Attention

ආපදාවෙන් සම්පූර්ණයෙන්ම හානි වූ නිවාස සංඛ්‍යාව 5,000 ඉක්මවයි.!

ආපදාවෙන් සම්පූර්ණයෙන්ම හානි වූ නිවාස සංඛ්‍යාව 5,000 ඉක්මවයි.!

අපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නවතම වාර්තාවක සඳහන්ව ඇත්තේ දිට්වා සුළි කුණාටුවත් සමග ඇතිවූ ආපදා තත්ත්වය හේතුවෙන් මෙරට සම්පූර්ණයෙන්ම හානි වූ නිවාස සංඛ්‍යාව 5,325ක් බවයි.

ඉන් වැඩිම නිවාස හානි ප්‍රමාණයක් වාර්තා වී ඇති මහනුවර දිස්ත්‍රික්කයේ විනාශ වූ නිවාස ගණන 1,815ක් වන අතර දෙවැනියට වැඩිම නිවාස හානි ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් හානි වූ නිවාස ගණන 767කි.

තවද කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් නිවාස 476ක් ද, පුත්තලම දිස්ත්‍රික්කයේ නිවාස 415ක්, බදුල්ල දිස්ත්‍රික්කයේ නිවාස 404ක් මෙන්ම කෑගල්ල දිස්ත්‍රික්කයේ නිවාස 300ක්ද ආපදාවෙන් සම්පූර්ණ විනාශ වි තිබේ.

මේ අතර ආපදාවෙන් අර්ධ වශයෙන් හානි වී ඇති නිවාස අතුරින් ද වැඩිම නිවාස ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයෙන් වන අතර එම නිවාස ගණන 13,422කි.

අර්ධ වශයෙන් හානි වූ නිවාස අතරට කෑගල්ල දිස්ත්‍රික්කයෙන් නිවාස 11,601ක්ද, රත්නපුර දිස්ත්‍රික්කයෙන් නිවාස 7,869ක්, බදුල්ල දිස්ත්‍රික්කයෙන් නිවාස 7,291, ගම්පහ දිස්ත්‍රික්කයෙන් නිවාස 5,830ක්, පුත්තලම දිස්ත්‍රික්කයෙන් නිවාස 4,809ක්, වව්නියාව දිස්ත්‍රික්කයෙන් නිවාස 4,135ක්, නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් නිවාස 3,742ක්, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් නිවාස 3,600ක්, පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් නිවාස 3,526ක් අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් නිවාස 2,249ක් ලෙසද වාර්තා වී ඇත.

පැවති ආපදා තත්ත්වයෙන් බලපෑමට ලක්වූ වැඩිම පවුල් සහ පුද්ගලයින් සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ පුත්තලම දිස්ත්‍රික්කයෙන් වන අතර එහි පවුල් 98,146ක පුද්ගලයින් 349,429ක් බලපෑමට ලක්ව ඇතැයිද සඳහන් වේ.

දෙවැනියට වැඩිම ප්‍රමාණයක් බලපෑමට ලක්ව ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම දිස්ත්‍රික්කයේ පවුල්  85,803ක පුද්ගලයින් 328,847ක් ආපදා තත්තවය හේතුවෙන් අවතැන් වී තිබේ.

මහනුවර දිස්ත්‍රික්කයේ පවුල් 51,098කට අයත් පුද්ගලයින් 161,140ක් ද, ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පවුල් 25,999ක පුද්ගලයින් 86,376ක්ද, කුරුණෑගල දිස්ත්‍රික්කයේ පවුල් 25,055ක පුද්ගලයින් 85,891ක් ද, මන්නාරම දිස්ත්‍රික්කයේ 23,641ක පුද්ගලයින් 77,451ක්ද, මුලතිව් දිස්ත්‍රික්කයේ පවුල් 22,918ක පුද්ගලයින් 67,340ක්ද, අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවුල් 21,948ක පුද්ගලයින් 72,359කද මෙම ආපදා තත්ත්වයෙන් වැඩිම බලපෑමට ලක්වූවන් ලෙසද වාර්තා වී ඇත.

වසා දැමූ පාසල් යළි ආරම්භ කිරීමට අදාළ චක්‍රලේඛය අද.!

වසා දැමූ පාසල් යළි ආරම්භ කිරීමට අදාළ චක්‍රලේඛය අද.!

දිවයිනට බලපෑ ආපදා තත්ත්වය හේතුවෙන් වසා දැමූ පාසල් යළි ආරම්භ කිරීමට අදාළ චක්‍රලේඛය අද නිකුත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.!

ඒ අනුව පළාත් මට්ටමින් පාසල් යළි ආරම්භ කිරීමට පියවර ගන්නා බවයි අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කලුවැව සඳහන් කළේ.

පවතින තත්ත්වයත් සමඟ පාසල් ආරම්භය මේ මස 16 වැනිදා දක්වා කල් දැමුණා.

තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්.!

තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්.!

උතුරු, නැගෙනහිර, උතුරුමැද පළාත් සඳහා තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

අදාළ නිවේදනය අද (09) උදෑසන 7.30ට නිකුත් කර ඇති අතර, එය හෙට (10) උදෑසන 7.30 දක්වා පැය 24ක කාලයක් සඳහා වලංගු වේ.

දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින අතර, එහි බලපෑම හේතුවෙන් උතුරු, උතුරු මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලත් විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වේ.

උතුරු, නැගෙනහිර සහ උතුරුමැද පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

තද වැසි සමඟ ඇති විය හැකි තද සුළං සහ ප්‍රබල අකුණු මඟින් සිදුවන අනතුරු ඇඟවීම් අවම කර ගැනීමට පියවර ගන්නා ලෙස ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

මහ වැසි සමග ප්‍රබල අකුණු අවදානමක්.!

මහ වැසි සමග ප්‍රබල අකුණු අවදානමක්.!

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ සබරගමුව සහ දකුණු පළාත්වලත් කොළඹ සහ කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇති වීමේ වැඩි හැකියාවක් පැවතිය හැකි බවය.

ගිගුරුම් සහිත වැසි සමඟ එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ද ඇති විය හැකි බව එම නිවේදනයේ සඳහන් වේ.

ඒ අනුව අකුණු හා සුළං මගින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී ඇත

මිලියන 400ක අධාර රැගත් චීන ගුවන් යානයක් කටුනායකින් ගොඩ බහී.!

මිලියන 400ක අධාර රැගත් චීන ගුවන් යානයක් කටුනායකින් ගොඩ බහී.!

අද (08) මහජන චීන ජනරජය විසින් පරිත්‍යාග කළ මෙරට ආපදාවට පත් වී සිටින ජනතාව සඳහා රුපියල් මිලියන 400ක් වටිනා අධාර තොගයක් චීන ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් මගින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

එම ගුවන් යානය තුළ කිලෝග්‍රෑම් 84,525ක් බරැති ජීවිතාරක්ෂක කබා, කූඩාරම්, බ්ලැන්කට් සහ ඇද ඇතිරිළි තොගයක් ද එම භාණ්ඩ අතර වේ.

බෝයිං 747 – 400 වර්ගයේ විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් වූ එය චීනයේ ෂැංහයි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

මෙම අවස්ථාවට වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී චැන්ග් හොන්ග් යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

ආපදාවෙන් හානි වූ වැව් අමුණු හදන්න රුපියල් බිලියන 12ක්.!

ආපදාවෙන් හානි වූ වැව් අමුණු හදන්න රුපියල් බිලියන 12ක්.!

අයහපත් කාලගුණයෙන් හානියට පත් වැව් අමුණු සහ ඇළ මාර්ග 218ක් පමණ නැවත පිළිසකර කිරීම ආරම්භ කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ සඳහා රුපියල් බිලියන 12කට අධික මුදලක් දැනටමත් ඇස්තමේන්තු ගත කර ඇති බවයි එහි ජල කළමනාකරණ අධ්‍යක්ෂ එච්.එම්.පී.එස්.ඩී. හේරත් පැවසුවේ.

ඒ අනුව, ඉදිරි දින 10 තුළදී මහ කන්නයේ වගා කටයුතු සඳහා යොදාගත හැකි වන පරිදි වැව් අමුණුවලින් සියයට 80ක් පමණ පිළිසකර කර අවසන් කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

වහාම පාර්ලිමේන්තුව කැඳවන්න අගමැතිනියට නාමල්ගෙන් ලිපියක්.!

වහාම පාර්ලිමේන්තුව කැඳවන්න අගමැතිනියට නාමල්ගෙන් ලිපියක්.!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් ආපදාවන්ට ලක් වූ ජනතාවට සහන සැලසීමේ අරමුණින් හා අවශ්‍ය සුදුසු ක්‍රියාමාර්ග ගැනීමේ අරමුණින් මහජන නියෝජිතයාගේ වගකීම ඉටුකිරීමට, පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අංක 16 යටතේ පාර්ලිමේන්තුව කැඳවන මෙන් අග්‍රාමාත්‍ය ආචාර්‍ය හරිනි අමරසූරිය මැතිනිය වෙත ලිපියක් ඉදිරිපත් කරමින් ඉල්ලීමක් කර ඇත.

නාමල් රාජපක්ෂ මහතා එම ලිපිය මගින් වැඩිදුරටත් දක්වා ඇත්තේ පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණික තත්ත්වයෙන් රටේ දිස්ත්‍රික්ක ගණනාවක විශාල පිරිසකගේ ජීවිත මෙන්ම දේපල හානි ද සිදු වූ බවයි.

මෙයින් ජන ජීවිතවලට මෙන්ම රටේ ආර්ථිකයට ද බරපතළ හානි සිදු වූ අතර එය අදටත් නිශ්චිතව ගණනය කළ නොහැකි බවද අදාළ ලිපියේ දැක් වේ.

එමෙන්ම මෙවැනි ව්‍යසනකාරී අවස්ථාවක මහජන නියෝජිතයින් වශයෙන් ඉතා ඉක්මනින් වගකීම් සහගතව මැදිහත් විය යුතු බවද ඔහු වැඩිදුරටත් එහි සඳහන් කර ඇත.

ජන ජීවිතය සෑම අංශයකින්ම යථා තත්ත්වයට පත්කිරීම සඳහා ආණ්ඩුව මීට වඩා විධිමත්ව මැදිහත් විය යුතු බව ද එහි සඳහන් වේ.

“විලි ලැජ්ජාවක් නැති මිනිහෙක්” යාපනේ මන්ත්‍රී අර්චුනා ගැන අරුන් සිද්ධාර්ථගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්.!

“විලි ලැජ්ජාවක් නැති මිනිහෙක්” යාපනේ මන්ත්‍රී අර්චුනා ගැන අරුන් සිද්ධාර්ථගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්.!


යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාගේ විවිධ ආන්දෝලනාත්මක ප්‍රකාශයන් සහ සමාජය සමඟ ඇතිකරගන්නා ගැටුම් හේතුවෙන් ඔහු පිළිබඳව සමාජයේ පවතින්නේ වෙනස්ම ආකල්පයකි.

ඔහුගේ දේශපාලන ක්‍රියාකලාපය සහ මතවාදය සම්බන්ධයෙන් විවිධ අර්ථ නිරූපන පවතින අතර මේ පිළිබඳ වෙනස් ආකාරයේ විග්‍රහයක් උතුරේ දේශපාලන ක්‍රියාකාරිකයෙකු වන අරුන් සිද්ධාර්ථ විසින් සිය සමාජ මාධ්‍ය වෙත එක් කර තිබීම කාගේත් අවධානයට ලක්ව තිබේ.

එම සටහන පහතින්,

ප්‍රභාකරන් මගේ දෙවියා” කියලා එයා කිව්වා. “ප්‍රභාකරන්ව මරපු හමුදාව මගේ සතුරා” කියලත් එයා කිව්වා. ඒත් එයාගේ ඊනියා ‘දෙවියා’ 2009 දී නන්දිකඩාල් කලපුවේ යට කලිසමක් විතරක් ඇඳගෙන, හිස මත වැදුණු පොරෝ පාරකුත් එක්ක මළ සිරුරක් විදියට පාවෙන මොහොතේ… “මම ඒ දවසේ පේරාදෙනිය පැත්තේ එක්තරා ස්ථානයක ගෑහැණියක් එක්ක නිදාගෙන පෙම්සුව විඳිමිනුයි හිටියේ” කියලාත්, එයා ම ප්‍රසිද්ධියේ කිව්වා.

✍️ “මගේ තාත්තා කොටියෙක්” කියලා එයා කිව්වා. “මගේ තාත්තා නඩේසන් ට පමණක් දෙවෙනි වුනු LTTE පොලිසියේ දෙවන අණදෙන නිලධාරියා” කියලා එයා ආඩම්බරයෙන් කිව්වා. එයාගේ තාත්තව හමුදාවෙන් මැරුව නිසා කවදාවත් තාත්තව දැකලා නෑ” කියලත් එයා කිව්වා. ඉතින් එයා ප්‍රකාශ කළා, “හමුදාව මගේ සතුරා” කියලා. ඒත් බලන්න, ලෝකයේම මානුෂීයම හමුදාව වන “ශ්‍රී ලංකා යුධ හමුදාව” විසින් ඔහුගේ ජීවිතය බේරාගෙන තියෙනවා.

✍️ එයා කිව්වා, “මගේ තාත්තව මැරුවේ කාගේ තාත්තද? අන්න ඒ තාත්තාගේ පුතා ‘නාමල්’ ව මරන්න ඕනේ.” කියලා. ඒත් පස්සේ කාලෙක එයා නාමල් සමග ඉතා සමීපව කටයුතු කරනවා අපි දැක්කා. ඒ කොහොමවුනත් නාමල් එයාගෙන් කවදාවත් අහන්නේ නෑ: “ඔයාගේ කොටි – තාත්තා නිසා මැරුම්කාපු තාත්තාලාගේ දරුවනුත් ඒ විදිහටම ඔයාව මරන්න හිතුවොත්, නැවත නැවතත් මැරි මැරී සියවරක් ඉපදුනත් ඔයාට ඒ දඬුවම ගෙවලා ඉවරකරන්න බෑ” කියලා. ඔයා උපදින හැම ආත්මයකම ඒ විදිහට මැරෙන්න ම විතරක් ඉපදුනත්, ඔයාගේ ඔය ‘තාත්තාගේ’ මිනීමරු ත්‍රස්ත කණ්ඩායම වන LTTE ය විසින් ඝාතනය කළ අහිංසක මිනිස්සුන්ගේ ගණන කවදාකවත් සමතුලිත වෙන්නේ නෑ !

✍️ ඒ වගේම එයා කෑගැහුවා “රගුරාම්, ඒ කියන්නේ එයාගේ අයියාත් LTTE එකේ වීරයෙක්!” ඒත් හොයා බලද්දී අපිට දැනගන්න ලැබුනා, එයාගේම අර ‘ වීර නායකයා’ යට කලිසමකුත් එක්ක මැරිලා පාවෙද්දීත්, එයාගේ LTTE ‘වීර සහෝදරයා’ සටන් බිමෙන් ඒ වෙනකොටත් පැනලා ගිහින් තිබුනා කියලා.

✍️ එයා පාර්ලිමේන්තු වරප්‍රසාද පිටිපස්සේ හැංගිලා අවංක මිනිස්සුන්ට බොහෝමයක් අපවාදයට ලක් කළා, “ඔක්කොම දූෂිතයි…. මට සාක්ෂි තියෙනවා! මට සාක්ෂි තියෙනවා!!” කියලා එයා කෑගැහුවා. ඒත් තාමත්, මේ දක්වාත්, එයා පොලිසියට එක සාක්ෂියක්වත් ඉදිරිපත් කරලා නෑ, අධිකරණය ඉදිරියට අඩුම ගානේ එක්කෙනෙක්වත් ගෙනියන්න එයාට පුළුවන් වුණේ නෑ. අඩුම ගානේ පාර්ලිමේන්තුව සහ පොලිසිය අතර වෙනස මොකක්ද කියලාවත් එයා දන්නේ නෑ. ඉතා පැහැදිලිවම පොලිසියට අදාල වැඩකදී වුනත් එයා කියනවා “දූෂණ ගැන සියලු සාක්ෂි මම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා” කියලා. එයා විධායකය, ව්‍යවස්ථාදායකය, හෝ අධිකරණය ගැන පුංචිම පුංචි දෙයක්වත් නොදන්නා නූගත් ‘දේශපාලන’ මෝඩයෙක්.

✍️ එයා මහ ලොකුවට “රජයට විරුද්ධ” කතා කරනවා. ඒත් එයාගේ ආච්චිලා-සීයලා විසින් මගේ මුතුන් මිත්තන්ට ලබාදිය යුතුව තිබූ සාධාරණ අධ්‍යාපන අයිතිය, ‘කුල ආඥාව’ මගින් අවුරාදැමූ විට, “සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර” කියලා සිංහල මිනිහෙක්, 1943 දී පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් හරහා අවුරුදු දෙකක් තිස්සේ සටන් කරලා…. 1945 දී වෙනසකින් තොරව මේ රටේ ‘සියලු ජනතාවට නොමිලේ අධ්‍යාපනය ලබාගැනීම’ ව්‍යවස්ථාපිත අයිතියක් බවට පත්කළා. අර්ධ වශයෙන් හරි ජනතාවගේ බදු මුදලින් අරමුදල් සැපයෙන ‘නිදහස් අධ්‍යාපනය’ නොමිලේ ලබාගෙන , ‘දත් ගලවන්න’ වෛද්‍ය විද්‍යාවෙන් ඉගෙන ගත්තත්, සුමන්තිරන්ගේ “ඔඩොක්කුවට” වැටුනු නිසා එයා ඉගෙන ගත්තේ ලංකා රජය නොමිලේ දුන්න “නිදහස් අධ්‍යාපනය” නිසා කියලා කවදාවත් එයාට වැටහිලා නෑ වගේ. අඩුම ගානේ රෝහල්වල වැඩ කරද්දීත්, එයාට හම්බ වුණු වැටුප ශ්‍රී ලංකා රජයෙන් ගෙවපු එකක් කියලාවත් එයාට වැටහිලා නෑ!.

✍️ ඒත් දැන්? එයා තමන් මෙතුවක් කල් පතුරුගහපු අර ‘සතුරා’ ගේ “සපත්තු”වල එල්ලිලා ජලගැල්මෙන් ජීවිතය බේරගෙන..!

✍️ එයාගේ තාත්තා ගැන කියනවා නම්, 1956, 1958, 1977, සහ 1981 වාර්ගික කෝලාහල සිදු වුණා කියලා එයාගේ තාත්තා දැනගෙන හිටියේ නැති බව අපිට පෙනෙනවා, ඒත් “මගේ තාත්තා සතුටින් ශ්‍රී ලංකා පොලිසියේ වැඩ කරමින් හිටියා. ඒත් 1983 කෝලාහලෙන් පස්සේ, ‘කෝපයෙන් කොටින්ට එක්වුණා’,” කියලා එයා කියනවා. ඔව්… ශ්‍රී ලංකා පොලිසියට වැටුපකට වැඩකරන ගමන් ම කොටින්ටත් රුපියල් 10,000 ක වැටුපකට වැඩ කරමින්..!. විලි ලැජ්ජාවක් නැති මිනිහෙක් !

ආපදාවෙන් මහනුවර පමණක් පාසල් දරුවන් 35ක් සහ ගුරුවරු 10ක් මරුට.!

ආපදාවෙන් මහනුවර පමණක් පාසල් දරුවන් 35ක් සහ ගුරුවරු 10ක් මරුට.!

මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නිහාල් අලහකෝන් පවසන්නේ ගංවතුර හා නාය යෑම් හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ පාසල් සිසුන් 35 දෙනෙකු හා ගුරුවරු 10 දෙනෙකු මියගොස් තිබෙන බවයි.

ඔහු වැඩිදුරටත් පැවසූවේ ආපදා තත්වය හේතුවෙන් මාතලේ දිස්ත්‍රික්කයේ එක් පාසල් සිසුවෙකු මියගොස් තිබෙන බවත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ තොරතුරු මේ වනවිට ඒකරාශි කරමින් තිබෙන බවත් ය.

අතුරුදන් වූ පාසල් සිසුන් හා ගුරුවරු පිළිබඳ සංඛ්‍යාත්මක තොරතුරු මෙතෙක් තහවුරුව නොමැති බවද අධ්‍යක්ෂවරයා පැවසූ අතර, මහනුවර දිස්ත්‍රික්කයේ සිසු සිසුවියන් 97,850 දෙනෙකු ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව තිබෙන ඔහු පැවසීය.

මාතලේ දිස්ත්‍රික්කයේ පාසැල් සිසුන් 8,500 දෙනෙකු පීඩාවට පත්ව තිබෙන බවත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ සංඛ්‍යා ලේඛන මේ වනවිට ගණනය කරමින් තිබෙන බවද ඔහු අවධාරණය කළේය.

එමෙන්ම, මහනුවර දිස්ත්‍රික්කයේ පාසල් 130 ක් අපදාවට ලක්ව තිබෙන බවද මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

අද (08) රාත්‍රීයේ සිට වැසි වැඩි වීමක්.!

අද (08) රාත්‍රීයේ සිට වැසි වැඩි වීමක්.!

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ අද (08) රාත්‍රී කාලයේ සිට උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බවයි.

එම දෙපාර්තමේන්තුව පවසන්නේ උතුරු, උතුරු – මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි අතර මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි.

එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක්ද පවතී.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

⌃ News
📰 Free News Subscription?