Attention

කස්සප හිමි රිමාන්ඩ් කිරීමේ නියෝගය බල රහිත කිරීම ගැන අධිකරණයෙන් නියෝගයක්.!

කස්සප හිමි රිමාන්ඩ් කිරීමේ නියෝගය බල රහිත කිරීම ගැන අධිකරණයෙන් නියෝගයක්.!

පසුගියදා රට තුළ යම් ආන්දෝලනාත්මක තත්වයක් ඇති කල ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් පූජ්‍ය බලංගොඩ කස්සප හිමි සහ ත්‍රිකුණාමලයේ කළ්‍යාණ වංශ තිස්ස හිමියන් රිමාන්ඩ් භාරයට පත් කිරීමේ නියෝගය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම් වල නියෝගය මේ මස 30 වන දා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය නියෝග කළේය.

අදාළ පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දුගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසිනි.

ජාතික ඇඳුම, කළු කෝට්, සිවුර අපිට අදාළම නෑ.. ලාල් අනතුරු අඟවයි.!

ජාතික ඇඳුම, කළු කෝට්, සිවුර අපිට අදාළම නෑ.. ලාල් අනතුරු අඟවයි.!

යම් පාර්ශවයක් තමාට ප්‍රහාර එල්ල කරන්නේ නම්, ඔවුන්ගේ තරාතිරම හෝ ඇඳුම සලකා බලා නිහඬව නොසිටින බව අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත සඳහන් කරයි.

කළු කෝට් නැතිනම් ජාතික ඇඳුම ඇඳලා සිටිමින් හෝ, සිවුර දාගෙන සිටියද අදාළ නැති බවත් දේශපාලන ප්‍රහාරයක් දිය යුතු නම් දරුණුම විදිහට ප්‍රතිප්‍රහාර එල්ල කරන බවද අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත සඳහන් කරයි.

දේශපාලන ප්‍රහාර එල්ල කරන ඕනෑම අයකුට කුඩු වෙලා යන්න ප්‍රතිප්‍රහාර දීමට තමන් පසුබට නොවන බවත් තමන් සෑමවිටම පහර නොදුන්නද පසුව එල්ල කරන ප්‍රහාරය ප්‍රතිවාදියා කුඩු වී යන මට්ටමේ දරුණු එකක් වනු ඇති බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

දේශපාලන ප්‍රහාර එල්ල කිරීමේදී තමන් අකුලගෙන නොසිටින බවත් ඕනෑම මොහොතක දරුණුතම ලෙස පෙරළා පහර දීමට සූදානම් බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

පාර්ලිමේන්තුවේ 159ක බලයක් සහ විධායක බලය අතැතිව තිබියදීත් ආණ්ඩුව විවේචන හමුවේ මෘදු පිළිවෙතක් අනුගමනය කරන බවට හිතවතුන් පවා ප්‍රශ්න කරන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත සඳහන් කළේ,

“මම කළු කෝට් කාරයෙක් හොදේ. ගහන්න එන්න එපා. මම ජාතික ඇදුම ඇදලා ඉන්නේ. ඒ හින්දා ගහන්න බෑ. මම සිවුර ඇදලා ඉන්නේ. ඒ හින්දා ගහන්න බෑ. එහෙනම් ඒගොල්ලන්ට අපිට කියන්න තියෙන්නේ, දේශපාලනය කරන්න එනවා නම් එක්කෝ ඒවා පැත්තකින් තියලා එන්න. හැබැයි අපි දෙන්න ඕන විවේචනය මොකක් ඇදගෙන හිටියත්, ජාතික ඇදුම ඇදගෙන හිටියත් අපි ගහනවා. අදාළ නෑ.”

“ඉතින් අපි 159 නම් සහ විධායක බලය නම්, ඒක අපි හිතමු කාලතුවක්කුවක විතර බලයක් කියලා. ඉතින් කැටපොල්වලින් විදින්න ඕන ඒවට අපි කාලතුවක්කු පාවිච්චි කරන්නේ නෑ. ඒක කියන්න ඕන.”

ශ්‍රී ලංකාවේ මීළඟ අමෙරිකානු තානාපති එරික් මේයර්.!

ශ්‍රී ලංකාවේ මීළඟ අමෙරිකානු තානාපති එරික් මේයර්.!

ශ්‍රී ලංකාවේ මීළඟ අමෙරිකානු තානාපතිවරයා ලෙස එරික් මේයර් නම් කර ඇති අතර අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එරික් මේයර් යෝජනා කර ඇත.

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ විදේශ සේවයේ වෘත්තීය සාමාජිකයෙකු වන එරික් මේයර් දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ කාර්යාංශ නිලධාරියා වේ. 

නෝර්වේ හි එක්සත් ජනපද දූත මණ්ඩලයේ භාරකරු ලෙස සහ නේටෝවේ සාමාජික රාජ්‍යයක් වන උතුරු මැසිඩෝනියාවේ ස්කොප්ජේ හි එක්සත් ජනපද තානාපති කාර්යාලයේ භාරකරු ලෙස සහ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානියා ලෙසද සේවය කර ඇත.

මධ්‍යසාර දිනකට මිනිස්සූ 50ක් මරා දමනවා.!

මධ්‍යසාර දිනකට මිනිස්සූ 50ක් මරා දමනවා.!

ලංකාවේ දිනකට මධ්‍යසාර භාවිතය නිසා පුද්ගලයින් 50 දෙනෙකු මියයන බව ඇඩික් ආයතනයේ විධායක අධ්‍යක්ෂක සම්පත් ද සේරම් සඳහන් කරයි.

දිනකට මියයන පුද්ගලයින් නීති විරෝධී සහ නීත්‍යානුකූල මධ්‍යසාර දෙකෙහිම එකතුවක් වන බවද ඇඩික් ආයතනයේ විධායක අධ්‍යක්ෂක සම්පත් ද සේරම් සඳහන් කරයි.

සමස්ත ජනගහනයෙන් 20%කට අඩු ප්‍රමාණයක් තවමත් මධ්‍යසාර භාවිත කරන බවත් ඉන් අවුරුදු 15ට වැඩි පිරිමි ජනගහනයෙන් 34.8%ක් සහ කාන්තාවන් 0.5%ක් නියෝජනය වන බවද සඳහන් කරයි.

විධායක අධ්‍යක්ෂක සම්පත් ද සේරම් සඳහන් කළේ,

“අපේ රටේ මධ්‍යසාර භාවිත කරන ප්‍රමාණය ගත්තොත් තාමත් තාමත් 20%කට අඩු ප්‍රමාණයක් තමයි සමස්ත ජනගහනයෙන් මධ්‍යසාර භාවිත කරන්නේ. එකෙන් අවුරුදු 15ට වැඩි පිරිමි ජනගහනය ගත්තොත් 34.8%ක් මධ්‍යසාර භාවිත කරනවා.

කාන්තාවන් තාමත් ඉතාම හොඳ තැනක තියෙන්නේ 0‍.5%යි. විශේෂයෙන් මේ කාලයේදී මතුවෙච්ච කාරණයක් තමයි නීතිවිරෝධී මධ්‍යසාර භාවිතය ඉතාම ඉහළ ගිහිල්ලා කියන කාරණය.

ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවේ තොරතුරු අනුව 10%ක ප්‍රමාණයක් තමයි නීති විරෝධී මධ්‍යසාර භාවිත කරන්නේ. අපි දැක්කා නීතිවිරෝධී මධ්‍යසාර භාවිත කරලා 5-6ක් මිය යනවා.

හැබැයි අද දවසේ මිනිස්සු 50ක් මධ්‍යසාර මිනිස්සු මරලා දානවා. ඒක නීත්‍යානුකූල, නීති විරෝධී දෙකම එකතු වෙලා. මිනිස්සු 50 දෙනෙක් මරලා දානවා හැබැයි අපි කවුරුත් ඒ ගැන කතා කරන්නේ නෑ.”

40 දෙනෙකු සම්බන්ධයෙන් විමර්ශන අරඹයි.!

40 දෙනෙකු සම්බන්ධයෙන් විමර්ශන අරඹයි.!

නීති විරෝධි මූල්‍ය ආයතන ඇතුළු මුදල් වංචා සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි 1000 කට අධික සංඛ්‍යාවක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බව පොලිස් නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය සඳහන් කරයි.

පිරමිඩ වංචා ක්‍රමවලින් මුදල් වංචා කිරීම, නීති විරෝධි ණය ව්‍යාපෘති මෙන්ම පුද්ගලයින් රවටා මුදල් චංචා කිරීම සම්බන්ධයෙන් වන පැමිණිලි ද විමර්ශනය කරන පැමිණිලි අතර වන බව පොලීසිය සඳහන් කරයි.

මීට අමතරව මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ වලට සම්බන්ධ පුද්ගලයින් 40 දෙනෙකුගේ දේපළ සම්බන්ධයෙන්ද විමර්ශන මේ වනවිට ක්‍රියාත්මක බවත් එම දේපළ ඉදිරියේදී තහනම් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවද පොලීසිය සඳහන් කරයි.

අධ්‍යාපන ඇමතිට එරෙහිව ගේන්න යන විශ්වාසභංගයට දින නියම වෙයි.!

අධ්‍යාපන ඇමතිට එරෙහිව ගේන්න යන විශ්වාසභංගයට දින නියම වෙයි.!

විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් අධ්‍යාපන අමාත්‍ය, ආචාර්ය අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාව ජනවාරි (22) සහ (23) යන දිනවල පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට රජය සූදානම් බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මේ වනවිට සිදුව ඇති කරුණු සහ ඉදිරියේදී සිදුවීමට නියමිත කරුණු පිළිබඳව විශාල ප්‍රමාණයක කරුණු පැහැදිලි කරගැනීමට මෙම විශ්වාසභංග විවාදය අවස්ථාවක් වනු ඇති බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

ඒ අනුව ජනවාරි (22) සහ (23) යන දින දෙක විශ්වාසභංග යෝජනාව විවාදයට වෙන් කර ඇති බවත් අවශ්‍ය වුවහොත් තවත් දින ලබාදීමට රජය සූදානම් බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

අද (13) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මේ බව සඳහන් කරයි.

දෙහිවල ඇනකොණ්ඩා අතුරුදන්.!

දෙහිවල ඇනකොණ්ඩා අතුරුදන්.!

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටි ඇනකොණ්ඩා වර්ගයේ පිඹුරෙකු අතුරුදන්වී ඇති බවට දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක හේමන්ත සමරසේකර මහතා පවසයි.

ඔහු සඳහන් කළේ මේ සම්බන්ධයෙන් දෙහිවල පොලීසියටද පැමිණිල්ලක් කර තිබෙන බවයි.

පසුගිය 07 වන ඉරිදා සිට මෙම ඇනකොන්ඩා පැටවා අතුරුදන්වී ඇති බවත් එම ඇනකොණ්ඩා සොයා මේ වන විට පොලීසිය සහ සත්වොද්‍යානයේ කණ්ඩායමක් විසින් පරීක්ෂණ ආරම්භ කර තිබෙන බවද නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා පැවසීය.

සත්වෝද්‍යානයේ උරග උයනේ වීදුරු ආවරණයක් සහිත කූඩුවක මෙම සත්වයා රඳවා සිට තිබේ.

කහ ඇනකොණ්ඩා යනුවෙන් හඳුන්වන මෙම ඇනකොණ්ඩා පැටවා කිසිවෙකු විසින් පැහැරගෙන ගියාද යන්න මෙතෙක් නිෂ්චිතව තහවුරු කරගෙන නොමැත.

සත්වෝද්‍යාන බලධාරීන් විසින් උරග උයන තුළ නිරෝධායනය සඳහා යොමුකර සිටියදී එම කහ ඇනකොණ්ඩා පැටවා අතුරුදන් වී තිබෙනවා.

වාර්තා වන පරිදි, අතුරුදන් වූ මෙම පැටවා දෙහිවල සත්වෝද්‍යානය සතුව සිටි ලංකාවේ සිටි එකම කහ ඇනකොණ්ඩා පැටවා‍යි.

ඇනකොණ්ඩා විෂ රහිත පිඹුරු වර්ගයකට අයිති වන සත්වයෙකු නිසා එම සර්පයාගෙන් කිසිවෙකුටත් හානියක් සිදු නොවන බවද නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා පෙන්වා දෙනවා.

අතුරුදහන් වනවිට අඩි එකහමාරක් පමණ දිග එම ඇනකොණ්ඩා සර්පයා අඩි 12ක් පමණ දිගකට විශාල වන බව නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා ප්‍රකාශ කරනවා.

ඔහු කියා සිටියේ එම ඇනකොණ්ඩා සර්පයා දකුණු ඇමරිකාව නිජබිම කරගත් ලොව බරින් වැඩිම සර්ප විශේෂයක් බවයි

කාර්යාල දුම්රිය සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්.!

කාර්යාල දුම්රිය සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්.!

දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ හෙට (10) සිට ප්‍රධාන මාර්ගයේ කාර්යාල දුම්රිය කිහිපයක් සාමාන්‍ය පරිදි ධාවනය කරවීමට සැලසුම් කර ඇති බවයි.

පසුගියදා ඇතිවූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අඹේපුස්ස – අලව්ව අතර ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය අවහිර වීමෙන් ප්‍රධාන, උතුරු සහ නැගෙනහිර දුම්රිය මාර්ගවල දුම්රිය ධාවනය නතරවී තිබුණි.

ඒ හේතුවෙන් දුම්රිය ධාවනයවූයේ කොළඹ කොටුව සිට අඹේපුස්ස දක්වා පමණි.

දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ස්වේච්ඡා කණ්ඩායම් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් අඹේපුස්ස – අලව්ව අතර බුජ්ජොමුව දුම්රිය මාර්ගයේ පැවති බාධා ඉවත්කර අද දුම්රිය මාර්ගය යථාවත් කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.

ඒ අනුව හෙට දින උදෑසන කාර්යාල දුම්රිය ධාවනය පහත පරිදි සිදුකිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.

ගිං ඔයට කඩා වැටුණු හෙලිකොප්ටරයේ සහාය නියමුවා එදින සිදුවීම අධිකරණයට පවසයි.!

ගිං ඔයට කඩා වැටුණු හෙලිකොප්ටරයේ සහාය නියමුවා එදින සිදුවීම අධිකරණයට පවසයි.!

අද (09) අධිකරණය හමුවේ ප්‍රකාශයක් සිදුකරමින් වෙන්නප්පුව ලුණුවිල ප්‍රදේශයේදී  ගිං ඔයට කඩා වැටුණු ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 ගුවන් යානයේ සහාය ගුවන් නියමු ලෙෆ්ටිනන් එරංග චාමර ඒකනායක සඳහන් කළේ ඒ මොහොතේ යානයේ කාර්මික දෝශයක් පැවති බවට තමන්ට සහ ප්‍රධාන ගුවන් නියමුවාට වැටහුණු බවයි.

ඊට අදාළ නීති කෘත්‍ය මාරවිල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඊයේ (8) කැඳවු අවස්ථාවේදී සහාය නියමුවා මේ බව සඳහන් කළේය. යානය කඩාවැටීමට අදාළ නීති කෘත්‍ය ඊයේ විභාගයට ගැනුණි.

ඉකුත් නොවැම්බර් 30 වැනිදා මෙරට ඇතිව තිබූ අයහපත් කාලගුණ තත්වයෙන් විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටරයකින් මෙහෙයුම් සිදුකරමින් සිටින අතරතුර එය වෙන්නප්පුව ලුණුවිල ප්‍රදේශයේදී අවාසනාවන්ත ලෙස ගිංඔයට කඩාවැටී එහි ප්‍රධාන නියමුවා ජීවිතක්ෂයට පත් විය.

එහිදී අනතුරට පත් හෙලිකොප්ටර් යානයේ සහායක ගුවන් නියමු ලෙෆ්ටිනන් එරංග චාමර ඒකනායක මහතා අධිකරණය ඉදිරියේ සාක්ෂි ලබාදෙමින් මෙලෙස ප්‍රකාශ කළේය.

”ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් ලද නියෝගයකට අනුව විපතට පත්වූවන්ට වියළි ආහාර ලබාදීමට පසුගිය 30 වැනිදා හවස 5ට විතර අපි කටුනායක ගුවන් හමුදා කඳවුරෙන් බෙල් 212 හෙලිකොප්ටර් යානයෙන් ගුවන්ගත වුණා. වෙන්නප්පුවට ඉහළ අහසේ සිට යානය තරමක් පහත් කරනවාත් සමඟම ගිං ඔය පාලම මත සහ ඒ අවට සිටි පිරිස් දෑත් වනමින් අධාර ඉල්ලා සිටියා. පාලම මතට හෝ මාර්ගය මතට යානය ගොඩබැස්සවීමට හැකියාව තිබුණේ නැහැ. ඊට හේතුව පාලම මත විශාල පිරිසක් සිටීම සහ ඒ අසළින් අධි බලැති විදුලි රැහැන් පද්ධතියක් පැවතීමයි. කෙසේවෙතත් අපි එහිදී  අත වනමින් සිටි ජනතාවට වියළි ආහාර සහිත පැකට් පාර්සලයක් මුදාහැරියා.  සුදුසු ස්ථානයක යානය ගොඩබැස්වීමට උත්සාහ කළ අවස්ථාවේදී එහි කාර්මික දෝශයක් පවතින බවට ප්‍රධාන ගුවන් නියමු නිර්මාල් සියඹලාපිටියට සහ මට හැඟීගියා. ආපදාවක් නොමැතිව සුදුසු ස්ථානයකට ගොඩබැස්වීමට උත්සාහ කරමින් ප්‍රධාන ගුවන් නියමුවා යානය  හරවනවාත් සමගම එය එක්වරම ගිං ඔයට කඩාවැටුණා. මහත් පරිශ්‍රමයකින් ඉන් පිටතට පැමිණි මමත් සෙසු ගුවන් හමුදා සාමාජිකයින් තිදෙනාත්, සිරවී සිටි ප්‍රධාන ගුවන් නියමුවාගේ බඳ පටි ඉවත් කර කඩිනමින් ඔහු මාරවිල මූලික රෝහලට පිටත්කර යැව්වා”

ඉදිරිපත් වූ සාක්ෂි සළකා බැලූ මාරවිල මහේස්ත්‍රාත් දිනිඳු සමරසිංහ මහතා විමර්ශන තවදුරටත් විධිමත් කරන ලෙසට උපදෙස් ලබාදුන් අතර විමර්ශනවල ප්‍රගතිය විමසීම සඳහා නඩුව නැවත කැඳවීමටද නියෝග කළේය. 

මේ වසරේ මෝටර් සයිකල් 223,423ක් ලියාපදිංචි කරලා.!

මේ වසරේ මෝටර් සයිකල් 223,423ක් ලියාපදිංචි කරලා.!

වසරේ මේ දක්වා කාලය තුළ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වැඩිම ප්‍රමාණයක් ලියාපදිංචි කර ඇත්තේ යතුරුපැදි බව එම දෙපාර්තමේන්තුව පවසයි.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා පැවසුවේ යතුරුපැදි පමණක් 223,423ක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති බවය. 

ඉන් පසුව මෝටර් රථ 55,338ක් ද, ත්‍රීරෝද රථ 13,850ක්ද, මෙම කාණ්ඩ සියල්ලම ආවරණය වන පරිදි විද්‍යුත් වාහන 35,268ක්ද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.

මෙම වාහන ආනයනය කිරීමත් සමග මෙම වසරේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ලබා දී ඇති ආදායම් ඉලක්ක සපුරාගෙන ඇතැයිද පැවසූ ඒ මහතා සඳහන් කර සිටියේ දෙපාර්තමේන්තුවට මෙම වසරේ ඉලක්කය ලෙස රුපියල් බිලියන 16ක ඉලක්කයක් ලබා දුන් බවත් එම ඉලක්කය ඉක්මවා පසුගිය නොවැම්බර් 30 වන විට රුපියල් බිලියන 17.8ක  ප්‍රමාණයක් වාර්තා කිරීමටද දෙපාර්තමේන්තුව සමත් වූ බවය.

එළැඹෙන වර්ෂය සඳහා රුපියල් බිලියන 18ක ආදායම් ඉලක්කයක් මහ භාණ්ඩාගාරය විසින් දෙපාර්තමේන්තුව වෙත ලබා දී ඇතැයිද එම ඉලක්කයද සපුරා ගැනීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට හැකියාව ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.