Attention

නයාරු ප්‍රධාන පාලම විනාසයි.!

නයාරු ප්‍රධාන පාලම විනාසයි.!

පවතින අයහපත් කාලගුණික තත්ත්වය සහ ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් හටගත් දරුණු ජල ගැලීම් හමුවේ මුලතිව්, නයාරු ප්‍රධාන පාලම සම්පූර්ණයෙන්ම කඩා වැටී තිබේ.

මුලතිව් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය තහවුරු කරන ආකාරයට නයාරු කලපුව හරහා ඉදි කර තිබූ මෙම පාලම, දැඩි ජල පහරට හසුවීමෙන් එහි බැමි කැඩී ගොස් ජල පහරට ගසාගෙන ගොස් ඇත.

මෙම පාලම බිඳ වැටීමත් සමඟ එම මාර්ගය ඔස්සේ සිදු කෙරෙන ගමනාගමන කටයුතු මුළුමනින්ම අඩාල වී ඇති බව වාර්තා වේ.

විශේෂයෙන්ම මුලතිව් සිට වැලිඔය දක්වාත්, මුලතිව් සිට ත්‍රිකුණාමලය දක්වාත් මෙන්ම කෝකිලායි ප්‍රදේශය දක්වාත් පවතින රථවාහන ගමනාගමනය ඇතුළු සියලුම ප්‍රවාහන සබඳතා මේ වන විට සම්පූර්ණයෙන්ම ඇණහිට තිබේ.

නයාරු ප්‍රදේශයේ ජල ප්‍රවාහය සාමාන්‍ය මට්ටමට වඩා ඉතා ඉහළ අගයක් ගෙන ඇති බැවින් පාලමට මෙම හානිය සිදුව ඇති අතර, මේ හේතුවෙන් ප්‍රදේශවාසීහු තවදුරටත් දැඩි පීඩාවට පත්ව සිටිති. උතුරු පළාතේ ආපදා තත්ත්වය පිළිබඳ තොරතුරු ලැබීම සාමාන්‍යයෙන් සීමිත වුවද, මෙම සිදුවීමත් සමඟ එම ප්‍රදේශයේ පවතින අවදානම් සහගත තත්ත්වය සහ ජනතාව මුහුණ දී ඇති දුෂ්කරතාව මැනවින් පෙන්නුම් කරයි.
කැඩුණ පාලමේ ඡායාරූප එකතුව

නුවරැළියේ කොටුවී සිටි විදේශීය සංචාරකයින් ගුවනින් කොළඹට රැගෙන එයි.!

නුවරැළියේ කොටුවී සිටි විදේශීය සංචාරකයින් ගුවනින් කොළඹට රැගෙන එයි.!

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නුවරඑළිය, රම්බොඩ ප්‍රදේශයේ අතරමංව සිටි විදේශීය සංචාරකයින් කණ්ඩායමක් ගලවා ගැනීමට ගුවන් හමුදාව සමත්වී තිබෙනවා.

සංචාරක අමාත්‍යංශය සඳහන් කළේ මෙලෙස බේරාගත් විදේශ සංචාරකයින් කණ්ඩායමට විවිධ රටවල් නියෝජනය කරන සංචාරකයින් 21 දෙනෙකු ඇතුළත් බවයි.

ඒ අනුව, එම පිරිස අතරට ඉන්දියානු සංචාරකයින් 11දෙනෙක්, දකුණු අප්‍රිකානු සංචාරකයින් 04දෙනෙක්, ජර්මානු ජාතික සංචාරකයින් 02ක්, බ්‍රිතාන්‍ය සංචාරකයින් 02ක් සහ ස්ලෝවේනියානු සංචාරකයින් 02ක් ඇතුළත්.

මෙම සංචාරකයින් කණ්ඩායම ඊයේ (30) පස්වරුව වන විට හෙලිකොප්ටර් මගින් කොළඹ වරාය නගරය (Port City Colombo) වෙත ආරක්ෂිතව රැගෙනවිත් තිබෙනවා.

එළවළු මිල අහස උසට.. කැරට් කිලෝවක් රුපියල් 3500/=ට විකිණෙයි.!

එළවළු මිල අහස උසට.. කැරට් කිලෝවක් රුපියල් 3500/=ට විකිණෙයි.!

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අලෙවි වන එළවළු තොග මිල ගණන් ශීඝ්‍ර වශයෙන් ඉහළ ගොස් තිබේ. 

කැරට් කිලෝ එකක තොග මිළ රුපියල් 700 සිට රුපියල් 1000 දක්වා ඉහළ ගොස් ඇති අතර සිල්ලර මිල රිපියල් 2000 – 3500 අතරට පැමිණ තිබේ.

බෝංචි, ලීක්ස් වැනි එළවළු ද රුපියල් 500ත් 800ත් අතර ඉහළ මිලකට තොග වශයෙන් අලෙවි වන බව වාර්තා වේ.

රුපියල් 30කට පමණ අලෙවි වූ වට්ටක්කා කිලෝ එකක මිල ද රුපියල් 100ත් 130 අතර මිලකට දඹුල ආර්ථික මධ්‍යස්ථානයේදී අලෙවි වී ඇත.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙන්දන් සඳහන් කළේ වර්ෂාව සහ නායයෑම් හේතුවෙන් එළවළු කොටු විශාල වශයෙන් විනාශ වීම මෙසේ මිල ගණන් ඉහළ යාමට බලපා ඇති බවයි.

යක්කල ප්‍රධාන මාර්ගය ගිලා බැසීමෙන් නුවර පාර වැසෙයි.!

යක්කල ප්‍රධාන මාර්ගය ගිලා බැසීමෙන් නුවර පාර වැසෙයි.!

අත්තනගලු ඔයේ අතු ඇළක් වන යක්කල ආයුර්වේදය අසලින් ගලා බසින ඇළ හරහා ඉදිකර ඇති පාලම ආසන්නයෙන් මාර්ගය ගිලා

බැසීමට ලක් වීම නිසා කොළඹ මහනුවර මාර්ගය සම්පූර්ණයෙන්ම වසා දැමූ බව විරඟුල පොලිසිය කියයි.

එම මාර්ගයේ ගමන් කරන්නන් විකල්ප මාර්ග භාවිත කරන්නැයිද පොලිසිය කියයි.

මෙම මාර්ගය සහ පාලම මීට මාස කීපයකට ඉහත දී නවීකරණ කළ එකක් බව ද දැනගන්නට ඇත.

පවතින අධික වරෂාවත් සමග විකල්ප මාර්ග භාවිත කිරිමට අපහසුවී ඇත ඇතැම් ස්ථානවලින් මාර්ග තවමත් යටවී ඇතැයි ප්‍රදේශවාසීහු කියති. මෙම මාර්ගය අසල අත්තනගලු ඔය අතු අළ වසර ගණනාවක් තිස්සේ පිළිසකර නොකිරීම නිසා සාමාන්‍ය වැස්සකදී පවතා එහි ජලය පීරි ඉතිරීයයි. ජල බැස්ස නිසියාකාරව සිදු නොවන බව අසල පදිංචිකරුවකු පැවැසීය.

ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා වහාම ක්‍රියාත්මක වී කඩිනමින් මාර්ගය විවෘත කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටින බව අප වාර්තාකරුවෝ පැවැසීය.

රෝහල් පද්ධතියේ රුධිරය හිඟයක්.. ජනතාවගෙන් පරිත්‍යාග අවශ්‍යයි.!

රෝහල් පද්ධතියේ රුධිරය හිඟයක්.. ජනතාවගෙන් පරිත්‍යාග අවශ්‍යයි.!

රුධිර හිඟයක් මතුව ඇති බැවින් රුධිරය පරිත්‍යාග කළ හැකි සැවොම පහත සදහන් ස්ථානයන් වෙත පැමිණ රුධිර පරිත්‍යාගය ලබාදෙන මෙන් ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා ජනතාවගෙන් විශේෂ ඉල්ලිමක් කළේය

යාපනය, අනුරාධපුර, කුරුණෑගල, රාගම, කඹුරුගමුව, කරාපිටිය, හම්බන්තොට,මහ රෝහල් සහ මහරගම අපේක්ෂා රෝහලද ඇතුළුව ජාතික රුධිර මධ්‍යස්ථානය නාරාහේන්පිට, යන ස්ථානයන් වෙත පැමිණ රුධිර පරිත්‍යාගයන් ලබා දිය හැකි බව අධ්‍යක්ෂවරයා පවසයි

උදේ 8.00 – 4.00 දක්වා මෙම මධ්‍යස්ථානයන් විවෘතව තැබෙන අතර නාරාහේන්පිට ප්‍රධාන රුධිර පාරවිලයන මධ්‍යස්ථානය පමණක් උදෑසන 8.00 – සවස 6.30 දක්වා කාලය ඇතුළත විවෘතව තබන බව සඳහන්වේ

දැනට පවතින අයපහත් කාලගුණික තතත්වය හේතුවෙන් රටේ ප්‍රධාන රුධිර මධ්‍යස්ථාන වලට රුධිරය සපයා ගැනිම සදහා ජංගම සායන සංවිධානය කරන සංවිධායකවරුන්ට ජංගම රුධිර කදවුරු සංවිධානය කිරීමේ /ගැටලු අපහසුතා මතුව තිබෙන බැවින් හා බොහෝ ස්ථානයන් වෙත ළගාවීමේ අපහසුතා මතුව ඇතැයි හෙතෙම පවසයි

ජාතික රුධිර පාරවිලයන සේවා පද්ධතිය පවත්වාගෙන යාම සඳහා දවසකට රුධිර ඒකක 1400 -1500 අතර ප්‍රමාණයක් අවශ්‍යය වන අතර එයින් සියට 85ට වැඩි ප්‍රමාණයක් ලැබෙනුයේ ජංගම රුධිර කඳවුරුවලින් යැයිද වෛද්‍ය එදිරිසිංහ පෙන්වා දෙයි

සවස 2න් පසු පළාත් කිහිපයකට වැසි.!

සවස 2න් පසු පළාත් කිහිපයකට වැසි.!

“දිට්වා” Ditwah සුළිකුණාටුව කන්කසන්තුරය සිට 210 km ක් ඊසාන දෙසින්, අක්ෂාංශ 11.4°N සහ දේශාංශ 80.6°E ආසන්නයේ කේන්ද්‍ර ගතව වී ඇති අතර මෙම පද්ධතිය තවදුරටත් දිවයිනෙන් ඉවතට, උතුරු දෙසට ගමන් කරනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

මෙම පද්ධතිය උතුරු දෙසට ගමන් කර ඉදිරි පැය 24 තුළ ඉන්දියාවේ තමිල්නාඩු වෙරළ තීරයට සමාන්තරව ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. 

ඒ අනුව දිවයිනේ කාලගුණය කෙරෙහි මෙම සුළිකුණාටුවේ බලපෑම තවදුරටත් අඩු වෙමින් පවතින බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

උතුරු, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකියි.

ඌව පළාතෙත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

එමෙන්ම උතුරු පළාතේ පැ.කි.මී. 50 දක්වා වන තරමක තද සුළං ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර ඇත.

ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

මහවැලි ගඟ දෙපස ගොඩනැඟිලි නායයෑමේ අවදානමක.!

මහවැලි ගඟ දෙපස ගොඩනැඟිලි නායයෑමේ අවදානමක.!

මහනුවර, පේරාදෙණිය හා ගන්නෝරුවේ මහවැලි ගඟේ ජල මට්ටම අඩුවීමත් සමඟ ගඟ දෙපස ඇති ගොඩනැඟිලි රැසක නායයෑමේ අවදානමක් ඇති බවට තොරතුරු වාර්තා වේ.

එම නිවාස හා ගොඩනැඟිලිවල සිටින ජනතාවට වහාම ඉවත් වෙන්නැයි දැනුම්දීමක් සිදුකර ඇත.

වැඩිහිටි නිවාසයක සිටි 11ක් ජීවිතක්ෂයට.!

වැඩිහිටි නිවාසයක සිටි 11ක් ජීවිතක්ෂයට.!

පන්නල, නාලවලාන ප්‍රදේශයට බලපෑ ගංවතුරින් වැඩිහිටි නිවාසයක සිටි 11 දෙනෙකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

පොලිසිය වැඩිදුරටත් පැවසුවේ එහි සිටි තවත් 14 දෙනෙකු මුදාගෙන ඇති බවය.

ගංවතුර බලපෑම් එල්ලවන අවස්ථාවේ අදාළ වැඩිහිටි නිවාසය තුළ 25 දෙනෙකු සිට ඇතැයිද පොලිසිය සඳහන් කළේය

අලවතුගොඩ ඛේදවාචකයක්.. විශාල පිරිසක් අතුරුදන්.!

අලවතුගොඩ ඛේදවාචකයක්.. විශාල පිරිසක් අතුරුදන්.!

පවතින අයහපත් කාලගුණික තත්ත්වය සමඟ අලවතුගොඩ පොලිස් වසමේ අංකුඹුර ප්‍රදේශයේ නායයෑමක් සිදුව තිබේ.

පොලීසිය සඳහන් කළේ, අංකුඹුර – අලවතුගොඩ මාර්ගයේ රඹුක්ඇළ ප්‍රදේශයේ නායයෑම සිදුව ඇති බවය.

නායයෑමෙන් පුද්ගලයින් අවතැන්වීම් හා ජීවිත හානි වාර්තා වී ඇති අතර, මෙතෙක් ඒ පිළිබඳ නිශ්චිත තොරතුරක් වාර්තා වී නොමැති බව පොලීසිය සඳහන් කරයි.

එම ගම්මානයේ සිට පිරිසක් අතුරුදන් වී ඇති බවට වාර්තා වේ.

මේ වනතෙක් සහන කණ්ඩායම්වලට හෝ එම ස්ථානයට ළඟාවීමට හැකිවී නොමැති බව අප වාර්තාකරු සඳහන් කළේය.

අලවත්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

මාර්ගයට වැටී තිබූ පස් ඉවත්කරමින් සිටි RDA සේවකයින් අනතුරකට ලක්වෙයි.!

මාර්ගයට වැටී තිබූ පස් ඉවත්කරමින් සිටි RDA සේවකයින් අනතුරකට ලක්වෙයි.!

වැලිමඩ – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ ගවරම්මාන ප්‍රදේශයේදී මාර්ගයට කඩාවැටුණු පස් කන්දක් ඉවත් කිරීමට ගිය මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයින් පිරිසක් අනතුරකට ලක්ව තිබේ.

ඒ පස් කන්ද ඉවත්කරමින් සිටියදී ඊට ඉහළින් වූ වේල්ලක් නැවත වරක් ගසක් සමඟ මාර්ගයට කඩාවැටීම හේතුවෙනි.

එම ස්ථානයේ සිටි ලොරි රථ රියදුරෙකු මේ වනවිට අතුරුදන්ව ඇති අතර පස් කන්දට යටවූ එක් සේවකයෙක් මුදාගැනීමට මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට හැකිව තිබුණි.

Follow WhatsApp Channel