Foreign news (Sinhala)

හමාස් නායකයාගේ පුතුන් තිදෙනාට ගුවන් ප්‍රහාරයක්.!

ඊශ්‍රායලය විසින් ගාසා තීරයට එල්ල කළ ගුවන් ප්‍රහාර හේතුවෙන් හමාස් සංවිධානයේ ප්‍රධානීන් ලෙස කටයුතු කළ හමාස් නායක ඉස්මයිල් හනියේගේ පුතුන් තිදෙනා මියගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගාසා තීරයේ අල්-ෂාටි කඳවුරේදී හසාම්, අමීර් සහ මොහොමඩ් යන පුතුන් තිදෙනා පැදවූ මෝටර් රථයට ඊශ්‍රායල බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසු මියගිය බව හමාස් සංවිධානය සදහන් කරයි.

හමාස් සංවිධානයේ තොරතුරු වලට අනුව 61 හැවිරිදි හමාස් නායක ඉස්මයිල් හනියේට පුතුන් සහ දියණියන් 13 දෙනෙකු සිටින බව වාර්තා වේ.

තම පුතුන්ගේ මරණය සම්බන්ධයෙන් ඉස්මයිල් හනියේ සදහන් කර ඇත්තේ, ” මගේ පුතුන්ගේ රුධිරය අපේ ජනතාවගේ රුධිරයට වඩා ප්‍රිය නොවේ.” යනුවෙන්ය.

ලංකාවේ කච්චතිවු ගන්න ඉන්දියාව නඩු දමයි.!

ජාත්‍යන්තර අධිකරණය හමුවේ කච්චතිවු දූපත සම්බන්ධයෙන් නඩුවක් ගොනු කිරීමට තමිල්නාඩු ආණ්ඩුව ඉදිරියේදී කටයුතු කරනු ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

එම ප්‍රාන්තයේ රජ පරම්පරාවක උරුමක්කාරයන් හා පීඩාවට පත්ව සිටින ඉන්දීය ධිවර ප්‍රජාව හා එක්ව මෙම නඩුව ගොනු කරනු ඇති බව තමිල්නාඩුවේ නීති හා අධිකරණ අමාත්‍යවරයා උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

කච්චතිවු තම පරම්පරාවට අයත් බවත් ජාත්‍යන්තර අධිකරණය නඩු ගොනු කිරීමට මෙම රජ පරම්පරාවට හැකියාවක්ද හා නීතිමය පසුබිමක් ද පවතින බවද තමිල්නාඩු අධිකරණ අමාත්‍යවරයා සදහන් කර ඇත.

අවුරුදු 20ක් යනතුරු දැකිය නොහැකි පූර්ණ සූර්යග්‍රහණය.!

අද (08) දින පස්වරුවේ තවත් අවුරුදු 20ක් යනතුරු දැකිය නොහැකි පූර්ණ සූර්යග්‍රහණයක් සිදුවීමට නියමිතව ඇති බව නාසා ආයතනය සදහන් කරයි.

මෙම සුර්යග්‍රහණය ශ්‍රී ලංකාවට නොපෙනෙන නමුත් බටහිර යුරෝපයේ, උතුරු අමෙරිකාව, පැසිෆික් සාගරය, අත්ලාන්තික් සාගරය සහ ආක්ටික් ප්‍රදේශයේ රටවලට දෘශ්‍යමාන වීමට නියමිතය.

සූර්යග්‍රහණය ලංකාවේ වේලාවෙන් රාත්‍රී 9.12ට ආරම්භ වී පසු දින අලුයම 2.22ට අවසන් වන අතර ඉතාමත් කලාතුරකින් දැකගත හැකි වන පූර්ණ සූර්ය ග්‍රහණය නැවත දැකගැනීමට හැකිවන්නේ එළඹෙන 2044 වසරේදී බව නාසා ආයතනය සදහන් කරයි.

තත්ත්වය අවදානම්.. ගුවන් ගමන් 140ක් අවලංගු කරයි.!

පවතින තද සුළං තත්ත්වය සහ උණුසුම් කාලගුණ තත්ත්වයත් සමග “කැත්ලීන්” කුණාටුව හේතුවෙන් බ්‍රිතාන්‍යයේ ගුවන් ගමන් රැසක් අවලංගු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති අනතුරු ඇඟවීමේ නිවේදන අනුව බ්‍රිතාන්‍ය තුළ ගුවන් ගමන් 140ක් පමණ අවලංගු කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තද සුළං තත්ත්වය හේතුවෙන් එංගලන්තයේ වයඹ හා නිරිත දිග ප්‍රදේශවලට සහ උතුරු අයර්ලන්තය, ස්කොට්ලන්තය හා වේල්සය කලාප සඳහා දැඩි බලපෑම් එල්ල වී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ප්‍රබල කම්පනයෙන් ලිබර්ටි ප්‍රතිමාව සෙලවෙයි.!

අමෙරිකාවේ වේලාවෙන් උදෑසන 10.23ට නිව්යෝර්ක් ඇතුළු නැගෙනහිර වෙරළ තීරයට ආසන්න නගරවලට රික්ටර් මාපකයේ ඒකක 4.8ක භූකම්පනයකින් බලපෑම් එල්ල වී ඇති අතර එම කම්පනය ෆ්ලඩෙල්ෆියා සිට නිව්යෝර්ක් දක්වා දැනුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම භූකම්පනයෙන් පසුව තවත් කම්පන 11ක් පමණ වාර්තා වී තිබුණු බවත් මෙය ගෙවුණු දශක පහක කාලය තුළ එම කලාපයෙන් වාර්තාවූ තෙවන විශාලතම භූකම්පනය බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ප්‍රබල භූකම්පනයත් සමග ලෝක ප්‍රසිද්ධ අමෙරිකාවේ ලිබර්ටි ප්‍රතිමාව සෙලවී ඇති බවත් භූකම්පනයෙන් ජීවිත හෝ දේපොළ හානියක් වාර්තා වී නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුගියදා නිව් යෝර්ක් නගරයට තද සුළං, අධික වර්ෂාව සහ විදුලි කෙටීම් ඇති කරමින් දරුණු කුණාටුවක් හේතුවෙන් ලිබර්ටි ප්‍රතිමාවේ පන්දමට අකුණු සැර වැදී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මිනිසාගෙන් සිදුවන රෝග ව්‍යාප්තිය.!

සතුන්ට වඩා දෙගුණයක් වේගයෙන් මිනිසාගෙන් වෛරසයක් සම්ප්‍රේෂණය විය හැකි බව එංගලන්තයේ (University College London) හි පර්යේෂණ කණ්ඩායමක් විසින් සිදුකළ පර්යේෂණයෙන් හෙළි වී ඇත.

ඒ අනුව මීයන් සහ වවුලන්ගෙන් විවිධ ලෙඩ රෝග පැතිරීම ඉතාමත් පහසුවෙන් සහ වේගවත්ව සිදුවන බවට කාලාන්තරයක් පුරා තිබූ මතය වෙනස් කිරීමට විද්‍යාඥයින් පිරිසක් සමත්ව ඇත.

එම පර්යේෂණයට අනුව සත්තුන්ට වඩා මිනිසාගෙන් රෝග සම්ප්‍රේෂණය ඉතා වේගයෙන් සිදු වන බවත් බොහෝ අවස්ථාවන්හිදී සියයට 64ක පමණ වෛරස් මිනිසුන්ගෙන් වෙනත් සතුන්ට සම්ප්‍රේෂණය වී ඇති බවද සොයාගෙන ඇත.

මිනිසාගේ විවිධ ක්‍රියාකාරකම් රෝග පැතිරීමට දායක වන අතර එනම් සතුන්ගේ වාසස්ථාන විනාශ කිරීම, පරිසර දූෂණය වැනි අහිතකර ක්‍රියාවන් හේතුවෙන් මිනිසාගෙන් විවිධ ලෙඩ රෝග සතුන්ට සම්ප්‍රේෂණය විය හැකි බවද එම පර්යේෂණ කණ්ඩායම සදහන් කරයි.

ව්‍යාප්ත වන වෛරස නව ධාරකයා තුළ පරිණාමය විය හැකි අතර මිනිසාගෙන් සතුන්ටත්, සතුන්ගෙන් නැවතත් මිනිසුන් වෙතටත් පැතිරීම සිදුවිය හැකි බවත් වඳවීමේ තර්ජනයට ලක්ව ඇති සතුන් විශේෂයන්ට දිගින් දිගටම එය තර්ජනයක් විය හැකි බවද සදහන් කරයි.

ජපානයේ ප්‍රබල භූමිකම්පාවක්.!

ජපානයේ ෆුකුෂිමා ප්‍රාන්තයේ වෙරළට ඔබ්බෙන් රික්ටර් මාපක 6.0 ක භූමිකම්පාවක් ඇති වූ බව ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය (JMA) සදහන් කරයි.

කිලෝමීටර් 40 ක් ගැඹුරින් මෙම භූමිකම්පාව ඇති වූ බවත් භූමිකම්පාවෙන් පසු හානි හෝ තුවාල පිළිබඳව වාර්තා නොමැති බවද ජපාන කාලගුණ එජන්සිය සදහන් කරයි.

භූමිකම්පාව හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති බවද ජපාන කාලගුණ එජන්සිය සදහන් කරයි.

ඉන්දීය සුපිරි ක්‍රීඩකයාට ක්‍රීඩාලෝලීන් “හූ” කියයි.!

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන හර්දික් පාන්ඩ්‍යට දැඩි විරෝධයක් එල්ලවෙමින් පවතියි.

තුන් ඉරියව් ක්‍රිඩකයෙක් වන පාන්ඩ්‍යා පසුගිය 2021 වසර දක්වා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ක්‍රීඩා කළ අතර 2022 සහ 2023 වසර වලදී ගුජරාට් ඉන්දියන්ස් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළේය.

නැවතත් ඔහු 2024 තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමග එක්වූ අතර මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ රෝහිත් ශර්මා ඉවත් කරමින් නායකයා ලෙස එක්විය.

කෙසේ වෙතත් රෝහිත් ශර්මා ඉවත් කර ගත් තීරණයට මුම්බායි ඉන්දියන්ස් ක්‍රීඩාලෝලීන් දැඩි අකමැත්තක් දක්වන අතර ඔවුන් සිය තරහ පිරිමසා ගැනීමට හර්දික් පාන්ඩ්‍යාට “හූ” කීමට කටයුතු කර ඇත.

මේ වනවිට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අහමදාබාද්, හයිද්‍රාබාද් සහ මුම්බායි හිදී තරග සඳහා සහභාගී වු අතර එම තරග තුනේදීම පාන්ඩ්‍යාට ක්‍රීඩා ලෝලීන්ගෙන් දැඩි විරෝධයක් එල්ලවිය.

ඉදිරි පැය 36 අවදානම්.. තවත් ප්‍රබල භූකම්පන රැසක්.!

රික්ටර් මාපකයේ ඒකක 7.4ක ප්‍රබලත්වයෙන් යුතු භූකම්පනය හේතුවෙන් තායිවානයේ පුද්ගලයින් 09 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තායිවානයේ නැගෙනහිර වෙරළ තීරයට බලපෑ මෙම භූකම්පනය වසර 25කට පසුව බලපෑ ප්‍රබලතම භූකම්පනය වන බවද එරට බලධාරීන් සදහන් කරයි.

සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයින් මුදාගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බවත් සුන්බුන් මැද සිරවූ 130ක පමණ පිරිසක් මුදාගැනීම සඳහා මෙහෙයුම් දියත් කර ඇති බවද සදහන් කරයි.

තායිවානයේ නැගෙනහිර වෙරළ බඩ හුවාලියෑන් නගරයට කිලෝමීටර් 18ක් පමණ දුරින් පැසිෆික් සාගරය තුළ රික්ටර් මාපකයේ ඒකක 7.4ක් ලෙස සටහන් වූ භූකම්පනය හටගෙන ඇත.

එරට අගනුවර ඇතුළු ප්‍රදේශ රැසකට දැඩි බලපෑම් එල්ල වු අතර ගොඩනැගිලි 100කට පමණ හානි සිදුවී ඇති බවත් 80 දෙනෙක් පමණ කඳුකර උමං මාර්ගවල සිරවී සිටින බවද සදහන් කරයි.

එම කලාපයට රික්ටර් මාපකයේ ඒකක 6.5ක ප්‍රබලත්වයෙන් යුතු තවත් කම්පනයක් ඇතුළු කම්පන 100ක් පමණ බලපා ඇති බවත් ඉදිරි දින කිහිපය තුළ රික්ටර් මාපකයේ ඒකක 7 ඉක්මවූ පසු කම්පන රැසක් සිදුවිය හැකි බවද බලධාරීන් පුරෝකථනය කරයි.

ජපානයට සුනාම් අනතුරු අඟවයි.!

අද (03) දින උදෑසන තායිවානයේ හුවාලියන් නගරයට කිලෝමීටර් 18ක් දකුණින්, වෙරළට ඔබ්බෙන්, කිලෝමීටර් 34.8ක් ගැඹුරින් රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් ප්‍රබල භූකම්පනයක් හටගෙන ඇති බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සදහන් කරයි.

මියාකොජිමා දූපත ඇතුළු කලාපයේ ජපන් දූපත් සඳහා මීටර් තුනක් පමණ උස සුනාමි රළ පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බව ජපානයේ කාලගුණ විද්‍යා ඒජන්සිය සඳහන් කරයි.

මේ වනවිට දකුණු ජපානයේ සහ පිලිපීනයේ ඇතැම් ප්‍රදේශවලට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.