Attention

පුද්ගලයෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කළැයි සෙබළියන් දෙදෙනෙකු අත්අඩංගුවට.!

පුද්ගලයෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කළැයි සෙබළියන් දෙදෙනෙකු අත්අඩංගුවට.!

ඊයේ (24) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් පුද්ගලයකු පැහැරගෙන ගොස් ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ භූගත බංකරයක සිරකර තබා අතුරුදන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු නාවික සෙබළියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

හපුතලය සහ හලාවත ප්‍රදේශවල පදිංචි 41 සහ 44 වයස් වල පසු වන හිටපු නාවික හමුදා සුළු නිලධාරිනියන් දෙදෙනෙක් මෙලෙස මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකාරියන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන ආංශයේ නිලධාරීන් විසින් සිදු කරනු ලබන විමර්ශනයකට අනුවවයි.

2010 වසරේ ජූලි මාසයේ දිනක එම පුද්ගලයා පැහැරගෙන ගොස් තිරිකුණාමලයය නාවික කඳවුරේ භූගත සිර මැදිරියක රඳවා තබා අතූරුදන් කර ඇති බවට පොලිසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකාරියන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදුකරයි.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර ගලප්පත්ති අල්ලස් කොමිසමට කැඳවයි.!

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර ගලප්පත්ති අල්ලස් කොමිසමට කැඳවයි.!

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර ගලප්පත්ති මහතා මීට සුළු වේලාවකට පෙර අල්ලස් කොමිසම හමුවට පැමිණ තිබේ. ඒ එම කොමිසමේ පෙනී සිටින ලෙස මන්ත්‍රීවරයාට එම කොමිසමෙන් සිදුකළ දැනුම්දීමක් අනුවයි.

කෝටි 25ක කොකේන් සමග මැලේ ජාතිකයෙකු අල්ලයි.!

කෝටි 25ක කොකේන් සමග මැලේ ජාතිකයෙකු අල්ලයි.!

කටුනායක ගුවන් තොටුපොළ රේගුව විසින් රුපියල් මිලියන 250 ක් පමණ වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන දිවයිනට පැමිණි විදේශීය ජාතිකයෙකු අත් අඩංගුවට ගෙන තිබේ.

අබුඩාබි සිට පැමිණි මැලේ ජාතිකයෙකු මෙලෙස අත් අඩංගුවට ගෙන ඇති බව රේගුව සඳහන් කළේය.

ඔහු සතුව තිබී සොයාගත් කොකේන් ප්‍රමාණය කිලෝග්‍රෑම් 05 කට අධික වන බව වාර්තා වේ.

මෙම පුද්ගලයා විසින් මත්ද්‍රව්‍ය තොගය කරල් ලෙස සකසා, සිය අත් බෑගයේ තිබූ චොකලට් අඩංගු ටින් තුළ සඟවා රැගෙන විත් තිබේ.

ත්‍රිකුණාමලය සිද්ධියට බලංගොඩ කස්සප හිමියන්ට නොතීසි.!

ත්‍රිකුණාමලය සිද්ධියට බලංගොඩ කස්සප හිමියන්ට නොතීසි.!

ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් එම්.එන්.එම් සන්සුදීන් මහතා විසින් පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්ට ලබන දෙසැම්බර් 10 දිනට පෙර අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොසිති නිකුත් කර තිබේ.

ත්‍රිකුණාමලය, කොටුව පාරේ පිහිටි ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරයට අයත් ඉඩමක බුදු පිළිමයක් තැන්පත් කිරීමට යෑමේදී ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට ප්‍රකාශයක් ලබාදීම උන්වහන්සේ විසින් ප්‍රතික්ෂේප කිරීම මෙයට හේතුවයි.

ත්‍රිකුණාමල වරාය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.ඩබ්.ජි.එස්.කේ.සමරසිංහ මහතා විසින් අධිකරණයට බී-වාර්තාවක් ඉදිරිපත් කරමින් කියා සිටියේ, ඉකුත් 16 වන දින ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් රෝහල් ගතව සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමිගෙන් වෛද්‍ය අනුමැතිය මත ප්‍රකාශයක් සටහන් කර ගැනීමට ගිය අවස්ථාවේදී උන්වහන්සේ ප්‍රකාශයක් ලබාදීම ප්‍රතික්ෂේප කළ බවයි.

ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 184 වගන්ති ප්‍රකාරව දඬුවම් ලැබිය හැකි වරදක් ලෙස මෙය සැලකෙන බවද පොලිස් ස්ථානාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේය.

රටේ සංහිඳියාව බිඳ වැටිය හැකි සිදුවීමක් වන මෙම සිදුවීමේ විමර්ශනවලට සහාය නොදක්වන හිමිනමට අධිකරණයේ පෙනී සිටින ලෙස නොසිති නිකුත් කරන ලෙස අදාළ බී-වාර්තාවෙන් පොලිසිය ඉල්ලා සිටියේය. විමර්ශන වලට අදාලව සහාය දැක්වීම සියලු පුරවැසියන්ගේ යුතුකමක් බවද එහිදී අවධාරණය විය.

තවද, දැනට උන්වහන්සේ වැඩ වාසය කරන ස්ථානයක් සොයා ගැනීමට නොහැකි වී ඇති බැවින්, වැඩ වාසය කරන ස්ථානය සොයා ගැනීමටත්, ජාතික හැඳුනුම්පත් අංකය හා ලිපිනය තහවුරු කර ගැනීම සඳහාත්, උන්වහන්සේ භාවිතා කරන ජංගම දුරකථන අංකයට අදාල දුරකථන සමාගමේ කළමනාකරුට දුරකථන විශ්ලේෂණ වාර්තාවක් ලබා දෙන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසද පොලිසිය අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

පැල් රකිමින් සිටියදී මියගිය මාලිමා මන්ත්‍රීවරයාගේ සංවේදී කතාව.!

පැල් රකිමින් සිටියදී මියගිය මාලිමා මන්ත්‍රීවරයාගේ සංවේදී කතාව.!

මාලිමාවට බලය හිමි ගෝමරන්කඩවල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වූ රංගික ප්‍රගාද් ධර්මදාස මහතාගේ (34) හදිසි වියෝවෙන් කම්පාවට පත් ඔහුගේ පියා වන නන්හාමිගේ ධර්මදාස මහතා විසින් මාධ්‍ය වෙත සංවේදී අදහස් දැක්වීමක් සිදුකර තිබේ.

ඔහු පැවසුවේ, “මගේ පුතා ප්‍රාදේශීය සභාවේ සභාපති වුවත් ඔහු වැටුපක් ලබා ගත්තේ නැහැ. දුරකථන කාඩ්පත් පවා මිලදී ගෙන දුන්නේ මමයි. ඔහුගේ අසනීප තත්ත්වය වෙනුවෙන් මාසිකව රුපියල් අටදාහක් හෝ නවදාහක් පමණ බෙහෙත් සඳහා වැය වන අතර, ඒ සඳහා අවශ්‍ය මුදල් ලබා දුන්නෙත් මමයි. මගේ කුඹුරේ ගොයම වන සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා පුතා පැල් රකින්නට ගොස් සිටියදීයි අසනීප වී මිය ගියේ” යනුවෙනි.

ගෝමරන්කඩවල ප්‍රාදේශීය සභාවේ සභාපති රංගික ප්‍රගාද් ධර්මදාස මහතා ඉකුත් 21 වැනිදා පාන්දර වන සතුන්ගෙන් කුඹුර ආරක්ෂා කරමින් සිටියදී ඇතිවූ හදිසි අසනීප තත්ත්වයකින් වියෝ විය. ඔහුගේ අවසන් කටයුතු ඊයේ (23) සිදු කෙරිණි.

රජරට විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා විශේෂවේදී උපාධිධාරියකු වන රංගික ප්‍රගාද් ධර්මදාස මහතා, විශ්ව විද්‍යාලය තුළ ශිෂ්‍ය අරගලවලින් ලද අත්දැකීම් මත පන්නරය ලබා, ඉකුත් මැයි මාසයේ පැවති පළාත් පාලන මැතිවරණයට ගල්කඩවල කොට්ඨාසය නියෝජනය කරමින් මාලිමාව යටතේ තරග වැදී ප්‍රාදේශීය සභාවට තේරී පත් විය. ඉන් අනතුරුව ඔහු සභාපති ධුරයට පත් විය.

වෘත්තියෙන් ගොවිතැනෙහි නිරත වූ ඔහු සභාපතිවරයා බවට පත් වුවද සිය වෘත්තිය අත්හැරියේ නැත. ඉකුත් 20 වැනිදා රාත්‍රියේ සිය කුඹුර වන සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා ගසක් මත වූ පැලක රැකවල් කරමින් සිටියදී ඔහු එම පැලේදී මියගොස් තිබුණි.

මියගිය සභාපතිවරයාගේ පියා වන නන්හාමිගේ ධර්මදාස මහතා සිය පුත්‍රයාගේ හදිසි වියෝව පිළිබඳව තවදුරටත් අදහස් දක්වමින් මෙසේ පැවසීය. “මගේ පුතා විවාහ වී සිටියේ නැහැ. ඔහුගේ හෘදය වස්තුව ක්‍රියාත්මක වන්නේ 30% ක් පමණක් බව වෛද්‍යවරුන් විසින් දැනුම් දී තිබුණා. ඒ සඳහා ඔහු බෙහෙත් ලබා ගත්තා. මම අක්කර පහක කුඹුරු කරනවා. මම වකුගඩු රෝගියෙක්. පුතාගේ මව සීනි අමාරුවට බෙහෙත් බොනවා. අපේ අගහිඟකම් නිසා පුතාගේ අම්මා ගෝමරන්කඩවල පොළේ එළවළු විකුණනවා. මේ දිනවල වත්තේ එළවළු නැති නිසා ඒ ආදායමත් නැහැ. මාසයකුත් දින දහයක් පමණ වයසැති මගේ කුඹුරේ ගොයම වන සතුන්ගෙන් බේරා ගැනීම සඳහා පුතා පැල් රකින්නට ගොස් සිටියදීයි අසනීප වී මිය ගියේ”.

මියගිය ප්‍රාදේශීය සභා සභාපතිවරයාට වැඩිමහල් සහෝදරියක් සහ බාල සහෝදරියක් සිටින බව වාර්තා වේ. වැඩිමහල් සහෝදරිය විවාහ වී සිටින අතර, අවිවාහක බාල සහෝදරිය ජෝර්දානයේ සේවය කර මීට දින විස්සකට පෙර ලංකාවට පැමිණ අනුරාධපුර ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවයේ නිරත වෙමින් සිටියි.

මියගිය සභාපතිවරයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය ත්‍රිකුණාමලය රෝහලේදී ත්‍රිකුණාමලය වැඩ බලන නාගරික හදිසි මරණ පරීක්ෂක සහ කින්නියා හදිසි මරණ පරීක්ෂක මොහොම්මදු සුබෙයිර් සාපි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

එහිදී සාක්ෂි ලබා දුන් මියගිය අයගේ මව වන ගෝමරන්කඩවල, තිරප්පනේ පදිංචි එච්. ඒ. සුධර්මා රංජනී මහත්මිය මෙසේ පැවසුවාය. “මියගොස් ඇත්තේ මගේ පුතායි. ඔහුට වයස අවුරුදු හයේ සිට පපුවේ අමාරුවක් තිබුණා. ත්‍රිකුණාමලය, මඩකලපුව, අනුරාධපුර වැනි රෝහල්වලින් ඔහු විටින් විට ප්‍රතිකාර ලබා ගත්තා. 20 වැනිදා රාත්‍රී හතට පමණ පුතා කෑම වේලද රැගෙන පැල් රකින්නට කුඹුරට ගියා. රාත්‍රී 09.30 ට පමණ මම ඇමතුමක් ගත් විට පුතා කතා කළා. උදෑසන ඔහු නොපැමිණි නිසා අටයි තිහට පමණ නැවත ඇමතුමක් ගත්තත් ඔහු කතා කළේ නැහැ. ඒ නිසා වත්තේ වැඩ කරමින් සිටි අපි ඥාති පුත්‍රයකුට ‘පුතේ ගිහිල්ලා බලන්න මාමා තාම ආවේ නැත්තේ මොකද’ කියා පැවසුවා. ඉන් පසුවයි පුතා මියගිය බවට මට ආරංචි වුණේ.”

මියගිය සභාපතිවරයාගේ ඥාති පුත්‍රයකු වන සරත් මධුසංඛ ධර්මදාස මහතා මරණ පරීක්ෂණයේදී සාක්ෂි ලබා දෙමින් මෙසේ පැවසීය. “මාමා කතා කරන්නේ නැහැ කියා පැවසූ නිසා මම පැල වෙත ගියා. පැල තිබුණේ ගසක් උඩයි. බිම සිට කතා කළත් සද්දයක් නොලැබුණු නිසා මම පැලට උඩට නැග්ගා. බලන විට ඔහු සිහි නැතිව සිටියා. මම කීපදෙනෙක් එකතු කරගෙන මාමාව රෝහලට රැගෙන ගියා. වෛද්‍යවරුන් පරීක්ෂා කර බලා ඔහු මිය ගොස් ඇති බව පැවසුවා.”

සාක්ෂි මෙහෙයවීම ගෝමරංකඩවල පොලිසියේ සැරයන් (22930) එස්. එම්. ජේ. ජී. සමරකෝන් මහතා විසින් සිදු කරන ලද අතර, පශ්චාත් මරණ පරීක්ෂණය ත්‍රිකුණාමලය මහ රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ බී. එල්. පී. එම්. බෝරුක්ගම මහතා විසින් සිදු කරනු ලැබීය.

මරණයට හේතුව නිශ්චිතවම හඳුනා ගැනීම සඳහා මළ සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රිය කොටස් සාම්පල රජයේ රස පරීක්ෂක වෙත යැවීමට මෙහිදී තීරණය විය.

ඉදිරිපත් වූ සාක්ෂි සැලකිල්ලට ගත් ත්‍රිකුණාමලය වැඩ බලන හදිසි නාගරික මරණ පරීක්ෂක මොහොම්මදු සුබෙයිර් සාපි මහතා, මරණය සම්බන්ධයෙන් සැකයක් නොමැති බව ඥාතීන් ප්‍රකාශ කිරීම අනුව විවෘත තීන්දුවක් ප්‍රකාශයට පත් කරමින් අවසන් කටයුතු සඳහා මළ සිරුර ඥාතීන්ට භාරදීමට කටයුතු කළේය.

විශ්‍රාමික රණවිරුවන් පාර්ලිමේන්තුව වටලන්න යයි.!

විශ්‍රාමික රණවිරුවන් පාර්ලිමේන්තුව වටලන්න යයි.!

විශ්‍රාමික රණවිරුවන්ගේ විරෝධතාව: පොල්දූව වටරවුමේ උණුසුම් තත්ත්වයක්

ත්‍රිවිධ හමුදාව සහ පොලීසියේ විශ්‍රාමික රණවිරුවන් පිරිසක් විසින් අද (24) දින කොළඹ පොල්දූව පාර්ලිමේන්තු වටරවුමේදී විරෝධතාවක නිරත විය.

රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික සංවිධානය විසින් සංවිධානය කරන ලද මෙම විරෝධතාවට විශ්‍රාමික රණවිරුවන් රැසක් එක්ව සිටියහ.

ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීම වූයේ, තමන් මිය ගිය පසු සිය විශ්‍රාම වැටුප කිසිදු කප්පාදුවකින් තොරව යැපෙන්නන් හට ලබා දෙන ලෙසයි.

විරෝධතාව අවසානයේදී, පිරිස පාර්ලිමේන්තුව දෙසට ගමන් කිරීමට උත්සාහ කිරීමත් සමඟ පොලීසිය විසින් ඔවුන් වැළැක්වීමට ගත් උත්සාහය හේතුවෙන් එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් නිර්මාණය විය.

පාකිස්තානයේ හමුදා මූලස්ථානයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්.!

පාකිස්තානයේ හමුදා මූලස්ථානයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්.!

පෙෂාවර්හි පැරාමිලිටරි මූලස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්: පුද්ගලයන් තිදෙනෙකු මරුට

පාකිස්තානයේ වයඹදිග පෙෂාවර් නගරයේ පිහිටි පැරාමිලිටරි හමුදා මූලස්ථානයක් ඉලක්ක කර ගනිමින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම ප්‍රහාරයෙන් පුද්ගලයන් තිදෙනෙකු මියගොස් ඇති බවයි.

මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙකු මෙම ස්ථානයට පැමිණ ඇති අතර, ඉන් එක් අයෙක් මූලස්ථානයේ ප්‍රධාන දොරටුව අසලදී බෝම්බය පුපුරුවා හැර ඇත.

අනෙක් බෝම්බකරු හමුදා මූලස්ථාන පරිශ්‍රය තුළදී බෝම්බය පුපුරුවා හැර ඇති බවට තොරතුරු වාර්තා වේ. මෙම ද්විත්ව ප්‍රහාරය හේතුවෙන් මූලස්ථානය ආශ්‍රිතව දැඩි උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.

කඩුගන්නාව නායයෑමෙන් පසු සුන් බුන් අතර සිරවී මරණයෙන් ගැලවූනු කාන්තාවගේ සංවේදී අත්දැකීම.!

කඩුගන්නාව නායයෑමෙන් පසු සුන් බුන් අතර සිරවී මරණයෙන් ගැලවූනු කාන්තාවගේ සංවේදී අත්දැකීම.!

කඩුගන්නාව නායයෑම: මරණයෙන් ගැලවූ කාන්තාවගේ සංවේදී අත්දැකීම

කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍රදේශයේ පිහිටි නිවසක් සහ ආපනශාලාවක් මතට පසුගිය 22 උදෑසන ගල් පර්වතයක් සමඟ පස් කන්දක් කඩා වැටීමේ අවාසනාවන්ත සිදුවීමෙන් පුද්ගලයන් 06 දෙනෙකුට දිවි අහිමි වූ අතර, 05 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කෙරිණි.

මෙම නායයෑමත් සමඟ සුන්බුන්වලට යටවී ජීවිතයත් මරණයත් අතර සටනේ නිරතවූ පිරිස අතරින් එක් කාන්තාවක් දිවි ගලවා ගැනීමට වාසනාවන්ත වූවාය. මුදාගැනීමේ මෙහෙයුම ආරම්භ වී පැය 6කට පසුවත් නිරුපද්‍රිතව සිටි ඇය, තමන් මුහුණපෑ බිහිසුණු අත්දැකීම මාධ්‍ය වෙත අනාවරණය කළේ මෙලෙසිනි.

ඇයගේ වාසනාවන්ත ගැලවීමට හේතු වූ සිදුවීම විස්තර කරමින් ඇය මෙසේ පැවසුවාය:

“අපිට උදේ වරුව ටිකක් කාර්‍යබහුල වුණා. අංකල් සාමාන්‍යයෙන් මට කියනවා, දුව තේ එකක් හදන්නකෝ අපිට බොන්න කියලා. මම තේ එක හදලා ඉවර වෙලා කිව්වා, අංකල් තේ එක හැදුවා බොමු කියලා. තේ එක බීලා මම වෙනදා වොෂ් රූම් එකට යනවා. ඒත් මම ඊයේ වොෂ් රූම් එකට ගියේ නැහැ. ඒක මගේ වාසනාව. වොෂ් රූම් ගියා නම් මම අද ජීවතුන් අතර නැහැ. ටික වෙලාවක් යද්දි ඒ අයියා ඇවිල්ලා මොකක් හරි ඉල්ලුවා මගෙන්. හරි අයියේ දෙන්නම් කියලා මං උඩ බැලුවා. බලද්දී මට තේරුණා ගහක් මේ පැත්තට එනවා වගේ. ඊට පස්සේ මං එතනින් කෑ ගහගෙන දුවගෙන ආවා, අංකල් ගහක් එනවා දුවමු.. දුවමු.. කියලා. දුවන්න හම්බුණේ නැහැ, මම හිර වෙලා හිටියේ.”

ඉන් අනතුරුව එම බිහිසුණු අත්දැකීම සම්බන්ධයෙන් ඇය තවදුරටත් අදහස් දැක්වූයේ මෙලෙසිනි:

“මං හිරවෙලා ඉන්න අතරතුරේ, මට හිතාගන්න බැහැ දැන් මට මොකක්ද වෙන්නේ කියලා. ඊට පස්සේ මං හිත තද කරගෙන මගේ දරුවයි මහත්තයාවයි මතක් කරගත්තා. මේ දෙන්නගේ වාසනාවක් තියෙනවා නම් මං බේරෙනවා කියලා. ටික වෙලාවක් යද්දි මට එළියෙන් සද්ද ඇහෙනවා. එක්කෙනෙක් මට කියනවා ඇහුණා නංගි ඇතුළේ.. නංගි ඇතුළේ.. කියලා. ඊට පස්සේ පිටින් ඇවිල්ලා කියනවා කට්ටිය බැකෝ දාලා මේ පැත්තෙන් කඩමු, පඩි පේළිය කඩමු එහෙම කියලා. ඒවත් මට හොඳට ඇහෙනවා. මං කතා කරන එක එළියට ඇහෙන්නේ නැහැ. මං අන්තිමේදී ඇස් දෙක පියාගත්තා… ගෑස් සිලින්ඩරයක් උඩ තමා කොන්ක්‍රිට් තට්ටුව හිර වෙලා තියෙන්නේ. ඒ නිසා මට ඉඩ පරතරයක් ආවා. බැකෝ දාලා කඩමු කියද්දී මට හිත ටිකක් අවුල් ගියා.. මොකද එහෙම කරොත් කෑලි ඇඟටනේ වැටෙන්නේ. ඊට පස්සෙ කිව්වා බූම් එක දාලා කොන්ක්‍රිට් එක උස්සමු කියලා. එතකොට මගේ හිත ටිකක් හරි ගියා. එක මල්ලි කෙනෙක් පෙනුණා කවුද දන්නේ නැහැ.. ආමි එකේද පොලිසියෙද කියලා.. මම “බුදු මල්ලී.. මං ඇතුලේ ඉන්නවා” කිව්වා. එතකොට එයා කිව්වා “අනේ මගේ අක්කේ.. ඔයා බය වෙන්න එපා අපි ඔයාව ගන්නවා” කියලා. ඊට පස්සේ මං අත දාලා මං ඉන්න තැන සංඥා කළා එයාට. ඊට පස්සේ එයා ටෝච් එකක් ගහලා බැලුවා. ඊට පස්සේ එයාල මාව ඇදලා අර ගත්තා.” යනුවෙන් ඇය එම අත්දැකීම විස්තර කළාය.

ටිල්වින්ට එරෙහිව කොටි නැගිටියි.!

ටිල්වින්ට එරෙහිව කොටි නැගිටියි.!

බ්‍රිතාන්‍යයේදී ටිල්වින් සිල්වා LTTE හිතවාදීන්ගේ විරෝධතාවලට මුහුණ දෙයි

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහ ලේකම් ටිල්වින් සිල්වා මහතා බ්‍රිතාන්‍යයේ සිදු කළ සංචාරයක් අතරතුරදී ලන්ඩනයේදී LTTE (Liberation Tigers of Tamil Eelam) හිතවාදීන් පිරිසකගේ විරෝධතාවලට මුහුණ දී ඇති බව වාර්තා වේ.

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් හමුවීම සහ ඔවුන් සමඟ සාකච්ඡා පැවැත්වීම සඳහා ටිල්වින් සිල්වා මහතා එක්සත් රාජධානිය වෙත සංචාරයක නිරත විය.

ජාතික ජන බලවේගයේ (NPP) ලන්ඩන් ශාඛාව විසින් සංවිධානය කරන ලද මහජන හමුවක් පැවැත්වීමට නියමිතව තිබියදී මෙම සිදුවීම වාර්තා වී ඇත.

විරෝධතාකරුවන්ගේ පැමිණීම හේතුවෙන් එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති බවට තොරතුරු ලැබී තිබේ

රාජ්‍ය පරිපාලන ඇමතිට සම්මානිත මහාචාර්ය පදවියක්.!

රාජ්‍ය පරිපාලන ඇමතිට සම්මානිත මහාචාර්ය පදවියක්.!

අමාත්‍ය ඒ. එච්. එම්. එච්. අබයරත්න මහතාට “සම්මානිත මහාචාර්ය” පදවිය

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ඒ. එච්. එම්. එච්. අබයරත්න මහතා වෙත කැළණිය විශ්වවිද්‍යාලය විසින් “සම්මානිත මහාචාර්ය” (Professor Emeritus) යන පදවි නාමය පිරිනමා ඇති බව අමාත්‍යාංශය නිවේදනය කරයි.

කැළණිය විශ්වවිද්‍යාලයේ උප කුලපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති සිල්වා මහත්මිය විසින් මේ පිළිබඳව අමාත්‍යාංශය වෙත ලිඛිතව දැනුම් දී ඇති අතර, මෙම පදවි නාමය 2025 ඔක්තෝම්බර් මස 14 වන දින සිට ක්‍රියාත්මක වනු ඇත.

මෙම පදවි නාමය පිරිනැමීමත් සමඟ, මින් ඉදිරියට අමාත්‍යවරයාගේ නම සමඟ “සම්මානිත මහාචාර්ය” යන පදවි නාමය භාවිතා කිරීමට නියමිතය. මීට පෙර අමාත්‍යවරයා “ආචාර්ය” යන පදවි නාමයෙන් හඳුන්වා දෙන ලදි.

අමාත්‍යාංශ ලේකම් එස්. ආලෝක බණ්ඩාර මහතාගේ අත්සනින් යුතුව, මේ පිළිබඳව අමාත්‍යාංශය යටතේ ඇති සියලුම ආයතන ප්‍රධානීන්ට සහ අදාළ නිලධාරීන්ට දැනුම් දීමක් සිදු කර ඇත.