හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ වැඩිමහල් දියණිය වන චමිත්‍රි රඹුක්වැල්ල අත්අඩංගුවට ගෙන ඇත.
රුපියල් ලක්ෂ 300ක මුදල් විශුද්ධිකරණ චෝදනාව යටතේ චමිත්‍රි රඹුක්වැල්ල අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පසුගිය දා (පෙබ. 4) ප්‍රකාශයට පත් කළ උපාධිධාරි ගුරු විභාගයට අදාළ ගැසට් නිවේදනය සංශෝධනය කරන ලෙසට උපාධිධාරීන් පිරිසක් ජනාධිපති අනුර කුමාර දිසානායකට ලිපියක් යොමු කරමින් ඉල්ලා තිබේ.
එම ගැසට් නිවේදනයේ සුදුසුකම් සම්පූර්ණ කළ යුතු දිනයේ මෙන් ම අයදුම් කරන විෂයන් පිළිබඳව බරපතළ ගැටලු රැසක් පවතින බව එම ලිපියේ දක්වා ඇත.
අයදුම්කරුවන් 2025.06.30 දිනට පෙර සියලු ම අදාළ සුදුසුකම් සම්පූර්ණ කළ යුතු බවට ගැසට් නිවේදනයේ දක්වා තිබීමෙන් 2026.02.04 දිනට සියලු ම සුදුසුකම් සම්පූර්ණ කර ඇති උපාධිධාරීන් විශාල පිරිසකට අසාධාරණයක් සිදුව ඇතැයි එම ලිපියෙන් වැඩිදුරටත් දක්වා ඇත.
2025.06.30 දිනයෙන් පසු කාල සීමාව තුළ විශ්වවිද්‍යාලවල උපාධි ප්‍රතිඵල නිකුත් කිරිම ප්‍රමාද වූයේ සිසුන්ගේ අසමත්කමක් හෝ වරදක් නොව රටපුරා බලපෑ කොවිඩ් 19 වසංගතය හේතුවෙන් විශ්වවිද්‍යාල වසරකට අධික කාලයක් වසා දැමීම, රට තුළ පැවැති ආර්ථික අර්බුදය, වෘත්තීය සමිති වැඩවර්ජන වැනි බාහිර සාධකවල ප්‍රතිඵල හේතුවෙන් බව ද එහි දක්වා ඇත.
කැලණිය 2025.07.01, පේරාදෙණිය 2025.08.05, ඌව වෙල්ලස්ස 2025.10.17, රජරට 2025.12.31, සෞන්දර්ය හා කලා 2025.08.01 හා 2025.08.30, නැගෙනහිර 2025.12.18, සබරගමුව 2025.07.14, ශ්‍රී ජයවර්ධනපුර 2025.12.30, යාපනය 2025.07.25, වව්නියා මණ්ඩපය 2025.09.12, නැගෙනහිර (ත්‍රිකුණාමල මණ්ඩපය) 2025.07.08 හා 2025.09.26, විවෘත විශ්වවිද්‍යාලය 2025.10.12, සෞන්දර්ය කලා (නර්තන හා නාට්‍ය) 2025.07.01, බෞද්ධ හා පාලි 2025.08.01 වශයෙන් මෙම පිරිස උපාධි සම්පූර්ණ කර ඇතැයි ලිපියේ සඳහන් වෙයි.
පෙර වසරවල ගැසට් නිවේදන අනුව අයදුම් කළ හැකි වූ විෂය සම්බන්ධතා මෙම වසරේදී ඉවත් කර ඇතැයි පවසන එම උපාධිධාරීන් සමාජ විද්‍යා උපාධියක් ලැබූවන්ට පුරවැසි අධ්‍යයනයට අයදුම් කළ නොහැකිවීම, පුරාවිද්‍යා උපාධිධාරීන්ට ඉතිහාසය විෂයට අයදුම් කළ නොහැකි වීම වැනි දුර්වලතා පවතින බව කියති.
එසේ ම, අපරාධ විද්‍යාව, ජාත්‍යන්තර සබඳතා, පුරාවිද්‍යාව, සමාජ විද්‍යාව, පුස්තකාල සහ තොරතුරු විද්‍යාව, රංග කලාව, මානව විද්‍යාව, සාහිත්‍ය විචාරය, පරිසර විද්‍යාව, පරිසර කළමනාකරණය යන උපාධිධාරීන්ට අයදුම් කළ හැකි විෂයන් ගැසට් නිවේදනයට ඇතුළත්ව නැතැයි ද ඔවුහු පෙන්වා දෙති.
පසුගිය මාස කිහිපයක කාල වෙනසක් පදනම් කරගෙන දක්ෂ, රටට සේවය කිරීමට සූදානම් තරුණ උපාධිධාරී පරපුරක් රජයේ රැකියා අවස්ථාවලින් වෙන් කිරීම දැඩි මානුෂීය හා සමාජ අසාධාරණයක් බව පවසන උපාධිධාරී පිරිස සුදුසුකම් සම්පූර්ණ කළ යුතු අවසාන දිනය අවම වශයෙන් 2025.12.31 දක්වා හෝ ගැසට් නිවේදනය නිකුත් කළ 2026.02.04 දින දක්වා දීර්ඝ කරන ලෙස ලිපිය මගින් ඉල්ලා ඇත.
2026 උපාධිධාරි ගුරු බඳවා ගැනීමේ ක්‍රියාවලිය තුළ සාධාරණත්වය, සමානාත්මතාව හා මානුෂිකත්වය බරපතළ ලෙස කඩ වී ඇතැයි පවසන ඔවුහු විෂය හා උපාධි වර්ග සම්බන්ධයෙන් ඇති අසාධාරණතා නැවත සමාලෝචනය කර සාධාරණ විසඳුමක් ලබාදෙන ලෙස ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කර සිටී.
පෙරේදා (04) රාත්‍රී කාළයේදී කොළඹ, මෝදර, රන්දිය උයන නිවාස සංකීර්ණයේ හත්වැනි මහලේ කොන්ක්‍රීට් තට්ටුවක බදාම කොටසක් හිසමතට කඩා වැටී බිම් මහලේ එළියේ සිටි කුඩා දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
සඳරුවන් මෝටියර් නමැති මෙම 7 හැවිරිදි පිරිමි දරුවා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්වූ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
ජීවිතක්ෂයට පත් දරුවා පසුගිය 4 වැනිදා සිය මිත්තණිය හා ලොකු අම්මා සමග එම නිවාස සංකීර්ණයේ පහත මාලයේ පිහිටි වෙළෙඳ සලේ සිට ඇති අතර එහි සිට මෙම දරුවා එම වෙළෙඳ සැලෙන් එළියට පැමිණි අවස්ථාවේ එම බදාම කොටසක් ගැලවී දරුවාගේ හිස මතට වැටී තිබේ.
එහිදී තුවාල ලැබූ දරුවා එහි සිටි පිරිස් එක්ව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබේ.
සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් නිවාස සංකීර්නයේ ජනතාව පවසන්නේ 2019 වසරේ සිට මෙම නිවාස සංකීර්ණයේ බිත්තිය පුපුරා තිබූ බවත් ඒ පිළිබඳ යූ. ඩී. ඒ. එකට දැනුම් දුන් නමුත් සැලකිල්ලක් නොදැක්වූ බවයි.
මේ අතර මෙම කනගාටුදායක සිදුවීම සම්බන්ධයෙන් ඇමැති බිමල් රත්නායක මහතා ඊයේ (5) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් එම දරුවාට සිදුවූ අවාසනාවන්ත සිදුවීම ගැන එම දරුවාගේ පවුලෙන් සමාව අයද සිටියේය.
මියගිය දරුවාගේ හදිසි මරණ පරීක්ෂණය ඊයේ (05 වැනිදා) කොළඹ නාගරික අතිරේක හදිසි මරණ පරීක්ෂිකා ඉරේෂා දේශානි සමරවීර මහත්මිය හමුවේ පැවැත්විණි. පශ්චාත් මරණ පරීක්ෂණය කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි පී. ඒ. කිරිඇල්ල මහතා විසින් පවත්වන ලදී.
ඉදිරිපත් වූ සාක්ෂි සහ වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් කොළඹ නාගරික අතිරේක හදිසි මරණ පරීක්ෂිකා ඉරේෂා දේශානි මහත්මිය, මියගිය දරුවාගේ මරණය බදාම තට්ටුවක් හිස මත කඩා වැටීමෙන් හිසට සිදුවූ බරපතළ හානි හේතු කොට ගෙන සිදුවූ මරණයක් බවට නිගමනය කළාය.
නාරාහේන්පිට වන්දි කොමසාරිස් කාර්යාලයට ගොස් පැමිණිලි කරන ලෙසට ද කොළඹ නාගරික අතිරේක හදිසි මරණ පරීක්ෂකවරිය, මියගිය දරුවාගේ දෙමාපියන්ට දැනුම් දුන්නාය.
දරුවාට සිදුවූ විපත පිළිබඳව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ දැනුම් දෙන ලෙසට ද හදිසි මරණ පරීක්ෂකවරිය පොලිසියට නියෝග කළාය.
සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතා හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් කොලඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර ඇතැයි වාර්තා වෙයි.
ඇතිවූ රෝගී තත්ත්වය හේතුවෙන් ප්‍රතිකාර සඳහා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලීය රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව ජාතික රෝහල වෙත යවා තිබේ.
කෙසේවෙතත් මේ වනව්ට ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින රොහාන් ඕලුගල මහතාගේ රෝගී තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින වාර්තා වෙයි..
ශ්‍රී ලංකා ගුරු සේවයට උපාධිධාරීන් බඳවා ගැනීම සඳහා 2023.02.03 දිනට රාජ්‍ය සේවයේ නියුතුව නොසිටි උපාධිධාරීන්ට සහ දැනට රාජ්‍ය සේවයේ නියුතුව සිටින උපාධිධාරීන්ට විවෘත සහ සීමිත තරග විභාග දෙකක් පැවැත්වීමට තීරණය කර තිබේ.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඊට අදාළව අති විශේෂ ගැසට් පත්‍ර දෙකක් නිකුත් කර තිබේ.
ඒ අනුව දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගය – 2026 මැයෙන් දැනට රාජ්‍ය සේවයේ නොසිටින උපාධිධාරීන්ට පවත්වන විභාගය හඳුන්වා ඇති අතර රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගය – 2023 (2026) යනුවෙන් අනෙක් විභාගය නම් කර තිබේ.
රාජ්‍ය සේවයේ නොසිටින උපාධිධාරීන්ට පවත්වන විභාගයට මේ මස 20 වන දින පෙරවරු 9:00 සිට මාර්තු 05 වන දින පස්වරු 9:00 දක්වා මාර්ගගත ක්‍රමයට පමණක් අයැදුම් පත්‍ර භාර ගන්නා බව ද ගැසට් පත්‍රයේ සඳහන් වෙයි.
එසේ ම, රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන්ට පවත් වන විභාගයට අද (පෙබ. 5) වන දින පෙරවරු 9:00 සිට ලබන 19 වන දා පස්වරු 9:00 දක්වා මාර්ගගත ක්‍රමයට පමණක් අයැදුම් පත්‍ර භාර ගන්නා බව ද ගැසට් පත්‍රයේ දක්වා ඇත.
2023.02.10 දිනට පෙර මාර්ගගත ක්‍රමය යටතේ අයැදුම් කර ඇති උපාධිධාරීන් නැවත අයැදුම් කිරීම අවශ්‍ය නොවන බව ත් එම අයැදුම්පත් මෙවර විභාගයට අයැදුම් කළා සේ සලකන බව ත් එහි සඳහන් වෙයි.
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියට පිවිස අයැදුම්පත් සම්පූර්ණ කිරීමට අවස්ථාව සලසා ඇතැයිද ගැසට් පත්‍ර දෙකෙහි දක්වා තිබේ.
අයැදුම්කරුවන් විභාග දෙපාර්තමේන්තුව පවත්වන ලිඛිත තරග විභාගයේ සියලු ම ප්‍රශ්න පත්‍රවලට පෙනී සිට සියයට 40ක අවම ලකුණු ලබාගැනීම අවශ්‍ය බවත් අයැදුම්කරුවන්ගේ මුළු ලකුණුවල එකතුවේ ප්‍රමුඛතා අනුපිළිවෙළට පුරප්පාඩු සංඛ්‍යාව මෙන් දෙගුණයකට සමාන අයැදුම්කරුවන් ප්‍රමාණයක් සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණයකට කැඳවන බව එමගින් දැනුම් දෙයි.
සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණයේදී මූලික සුදුසුකම් සපුරන අයැදුම්කරුවන් ප්‍රායෝගික සම්මුඛ පරීක්ෂණයකට භාජන කරන බව ත් එහිදී ලබාගන්නා ලකුණු අධ්‍යාපන අමාත්‍යාංශය සහ පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවත්, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවට යොමු කරන බව ත් එහි දක්වා ඇත.
ප්‍රායෝගික පරීක්ෂණ අවස්ථාවේදී අයැදුම්කරුවන්ට පුරප්පාඩු ලේඛනය ප්‍රදර්ශනය කරන බව ත් අයැදුම්කරුවන් පුරප්පාඩු පවතින පාසල්වලට ස්වකීය මනාපය ප්‍රමුඛතා අනුපිළිවෙළින් දැක්විය යුතු බව ත් ගැසට් පත්‍ර දෙකෙහි සඳහන් කර තිබේ.
තම සංවිධාන ශක්තිය තාක්ෂණය සමග මුසුකර ගනිමින් ඊයේ (04) එක්සත් ජාතික පක්ෂය නව ඩිජිටල් යුගයකට පා තබන විශේෂ ඩිජිටල් දියත් කිරීමක් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී සිදුවිය.
මෙම අවස්ථාවට එජාප නායක රනිල් වික්‍රමසිංහ, නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, මහලේකම් තලතා අතුකෝරල, සභාපති වජිර අබේවර්ධන, උප නායක අකිල විරාජ් කාරියවසම්, සාගල රත්නායක, රාජිත සේනාරත්න, නවීන් දිසානායක යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
එහිදී දිවයින පුරා සියලුම මැතිවරණ කොට්ඨාස ආවරණය වන පරිදි ඩිජිටල් පාලක සම්බන්ධිකාරකවරුන් පත් කිරීම නිල වශයෙන් සිදු කෙරිණි.
එම කටයුතු සඳහා මූලිකව පාලක සම්බන්ධීකරණ නිලධාරීන් 1000 දෙනෙකු මෙදින පත් කෙරිණු අතර එමගින් පක්ෂ සංවිධාන ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම, වේගවත් සහ ජනතාවට සමීප වීමට අපේක්ෂා කරන බව එක්සත් ජාතික පක්ෂය පවසයි.
ඊට අමතරව, එක්සත් ජාතික පක්ෂයේ නව නිල UNP ජංගම යෙදුමක්ද ඉදිරියේදී නිල වශයෙන් හඳුන්වා දීමට නියමිත අතර මෙම යෙදුම මගින් පක්ෂ සාමාජිකයන්ට, සංවිධායකයන්ට සහ ජනතාවට තොරතුරු හුවමාරු, දැනුවත් කිරීම සහසම්බන්ධතා වර්ධනය කිරීම බලාපොරොත්තු වෙයි.
මෙම ඩිජිටල් දියත් කිරීමේ තවත් වැදගත් අංගයක් ලෙස, සිරිකොත පක්ෂ මූලස්ථානයේ Starlink අධිවේගී අන්තර්ජාල පහසුකම නිල වශයෙන් ආරම්භ කිරීමද සිදුකෙරේ.
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙත වැඩම කරනු ලැබූ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමට පැමිණෙන සැදැහැවතුන් සඳහා විශේෂ දුම්රිය වාර කිහිපයක් ධාවනය කරවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

මේ අතර ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වහන්සේ වැඳපුදා ගැනීමට පැමිණෙන සැදැහැවතුන් සඳහා විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.
මෙහිදී මහජනතාවට ගංගාරාම විහාරස්ථානයට පැමිණීම සඳහා පහත ස්ථානවල සිට විශේෂ බස් රථ සේවාවක් සපයා ඇත.
*පැරණි එම්.ඕ.ඩී. භූමියේ රථගාල (M.O.D. PARK)
*ලේක් හවුස් වටරවුම අසල රථගාල
*කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානයේ සිට පැමිණෙන මහජනතාවට පා ගමනින් ලේක් හවුස් වටරවුම අසල රථගාලට පැමිණිය හැක.
*කොටුව දුම්රිය ස්ථානයේ සිට පැමිණෙන මහජනතාවට පිටකොටුවට නොගොස් ඩී.ආර්. විජේවර්ධන මාවත ඔස්සේ පා ගමනින් ලේක් හවුස් වටරවුම අසල රථගාලට පැමිණිය හැක.
මෙම බස් රථ සේවාව ලංගම සහ පුද්ගලික බස් රථ මඟින් පැය 24 පුරාම සහනදායි මුදලකට සපයන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.
ඊයේ (3) මුදල් හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මහතා ජයවීර පාර්ලිමේන්තුවේදී පැවවූවේ ගෝඨාභය සමයේ සීනි බදු අඩු කිරීම නිසා රුපියල් බිලියන 16.76ක බදු මුදලක් රජයට අහිමි වීම සම්බන්ධ තොරතුරු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට හා විගණකාධිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර ඒ පිළිබඳව පරීක්ෂණ සිදු කෙරෙන බවයි.
ඊට පිළිතුරු ලබාදෙමින් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසුවේ, මෙම ලිපි ගොනුව නීතිපතිගේ උපදෙස් අනුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට යොමු කර ඇති බව ත් එමඟින් පරීක්ෂණ සිදු කෙරෙන බව ත්ය.
ස්පජ්ර්ලබ්මන්තසජබ පාර්ලිමේන්තු මන්ත්‍රි චමින්ද විජේසිරි විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
මන්ත්‍රිවරයා විමසුවේ, සීනි බදු වංචාවට අදාළව ෆයිල් තිබෙන්නේ කුමන කැබ් රථයේ ද එම ෆයිල් වසා තිබෙනවා ද සීනි බදු අඩු කිරීම නිසා අහිමි වී ඇති ආදායම කොපමණ ද යන්නය.
“සීනි බදු වංචාව සිදු වුණේ ඒ කාලෙදිනේ ඔබතුමන්ලා බලයට එන්නත් සීනි බදු වංචාව උපයෝගි කරගත්තනේ. දැන් මොකද ඒකට වෙලා තියෙන්නේ. දැන් ආණ්ඩුව බලයට පත්වුණාට පස්සේ සීනි බදු වංචාවේ ෆයිල් එක වසන්ත සමරසිංහ ඇමැතිතුමාගේ කැබ් එකේ නැද්ද? දැන් ඒ ෆයිල් එක වහලද? දැන් මොකද වෙලා තියෙන්නේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියලා තියෙනවා සාක්ෂි නැහැ කියලා. එතකොට විගණකාධිපති දෙපාර්තමේන්තුවත් කියලා තියෙනවා වෝහාරික පරීක්ෂණයක් සිදු කරන්න අමාරුයි කියලා එතකොට කොහොමද පරීක්ෂණ සිදු වෙන්නේ”
නාවික හමුදා බුද්ධි අංශය මගින් වත්තල පොලීසියට ලබාදුන් තොරතුරකට අනුව රුපියල් හත් කෝටි විසි ලක්ෂයක් පමණ වටිනා නීති විරෝධී මත්පෙති හත් ලක්ෂ හතළිස් හතර දහස් පන්සීයක තොගයක් පෙරේදා (2) පස්වරුවේ වත්තල මීගමු පාරේදී අත්අඩංගුවට ගැනීමට වත්තල පොලිසිය සමත් ව තිබේ.
බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි අදාළ සැකකටයුතු ලොරි රථය පරීක්ෂා කිරීමේදී මිලිග්‍රෑම් 150 මත්පෙති 145,500ක් සහ මිලිග්‍රෑම් 300 මත්පෙති 599,000ක් සොයාගෙන තිබේ.
රියැදුරු (32) සහ ලොරි සහයක (28) යන සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඊයේ (03) වත්තල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
සිදුවීම සම්බන්ධයෙන් වත්තල පොලිසිය වැඩිදුර පරීක්ෂණ කටයුතු මෙහෙයවනු ලබයි.
අසල්වැසි ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහය ඇතිව මෙරටට වැඩම කරවන ශ්‍රී සර්වඥ ධාතූන්වහන්සේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් අද (04) පස්වරු 1.00ට පමණ මෙරටට වැඩම කරවනු ලැබීය.
ඉන්දියාවට අයත් විශේෂිත ගුවන් යානයකින් ශ්‍රී සර්වඥ ධාතූන්වහන්සේ වැඩම කරවීම සිදු කෙරුණ අතර ශ්‍රී සර්වඥ ධාතූන්වහන්සේ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙත අද පස්වරුවේ වැඩම කරවීමට නියමිතය.
”ශ්‍රී සර්වඥ ධාතූන්වහන්සේ වන්දනාව” ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ ආරම්භ වීමට නියමිත අතර සැදැහැවත් ජනතාවට සර්වඥ ධාතූන්වහන්සේ වැඳපුදා ගැනීමට හෙට (05) සිට ලබන (11) වැනිදා දක්වා දින හතක කාලයක් කොළඹ ගංගාරාම විහාරස්ථානයේදී අවස්ථාව හිමි වේ.
පසුගියදා සිදුවූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක සමග පැවැත්වූ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මෙම ශාරීරික ධාතූන් වහන්සේ වැඳ පුදා ගැනීමේ දුර්ලභ අවස්ථාව මෙරට ජනතාවට උදා වී ඇත.