Foreign news (Sinhala)

ෆේස්බුක් හා ඉන්ස්ට්‍රග්‍රෑම් සම්බන්ධයෙන් දැඩි තීරණයක් ගනී.!

මෙටා සමාගමේ ෆේස්බුක් (Facebook) සහ ඉන්ස්ටග්‍රෑම් (Instagram) සමාජ මාධ්‍ය ජාල සම්බන්ධයෙන් යුරෝපා සංගමය විමර්ශනයක් ආරම්භ කර ඇත.

එම සමාජ මාධ්‍ය ජාලවල ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් යුරෝපා සංගමය පනවා ඇති නීති උල්ලංඝනය කර ඇති බවට මෙටා සමාගමට එල්ලවී ඇති චෝදනා මත එම විමර්ශනය ආරම්භ කර ඇත.

සමාජ මාධ්‍ය හරහා දරුවන් තුළ විවිධ ඇබ්බැහිවීම් නිර්මාණය වන බවත් ඒ හේතුවෙන් දරුවන්ගේ මානසික සෞඛ්‍යයට හානිවන බවද යුරෝපා සංගමය සදහන් කරයි.

කෙසේ හෝ මෙටා සමාගම දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ නීති උල්ලංඝනය කර ඇති බවට අනාවරණ වුවහොත් මෙටා සමාගමට එහි ගෝලීය පිරිවැටුමෙන් 6%ක දඩයක් පැනවිය හැකි බවද සදහන් කරයි.

සමාජ මාධ්‍ය භාවිතයේදී පරිශීලිකයින්ට ස්වයංක්‍රීයව වීඩියෝ සහ ඡායාරූප නිර්දේශ කෙරෙන ඇල්ගොරිදමය පිළිබඳව විමර්ශනය කෙරෙන අතර ෆේස්බුක් ගිණුමක් සැකසීමේදී වයස සත්‍යාපනය කිරීමේ ක්‍රමය පිළිබඳවද එම සංගමයේ අවධානය යොමු කර ඇත.

ලෝකයේම අවධානය ගත් අගමැතිට වෙඩි ප්‍රහාරයක්.!

කැබිනට් රැස්වීමකින් පසුව ස්ලෝවැකියාවේ අග්‍රාමාත්‍ය රොබට් ෆිකෝට වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ 59 හැවිරිදි අග්‍රාමාත්‍ය රොබට් ෆිකෝ රෝහල්ගත කර ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අග්‍රාමාත්‍ය ෆිකෝගේ උදරයට, පාදයකට සහ අතකට වෙඩි වැදී ඇති අතර එම ප්‍රහාරයෙන් සුළු වේලාවකට පසු සැකකරු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇත.

කාගෙත් උපන්දිනේ මතක් කරනා ලොකු අයියගේ උපන්දිනේ අදයි.!

Meta Platforms Inc. (Facebook Inc.) හි සම-නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී Mark Zuckerberg, ජීවිතයේ තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් අද 40 වැනි වියට පා තැබීය.

ඩිජිටල් යුගයේ වඩාත්ම බලගතු චරිතයක් ලෙස සැලකෙන සකර්බර්ග්ගේ සන්නිවේදනය සහ තොරතුරු තාක්ෂණය කෙරෙහි බලපෑම ඉතාමත් ප්‍රභල වේ.

1984 මැයි 14 වන දින නිව් යෝර්ක් හි වයිට් ප්ලේන්ස් හි උපත ලද සකර්බර්ග් පරිගණක වැඩසටහන් සකස්කිරීම සම්බන්ධ ඔහුගේ ආශාව අවසානයේ ඔහුව හාවඩ් විශ්ව විද්‍යාලයට වෙත ගෙන ගියේය, එහි නේවාසිකාගාරයේ සිට 2004 වසරේ “TheFacebook” නිර්මාණය කළේය.

හාවඩ් සිසුන් සඳහා සමාජ ජාල වේදිකාවක් ලෙස ආරම්භ වූ එය ඉක්මනින් අනෙකුත් විශ්ව විද්‍යාල දක්වා ව්‍යාප්ත වූ අතර අවසානයේ ලෝකයට, මිනිසුන්ට නැතිව බැරි සන්නිවේදනය වේදිකාවක් ආකාරයට ගොඩනැඟිනි.

වසර ගණනාවක් පුරා, සකර්බර් විසින් ගොඩනැගූ ඩිජිටල් ලෝකය තුළ ඔහුගේ භූමිකාව සඳහා ප්‍රශංසා මෙන්ම විවේචනද එක ලෙස එල්ල විය.

Facebook හි ශීඝ්‍ර වර්ධනය සහ ගෝලීය ප්‍රවේශය ඔහු ලොව ධනවත්ම පුද්ගලයින්ගෙන් කෙනෙකු බවට පත් කර ඇත.

වර්තමානය වනවිට, සකර්බර්ග් ඔහුගේ අවධානය යොමු කර ඇත්තේ මෙටාවර්ස්, පරිශීලකයින්ට ඩිජිටල් පරිසරයන් තුළ කටයුතු කළ හැකි ඩිජිටල් අවකාශයක් ගොඩනැගීම කෙරෙහි ය.

මාර්ක් සකර්බර්ග් අද ඔහුගේ 40 වන උපන්දිනය සමරන ඇත. ඔහු ගොඩ නැගූ තාක්‍ෂණික විප්ලවය තුල ඔහුට ආදරය කරනා සියල්ලන්ට ඔහුගේ තාක්ෂණික බලපෑම තව පරම්පරා ගණනාවක් දැනෙනු නොඅනුමානය.

සුභ උපන්දිනයක්, මාර්ක්!

මාරාන්තික ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාගත් අයට සිදුව ඇත්තේ කුමක්ද.. අනාගතයේ කුමක් වේවිද.?

ජීවිත ලක්ෂ ගණනක් බිලිගත් කොවිඩ් වසංගතය එන්නත්කරණය හරහා පාලනයකට නතු වීම තුලින් කොරෝනාවෛරස් වසංගතය සම්බන්ධයෙන් ලෝකයේ පැවති බිය පහවී ගියේය.

නමුත්, තම කොවිඩ් එන්නත මගින් “රුධිරය කැටී ගැසීමට බලපෑ හැකි ඉතා දුර්ලභ අතුරු ආබාධ (TTS) ඇති විය හැකි” බවට ඇස්ට්‍රාසෙනෙකා එන්නත නිෂ්පාදනය කළ සමාගම, බ්‍රිතාන්‍ය මහාධිකරණය ඉදිරියේ පිළිගැනීමත් සමඟ තවත් භීතියක් ලොව පුරා පැතිර යමින් පවතී.

ඇස්ට්‍රාසෙනෙකා සමාගම විසින් රුධිරය කැටි ගැසීම් ඇතුළු අතුරු ආබාධ ඇති වූ බවට සමාගමට එරෙහිව නඩු කිහිපයක් පැවරීමෙන් අනතුරුව බිලියන තුනකට අධික මාත්‍රා ගණනක් ලබා ඇති ඇස්ට්‍රාසෙනිකා එන්නත “වාණිජමය හේතු මත යාවත්කාලීන කරන ලද නව එන්නතක් හදුන්වා දීමේ අරමුණින්” යැයි පවසා එන්නත භාවිතයෙන් ඉවත් කිරීමට තීරණය කළ බව එම සමාගම නිවේදනය කළේය.

බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ ඇස්ට්‍රාසෙනෙකා සමාගම එක්ව මෙම එන්නත නිපදවන ලද අතර එම එන්නත ඉන්දියාවේ මහා පරිමාණ එන්නත් නිෂ්පාදන ආයතනයක් වන සීරම් ආයතනය හරහා කොවිෂීල්ඩ් නමින් නිපදවීමට අවසර ලබාදුන්නේය.

ශ්‍රී ලංකාව තුල වසංගතය උච්චතම අවස්ථාවට පැමිණ තිබූ පසුබිමක ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා ලක්ෂ දෙක හමාරක් පරිත්‍යාග කළ අතර එම මුල් එන්නත් තොගය වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට සහ රෝහල් සේවකයින්ට ලබා දීමට මෙරට රජය තීරණය කළේය.

ඒ අනුව, මෙරට එන්නත්කරණ වැඩසටහන 2021 වසරේ ජනවාරි 29 වන දින ආරම්භ කළේ බස්නාහිර පළාතේ ප්‍රධාන රෝහල් 6ක සෞඛ්‍ය සේවකයන්ට එන්නත ලබා දෙමිනි.

ඉන්පසුව අඛණ්ඩව එන්නත් මාත්‍රා මිලියන ගණනක් මෙරට ජනතාව වෙනුවෙන් මිල දී ගැනිණි.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පැවසූවේ එන්නත ලබා ගැනීමෙන් පසු ශ්‍රී ලාංකිකයින් කිහිප දෙනෙකුට මුල් කාලයේදී ම අතුරු ආබාධ ඇති වූ බවට වාර්තා වූ නමුත් අදාළ එන්නත නිකුත් කිරීමට පෙර එහි සමාගම විසින් පුද්ගලයින් 40,000ක් යොදාගනිමින් සිදුකළ පරීක්ෂණයේදී, ලක්ෂයකට දශම ගණනක් වැනි අඩු මට්ටමේ අතුරු ආබාධ වාර්තා වී ඇති බවත් හදිසි අතුරු ආබාධ බියක් මතුවූයේ එම සමාගමට එරෙහිව නඩු පැවරීම හේතුවෙන් බවත්‍ ය.

එමෙන්ම ඔහු වැඩිදුරටත් කියාසිටියේ ශ්‍රී ලංකාවේ ජනතාව මේ සම්බන්ධයෙන් අනියත බියක් ඇති කර ගත යුතු නැති බවයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද පවසන්නේ කොවිෂීල්ඩ් එන්නත ලබා ගත් ශ්‍රී ලාංකිකයින් බියට හෝ කලබලයට පත් විය යුතු නැති බවත් එවැනි අතුරු ආබාධ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ බරපතළ තත්ත්වයක් මතු වී නොමැති බවත්ය.

දැන්වීම් පුවරුවක් හිස මතට කඩා වැටී අසල්වාසීන් 8කට ජීවිත අහිමි වෙයි.!

ඉන්දියාවේ මුම්බායි නගරයේ හදිසි කුණාටු තත්වයක් අතරතුර යෝධ දැන්වීම් පුවරුවක් කඩා වැටීමෙන් මේ වනවිට පුද්ගලයින් 8 දෙනෙකු මියගොස් 60 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව ඉන්දීය බලධාරීහු පවසති.

පොලිසිය සඳහන් කළේ මීටර් 70 ත් 50 ත් ප්‍රමාණයේ දැන්වීම් පුවරුවක් මෙසේ නිවාසකිහිපයක් සහ ඉන්ධන පිරවුම්හලක් මතට කඩා වැටී ඇති බවයි.

ගලවා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක අතර තවමත් පුද්ගලයන් 20 ත් 30 ත් අතර ප්‍රමාණයක් සිරවී සිටින බවට සැකයක් පවතින බව ගලවා ගැනීම් අංශ පවසයි.

කුණාටු තත්ත්වයක් හේතුවෙන් මුම්බායි නගරයට වර්ෂාවෙන්, ගස් කඩා වැටීම් වලින් සහ විදුලිය විසන්ධි වීමෙන් ආදී කාරණා වලින් දැඩිව බලපෑම් එල්ලවී ඇති පසුබිමක මෙම ඛේදජනක සිදුවීම වාර්තා වේ.

ඉන්දීය ප්‍රවෘත්ති නාලිකාවල දර්ශනවල දැක්වෙන්නේ නගරයේ නැඟෙනහිර තදාසන්න ප්‍රදේශයක් වන ඝට්කෝපාර් හි කාර්යබහුල මාර්ගයක් අසල ඇති විශාල දැන්වීම් පුවරුව සුළඟට පැද්දෙමින් ගොඩනැගිලි මතට කඩා වැටෙන ආකාරයයි.

සමාජ මාධ්‍යවල ඔස්සේ සංසරණය වන වීඩියෝ වල එම දැන්වීම් පුවරුවට යට වූ වාහන රැසක් විනාශ වී ඇති අයුරුද දැක්වේ
සිද්ධිය වූ ස්ථානයේ හදිසි කණ්ඩායම් සුන්බුන් ඉවත්කරනා ආකාරයද එම වීඩියෝ දර්ශන වල දැකගත හැකියි, ගලවාගැනීමේ කණ්ඩායම් විසින් වැටී ඇති දැන්වීම් පුවරුවේ ලෝහ බාල්ක කපා දමමින් මිනිසුන් මුදාගැනීමට උත්සාහ කරනා ආකාරය පෙනේ,

ඉන්දීය බලධාරීන් පවසන්නේ මරණ ප්‍රමාණය තවදුරටත් ඉහළ යා හැකි බවයි.

බිහිසුණු යුද්ධයට කොටුවූ ලාංකිකයින් ගැන රජය ගත් තීරණය.!

හමුදා සේවයේ හිටපු සාමාජිකයන් සහ රුසියානු – යුක්‍රේන යුද්ධය ආරම්භ වීමට ප්‍රථම රුසියාවේ රැකියා සඳහා ගොස් සිටින ශ්‍රී ලාංකිකයින් එරට කුලී හමුදා සාමාජිකයින් ලෙස සේවයට බැඳී ඇතැයි තොරතුරු වාර්තා වේ.

රුසියානු – යුක්‍රේන කුලී හමුදාවන්ට එක්ව දුෂ්කරතා විඳින ශ්‍රී ලාංකිකයින් ඉන් මුදාගැනීමට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් අවශ්‍ය පියවර ගනිමින් සිටින බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සදහන් කරයි.

විපක්ෂය විසින් පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳව කළ ප්‍රශ්න කිරීම් හමුවේ පිළිතුරු ලබාදෙමින් රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මේ බව සදහන් කරයි.

තොල් ආලේපන භාවිතා කිරීම තහනම්.!

කාන්තාවන්ට රතු තොල් ආලේපන භාවිතය තහනම් කිරීමට උතුරු කොරියා නායක කිම් ජොන් තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කාන්තාවන් භාවිතා කරන රතු තොල් අලේපන ආකර්ශණය පෙන්නුම් කිරීමක් බැවින් එය තහනම් කිරීමට නායක කිම් ජොන් උන් පියවර ගෙන ඇත.

තවදුරටත් තොල් ආලේපන භාවිතා කරන කාන්තාවන්ට දැඩි දඬුවම් ලබාදීමට තීරණය කර ඇති අතර ජනප්‍රිය විලාසිතා ද තහනම් කිරීමට උතුරු කොරියානු රෙජීමය නීති පනවා ඇත.

අවසන් ග්ලැසියරයත් දිනෙන් දින හැකිළෙයි.!

වර්තමාන කාලයේ ග්ලැසියර සියල්ල අහිමි වූ පළමු රට වෙනිසියුලාව බවට සැ⁣ලකෙන අතර එරට තිබූ අවසන් ග්ලැසියරයත් දිනෙන් දින හැකිළෙමින් පවතින බව විද්‍යාඥයන් සදහන් කරයි.

පසුගිය 2011 වසර වන විට ග්ලැසියර පහක් අතුරුදහන් වී ඇති අතර රටේ දෙවන උසම කන්ද වන Pico Humboldt ආසන්නයේ La Corona ලෙසද හැඳින්වෙන Humboldt ග්ලැසියරය පමණක් ඉතිරි වී ඇත.

මුහුදු මට්ටමේ සිට මීටර් 5,000ක් පමණ උසින් පිහිටි සියෙරා නෙවාඩා ඩි මෙරිඩා කඳු වැටියේ ග්ලැසියරය ඉතිරි ඇති අතර මෙය හෙක්ටයාර් දෙකක ප්‍රදේශයක් පුරා පැතිර තිබුණු නමුත් දැන් දිනෙන් දින මෙය දියවී හැකිළීමට පටන් ගෙන ඇත.

දේශගුණ විද්‍යාඥ සහ කාලගුණ ඉතිහාසඥ මැක්සිමිලියානෝ හෙරේරා සදහන් කළේ,

” අනෙකුත් රටවලට කුඩා අයිස් යුගය අවසන් වීමෙන් පසු දශක කිහිපයකට පෙර ඔවුන්ගේ ග්ලැසියර අහිමි වූ නමුත් වෙනිසියුලාව නවීන කාලයේ ඒවා අහිමි වූ පළමු එක බවට විවාදයට ගත හැකිය.”

ගංවතුර තත්වයකින් ඇෆ්ගනිස්තානයට දරුණු බලපෑම්.. මියගිය සංඛ්‍යාව 300 ඉක්මවයි.!

තලේබාන් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක අබ්දුල් කානි ඊයේ (11) මාධ්‍ය වෙත පවසා සිටියේ උතුරු ඇෆ්ගනිස්තානයට ඉකුත් සිකුරාදා සිට ඇද හැලෙනා ධාරානිපාත වර්ෂාවත් සමඟ ඇති වූ හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් අවම වශයෙන් එරට පුද්ගලයින් 153 දෙනෙකු මියගොස් ඇති බවයි

මෙම තත්වය හේතුවෙන් එරට පළාත් තුනක තුවාල ලැබූ සංඛ්‍යාව 138ක් පමණ වන අතර නිවාස 1,000කට වැඩි ප්‍රමාණයක් විනාශ වී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

කෙසේ වෙතත් ගංවතුර හේතුවෙන් දරුණුතම බලපෑමට ලක් වූ බග්හ්ලාන් පළාතේ පමණක් පුද්ගලයින් 300කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බවත් මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවත් එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන (WFP) පෙන්වා දෙයි.

සුපිරි ක්‍රීඩකයා ක්‍රිකට් පිටියෙන් සමුගනී.!

එළඹෙන ජුලි මාසයේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයෙන් පසුව තමන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ජේම්ස් ඇන්ඩර්සන් සදහන් කර ඇත.

එංගලන්ත කණ්ඩායමේ වේගපන්දු යවන්නා වන ජේම්ස් ඇන්ඩර්සන් එංගලන්තයේ මෙතෙක් වැඩිම ටෙස්ට් කඩුලු ලාභියා වන අතර ටෙස්ට් තරග 187කදී කඩුලු 700ක් දවාගෙන ඇත.

ජේම්ස් ඇන්ඩර්සන් Instagram හි ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, “මම කුඩා කල සිටම ආදරය කළ ක්‍රීඩාව කරමින් මගේ රට නියෝජනය කරමින් ඇදහිය නොහැකි වසර 20 ක් ගතවී ඇත.”

එළඹෙන ටෙස්ට් තරගාවලිය සඳහා එංගලන්තය නවක තරුණ වේගපන්දු යවන්නන් කෙරෙහි අවධානය යොමු කිරීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.