Attention

අද වැස්ස වැඩෙ වෙයි.!

අද වැස්ස වැඩෙ වෙයි.!

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ අද (21) දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් පවතින බවත්, ඒ හේතුවෙන් වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බවයි.

එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ අනුව උතුරු, උතුරු – මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

සෙසු ප්‍රදේශවලට ප.ව. 1න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

එමෙන්ම මධ්‍යම, ඌව, සබරගමුව පළාත්වලත් මඩකළපුව, අම්පාර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි බලාපොරොත්තු වියහැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.

තවද සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 75 වැඩි තරමක තද වැසි ඇති විය හැකිය.

මේ අතර මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

හිටපු දේශපාලඥයින්ට ලබාදුන් ගිනිඅවි රැසක් අතුරුදන්.!

හිටපු දේශපාලඥයින්ට ලබාදුන් ගිනිඅවි රැසක් අතුරුදන්.!

විවිධ දේශපාලඥයින්ට පසුගිය කාලයේදී ගිනිඅවි නිකුත් කර ඇති බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර සඳහන් කරයි.

එම දේශපාලඥයින්ට නිකුත් කළ සමහර ඒවා දීපු තැනක්වත් හොයාගන්න නැති බවත් සමහර ගිනිඅවි සම්බන්ධ දත්ත වාර්තා කිසිවක් නැති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

මේ සියලු ප්‍රශ්න වලට විසඳුම් ලෙස ගිනිඅවි ආඥා පනත සංශෝධනය කිරීමට කටයුතු කරගෙන යන බවත් 2024 වසරේදී ගිනිඅවි සමීක්ෂණයක් කළ බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

එම සමීක්ෂණයෙන් තොරතුරු රැසක් අනාවරණය වූ බවත් ගිනිඅවි සම්බන්ධයෙන් දැඩි නීති ගෙන ඒමට බලාපොරොත්තු වන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර අද (19) දින පාර්ලිමේන්තුවේදී මේ බව සඳහන් කරයි.

සාමාන්‍ය පෙළ ඇරඹෙයි.!

සාමාන්‍ය පෙළ ඇරඹෙයි.!

අපේක්ෂකයින් 451,463 දෙනෙකු පෙනී සිටිනා 2025 වර්ෂයට අදාළ අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අදින් (17) ආරම්භ වේ.

විභාග දෙපාර්තමේන්තුව පැවසූවේ දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3545ක දී විභාගය පැවැත්වීමට නියමිත අතර විභාග කටයුතු සදහා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 531ක් සහ ප්‍රාදේශීය එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන 33ක් පිහිටුවා ඇති බවයි.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින් විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය සඳහන් කර සිටියේ, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියේ සහ නිල ෆේස්බුක් ගිණුමෙහි ඇති කාලසටහන ගැන පමණක් අවධානය යොමුකරන ලෙසය.

ඇය වැඩිදුරටත් පැවසූවේ පසුගිය වසරට වඩා මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ විෂය පෙළ ගැස්ම පස්වන, හයවන, හත්වන සහ අටවන දිනයන් හි වෙනස් කර ඇති බැවින් නිවැරදි කාලසටහන පමණක් භාවිත කරන ලෙසයි.

අද උදෑසන 8.30ට විභාග ආරම්භ වීමට නියමිත අතර විභාග ආරම්භයට පැයකට පෙර විභාග අපේක්ෂකයින්ට විභාග මධ්‍යස්ථාන වෙත යා යුතු වේ.

සවස් වරුවේ විභාගය පස්වරු 1.30ට ආරම්භ වීමට නියමිත අතර විභාග අපේක්ෂකයින් දහවල් 12.30 වන විට විභාග මධ්‍යස්ථාන වෙත වාර්තා කළ යුතු බවද විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි මහත්මිය පැවසුවාය.

මේ අතර විභාග මධ්‍යස්ථානවලට ජංගම දුරකථන, bluetooth, ස්මාට් වොච්, සටහන්, හෝ ලේඛන කිසිවක් රැගෙන යාම තහනම් වන බවද පැවසු ඉන්දිකා කුමාරි මහත්මිය සෑම අපේක්ෂකයෙකුම සිය අනන්‍යතා පත්‍රය විභාග අවසන්වන තුරු රැගෙන යා යුතු බවද අවධාරණය කළාය.

ඒ සඳහා පාසල් අපේක්ෂකයින්ට ජාතික හැදුනුම්පත, රියදුරු ගමන්පත්‍රය හෝ විදෙස් ගමන් බලපත්‍රය භාවිත කළ හැකි අතර, පෞද්ගලික අපේක්ෂකයින්ට අවශ්‍ය නම් ජායාරූප දෙකක් ග්‍රාමනිලධාරීවරයා විසින් ලවා සහතික කරගත් තාවකාලික හැඳුනුම්පතක් භාවිත කළ හැකි බවද විභාග කොමසාරිස් ජනරාල්වරිය දැනුම්දෙයි.

එමෙන්ම සියලු විභාග අපේක්ෂකයින් පිළිතුරු සැපයීමට පළමුව හොඳින් ප්‍රශ්‍නපත්‍රයේ උපදෙස් කියවා සියලු කොටස් තමා වෙත ලැබී ඇත්දැයි බැලිය යුතු බවද සඳහන් කර සිටි විභාග කොමසාරිස් ජනරාල්වරිය කාලය මැනවින් කළමනාකරණය කර නිවැරදිව විභාග අංකය සඳහන් කර විභාගයට පිළිතුරු සපයන ලෙසද අපේක්ෂකයින්ට දැනුම් දුන්නාය.

අත්අකුරු පැහැදිලිව සටහන් කරන ලෙසත් කිසිදු අවස්ථාවක ටිපෙක්ස් භාවිතයට යොමු නොවන ලෙසත් වැරද්දක් සිදුවුවහොත් එය ඉරකින් කපා නැවත පිළිතුරු සපයන ලෙසත් පැවසු ඉන්දිකා කුමාරි මහත්මිය පිළිතුරු පත්‍රය නිවැරදිව ඇමිණීමට වගබලාගත යුතු බවද සඳහන් කළාය.

සෑම විභාග අපේක්ෂකයෙකුම විභාග කාලය තුළ විභාග ශාලාවෙහි නීතිරීති ආරක්ෂා කළ යුතු බවත්, මුහුණ පැහැදිලිව හඳුනාගත හැකි වන ලෙස විභාග මධ්‍යස්ථාන වෙත පැමිණිය යුතු බවත් ඉන්දිකා කුමාරි මහත්මිය පැවසීය.

එමෙන්ම කිසිදු අවස්ථාවක වෙනත් විභාග අපේක්ෂකයෙකුට බාධා ඇති වෙන ලෙස හැසිරිය නොහැකි බවත්, එය ඇතැම් විට ප්‍රතිඵල අත්හිටුවීමට සිදුවන වැරැද්දක් විය හැකි බවද සඳහන් කර සිටි විභාග කොමසාරිස් ජනරාල්වරිය, විවේක කාලයේ දී ද අනෙක් අපේක්ෂකයින්ට බාධා ඇති වෙන ලෙස හැසිරීමෙන් වළකින ලෙස සඳහන් කළාය.

සුවිශේෂී බදු සහන මාලාවක්.!

සුවිශේෂී බදු සහන මාලාවක්.!

වසර 10ක් දක්වා විහිදෙන සුවිශේෂී බදු සහන මාලාවක් ලබාදීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව ශ්‍රී ලංකාවේ මහා පරිමාණ ආයෝජන දිරිගැන්වීම සඳහා මෙම සුවිශේෂී බදු සහන මාලාව ලබාදීමට රජය තීරණය කර ඇත.

යටිතල පහසුකම්, සංචාරක, නිෂ්පාදන, කෘෂිකර්මාන්ත, අධ්‍යාපන සහ තාක්ෂණ ඇතුළු ප්‍රධාන අංශ හරහා මහා පරිමාණ ආයෝජන සදහා බදු සහන ⁣ලබා දෙමින්, ශ්‍රී ලංකාව නව උපායමාර්ගික සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ නියාමන රාමුවක් හඳුන්වා දීමට තීරණය කර ඇත.

දිවයින පුරා නීතිඥවරු අධිකරණ කටයුතුවලින් ඉවතට.!

දිවයින පුරා නීතිඥවරු අධිකරණ කටයුතුවලින් ඉවතට.!

සියලු නීතිඥවරුන් අද (16) දිනයේ දිවයින පුරා අධිකරණ කටයුතුවලින් ඉවත්වීමට තීරණය කර තිබේ. ඒ පසුගියදා අකුරේගොඩදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට විරෝධය පළ කරමිනි.

මේ පිළිබඳ අදහස් දක්වමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා පැවසුවේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශන සිදු කරන ලෙස රජයෙන් ඉල්ලීමක් කරන බවයි.

අකුරේගොඩ ප්‍රදේශයේදී පසුගිය සිකුරාදා නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විශේෂ මහා සභා රැස්වීමක් ඊයේ (15) පස්වරුවේ පවත්වනු ලැබීය.

එම සාකච්ඡාවේදී එළැඹි තීරණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහතා මාධ්‍ය වෙත අදහස් පළ කළ කරමින් සඳහන් කර සිටියේ, සංගමයේ මහ සභාව විසින් ඒකමතික තීරණ 4ක් ගනු ලැබූ බවය.

ඒ අනුව ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ගනු ලැබූ ඒකමතික තීරණ පහතින් දැක්වේ.

1. වර්තමානයේ රටේ පවතින ඝාතන සංස්කෘතිය අවසන් කිරීමටත් මහජන ආරක්ෂාව තහවුරු කිරීමටත් රජයට බලකිරීම.

2. දිව ව්‍යාප්ත සියලු අධිකරණවල වෘත්තීය කටයුුතුවලින් හෙට දින සමස්ත නීතිඥවරු බැහැරව සිටීම.

3. මෙම කූර අපරාධය සම්බන්ධයෙන් වගකිව යුතු සියලුදෙනා වහාම අත්අඩංගුවට ගෙන නෛතික ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලීසියට සහ මහජන ආරක්ෂාව සම්බන්ධ ආයතනවලින් ඉල්ලා සිටීම.

4. තහවුරු නොකරන ලද තොරතුරු සමාජගතකිරීම හෝ සත්‍ය බවට හුවා දැක්වීම සම්බන්ධයෙන් පොලීසියට හා අදාළ පාර්ශ්වයන්ට දැඩි අප්‍රසාදය පළ කිරීම.

වසර 14කට පසුව රැස්වූ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ මහ සභා රැස්වීමට නීතිඥයින් 3,500ක පමණ පිරිසක් සහභාගී වූ බවත් ඉඩ පහසුකම් නොමැති වීම හේතුවෙන් ඇතැමුන් සූම් තාක්ෂණය ඔස්සේ අදාළ රැස්වීමට එක්වූ බවත් නීතිඥ රජීව් අමරසූරිය මහතා පැවසීය.

රැස්වීමේ දී අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයෙකුට හා ඔහුගේ බිරිඳට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවත් එම ඝාතන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ දැඩි කනස්සල්ල ප්‍රකාශ කරන බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

මාර්ග බාධක 4ක් තියෙනවා.. ටිකට් නැත්තම් කරුණාකරලා එන්න එපා.!

මාර්ග බාධක 4ක් තියෙනවා.. ටිකට් නැත්තම් කරුණාකරලා එන්න එපා.!

අද (15) රාත්‍රියේ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව හා පාකිස්තානය අතර පැවැත්වෙන තරගය නැරඹීම සඳහා නිසි අවසරපතක් නොමැති කිසිදු ක්‍රීඩාලෝලියෙකු ක්‍රීඩාංගණය අසලට පැමිණීමෙන් වළකින ලෙස පොලීසිය ක්‍රීඩාලෝලීන්ගෙන් ඉල්ලයි.

මේ සම්බන්ධයෙන් පස්වරුවේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා මෙම කරුණු පැවසීය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ක්‍රීඩාලෝලීන්ගෙන් ඉල්ලා සිටින්නේ නිසි අවසරපතන් නැතිව ක්‍රීඩාංගණය අසලට පැමිණ අපහසුතාවට පත් නොවන ලෙසය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සජීව මැදවත්ත මහතා,  

“කරුණාකරලා, නිසි අවසර පත්‍රයක් නොමැති නම් පැමිණ අපහසුතාවයට පත්වෙන්න එපා. මාර්ග බාධක 4ක් තියෙනවා. සෝදිසි කපොලු 6ක් තියෙනවා. 

මේවාගෙන් ඇතුළු වෙන්න දෙන්නේ නෑ. QR කේතය එක්ක මේක ඕනේ. එහෙම එන්න එපා. ඇතැම් ස්ථානවල අපි පුළුල් තිර යොදලා අවශ්‍ය පහසුකම් යොදලා තියෙනවා” යැයි පැවසීය.

මේ අතර තහනම් භාණ්ඩ ක්‍රීඩාංගණය වෙත රැගෙන ඒමෙන් වළකින ලෙසද ඉල්ලීමක් කරන පොලීසිය, විශේෂයෙන් ක්‍රීඩා පිටිය දෙසට විසිකළ හැකි ලී කැබලි, කොඩි, බෝල හෝ බැට්, වතුර හෝ බීම බෝතල්, ගිනිපෙට්ටි හෝ ලයිටර් වැනි දේ මෙන්ම විශාල බැග්පැක් රැගෙන ඒමෙන් වළකින ලෙසද ක්‍රීඩාලෝලීන්ගෙන් ඉල්ලා සිටියේය.

එමෙන්ම තරගයෙන් අනතුරුව සාමකාමීව ක්‍රීඩාංගණයෙන් පිටව යන ලෙසත් පොලීසිය ක්‍රීඩාලෝලීන්ට දැනුම්දී සිටී.

ලෝක කුසලාන තරඟාවලියේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක්.!

ලෝක කුසලාන තරඟාවලියේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක්.!

ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන 2026 වර්ෂය සඳහා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව තුළ පැවැත්වෙන තරඟ අතිසාර්ථක සහ සුරක්‍ෂිත ලෙස පවත්වාගෙන යාම සහතික කරනු පිණිස, ආරක්ෂක අමාත්‍යාංශය මගින් පුළුල් වූත්, බහු විධ වූත් ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කරන බව නිවේදනය කර සිටියි.

මෙම තරඟාවලියේ පවතින ජාත්‍යන්තර වැදගත්කම මෙන්ම ලොව පුරා විවිධ රට වලින් පැමිණෙන ක්‍රීඩකයින්, නිලධාරීන්, මාධ්‍යවේදීන් සහ ප්‍රේක්ෂකයින් විශාල පිරිස සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා පොලිසිය, ත්‍රිවිධ හමුදාව, බුද්ධි අංශ සහ අනෙකුත් ප්‍රධාන පාර්ශවකරුවන්ගේ දායකත්වයෙන් සැකසූ ඒකාබද්ධ ආරක්‍ෂක සැලැස්මක් මෙම අමාත්‍යාංශය විසින් සම්බන්ධීකරණය කර ඇත.

සියලුම තරඟ පැවැත්වෙන ක්‍රීඩාංගන, කණ්ඩායම් රැඳී සිටින හෝටල්, පුහුණු මධ්‍යස්ථාන, ගුවන් තොටුපළ සහ නම් කරන ලද ප්‍රේක්ෂක කලාප සඳහා විශේෂ ආරක්ෂක විධි විධාන යොදවා ඇත.

තරඟාවලිය පැවැත්වෙන කාල සීමාව පුරාම සුරක්ෂිත පරිසරයක් සහතික කරනු පිණිස විසි හතර පැය පුරා ක්‍රියාත්මක ආරක්ෂක පද්ධති, ප්‍රවේශ පාලන ක්‍රියා පටිපාටි, වාහන පරීක්ෂා කිරීමේ ස්ථාන සහ ප්‍රේක්ෂක හැසිරවීමේ ක්‍රම වේදයන් ක්‍රියාත්මක කරනු ලැබේ.

සහභාගී වන කණ්ඩායම්, සංවිධායකයින් මෙන්ම සම්භාවනීය අමුත්තන් සහ රාජ්‍ය තාන්ත්‍රිකයින් සඳහා සමීප ආරක්ෂාව සැපයීමට විශේෂ ආරක්ෂක ඒකක යොදවා ඇත.

CCTV නිරීක්ෂණ සහ තත්කාලීන බුද්ධි තොරතුරු සම්බන්ධීකරණය ඇතුළු ආවේක්ෂණ පද්ධති හරහා, පවතින තත්ත්වයන් නිරීක්ෂණය සහ කඩිනම් ප්‍රතිචාර දැක්වීමේ හැකියාව තවදුරටත් ශක්තිමත් කෙරේ.

එසේම, ආරක්ෂක අමාත්‍යාංශය විසින් ගුවන් අවකාශය පිළිබඳ නිරීක්ෂණ කටයුතු ද ඉහළ නංවා ඇති අතර, ඕනෑම හදිසි අවස්ථාවකදී ප්‍රතිචාර දැක්වීම සඳහා වෛද්‍ය ඒකක ඇතුළු හදිසි ප්‍රතිචාර කණ්ඩායම් සීරුවෙන් තැබීමට පියවර ගෙන ඇත.

තරඟාවලියේ උත්සවශ්‍රීය ආරක්ෂා වන පරිදි මහජන සාමය සහ ආරක්ෂාව උපරිමයෙන් තහවුරු කිරීම සඳහා අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය මහජනතාවට සහ ජාත්‍යන්තර ප්‍රජාවට සහතික වෙයි.

ආරක්ෂක නිලධාරීන් සමඟ සහයෝගයෙන් කටයුතු කරන ලෙසත්, ක්‍රීඩාංගණ මාර්ගෝපදේශ පිළිපදින ලෙසත්, ඕනෑම සැකකටයුතු ක්‍රියාවක් පිළිබඳව බලධාරීන් දැනුවත් කරමින් මහජන ආරක්ෂාව තහවුරු කිරීම සඳහා සහාය වන ලෙසත්, අමාත්‍යාංශය ප්‍රේක්ෂකයින් ඇතුළු මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

ඉහළ වෘත්තීය මට්ටමකින් සහ විශිෂ්ටත්වයෙන් යුතුව ජාත්‍යන්තර ක්‍රිකට් තරඟාවලියක සත්කාරකත්වය දැරීමට ශ්‍රී ලංකාව සතු හැකියාව විදහා දක්වමින්, සුරක්‍ෂිත පරිසරයක අමතක නොවන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියක් නැරඹීමට අවකාශය ලබාදීමට ආරක්ෂක අමාත්‍යාංශය කැපවී සිටියි.

ශ්‍රී ලංකාවට ආසියානු සංවර්ධන බැංකුවේ අඛණ්ඩ සහාය.!

ශ්‍රී ලංකාවට ආසියානු සංවර්ධන බැංකුවේ අඛණ්ඩ සහාය.!

ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලියට ආසියානු සංවර්ධන බැංකුවේ අඛණ්ඩ සහාය ලබා දෙන බවත්, වසර ගණනාවක් තිස්සේ ගොඩනඟා ගත් ශක්තිමත් හවුල්කාරිත්වය මත පදනම්ව ශ්‍රී ලංකාව සමඟ පවතින සබඳතා තවදුරටත් පුළුල් කර ගැනීමට අපේක්ෂා කරන බවත් ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) නව දේශීය අධ්‍යක්ෂ Shannon Cowlin සඳහන් කළාය.

ශ්‍රී ලංකාව සඳහා අලුතින් පත් වූ ආසියානු සංවර්ධන බැංකුවේ දේශීය අධ්‍යක්ෂවරිය වන Shannon Cowlin අද (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක හමු වූවාය.

නව අධ්‍යක්ෂවරිය නිල වශයෙන් ජනාධිපතිවරයාට හඳුන්වා දීම ආසියානු සංවර්ධන බැංකුවේ කලාපීය අධ්‍යක්ෂවරයා විසින් සිදු කෙරිණි.

ආසියානු සංවර්ධන බැංකු ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක වැඩසටහන් ශ්‍රී ලංකාව විසින් ක්‍රියාත්මක කරනු ලැබ ඇති ආකාරය සහ ආයතනික සම්බන්ධීකරණ ක්‍රියාවලියේ පවතින ඵලදායිතාව පිළිබඳව නියෝජිත පිරිස මෙහිදී සතුට පළ කළහ.

දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ ව්‍යසනය පිළිබඳවද මෙම සාකච්ඡාවේදී ප්‍රමුඛ අවධානයක් යොමු වූ අතර යථා තත්ත්වයට පත්කිරීමේ වැඩපිළිවෙළ සහ ප්‍රතිසංස්කරණ කටයුතු වේගවත් කිරීම වෙනුවෙන් රජය ආරම්භ කර තිබෙන වැඩපිළිවෙළ පිළිබඳවද සාකච්ඡා කෙරිණි.

වත්මන් රජය යටතේ ළඟා කර ගත් ආර්ථික ප්‍රගතිය විශේෂයෙන් අවදානමට ලක්විය හැකි ප්‍රදේශවල සිටින ජනතාව වෙත දැනෙනසුලු ලෙස ගලායාමට සැලැස්වීම රජයේ අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී සඳහන් කළේය.

මධ්‍යම කඳුකරය සහ කඳුකර ප්‍රදේශ ආශ්‍රිතව පවතින දිගුකාලීන පාරිසරික බලපෑම්ද පැහැදිලි කරමින්, එම පරිසර පද්ධති යථා තත්ත්වයට පත් කිරීම, ජල මූලාශ්‍ර ආරක්ෂා කිරීම සහ බලපෑමට ලක් වූ ප්‍රජාව සඳහා ස්ථිර ජීවනෝපාය මාර්ග සකස් කර දීම සඳහා වන කඩිනම් අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

මේ තත්ත්ව වලට මුහුණ දීම සඳහා දිගුකාලීන වැඩපිළිවෙළක අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා, එම අභියෝගවලට මුහුණ දීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව ලබා දෙන සහාය කෘතවේදීව පිළිගන්නා බවද පැවසීය.

මෙහිදී ආසියානු සංවර්ධන බැංකුව විසින් 2026 වසරේ සිට මෙරට සිදු කරනු ලැබීමට සැලසුම් කර ඇති ආයෝජන, ලබා දීමට අපේක්ෂිත අයවැය සහාය සහ 2026 මැදභාගයේදී සිදු කිරීමට නියමිත ආසියානු සංවර්ධන බැංකුවේ සභාපතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය ඇතුළු ඉදිරි සැලසුම් සමාලෝචනය කෙරුණු අතර, තිරසාර සංවර්ධනය උදෙසා ශ්‍රී ලංකාවේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ අන්‍යෝන්‍ය කැපවීම යළි තහවුරු කෙරිණි.

කථානායක පෞද්ගලික ලේකම්ට එරෙහිව අල්ලස් කොමිසට පැමිණිල්ලක්.!

කථානායක පෞද්ගලික ලේකම්ට එරෙහිව අල්ලස් කොමිසට පැමිණිල්ලක්.!

අද (11) සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් විසින් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ පෞද්ගලික ලේකම්වරයාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පැමිණිල්ලක් ගොනු කර තිබේ.

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට ඉදිරිපත් කර ඇති පැමිණිල්ලේ විමර්ශනවලට බාධා වන අයුරින් ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා කටයුතු කරමින් සිටින බවට ඔවුන් එම පැමිණිල්ල මගින් පෙන්වා දී තිබේ.

කථානායකවරයාගේ පෞද්ගලික ලේකම්වරයා මීට පෙර ගොනු කර ඇති පැමිණිල්ලේ සඳහන් කරුණුවලට අදාළ වාර්තාවක් කථානායකවරයාට ඉදිරිපත් කරන ලෙසට පාර්ලිමේන්තු මහලේකම්වරියට දැනුම් දී ඇති බවය.

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට දූෂණ චෝදනා එල්ල කරමින්, වැඩ තහනමට ලක්ව සිටින චමින්ද කුලරත්න මහතා  අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ඉකුත් දෙවැනිදා පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

තමාට හිමි ප්‍රමාණය ඉක්මවා නිලවාහන භාවිත කිරීම, නීතිවිරෝධී ලෙස ඉන්ධන දීමනා දෙකක් ලබාගැනීම හා නිල නිවාස දෙකක් භාවිත කිරීම ඇතුළු චෝදනා රැසක් චමින්ද කුලරත්න මහතා සිය පැමිණිල්ලෙන් කථානායකවරයාට එරෙහිව  ඉදිරිපත් කර තිබුණි.

එවන් පසුබිමක අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලා කථානායකවරයාගේ පෞද්ගලික ලේකම්වරයා පාර්ලිමේන්තු මහලේකම්වරියට යොමු කළ ලිපියක් පිළිබඳ පෙබරවාරි 05 වැනිදා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පාර්ලිමේන්තුවේදි කරුණු අනාවරණය කළේය.

කථානායකවරයාගේ පෞද්ගලික ලේකම්වරයා යොමු කර ඇති මෙම ලිපිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදු කිරීමට එම මන්ත්‍රීවරයා ප්‍රමුඛ සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායමක් අද පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණ තිබුණි.

චන්ද්‍රිකා රජයට අනතුරු අඟවයි.!

චන්ද්‍රිකා රජයට අනතුරු අඟවයි.!

සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පවසන්නේ වත්මන් රජය රටේ ඉතිරිව පවතින රාජ්‍ය සේවය ද විනාශ කරමින්, සුදුසුකම් හා පළපුරුද්දක් නොමැති පක්ෂයේ හිතවතුන් ඒ සඳහා පත් කරමින් සිටින බවයි.

දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක පිළිබඳව මෙහිදී හිටපු ජනාධිපතිනිය විශේෂයෙන් සඳහන් කර ඇති අතර ඇය වැඩිදුරටත් පවසන්නේ තමා සමන් ඒකනායකව පෞද්ගලිකව හඳුනන බවත්, ඔහු ඉතා අවංක සහ ඉහළ වෘත්තීය මට්ටමක රාජ්‍ය නිලධාරියෙකු බවත් ය.

එමෙන්ම යුක්තිය පසිඳලීම තෝරාගත් පිරිසකට පමණක් සීමාවීම රටේ පාලන පද්ධතියට බරපතළ තර්ජනයක් බවද හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මෙහිදී අවධාරණය කර ඇත.

එහිදී ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ,

“වෘත්තීය මට්ටමේ, කාර්යක්ෂම සහ අවංක රාජ්‍ය සේවයකින් තොරව රජයකට ඉදිරියට යා නොහැකියි. දේශපාලන නායකයන්ට පරිපාලන පළපුරුද්දක් නොතිබුණද, ඔවුන්ට නොසැලෙන අවංකභාවයක් තිබිය යුතු අතර රට පාලනය කිරීමේදී වෘත්තීය මට්ටමේ නිලධාරීන් මත විශ්වාසය තැබිය යුතුයි. අපගේ ශ්‍රේෂ්ඨ ජාතිය නැවත ගොඩනඟන්නේ කෙසේදැයි ප්‍රජාතන්ත්‍රවාදීව තීරණය කළ යුතුයි”

Follow WhatsApp Channel