Attention

ජනපති සහ බෝරා ප්‍රජාවේ නායක අතර හමුවක්.!

ජනපති සහ බෝරා ප්‍රජාවේ නායක අතර හමුවක්.!

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන් සහෙබ්තුමා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර හමුවක් (10) ජනාධිපති කාර්යාලයේදී සිදු විය.

මිලියනයකට අධික බෝරා ප්‍රජාවේ සාමාජිකයෝ ඉන්දියාව, පාකිස්ථානය, ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, කැනඩාව, ශ්‍රී ලංකාව සහ ඕස්ටේලියාව ඇතුළු රටවල් ගණනාවක වාසය කරති.

ජනාධිපති අනුර කුමාර දිසානායක සමග සුහද කතා බහක නිරත වූ අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන් සහෙබ්තුමා ශ්‍රී ලංකාවේ නව සමාජ සහ ආර්ථික පරිවර්තනයක් වෙනුවෙන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ගෙන යන වැඩපිළිවෙළ ඇගයීමට ලක් කළහ.

එමෙන්ම මත්ද්‍රව්‍ය උවදුරට එරෙහිව සහ වංචා දූෂණ වැළැක්වීමට රජය ක්‍රියාත්මක කර ඇති පුළුල් වැඩපිළිවෙළ ඇගයීමට ලක් කරමින් ඊට සිය ආශිර්වාදය පළ කළහ.

ශ්‍රී ලංකාවේ වෙසෙන බෝරා ප්‍රජාව සහ අනෙකුත් ප්‍රජාවන් අතර පවතින දිගුකාලීන සබඳතා පිළිබඳව මෙන්ම බෝරා ප්‍රජාව මෙරට ආර්ථිකයට ලබා දෙන දායකත්වය පිළිබඳව මෙම හමුවේදී බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායකතුමා විසින් ජනාධිපතිවරයා දැනුවත් කෙරිණි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන් සහෙබ්තුමාගේ මෙරට සංචාරය පිළිබඳ සිය ගෞරව පූර්වක ස්තූතිය පිරිනමන බව සඳහන් කළේය.

කස්සප හිමි ඇතුළු පිරිස අධිකරණයට රැගෙන එයි.!

කස්සප හිමි ඇතුළු පිරිස අධිකරණයට රැගෙන එයි.!

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

මෙලෙස අද යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත පිරිස අතර ත්‍රිකුණාමලය කොටුව පාරේ පිහිටි ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය ත්‍රිකුණාමලය කල්‍යාණවංශ තිස්ස හිමියන්, පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්, පූජ්‍ය ත්‍රිකුණාමලය සුඛිතවංශ තිස්ස හිමියන් සහ පූජ්‍ය නන්ද හිමියන්ද ඇතුළු 10 දෙනෙක් ඇතුලත් වෙයි.

මෙම කණ්ඩායම පසුගිය දෙවැනිදා ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර එහිදී අද (09) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

ත්‍රිකුණාමලය නගරයේ වෙරළ ආරක්ෂක කලාපය තුළ අනවසර කුටියක් ඉදිකර බුදු පිළිමයක් තැන්පත් කළේයැයි වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව කර තිබූ පැමිණිල්ලට අනුව මෙම නීති කෘත්‍ය ක්‍රියාත්මක වේ.

අමිතිරිගල මැදගොඩ මෝටර් රථ යතුරුපැදි අනතුරකින් 3ක් ජීවිතක්ෂයට.!

අමිතිරිගල මැදගොඩ මෝටර් රථ යතුරුපැදි අනතුරකින් 3ක් ජීවිතක්ෂයට.!

රුවන්වැල්ල පොලිසිය පවසන්නේ අද (8) පස්වරු 5.00ට පමණ තල්දූව, අමිතිරිගල මැදගොඩ ප්‍රදේශයේ දී මෝටර් රථයක් හා යතුරුපැදියක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් තිදෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

මෙම අනතුරෙන් පසු මෝටර් රථය ප්‍රපාතයකට පෙරළී ඇති අතර, යතුරුපැදිය ද ගිනිගැනීමකට ලක්ව තිබූ බවට වාර්තා වෙයි.

තුවාලකරුවන් තිදෙනෙක් අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර කාර් රථයේ දෙදෙනකු සහ යතුරුපැදියේ සිටි අයකු මියගොස් ඇතැයි වාර්තා වෙයි.

එක්සත් ජාතීන්ගේ ‘දිට්වා මානුෂීය ප්‍රමුඛතා සැලැස්ම’ යටතේ ඩොලර් මිලියන 22ක් ලැබී අවසන්.!

එක්සත් ජාතීන්ගේ ‘දිට්වා මානුෂීය ප්‍රමුඛතා සැලැස්ම’ යටතේ ඩොලර් මිලියන 22ක් ලැබී අවසන්.!

කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය පවසන්නේ ශ්‍රී ලංකා මානුෂීය ප්‍රමුඛතා සැලැස්ම (HPP)” සඳහා මේ දක්වා අමෙරිකානු ඩොලර් මිලියන 22.4 ක් ආධාර ලැබී ඇති බවයි.

පසුගිය දෙසැම්බර් මාසයේ සිට 2026 අප්‍රේල් දක්වා කාලය තුළ ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම පරිදි දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූවන්ට සහාය වීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 35.3 ක මුදලක් අපේක්ෂා කරන මානුෂීය ප්‍රමුඛතා සැලැස්ම දියත් කළේය.

මේ සඳහා, එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඕස්ට්‍රේලියාව, කැනඩාව, ජර්මනිය, ජපානය, නවසීලන්තය, අමෙරිකාව, එංගලන්තය මෙන්ම යුරෝපීය සංගමය ඇතුළු විවිධ ආයතන සහ රටවලින් අරමුදල් ලැබුණි.

ඒ අනුව දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි මේ වන විට ආපදාවට ලක් වූ  පුද්ගලයින් 216,000 කට අධික පිරිසකට ප්‍රතිචාර දක්වා ඇති බව කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ නවතම දත්ත අනුව පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා මානුෂීය ප්‍රමුඛතා සැලැස්ම යටතේ අධ්‍යාපනය, ආහාර, පෝෂණය, ආරක්ෂාව, සෞඛ්‍ය, නවාතැන් සහ කෘෂිකර්මාන්තය යන ක්ෂේත්‍ර සඳහා ප්‍රමුඛතාවය ලබා දෙනු ලැබේ.

පසුගිය දශක දෙක තුළ ශ්‍රී ලංකාවේ ඇති වූ දරුණුතම ගංවතුර හා නායයෑම් හානිය දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ අතර එය රටේ දිස්ත්‍රික්ක 25 පුරාම මිලියන 2.2 ක් පමණ ජනතාවට බලපෑවේය.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට අනුව, 2025 දෙසැම්බර් 29 වන දින වන විට සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයින් 646 දෙනෙකු මියගොස් 173 දෙනෙකු අතුරුදහන් වී ඇත.
‍
සුළි කුණාටුවෙන් ආපදාවට පත් වූ ප්‍රදේශ සඳහා අවශ්‍ය සහන කටයුතු රජය විසින් මෙහෙයවනු ලබන අතර, ඒ සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය, මානුෂීය හවුල්කරුවන්, ජාත්‍යන්තර සහ ජාතික සිවිල් සමාජ සංවිධාන සහ පෞද්ගලික අංශයේ මෙන්ම ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික ආධාරවල සහාය හිමි වේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය බලපෑමට ලක් වූ ප්‍රදේශ යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය සැලසුම් සකස් කිරීම සහ ක්‍රියාත්මක කිරීම  අමාත්‍යාංශ, දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය බලධාරීන් විසින් සිදුකරනු ලබයි.

කෙහෙළියගේ වැඩිමහල් දියණිය අත්අඩංගුවට.!

කෙහෙළියගේ වැඩිමහල් දියණිය අත්අඩංගුවට.!

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ වැඩිමහල් දියණිය වන චමිත්‍රි රඹුක්වැල්ල අත්අඩංගුවට ගෙන ඇත.

රුපියල් ලක්ෂ 300ක මුදල් විශුද්ධිකරණ චෝදනාව යටතේ චමිත්‍රි රඹුක්වැල්ල අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ගුරු විභාග ගැසට්ටුව රිවස් කරන්නැයි උපාධිධාරීන් පිරිසක් ජනපතිගෙන් ඉල්ලයි.!

ගුරු විභාග ගැසට්ටුව රිවස් කරන්නැයි උපාධිධාරීන් පිරිසක් ජනපතිගෙන් ඉල්ලයි.!

පසුගිය දා (පෙබ. 4) ප්‍රකාශයට පත් කළ උපාධිධාරි ගුරු විභාගයට අදාළ ගැසට් නිවේදනය සංශෝධනය කරන ලෙසට උපාධිධාරීන් පිරිසක් ජනාධිපති අනුර කුමාර දිසානායකට ලිපියක් යොමු කරමින් ඉල්ලා තිබේ.

එම ගැසට් නිවේදනයේ සුදුසුකම් සම්පූර්ණ කළ යුතු දිනයේ මෙන් ම අයදුම් කරන විෂයන් පිළිබඳව බරපතළ ගැටලු රැසක් පවතින බව එම ලිපියේ දක්වා ඇත.

අයදුම්කරුවන් 2025.06.30 දිනට පෙර සියලු ම අදාළ සුදුසුකම් සම්පූර්ණ කළ යුතු බවට ගැසට් නිවේදනයේ දක්වා තිබීමෙන් 2026.02.04 දිනට සියලු ම සුදුසුකම් සම්පූර්ණ කර ඇති උපාධිධාරීන් විශාල පිරිසකට අසාධාරණයක් සිදුව ඇතැයි එම ලිපියෙන් වැඩිදුරටත් දක්වා ඇත.

2025.06.30 දිනයෙන් පසු කාල සීමාව තුළ විශ්වවිද්‍යාලවල උපාධි ප්‍රතිඵල නිකුත් කිරිම ප්‍රමාද වූයේ සිසුන්ගේ අසමත්කමක් හෝ වරදක් නොව රටපුරා බලපෑ කොවිඩ් 19 වසංගතය හේතුවෙන් විශ්වවිද්‍යාල වසරකට අධික කාලයක් වසා දැමීම, රට තුළ පැවැති ආර්ථික අර්බුදය, වෘත්තීය සමිති වැඩවර්ජන වැනි බාහිර සාධකවල ප්‍රතිඵල හේතුවෙන් බව ද එහි දක්වා ඇත.

කැලණිය 2025.07.01, පේරාදෙණිය 2025.08.05, ඌව වෙල්ලස්ස 2025.10.17, රජරට 2025.12.31, සෞන්දර්ය හා කලා 2025.08.01 හා 2025.08.30, නැගෙනහිර 2025.12.18, සබරගමුව 2025.07.14, ශ්‍රී ජයවර්ධනපුර 2025.12.30, යාපනය 2025.07.25, වව්නියා මණ්ඩපය 2025.09.12, නැගෙනහිර (ත්‍රිකුණාමල මණ්ඩපය) 2025.07.08 හා 2025.09.26, විවෘත විශ්වවිද්‍යාලය 2025.10.12, සෞන්දර්ය කලා (නර්තන හා නාට්‍ය) 2025.07.01, බෞද්ධ හා පාලි 2025.08.01 වශයෙන් මෙම පිරිස උපාධි සම්පූර්ණ කර ඇතැයි ලිපියේ සඳහන් වෙයි.

පෙර වසරවල ගැසට් නිවේදන අනුව අයදුම් කළ හැකි වූ විෂය සම්බන්ධතා මෙම වසරේදී ඉවත් කර ඇතැයි පවසන එම උපාධිධාරීන් සමාජ විද්‍යා උපාධියක් ලැබූවන්ට පුරවැසි අධ්‍යයනයට අයදුම් කළ නොහැකිවීම, පුරාවිද්‍යා උපාධිධාරීන්ට ඉතිහාසය විෂයට අයදුම් කළ නොහැකි වීම වැනි දුර්වලතා පවතින බව කියති.

එසේ ම, අපරාධ විද්‍යාව, ජාත්‍යන්තර සබඳතා, පුරාවිද්‍යාව, සමාජ විද්‍යාව, පුස්තකාල සහ තොරතුරු විද්‍යාව, රංග කලාව, මානව විද්‍යාව, සාහිත්‍ය විචාරය, පරිසර විද්‍යාව, පරිසර කළමනාකරණය යන උපාධිධාරීන්ට අයදුම් කළ හැකි විෂයන් ගැසට් නිවේදනයට ඇතුළත්ව නැතැයි ද ඔවුහු පෙන්වා දෙති.

පසුගිය මාස කිහිපයක කාල වෙනසක් පදනම් කරගෙන දක්ෂ, රටට සේවය කිරීමට සූදානම් තරුණ උපාධිධාරී පරපුරක් රජයේ රැකියා අවස්ථාවලින් වෙන් කිරීම දැඩි මානුෂීය හා සමාජ අසාධාරණයක් බව පවසන උපාධිධාරී පිරිස සුදුසුකම් සම්පූර්ණ කළ යුතු අවසාන දිනය අවම වශයෙන් 2025.12.31 දක්වා හෝ ගැසට් නිවේදනය නිකුත් කළ 2026.02.04 දින දක්වා දීර්ඝ කරන ලෙස ලිපිය මගින් ඉල්ලා ඇත.

2026 උපාධිධාරි ගුරු බඳවා ගැනීමේ ක්‍රියාවලිය තුළ සාධාරණත්වය, සමානාත්මතාව හා මානුෂිකත්වය බරපතළ ලෙස කඩ වී ඇතැයි පවසන ඔවුහු විෂය හා උපාධි වර්ග සම්බන්ධයෙන් ඇති අසාධාරණතා නැවත සමාලෝචනය කර සාධාරණ විසඳුමක් ලබාදෙන ලෙස ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කර සිටී.

මෝදර නිවාස සංකීර්ණයේ කොන්ක්‍රීට් තට්ටුවක් හිස මත කඩා වැටී මල් කැකුලක් මරුට.!

මෝදර නිවාස සංකීර්ණයේ කොන්ක්‍රීට් තට්ටුවක් හිස මත කඩා වැටී මල් කැකුලක් මරුට.!

පෙරේදා (04) රාත්‍රී කාළයේදී කොළඹ, මෝදර, රන්දිය උයන නිවාස සංකීර්ණයේ හත්වැනි මහලේ කොන්ක්‍රීට් තට්ටුවක බදාම කොටසක් හිසමතට කඩා වැටී බිම් මහලේ එළියේ සිටි කුඩා දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

සඳරුවන් මෝටියර් නමැති මෙම 7 හැවිරිදි පිරිමි දරුවා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්වූ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

ජීවිතක්ෂයට පත් දරුවා පසුගිය 4 වැනිදා සිය මිත්තණිය හා ලොකු අම්මා සමග එම නිවාස සංකීර්ණයේ පහත මාලයේ පිහිටි වෙළෙඳ සලේ සිට ඇති අතර එහි සිට මෙම දරුවා එම වෙළෙඳ සැලෙන් එළියට පැමිණි අවස්ථාවේ එම බදාම කොටසක් ගැලවී දරුවාගේ හිස මතට වැටී තිබේ.

එහිදී තුවාල ලැබූ දරුවා එහි සිටි පිරිස් එක්ව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබේ.

සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් නිවාස සංකීර්නයේ ජනතාව පවසන්නේ 2019 වසරේ සිට මෙම නිවාස සංකීර්ණයේ බිත්තිය පුපුරා තිබූ බවත් ඒ පිළිබඳ යූ. ඩී. ඒ. එකට දැනුම් දුන් නමුත් සැලකිල්ලක් නොදැක්වූ බවයි.

මේ අතර මෙම කනගාටුදායක සිදුවීම සම්බන්ධයෙන් ඇමැති බිමල් රත්නායක මහතා ඊයේ (5) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් එම දරුවාට සිදුවූ අවාසනාවන්ත සිදුවීම ගැන එම දරුවාගේ පවුලෙන් සමාව අයද සිටියේය.

මියගිය දරුවාගේ හදිසි මරණ පරීක්ෂණය ඊයේ (05 වැනිදා) කොළඹ නාගරික අතිරේක හදිසි මරණ පරීක්ෂිකා ඉරේෂා දේශානි සමරවීර මහත්මිය හමුවේ පැවැත්විණි. පශ්චාත් මරණ පරීක්ෂණය කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි පී. ඒ. කිරිඇල්ල මහතා විසින් පවත්වන ලදී.

ඉදිරිපත් වූ සාක්ෂි සහ වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් කොළඹ නාගරික අතිරේක හදිසි මරණ පරීක්ෂිකා ඉරේෂා දේශානි මහත්මිය, මියගිය දරුවාගේ මරණය බදාම තට්ටුවක් හිස මත කඩා වැටීමෙන් හිසට සිදුවූ බරපතළ හානි හේතු කොට ගෙන සිදුවූ මරණයක් බවට නිගමනය කළාය.

නාරාහේන්පිට වන්දි කොමසාරිස් කාර්යාලයට ගොස් පැමිණිලි කරන ලෙසට ද කොළඹ නාගරික අතිරේක හදිසි මරණ පරීක්ෂකවරිය, මියගිය දරුවාගේ දෙමාපියන්ට දැනුම් දුන්නාය.

දරුවාට සිදුවූ විපත පිළිබඳව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ දැනුම් දෙන ලෙසට ද හදිසි මරණ පරීක්ෂකවරිය පොලිසියට නියෝග කළාය.

රොහාන් ඕලුගල මහතා ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයට.!

රොහාන් ඕලුගල මහතා ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයට.!

සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතා හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් කොලඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර ඇතැයි වාර්තා වෙයි.

ඇතිවූ රෝගී තත්ත්වය හේතුවෙන් ප්‍රතිකාර සඳහා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලීය රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව ජාතික රෝහල වෙත යවා තිබේ.

කෙසේවෙතත් මේ වනව්ට ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින රොහාන් ඕලුගල මහතාගේ රෝගී තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින වාර්තා වෙයි..

ගුරු සේවයට බඳවා ගැනීමට තරග විභාග දෙකක්.!

ගුරු සේවයට බඳවා ගැනීමට තරග විභාග දෙකක්.!

ශ්‍රී ලංකා ගුරු සේවයට උපාධිධාරීන් බඳවා ගැනීම සඳහා 2023.02.03 දිනට රාජ්‍ය සේවයේ නියුතුව නොසිටි උපාධිධාරීන්ට සහ දැනට රාජ්‍ය සේවයේ නියුතුව සිටින උපාධිධාරීන්ට විවෘත සහ සීමිත තරග විභාග දෙකක් පැවැත්වීමට තීරණය කර තිබේ.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඊට අදාළව අති විශේෂ ගැසට් පත්‍ර දෙකක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගය – 2026 මැයෙන් දැනට රාජ්‍ය සේවයේ නොසිටින උපාධිධාරීන්ට පවත්වන විභාගය හඳුන්වා ඇති අතර රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගය – 2023 (2026) යනුවෙන් අනෙක් විභාගය නම් කර තිබේ.

රාජ්‍ය සේවයේ නොසිටින උපාධිධාරීන්ට පවත්වන විභාගයට මේ මස 20 වන දින පෙරවරු 9:00 සිට මාර්තු 05 වන දින පස්වරු 9:00 දක්වා මාර්ගගත ක්‍රමයට පමණක් අයැදුම් පත්‍ර භාර ගන්නා බව ද ගැසට් පත්‍රයේ සඳහන් වෙයි.

එසේ ම, රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන්ට පවත් වන විභාගයට අද (පෙබ. 5) වන දින පෙරවරු 9:00 සිට ලබන 19 වන දා පස්වරු 9:00 දක්වා මාර්ගගත ක්‍රමයට පමණක් අයැදුම් පත්‍ර භාර ගන්නා බව ද ගැසට් පත්‍රයේ දක්වා ඇත.

2023.02.10 දිනට පෙර මාර්ගගත ක්‍රමය යටතේ අයැදුම් කර ඇති උපාධිධාරීන් නැවත අයැදුම් කිරීම අවශ්‍ය නොවන බව ත් එම අයැදුම්පත් මෙවර විභාගයට අයැදුම් කළා සේ සලකන බව ත් එහි සඳහන් වෙයි.

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියට පිවිස අයැදුම්පත් සම්පූර්ණ කිරීමට අවස්ථාව සලසා ඇතැයිද ගැසට් පත්‍ර දෙකෙහි දක්වා තිබේ.

අයැදුම්කරුවන් විභාග දෙපාර්තමේන්තුව පවත්වන ලිඛිත තරග විභාගයේ සියලු ම ප්‍රශ්න පත්‍රවලට පෙනී සිට සියයට 40ක අවම ලකුණු ලබාගැනීම අවශ්‍ය බවත් අයැදුම්කරුවන්ගේ මුළු ලකුණුවල එකතුවේ ප්‍රමුඛතා අනුපිළිවෙළට පුරප්පාඩු සංඛ්‍යාව මෙන් දෙගුණයකට සමාන අයැදුම්කරුවන් ප්‍රමාණයක් සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණයකට කැඳවන බව එමගින් දැනුම් දෙයි.

සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණයේදී මූලික සුදුසුකම් සපුරන අයැදුම්කරුවන් ප්‍රායෝගික සම්මුඛ පරීක්ෂණයකට භාජන කරන බව ත් එහිදී ලබාගන්නා ලකුණු අධ්‍යාපන අමාත්‍යාංශය සහ පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවත්, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවට යොමු කරන බව ත් එහි දක්වා ඇත.

ප්‍රායෝගික පරීක්ෂණ අවස්ථාවේදී අයැදුම්කරුවන්ට පුරප්පාඩු ලේඛනය ප්‍රදර්ශනය කරන බව ත් අයැදුම්කරුවන් පුරප්පාඩු පවතින පාසල්වලට ස්වකීය මනාපය ප්‍රමුඛතා අනුපිළිවෙළින් දැක්විය යුතු බව ත් ගැසට් පත්‍ර දෙකෙහි සඳහන් කර තිබේ.

අලියා ඩිජිටල් වෙයි.!

අලියා ඩිජිටල් වෙයි.!

තම සංවිධාන ශක්තිය තාක්ෂණය සමග මුසුකර ගනිමින් ඊයේ (04) එක්සත් ජාතික පක්ෂය නව ඩිජිටල් යුගයකට පා තබන විශේෂ ඩිජිටල් දියත් කිරීමක් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී සිදුවිය.

මෙම අවස්ථාවට එජාප නායක රනිල් වික්‍රමසිංහ, නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, මහලේකම් තලතා අතුකෝරල, සභාපති වජිර අබේවර්ධන, උප නායක අකිල විරාජ් කාරියවසම්, සාගල රත්නායක, රාජිත සේනාරත්න, නවීන් දිසානායක යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

එහිදී දිවයින පුරා සියලුම මැතිවරණ කොට්ඨාස ආවරණය වන පරිදි ඩිජිටල් පාලක සම්බන්ධිකාරකවරුන් පත් කිරීම නිල වශයෙන් සිදු කෙරිණි.

එම කටයුතු සඳහා මූලිකව පාලක සම්බන්ධීකරණ නිලධාරීන් 1000 දෙනෙකු මෙදින පත් කෙරිණු අතර එමගින් පක්ෂ සංවිධාන ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම, වේගවත් සහ ජනතාවට සමීප වීමට අපේක්ෂා කරන බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

ඊට අමතරව, එක්සත් ජාතික පක්ෂයේ නව නිල UNP ජංගම යෙදුමක්ද ඉදිරියේදී නිල වශයෙන් හඳුන්වා දීමට නියමිත අතර මෙම යෙදුම මගින් පක්ෂ සාමාජිකයන්ට, සංවිධායකයන්ට සහ ජනතාවට තොරතුරු හුවමාරු, දැනුවත් කිරීම සහසම්බන්ධතා වර්ධනය කිරීම බලාපොරොත්තු වෙයි.

මෙම ඩිජිටල් දියත් කිරීමේ තවත් වැදගත් අංගයක් ලෙස, සිරිකොත පක්ෂ මූලස්ථානයේ Starlink අධිවේගී අන්තර්ජාල පහසුකම නිල වශයෙන් ආරම්භ කිරීමද සිදුකෙරේ.

Follow WhatsApp Channel