Attention (Sinhala)

ජනපතිට ෆ්‍රැන්සිස් පාප්වහන්සේගෙන් සුභ පණිවිඩයක්.!

ජනපතිට ෆ්‍රැන්සිස් පාප්වහන්සේගෙන් සුභ පණිවිඩයක්.!

අද (09) ජනාධිපති කාර්යාලයේදී අති උතුම් බ්‍රයන් උඩෙයිග්වේ (Rev. Dr.Brian Udaigwe) හිමිපාණන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.

නව ජනාධිපති ධූරයට පත්වීම නිමිත්තෙන් අනුර කුමාර දිසානායක මහතා වෙත සිය උණුසුම් සුබ පැතුම් පිළිගැන්වූ වතිකාන තානාපතිවරයා, කතෝලික සභාවේ ප්‍රධානී සහ ස්වෛරී වතිකාන රාජ්‍යයේ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ හෘදයාංගම සුබපැතුම් ද ජනාධිපතිවරයා වෙත පිළිගන්වන ලදී.

අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව සාර්ථකත්වය සහ සෞභාග්‍ය කරා ගෙන යාමට හැකිවනු ඇති බව පැවසූ වතිකානු තානාපති උඩෙයිග්වේ හිමිපාණන් ඒ වෙනුවෙන් තමන් හදවතින්ම සුබ පතන බවද පැවසීය.

මෙරට අනාගතය පිළිබඳව මෙහිදී සුබවාදීව අදහස් පළ කළ අති උතුම් උඩෙයිග්වේ හිමිපාණන් ජනතාව අපේක්ෂා කරන අයුරින්ම මනා සංවර්ධනයක් රට තුළ මේ වන විටත් සිදු වෙමින් පවතින බවද සඳහන් කළේය.

එමෙන්ම ජනාධිපතිවරයාගේ දැක්ම සහ කැපවීම ඇගයිමට ලක් කළ තානාපතිවරයා එම සියලු ප්‍රයත්නයන් වෙනුවෙන් වතිකානයේ සහාය ලබා දෙන බව අවධාරණය කළේය.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ද කණගාටුව ප්‍රකාශ කළ අති උතුම් උඩෙයිග්වේ හිමිපාණන් ඒ පිළිබඳ විනිවිදභාවයෙන් සහ විශ්වාසනීත්වයෙන් යුතුව පරීක්‍ෂණ පැවැත්වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ කැපවීමද පැසසුමට ලක් කළේය.

පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට සහ ඔවුන්ගේ පවුල්වලට යුක්තිය සහ සාධාරණය ඉටු කිරීම වෙනුවෙන් ජනාධිපතිවරයා ගෙන යන අඛණ්ඩ උත්සාහයට වතිකානයේ පූර්ණ සහයෝගය ලබා දෙන බවට ද උඩෙයිග්වේ හිමිපාණන් සහතික විය.

වතිකානුව සහ ශ්‍රී ලංකාව අතර පවතින ශක්තිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිළිබඳව ද මෙම හමුවේදී විශේෂ අවධානය යොමු වූ අතර, ශ්‍රී ලාංකීය ජාතියේ සහ ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් දෙරට අතර අන්‍යෝන්‍ය සහයෝගීතාව ඉහළ නංවා ගැනීමට ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ වතිකාන තානාපති අති උතුම් බ්‍රයන් උඩෙයිග්වේ හිමිපාණන් එකඟ වූහ.

ටිල්වින් කොළඹින් පාර්ලිමේන්තුවට.?

ටිල්වින් කොළඹින් පාර්ලිමේන්තුවට.?

ජනතා විමුක්ති පෙරමුණු ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා නව පාර්ලිමෙන්තුවට කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තරඟවදිනා බවට පැතිරයන ප්‍රවෘතිය සම්බන්ධයෙන් අදහස් දැක්වීය.

ඊයේ (08) රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් ඔහු පවසා සිටියේ තමා පාර්ලිමේන්තුවට පත්වීම සඳහා කිසිදු බලාපොරොත්තුවක් තබා ආණ්ඩුවේ කිසිඳු තනතුරක් හෝ භාර නොගන්නා බවයි.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයාවන ලෙස තමා සෑම විටම පක්ෂයේ කටයුතු ඉදිරියට කරගෙන යෑම සඳහා සහෝගය ලබාදෙන බව ඔහු පැවසීය.

එමෙන්ම ඔහු සඳහන් කළේ පක්ෂ ලේකම්වරයා ලෙස ආණ්ඩුවේ තනතුරු දැරීම පක්ෂ ව්‍යවස්ථාවටද පටහැනි බවයි.

විකිණීමට සූදානම් කර තිබූ නුවරඑළිය තැපැල් ගොඩනැගිල්ල සම්බන්ධයෙන් නව රජයෙන් තීරණයක්.!

විකිණීමට සූදානම් කර තිබූ නුවරඑළිය තැපැල් ගොඩනැගිල්ල සම්බන්ධයෙන් නව රජයෙන් තීරණයක්.!

පසුගිය රජය යටතේ නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල හෝටල් ව්‍යාපෘතියක් සඳහා පෞද්ගලික අංශයට පැවරීම සම්බන්දයෙන් ගත් තීරණය සමාජය තුල වඩාත් කතා බහට ලක්විය.

අද (09) පෙරවරුවේ 150 වන ලෝක තැපැල් දිනය වෙනුවෙන් අරලියගහ මන්දිරයේ පැවැති උත්සවය අමතමින් අමාත්‍ය විජිත හේරත් මහතා පැවසූවේ වසර 130ක් පැරණි ඓතිහාසික වටිනාකමකින් යුත් නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සම්බන්ධයෙන් මෙතෙක් ගෙන තිබූ සියලු තීරණ අත්හිටුවීමට කටයුතු කළ බවයි.

අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ නුවරඑළිය තැපැල් කාර්යාලය ඉදිරියටත් රජය සතු වත්කමක් ලෙස පවත්වාගෙන යන බවත් එම ගොඩනැගිල්ල සහ එහි පරිශ්‍රය තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු සඳහා පමණක් භාවිත කරන බවත් ය.

නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල පසුගිය රජය සමයේ බලහත්කාරයෙන් පවරා ගැනීමට තීරණය කර තිබුනද නව රජයේ ප්‍රතිපත්ති අනුව නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සහ එම භූමිය කිසි විටෙකත් විකිනීමට හෝ පැවරීමකට කටයුතු නොකරනා බව අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය.

රංජන් නැවතත් සුපුරුදු රිද්මයේ.. පළමු මාධ්‍ය හමුවේදීම වටේටම බෙදයි.! [Video]

රංජන් නැවතත් සුපුරුදු රිද්මයේ.. පළමු මාධ්‍ය හමුවේදීම වටේටම බෙදයි.! [Video]

ප්‍රවීණ රංගන ශිල්පී රංජන් රාමනායක මහතා එළඹෙන මහ මැතිවරණයට තරඟවැදීම සඳහා නව දේශපාලන පක්ෂයක් නිර්මාණය කරමින් නැවතත් වැඩ කටයුතු අරඹා තිබේ.

එතුමාගේ පළමු මාධ්‍ය හමුව අද (09) පැවැත්වූ අතර එහිදී එතුමා පවසා සිටියේ පැරණි දේශපාලන පක්ෂ නියෝජනය කරනා දූෂිතයන් සමඟින් කටයුතු කිරීමට නොහැකි බැවින් නව දේශපාලන පක්ෂයකින් ජනතා සේවය ආරම්භ කළ බවයි.

මාධ්‍ය හමුවේදී එතුමා තවත් බොහෝ සුවිශේෂී කරුණු රැසක්ද හෙළි කළේය.

එම සාකච්චාව පහතින්,

දියණිය වේදිකාවට නංවා කිරිඇල්ල විශ්‍රාම ගනී.!

දියණිය වේදිකාවට නංවා කිරිඇල්ල විශ්‍රාම ගනී.!

අඛණ්ඩව වසර 36 ක් පාර්ලිමේන්තුව නියෝජනය කළ විපක්ෂයේ හිටපු සංවිධායක මෙන්ම සමගි ජන සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සිය දේශපාලනයෙන් සමුගැනීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

ඔහු වැඩිදුරටත් පවසන්නේ තමා ජාතික ලැයිස්තුවෙන් හෝ පාර්ලිමේන්තුවට පිවිසීමට බලාපොරොත්තු නොවන බවත් විවේක සුවයෙන් සිටීමට බලාපොරොත්තු වන බවත්ය.

කෙසේවෙතත් මෙවර මහ මැතිවරණයට ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ දියණිය, සමගි ජන බලවේගය නියෝජනය කරමින් මහනුවර දිස්ත්‍රික්කය සදහා තරග වැදීමට නියමිත බවට නිල නොලත් තොරතුරු වාර්තා වෙයි.

රංජන් වැඩට බහී.!

රංජන් වැඩට බහී.!

ජනප්‍රිය රංගවේදී හිටපු පා.ම රන්ජන් රාමනායක මහතා එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ නමින් නව පක්ෂයක් ආරම්භ කිරීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.

දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ අද (09) කොළඹදී පැවැත්වෙන මාධ්‍ය හමුවකදී රන්ජන් රාමනායක මහතා මෙම නව දේශපාලන පක්ෂය නිල වශයෙන් එළිදැක්වීමට සැලසුම් කර ඇති බවයි.

රංජන් රාමනායක මහතාගේ නායකත්වයෙන් යුතු නව පක්ෂය මයික්‍රෆෝනය ලකුණින් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කිරීමට සූදානමින් පසුවනා අතර, කඩිනමින් ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමට නියමිතව බවද පැවසේ. 

සිසුන් උස් ස්ථාන වලින් පැන දිවි නසාගන්නා ජාත්‍යන්තර පාසලේ තදින්ම නවක වදය.!

සිසුන් උස් ස්ථාන වලින් පැන දිවි නසාගන්නා ජාත්‍යන්තර පාසලේ තදින්ම නවක වදය.!

පසුගියදා නෙළුම් කුළුනෙන් පැන සිය දිවි නසාගත් සිසුවියගේ පියා ලබාදී ඇති ප්‍රකාශයේ සඳහන් වන්නේ අදාළ ජාත්‍යන්තර පාසලේ සිසුන් නවක වදයට ලක්වන බවයි.

“මගේ දරුවා ඉගෙන ගත්තේ කොළඹ ග්‍රෙගරි පාරේ පිහිටි ජාත්‍යන්තර පාසලේ 11 වන වසරේ, එයා පාසලට එක්කන් යන්නෙත් එක්කන් එන්නෙත් අපිම තමයි. අපේ දුව එදා ගීතිකා පුහුණුවක් සඳහා අමතර පන්තියක් තියෙනා බව කිව්වා. දවල් 2ට විතර මම ඉස්කෝලෙ ළඟට ගියා දුවගේ කෑම එක ගිහින් දුන්නා. හවස 4.55ට විතර මම දුවගේ ෆෝන් එකට කතා කළාම ආන්ස්වර් කළේ පොලිසියෙන්, පොලිසියෙන් කිව්වා අනතුරක් සිදුවෙලා තියෙනවා නෙළුම් කුළුන ළඟට එන්න කියලා.

මම රබර් නිෂ්පාදන ව්‍යාපාරයක් කරනවා. මගේ දුව සාමාන්‍ය පෙලට පෙනී සිටින්නට තමයි මේ අවුරුද්දේ සූදානමින් හිටියේ. අපි දුවට ෆෝන් එකක් අරගෙන දීලා තිබුනා. එයා හිටපු ගමන් පාසල් යන්න බෑ කියනවා. ගිය සතියේ දවස් දෙකක් පාසල් ගියේ නෑ. ඉතින් අපි දුවට කතා කරනවා අපි හොයලා බලනවා. සමහර වෙලාවට එයා ගොඩක් කලබල වෙනවා. පහු ගිය කාලේ එයා මානසික ආතතියට බෙහෙත් බිව්වා. මීට කලින් සිය දිවි නසාගත් සිසුන් දෙදෙනාත් දුවගේ යාලුවෝ. දුව ඒ ගැන ගොඩක් දුකින් හිටියේ.

අපි කියන්න ඕන දේ තමයි මේ පාසලේ නවක වදය ලොකුවට තියෙනවා. ඒ ගැන ළමයින්ගෙන් ඇහුවත් ළමයි කියන්නේ නැහැ. නවක වදයට දෙන්නේ මොන වගේ වදයක්ද කියලා කියන්නෙත් නෑ”

වයස අටේ දැරිය කෙළෙසූ චූටි මාමාට ලැබුනු දඬුවම.!

වයස අටේ දැරිය කෙළෙසූ චූටි මාමාට ලැබුනු දඬුවම.!

32 හැවිරිදි පේරාදෙණිය පොලිස් වසමේ පුද්ගලයෙකුට මහනුවර මහ අධිකරණය මගින් වසර 22 ක බරපතළ වැඩ සහිතව සිර දඩුවම් නියම කළේය.

ඒ තම වැඩිමල් සොහොයුරාගේ 08 හැවිරිදි දියණිය කෙළෙසූ බවට අධිකරණය හමුවේ තහවුරු වීමෙන් අනතුරුවයි.

සිය සොයුරිය සමග තම සීයාගේ නිවසට රූපවාහිනිය නැරඹීමට ගිය අවුරුදු 08 ක් වයසැති දැරිය මෙම ඛේදවාචකයට ගොදුරු වී ඇති බව වාර්තා වෙයි.

2018 වසරේ දී සිදුව මෙම සිදුවීමට අදාළව නඩු කටයුතු 2024 වසරේ අවසන් කරමින් චූටි මාමා නමැති මෙම සැකකරුට අගතියට පත් දැරියට ලක්ෂ 10 ක වන්දියක් ගෙවන ලෙසට ද අධිකරණය නියම කළේය. එසේ නොගෙවන්නේ නම් වසර 22ට අමතරව තවත් වසර දෙකක සිරදඬුවමක් නියම කරන ලදී.

කතරගමට තැබෑරුමක් ඉල්ලූ ග්‍රාමසේවක වෙඩි තබාගනී.!

කතරගමට තැබෑරුමක් ඉල්ලූ ග්‍රාමසේවක වෙඩි තබාගනී.!

66 හැවිරිදි අනුර වික්‍රමසිංහ නැමති කතරගම ප්‍රදේශයේ සේවය කළ විශ්‍රාමික ග්‍රාමසේවා නිලධාරී වරයා පෙරේදා (07දා) රාත්‍රී සිය බලපත්‍ර සහිත ගිනි අවියෙන් කතරගම කඳසුරිඳුගම පිහිටි එම මහතාගේ නිවසේ කාමරයක් තුළ වෙඩි තබාගෙන සිය දිවි හානි කරගෙන ඇත.

අනුර වික්‍රමසිංහ මහතා කතරගම සහ මොනරාගල දිස්ත්‍රික්කයේ ස්ථාන රැසක ග්‍රාමසේවා නිලධාරියකු ලෙස සේවය කර ඇති නිළධාරියෙකි.

ලේඛකයකු ලෙස පොත් 09ක් රචනා කර ඇති අනුර වික්‍රමසිංහ මහතා පසුගියදා කතරගමට ප්‍රදේශයේ ජනතාවට නව මත්පැන්හලක් අවශ්‍ය බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමෙන් මාධ්‍ය හරහා නැවත කරලියට පැමිණියේය.

හෙතෙම කතරගම හදිසි මරණ පරීක්ෂක සමන් වික්‍රමසිංහ මහතාගේ සහ කතරගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අසෝක වික්‍රමසිංහ මහතාගේ වැඩිමහල් සොයුරාද වෙයි.

මෙම මරණය සම්බන්ධයෙන් කතරගම පොලිසිය පරීක්ෂණ පවත්වන අතර සිය දිවි නසාගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල පරාසය මෙන්න.!

අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල පරාසය මෙන්න.!

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මෙම සතියට අදාල මිල පරාසයන් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය ප්‍රකාශයට පත් කර ඇත.

තිරිඟු පිටි කිලෝවක් රුපියල් 149 – 177ත් අතර මිලකට අලෙවි කළ හැකියි.

සුදු සීනි කිලෝවක් රුපියල් 237 – 269ත් අතර මිලකට අලෙවි කළ හැකියි.

පරිප්පු කිලෝවක් රුපියල් 270 – 317ත් අතර මිලකට අලෙවි කළ හැකියි.

ආනයනික අර්තාපල් කිලෝවක් රුපියල් 160 – 234ත් අතර මිලකට අලෙවි කළ හැකියි.