසක් පමණ වන අතර ඉතිරි ඩොලර් මිලියන 7කට ආසන්න මුදලක් කොල්ල කා ඇති බව මුල්‍ය අපරාධ පරීක්ෂණ අංශය පසුව අධිකරණයට වාර්තා කළේය.

තවද සිදුකරන ලද වසර තුනක පරීක්ෂණ වලින් හෙළිවු කරුණු අනුව 2006 වසරේ ජුලි (26) වැනිදා ඇතිකර ගත් ගිවිසුම ව්‍යාජ එකක් බව හෙළිවී ඇති අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාව මෙම ගණුදෙනුවට අදාළව එම සමාගමට මුදල් ගෙවා ඇත.

එහෙත් එම සමාගමේ ලන්ඩනයේ ඇත්තේ, ලිපිනයක්, පුටුවක් සහ මේසයක් පමණක් බව වාර්තා වු අතර පසුව එම සමාගම බ්‍රිතාන්‍යයේ වර්ජින් අයිලන්සි රහසිගත ගිණුමකට මෙම මුදල් බැරකර ඇති බවයි.

සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීමට සති කිහිපයකට පෙර එවක පාලකයින් සම්බන්ධ වු මෙම බරපතල මිග් යානා වංචාවේ සුලමුල හෙළිකිරීමට කටයුතු කළේය.

යුක්‍රේනය සමග ආණ්ඩු දෙකක් අතර සිදු කරන ගණුදෙනුවක් ලෙස මෙය සිදුකිරීමට හැකියාව තිබියදී එය දූෂිත අයුරින් සිදුව ඇති බවට ලසන්ත වික්‍රමතුංග⁣ අනාවරණය කළේය.

2006 වසරේදී මිග් – 27 ප්‍රහාරක යානා මිලදී ගැනීම සහ අලුත්වැඩියා කිරීම සම්බන්ධ ගණුදෙනුව සිදුවු කාලයේ එවක ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ කටයුතු කළේය.

තවද එම වංචාව සිදුවන කාලයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක වේ.

ඒ අනුව මෙම ආන්දෝලනාත්මක මිග් යානා ගනුදෙනුවේදී සිදුව ඇතැයි කියන මුල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනය සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ (11) දින මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට පැමිණියේය.

අනතුරුව පැය 5කට අධික කාලයක් මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පිටව ගියේය.

තවද එම මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක ඊයේ (10) දින මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටි පැය 5කට අධික කාලයක් ප්‍රකාශ ලබාදුන්නේය.

මේ අතර ශ්‍රීලංකන් ගුවන් සමාගමට එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවකට අදාළව අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ලබන (18) වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

2012 – 2013 කාල සීමාවේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ යානා 13ක් ඉවත් කර ඒ වෙනුවට අලුත්ම යානා 14ක් සේවයට එක්කර ගැනීමේ යෝජනාවක් ඉදිරිපත් වු අතර එම යානා අතරින් A 330 යානා 6ක් සහ A 350 යානා 4ක් මිලදී ගැනීම සඳහා ප්‍රංශයේ එයාර් බස් සමාගම සමග ගිවිසුමක් අත්සන් කර ඇත.

ඒ අනුව 2020 වසරේ ජනවාරි මාසයේ බ්‍රිතාන්‍යයේ බරපතල වංචා විමර්ශන කාර්යාලය සිදුකළ විමර්ශනයක තොරතුරු හෙලිවීමත් සමග මෙම ගනුදෙනුවේ බරපතල වංචාවක් පිළිබඳව තොරතුරු අනාවරණය විය.

එයාර් බස් යානා 10ක් මිලදී ගැනීමේ ගනුදෙනුව සඳහා ප්‍රංශයේ එයාර් බස් සමාගම ඇමරිකානු ඩොලර් මිලියන 16.84 ක අල්ලසක් ලබාදීමට පොරොන්දු වී තිබූ බව මෙම විමර්ශනයේදී අනාවරණය වී ඇත.

ශ්‍රී ලංකන් සමාගමේ එවක ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ බිරිඳට අයත් බෲනායි රාජ්‍යයේ පවත්වාගෙන ගිය සමාගමක ගිණුමකට මෙම මුදලින් ඩොලර් මිලියන 2ක් බැර කර ඇති බව එහිදී හෙළිවිය.

එම වාර්තාවට අනුව බිරිදට අයත් සමාගමේ නමින් බෲනායි රාජ්‍යයේ පවත්වාගෙන ගිය සමාගමට ලැබුණු මුදල් සිංගප්පූරුවේ ගිණුමක් මගින් කපිල චන්ද්‍රසේන අවස්ථා කිහිපයකදී ඕස්ට්‍රේලියාවේ ඇති ඔහුගේ ගිණුමකට මාරුකර යවා ඇත.

තවදුරටත් විමර්ශන සිදුකල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙරට ගිණුම් දෙකකටද සිංගප්පූරුවෙන් මුදල් හුවමාරුවී ඇතැයි අනාවරණය වු අතර එම ගිණුම් දෙක අතර ශමින්ද්‍ර රාජපක්ෂට අයත් බැංකු ගිණුමකට 2013 වසරේදී ඇමරිකානු ඩොලර් එක් ලක්ෂය හැට දහසක මුදලක් බැරවී ඇත.

ඒ අනුව ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවේදී සිංගප්පූරුවේ ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුවේ BIZ Solutions INC නැමැති ගිණුමට අල්ලස් වශයෙන් ලද යූරෝ 1,454,651.24 ක මුදලින් ඇමරිකානු ඩොලර් 800,000 ක මුදලක් ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයකු වෙත හිමිකාරිත්වය ඇති Saber Vision Holdings LTD සමාගමේ නමින් සිංගප්පූරුවේ පිහිටි OCBC බැංකුවේ ගිණුමක් වෙත තැන්පත් කරවාගෙන එම මුදලට සමාන වන අයුරින් ශ්‍රී ලංකා රුපියල් මිලියන 100 ක (රු. 100,000,000) මුදලක් ශ්‍රී ලංකා ව්‍යාපාරිකයකු අතින් 2014 හා 2015 වර්ෂවල අවස්ථා කිහිපයකදී අල්ලස් ලෙස ලබාගැනීම නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට අදාල කරුණු වේ.

එම අල්ලස් ලබාගැනීම සම්බන්ධයෙන් ලබාදුන් ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයාගේ ප්‍රකාශය, ප්‍රංශයේ Airbus සමාගමේ නිලධාරින් අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාවට ලබාදුන් ප්‍රකාශ, ඒ සම්බන්ධයෙන් රැස්කරන ලද ලේඛන හා අනෙකුත් තොරතුරු මත නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගත්තේය.

මේ සම්බන්ධයෙන් පසුගිය මැයි මස (12) වනදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසම හමුවට පැමිණ ප්‍රකාශයක් ලබා දුන්නේය.

මියගිය ශ්‍රීලන්කන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන ලබාදුන් ප්‍රකාශයක් මත පදනම්ව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අල්ලස් කොමිසම වෙත කැඳවා තිබිණි.

එයාර් බස් ගනුදෙනුවෙන් අල්ලස් වශයෙන් ලැබුණු මුදල් සැකකාර කපිල චන්ද්‍රසේන විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සහ හිටපු ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්නට ලබාදී තිබෙන බව අනාවරණය වී ඇතැයි අල්ලස් කොමිසම මාර්තු (19) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

මේ අතර එයාර් බස් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණයන්ට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ පසුගිය (08) වනදා අල්ලස් කොමිසම හමුවට කැඳවා තිබුණේය.

රජයෙන් නව තීරු බදු ක්‍රමයක්

රජයෙන් නව තීරු බදු ක්‍රමයක්

රජය විසින් දේශීය කර්මාන්තකරුවන් ආරක්ෂා කිරීමේ අරමුණින් ආනයනික භාණ්ඩ මත පනවා ඇති සෙස් බදු ඉවත් කර නව තීරුබදු ක්‍රමයක් හඳුන්වාදීමට තීරණය කර ඇති බව මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයසිංහ සඳහන් කරයි.

කර්මාන්තකරුවන් ආරක්ෂා කිරීමේ අරමුණින් ආනයනික භාණ්ඩ මත සෙස් බදු පැනවුවත් දේශීය කර්මාන්ත බොහොමයක් ආනයනික අමුද්‍රව්‍ය මත රඳා පවතින බවත් එම නිෂ්පාදනයන්ගේ පිරිවැය ඒ හා සමානව ඉහළ මට්ටමක පවතින බැවින් අදියර වශයෙන් සෙස් බදු ඉවත් කිරීමට කටයුතු කරන බවද නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයසිංහ සඳහන් කරයි.

සෙස් බදු සහ පැල් ඉවත් කිරීමත් සමගම නව තීරුබදු ව්‍යුහයක් හඳුන්වා දීමට රජය පියවර ගන්නා බවත් ඒ අනුව කාණ්ඩ 4ක් යටතේ එම තීරුබදු ක්‍රමය හඳුන්වා දීමට පියවර ගන්නා බවද නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයසිංහ සඳහන් කරයි.

ඒ අනුව, 0%, 10%, 20,% සහ 30% යටතේ නව තීරු බදු හඳුන්වා දීමටත් අමුද්‍රව්‍ය සඳහා සහ නිෂ්පාදන සඳහා යොදා ගන්නා භාණ්ඩවලට 0% අනුපාතය යොදා ගැනීම මෙන්ම නිමි භාණ්ඩ වශයෙන් ආනයනය කරනු ලබන භාණ්ඩ සහ තෝරා ගත් භාණ්වලට 30% උපරිමයකට යටත්ව නව තීරු බදු පැනවීමට කටයුතු කරන බවද නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයසිංහ සඳහන් කරයි.

නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයසිංහ අද (11) දින පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ,

“දේශීය කර්මාන්ත බොහෝමයක් ආනයනික අමුද්‍රව්‍ය මත රඳා පවතින බැවින් ඒවායේ නිෂ්පාදන පිරිවැයද ඒ හා සමානවම ඉහළ මට්ටමක පවතිනවා. ඒ නිසා අදියර වශයෙන් මුළින්ම අතරමැදි අමුද්‍රව්‍ය සඳහා ක්‍රමයෙන් සෙස් බදු ඉවත් කිරීමත්, කර්මාන්ත වලදී සංවේදී භාණ්ඩ සඳහා සහ අතරමැදි ද්‍රව්‍ය සඳහා සහන කාලයක් සහිතව සෙස් බදු ක්‍රමයෙන් ඉවත් කිරීම තුළින් දේශීය කර්මාන්ත වලට හානියක් නොවන පරිදි මෙන්ම ක්‍රමිකව එම නිෂ්පාදන ක්‍රියාවලියට නිෂ්පාදකයින් අනුගත කිරීමේ හැකියාව සහ ඔවුන්ට අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය වියදම අවම කර ගැනීම තුළින් නිෂ්පාදන පිරිවැය අවම කිරීමේ ප්‍රවේශයක් ලබා දීමටද මෙමගින් අපේක්ෂා කරනවා.

එමෙන්ම සෙස් බදු සහ පැල් ඉවත් කිරීමත් සමගම නව තීරුබදු ව්‍යුහයක් හඳුන්වා දීමට බලාපොරොත්තු වෙනවා. ඒ අනුව කාණ්ඩ 4ක් යටතේ 0%, 10%, 20,%, 30%, නව තීරුබදු හඳුන්වා දෙනවා. ඒ අනුව අමුද්‍රව්‍ය සහ නිෂ්පාදනය සඳහා යොදා ගන්නා භාණ්ඩ වලට 0% අනුපාතය යොදා ගැනීමේ වැඩි ඉඩකඩක් තමයි පවතින්නේ. අනෙකුත් දේශීය කර්මාන්ත ආරක්ෂා කර ගැනීම සඳහා නිමි භාණ්ඩ වශයෙන් එන භාණ්ඩ වලට සහ තෝරාගත් භාණ්ඩ වලට 30% කියන උපරිමය අය කිරීම තුළින් කර්මාන්තකරුවන් ආරක්ෂා කිරීමට බලාපොරොත්තු වෙනවා.”

‘Gov Pay’ අහුවෙන්න එපා.. පොලීසිය ජනතාවට අනතුරු අඟවයි

‘Gov Pay’ අහුවෙන්න එපා.. පොලීසිය ජනතාවට අනතුරු අඟවයි

රටේ ජනතාවගේ කටයුතු පහසු කිරීම සහ මුදල් වංචා අවම කිරීමේ අරමුණින් රථවාහන වැරදි සඳහා “Gov Pay” ක්‍රමවේදය මගින් දඩ මුදල් ගෙවීම මෙම වසර මුලදී හඳුන්වා දුන්නේය.

එහෙත්, රථවාහන වැරදි සඳහා දඩ මුදල් ගෙවිය හැකි “Gov Pay” ක්‍රමවේදයට සමාන ව්‍යාජ වෙබ් අඩවියක් සකස්කර ජනතාවගේ මුදල් සහ සංවේදී දත්ත සොරාගන්නා ජාවාරමක් ක්‍රියාත්මක බව පොලිසිය සඳහන් කරයි.

එම ව්‍යාජ වෙබ් අඩවියේ සබැඳි, කෙටි පණිවුඩ සහ Whatsapp පණිවුඩ ලෙස ජංගම දුරකථන වලට එවා ජනතාවගේ මුදල් සොරාගැනීම මෙම ජාවාරමේදී සිදුවන බව පොලිසිය සඳහන් කරයි.

“Gov Pay” හරහා ගෙවීමට වෙනත් කිසිඳු වෙබ් අඩවියක් නොමැති බැවින් එම ව්‍යාජ මූල්‍ය වංචා වලට අසු නොවෙන ලෙස රථවාහන නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී.ජේ. සේනාධීර ජනතාවට දැනුම් දෙයි.

රථවාහන නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ,

“පැහැදිලිවම කියනවා මේක සම්පුර්ණයෙන් ව්‍යාජ පණිවිඩයක්. Scam එකක්. රථවාහන වැරදි සඳහා ගෙවන්න තියෙන එකම ක්‍රමය තමයි “Gov Pay” හරහා. ඒක අපි ලංකාවට හදුන්වා දුන්නා.”

විදුලි කප්පාදුව ගැන ඇමතිගෙන් ප්‍රකාශයක්

විදුලි කප්පාදුව ගැන ඇමතිගෙන් ප්‍රකාශයක්

විදුලිය අඛණ්ඩව සැපයීම සඳහා ප්‍රමාණවත් පරිදි ගල්අඟුරු පවතින බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක සඳහන් කරයි.

මෙට්‍රික්ටොන් 60,000ක ගල්අඟුරු නැවක් අද (04) දිනයේ මෙරටට පැමිණෙන බවත් එනිසා ගල්අඟුරු පදනම් කරගනිමින් කිසිදු විදුලි කප්පාදුවක් සිදු නොකරන බවද අමාත්‍ය අනුර කරුණාතිලක සඳහන් කරයි.

නොරොච්චෝලේ බලාගාරයට ප්‍රමාණවත් ගල්අඟුරු සැපයුමක් තිබෙන බවත් ඉදිරියේදී ගල්අඟුරු හිගතාවයක් නොමැති බවත් එනිසා විදුලි කප්පාදුවක් සිදු නොවන බවද අමාත්‍ය අනුර කරුණාතිලක සඳහන් කරයි.

අමාත්‍ය අනුර කරුණාතිලක සඳහන් කළේ,

“2026 – 2027 කාලය සඳහා ගල්අඟුරු ප්‍රසම්පාදන ක්‍රියාවලිය අවසන් කරලා පළමු නැව, අපි බලාපොරොත්තු වෙනවා සැප්තැම්බර් (12) වැනිදා බලාගරය වෙතට ලගාවෙයි කියලා.

ඒ අනුව බලාගාරය වෙත පැමිණි පසු අඛණ්ඩව ගල්අඟුරු ලබාගැනිම සඳහා සැලැස්මක් තිබෙනවා. ඒ අනුව කිසිම විදියකින් අපට ගල්අඟුරු පිළිබඳව, හිඟතාවය පිළිබඳව ගැටළුවක් නැත.

අඛණ්ඩව සැපයීම සඳහා ප්‍රමාණවත් ගල්අඟුරු නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරය සතුව පවතිනවා. විශේෂයෙන් පහුගිය කාලයේ ගෙනාපු ගල්අඟුරු වල යම් ප්‍රමාණයක් ඉතිරිව තිබෙනවා.

අපි බලාපොරොත්තු වෙනවා තවත් ගල්අඟුරු නැවක් නොරොච්චෝලේ වෙත ලගාවෙයි කියලා. ඒ ලගාවීමත් එක්ක බලාපොරොත්තු වෙනවා එතන මෙට්‍රික්ටොන් 60,000ක ප්‍රමාණයක්.

එනිසා නොරොච්චෝලේ බලාගාරයට ප්‍රමාණවත් ගල්අඟුරු සැපයුමක් තියෙනවා. ගල්අඟුරු හිගතාවය නිසා කිසිම විදියකින් විදුලිය කපා හැරීමක් කරන්න අපට සිද්ධ වෙන්නේ නෑ.

ජනතාවට සහතික වෙනවා, ගල්අඟුරු හිඟවීම නිසා විදුලිය කපාහැරීමක් සිද්ධ වෙන්නේ නෑ. අඛණ්ඩව විදුලිය සැපයීම අපි සහතික කරනවා.”

22ට එරෙහි විභාගය අවසන්.. රහසිගත තීන්දුව කථානායකට

22ට එරෙහි විභාගය අවසන්.. රහසිගත තීන්දුව කථානායකට

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර ඇති පෙත්සම් පිළිබඳ විභාගය අවසන් කර ඇත.

ඒ අනුව පෙත්සම් පිළිබඳ විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය, එම පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූල භාවය පිළිබඳ රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත යොමු කරන බව අද (02) සඳහන් කළේය.

22 වන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබූ පෙත්සම්, එම පනත් කෙටුම්පතට සහාය පළ කරමින් ගොනුකළ පෙත්සම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු සහ නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

මෙම පෙත්සම්වලට අදාළ ලිඛිත දේශන තිබේ නම් ඒවා හෙට (03) දින ප.ව. 3.00ට පෙර ගොනු කිරීමට පියවර ගන්නා ලෙසද අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙහිදී පාර්ශ්වකරුවන්ට නියම කළේය.

රවී කරුණානායක අත්අඩංගුවට

රවී කරුණානායක අත්අඩංගුවට

හිටපු අමාත්‍ය රවී කරුණානායක අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

රවී කරුණානායක අද (31) අල්ලස් කොමිසම හමුවට පැමිණ ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව එලෙස අත්අඩංගුවට ගෙන ඇත.

නේපාලයේ ගලවා ගැනීමේ සහ මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා සහාය වීමට අපි සූදානම්

නේපාලයේ ගලවා ගැනීමේ සහ මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා සහාය වීමට අපි සූදානම්

නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුරෙන් පසු සිදු වූ ඛේදජනක සිදුවීම ගැන නේපාල ජනතාවට බලවත් ශෝකය ප්‍රකාශ කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක “X” පණිවිඩයක් නිකුත් කර ඇත.

නේපාලයේ ගලවා ගැනීමේ සහ මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා සහාය වීමට ශ්‍රී ලංකාව සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

“නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුරෙන් පසු සිදු වූ ඛේදජනක ජීවිත හානි ගැන දැන ගැනීමට ලැබීම ගැන මම අතිශයින් කණගාටු වෙමි. ශ්‍රී ලංකාව නේපාලයට ගලවා ගැනීමේ සහ මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා සහාය වීමට සූදානම්ව සිටී.

මාස 10 කට පෙර මාරාන්තික සුළි කුණාටුවකින් තවමත් ගොඩ එන ජාතියක් ලෙස, අපි නේපාල ජනතාවගේ ශෝකය බෙදා ගනිමු. @OOP_Nepal, @PM_nepal_ සහ නේපාල ජනතාවට සිය ගැඹුරු ශෝකය ප්‍රකාශ කිරීමට ශ්‍රී ලංකාව මා සමඟ එක්වෙයි. @ShahBalen”

Follow WhatsApp Channel