ලංකාවේ මධ්‍යම කඳුකරය තුළ භූචලන ඇතිවීමේ අවදානමක් පවතින බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුළ සේනාරත්න සඳහන් කරයි.
අධික වර්ෂාවකට පසු ජලාශ පිරුණු විට, ජලාශ වලට පහළින් තියෙන පාෂාණ තට්ටුවල බරපතළ ආතතියක් ඇතිවෙන බවත් මේ ක්‍රියාවලිය නිසා පාෂාණ තට්ටුවල තියෙන පැලුම් තලවල සුළු චලනයන් මතුවෙන බවද ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුළ සේනාරත්න සඳහන් කරයි.
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුළ සේනාරත්න සඳහන් කළේ,
“ලංකාව ඇතුළේ කම්පන සිද්ධ වෙන එක ගැන අපි බොහෝම විමසිල්ලෙන් ඉන්නවා. ඒකට හේතුව තමයි ලංකාව ඇතුළෙන් කම්පන සිද්ධ වෙන්න පුළුවන් එක හේතුවක් තමා පහුගිය දවස්වල කතා වුණා අධික වර්ෂාවකට පස්සේ අපේ ජලාශ වතුරෙන් පිරුණහම, ජලාශවලට පහළින් තියෙන පාෂාණ තට්ටුවල බරපතළ ආතතියක් ඇති වෙනවා.
මෙන්න මේ ක්‍රියාවලිය නිසා පාෂාණ තට්ටුවල තියෙනවා පැලුම් තල කියලා ජාතියක්. ඒ පැලුම් තලවල සුළු සුළු චලනයන් මතුවෙනවා. ඒ සුළු සුළු චලනයන් ඇති වෙනකොට ඒ කාලවල ඇති වෙන්න පුළුවන් කම්පන. ඒවා දැන් අවුරුදු 5 – 6ක කාලයක් තිස්සේ අපිට වාර්තා වෙලා තියෙනවා මධ්‍යම කඳුකරයේ.
අපි රජයෙන් ඉල්ලීමක් කළා ලංකාවේ වැඩිපුර කම්පන මාන සවි කරන්න කියලා. ඊට පෙර තිබුණේ කම්පන මාන 4යි ලංකාවටම. දැන් කම්පන මාන 13 – 14ක් මධ්‍යම කඳුකරයේ සහ අදාළ ප්‍රදේශවල සවිකර තියෙනවා.”
