Attention

හෙලිකොප්ටර් අනතුරින් මියගිය නියමුවා ගෲප් කපිතාන් තනතුරට උසස් කරයි.!

හෙලිකොප්ටර් අනතුරින් මියගිය නියමුවා ගෲප් කපිතාන් තනතුරට උසස් කරයි.!

පසුගියදා වෙන්නප්පුව, ලුණුවිල ප්‍රදේශයේ අවතැන්වූවන් මුදාගැනීම් අතරතුර සිදුවූ හෙලිකොප්ටර් අනතුරින් ජීවිතක්ෂයට පත් ගුවන් නියමුවා වූ වින්ග් කමාන්ඩර් නිර්මාල් සියඹලාපිටිය මහතා ගෲප් කපිතාන් තනතුරට උසස් කර තිබේ.

ඔහුගේ ආදර්ශමත් සේවය සහ රාජකාරිය සඳහා වූ කැපවීම ඉහළම ගෞරවයෙන් සලකනු ලබන බව ද ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිවේදනය කරයි.

ශ්‍රී ලංකාවේ ආපදාව නිසා ඉන්දියාව සහ පාකිස්තානය නැවත ගැටුමක.!

ශ්‍රී ලංකාවේ ආපදාව නිසා ඉන්දියාව සහ පාකිස්තානය නැවත ගැටුමක.!

ඉන්දීය මාධ්‍ය පවසන්නේ ශ්‍රී ලංකාවට ආපදා ආධාර රැගෙන යාම සඳහා සිය ගුවන් කලාපය හරහා ගමන් කිරීමට අවසර ඉල්ලුවද ඉන්දියාව ඒ සඳහා අවසර ලබා නොදුන් බවට පාකිස්තාන මාධ්‍යයන් විසින් පලකර ඇති වාර්තා පදනම් විරහිත බවයි.

මාස ගණනාවක් දෙරටේ ගුවන් කලාප වසා තිබූ නමුත් පාකිස්තානයේ ඉල්ලීම සලකා බලා කඩිනමින් අදාළ අවසරය ලබා දීමට කටයුතු කළ බව ඉන්දීය ආරක්ෂක නිලධාරින් විසින් පවසා ඇත.

පාකිස්තානය විසින් සිදුකරනා “පදනම් විරහිත සහ නොමඟ යවන” ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරන බව ඉන්දියාව දැඩිව අවධාරනය කරයි.

පාකිස්තානයේ ඉල්ලීම මත පැය 4ක වැනි කෙටි කාලයක් ඇතුලත සඳුදා (01) දින සවස 17.30 ට (IST)වනවිට නිල වශයෙන් අවසර ලබා දී පකිස්තාන රජයට ද එය නිල වශයෙන් දැනුම් දුන් බවත් ඉන්දීය මාධ්‍යවල වාර්තා වේ.

පස්වරු 2න් පසු උතුරට සහ දකුණට වැසි.!

පස්වරු 2න් පසු උතුරට සහ දකුණට වැසි.!

උතුරු සහ දකුණු පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඌව, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල පස්වරු 2න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව, වයඹ සහ දකුණු පළාත්වල අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතී.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

අවතැන් ජනතාවට සහන සලසන්න සෑම ප්‍රාදේශීල ලේකම්වරයෙකුට මිලියන 50 බැගින් ලබා දෙයි.!

අවතැන් ජනතාවට සහන සලසන්න සෑම ප්‍රාදේශීල ලේකම්වරයෙකුට මිලියන 50 බැගින් ලබා දෙයි.!

ආපදාවෙන් විපතට පත්වූ ජනතාවට සහන සැලසීම සඳහා එක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට රුපියල් මිලියන 50ක් බැගින් මුදල් ලබාදි තිබෙන බව ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ සහකාර ලේකම් ජයතිස්ස මුණසිංහ මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ ත්‍රිවිධ හමුදා ආරක්ෂක මූලස්ථානයේ අද (01) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

ආපදාවෙන් විපතට ජනතාවට සහන ලබාදීමේ එම සහනවල ප්‍රමාණයන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉහළ නංවා තිබෙන බවත්, හදිසි ආපදා තත්ත්වය යටතේ බාධාවකින් තොරව ප්‍රසම්පාදන කටයුතු සිදු කිරීම සඳහා එක් ප්‍රාදේශීය ලේකම්වරයෙකුට රුපියල් මිලියන 50 දක්වා ලබා දි තිබෙන බවත් ජයතිස්ස මුණසිංහ මහතා සඳහන් කළේය.

එසේම වියළි ආහාර සඳහා මෙතෙක් සිදු වූ මුදල් බැංකුගත කිරීමට අමතරව අවශ්‍යතාව අනුව වියළි ආහාර ද්‍රව්‍ය මලු වශයෙන් ලබාදීමට අනුමැතිය ලබා දී තිබෙන බව පැවසූ සහකාර ලේකම්වරයා, ප්‍රාදේශීය ලේකම්වරුන්ට තමන්ගේ ප්‍රදේශයේ පවතින සුවිශේෂී තත්ත්වයන් අනුව සුදුසු කමිටුවක් මගින් තීන්දු තීරණ ගැනීමට අවශ්‍ය අනුමැතිය ලබා දී තිබෙන බවත් පැවසීය. 

විශේෂයෙන්ම වියළි ආහාර ද්‍රව්‍ය සඳහා ලබා දෙන මුදල් දින 07ක් සඳහා එක් පවුලකට ලබාදෙන බවත්, එය අවශ්‍යතාව පරිදි වැඩි කරගත හැකි බවත්, තනි පුද්ගලයෙකුට රුපියල් 2100ක්, සාමාජිකයන් දෙදෙනෙකුගෙන් යුත් පවුලක් සඳහා 4200ක් සහ සාමාජිකයන් තුන් දෙනෙකුගෙන් යුත් පවුලක් සඳහා 6300ක්, සාමාජිකයන් හතර දෙනෙකුගෙන් යුත් පවුලක් සඳහා 8400ක් සහ සාමාජිකයන් පස් දෙනෙක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් සිටින පවුල්වලට රුපියල් 10,500ක් වශයෙන් මුදල් වෙන් කර තිබෙන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

ජල ගැලීම්වලින් සහ ගංවතුර තත්ත්වය හේතුවෙන් නිවාස යම්කිසි ආකාරයකින් නැවත මඩ, පස්, සුන්බුන් ඉවත් කර ශුද්ධ පවිත්‍ර කර ගැනීමට අවශ්‍ය වන බැවින් ඒ සඳහා 1(2025) චක්‍රලේඛයේ 5(2) වගන්තිය සංශෝධනය කර තිබෙන බවත්, ඒ අනුව මෙම ආපදාවට මුහුණ දුන් සෑම නිවසකටම එහි සනීපාරක්ෂක තත්ත්වයන් යථා තත්ත්වයට පත් කර ගැනීමට සහ පදිංචියට සුදුසු නිවසක් බවට පත් කර ගැනීමට රුපියල් 10,000ක අත්තිකාරම් මුදලක් ලබා දීමට කටයුතු කරමින් සිටින බවත් ඒ මහතා පැවසීය. 

ඒ අනුව අදාළ අත්තිකාරම් මුදල් ලබාදීමේදී නිවසේ අයිතිය නොසලකා ආපදාවට ලක්වූ  සෑම පුද්ගලයකුටම ලබාදීමට කටයුතු යොදා තිබෙන බවත්, ඊට අදාළ චක්‍ර‍ලේඛය ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා මහතා විසින් ඊයේ නිකුත් කළ බවත් ජයතිස්ස මුණසිංහ මහතා සඳහන් කළේය.

ආපදාවෙන් පසු ලොකුම අභියෝගය පැමිණෙයි.!

ආපදාවෙන් පසු ලොකුම අභියෝගය පැමිණෙයි.!

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ සහකාර ලේකම් ජයතිස්ස මුණසිංහ මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ජල ගැලීම් සහ ගංවතුර බැස යමින් පවතින තත්ත්වය තුළ වසංගත රෝග, වාහක රෝග පැතිරීමේ දැඩි අවදානම සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙසයි.

මේ වන විට ජල ගැලීම් සහ ගංවතුර බැස යමින් පවතින තත්ත්වය තුළ වසංගත රෝග, වාහක රෝග පැතිරීමේ දැඩි අවදානම සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස මහජනතාවගෙන් ඉල්ලීමක් කළ සහකාර ලේකම් ජයතිස්ස මුණසිංහ මහතා, සෞඛ්‍ය අංශ ඒ පිළිබඳව සුදුසු ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවත් පැවසීය. 

තීව්‍ර ලෙස ආපදාවට මුහුණ දුන් ප්‍රදේශවල සන්නිවේදන කටයුතු යථා තත්ත්වයට පත් වෙමින් තිබෙන බව සඳහන් කළ ඒ මහතා, මේ කාලය තුළ සහන සේවා නිලධාරීන් ඉතා දැඩි පරිශ්‍රමයකින් කටයුතු කරන බැවින් සිය සම්පූර්ණ සහාය ඔවුන්ට ලබා දෙන ලෙසද හෙතෙම ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

බලපත්‍ර අවශ්‍ය නෑ.. රියදුරන්ට සහන කාලයක් ලබා දෙයි.!

බලපත්‍ර අවශ්‍ය නෑ.. රියදුරන්ට සහන කාලයක් ලබා දෙයි.!

අයහපත් කාලගුණය හේතුවෙන් රියදුරු බලපත්‍ර අලුත් කර ගැනීමට නොහැකි වූ රියදුරන් වෙත නීතිමය බාධාවකින් තොරව රිය පැදවීමට සහන කාලයක් ලබාදීමට පොලීසිය තීරණය කර තිබේ.

නිවේදනයක් නිකුත්කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරන්නේ, දිවයිනේ පවතින අයහපත් කාලගුණික හා ස්වභාවික ආපදා තත්ත්වය හේතුවෙන් කල් ඉකුත් වූ රියදුරු බලපත්‍ර ඇති රියදුරන් හට තම රියදුරු බලපත්‍ර අලුත් කර ගැනීම සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාලය වෙත පැමිණීමට බාධා එල්ලවී ඇති බවට නිරීක්ෂණය වී ඇති බවය.

එම තත්ත්වය සැලකිල්ලට ගෙන 2025.11.25 වන දින සිට 2025.12.25 වන දින දක්වා කාලය තුල කල් ඉකුත් වන රියදුරු බලපත්‍ර අලුත් කර ගැනීම සඳහා විශේෂ සහන කාලයක් ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

එම කාල වකවානුව තුළ කල් ඉකුත්වූ රියදුරු බලපත්‍ර ළඟ තබා ගෙන රිය පැදවීම රථවාහන නීති උල්ලංඝණය කිරීමක් ලෙස නොසලකන ලෙසට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් විසින් පොලීිසියට දැනුම් දී තිබේ.

ඒ අනුව, ඉහත සඳහන් සහන කාලය තුළදී කල් ඉකුත් වන රියදුරු බලපත්‍රයක් ළඟ තබා ගනිමින් රිය පැදවීම සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කිරීමේදී මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන ක්‍රියා කරන ලෙස පොලිස්පතිවරයා විසින් සියලු පොලිස් ස්ථාන දැනුවත් කර ඇති බව පොලීසිය සඳහන් කරයි.

ආපදව වෙනුවෙන් ආණ්ඩුව නිසි පියවර ගත්තේ නෑ.. විරෝධය පාමින් විපක්ෂ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවෙන් නැගිට යයි.!

ආපදව වෙනුවෙන් ආණ්ඩුව නිසි පියවර ගත්තේ නෑ.. විරෝධය පාමින් විපක්ෂ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවෙන් නැගිට යයි.!

අද (01) පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී අදහස් දක්වමින් සමගි ජන බලවේගයේ පර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පැවසූවේ මෙම ආපදා තත්වය සිදුවන බවට අදාල අංශ විසින් දැනුවත් කර තිබියදී ආන්ඩුව ඊට නිසි අවධානයක් ලබා නොදීම හේතුවෙන් විශාල ජීවිත ප්‍රමානයක් අහිමිවූ බවයි.

නිසි පියවර ගැනීමට රජය අපොහොසත් වූ බවත්, තමාට වැරදුණු බව රජය පිළිගත යුතු බවත් එහිදී මන්ත්‍රී කබීර් හෂීම් වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

ආන්ඩුව විසින් නිසි ක්‍රියාමාර්ග ගනු ලැබුවේනම් 75% වැඩි ජීවිත ප්‍රමානයක් බේරා ගැනීමට හැකිව තිබූ බව පැවසූ මන්ත්‍රීවරයා ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු ආන්ඩුවේ ක්‍රියා කලාපයට විරෝධය පාමින් පාර්ලිමේන්තුවෙන් ඉවත්ව යෑමටද පියවර ගත්තේය.

කෙසේවෙතත් ජීවිත අහිමි වූ සහ පීඩාවට පත් වූ පිරිස් වෙත විපක්ෂයේ ශෝකය ප්‍රකාශ කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් පවසනවා.

හැමෝම ගැන හිතන්න.. බඩු රැස් කිරීම නවතන්න.!

හැමෝම ගැන හිතන්න.. බඩු රැස් කිරීම නවතන්න.!

ඇති වී තිබෙන ආපදා තත්ත්වය නිසා ජනතාව විසින් භාණ්ඩ විශාල ලෙස එක් රැස් කරමින් සිටින අතර මෙම අවස්ථාවේ අනවශ්‍ය කලබලයක් ඇති කර ගත යුතු නැති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

ඔවුන් වැඩිදුරටත් දැනුම් දෙන්නේ අනවශ්‍ය තොග රැස් කිරීමෙන් වැළකී තමන්ට අවශ්‍ය ප්‍රමාණයට පමණක් භාණ්ඩ මිලදී ගන්නා ලෙසය.

එමෙන්ම නිසි ක්‍රමවේදයක් යටතේ ජනතාවට අවශ්‍ය භාණ්ඩ ප්‍රමාණය පමණක් නිකුත් කරන ලෙස ද සුපිරි වෙළෙඳසැල්වලින් සහ වෙළෙඳුන්ගෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඉල්ලීමක් කර ඇත.

පවතින මිල ගණන්වලට හා සාධාරණ මිල ගණන් යටතේ පමණක් භාණ්ඩ අලෙවි කරමින් මෙම අවස්ථාවේ දී රජයට සහ රටට සහාය පළ කරන ලෙස ද ව්‍යාපාරික ප්‍රජාවට ඔවුන් දැනුම් දී තිබේ.

එසේ නොමැති වෙළඳුන් සොයා දිවයින පුරා විශේෂ වැටලීම් සිදු කරන බවද එවැනි අපහසුතාවයන් පවතින්නේ නම් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සෘජුව අමතා තොරතුරු ලබා දෙන ලෙස ද මෙහිදී ජනතාවට දැනුම් දී ඇත.

භාණ්ඩ සාධාරණ ලෙස අලෙවි කරන්නේ ද බෙදා හරින්නේ ද යන්න පිළිබඳව සිය නිලධාරීන් විසින් නීරීක්ෂණය කරන බවත්, එසේ නොමැති වෙළෙදුන්ට දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් එම අධිකාරිය වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම ආධාර එකතු කිරීම සඳහා නිවාසවලට පැමිණෙන වගකීම් රහිත පුද්ගලයින් ගැන අවදානය යොමු කරන ලෙසද පාරිභෝග කටයුතු පිළිබඳ අධිකාරිය ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.

ගුවන් හමුදාවේ මුදාගැනීම් මෙහෙයුම් වලට බාධා වන ලෙස ඩ්‍රෝන යවන්න එපා.!

ගුවන් හමුදාවේ මුදාගැනීම් මෙහෙයුම් වලට බාධා වන ලෙස ඩ්‍රෝන යවන්න එපා.!

සහන මෙහෙයුම්වල නිරත වන ප්‍රදේශවල, ඩ්‍රෝන යානා ක්‍රියාත්මක කිරීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඉල්ලීමක් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් ගුවන් හමුදාව සඳහන් කර ඇත්තේ, මානුෂීය ආධාර සහ ආපදා සහන මෙහෙයුම් අතරතුර ඩ්‍රෝන මෙහෙයුම්  ක්‍රියාත්මක කිරීම  ශ්‍රී ලංකා ගුවන් හමුදාව මඟින් කරනු ලබන ගුවන් මෙහෙයුම් සඳහා අවදානම් තත්ත්වයක් ඇති කර තිබෙන බවය.

ගුවන් අවකාශයේ අනවසර ඩ්‍රෝන යානා පැවතීම ගුවන් ගමන් මාර්ගවලට සහ මුදාගැනීමේ සහ සහන මෙහෙයුම්වලට බාධා කළ හැකි අතර ගුවන් යානා අනතුරු සිදුවීමට ඉඩ ඇති බව ද ගුවන් හමුදාව අවධාරණය කරයි.

එවැනි සිදුවීම් යානයේ සිටින ගුවන් කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ ජීවිත, ගුවන් යානා සහ භූමියේ සිටින පුද්ගලයින්ට බරපතළ තර්ජනයක් එල්ල කරන බව ද ගුවන් හමුදාව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

මේ වන විට ගුවන් හමුදාව විසින් ක්‍රියාත්මක කරන මානුෂීය ආධාර සහ ආපදා සහන ‍මෙහෙයුම්වල ආරක්ෂාව සහ කාර්යක්ෂමතාව සහතික කිරීම සඳහා, ශ්‍රී ලංකා ගුවන් හමුදාව මහජනතාවගෙන් මෙම ඉල්ලීම සිදුකර ඇත.

තවද සියලුම ඩ්‍රෝන යානා ක්‍රියාත්මක කිරීමට පෙර එම යානා ගුවන්ගත කිරීමේ සහ ගොඩබෑමේ වේලාවන් පිළිබඳව පහත අංක අමතා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.

සාමාන්‍ය දුරකථන: 0112343970 / 0112343971
ක්ෂණික දුරකථන: 115

ආපදා මරණ සංඛ්‍යාව 355ක් දක්වා ඉහළට.. 366ක් අතුරුදන්.!

ආපදා මරණ සංඛ්‍යාව 355ක් දක්වා ඉහළට.. 366ක් අතුරුදන්.!

දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවු ආපදා මරණ සංඛ්‍යාව 355ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.

අද (01) උදෑසන 9ට නිකුත් කළ නවතම නිවේදනයට අනුව පුද්ගලයින් 366ක් අතුරුදන්ව ඇත.

පවුල් 318,252කට අයත් පුද්ගලයින් 1,156,860ක් අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්ව සිටී.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ වාර්තාවට අනුව වැඩිම මරණ සංඛ්‍යාවක් වන මරණ 88ක් මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.

මේ අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ මරණ 75ක්, බදුල්ල දිස්ත්‍රික්කයෙන් මරණ 71ක්, , කුරුණෑගලින් මරණ 37ක් හා මාතලේ දිස්ත්‍රික්කයෙන් මරණ 23ක් වාර්තා වී ඇත.

මේ අතර මහනුවර දිස්ත්‍රික්කයෙන් පුද්ගලයින් 150 දෙනෙකු, නුවරඑළියේ පුද්ගලයින් 62ක්, බදුල්ලෙන් පුද්ගලයින් 53ක්, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් පුද්ගලයින් 46 දෙනෙකු සහ කුරුණෑගලින් පුද්ගලයින් 35 දෙනෙකු මේ වනවිටත් ආපදා හේතුවෙන් අතුරුදන්ව ඇත.

Follow WhatsApp Channel