Attention

ලෝකයේ හොඳම දූපත ලෙස ‘ශ්‍රී ලංකාව’ නම් කරයි

ලෝකයේ හොඳම දූපත ලෙස ‘ශ්‍රී ලංකාව’ නම් කරයි

ලෝකයේ හොඳම දූපත් 50ක ලැයිස්තුවට අනුව 2026 වසර සඳහා සංචාරක ගමනාන්ත ශ්‍රේණිගත කිරීම්වල ප්‍රථම ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව ඇත.

ජාත්‍යන්තර සංචාරක මාධ්‍යයක් වන “Big 7 Travel” විසින් සිදුකළ නවතම ඇගයීමට අනුව ලෝකයේ හොඳම දූපත් ලැයිස්තුවේ ප්‍රථම ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව ඇත.

ස්වභාවික සුන්දරත්වය, ජෛව විවිධත්වය, සංස්කෘතික උරුමය, සංචාරක අත්දැකීම් සහ ගෝලීය ජනප්‍රියත්වය ඇතුළු කරුණු රැසක් පදනම් කර ගනිමින් මෙම ශ්‍රේණිගත කිරීම සිදු කර ඇත.

ග්‍රීසිය, පෘතුගාලය, අයර්ලන්තය, තායිලන්තය වැනි දීර්ඝ කාලයක් ලොව ප්‍රමුඛ දූපත් සංචාරක ගමනාන්ත ලෙස සැලකුණු රටවල් අභිබවා යමින් ශ්‍රී ලංකාව ප්‍රථම ස්ථානයට පත්ව ඇත.

ලෝකයේ හොඳම දූපත් 10 පහතින්..

1. Sri Lanka

2. Mo’orea, French Polynesia

3. Socotra, Yemen

4. Madeira, Portugal

5. Galápagos Islands, Ecuador

6. Great Exuma, Bahamas

7. Seychelles

8. Achill Island, Ireland

9. Koh Lipe, Thailand

10. Milos, Greece

සංචාරකයන්ගේ අවධානය වැඩිවීමත් සමඟ, ශ්‍රී ලංකාව ලෝක දූපත් සංචාරක කර්මාන්තයේ නව මිණුම් දණ්ඩ බවට පත්වෙමින් සිටින බව එම ඇගයීමේදී අවධාරණය කර ඇත.

පොසොන් පොහෝ දින ආගමික වැඩසටහන් සඳහා ජනපති එක්වෙයි

පොසොන් පොහෝ දින ආගමික වැඩසටහන් සඳහා ජනපති එක්වෙයි

2026 ජාතික පොසොන් පුණ්‍යෝත්සවය සමගාමීව තන්තිරිමලේ රජමහා විහාරස්ථානයේ පැවැත්වෙන ආලෝක පූජාව සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක සහභාගී විය.

අද (29) පස්වරුවේ තන්තිරිමලේ රජමහා විහාරස්ථානය වෙත පැමිණ ආගමික වතාවත්වල නිරත වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින් විදුලි ආලෝකය දල්වමින් ආලෝක පූජාවේ ආරම්භය සනිටුහන් කරනු ලැබීය.

තන්තිරිමලේ රජමහා විහාරාධිපති උතුරු නැගෙනහිර දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක තත්තිරිමලේ චන්දරතන නාහිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් මෙම ආලෝක පූජාව පැවැත්වේ.

මීට සමගාමීව මල් පහන් පෙරහර සහ බොදු බැති ගී ප්‍රසංගයක්ද මෙහිදී පැවැත්විණ.

කිසිවක් බාහිර ලක්ෂණ, අනුමාන මත පමණක් පදනම්ව තීරණය නොකර ප්‍රත්‍යක්ෂ ලෙස සත්‍යය වටහා ගනිමු

කිසිවක් බාහිර ලක්ෂණ, අනුමාන මත පමණක් පදනම්ව තීරණය නොකර ප්‍රත්‍යක්ෂ ලෙස සත්‍යය වටහා ගනිමු

ශ්‍රී සම්බුද්ධ ශාසනය මෙරට ස්ථාපිත කළ මිහිඳු මහ රහතන් වහන්සේගේ ඓතිහාසික ධර්ම දූත මෙහෙවර සිහිපත් කරමින් සැමරෙන උතුම් පොසොන් පුර පසළොස්වක පොහොය ආධ්‍යාත්මික අවබෝධය, ප්‍රඥාව සහ සමාජ සමානාත්මතාව අපට සිහිපත් කරන ඉතා පුණ්‍යවන්ත දිනයකි.

පොසොන් පොහොය යනු ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ ආගමික සිදුවීමක් පමණක් නොව, ජාතික චින්තනය, සංස්කෘතිය සහ සදාචාරාත්මක ජීවන රටාව පරිවර්තනය කළ ඓතිහාසික සංධිස්ථානයකි.

මිහිඳු මහ රහතන් වහන්සේගේ ශ්‍රී ලාංකිකයන් සමග දේශනාව දායාද වූ බෞද්ධ දර්ශනය, ස්වදේශී ගොඩනැගුණු පුරා අපගේ ජාතික අනන්‍යතාව හැඩගැස්වූ අමිල උරුමයක් බවට පත්විය.

පොසොන් පොහොය අපට සිහිපත් කරන්නේ සැදැහැ සංවර්ධනය ආරම්භ වන්නේ මිනිසාගේ සිත තුළින් බවයි. කරුණාව, දයාව, සමානාත්මතාව, විනය සහ වගකීම වැනි උතුම් බෞද්ධ වටිනාකම් සමාජයේ පදනම බවට පත් කළ හැකි නම්, සාමකාමී, සාධාරණ සහ සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක් ගොඩනැඟීම අපට වඩාත් පහසු වනු ඇත.

අද අපේ රට නව බලාපොරොත්තු සහිත ගමන් මඟකට පිවිස සිටී. එම ගමන සාර්ථක කර ගැනීමට ආර්ථික ප්‍රගතිය පමණක් නොව, සදාචාරාත්මක වටිනාකම්වලින් සුපෝෂිත සමාජයක්ද අවශ්‍ය වේ. පොසොන් පොහොයයේ සැදැහැ භරිත වන සදාචාරය, අවිහිංසාව සහ මානව දයාව, ජනතා අපේක්ෂා ඉටු කරන සාධාරණ හා සර්ව සාධාරණ රටක් ගොඩනැඟීම වෙනුවෙන් වූ රජයේ අරමුණ වෙත මඟපෙන්වීමකි.

උදාවූ වූ උතුම් පොසොන් පුර පසළොස්වක පොහොය දිනය සියලුම බෞද්ධ ජනතාවගේ ජීවිතවලට නිවීම, සැනසීම, ප්‍රඥාව සහ සෞභාග්‍ය උදා කරන පින්බර පොහොය දිනයක් වේවායි ප්‍රාර්ථනා කරමි.

ජනපති අනුර පාර්ලිමේන්තුවට

ජනපති අනුර පාර්ලිමේන්තුවට

ජනාධිපති අනුර කුමාර දිසානායක මීට සුළු වේලාවක‌ට පෙර පාර්ලිමේන්තු සභාගර්භය වෙත පැමිණියේය.

අද දින විවාදයට ගනු ලබන විස මත්ද්‍රව්‍ය තුරන් කිරීම හා සංවිධානාත්මක අපරාධ මැඩලීම පිළිබඳ යෝජනාව සම්බන්ධයෙන් අදහස් දැක්වීමට ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව‌ට පැමිණ ඇත.

එල්-නිනෝ බලපෑම සහ ඊට මුහුණ දීමේ ආයතනික සැලසුම් පිළිබඳ සොයා බලයි

එල්-නිනෝ බලපෑම සහ ඊට මුහුණ දීමේ ආයතනික සැලසුම් පිළිබඳ සොයා බලයි

ඉදිරියේදී ඇති විය හැකි එල්-නිනෝ තත්ත්වය හමුවේ එල්ල විය හැකි බලපෑම සහ ඊට මුහුණ දීම සඳහා ආයතන සතු සැලසුම් පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (11) දින ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය, මහවැලි අධිකාරිය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, විදුලිජනන ලංකා පුද්ගලික සමාගම සහ ජාතික පද්ධති ක්‍රියාකරු පුද්ගලික සමාගම ආදී අදාළ ආයතනවල නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි.

ඉදිරියේදී මතු විය හැකි එල්-නිනෝ තත්ත්වය මෙරට ආහාර සුරක්ෂිතතාව, පානීය ජලය සහ බලශක්තිය යන ක්ෂේත්‍ර කෙරෙහි ඇති කරන බලපෑම සහ එකී ක්ෂේත්‍ර කළමනාකරණය කර ගැනීම සඳහා ගත යුතු කඩිනම් පියවර පිළිබඳ මෙහිදී පුළුල් ලෙස විමසා බැලිණි.

මේ යටතේ දැනට පවතින ජලාශවල ජල ධාරිතා, කෘෂිකර්මාන්තය, පානීය ජලය සහ බලශක්ති ක්ෂේත්‍රයේ ඇති විය හැකි තෙරපුම කළමනාකරණය කර ගැනීමට ගත යුතු පියවර ආදී කරුණු පිළිබඳව සාකච්ඡාවට ලක් විය.

මෙවර ඇති වන එල්-නිනෝ තත්ත්වය වඩාත් සමීප විය හැක්කේ 2016 – 2017 වර්ෂවල ඇති වූ තත්වයට බව මෙහිදී පෙන්වා දුන් නිලධාරීහු විශේෂයෙන්ම ජල කළමනාකරණ සැලසුම ඒ අනුව සකසා ඇති බව පෙන්වා දුන්හ.

මේ යටතේ 2026 වසරේ යල කන්නය මාස එක හමාරකට පමණ පෙර ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බවද ඔවුන් විසින් පෙන්වා දෙන ලදී.

ඇති විය හැකි තත්ත්වය හමුවේ ඉදිරි මාස කිහිපය තුළ අඛණ්ඩ විදුලි සැපයුමක් සහතික කිරීම සහ කෘෂිකර්ම කටයුතු සහ ආහාර සුරක්ෂිතතාව පවත්වාගෙන යාම පිළිබඳ මෙහිදී විශේෂ අවධානය යොමු කෙරුණු අතර විදුලි නිෂ්පාදනය මෙන්ම ඉදිරි යල කන්නය ඇතුළු කෘෂිකර්ම කටයුතු සඳහා අවශ්‍ය ජලය සැපයීම සහ පානීය ජල සුරක්ෂිතතාව ඇති කිරීම සඳහා අවශ්‍ය සැලසුම් සකස් කර ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

දිට්වා සුළි කුණාටුව සහ මැදපෙරදිග යුදමය තත්ත්වය හමුවේ ඇති වූ අභියෝගවලට මුහුණ දුන් ආකාරයටම බාහිර අභියෝගයක් වන මෙම ගෝලීය තත්ත්වයද කළමනාකරණය කර ගැනීමේ හැකියාව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා, නිසි සැලසුම් ඔස්සේ කටයුතු කිරීමෙන්, ඇති විය හැකි ඕනෑම තත්ත්වයකට මුහුණ දීමට හැකි වනු ඇති බවටද විශ්වාසය පළ කළේය.

උසස් පෙළ විභාගය පැවැත්වීම ගැන දැනුම්දීමක්

උසස් පෙළ විභාගය පැවැත්වීම ගැන දැනුම්දීමක්

2026 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව දැනුම්දීමක් කර ඇත.

ඒ අනුව අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය එළඹෙන අගෝස්තු (10) වෙනිදා සිට සැප්තැම්බර් (05) වෙනිදා දක්වා පැවත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

උසස් පෙළ විභාගයට අදාළ කාලසටහන විභාග දෙපාර්තමේන්තුව විසින් මාධ්‍ය වෙත නිකුත් කර ඇත.

මහ බැංකුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පාඩමක් උගන්වයි

මහ බැංකුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පාඩමක් උගන්වයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වර්තමාන මූල්‍ය ප්‍රතිපත්තිය හා ඒ හා සම්බන්ධ කරුණු පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සංවිධාන කර ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ඇතුළු ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් මෙම වැඩසටහන එළඹෙන (10) වෙනිදා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය. 

කම්කරු අමාත්‍ය මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත සිදු කළ ඉල්ලීමට අනුව මෙම වැඩසටහන සංවිධානය කර ඇති අතර මේ සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇත.

ආර්ථික බලවතුන් සමග එක්වීමට ශ්‍රී ලංකාව සූදානම්

ආර්ථික බලවතුන් සමග එක්වීමට ශ්‍රී ලංකාව සූදානම්

ලොව විශාලතම නිදහස් වෙළෙඳ ගිවිසුම වන RCEP (Regional Comprehensive Economic Partnership) සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීම සඳහා වන රාජ්‍යතාන්ත්‍රික පියවර සාර්ථකව තබා ඇති බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් සඳහන් කරයි.

සිය ඔස්ට්‍රේලියානු සහ නවසීලන්ත නිල සංචාරය අවසන් කරමින් කැන්බරා නුවර පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ සිට විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මේ බව සඳහන් කරයි.

මෙම සංචාරය අතරතුර සුවිශේෂී ප්‍රගතියක් අත්කර ගනිමින්, RCEP සංවිධානයේ ප්‍රධාන සාමාජිකයන් දෙපළක් වන ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය, ශ්‍රී ලංකාවට එහි සාමාජිකත්වය ලබා ගැනීම සඳහා පූර්ණ සහයෝගය ලබා දීමට එකඟතාව පළ කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

​ගෝලීය ජනගහනය මෙන්ම ආර්ථික නිපැයුම් අතින් ලොව විශාලතම නිදහස් වෙළෙඳ ගිවිසුම ලෙස සැලකෙන RCEP ආසියානු පැසිපික් කලාපයේ ආර්ථික සහයෝගීතාවය ඉහළ නැංවීම සඳහා රටවල් 15ක සහභාගීත්වයෙන් පිහිටුවා ඇත. 

බෲනායි, කාම්බෝජය, ඉන්දුනීසියාව, ලාඕසය, මලයාසියාව, මියන්මාරය, පිලිපීනය, සිංගප්පූරුව, තායිලන්තය සහ වියට්නාමය යන ආසියාන් (ASEAN) කලාපීය සාමාජික රටවල් 10 සහ ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, ජපානය, චීනය සහ දකුණු කොරියාව යන සෙසු ප්‍රධාන ආර්ථික බලවතුන් ද ඇතුළත් වේ. 

පල්ලේගම හිමිගේ ධුරය අත්හිටුවයි.. නව අටමස්ථානාධිපති පත් කෙරේ

පල්ලේගම හිමිගේ ධුරය අත්හිටුවයි.. නව අටමස්ථානාධිපති පත් කෙරේ

අටමස්ථානාධිපති ධුරයේ කටයුතු ආවරණය කිරීම සඳහා උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක, රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරි පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥානතිලක නාහිමියන් තාවකාලිකව පත්කිරීමට අටමස්ථාන කමිටුව තීරණය කළ බව මල්වතු මහා විහාරය අද (30) නිවේදනය කළේය.

මල්වතු මහා විහාර පාර්ශ්වයේ නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක හා අටමස්ථානාධිපති, පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනාව පිළිබඳ පවතින අධිකරණ කටයුතු අවසන් වී ඒ පිළිබඳ අවසන් තීරණයක් ලැබෙනතුරු මෙම තාවකාලික පත්කිරීම සිදුකළ බව එම නිවේදනයේ සඳහන් වේ.

ආමිස පූජාවන්ට වඩා ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙන අර්ථවත් වෙසක් මංගල්‍යයක් වේවා

ආමිස පූජාවන්ට වඩා ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙන අර්ථවත් වෙසක් මංගල්‍යයක් වේවා

බුදුන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයට අනුව ජීවිතය හැඩගස්වා ගනිමින්, ආමිස පූජාවන්ට වඩා ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙන අර්ථවත් වෙසක් මංගල්‍යයක් වේවායි මම ලක්වාසී සැමට ප්‍රාර්ථනා කරමි.

බාහිර ලෝකය ආලෝකවත් කරන්නා සේම, තමන්ගේ හදවත තුළ දයාව, කරුණාව සහ ප්‍රඥාව ආලෝකමත් කරගැනීමට මෙවර වෙසක් සමය අවස්ථාවක් කරගත යුතුය. ලෝභ, ද්වේශ, මෝහ යන අකුසලයන් දුරුකරමින්, සාමය හා සැනසීම උදා කරගන්නා වූ පින්බර කාලසීමාවක් බවට මෙය පත්කර ගනිමු.

​“අභිත්ථරෙථ කල්‍යාණේ” – පොදු යහපත පිණිස වහ වහා පෙළ ගැසෙමු. මෙවර රාජ්‍ය වෙසක් තේමාව කාලීන සමාජ අවශ්‍යතාව මැනවින් නිරූපණය කරන්නකි. පෞද්ගලික පටු අරමුණුවලින් බැහැරව, පොදු යහපත උදෙසා කැපවෙන, ධර්මයේ බැබළෙන දේශයක් උදා කර ගැනීමට මෙම වෙසක් මංගල්‍යය අපට ආශිර්වාදයක් හා ශක්තියක් විය යුතුය.

​අතිපූජ්‍ය මහානායක ස්වාමීන්වහන්සේලාගේ සහ සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ අනුශාසනා පරිදි, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය හා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය ඒකාබද්ධව සංවිධානය කරනු ලබන රාජ්‍ය වෙසක් මහෝත්සවය සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවායි මම ප්‍රාර්ථනා කරමි.

රජය සහ බුදු දහම අතර පවතින ගැඹුරු බැඳීම තුළින්, දැහැමි පාලනයක් ඔස්සේ රටේ දියුණුව සහ සෞභාග්‍යය උදාකර ගත හැකිය. කුල, මල හෝ ආගම් භේදයකින් තොරව සැමට සාධාරණය ඉටුවන, “සියලු සත්වයෝ සුවපත් වෙත්වා” යන උදාර සංකල්පය මත පිහිටා රටක් ලෙස අප මුහුණ දෙන ආර්ථික හා සමාජීය අභියෝග ජයගැනීමට අවශ්‍ය ඉවසීම පුරුදු කිරීම මෙහිදී අත්‍යවශ්‍ය වේ.

අන්තගාමීත්වය බැහැර කොට මධ්‍යම ප්‍රතිපදාවේ ගමන් කරමින්, සොබාදහමට හිතැති, පරිසර හිතකාමී වෙසක් සැමරුමකට එක්වන ලෙස මම ඔබ සැමගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ප්‍රතිපත්තිගරුක සමාජයක් උදෙසා එක්ව පෙරට යමු. සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!