Attention

ආපදාවෙන් මහනුවර පමණක් පාසල් දරුවන් 35ක් සහ ගුරුවරු 10ක් මරුට.!

ආපදාවෙන් මහනුවර පමණක් පාසල් දරුවන් 35ක් සහ ගුරුවරු 10ක් මරුට.!

මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නිහාල් අලහකෝන් පවසන්නේ ගංවතුර හා නාය යෑම් හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ පාසල් සිසුන් 35 දෙනෙකු හා ගුරුවරු 10 දෙනෙකු මියගොස් තිබෙන බවයි.

ඔහු වැඩිදුරටත් පැවසූවේ ආපදා තත්වය හේතුවෙන් මාතලේ දිස්ත්‍රික්කයේ එක් පාසල් සිසුවෙකු මියගොස් තිබෙන බවත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ තොරතුරු මේ වනවිට ඒකරාශි කරමින් තිබෙන බවත් ය.

අතුරුදන් වූ පාසල් සිසුන් හා ගුරුවරු පිළිබඳ සංඛ්‍යාත්මක තොරතුරු මෙතෙක් තහවුරුව නොමැති බවද අධ්‍යක්ෂවරයා පැවසූ අතර, මහනුවර දිස්ත්‍රික්කයේ සිසු සිසුවියන් 97,850 දෙනෙකු ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව තිබෙන ඔහු පැවසීය.

මාතලේ දිස්ත්‍රික්කයේ පාසැල් සිසුන් 8,500 දෙනෙකු පීඩාවට පත්ව තිබෙන බවත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ සංඛ්‍යා ලේඛන මේ වනවිට ගණනය කරමින් තිබෙන බවද ඔහු අවධාරණය කළේය.

එමෙන්ම, මහනුවර දිස්ත්‍රික්කයේ පාසල් 130 ක් අපදාවට ලක්ව තිබෙන බවද මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

අද (08) රාත්‍රීයේ සිට වැසි වැඩි වීමක්.!

අද (08) රාත්‍රීයේ සිට වැසි වැඩි වීමක්.!

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ අද (08) රාත්‍රී කාලයේ සිට උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බවයි.

එම දෙපාර්තමේන්තුව පවසන්නේ උතුරු, උතුරු – මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි අතර මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි.

එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක්ද පවතී.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

පාසල් දහසක් විනාශ වෙලා.!

පාසල් දහසක් විනාශ වෙලා.!

දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් පාසල් දහසකට ආසන්න සංඛ්‍යාවක් පූර්ණ සහ අර්ධ වශයෙන් හානියට පත්ව තිබෙන බව අධ්‍යාපන අමාත්‍යංශ පවසයි.

යුනිසෙෆ් සංවිධානය පවසන්නේ මෙරටට බලපෑ අයහපත් කාලගුණයෙන් මෙරට දරුවන් 275,000 කට පමණ බලපෑම් එල්ල වී ඇති බවයි.

එවන් පසුබිමක් තුල ආපදාවට ලක්වූ බොහෝ ප්‍රදේශවල දරුවන්ගේ පාසල් පෙළපොත් ඇතුළු පාසල් උපකරණ ද ගංවතුරට හසුවීමෙන් විනාශ වී තිබේ.

එමෙන්ම, බොහෝ ප්‍රදේශවල පාසල් ගොඩනැගිලිවලට ද දැඩි හානි සිදුව තිබුණා.

මේ අතර ආපදා තත්ත්වය හේතුවෙන් දීර්ඝ කළ නව පාසල්වාරය එළඹෙන 16 වනදා ආරම්භ කිරීමටයි අධ්‍යාපන බලධාරීන් මේ වන විට සැලසුම් කර ඇත්තේ.

වැඩි මිලට වතුර වික්කට රුපියල් මිලියනයක දඩයක්.!

වැඩි මිලට වතුර වික්කට රුපියල් මිලියනයක දඩයක්.!

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට ලද තොරතුරු මත සිදුකළ වැටලීමකදී වැඩිමිලට පානීය ජල බෝතල් අලෙවි කළ නිවාඩු නිකේතනයකට සහ පුද්ගලික සමාගමකට රුපියල් මිලියනයක දඩ මුදලක් පනවා තිබේ.

මෙලෙස නඩු පවරා ඇත්තේ බෙලිහුල්ඔය සහ බණ්ඩාරවෙල ප්‍රදේශයේ නිවාඩු නිකේතනයකට සහ පුද්ගලික ආයතනයකටය.

බෙලිහුල්ඔය ප්‍රදේශයේ අදාළ නිවාඩු නිකේතනය විසින් රුපියල් 100ක මිලකට අලෙවි කළ යුතු ලීටරයක පානීය ජල බෝතලක් රුපියල් 400ක මිලට අලෙවි කිරීමේ චෝදනාව මත අදාළ ආයතනට එරෙහිව බලන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට එම අධිකාරිය පියවර ගෙන තිබේ.

එහිදී බලන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය මගින් අදාළ නිවාඩු නිකේතනයට රුපියල් මිලියනයක දඩ මුදලක් පැනවීමට නියෝග කර ඇත.

එමෙන්ම රුපියල් 70කට අලෙවි කළ යුතු මිලිලීටර් 500 පානිය ජල බෝතලයක් එම මිල ඉක්මවා රුපියල් 230කට අලෙවි කළ බණ්ඩාරවෙල ඇල්ල ප්‍රදේශයේ පුද්ගලික සමාගමකටද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් නඩු පවරා ඇති අතර එහිදී ද අදාළ සමාගම වෙත රුපියල් මිලියනයක දඩ මුදලක් පැනවීමට බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

අරාබියෙන් ආධාර රැගත් 09 වන ගුවන් යානයත් මෙරටට පැමිණෙයි.!

අරාබියෙන් ආධාර රැගත් 09 වන ගුවන් යානයත් මෙරටට පැමිණෙයි.!

එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් ආපදා ආධාර වශයෙන් මෙරටට ලබා දුන් 09 වන ආධාර තොගය රැගත් එරට ගුවන් හමුදාවට අයත් විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය අද (07) කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

ඉලුෂියන් අයි.එල්.- 76 වර්ගයේ විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් වූ එය අද පස්වරු 04.47 ට අබුඩාබි නුවර සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි.

එම ගුවන් යානයෙන් කිලෝ ග්‍රෑම් 13,482 ක් බරැති කූඩාරම් සහ ගමන් මලු තොගයක් රැගෙනවිත් තිබේ.

ඒවා භාරගැනීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදා නිලධාරීන්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇත.

බූස්ස බන්ධනාගාරයේ හදිසි තත්වයක්.. අධිකාරීවරයෙක් තුවාල ලබයි.!

බූස්ස බන්ධනාගාරයේ හදිසි තත්වයක්.. අධිකාරීවරයෙක් තුවාල ලබයි.!

බූස්ස බන්ධනාගාරයේ ඇති වු නොසන්සුන්කාරී තත්ත්වයකදී එම බන්ධනාගාරයේ බන්ධනාගාර අධිකාරීවරයෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වෙයි.

එහි රඳවා සිටි පිරිසක් ඔවුන් සිටින සිර මැදිරිවලින් වෙනත් සිරමැදිරිවලට මාරු කිරීමට යාමේදී මෙම නොසන්සුන්කාරී තත්ත්වය ඇති වී ඇති බව වාර්තා වේ.

එම අදාළ මාරුකිරීම්වලට රැදවියන් විරෝධය පළ කර ඇති අතර එහිදී රැදවියන් විසින් සිදුකළ පහරදීමේදී බන්ධනාගාර අධිකාරිවරයෙකුට මෙසේ තුවාල කබා තිබේ.

කෙසේවෙතත් මේ වන විට තත්ත්වය සමතයකට පත් කර ඇති අතර බන්ධනාගාර අධිකාරිවරයාගේ නාසයට තුවාල සිදුව ඇති බව ද බන්ධනාගාර ආරංචිමාර්ග සඳහන් කළේය.

ආපදා මරණ ලැයිස්තුව ඉහළට.. අතුරුදන් ලැයිස්තුව පහළට.!

ආපදා මරණ ලැයිස්තුව ඉහළට.. අතුරුදන් ලැයිස්තුව පහළට.!

පසුගියදා ඇතිවූ දිට්වා ආපදා තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 627 දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර පුද්ගලයින් 190ක් පිළිබඳ තොරතුරු තවමත් වාර්තා වී නොමැති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

අවහිර වූ මාර්ග පද්ධතිය 85%ක් විවෘත කරයි.!

අවහිර වූ මාර්ග පද්ධතිය 85%ක් විවෘත කරයි.!

මාර්ග සංවර්ධන අධිකාරිය පවසන්නේ පැවති ආපදා තත්ත්වය හේතුවෙන් අවහිර වූ මාර්ගවලින් සියයට 85කට වඩා වැඩි ප්‍රමාණයක් මේ වන විට විවෘත කර ඇති බවයි.

ආපදාවලින් හානි වූ සියලුම මාර්ග එලඹෙන සතිය තුළදී රථවාහන ධාවනය සදහා විවෘත කිරීමට බලාපොරොත්තු වන බව එහි අධ්‍යක්ෂ ජනරාල් විමල් කණ්ඩම්බි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේය.

මේ අතර, කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ ගනේතැන්න සහ කඩුගන්නාව අතර කොටස පස්වරු 6 සිට පෙරවරු 6 දක්වා රාත්‍රි කාලයේ තවදුරටත් වසා තැබෙනවා.

නායායෑම් අවදානම හේතුවෙන් කෑගල්ලේ සහ හැටන්වල ජනතාව ඉවත් කරයි.!

නායායෑම් අවදානම හේතුවෙන් කෑගල්ලේ සහ හැටන්වල ජනතාව ඉවත් කරයි.!

නායයෑම් අවදානමක් හේතුවෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල, රත්තාගල ප්‍රදේශයේ සහ හැටන්, රොසැල්ල මාණික්කාවත්ත ජනපදයේ සිටින පවුල් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව රුවන්වැල්ල රත්තාගල ප්‍රදේශයේ පවුල් 11ක් රත්තාගල ප්‍රාථමික විද්‍යාලය වෙත යොමු කිරීමට පියවර ගෙන ඇත.

එමෙන්ම වටවල රොසැල්ල මාණික්කාවත්ත ජනපදයේ සිටි පවුල් 13ක පුද්ගලයින් 50 දෙනෙකුද එම ප්‍රදේශයෙන් ඉවත් කර වැලිඔය දමිළ මහා විද්‍යාලය වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ.

මියන්මාරයේ සිට ආධාර රැගත් ගුවන් යානයක් කටුනායකට ගොඩ බහී.!

මියන්මාරයේ සිට ආධාර රැගත් ගුවන් යානයක් කටුනායකට ගොඩ බහී.!

මියන්මාර රජයේ දූත පිරිසක් සමග ඊයේ (06) රාත්‍රියේ ආධාර රැගත් එරට හමුදාවේ ගුවන් යානයක් කටුනායක ගුවන් හමුදා කඳවුර වෙත පැමිණ තිබේ.

දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් වූ මෙරට ජනතාව වෙනුවෙන් සහන සැලසීමේ අරමුණින් මෙම ගුවන් යානය සහ දූත පිරිස දිවයිනට පැමිණ ඇත.

සනීපාරක්ෂක ද්‍රව්‍ය, වෛද්‍යාධාර මෙන්ම අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍යද විශාල ප්‍රමාණයක් මෙම ආධාර තොගය තුල ඇතුළත් බව වාර්තා වෙයි.

මෙම සහනාධාර භාර දීමේ අවස්ථාවට ශ්‍රී ලංකා මියන්මාර තානාපතිනී මාර්ලා තාන් ටයික්, මියන්මාර රජයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් zසෝ  ෆියෝ වින් ඇතුළු එරට රජයේ නියෝජිත නියෝතවරියන් රැසක් එක්ව සිටිහය.

එමෙන්ම මෙම භාණ්ඩ තොගය භාර ගැනීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අධ්‍යක්ෂ ජනරාල් සැලසුම් එයාර් වයිස් මාර්ෂල් දේශප්‍රිය සිල්වා මහතා ඇතුළු ගුවන් හමුදා නිලධාරීන් පිරිසක්ද සහභාගි විය.